IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘‘ ඇවන්ගාඩ් නැව හොර පාරක යන්න හදලා ‘‘

මෙරට සුවිශේෂී පුද්ගලයෙකුගේ දේශපාලනයේ නියුතු පුත්‍රෙයක් සතුබව කියන ඩුබායි බැංකු ගිණුම පිළිඹද විමර්ෂණය කර එය අත්හිටුවාලීමේ කටයුතු මේ වන විට භාරව ඇත්තේ නව කණ්ඩායමකටය.

 

 නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර,අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ,අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝගොඩ යන මහත්ම මහත්මීහු මෙම නව කණ්ඩායමේ සාමාජිකයෝ වෙති.දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ කොමසාරිනී කල්‍යාණි දහනායක මහත්මියද මෙම කණ්ඩායමේ සිව්වැනි සාමාජිකයා ලෙස එක්වීමට සිටියද අවසන ඇය එක්කර ගැනුනේ නැත.

 

මෙම සුවිශේෂී බැංකු ගිණුම පිළිඹද පසුගිය සති කිහිපයේදීම මෙම තීරුවෙන් සවිස්තරව කරුණු අනාවරණය කෙරිණ.ගිණුම අත්හිටුවාලන ලෙස ශ්‍රීලංකා බළධරයින් ඉල්ලා සිටියද ගිණුමේ හිමිකරුට එරෙහිව දේශීය වශයෙන් එකඳු පරීක්ෂණයක් හෝ ක්‍රියාත්මක නොවන බැවින්ද මෙම ගිණුමේ මුදල් අයථා ක්‍රම වලින් උපයාගෙන ඇතැයි කිසිදු සාක්ෂියක් ඉදිරිපත්කර නොමැති හෙයින්ද එසේ ගිණුම අත්හිටුවීමේ හැකියාවක් නැතැයි ඩුබායි බලධරයෝ අවධාරණය කළහ.විමර්ෂණ කටයුතු ආරම්භ වීමට පෙර මෙම ගිණුමේ ඩොලර් බිලියනකට අධික මුදලක් තිබුණු අතර විමර්ෂණයක් සිදුවීමට යන බව ප්‍රචාරය වූ විගස එහි හිමිකරු මුදල් වෙනත් බැංකු ගිණුමකට බැර කළ නිසාවෙන්දෝ ගිණුමේ මුදල ඩොලර් මිලියන 500 ක් දක්වා පහත බැස්සේය.සොරකම් කරන ලද සම්පත් නැවත ලබාගැනීමේ කාර්යසාධක බලකායේ ප්‍රධානියා ලෙස මෙම ගිණුම පිළිඹද විමර්ෂණ කටයුතු වල වගකීම පැවරී තිබුනේ නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතාටය.නමුත් මෙම නව කණ්ඩායමේ ඔහුට තැනක් හිමිව නොමැත.

 

වංචාවන් ගැන වාදවිවාද

බැංකු ගිණුමේ ඉදිරි විමර්ෂණ කටයුතු සම්බන්ධයෙන් මෙම නව ත්‍රිපුද්ගල කණ්ඩායම ඩුබායි බැංකු බලධරයින් හා නීති විශාරදයින් සමග දැනටමත් සාකච්ඡා පවත්වා ඇත.

 

‘‘ඉස්සෙල්ලා වැඩකරන්න ගිය විදිහ ගැන ඔවුන් ඩුබායි බලධරයින්ගෙන් සමාව ඉල්ලා සිටියා.ඒ වගේම ඇයි මේ විමර්ෂණ කටයුතු සිදුවිය යුත්තේ කියන එකත් ඔවුන් පැහැදිලි කළා.‘‘

 

 මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් වෙත තොරතුරු ලබාදුන් ආරංචි මාර්ගයක් කීය.දෙපාර්ශවයම ඔවුනොවුනේගේ අවශ්‍යතා මැනවින් හඳුනාගෙන අදහස් දැක්වූ බවත් ඉතා මිත්‍රශීලීව සාකච්ඡාව පැවැත්වුනු බවත් ආරංචි මාර්ගය වැඩිදුරටත් පැවසීය.විමර්ෂණ කටයුතු වලට බාධාවක් වුනු ඇතැයි බියෙන් වැඩිදුර තොරතුරු ලබාදීම එම ආරංචි මාර්ගය ප්‍රතික්ෂේප කළද සන්ඩේ ටයිම්ස් වෙත වෙනත් තොරතුරු මාර්ගවලින් දැනගැනීමට හැකිවූ පරිද්දෙන් මෙම ගිණුමේ හිමිකරු වන දේශපාලන පුත්‍රයා සම්බන්ධයෙන් ඉදිරියේ දේශීය වශයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ වීමට නියමිතය.

 

ඩුබායි බලා යාමට ප්‍රථමයෙන් නව කණ්ඩායම බැංකු ගිණුම හා මේ දක්වා සිදුව ඇති විමර්ෂණ කටයුතු වල ප්‍රගතිය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයක් සිදුකළහ.දැන් අනාවරණයව ඇත්තේ මෙම මුදල් තැන්පත් කර තිබෙන්නේ ඩුබායි ජාතික බැංකුවේ නොව මෂ්රෙක් නම් බැංකුවක බවය.එක්සත් අරාබි එමීර් බලධරයින් මෙම බැංකුව 2014 වසරේ කලාපයේ හොඳම බැංකුව ලෙසද නම් කර තිබේ.එහි ශාඛා 12 විවිධ රටවල පිහිටා තිබෙන අතර කොළඹ නගරයේද එහි ශාඛාවක් තිබේ.පසුගිය රජය සමයේ ශ්‍රීලන්කන් ගුවන්සේවයට නව ගුවන් යානයක් මිලයට ගැනීම සඳහා බැංකු ණයක් ලබාදුනේනේ මෙම බැංකුවයි.

 

තරුණ දේශපාලඥයාගේ බැංකු ගිණුම ගැන වත්මන් තත්ත්වය පසුගිය අඟහරුවාදා පැවැති පාර්ලිමෙන්තු විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තම කතාව අරතුරදී දැඩිව ප්‍රශ්න කළේය.වංචාව හා දූෂණය පිටුදකින බවට පොරොන්දු පිට පොරොන්දු දී වත්මන් රජයට බලයට පත්වූවද මේ දක්වා සිදුකර ඇති දෙයක් නොමැති බවත්,මෙම බැංකු ගිණුමේ විමර්ෂණ කටයුතු වලට අත්ව තිබෙන ඉරණමද රජයේ මේ නොහැකියාව පෙන්වා දෙන්නක් බවත් ඔහු පැවසීය.කෙසේවුවද ඔහුගේ කතාවේ වැඩි කොටසක් වෙන්වූයේ සම්පූර්ණයෙන්ම රජය සතු ආයතනයක් වන රක්නා ආරක්ෂක ලංකා යටතේ පවත්වාගෙන ගිය ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ කටයුතු හා වත්මන් රජය ඒ සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින පියවර ගැන විමසීමටය.මෙම තීරුවෙන් පසුගිය සමයේ අනාවරණය කෙරුණු පරිදි සයුරු තරණයේ යෙදෙන යාත්‍රා වලට මුහුදු කොල්ලකරුවන් ආදීන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ආරක්ෂක සේවා සැපයීමේ ආයතනයක් ලෙස පිහිටුවා තිබෙන ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් ආයතනයට ඒ කටයුතු වලට හිමිව තිබී ඇත්තේ සම්පූර්ණ එකාධිකාරියකි.මෙසේ ආරක්ෂක සේවා සැපයීමට වෙනත් ආයතන වලටත් අවස්ථාව ලබාදීමට ටෙන්ඩර් කැඳවීමක් පවා සිදුනොකර ඒ සියල්ල ඇවන්ගාඩ් වෙත භාරදී තිබෙන බවටද චෝදනාවක් තිබේ. ශ්‍රීලංකා රජයේ පූර්ණ අනුදැනුම යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතනය රජය සතු අවි මුහුදු ආරක්ෂක සේවා සපයන පෞද්ගලික ආයතනයන්ට එම අවි සපයන බවත් එසේ සැපයෙන අවි මස්කට් හා මවුරිටියස් යන වරායන්ගෙන් නැවත භාරගැනෙන බවත් එම ආයතන වෙබ් අඩවියේ සඳහන්ය.මෙම අවි අතර චීනයේ නිශ්පාදිත ටී - 56 අවි, රුසියාවේ නිශ්පාදිත ඒ.කේ.47 අවි,සැහැල්ලු මැෂින් තුවක්කු,ආදිය මෙන්ම ආරක්ෂක හෙල්මට හා කබා, අඳුර විනිවිද දැකිය හැකි උපැස්,සන්නිවේදන කටයුතු වලට යොදාගත හැකි ගුවන්විදුලි උපාංගයන් සහ දීප්තිමත් විදුලි පන්දම් වැනි උපාංගයන්ද ඇත.ගාලු පොලිසිය මීට පෙර අවස්ථාවකදී ඇවන්ගාඩ් සමාගම සතු එම්.වී. මහනුවර නෞකාව වැටළීය.මේ සමග මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවූ අතර ඇතැම් දේශපාලඥයෝ අවන්ගාඩ් සමාගම වෙනුවෙන් දැඩිව පෙනී සිටිනු දැකගත හැකිවිය.මෙම සමාගම සතුව සුවිශාල ධනසම්භාරයක් ඇති බවද පැවසුනි.

 

තම පාර්ලිමෙන්තු කතාවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා තවත් කරුණු දැක්වීය.

 

‘‘ 2015 දී එක්සත් ජාතික පක්ෂය ජනතාවට පොරොන්දුවක් දුන්නේ මේ වංචාකරුවන්ව නීතිය හමුවට ගෙන එනවා කියලා.ඒත් දැන් මේ මොනවද වෙන්නේ? ඉස්සෙල්ලාම මහබැංකු බැඳුම්කර ගැටලුව.ඊළගට තව තියෙනවා ගල් අඟුරු මිලයට ගන්න ටෙන්ඩර් කැදවීම් වල වෙලා තියෙන මූලික අයිතිවාසිකම් කඩවීමේ ගැටලුවක්.ඔයාලා මේ යන්නේ ඔයාලට ඉස්සෙල්ලා කට්ටිය යමින් හිටිය පාරෙමයි.කිව්වේ ආපු ගමන් මේ වංචා දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෝ ඔක්කොමට නීතිය හමුවට ගෙන එනවා,ඔවුන්ට දඩුවම් දෙනවා කියලා.නමුත් අද ඔයාලා තමයි මේ පුද්ගලයින්ගේ ආරක්ෂකයෝ වෙලා ඉන්නේ.අවන්ගාඩ් සිද්ධිය ගත්තොත් රජයේම ඇමතිවරුන් ඒ සමාගම ආරක්ෂා කරනවා.අවශ්‍ය ලියකියවිලි හංගන්නත් කටයුතු කරලා.නිලධාරීන් බය කරලා.කැබිනට් එක ගත්තොත් කී දෙනෙක් ඉන්නවාද වංචා දූෂණ චෝදනා ලබපු.එතනෝල් ගෙන්වන බවට හොඳින්ම දන්නා පුද්ගලයෙක් අද නියෝජ්‍ය ඇමති කෙනෙක්.මත්කුඩු ජාවාරම් ගැන චෝදනා ලබපු කෙනෙකුත් ඉන්නවා එයත් නියෝජ්‍ය ඇමති කෙනෙක්.හිටපු පළාත්සභා සාමාජිකයෙක්ගේ නිවසට මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ නිලධාරීන් පැමිණිලා පරීක්ෂණ කටයුතු කරද්දී හැරෙන තැපෑලෙන් එතනට ආවේ ඒ කාලයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්තයා.ආවෙත් හෙලිකොප්ටරයකින්.ඇවිල්ලා අර පුද්ගලයාව බදාගෙනත් හිටියා.ඒකෙන් අදහස් වූනේ මොකක්ද? මෙයාට අතවත් තියන්න එපා කියලා.අද රජය කරමින් ඉන්නෙත් මේ වගේ වැඩම තමයි.ඉතින් අපි කොහොමද බලාපොරොත්තු වෙන්නේ රජය වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කරාවි කියලා?‘‘

 

සභාව උණුසුම් කළ මාරපනගේ ප්‍රකාශය

දිසානායකගේ කතාවට පිළිතුරු දුන්නේ නීතිය හා සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතාය.

 

‘‘මගේ සේවාදායකයා (ඇවන්ගාඩ් සභාපති නිස්සංක සේනාධිපති) මට කියලා තියෙන දේවල් මම මෙතන කිව්වොත් මේ ගොඩක් අය ලැජ්ජාවට පත්වේවි.පාවෙන අවි ගබඩා කියන සංකල්පය අලුත් දෙයක් නොවෙයි.මේවා ගැන මේ තරම් දුර්මත පැතිරිලා තියෙන්නේ ගොඩක් අය මේවා ගැන නොදන්නා නිසා.පාවෙන අවි ගබඩා එක්සත් ජාතීන්ගේ නීති වලට යටත්වයි පවත්වාගැනෙන්නේ.මේ වැඩකටයුතු ඉස්සෙල්ලාම භාරගෙන සිටියේ ශ්‍රීලංකා නාවික හමුදාව.නමුත් ඒ දේවල් හරියට කරන්න ඔවුන්ට බැරිවුනා.පස්සේ තමයි රක්නා ලංකා නම් සියයට සියයක්ම රජයට හිමි ආයතනයක් පිහිටුවලා මේ කටයුතු ආරම්භ කළේ.රජය සතු අවි රක්නා ලංකා සමාගමට ලබාදීමත් සිදුවූවා.‘‘

 

මාරපනගේ ප්‍රකාශය බ්‍රහස්පතින්දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැඩි විවේචනයට ලක්විය.අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මාරපනට චෝදනා කරමින් ඔහු එදා අදහස් දැක්වූයේ රජය නියෝජනය කරන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් ලෙස නොව අවන්ගාඩ් සමාගමේ නීති උපදේශකයා ලෙස යැයි පැවසීය.මාරපන ප්‍රකාශ කළ දෙය කිසිසේත්ම රජයේ ස්ථාවරය නොවන බවද රණවක අවධාරණය කළේය.මේ අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෛත්‍රීපාල

 

සිරිසේනව ජනපති කරවීමට බොහෝ දෙනෙක් විශාල කැපවීම් සිදුකළ බවත් හදිසියේත් ඔහු පරාජය වූවානම් ඔවුන්ට සිදුවිය හැකිව තිබුණේ කුමක්ද යැයි සිතාගැනීමටත් නොහැකි වන්නට තිබුණු බවත් පැවසීය.රජය බලයට පත්වූයේ තරාතිරම කුමක් වුවද වංචා දූෂණ කටයුතු වල යෙදී තිබෙන පුද්ගලයින්ට දඩුවම් කිරීමේ පොරොන්දුව දී බව ඔහු සිහිපත් කළේය.පාර්ලිමෙන්තුවේ අනුර කුමාර දිසානායකගේ කතාව සිහිකැඳවූ අමාත්‍යවරයා එහි සඳහන්වූ ලෙස අවන්ගාඩ් ප්‍රධානී නිශ්ශංක සේනාධිපතිව පෞද්ගලිකව හමුවූයේදැයි ජනපතිවරයාගෙන් විමසීය.එයට පිළිතුරු දුන් ජනපති සිරිසේන ජයග්‍රහණයෙන් පසු සියගණනක් දෙනා තමන් හමුවට පැමිණි බවත් නමුත් සේනාධිපති එසේ පැමිණි බවත් සිහිපත් කළ නොහැකි බවත් පැවසීය.පසුව දිසානායක ඇමතූ ජනපති සිරිසේන මේ සම්බන්ධයෙන් විමසා සිටියේය.මාරපනගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පියවරක් නොගන්නේනම් දැඩි තීරණයකට එළැඹෙන බව රණවක හා සේනාරත්න දෙදෙන අනතුරු ඇගවූහ.සිකුරාදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් පලකළ සේනාරත්න මාරපනගේ හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ වලින් රජයේ නිල ස්ථාවරය නියෝජනය නොවන බව අවධාරණය කළේය.

 

මාරපනගේ ප්‍රකාශය රවුෆ් හකීම්,ගාමිණී ජයවික්‍රම පෙරේරා හා රවී කරුණානායක ආදී කැබිනට් අමාත්‍යවරුන්ගේද දැඩි දෝශදර්ශණයට ලක්විය.ප්‍රතිචාර දක්වමින් ඔහු පවසා සිටියේ තමන් කිසිදු වැරදි දෙයක් නොකී බවත් නීතිමය පසුබිම පමණක් විස්තර කළ බවත්ය.නිතීපතිවරයාද එම මතයට එකඟ බවද ඔහු පැවසීය.වාතාවරණය උණුසුම් වන බව දැනුණු ජනපති සිරිසේන වැඩිදුර සාකච්ඡා කිරීමට සඳුදා (09) කැබිනට් රැස්වීමක් කැඳවීමට තීරණය කළේය.සාකච්ඡාව අවසන් වන තෙක් නොසිටි අගමැතිවරයා ජනපතිවරයාගේ කණට කර යමක් කියා පිටව ගිය අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් විවිධ අදහස් පලකළද පසුව අනාවරණය වූයේ ඔහු එසේ ගියේ එදින සවස්වරුවේ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මධ්‍ය කාලීන් ආර්ථික මූලෝපායන් පිළිඹඳ යෝජනාවලියේ පාර්ලිමෙන්තු කතාවට සූදානම් වීමට බවය.

 

සිකුරාදා පැවති රජයේ පාර්ලිමෙන්තු කණ්ඩායම් හමුවේදීද නැවත වරක් අවන්ගාඩ් සිදුවීම සාකච්ඡාවයට ගැනිණ.එහිදී ලියකියවිලි කිහිපයක් ඉදිරිපත් කළ වරාය ඇමති අර්ජුන රණතුංග මහතා එම ලියවිලි ඇවන්ගාඩ් සමාගම ව්‍යාජ ලෙස සකස් කර තිබෙන ඒවායැයි පැවසීය.නමුත් ඒවායේ අන්තර්ගතය ගැන ඔහු පැහැදිලි කිරීමක් සිදුකළේ නැත.රණවක හා සේනාරත්න විවේචනාත්මකව අදහස් දැක්වීය.නමුත් නැවත වරක් තමන් ආරක්ෂා කරගනිමින් පිළිතුරු දුන් මාරපන පවසා සිටියේ තමන් නීතිමය කරුණු පැහැදිලි කළ බවයි.තමන් දේශපාලඥයෙක් නොවන බවත් එනිසාම දේශපාලන වාසිතකා කතාසිදුකරන ආකාරය ගැන නොදන්නා බවත් ඔහු පැවසීය.

 

‘‘ඇවන්ගාඩ් සමාගම ගැනයි ඊට සම්බන්ධ තවත් සමාගම් ගැනයි පරීක්ෂන පැවැත්වෙමින් තියෙද්දී ඒවායේ කිසිම වැරදි දෙයක් වෙලා නැහැ කියලා සහතික දෙන්න යන එකෙන් වෙන්නේ අපි ජනතාවට දුන්නු පොරොන්දුව හෑල්ලුවට ලක්වීමක්.එහෙම දේවල් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.මහ බැංකු ගැටලුව නොවුනානම් අපිට ලෙහෙසියෙන්ම තවත් ඡන්ද ලක්ෂ 3 ක් විතර ගන්න ඉඩ තිබුණා.ජනපතිවරයා හා අගමැතිවරයා දැනගත යුතුයි මේ විදිහට කටයුතු ප්‍රමාද කරද්දී, රජයේම අය කවුරුවත් ගැන හිතන්නේ නැතිව එයාලාගේම අදහස් පවසද්දී දේශපාලනමය වශයෙන් ඉතාම අවසිසහගත තත්ත්වයක් ඇතිවෙන්නේ කියලා.‘‘

සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වූ රණවක කීය.

 

‘‘අපි මාරපනට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න කටයුතු කරනවා.දැනටමත් අපේ නීතිඥයින් ඒ කටයුතු ආරම්භ කරලයි තියෙන්නේ.‘‘ අප හා සම්බන්ධවූ අනුර කුමාර දිසානායක පැවසීය.

 

පසුගිය මසදී ශ්‍රීලංකා නාවික හමුදාව ඇවන්ගාඩ් සමාගම යටතේ තිබූ තවත් නෞකාවක් වැටළීමත් තමග අවන්ගාඩ් පරීක්ෂණ වලට නව පණක් ලැබිණ.පහත දැක්වෙන්නේ දකුණු නාවික කලාපය භාර කොමදෝරු එන්.හීනටිගල මහතා වරාය පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සංක්ෂිප්ත සටහනකි.ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ කොමාන්ඩර් ජේ.ඒ.පී.ජයසිංහ සහ නීතිඥ අසංග කරුණාරත්න යන මහත්වරුන් ඉදිරියේය.

 

‘‘ඔක්තෝබර් 05 වැනිදා පැය 1645 ට මවෙත දැනුම්දෙනු ලැබූයේ එයිඑම්ඕ 8107036 අංක දරන ඇවන්ගාඩ් වෙළඳ නෞකාව ගාලු වරාය අසළට පැමිණ තිබෙන බවත් එය ඇමතීමට තැත් කළද ප්‍රතිචාර නොදක්වන බවත්ය.නාවික හමුදා මූලස්ථානයේ මෙහෙයුම් ඒකකය මේ සම්බන්ධයෙන් වහාම දැනුම්වත් කෙරිණ.එය සහතික කළේ මාය.වැඩිදුර විස්තර දැනගැනීමට ගාලු වරායේ නියෝජ්‍ය කලමණාකරු ඩී.එච්.එම්.සූජීව මහතා හා සම්බන්ධවූ විට ඔහු කියා සිටියේ නෞකාවේ සිටින මාර්ෂල්වරුන් පිරිසකට වරායේ ඉම කොටසට ගොඩබැසීමට අවසර දෙන ලෙස කෙරුණු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බවයි.අන්තර්ජාතික නෞකා හා වරාය ආරක්ෂාව භාර සම්බන්ධීකරණ නිලධාරියාවද දැනුම්වත් කිරීමට කටයුතු කළ බවත් ඔහු කියා සිටියේය.‘‘

 

‘‘මල්ෂිප් සිලෝන් සමාගමට අවි සපයන ඒජන්තවරයෙක් නෞකාවේ සිටි එම සමාගමේ ආරක්ෂක නිලධරයින් තිදෙනෙක් ඔවුන්ගේ අවිත් සමග වරායේ ඉම කොටසේදී භාරගැනීමට අවසරය ඉල්ලා තිබිණ.මෙම අවසරය ඉල්ලා තිබුණේ වරායේ නියෝජ්‍ය මාස්ටර්, කැප්ටන් සුජීව හරහාය.නෞකාවේ ඊළඟ නැවතුම්පල ලෙස සඳහන්ව තිබූයේ කොළමයි. (අදාළ ලියකියවිලි ඉදිරිපත් කරයි).මේ අවස්ථාව වන විට කුඩා නාවික යාත්‍රා වන ගෝල් එක්ස්ප්‍රස් හා කොමාන්ඩර් සෙවන් ඇවන්ගාඩ් නෞකාවේ සිටි මාර්ෂල්වරුන් ගොඩබිමට ගෙන ඒමට ඒ වෙත යාමට සූදානම් කර තිබෙනු එම කලාපය නිරීක්ෂණයේ යෙදී සිටි නාවික හමුදා සාමාජිකයින්ට හැකිවිය.නමුත් එම යාත්‍රා එකක්වත් ඇවන්ගාඩ් නෞකාව බලා යාත්‍රා කළේ නැත.ස්වයංක්‍රීයව සටහන් වන නාවික යාත්‍රා ගමනාගමනයන් අනුව මෙම නෞකාව ශ්‍රීලංකාවේ ලියාපදිංචි කර තිබුණක් වූ අතර එය අවසන් වරට නැංගුරම් ලා තිබුණේ සුඩානයේය.කොළඹ එහි ඊළග ගමනාන්තය ලෙස සඳහන්ව තිබිණ.නෞකාව ඔක්තෝබර් මස 5 වැනිදා ගාලු වරාය වෙත ළගාවූවත් එය රතු මුහුදු කලාපයෙන් පිටත්ව තිබෙන්නේ සැප්තැම්බර් 21 වැනිදාය.(නෞකාවේ ගමන්මාර්ගය ගැන ලියකියවිලි ඉදිරිපත් කරයි).‘‘

 

‘‘ඔක්තෝබර් මස 5 වැනිදා පැය1730 ට මගේ උපදෙස් පිට නාවික හමුදා විමර්ෂක යාත්‍රා දෙකක් කොළඹ සිට ගාලු වරාය බලා පිටත්විය.ඒ වන විට නෞකාව ගමන් කරමින් තිබුණේ ගිණිකොණ දෙසටය.නෞකාවේ සිටි මාර්ශල්වරුන් භාරගැනීම වරායෙන් ප්‍රතික්ෂේප කර තිබුණු නිසා වැඩි සූදානමට මම ක්ෂණික ප්‍රහාරක යාත්‍රාවක්ද සූදානම් කිරීමට කටයුතු කළෙමි.‘‘

 

‘‘නාවික හමුදා මූලස්ථානය ඇවන්ගාඩ් සමාගමේ වෙළද නෞකා මෙහෙයුම් කටයුතු භාර ප්‍රධාන විධායක නිලධරයා ඇමතූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ ඇවන්ගාඩ් නෞකාව පැමිණ ඇත්තේ අලුත් කාර්යමණ්ඩලයක් නෞකාවට ලබාගැනීමට බවයි.මේ තොරතුරු දැනගන්නා විට වේලාව පැය 1910 පමණ විය.නියමිත කාලයට පෙර පැමිණ තිබෙන බැවින් වරායට ඇතුල්වීමේ අවසරය ලබාගැනීමට ඔක්තෝබර් 6 වැනිදා උදෑසන වන තෙක් සිටීමටද තීරණය විය.නෞකාවේ අවි තිබෙන්නේදැයි ඇවන්ගාඩ් විධායක නිලධාරී තැනගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු ඊට පිළිතුරු දී තිබුණේ නෞකාවේ අවි හෝ උණ්ඩ හෝ කිසිවක් නොමැත යැයි කියමිනි.‘‘

 

‘‘පැය 2000 වන විට ඇවන්ගාඩ් නෞකාව හික්කඩුව ආසන්න මුහුදු තීරයේ නැංගුරම් දැමීය.නාවික හමුදාව නෞකාවේ කාර්යමණ්ඩලය හා සම්බන්ධවූ අවස්ථාවේදී එහි කපිතන් තැන යුක්රේන ජාතිකයෙක් බව දැනගැනීමට හැකිවුනි.උපදෙස් ලැබෙන තෙක් නැංගුරම්ලා සිටින බවද ඔවුහු කීහ.නෞකාවේ ප්‍රවාහනය කෙරෙන භාණ්ඩ ගැන ඔවුහු තොරතුරු ලබානුදුන්හ.විමර්ෂණය කිරීම පහසු වන සේ නෞකාව වෙනත් ස්ථානයක නැංගුරම් ලන ලෙස කපිතන් තැනට උපදෙස් දුන්නද ඔහු එය ප්‍රතික්ෂේප කළේ නෞකාවේ ප්‍රමාණවත් කරම් ඉන්ධන නොමැති බව කියමිනි.නමුත් නෞකාවේ ගමනාන්තය දැක්වුනේ කොළඹ ලෙසය.මේ නිසාවෙන්ම නෞකාවේ ඉන්ධන නැතැයි කීම පිළිගත නොහැක්කක් වුනි.‘‘

 

‘‘ඔවුන් කුමක් කරන්නට සැරසෙන්නේදැයි පැහැදිලි ප්‍රකාශයක් සිදුනොකළ නිසාම මගේ අණ පරිදි ලුතිනන් වීරසිංහගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් ඔක්තෝබර් 6 වැනිදා පැය 0720 ට නෞකාවට ගොඩනැගුණහ. ඇවන්ගාඩ් විධායක නිලධරයාගේ ප්‍රකාශය සාවද්‍ය බව පසක් කරමින් එහි තිබී ඔවුන්ට සමුවූයේ අවි හා උණ්ඩ තොගයකි.(සමුවූ අවි හා උණ්ඩ වල තොරතුරු ඉදිරිපත් කරයි) වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නාවික හමුදා රැකවල් යටතේ නෞකාව ගාලු වරායට ගෙනඑනු ලැබීය.අවි හා උණ්ඩ රැගත් මෙම නෞකාව ඒ වන විට දින 15 කට ආසන්න කාලයක් ශ්‍රීලංකා නාවික හමුදාවට නොදන්වා ඉන්දියා සාගරයේ යාත්‍රා කර තිබුණි.නාවික හමුදා යාත්‍රා ගැඹුරු මුහුදු කලාපයේ හා දෙවුන්දර ආසන්නයේ සංචාරය කරන බැවින් මෙම නෞකාව ගැන නාවික හමුදාව දැනුම්වත් කිරීම ඇවන්ගාඩ් සමාගමේ වගකීම විය යුතුව තිබුණි.‘‘

 

‘‘ගිනිඅවි 816 ක් හා උණ්ඩ 202674 ක් රතුමුහුදේ සිට ගාලු වරාය දක්වා මෙම නෞකාවේ ප්‍රවාහනය කෙරන බව ඇවන්ගාඩ් සමාගම ශ්‍රීලංකා නාවික හමුදාවට දන්වා තිබුණේ නැත.මල්ෂිප් සමාගම ඉදිරිපත් කර තිබූ අයදුම්පතෙහි නෞකාවේ කපිතන් ලෙස සඳහන්වූයේ එම්.ඩී.ඩී.එස්.නානායක්කාර නම් පුද්ගලයෙකි.නමුත් මූලික පරීක්ෂණ වලින් එහි සිටි කපිතන්ගේ නම ගෙනඩි ගැරිලොව් බවත් ඔහු යුක්රේන ජාතිකයෙක් බවත් අනාවරණය විය.‘‘

 

‘‘නාවික හමුදා සාමාජිකයින් නෞකාවට නැගී සිටි අතරවාරයේ ආරක්ෂක අමාත්‍යංශයෙන් එවූ ලිපියක් නාවික හමුදා මූළස්ථානයට ලැබිණ.නෞකාවට ගාලු වරායට ඇතුල්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇවන්ගාඩ් සමාගම ආරක්ෂක අමාත්‍යංශයට යවා තිබූ අයදුම්පතක පිටපතක්ද එම ලිපියට අමුණා තිබිණ.ඔක්තෝබර් මස 5 වැනිදා අවසන් පැය කිහිපයක ගෙවෙනා තෙක්ම නෞකාවේ ගමනාන්තය ලෙස සඳහන්ව තිබූයේ කොළඹයි.ආරක්ෂක අමාත්‍යංශය නෞකාවට ගාලු වරායට ඇතුල්වීමට අවසර දී ඇති බව නෞකා ගමනාගමනයන් සම්බන්ධ ස්වයංක්‍රීය පද්දතියෙන්ද හඳුනාගත හැකිවිය.නමුත් ලිපියේ දැක්වුනු අයුරින් එම අවසරය ලැබී තිබුණේ මාර්ෂල්වරුන් තිදෙනෙක් ට හා අවි 3 කට වරායට ඇතුල්වීමටය.එම අවි වල අංක හා මාර්ෂල්වරුන් තිදෙනාගේ ගමන් බලපත්‍රවල අංකයන්ද එම ලිපියේ සටහන්ව තිබුණි.අවි තොගයක් ගෙන එන බවට කිසිඳු සඳහනක් එහි නොවීය.‘‘

 

‘‘නිවැරදි ක්‍රියාපටිපාටිය වන්නේ නාවික හමුදාපතිවරයාටත් මෙම ලිපියේ පිටපතක් ලැබෙන්නට සැළැස්වීම වුවත් එවැන්නක්ද සිදුව නොතිබුණි.නාවික හමුදා පරීක්ෂණ වලින් දැනට අනාවරණයව තිබෙන ආකාරයට ඇවන්ගාඩ් නෞකාවට ශ්‍රීලංකාවේ වරායකට ඇතුල්වීමට අවසාන මොහොත දක්වාම අවසරයක් තිබී නොමැත.එනිසාම එහි ගමන සිදුව ඇත්තේ නීති විරෝධී අයුරිනි.‘‘

 

‘‘නෞකාව හා ශ්‍රීලංකා ෂිපින්ග් කෝර්පරේෂන් සමාගම අතර පණිවිඩ හුවමාරුවක් සිදුව තිබෙන බවද නාවික හමුදා පරීක්ෂණ වලින් සොයාගැනීමට හැකිව ඇත.වාර්තා වලට අනුව නම් නෞකාව කොතැන නැංගුරම්ලා තැබෙනු ඇත්දැයි කපිතැන් තැන දැනසිට නැත.නමුත් ආරක්ෂක අමාත්‍යංශය ඔක්තෝබර් 6 වැනිදා යවා තිබෙන ලිපියට අනුව නෞකාවට නැංගුරම්ලන ලෙස උපදෙස් ලැබී තිබෙන්නේ ගාලු වරායේය.රක්නා ලංකා ආයතනයටද මේ පිළිඹදව දැනුම්දීමක් සිදුකර ඇතත් නාවික හමුදා මූලස්ථානයට ලිපියේ පිටපතක් හෝ එවා නොමැත.‘‘

 

‘‘නෞකාවේ අවි නැතැයි කීමෙන් මොවුන් සිදුකරන්නට උත්සාහ කළේ නාවික හමුදාවේ පරීක්ෂණයට ලක්වීමකින් තොරව නෞකාව වරායට ගෙන ඒමටය.තිබුණේ අන්තර්ජාතික මුහුදු සීමාවේ හෙයින් එයට ගොඩවැදීමට නාවික හමුදාවට අයිතියක් නැති බවද පදනම් විරහිත තර්කයකි.කුමන කලාපයේ පැවතියත් ශ්‍රීලංකා ධජය යටතේ යාත්‍රා කරන්නේ නම් එවන් නෞකාවක් පිළිඹද සොයාබැලීමට නාවික හමුදාවේ වගකීමයි.සැගවීමට කිසිදු දෙයක් නොතිබුණානම් නෞකාවේ ප්‍රවාහනය කෙරුණු භාණ්ඩ ගැන නාවික හමුදාව හා වරාය අධිකාරිය දැනුම්වත් කිරීමක් සිදුවිය යුතුව තිබුණි.මේ හේතුව නිසාම යාත්‍රාවේ කටයුතු සැකසහිතය.‘‘

 

‘‘තිබුණු ගිනි අවි 819 න් 59 ක හිමිකාරීත්වය හඳුනාගැනීමට හැකියාවක් නොතිබුණි.ඒවායේ අංක මකාදමා හෝ ව්‍යාජ ලෙස වෙනස් කර තිබූ අයුරු හඳුනාගත හැකිවිය.මෙවන් තත්ත්වයක නෞකාවට ශ්‍රීලංකාවට ඇතුල්වීමට ආරක්ෂක අමාත්‍යංශයේද අවසරය ලැබීම බරපතල තත්ත්වයකි.මෙම අවි කවුරුන් දුන්නේද,කොහෙන් ලැබුනේද යන්න දන්නා කිසිවෙක් නැත.මේ පිළිඹද සොයාබැලීම පොලිසියේ වගකීමකි.‘‘

 

ප්‍රශ්නය  - ඔබ ගත් පළමු පියවර කුමක්ද?

පිළිතුර - මම මෙහෙයුම් කාමරයට ගිහිල්ලා මේ ගැන හොයලා බැලුවා.නාවික හමුදා මූළස්ථානයක් දැනුම්වත් කළා.

ප්‍රශ්නය - මොනවාද ඔබට ලැබුණු උපදෙස්?

මට දැනුම්දුන්නා නෞකාවේ හැසිරීම ගැන නිරීක්ෂණය කරන ලෙස.කොළඹින් නන්දිමිත්‍ර ක්ෂණික ප්‍රහාරක යාත්‍රාව ගාල්ල බලා එවනු ලැබුවා.මම ලුතිනන් වීරසිංහ සහ කණ්ඩායමක් නෞකාවට වෙත යැව්වා.

ප්‍රශ්නය - කවුද මුලින්ම නෞකාව විමර්ෂණය කළේ?

පිළිතුර - ලුතින්න වීරසිංහ හා ඔහුගේ කණ්ඩායම.ඔවුන් මා සමග දුරකතන ඔස්සේ සම්බන්ධ වෙමින් උපදෙස් ලබාගත්තා.

ප්‍රශ්නය - වරාය කටයුතු භාර ප්‍රධාන නිලධාරියා ඔබට මේ ගැන දැනුම්දුන්නාද?

පිළිතුර - නැහැ.මම ඇහුවහම තමයි ඒ තොරතුරු ලබාදුන්නේ.

ප්‍රශ්නය - මේ නෞකාව නිදහස් කරනන්නය කියලා ඔබට උපදෙස් ලැබුණාද?

පිළිතුර - ඔක්තෝබර් 6 වැනිදා ආරක්ෂක ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් ලැබුණා නාවික හමුදා මූලස්ථානයට.ඒකෙ තිබුනේ නෞකාවට ගාලු වරායට ඇතුල්වෙන්න උපකාරී වෙන්න කියලා.

ප්‍රශ්නය - මොනවාද ඔබට පරීක්ෂණ කටයුතු වලින් සොයාගන්න පුලුවන් වුනු තොරතුරු?

පිළිතුර - අවි නැහැ කියලා කියපු නැවේ අවි තිබුණා.නාවික හමුදාවට මේ වගක් දැනුම්දීලා තිබුණේ නැහැ.ආරක්ෂක ලේකම්වරයා එවපු ලිපිය ගැනත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.

ප්‍රශ්නය - මොනවාද මේ දක්වා කරලා තියෙන්නේ?

පිළිතුර - පොලිසියට භාරදීලා තියෙනවා පරීක්ෂණ කටයුතු.

ප්‍රශ්නය - කපිතන්ට අමතරව නැවේ කී දෙනෙක් හිටියද?

පිළිතුර - තුන්දෙනෙක් හිටියා.( මේ එක්කම ඇවන්ගාඩ් සමාගම අවි ගෙනඒමට අවසරය ඉල්ලා ආරක්ෂක අමාත්‍යංශයට යවපු අයදුම්පතේ පිටපතකුත් මම ලබාදීලා තිබෙනවා.එහි තිබෙන කරුණු වල ගැලපීමක් නැහැ.)

 

‘‘වාර්තා වලට අනුව නෞකාව ගමන් ආරම්භ කර තිබෙනුයේ සැප්තැම්බර් 21 වැනිදා.අයදුම්පතක් භාරදී තිබෙන්නේ සැප්තැම්බර් 24 වැනිදා.ආරක්ෂක අමාත්‍යංශය එවූ ලිපිය ලැබුණේ ඔක්තෝබර් 6 වැනිදා.නාවික හමුදාව මෙම නෞකාව තම භාරයට ගත්තේ එයින් පසු.එයින් දැක්වෙන්නේ නෞකාවට ගාලු වරායට ඇතුල්වීමට අවසර දෙන ලෙස.නමුත් සමාගම සැප්තැම්බර් 24 වැනිදා භාරදී තිබෙන අයදුම්පත ගැන නාවික හමුදාව දැනුම්වත්ව නොසිටීම ගැටලුකාරීයි.සියලු වාර්තා වල දැක්වෙන පරිදි නෞකාවේ ගමනාන්තය ලෙස සඳහන් වන්නේ කොළඹ.එයද ගැටලුවක්.ආරක්ෂක අමාත්‍යංශය ඔක්තෝබර් 6 වැනිදා එවූ ලිපිය ඇතුලු මේ සිදුවීම සම්බන්ධ සියලු කරුණු ආවරණය වන සේ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.‘‘

 

මේ තත්ත්වය හමුවේ ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුර පරීක්ෂණ කටයුතු පොලිසියට භාරදී ඇත.පොලිස්පතිවරයා එම කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට යොමුකර තිබේ.

 

ඉන්දියා සාගර කලාපයේ ක්‍රියාත්මක පෞද්ගලික මුහුදු ආරක්ෂක සමාගම් නියමිත ක්‍රියාපටිපාටියක් යටතේ යාමනය විය යුතු බවත් ඒවායේ කටයුතු නිසි පරිදි අධීක්ෂණය විය යුතු බවත් ඉන්දියාවේ මෑතකදී පැවැත්වුනු ශ්‍රීලංකා ඉන්දියා ආරක්ෂක සමුළුවේදී අවධාරණය කෙරිණ.ශ්‍රීලංකාවද එය අනුමත කළේය.

 

හදිසියේවත් නෞකාවේ තිබූ අවි වැරදි අතකට පත්වූවානම් සිදුවන්නට හැකිවූදේ සම්බන්ධයෙන්ද නාවික හමුදාව ආරක්ෂක අමාත්‍යංශය දැනුම්වත් කර තිබේ.ඔවුන්ට අනුව ඇතැම් අවි කොතැනින් ලබාගත්තේදැයි සොයාගැනීමට පවා හැකියාවක් නොමැත.

 

අද  (09) පැවැත්වෙන විශේෂ කැබිනට් හමුව රජයට අතිශයින් තීරණාත්මකය.වංචාව හා දූෂණ මර්දන කටයුතු අනාගතයේ කුමන ආකාරයකින් ක්‍රියාත්මක වනු ඇතිදැයි මෙම කැබිනට් හමුවෙන් පසු දැනගැනීමට හැකිවනු ඇත.මැතිවරණයෙන් පසු නව රජය හමුවේ තිබෙන විශාලම අභියෝගය මෙය බව පැවසීමේ වරදක් නැත.

 

 

 

 

 

 



අදහස් (0)

‘‘ ඇවන්ගාඩ් නැව හොර පාරක යන්න හදලා ‘‘

අවන්ත Sunday, 08 November 2015 01:38 PM

සත්‍යය කවදා හෝ ජයගනු ඇත (නි)

:       0       0

අසංක Sunday, 08 November 2015 01:41 PM

වසර 25ක් මා නාවික කපිතාන්වරයෙකු වශයෙන් ලොව පුරා සේවය කර ඇතත් මෙම නෞකාව හැසිරී ඇති ආකාරය ඉතාමත් සැකසහිතයි (නි)

:       0       0

දිලිප් Sunday, 08 November 2015 01:47 PM

තව වැඩිකල් යන්න කලින් ඇත්ත දැනගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

විපුල Sunday, 08 November 2015 02:31 PM

වහාම මේ සම්බන්ධ සියළු වැරදිකරුවන්ට දඬුවම් දියයුතුය. (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 08 November 2015 02:56 PM

අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

මහසෙන් Sunday, 08 November 2015 05:54 PM

අපිට දැන් මේ ගැන ඇත්තේ කුතුහලයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4446 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 5 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 22 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 58 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 109 0


මිරිහානේ පුද්ගල ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 22 275 0

මිරිහාන පොලිස් පොලිස් වසමේ උඩහමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site