IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අරණායක මෙතෙක් කතාව

අරණායක එළඟිපිටිය සාමසර කන්දේ කොටසක් නාය යාමෙන් පසු අතුරුදන් වූ සියයකට අධික පිරිසක් සෙවීමේ කටයුතු අරම්භ වී අද (20) ට දින තුනකි.  ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයට අනුව අද (20) දහවල් වන විට මළ සිරුරු 19ක්  සොයා ගෙන තිබිණි.

සාමසර කන්දේ නාය ගිය පෙදෙසේ සිරිපුර,එළඟිපිටිය සහ පල්ලේබාන ලෙස ගම්මාන තුනකි. මේ ගම්මාන තුනේ පවුල් 220 ක් සිටි බවට තොරතුරු ඇතැයි ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් ජොනී මහතා කීවේය. ඉන් මේ වන විට සොයා ගෙන ඇති පවුල් ගණන 21 කි. ඉතිරි පවුල්වල විස්තර ඊයේ සවස් වන විටත් ලැබී නොතිබිණි.

සාමසර කන්දේ නාය යෑමෙන් 135 කට වැඩි පිරිසක් පස්වලට යට වන්නට ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථිර වශයෙන් කියයි.

එසේ පස්වලට යටවූවන් සොයන සෝදිසි මෙහෙයුම වඩාත් දුෂ්කර වී ඇත්තේ විටින් විට ඇද හැලෙන වර්ෂාවත් සමඟ කන්දේ යළි යළිත් නාය යෑම් ඇති වීමයි.

ජේ පී ධනුෂ්ක සාමසර කන්ද පාමුල වෙල්යාය අසල පදිංචි තරුණයෙකි. ඔහු රැකියාව කරනුයේ මහනුවර ප්‍රදේශයේය. ධනුෂ්කගේ මව, පියා සහ සහෝදරයා පදිංචිව සිටියේ සාමසර කන්දේ සිරිපුර ගම්මානයේ ය. සාමසර කන්ද නාය යෑමෙන් පසු පැමිණි පස් තට්ටුව නතර වී තිබුණේ ධනුෂ්කගේ නිවස අසලය.

‘‘දවස් තුනක් විතර තිස්සේ හයියෙන් වහිනවා. අපට කවුරුවත් කිව්වේ නෑ මේ පැත්ත නාය යයි කියලා. අම්මලා හිටියේ සිරිපුර කන්දේ. වැස්ස වැඩි නිසා මම අම්මාවයි, තාත්තවයි, මල්ලිවයි අපේ ගෙදර ගෙනත් තියා ගත්තා. පහුගිය 17 වැනිදා හවස පහට විතර මහා හයියෙන් සද්දයක් ආවා. එළියට ඇවිත් බලද්දි සාමසර කන්දේ පස් තට්ටුවල් පහළට එනවා. මම ගෙදර අයත් සමග දිව්වා. පස් කන්ද ඇවිත් අපේ ගේ ළඟින් නතර වුණේ.  මුළු පැත්තම පස් තට්ටුවක් බවට පත් වුණා. අම්මලා හිටපු ගේ හොයා ගන්නත් නෑ.‘‘ යැයි ධනුෂ්ක කීවේය.

ඩී පී නිමල් රත්නසිරි සාමසර කන්ද පාමුල වෙල් යාය අසල කුඩා කඩ කාමරයක් දැමුවේ මීට ටික කාලයකට පෙරය. සිද්ධිය වූ දා ඔහු සිටියේ එම කඩයේය.

‘එක පාරට මහා සද්දයක් ආවා. එළිය බලද්දි ගල් පෙරලීගෙන එනවා. ටික වෙලාවකින් බලද්දි මුළු පැත්තම පස් සහ මඩ. මගේ කඩේ යාන්තම් බේරුණේ. උඩ ගෙවල් ගොඩක් තිබුණු තැනක්වත් හොයා ගන්න නෑ.‘ යැයි ඔහු කීවේය.

වරින් වර සාමසර කන්ද යළි යළිත් නාය යන නිසා ඔහු පසුගිය බදාදා (18) කඩය වසා දමා තිබිණි. යළි 19 වැනි දා ඔහු කඩය විවෘත කළේ සාමසර කන්ද නාය ගොස් ඇති අයුරු බැලීමට දහස් ගණනක් පැමිණි නිසාය.

නාය යෑමෙන් පසු  යුද හමුදාව සහ පොලිස් විශේෂ කාරය බළකාය මුලින්ම සෝදිසි මෙහෙයුම් ඇරැඹුවේ බදාදා (18) උදෑසනය. සෝදිසි මෙහෙයුම් පහසු නොවූයේ බෙහෝ තැන්වල අඩි ගණනක් මඩ පිරී තිබූ නිසාය. එදින සවස් වන විට නව 14 දෙනකුගේ පමණ සිරුරු සොයා ගැනීමට යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය.

බදාදා (18) සවස පහ පමණ වන විටත් මහ ජන ගඟක් ඒ දෙසට ඇදී එමින් තිබිණි. කන්දේ මදක් දුර ගිය විට කැඩී ගෙයක් සහ ඉතිරි වූ බුදු පිළිමයක් හමු විය. ඊට ඉහළින් සෝදිසි මෙහෙයුම් කරමින් සිටි යුද හමුදාව සවස පහට පමණ පිටවී ගියේය. ඉන් මද වේලාවකට පසු එක් වරම මහා වැස්සක් ඇද හැළුණේය. මිනිත්තු පහක් පමණ යද්දී ප්‍රදේශයම ගිගුම් දෙමින් මහා ශබ්දයක් ඇසුණේය. ගත වූයේ මිනිත්තු දෙකක් පමණය. මහා විශාල ජල පහරක් සමග පස් කන්ද නැවත පහළට එන්නට විය. එතැන සිටියෝ වෙනත් කඳු මුඳුන්වලට දුවගොස් දිවි බේරා ගත්හ.

බ්‍රහස්පතින්දා (19) උදේ යළි සෝදිසි මෙහෙයුම් ඇරැඹි අතර එය නැවත නවත්වන්නට සිදුවූයේ මිනිත්තු කිහිපයකින් ඇද හැළුණු මහා වර්ෂාවත් සමඟය. ඒ මොහොතේ යළිත් ප්‍රදේශය ගිගුම් දෙමින් පස් කන්ද පහළට පැමිණි අතර කිහිප දෙනකු දිවි බේරාගෙන තිබුණේ අනූ නවයෙනි.

එම සිද්ධියෙන් පසු සෝදිසි මෙහෙයුම්වල නිරත යුද හමුදාව සහ පොලිස් විෂේෂ කාර්ය බළකාය යළි ආරක්ෂිත ස්ථාන කරා කැඳැවිණි. දහවල් 10.30ට පමණ වැස්ස නැවතුණු පසු පොලිස් විශේෂ කාර්ය බළකාය සෝදිසි මෙහෙයුම් ඇරැඹීය. ඒ කඳු පාමුල වෙල්යාය තිබුණු ස්ථානයේය. එහි දැන් පෙනනුයේ විශාල මඩ තට්ටුවක් පමණි. එහි වෙල් යායත් තිබූ බව සොයා ගැනීමටවත් බැරිය.

බූට් සපත්තු දැමූ විශේෂ කාර්ය බළකායේ 20 දෙනෙක් පමණ යකඩ කූරු අතැතිව ටිකෙන් ටික මඩ ගොහොරුවේ ඈතට යන්නට පටත් ගත්හ. ඇතැම් තැන්වල අඩියක් තියද්දීම ඉන පමණ වන තුරු යටට යයි. ඉතා අපහසුවෙන් යළි ගොඩ විත් කූරු ගසමින් ඉදිරියටම යයි. මෙය අමුතුම දර්ශනයක් ලෙස බොහෝ දෙනකු බලා සිටියහ. එහි ඇති අනතුර දන්නේ ඒ කටයුත්තේ නිරත වන අය බව විශේෂ කාර්ය බළකා සේවකයෙක් කීවේය.

‘‘කූරු ගගහා යන්නේ ගැඹුරු තැන් බලන්නයි. කොච්චර එරෙනවද බලන්නයි. ඒ එක්කම යට මිනියක් හෝ යම් දෙයක් තිබුණොත් කූරට දැනෙනවා. මේ ප්‍රදේශයේ පස් වලට වඩා තියෙන්නේ මඩ තට්ටු. උදලු අරගෙන හාරන්නත් බෑ. අඩිය තියද්දි සමහර තැන්වල ඉන ගාවට වඩා එරෙනවා. අපිත් කරන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් තමයි. උලක් තිබුණොත් ඇනෙන්න පුළුවන්. වළක් තිබුණොත් වැටෙන්න පුළුවන්. ඒත් අපි ගැන හිතන්නේ නැතුව මේ වැඩ කරනවා.‘‘ යැයි එම කටයුත්තේ නිතරව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙක් කීවේය.

බ්‍රහස්පතින්දා පස්වරු 11.15පමණ වන විට යුද හමුදාවේ පිරිස් කන්දේ ඉහළ ප්‍රදේශය කරා යෑම ඇරැඹීය. දැඩි වෙහෙසක් දරා ගල් තල්ලු කරමින් කඹ මගින් ගෙවල්වල ඉතිරි වූ කොටස් ඉවත් කරමින් ඔවුහු සෝදිසි මෙහෙයුම් සිදු කළහ. ඇතැම් තැන්වල මඩ තට්ටු පිරී තිබූ නිසා ඔවුහු ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ.

සාමසර කන්දේ නිවාස තිබූ උදවියගේ ඥාතීහු දුර බැහැර සිට පැමිණ තම ඥාතීන්ගේ ගෙවල් තිබූ තැන් දෙස බලා සිටියහ. ඇතැමෙක් හමුදාව සේදිසි මෙහෙයුම් කරද්දී එම ස්ථානවලට වී හෝඩුවවක් ලැබෙතියි බලා සිටියෝය.

ඒ එම් එස් ශාන්ත කුමාරද නාය යෑමට ලක්වූ නිවසක පදිංචි 30 හැවිරිදි තරුණයෙකි. ඔහු බේරී තිබුණේ කන්ද නාය යෑමට මිනිත්තු තුනකට පමණ පසු පහළ කඩයට ගොස් සිටි නිසාය. යුද හමුදාව සෝදිසි මෙහෙයුම් කරද්දී ශාන්ත කුමාරද එතැනට වී බලා සිටියේය. ඔහුගේ නිවස තිබූ තැන හඳුනා ගැනීමට ඇති එකම සලකුණ මහා විශාල සියඹලා ගස පමණි. ගසේ මුල සිට ඉහළට සාමාන්‍ය ප්‍රමාණයක් පස්වලින් වැසී තිබිණි.

බ්‍රහස්පතින්දා  12.15 පමණ වන විට යළි මහ වැසි ඇද හැලෙන්නට පටන් ගැනීමත් සමග සෝදිසි මෙහෙයුම් නතර කැරිණි. ඒ වැස්සත් සමගද කන්නේ සුළු නාය යෑමක් ඇති වූයේ බොහෝ දෙනකු බලා සිටියදීය.

බ්‍රහස්පතින්දා සවස් වරුවේ ඇරැඹි වර්ෂාව රාත්‍රී වන තුරුම තිබිණි. කන්දේ වෙනත් අවදානම් ස්ථානවල පදිංචිකරුවන් ද ඉවත් කර තිබූ අතර ඔවුහු ප්‍රදේශයේ අවතැන් කඳවුරු 11ක පදිංචි කරනු ලැබ සිටියහ.

බ්‍රහස්පතින්දා මහ වැසි සමඟ කන්ද නාය යද්දී එළඟිපිටිය අවතැන් කඳවුරුවල සිටි පිරිස් යළි භීතියට පත්වූහ.  සමහරු දුවන්නට හැදූ බව සහන සේවකයෝ කියති. කෙසේ හෝ බියට පත් විය යුතු නැතැයි ද, තමන් ඉන්නේ ආරක්ෂිත තැනක යැයි ද කියමින් ඔවුන් අස්වැසූ බව සහන සේවකයෝ පවසති.

රාත්‍රී වන විට සාමසර කන්දේ වෙනත් බෑවුමක ද නාය යෑමක් ඇති වූ අතර එම ප්‍රදේශයේ පිරිස් අනතුරුදායකභාවය‍ නිසා ඉවත් කර තිබිණි.

අරණායක පෝඩාපේ කන්ද සහ ජනපද කන්දේ ද නායයෑමේ ලකුණු තිබූ නිසා දෙයියවල සහ පෝඩාපේ ග්‍රාමසේවා වසම්වල 79 දෙනෙක් පෝඩාපේ පුරාණ විහාරස්ථානයට පැමිණ සිටියහ.

පෝඩාපේ ප්‍රදේශය 1956 දී හා 1996 දී නාය ගිය බව ගැමියකු වන ඩබ්ලිව් සුසන්ත බණ්ඩාර මහතා කීවේය.

අම්බලන්කන්ද, ගංතුන, බැලුම්ගල ආදී ප්‍රදේශවල පිරිස් ද ඉවත් කර තිබිණි. එළඟිපිටිය ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා රාත්‍රී හතට පමණද මහා ශබ්දයක් සමග නාය යෑමක් සිදුවූ බව සිද්ධිය දුටුවෙක් කීවේය.  එම ප්‍රදේශවල ඇතැම් මාර්ග ඉරි තලා තිබුණු බවත්, තවත් පැතිවල පාරේ අඩියක පමණ විවර තිබුණු බවත් ඇසින් දුටුවෝ කියති.

ඊයේ (20) උදේ වන විට එම ගම්මානවල පිරිස් තාවකාලිකව නැවැත්වීම සඳහා තවත් අවතැන් කඳවුරක් ආරම්භ කළ අතර ඒ අනුව ඊයේ (20) දහවල් වන විට අරණායක අවතැන් කඳවුරු 12ක් තිබිණි.

ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රදේශීය ලේකම් කාර්යාලයය, ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය සහ තවත් ස්වේච්ඡා කණ්ඩායම් රැසක් යුහුසුළුව වෙහෙසෙමින් සිටියේය.

පොලිසිය මෙන්ව සහන සේවකයන්ද ඉල්ලනුයේ කන්ද නාය ගිය ස්ථානය බලන්නට මහා පිරිසක් එළියට ඒම අවදානම් සහගත බවයි. ඒ නිසා සහන කටයුතුවලට බාධා එන බවද ඔවුහු කියති. සහන සේවකයන් සහ පොලිසිය ඉල්ලනුයේ නාය ගිය ස්ථාන බලන්නට ජනතාවට නොඑන ලෙස දැනුම්වත් කරන ලෙසයි.

IMG_20160519_100309 IMG_20160519_104042 IMG_20160519_105441 IMG_20160519_111539 IMG_20160519_114542 IMG_20160519_122258



අදහස් (0)

අරණායක මෙතෙක් කතාව

විජේසිංහ Friday, 20 May 2016 03:52 PM

මේ වගේ කතාවක් අහනකොටත් මට නම් හරිම දුකයි (නි)

:       0       0

සුරවීර Friday, 20 May 2016 04:13 PM

මෙය කන්දට රාම රාවණා යුද්ධයේදි රාම රජු එවූ සැරයක් වැදී ඇති බවට ගැමියෝ කියති. එනිසා මෙයට ‘රාමසර කන්ද‘ යැයිද කියයි. දැනුදු ගල මුදුනේ ඇති පැල්ම එම සැරය වැදීමෙන් ඇති වූ බව කියයි (නි)

:       0       0

සත්‍යයා Friday, 20 May 2016 11:41 PM

සිත්පිත් නැති මිනිස්සු කාලයක් තිස්සේ පරිසරයට කරන ලද හානි වලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ, ඒ පව්කාරකම් වලට කිසිසේත් දායක නොවූ අහිංසක ගැමියන්ට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට
2024 ඔක්තෝබර් මස 02 26 0

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර


ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 361 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1280 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 425 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1243 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 222 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38580 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site