IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ලෝක මහදැනමුත්තාගේ දෛවයේ සරදම

අමෙරිකාව තමන් හඳුන්වා ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් වශයෙනි. එසේ තමන් හඳුන්වා ගත්තත් තම රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම ආයතනය වන “කැපිටල් හිල්” ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය හේතුවෙන් අමෙරිකාවට ජනවාරි 06 වැනිදා කළු බදාදා දිනයක් බවට පත්විය. ඒ සම්බන්ධයෙන් “නිව්ෙ‌යා්ර්ක් ටයිම්ස්” පුවත්පත පළ කළ කතුවැකියක සඳහන් වූයේ ‘‘නිදහස් ලෝකයේ නායකයා වශයෙන් ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වදින ජනතාවගේ හඬට බලාපොරොත්තුවේ සහ සහයෝගයේ දෑත දිගුකරන රටක් වශයෙන් ද අමෙරිකාව ලබා තිබූ මහත් වූ අභිමානයට එම සිද්ධිය හේතුවෙන් බරපතළ හානියක්’’ සිදු වූ බවය.

අමෙරිකාවේ මාධ්‍ය එම ප්‍රහාරය තම රටට සිදු වූ මහත් අවමානයක් වශයෙන් එසේ හුවා දක්වන විට ලොවපුරා සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වූ තනි වැකියේ සටහනකට කාගේත් අවධානය යොමු වී තිබිණි. එම වැකියේ සඳහන් අර්ථය වූයේ “මේ වසරේ පවතින සංචාරක ගමන් සීමා හේතුවෙන් තම රට තුළම කුමන්ත්‍රණයක් සංවිධානය කිරීමට අමෙරිකාවට සිදු වූ” බවය.

අමෙරිකාවේම වචනවලින් කිවහොත්  දේශපාලන උද්ඝෝෂණ සඳහා ගැන්සියක් මෙහෙය වූ බළකාමී පිළිකුල් කළ යුතු ජනාධිපතිවරයෙක් එරට සිටී. දැන් එරටේ සෙසු බලධාරීන්ගේ උත්සාහය එම සිද්ධියට වගකිවයුත්තා වශයෙන් හඳුන්වනු ලබන වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයක් මගින් ධූරයෙන් නෙරපා දැමීමටය. ලබන 20 වැනිදා නව ජනාධිපති ජෝ බයිඩන් අමෙරිකානු ජනාධිපති ධුරයේ රාජකාරි ඇරඹීමට නියමිත බැවින් දෝෂාභියෝගයකින් ට්‍රම්ප් එළවා දැමීමට කාලය තිබේදැයි යන්න ගැටලු‍වකි. එවැනි ගැටලු‍වක් තිබියදීත් දෝෂාභියෝග වැඩපිළිවෙළ ඉදිරියටම ගෙනයාමට කටයුතු කිරීමේ යටි අරමුණ ජනාධිපති ට්‍රම්ප් අපකීර්තියට සහ ලජ්ජාවට පත් කිරීම විය හැකිය. මේ සිදුවීම් පෙළගැස්වීමේ දී තමන්ගේ ඇඟිලි ගැසීම් හේතුවෙන් වෙනත් රටවල ආණ්ඩු එරට නායකයන්ගේ හිස මත කඩා වැටෙනු බලා සතුටට පත් වූ අමෙරිකාවට අද “තමන්ගේම බෙහෙත් රස විඳීමට” සිදුව තිබෙන බව පෙනී යයි.

ලොවේ තමන් අකැමැති නායකයන් සිටින රටවල ආණ්ඩු නූල් සූත්තර මගින් පෙරළා දැමීමට අමෙරිකාව අතීතයේ සිටම චිරප්‍රසිද්ධියට පත්ව සිටී. තම ආසන්නයේ රටවල් පමණක් නොව අමෙරිකාවට විරුද්ධ ඈත පෙරදිග ඇතැම් රටවල්වලට පවා මේ අවනඩුවලින් ගැලවීමක් නැත. එම රටවල ජනතාව උසි ගැන්වී ඒ ඒ රටවල පාර්ලිමේන්තු ගොඩනැගිලිවලට කඩා වදින විට, දේපළ ගිනි තැබීම් සිදුකරන විට, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන විට අමෙරිකාව ඒවා දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ සටන් වශයෙනි. ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ නිදහස් අරගල වශයෙනි. ඒ අර්ථයෙන් ගත්තොත් පසුගිය 06 වැනිදා සිදු වූයේ එම “නිදහසේ අරගල” අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොලටම කඩා වැදීමය. එම “ජ්‍රජාතන්ත්‍රවාදයේ දිනා ගැනීමේ අරගලය” ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා විසින්ම මෙහෙයවනු ලැබීම මෙහිදී කැපී පෙනුණු ලක්ෂණය විය. එසේ වුවද වෙනත් රටවල ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙසම තර්ජනයට ලක් වූ විට අමෙරිකානු දේශපාලන නායකයන්, බටහිර සහ යුරෝපයේ මාධ්‍ය පමණක් නොව එම රට රාජ්‍යවල ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන පවා ප්‍රතිචාර දක්වන්නේ එය රටේ ජනතාවගේ හෝ ජන කොටසකගේ හෝ අයිතිවාසිකම් පැහැර ගැනීමක්, පාගා දැමීමක් හැටියටය. මේ සම්බන්ධයෙන් අපට හොඳම උදාහරණය ගත හැක්කේ අපේ රට තුළින්මය.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මිනීමරු කොටි සංවිධානයේ ත්‍රස්තවාදය ශක්තිමත් වනවිට අමෙරිකාව හෝ සෙසු යුරෝපීය රටවල් හෝ මුලින් එය දුටුවේ නිදහස ඉල්ලා සිදුකරන අරගලයක් වශයෙනි. එයට ”සාකච්ඡාමය විසඳුමක්” වඩාත් උචිත යැයි බණ දෙසූ ඔවුහු තමන්ගේ රටවලට පැනගත් මිනීමරු ත්‍රස්තවාදීන්ට නිදහසේ හැසිරීමට ඉඩ දුන්හ. ඒ හේතුවෙන් මේ ඊනියා සටන්කාමීහු එම රටවල සිට මුදල් ගරා ගනිමින් මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු‍දෙනා ඝාතනය කිරීමට අවශ්‍ය අවි ආයුධ මිලට ගත්හ. එම ආයුධ හේතුවෙන් මරණයට පත්වූයේ එක් ජාතියකට අයත් පිරිසක් නොවේ. ඔවුන්ගේම නායකයන්ට මරණය වැළඳ ගැනීමට සිදුවිය. මේ සියලු‍ ඝාතන සිදුකරද්දීත් අමෙරිකාව ඇතුළු බටහිර සහ යුරෝපීය ඇතැම් නායකයන්ට කොටින් යනු විමුක්තිකාමියෝ වූහ. නිදහස් අරගලයක එඩිතර සටන්කාමීහු වූහ. මේ විමුක්තිකාමියෝ ‘‘සාකච්ඡාමය විසඳුමකට’’ පාර කැපූ ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි පවා මරාගෙන මැරෙන බෝම්බයකින් පරලොව යැවූහ. එහෙත් ඒ රටරාජ්‍යවල නිදහසේ පියවරුන්ගේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන්ගේ හෝ ඇස් ඇරුණේ නැත. ඔවුන් සිටි මර නින්දෙන් ඇහැරුණේ අමෙරිකාවේ අභිමානය වූ ලෝක වෙළෙඳපොළ මරාගෙන මැරෙන ගුවන් බෝම්බ දෙකකින් විනාශකර දැමීමෙන් පසුවය.

ඒ වනවිට අපේ රටේ ආර්. ප්‍රේමදාස හිටපු ජනපති ඝාතනයට ලක්වී සිටියේය. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය මරාගෙන මැරීමෙන් යන්තම් දිවි ගලවා ගත්තේ එක් ඇසක් ද අහිමි කර ගනිමිනි. හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර්, ආචාර්ය නීලන් තිරුචෙල්වම් වැනි දෙමළ උගතුන් පමණක් නොව අමිර්තලිංගම් වැනි දෙමළ ජනතාවගේ දේශපාලන නායකයෝද මරා දමනු ලැබ සිටියහ. මේ ලැයිස්තුව තවත් දිගුකරනවාට වඩා මිනීමරු ත්‍රස්තවාදයේත් සැබෑ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකත් වෙනස වටහා ගැනීමට අමෙරිකාව ඇතුළු බලවත් රටවලට ගෙවන්නට තිබෙන වන්දිය ඉතා විශාල බව පමණක් සටහන් කිරීම ප්‍රමාණවත් යැයි සිතමු.

අමෙරිකාවේ ලබන 20 වැනිදා ජනාධිපති පදවියේ රාජකාරි අරඹන ජෝ. බයිඩන් පාලනය මේ පවතින යථාර්ථය වටහාගෙන ඒ අනුව ක්‍රියාකරනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනයයි. ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් බයිඩන්ගේ ජයග්‍රහණය පරාජයට පත් වූ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රචණ්ඩකාරී අතවැසියන්ට උදුරා ගැනීමට ඉඩහළ යුතු නැත. ත්‍රස්තවාදය යනු තම රට වන අමෙරිකාවේ පමණක් නොව ලොවේ මොනම රටක වුව ද ත්‍රස්තවාදයම බැව් තේරුම් ගැනීමට අමෙරිකාවට තවදුරටත් පාඩමක් අවශ්‍ය නැත.


(***)



අදහස් (6)

ලෝක මහදැනමුත්තාගේ දෛවයේ සරදම

Raveendra Friday, 15 January 2021 08:11 AM

"වෙනත් රටවල ආණ්ඩු එරට නායකයින්ගේ හිස මත කඩා වැටෙනු බලා සතුටට පත් වූ අැමෙරිකාවට අද “තමන්ගේම බෙහෙත් රස විඳීමට” සිදුව තිබෙන බව පෙනී යයි. ලොවේ තමන් අකැමැති නායකයන් සිටින රටවල ආණ්ඩු නූල් සූත්තර මගින් පෙරළා දැමීමට අමෙරිකාව අතීතයේ සිටම චිරප්‍රසිද්ධියට පත්ව සිටී." මෙම වාක්‍ය දෙක 100%ක් නිවැරදියි. එලෙසම "සහයෝගයේ දෑත දිගුකරන රටක් වශයෙන් ද අමෙරිකාව " යන්න අර්ථ ගැන්වෙන්නේ තම යටි අරමුණු කෝටියක් සඟවාගෙන අනෙකුත් රටවලට දෑත දිගුකරන බව නම් කිව යුතුමයි. මේ ගොයියෝ කිනම් හෝ රටකට උදව් කරන්නේ නම් එරට තුළ අසීමිත සම්පත් සම්බාරයක් තිබෙන බව ඉර හඳ මෙන් විශ්වාසයි. කෙසේවෙතත් ප්‍රජාතන්ත්‍රවාදය නමැති පැණි වරකාවට නොහොත් පැණි කොමඩු ගෙඩියට ට්‍රම්ප් ගොයියා විසින්ම අලවංගුවෙන් පතබා ඇති බවක් ඉතා හොඳින්ම පැහැදිලිය.

:       3       10

Asela Rathnayaka Friday, 15 January 2021 08:29 AM

විශිෂ්ඨ විග්‍රහයක්. කාලයක් තිස්සේ විවෘත මනසින් ලෝකයේ සිදුවීම් හා ලංකාවේ සිදුවීම් දෙස බලා සිට මනාව ගැලපීමක් ඇතුව කළ පැහැදිලි කිරීමක්.

:       2       11

Rohana Friday, 15 January 2021 09:37 AM

පරාජය දරාගන්න බැරිව මෙවැනි ක්‍රියාවලින් නැවත බලය ලබාගත හැකියයි සිතීමම කොතරම් නින්දා සහගතද? ගෞරවාන්විතව ජනපති ධුරය බාරදීමේ අවස්ථාව ඔහු විසින්ම අහිමිකරගෙන ඇති බව පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදය මහ බලවතා විසින්ම කඩකිරීමෙන් ලොවට වැරදි ආදර්ශයක් පෙන්නුම්කර ඇත.

:       3       7

සමිත් Friday, 15 January 2021 11:35 AM

මෙම ලිපිය හොඳින් ලියා ඇත. නමුත් ඇමරිකාවේ සිදුවන දේ ඉතාමත් අපූරුවට දකින ලංකාවේ මාධ්‍ය ලංකාවේ තත්වය හරියට නොදකින එක අවාසනාවක්. ඇමරිකාව පෙන්නලා අපේ රටේ කුණු වහන්න හදන එකයි මේ කරන්නේ.

:       2       13

nishanthaMonday, 18 January 2021 04:13 PM

හරියට හරියි කිව්වා ... ස්තූතිවන්ත වෙනවා ඔබට...

:       1       3

fairoos Monday, 18 January 2021 01:27 PM

ලංකාවේ නම් මේ වගේ අයට තමයි ගොඩක් අය කැමැති. සිරිසේන ගියා... නන්දසේන ආවා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 36 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 314 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 179 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 437 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1153 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1159 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site