IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කොටියා යළි නැඟිටීම අවාසනාවක්

ජෙයකුමාරි බාලේන්ද්‍ර අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පැන නැගුණි. ශ්‍රී ලංකා රජය දැඩි සේ විවේචනය කැරිණි. ජෙයකුමාරි බාලේන්ද්‍ර හා ඇයගේ දියණිය විවිධාකාරයේ විරෝධතා ව්‍යාපාරයන්හි හොඳින් දැකගත හැකි වුණු මුහුණු දෙකක් වීම නිසාවෙන්ම ඔවුන් දෙදෙන සම්බන්ධයෙන් උද්ගතවූ තත්ත්වය බරපතල ස්වරූපයක් ගත්තේය. මානව හිමිකම්වල ආරක්ෂාව සඳහා පෙනී සිටින්නවුන් බියගැන්වීමට හා නිහඩ කරවීමට මානව හිමිකම් ක්‍රියාධරකයින් දඩයම් කිරීමක නිරතව සිටින්නේයැයි රජයට චෝදනා නැගුණි.එල්.ටී.ටී.ටී.යට යළි පණ දෙන්නට උත්සාහ කළවුන් හා ජෙයකුමාරි හවුලේ කටයුතු කර ඇතැයි සැක කෙරෙන නිසා ඇය  අත්අඩංගුවට ගත්තේයැයි රජය කරන ප්‍රකාශ බැහැර කැරුණේ ‘මනස්ගාත‘ යැයි දක්වමිනි.

ජෙයකුමාරි අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් ගතවෙද්දී එම පුවත අන්තර්ජාතික තලයටත් ගොස් හමාරය.දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිදරන් ජෙයකුමාරි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය දැනුම්වත් කිරීමට කටයුතු කළාය. බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ජෙයකුමාරි හා ඇයගේ දියණිය වහා නිදහස් කරන්නැයි ඉල්ලා බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයය ඉදිරියේ විරෝධතාවක් පැවැත්වූහ. විරෝධතා පාගමන් වලට සහභාගී වීමෙන් පසු දැන් තමන් පසුපස කිසියම් පිරිසක් හඹා එමින් සිටින්නේයැයි පෙර සිදුකෙරුණු සම්මුඛ සාක්ච්ඡාවකදී ජෙයකුමාරි කරන ප්‍රකාශයක් අන්තර්ගත කෙටි වීඩියෝ පටයක් විකාශය කිරීමට බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව කටයුතු කළේය.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය හා දෙමළ ජාතික ජනතා පෙරමුණ, නොඑසේ නම් රයිගමයයි ගම්පොළයයි‘දෙපළ, එක්ව මාර්තු 15 වැනිදා වව්නියාවේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය. මෙයට පුද්ගලයින් 50 දෙනෙකු පමණ සහභාගී වී සිටි අතර ඔවුන් අතරින් අඩකටත් වඩා අතුරුදන්ව සිටින්නවුන්ගේ පවුල් වල සාමාජිකයෝ වූහ.දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන සිවසක්ති ආනන්දන්, විනෝ නොහරාදලින්ගම්, මෙන්ම උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් වන ආචාර්ය සත්‍යලිංගම්, දෙනීස්වරන් හා දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී ආචාර්ය ජී.ගුණසීලන් වැන්නවුන්ද විරෝධතාවට සහභාගීවී සිටියෝය.සහභාගීවී සිටි වෙනත් පුද්ගලයින් අතර වැදගත් තැනක් ගත්තේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු වන සෙල්වරාජා ගජේන්ද්‍රන් හා ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරියෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දුය.

ජෙයකුමාරි බාලේන්ද්‍ර අත්අඩංගුවට ගැනීමෙන් පසු උතුරේ තවත් බොහෝ අත්අඩංගුවට ගැනීම් එකක් පසු පස එකක් වාර්තා වන්නට විය. පොලිස් ත්‍රස්ත විරෝධී ඒකකයේ අපරාධ පරීක්ෂකයින් ජෙයකුමාරිගෙන් මෙන්ම පලෙයිහිදී පොස්ටර අලවමින් සිටිය දී හිදී අත්අඩංගුවට ගත්   දෙදෙනාගෙන් ලද තොරතුරු අනුව එම අත්අඩංගුවට ගැනීම් සිදුකළේයැයි සිතිය හැකයි. පැය 24 ක් ගතවූ තැන කාන්තාවන් මෙන්ම පිරිමින් දුසිම් ගණනක් අත්අඩංගුවට ගනු ලැබ තිබුණි.මොවුන් අතර සිටි මාදනී රවීන්ද්‍රන් නම් කාන්තාවගේ නවාතැනේ තිබී බිම්බෝම්බ පුරවා තිබූ බැරලයක්, බෝම්බ, අත්බෝම්බ, උණ්ඩ හා ලෝහ පිරික්සුම් උපකරණයක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත් විය. මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ තොරතුරු දෙමළ මාධ්‍ය වලට ලැබීමත් සමග ඔවුන් එය සුපුරුදු පරිදි ලූණු ඇඹුල් දමා රසකොට බෙදා හැරියේ රජය මානව හිමිකම් ක්‍රියාධරයින් මර්දනය කිරීමට කටයුතු කරමින් සිටිනවායැයි කියමිනි.

කිළිනොච්චිය

රජය මානව හිමිකම් ක්‍රියාධරයින් මර්දනය කරමින් සිටිනවායැයි නැගෙන්නට වූ චෝදනා වලට එක්වනම නව පණක් ලැබුණේ මාර්තු  16 දාය. එදින ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයින් දෙදෙනෙක් කිළිනොච්චියේදී අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන්ගෙන් එක් අයෙක් සිංහල ජාතික කතෝලිකයෙක් වූ අතර අනෙක් පුද්ගලයා දෙමළ හා සිංහල මාපිය දෙපළකට දාව උපත ලැබූ දෙමළ පූජකයෙක් විය. මොවුන් දෙදෙනාගේ නම් පිළිවෙලින් කුරුකුලසූරිය රුක්ෂාන් ප්‍රනාන්දු හා ප්‍රවීන් මහේසන් සෙල්ලතුරෙයි පියතුමා වූ අතර මොවුන් දෙපළ ජනතාව වඩාත් හොදින් හදුනාගෙන සිටියේ රුකී හා ප්‍රවීන් පියතුමා ලෙසය.වාර්තා වන ආකාරයට මොවුන් දෙදෙන අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ධර්මපුරම් ප්‍රදේශයේ තොරතුරු විමසා බැලීමේ මෙහෙයුමක යෙදී සිටියදීය. රුකී ප්‍රනාන්දු කොළඹ පිහිටි zzඉන්ෆෝර්ම්zz මානව හිමිකම් වාර්තා මධ්‍යස්ථානයේ මානව හිමිකම් උපදේශකයෙකු ලෙස සේවය කරන අතර ප්‍රවීන් මහේසන් පියතුමා යාපනයේ සාමය හා සංහිදියාව සදහා වන ආයතනයේ අධ්‍යක්ෂක ධූරය හොබවා දැන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරයන් හි අමයිත්තිපුරන් පල්ලියේ මීසම් පාලක පියතුමා ලෙස සේවය කරමින් සිටී.

දෙදෙනා කිළිනොච්චියේ තොරතුරු විමසා බැලීමේ මෙහෙයුමක නිරතව සිට ඇති අතර මාදනී රවීන්ද්‍රන්ගේ හා මියගිය පොන්නයියා  කජීබන් හෙවත් ගෝබිගේ මව වන රාසාමාලාර් සෙල්වනායගම්ගේ නිවෙස් වලට ගොස් ඇතැයිද වාර්තා වේ.ආරක්ෂක අංශ මොවුන් දෙදෙන ගැන සැක උපුදවා ඇත්තේ කිළිනොච්චියේ ධර්මපුරම් හි පිහිටි ජෙයකුමාරි බාලේන්ද්‍රගේ නිවසට ඇතුළුවීමට උත්සාහ කිරීමේදීය. ත්‍රස්ත විරෝධී පණත ප්‍රකාරව වහාම දෙපළ අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ කිළනොච්චියේදී හා වව්නියාවේදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් පසුව ඔවුහු කොළඹට  ගෙන ඒමට කටයුතු කළෝය.

මෙම දෙදෙනා අත්අඩංගුවට ගැනීම,විශේෂයෙන් රුකී ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට මානව හිමිකම් ක්‍රියාධරයින් අතර දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති කළේය.දෙදෙනා නිදහස් කිරීම වෙනුවෙන් පෙත්සම් කිහිපයක්ම සකස් කෙරුණි.මේ ලියන මමද ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන සැළකිලිමත් පුද්ගලයින් කණ්ඩායමක් සකස් කළ එවන් පෙත්සමකට මගේ අත්සනද තබා ඇත්තෙක්මි. අන්තර්ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක වූ විරෝධතා ව්‍යාපාරයක්ද ආරම්භ විය. ජෙයකුමාර් බාලේන්ද්‍රා, රුකී ප්‍රනාන්දු හා ප්‍රවීන් මහේසන් පියතුමා යන තිදෙනාම අත්අඩංගුවට ගත්තේ කිළිනොච්චියේදී හෙයින් 'කිළිනොච්චි තිදෙනා නිදහස් කරන්නැ'යි විරෝධතා ව්‍යාපාරයේ තේමා ප්‍රකාශය විය.

විරෝධතා ව්‍යාපාරය දිගින් දිගටම සිදුකිරීමේ අවශ්‍යතාවක් පැන නොනැගි අතර මාර්තු 19 වැනිදා මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු දෙදෙනාම තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යවුවහොත් නැවත කැදවෙන බව දැනුම්දී නිදහස් කරනු ලැබූහ.මෙය මානව හිමිකම් සංවිධානයන් තමන්ගේ විරෝධතාවේ ප්‍රතිඵලයක් යැයි කියමින් උදම් අනන්නට ගත්තද ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ මොවුන් දෙපළ අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටියේ සැකය මත පමණක් පදනම්ව බවයි. සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී තමන් තොරතුරු විමසා බැලීමේ මෙහෙයුමක නිරතව සිටියේයැයි පිළිගත් බවත් ආරක්ෂක අංශ සදහන් කළේය.කෙසේවුවත් රුකී ප්‍රනාන්දුට හා ප්‍රවීන් මහේසන් පියතුමාට සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයන් නිකුත් කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමටද ආරක්ෂක අංශ කටයුතු කළේය. නිදහස් වීමෙන් පසු රුකී ප්‍රනාන්දු සමග බීබීසි හා සීඒන්එන් වැනි අන්තර්ජාතික මාධ්‍ය ආයතන පැවැත්වූ සම්මුඛ සාකච්ඡා වලදී ඔහු ආරක්ෂක අංශ අත්අඩංගුවේ ගතකළ කාලය කෙබඳු  වේදැයි විමසා සිටි අතර ආරක්ෂක අංශ ලබාගෙන තිබූ උසාවි නියෝගය නිසා ඊට පිළිතුරු  දීම ඔහුට තහනම් විය.

මර්දනය කිරීම

රජය මානව හිමිකම් ක්‍රියාකාරීන් ඉලක්ක කරමින් සිටින්නේයැයි පවසමින්,එල්.ටී.ටී.ටී ය නැවත නැඟිටීමක් සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන කරුණු උපහාසයෙන් යුතුව බැහැර කරමින් තිබුණු වාතාවරණයක ආරක්ෂක අංශ නොසැළී ඉදිරියටම ගමන් කළේය. එල්.ටී.ටී.යේ නැවත නැඟිටීමක් යනු රට නැවතත් ආගාධයකට තල්ලූ කිරීමක් වන බවත් එය සියලූදෙනාටම විශේෂයෙන් දෙමළ ජනතාවට වඩාත් හානිකර වනු ඇති බවත් ඔවුහු හඳුනාගෙන සිටියහ.මෙනිසා විවිධ බුද්ධි අංශ  පොලිසිට හා හමුදාව සමග එක්ව මහා පරිමාණයේ මෙහෙයුමක් ආරම්භ කෙළේය. ආරක්ෂක අංශ හා පොලිස් බුද්ධි අංශය එක්ව මෙහෙයුම් සැළසුම් කරද්දී ඒවා ක්‍රියාවට නැංවීමට අවැසි මිනිස් බලය සැපයූයේ හමුදාවයි.එල්.ටී.ටී.යේ නැවත නැඟිටීමක් සම්බන්ධව ආරක්ෂක අංශ අනාවරණය කරගත් තොරතුරු ශ්‍රී ලංකාවට වැදගත් රටවල රාජ්‍ය තාන්ත්‍රිකමය නිලධාරීන් අතට පත් කිරීමටත් කටයුතු කැරුණු බව විශේෂයෙන් සදහන් කළ යුතුය.

මර්දනය කිරීම් සදහා වන වැඩසටහන් අතරින් වැදගත් තැනක් ගත්තේ වටලා සිදුකෙරෙන සෝදිසි මෙහෙයුම්ය. ලැඛෙන තොරතුරක් මත කිසියම් ප්‍රදේශයක් වහා සෝදිසි කිරීම මෙහිදී සිදු කැරෙයි. දැනුම්දීමකින් තොරවම එකී ප්‍රදේශයට පැමිණෙන ආරක්ෂක අංශ මුලින්ම කරන්නේ ප්‍රදේශය වට කොට ආරක්ෂක වළල්ලක් පිහිටුවීමයි. අනතුරුව එහි වෙසෙන තරුණ තරුණියන් සියලූදෙනාට තමන්ගේ අනන්‍යතාවය තහවුරු කෙරෙන ලියකියවිලි රැගෙන ආරක්ෂක අංශ වෙත පැමිණෙන්නැයි උපදෙස් නිකුත් කෙරේ. බොහෝ විට ආරක්ෂක අංශ හා තරුණ තරුණියන් අතර හමුව සිදුවන්නේ පිට්ටනියක් හෝ ඒ හා සමාන එළිමහන් විවෘත ස්ථානයකය. ලියකියැවිලි පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ආරක්ෂක අංශ සැකකටයුතු පුද්ගලයින් වේ නම් ඔවුන්  අනෙක් අයගෙන් වෙන් කර ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් වැඩිදුර ප්‍රශ්න කරයි. එම ප්‍රශ්න කිරීමේදී සැක කටයුතු භාවය තවදුරටත් තහවුරු වුවහොත් අදාළ පුද්ගලයා හෝ පුද්ගලයින්  ත්‍රස්ත විමර්ෂණ ඒකකය වෙත භාරදීම සිදුකෙරෙන අතර ඉතිරි සියලූ දෙනා නිදහස් කර හරිනු ලැබේ.මෙම ක්‍රියාදාමය සිදුවන අතරතුරේදී නිවසින් නිවසට ගොස් සිදුකෙරෙන සෝදිසි මෙහෙයුම්ද ක්‍රියාවට නැංවේ.

නැගෙනහිර ප්‍රධාන භූමි භාගය වන වන්නියේ බොහෝ ප්‍රදේශයන්හි මෙවන් වටකර සිදුකෙරෙන සෝදිසි මෙහෙයුම් ක්‍රියාවට නැංවිණි. ඒවායින් වව්නියාව, ඔඩ්ඩුසුඩාන්, විශ්වමඩු, ධර්මපුරම්, පුදුකුඩිරිප්පු  හා කිළිනොච්චිය යන ප්‍රදේශ වලින් අත්අඩංගුවට ගැනීම් කිහිපයක් වාර්තා විය. යාපනය අර්ධද්වීපයේ මේ ආකාරයට නොයෙක් වර වටකර සිදුකරන සෝදිසි මෙහෙයුම් ක්‍රියාවට නැංවීමක් සිදුනොවුණු අතර මෙහෙයුම් ගණනාවක් වෙනුවට එක් මහා පරිමාණ මෙහෙයුමක් සිදුකිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.

මෙම මෙහෙයුම ඇරැඹු‍ණේ වඩුක්කෝඩයි ප්‍රදේශයේය. ගෝබි මේ ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින්නේයැයි ආරක්ෂක අංශ වෙත හෝඩුවාවක් ලැබී තිබුණේය.සිය ගණනක් තරුණ තරුණියන් ඒකරාශී කර ක්‍රීඩාංගනයක් වෙත ගෙන යනු ලැබුණු අතර එහිදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුවිය. නිවසක් පාසා සෝදිසි මෙහෙයුම් කි්‍රයාවට නැංවුණු අතර නිවැසියන්ට අමතරව බාහිර පුද්ගලයින් සිටියේ නම් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළහ.ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන පුද්ගලයින් හඳුනාගැනීමට ග්‍රාම සේවක නිලධරයන්ගේ සහය ලබාගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර ඔවුන්ගේ සහය ඇතිව මන්නාරමෙන් පැමිණ සිටි එවන් එක් පුද්ගලයෙකු හදුනාගැනීමට ආරක්ෂක අංශ වලට හැකිවිය. ඔහු ගෝබි නොවේ. කාන්තන් නම් වූ ඔහු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකි. පසුව සිදුකළ සොයාබැලීම් වලදී හෙළිවූයේ එල්.ටී.ටී.ය නැවත නැඟිටුවීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කාන්තන්, ගෝබි හා සමීපව කටයුතු කර ඇති බවයි. මෝරා අල්ලා ගැනීමට නොහැකි වූවද මෝරා ගැන හොඳින් තොරතුරු දැන සිටි හාල්මැස්සා අල්ලා ගැනීමට හැකිවීම තම ඉදිරි කටයුතු පහසු කරන්නක් ලෙස ආරක්ෂක අංශ සැලැකීය.

ඔඩ්ඩුසුඩාන්

පොන්නයියා සෙල්වනායගම් කජීබන් හෙවත් ගෝබි හා නවරත්නම් නවනීදන් හෙවත් අප්පන්ගේ තොරතුරු ඇතුළත් නව පෝස්ටර සමූහයක් මහා පරිමාණයෙන් ප්‍රදර්ශනය කිරීම හා ඛෙදා හැරීම සිදු විය. මෙය සියලූ දෙනාගේ උනන්දුව හා උද්යෝගය වැඩිදියුණු කිරීමට හේතුවක්ද විය. නමුත් කිසිවෙකුත් අපෙක්ෂා නොකළ පරිදි කඩකප්පල්කාරී ක්‍රියාවක් වාර්තා වූයේ ඔඩ්ඩුසුඩාන්හි මාන්කුලම් සිට මුලතිව් දක්වා දිවෙන මාර්ගය අවට ප්‍රදේශයෙනි. කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගලයින් පිරිසක් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ අලවා තබූ පෝස්ටර ඉරා විනාශ කර දමා තිබුණි.

මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කළ බළධාරීන්ට ප්‍රදේශවාසීහුම තොරතුරු ලබා දුන්නෝය.එම තොරතුරු මත තම පොලිසිය හා හමුදාව එක්ව වටකර සොදිසි කිරීමේ මෙහෙයුමක් ඔඩ්ඩුසුඩාන්හි කූලාමුරිප්පු ගම්මානයේ සිදුකෙළේය. තරුණයෝ සිව් දෙනෙක් සලූජන් (24), කමලදාස් (19), සුරේෂන් (25),  නජීතරන් (25) අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුහු ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානය වෙත ගෙනයනු ලැබූහ. පොලිස්ය  වට කළ ගම්වාසීන් තරුණයින් නිදහස් කරන්නැයි ඉල්ලා කෝලාහාල කරන්නට පටන් ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය. තරුණයින් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පරීක්ෂණ කටයුතු අවසන් කර නිදහස් කරන බවට පොලිසිය ප්‍රකාශ කිරීමෙන් පසු තත්ත්වය සමනය විය.

මේ සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීන් තමන්ගේ වටපිටාව ගැන වඩාත් සෝදිසියෙන් සිටින බවක් දැකගත හැකිවිය.සැක කටයුතු යමක් වේ නම් වහාම  බලධාරීන් දැනුම්වත් කිරීමට ඔවුහු කටයුතු කළෝය.දිනක් බලධාරීන් ලද එවන් එක් තොරතුරකින් කියැවුණේ ගෝබිගේ හැඩහුරුකමට සමාන පුද්ගලයෙකු ඔඩ්ඩුසුඩාන්හි බර වාහන සදහා වූ රථ ගාලක සිටිනු දක්නා ලද බවයි.   සෝදිසි මෙහෙයුමකින් එම රථ ගාලේ ගෝබිට අයත් යැයි හඳුනාගෙන තිබූ ට්‍රක් රථයක්ද ගාල් කර තිබෙනු දැක ගත හැකි විය. වැඩිදුර සෝදිසි මෙහෙයුම්වලින් හෙළිවූයේ අප්පන්ට අයත් යැයි සැකකෙරෙන ත්‍රිරෝද රථයක්ද එහි ගාල් කර තිඛෙන බවයි.සෝදිසියෙන් වාහන දෙකෙහිම ලියාපදිංචි අංක,ආදායම් බලපත්‍රයේ සටහන් විස්තර ආදී තොරතුරු ලබාගෙන ඒවා විමර්ෂණය කළ ආරක්ෂක අංශ වලට සොයාගත හැකිවූයේ මේ වාහන දෙකම මිලදී ගෙන ඇත්තේ රටේ නම ගිය මූල්‍ය ආයතනයක් ඔස්සේ බවයි.

අත්අඩංගුවට ගැනීම් හා ඒවා හා බැදුණු පරීක්ෂණ  වලින් එල්.ටී.ටී.ය නැවත නැඟිටුවීමක් සම්බන්ධයෙන් වූ සැළැස්මක තොරතුරු හෙළිවන්නට පටන් ගත්තේය. එල්.ටී.ටී.ය නැවත නැඟිටුවීමේ මේ උත්සාහය පසුපස සිටින්නේත් එයට අවැසි මූල්‍යමය ආධාර සපයන්නේත් අන්තර්ජාතික දෙමළ ඩයස්පෝරාව බවද ආරක්ෂක අංශ සොයාගත්තේය. මේ වැඩකටයුතු සදහා පරිගණක ආදී තාක්ෂණික උපකරණ බහුල වශයෙන් යොදාගෙන තිබීමද විශේෂ කරුණක් විය. අත්අඩංගුවට ගත් සියලූදෙනාටම පාහේ පරිගණක භාවිතය පිළිබඳ හසළ දැනුමක් තිබිණි. එල්.ටී.ටී.ය නැවත නැඟිටුවීම සඳහා වූ සැළැස්මේ ඔවුන් වෙන් වෙන් වශයෙන් බෙදී කටයුතු කළද අදහස් හුවමාරු කර ගැනීමට අවැසි වූ විටෙකදී පරිගණක හා අන්තර්ජාලය ඔවුන්ගේ පිහිට වී තිබුණි.පරීක්ෂණ කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස පරිගණක 64 කට අධික ප්‍රමාණයක් තමන් භාරයට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව සිටින අතර මේවායින් කිහිපයක් තවදුරටත් විමර්ශනය කළ යුතු තත්ත්වයේ පැවතියද ඉතිරියෙන් ඉතා වටිනා තොරතුරු රාශියක් ආරක්ෂක අංශ සොයාගෙන ඇත්තේය.

 

ඩයස්පෝරාව

පරිගණක, දුරකථන මෙන්ම අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින්ගෙන් ලද තොරතුරු වලින් එල්.ටී.ටී.ය නැවත නැඟිටුවීමට සැළැස්ම සකස් වී ඇත්තේ කෙසේදැයි දළ අදහසක් ගොඩනගා ගැනීමට අපරාධ පරීක්ෂකයින්ට හැකි වූවේය. මෙම සමස්ත ක්‍රියාදාමයටම අවැසි මූල්‍ය පහසුකම් ඩයස්පෝරාවේ ක්‍රියාත්මක කොටි හිතවාදී කණ්ඩායම් යැයි පැහැදිලිව පෙනෙන්නට තිබූ කරුණකි. අන්තර්ජාතික තලයේ ක්‍රියාත්මක විවිධ එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් තම තමන්ගේ මත හා අදහස් නිසා එකිනෙකා හා බේද වී සිටියද මෙම එල්.ටී.ටී.ය නැවත නැඟිටුවීමේ සැළසුමට එකාවන්ව සහය පළකිරීමට ඉදිරිපත්ව සිටීම ආරක්ෂක අංශ තැති ගැන්මට පත් කළේය. අන්තර්ජාතික තලයේ එල්.ටී.ටී.යේ ප්‍රධාන කොටස් 2 වන, සාපේක්ෂව විශාල 'අනයිතුලාගා සෙයලහම්'(අන්තර්ජාතික ලේකම්) නම් පෙරින්බනායගම් සිවපාරන් හෙවත් නෙදියවන් නායකත්වය දරන කණ්ඩායමත් සාපේක්ෂව කුඩා සේකරම්පිල්ලේ විනයාගමූර්ති හෙවත් විනයාගම් නායකත්වය දරන 'තලයිමයි සෙයලහම්' (ප්‍රධාන ලේකම් තැනගේ මූලස්ථානය) යන කණ්ඩායමත් එල්.ටී.ටී.ය නැවත නැගිටුවීමේ සැළැස්ම කි්‍රයාවට නැංවීම සදහා එක්ව සිටියෝය.විනයාගම්ගේ කණඩායමෙන් මේ කටයුතු සදහා මූල්‍ය ආධාර සපයන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රංශයේ සිට බවත් නෙදියවන්ගේ කණ්ඩායම ආධාර සපයන්නේ ස්විට්සර්ලන්තයේ සිට බවත් සොයාගැනීමට ආරක්ෂක අංශ වලට හැකිවූවේය.

මුල් සමයේදී ආරක්ෂක අංශ වලට නැවත ක්‍රියාකාරී වන එල්.ටී.ටී.යක ශක්තිය කොපමණ වනු ඇත්දැයි අදහසක් නොතිබුණි. එල්.ටී.ටී.ය නැවත නැඟිටුවීම සදහා වන උත්සාහයේදී කොටි අඬු පඬු දිවයින පුරා විසිර කුමන පරිමාණයකින් විසිර තිබුණේදැයිද ඒවා කවර ආකාරයකින් ක්‍රියාත්මක වීමට යන්නේයැයිද අදහසක් ආරක්ෂක අංශ සතු නොවීය.කොළඹ වැනි නාගරික ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට සිටි වැදගත් පුද්ගලයින් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැළසුම් ගැන හෙළි වෙද්දී, ලෝහ පිරික්සුම් උපකරණ සොරකම් කරගෙන ගොස් පොළව යට සගවා ඇති අවි හා උණ්ඩ සොයාගැනීම සදහා ඒවා යෙදාගනිමින් සිටින බව හෙළි වෙද්දී, යුද්ධය අවසාන වීමත් සමග ප්‍රථම වතාවට පොලිස් නිළධාරියෙක් එල්.ටී.ටී.ඊ සැකකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබද්දී කොටි සංවිධානයේ නැවත නැඟිටීමක් සුළු කොට නොතැකිය හැකි බව ආරක්ෂක අංශ වලට අවබෝධ වන්නට විය. ගෝබි සැඟවී සිටි කාමරය වෙත නිරායුධව ගොස් ඔහුගෙන් වෙඩි කෑ පොලිස් නිලධාරියා වූ රත්නකුමාර මෙන් කටයුතු කිරීම ආරක්ෂක අංශ වල අරමුණ නොවීය.එල්.ටී.ටී.යේ නැවත නැඟිටීමට ගන්නා උත්සාහයට දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට ඔවුහු කටයුතු කළෝය.ආරක්ෂක අංශ වල මෙහෙයුම් වලට විශාල සහයක් වෙමින් ඒවායේදී භාවිතයට ගැනීමට ශක්තිමත් නීති පද්ධතියක්ද ඔවුන් සතු  විය. මෙය ත්‍රස්තවාදී ක්‍රියා වල යෙදෙනේනේයැයි සැක පිට සිදුකැරුණු මෙහෙයුම් හා අත්අඩංගුවට ගැනීම් වලදී ඉවහල් විය.

සිය ගණනක් පුද්ගලයින් ප්‍රශ්න කිරීම්වලට ලක් කැරිණි.ගැහැණු හා පිරිමි දෙපාර්ශවයේම විවිධ වයස් සීමාවන්හි සිටියෝ වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා අත්අඩංගුවට ගනු ලැබූහ.ඔවුන් සියලූ දෙනාම පාහේ අත්අඩංගුවට ගැනුණේ අනුකම්පා විරහිත ලෙස භාවිතයට ගත් ත්‍රස්ත මර්දන පණත ප්‍රකාරවය.ප්‍රධාන සැකකරුවන් කොළඹ ත්‍රස්ත මර්දන මූලස්ථානයේ රදවා තැබෙද්දී ඉතිරිය බූස්සේ රැදවුම් නිවස්නයක රැදවීමට බලධාරීහු කටයුතු කළෝය.ඔවුන් හමුවීමට හා ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ සොයාබැලීමට අවසරය අන්තර්ජාතික රතු කුරුස කමිටුවේ සාමාජිකයින්ට හා රඳවා සිටියවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට ලබා දී තිබුණි.මොවුන් අතරින් කිහිපදෙනෙක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉදිරි පරීක්ෂණ කටයුතු වලට කැඳවෙන තෙක් නිදහස් කරනුද ලැබූහ.

රජය හා ආරක්ෂක අංශ එල්.ටී.ටී යේ නැවත නැඟිටීමක් සම්බන්ධයෙන් කටයුතු කරන්නට ගත් ආකාරය දැඩි හා අනුකම්පා විරහිත ස්වරූපයක් ගත්තේය.ඔවුන් ගත් ඇතැම් පියවර  පළමු දැක්මේදී පෙනෙන්නට ගත්තේ කිසිසේත් භාවිතයට ගත නොයුතුව තිබූවන් ලෙසය.එල්.ටී.ටී.යේ නැවත නැඟිටීමකට ප්‍රතිචාර දැක්වීමක් යැයි පවසමින් ආරක්ෂක අංශ තම පමණ ඉක්මවා කටයුතු කරන ආකාරයක් දැක ගත හැකි විය. එය සැබැවින්ම පෙනෙන්නට තිබුණේ කුළු ගෙඩියකින් පුංචි මදුරුවකු මැරීමට ගන්නා උත්සාහයක් ලෙසය. ආරක්ෂක අංශ  පැත්තෙන් බැලූ කළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සාධාරණීකරණය කළ හැකි කරුණුද විය.ඔවුන් කුමන ආකාරයේ තර්ජනයක් රටට එල්ල වී තිබේදැයි කිසිත් දැන සිටියේ නැත. මෙනිසා සිදුවිය හැකියැයි අනුමාන කළ බරපතලම දෙය සලකා ඉදිරි මෙහෙයුම්  ක්‍රියාත්මක කිරීමට ඔවුහු කටයුතු කළෝය. ගතවුණු වසර කිහිපයේදී තමන් යුද්ධය දිනුවේයැයි මහත් අභිමානයකින් සිටි ආරක්ෂක අංශ සිහිනයකින් මිදුණාක් මෙන් එක්වනම අවදි විය. ආරක්ෂක අංශ මූලස්ථාන වල අනතුරු ඇගවීමේ නළා නාද වන්නට පටන් ගත්තාක් වැනි විය. මේ සියලූ දේ එක්ව ත්‍රස්ත විරෝධී ක්‍රියාදාමයක් කරලියට පැමිණියේය.

සැකකරුවන්

ත්‍රස්ත විරෝධී පණත යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හා රදවා ගැනීම වුවමනාවට වඩා බලය භාවිතා කිරීමක් මෙන් පෙනුණද කිසිදු වරදක් නොකළ අහිංසකයනට  බාධා හා විවිධ අපහසුතා වලට මුහුණදීමට ඉඩ නොදී ඔවුන්  ඉන් මුදා ගැනීමටද විවිධ පියවර  ක්‍රියාත්මක කළ බව සදහන් කළ යුතුම කරුණකි.

හුදෙක් අතකොලූ ලෙස භාවිතා වුණු පුද්ගලයෝ නිදහස් කරනු ලැබූහ.විදෙශයන්හි සිට එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් එවූ පුද්ගලයෝද පරීක්ෂණ කටයුතු වලින් පසු නිදහස් කරනු ලැබූහ. ඔවුන් සංවිධානයට ආධාර සැපයීමේ යෙදුණෝ වුවද ඔවුන්  නිදහස් කර හැරීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.  මූලික පරීක්ෂණ වලින් පසු එල්.ටී.ටී.ඊ සැකකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් කිහිප දෙනකුද නිදහස් කර හැරීමටආරක්ෂක අංශ කටයුතු කළේය. ගෝබි ගේ මව හා ඔහුගේ බිරිඳ මෙසේ ත්‍රස්ත මර්දන පණත යටතේ රදවාගෙන සිටියද පසුව නිදහස් කර හැරුණහ.දෙහිවල බේකරිය හා සම්බන්ධ සිදුවීමේද එම පණත ප්‍රකාරවම අත්අඩංගුවට ගත් පුද්ගලයෝ කිහිපදෙනෙක්ද මූලික පරීක්ෂණ කටයුතු වලින් පසු උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව නිදහස් කැරුණාහ.

ත්‍රස්ත මර්දන පණත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසක් පසුව නිදහස් කැරුණු සිදුවීමක් පේදුරු තුඩුවෙන් වාර්තා විය.එල්.ටී.ටී.ය යළි නැඟිටීමෙන් පසු අනාගතයේ භාවිතය සදහා විදෙස් මුදල් ආධාර යොදාගෙන   ට්‍රෝලර් යාත්‍රාවක් මිලයට ගෙන ඇතැයි පරීක්ෂකයින්ට තොරතුරු ලැබී තිබුණි. සිංහල ව්‍යාපාරිකයකුගෙන් එම ට්‍රෝලර් යාත්‍රාව මිලයට ගෙන තිබුණේ රුපියල් ලක්ෂ 29 ක මුදලටය. එම මුදල් ශ්‍රීජලංකාවේ එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් වෙත එවා ඇත්තේ ප්‍රංශයේ වෙසෙන වීරමනි හෙවත් රේගන් බව අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. වීරමනි එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ රියැදුරා ලෙස බොහෝ කාලයක් සේවය කර තිඛෙන අයෙකි.

වීරමනි මුදල් එවා තිබුණේ තම වැඩිමහලූ සෙහොයුරාගේ බැංකු ගිණුමටය.ඔහුගේ වැඩිමහලූ සොහොයුරා මැදපෙරදිග දීර්ඝ කාලයක් සේවයකර ඇති අයෙක් වේ.බෝට්ටුව මිලයට ගෙන තිබුණේ වීරමනිගේ බාල සොහොයුරාගේ නමටය. අනාවරණයව ඇති තොරතුරු වලට අනුව ට්‍රෝලර් යාත්‍රාව ඉන්දියාවේ සිට අවි හා මිනිස් ජාවාරම්වල රහසිගතව යෙදවීමටත් මීගමුව ඔස්සේ සිදුකිරීමට නියමිතව තිබූ රහසිගත මෙහෙයුම් වල යෙදවීමටත් සැළසුම් කර තිබී ඇත.ට්‍රෝලර් යාත්‍රාව ලියාපදිංචි කර තිබූ හිමිකරුවා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත වූ එහි කාර්ය මණඩලයද ත්‍රස්ත මර්දන පණත යටතේ අත්අඩංගුවට ගනු ලැබූහ.

පසුව වැඩිමහලූ සොහෙයුරාද අත්අඩංගුවට ගනු ලැබීය. මූලික පරීක්ෂණ කටයුතු වලින් පසු කාර්යමණ්ඩලයේ සාමාජිකයෝ හතර දෙනෙක් අහිංසක යැයි තහවුරු කරගත් පසු නිදහස් කරනු ලැබූහ. දැනට වීරමනිගේ සොහොයුරෝ දෙදෙනාම අත්අඩංගුවේ පසුවෙති. ඔවුන්ද නුදුරේදීම නිදහස් කැරෙනු ඇතැයි සිතිය හැකයි. ඔවුන්ට එරෙහිව ප්‍රබල චෝදනාවක් නැගීම ආරක්ෂක අංශ වලට දුෂ්කර කටයුත්තක් වී තිබේ.මන්ද බෝට්ටුව මිලයට ගත්තද එය කිසිදු නීති විරෝධි ක්‍රියාවකට යෙදවීමට ඔවුන් කටයුතු කර නොමැති බැවිනි. මෙනිසා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන ඔවුන්ගේ සොහොයුරා එවූ මුදල් වලින් ට්‍රෝලර් යාත්‍රාවක් මිලයට ගත්තේය යන චෝදනාව පමණක් ඔවුන්  අත්අඩංගුවේ තබාගැනීමට ප්‍රමාණවත් නොවනු ඇත.

 

වවුනියාව

පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබියදී වවුනියාවෙන් අලූත් ඔත්තුවක් ලැබුණි. අත්අඩංගුවේ සිටි පුද්ගලයින්ගෙන් ලබාගත් තොරතුරු අනුව වව්නියාවේ ශ්‍රීමා නගර් හි   නිවසක් වැටළීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර එහි සිටි පියා,මව හා හය හැවිරිදි හා සිව් හැවිරිදි දරු දෙදෙනෙකුගෙන් සමන්විත වූ පවුලක් අත්අඩංගුවට ගැනීමට ඔවුහු ක්‍රියා කළහ. දෙමාපිය දෙදෙනාම නැගෙනහිර දෙමළ ජාතිකයින් වූ අතර ප්‍රදේශයට අමුත්තෝ වූහ. රඳවා තැබීමට කෙනෙකු නොමැති වීම නිසාවෙන් දරු දෙදෙනාද දෙමාපියන් සමග කැටුව යාමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර පසුව දෙමාපියන්ගේ අනුදැනුම මත දරු දෙදෙනා ඥාතීන් වෙත භාර දෙනු ලැබූහ.

සැමියා හා බිරිද දෙදෙනාම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ වූහ.ඔවුන් පැමිණ සිටියේ නැගෙනහිර පළාතේ මඩකළපු දිස්ත්‍රික්කයේ අයිතිමලේ නම් ප්‍රදේශයේ සිටය.වව්නියාවේ ඔවුන් ජීවත් වෙමින් සිටියේ කුලියට ගත් නිවසකය.සැමියාගේ නම වීරසිංහම් ලෝහනාදන් හෙවත් චිත්ති විය.කාන්තාව මහේෂ්වරී ලෝහනාදන් නම් වූවාය. වව්නියාවේ තිරුනාවත්කාඩු ප්‍රදේශයෙන් වනයට නුදුරු බිම් කොටසක් ඔවුන් මිලයට ගෙන තිබුණි.එහි නිවසක් ඉදිකිරීමට අවැසි කටයුතු සිදුකෙරෙමින් පැවතින.

යුද්ධය අවසානයත් සමග ගතවූ කාලයේ තමන් අන්ත දූගී අඩියක ජීවත් වෙමින් සිටි බව ලෝහනාදන් යුවළ ආරක්ෂක අංශ කළ ප්‍රශ්න කිරීම් හමුවේ පැවසූහ.දිනක් හිටපු එල්.ටී.ටී.ඊ නායකයෙකු පෞද්ගලිකවම ඔවුන් හමුවට පැමිණ සුවදුක් විචාරා තමන් සිටි තත්ත්වය අනුව කිසිසේත් ඉවත දැමිය නොහැකි යෝජනාවක් කළේයැයිද එනිසා නැගෙනහිර පළාතේ සිට උතුරු පළාතට සංක්‍රමණය වී වව්නියාවෙන් නිවසක් කුලියට ගෙන ජීවත් වන්නට පටන් ගත්තේයැයිද ඔවුහු කියා සිටියහ.නිවෙස් කුලී ගෙවීමට හා එදිනෙදා වියහිදම් සදහා ඔවුන්ට මසකට රුපියල් 50000 ක මුදලක් ලැබී තිඛෙන අතර එය ලබා දී ඇත්තේ ස්විට්සර්ලන්තයේ වෙසෙන සන්තෝසම් මාස්ටර්ය.

තිරුනාවත්කාඩු ප්‍රදේශයෙන් ඉඩම් කොටසක් තම නමින් මිලයට ගැනීමට ඔවුන් කටයුතු කර තිබුණි.ඔවුන් සැළසුම් කර තිබුණේ එහි නිවසක් ඉදිකර අවසානයේ එම නිවසේ පදිංචිවීමටය. නිවසේ ඉදිකිරීම් කටයුතු සදහාද ආධාර ලබා දී ඇත්තේ සන්තෝසම් මාස්ටර්ය. කෙසේවුවද ඉදිකිරීම් සිදුකෙරෙන අයුරු අධීක්ෂණය කිරීමේ වගකීම

පැවරී තිබුණේ ලෝහනාදන්ටය. නිවස ඉදිකිරීම සදහා තෝරාගෙන තිබූ ප්‍රදේශය පිහිටා තිබුණේ පඳුරු වලින් ගහණ වනාන්තරයක් අසළය. නිවස ඉදිකිරීමේ පරමාර්ථය එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන්ට අවශ්‍ය වූ විටෙකදී එය සැඟවී සිටීම සදහා භාවිතා කිරීම විය.තවද පඳුරු වලින් ගහණ නිවස අසල පිහිටි වනයේ අවි සගවා තැබීමට සැළසුම් කර තිබිණ.

තෙයිවීගන්

ලෝහනාදන්ගෙන් ලද වඩාත්ම වැදගත් තොරතුර ඔහු හමුවීමට පැමිණ, නැගෙනහිර පළාතේ සිට උතුරු පළාතේ වව්නියාවේ පදිංචියට ඒමට ඔහුට උපදෙස් දුන් හිටපු එල්.ටී.ටී.ඊ නායකයා සම්බන්ධයෙන් විය.ඔහු නමින් තෙයිවීගන්ය.එල්.ටී.ටී.ඊ යට නැවත පණ දීමකට ගත් උත්සාහයේ මහමොළකරුවා ඔහු විය.තෙයිවීගන් නම ඇසූ සැණින්ම පරීක්ෂණ කටයුතු වල නිරතව සිටි බුද්ධි අංශ සාමාජිකයෝ වහා ඔහු  හඳුනාගත්හ.තෙයිවීගන් ඔවුන් බොහෝ කලක් තිස්සේ ලූහුබඳිමින් සිටි පුද්ගලයෙකු විය.

සැබෑ නම සුන්දරලිංගම් ගජදීබන් වන තෙයිවීගන් (දෙයිවීගන් ලෙසද උච්ඡාරණය කෙරේ) 1979 වසරේ මැයි මස 23 වැනිදා යාපනය දිස්ති්‍රක්කයේ තෙන්මරච්චි වසමේ මාන්තුවිල් ප්‍රදේශයේ උපත ලැබූවෙකි.

1995 වසරේදී ස්වේච්ඡාවෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයකු වූ හෙතෙම අනවර්ථ නාමයන් රාශියකින් හැඳින්වී ඇත්තේය. තෙයිවීගන්, තෙයිවන්, නවනීතන් හා දේවන් ඒවා අතරින් ප්‍රධානය.එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් හා ඔහුගේ බිරිද මදිවදනිගේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස බොහෝ කාලයක් සේවය කර ඇති ඔහු බලපත්‍ර හිමි ගුවන් නියමුවෙකුද වේ.එල්.ටී.ටී.ඊ ගුවන් බළකාය වූ 'වාන්පුලිගල්' හි ගුවන් නියමුවෙකු ලෙස කොළොන්නාව, කෙරවළපිටිය, සාලියපුර අනුරාධපුර යන ප්‍රදේශවලට එල්ලවූ ගුවන්ප්‍රහාර වලටද ඔහු දායකත්වය දී ඇතැයි සදහන්ය. තෙයිවීගන් කළු කොටි දිවුරුම දී ඇති සියදිවි නසාගන්නා කොටි සාමාජිකයෙකුද වේ.එල්.ටී.ටී.යේ බුද්ධි අංශය, යුධමය කටයුතු සම්බන්ධ බුද්ධි අංශය හා අතිවිශේෂ රාධා රෙජිමෙන්තුවේද සේවය කර ඇත්තෙකි. ඔහු නව එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පුහුණු කිරීමේ කටයුතු වලද නියැළී සිට බව කියති.

2009 වසරේ යුද්ධය අවසාන වීමත් සමග තෙයිවීගන් රහසේ මන්නාරම ඔස්සේ ඉන්දියාවට පලා ගියේය.එහිදී ඔහු නොර්වේහි වාසය කළ නෙදියවන් හා සම්බන්ධතා ඇති කර ගත් අතර ඉන්පසු ගිණිකොන දිග ආසියා කලාපයට සංක්‍රමණය වූවේය. එහි සිට ඔහු යුරෝපය බලා ගිය අතර යුරෝපයේ විවිධ රටවල සංචාරයේ යෙදුණේය. නෙදියවන්ගේ කණ්ඩායමේ උපදෙස් පරිදි යළි ඉන්දියාවට පැමිණි හෙතෙම එරට හා ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ මෙහෙයුම් කටයුතු භාරව කටයුතු කළේය. තෙයිවීගන් විනයාගම්ගේ කණ්ඩායම සමගද හොඳ සබඳතාවක් පවත්වා ගත්තේය. ඔහු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් රහසිගතව ක්‍රියාත්මක වුණු බෝට්ටු සේවයක් භාවිතයෙන් යාම් ඊම් කර ඇති බවටද විශ්වාස කෙරේ.

කොටුකරගත නොහැක්කෙක්

නෙදියවන්ගේ කණ්ඩායම යටතේ තෙයිවීගන් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ මෙහෙයුම් කටයුතු භාරව කටයුතු කරන බව බුද්ධි අංශ වාර්තා වලින් හෙළිවීමත් සමග ඔහු එම කටයුතු සදහා ශ්‍රී ලංකාවටද පැමිණේනේයැයි අනුමාන කළ ආරක්ෂක අංශ සිටියේ දැඩි සෝදිසියෙනි. නමුත් තෙයිවීගන් ලෙහෙසියෙන් කොටුකරගත හැක්කෙක්  නොවීය. ඔහුගේ බ්‍රිතාන්‍යයේ වාසය කරන සොහොයුරා තම විවාහ මංගල්‍යය සදහා මෙම වසර මුලදී ශ්‍රී ලංකාවට පැමිණී අතර විවාහ උත්සවයට තෙයිවීගන්ද පැමිනෙණු ඇතැයි ආරක්ෂක අංශ සිටියේ අපේක්ෂා සහගතවය. නමුත් තම එකම සොහොයුරාගේ විවාහ මංගල උත්සවය මඟහැර සිටීමට තරම් තෙයිවීගන් උපායශීලී විය.

මෙයත් සමග ශ්‍රී ලංකා ආරක්ෂක නිලධරයෝ තමන්ගේ වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි හා ලෝහනාදන් පවසන්නට යෙදුණු කරුණු සැබැවින්ම සත්‍යදැයි සැක උපදවීමට පටන් ගත්හ.අත්දැකීම් බහුල තෙයිවීගන් වැනි පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ තැන තැන සැරිසැරීම තමන්ගේ ආරක්ෂාවට යහපත් නොවන බව හොඳින්ම දැන සිටීම නිසා එසේ ලෝහනාදන් හමුවීමට පැමිණියේදැයි ඔවුන් හමුවේ ගැටලූවක් ඇති විය.කටුනායක ගුවන්තොටුපළේ තෙයිවීගන් ශ්‍රී ලංකාවට පැමිණියායැයි සටහනක්ද නොවුනි තෙයිවීගන් සැබෑවටම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යෑම ඊම් කරමින් සිටියේ නම් ඒ ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතයෙන් හෝ 'කල්ලතෝනියකු' ලෙසය. කෙසේ වෙතත් ලෝහනාදන් හා මහේෂ්වරී ඔවුන්ට ඉදිරිපත් කැරුණු ඡායාරූප වලින් තෙයිවීගන්ගේ රූපය හඳුනාගෙන මේ තමන් හමුවට පැමිණි පුද්ගලයායැයි සහතික



අදහස් (0)

කොටියා යළි නැඟිටීම අවාසනාවක්

පිටිගල Tuesday, 20 May 2014 06:51 PM

කොන්ද පණ ඇතුව වැඩ කළ යුතුයි. කවුරු විරුද්ධ වුණත් ලංකාවේ ප්‍රශ්න ලංකාව විසඳාගත යුතුයි. (නි)

:       0       0

ජගත් Tuesday, 20 May 2014 12:21 PM

හොඳටම කරුණු පැහැදිලි කරලා තිබෙන ලිපියක්. දිගටම මෙවන් ලිපි පළකරන්න (නි)

:       0       0

සුජීව Tuesday, 20 May 2014 12:27 PM

අලුයට ගිනි (නදී)

:       0       0

ජාග්. Tuesday, 20 May 2014 12:43 PM

නියපොත්තෙන් කඩන්න. නැත්නම් ජාතියම ආණ්ඩුවට බනින්නේ. වෙන රටවල ඔහොම සෙල්ලම් පුලුවන්ද? පිල්ලේ ඉඩ දෙයිද ඇමරිකාවේ? අපි විතරයි මෙච්චර බය. (නදී)

:       0       0

සනත් Tuesday, 20 May 2014 12:57 PM

උතුරේ දෙමළ ජනතාව හොඳ අවබෝධයෙන් ඉන්න ඕන. කොටි අායිත් නැගිට්ටොත් වැඩිම අවාසිය එයාලට. දැන් බලන්න උතුරේ වෙන සංවර්ධනය. ඕව ඔක්කොම ඇන හිටිනවා කොටි අයෙත් අවොත්. ඉතින් ලාංකිකයන් විදියට හැම දෙනාගේම වගකීමක් තියෙනවා මේවා නවත්තන්න පවතින රජයට උදවු කරන එක. (ස)

:       0       0

කුමාර Tuesday, 20 May 2014 01:13 PM

අවංකවම ලිපිය පල කිරීම පිළිබඳව ස්තුති වන්ත වෙමි.එල් ටි ටි ය නැවත නැගිටීම මුළු ශ්‍රීලංකා වාසින්ටම ආන්දෝලනයක්.මේවා ගණන් නොගෙන සිටින්නේ අද කාල හෙට මැරුණත් සැපයි කියල ඉන්න කට්ටිය. අපේ ත්‍රිවිධ හමුදාවට,පොලිසියට රත්නත්තරයේ පිහිටාරක්ශාවයි! (ස)

:       0       0

තරිදු Tuesday, 20 May 2014 08:01 PM

තවත් මොකටද අපි කොටින්ව හුරතල් කරන්නේ? (නි)

:       0       0

ලලිත් Tuesday, 20 May 2014 02:08 PM

කොටින්ගේ නැවත නැගිටීම යනු සියලු ජාතින් බලෙන් පිටුපසට ඇද දැමීමකින් සියල්ල උඩු යටි කුරු කිරීමකි. එයට එරෙහිව සියලු දෙනා පෙළ ගැසිය යුතුය. (ස)

:       0       0

තුෂාර දිසානායක Tuesday, 20 May 2014 02:18 PM

කොටින්ට යළි හිස ඔසවන්න දෙන්න එපා. අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපති අපට දෙවියෙක්. එතුමා අපේ රටටත් ජාතියටත් කල උතුම් කර්තව්‍ය හැමෝටම අමතක වෙලා. (නදී)

:       0       0

නිශාර්ඩ් Tuesday, 20 May 2014 02:24 PM

මෙම ලිපිය සහ මෙවැනි ලිපි ඉංග්‍රීසි පුවත් පත්වල සහ ජාත්‍යන්තර පුවත් පත්වල අනිවාර්යයෙන්ම පල විය යුතුයි. මම දැකල තියෙන දෙයක් තමයි බටහිර රටවල විශේෂයෙන් ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණය කරන ජාතිය සුරැකීමේ සංවිධානය සහ තවත් එවැනි සංවිධාන ප්‍රදර්ශනය කරන පුවරු ලියල තියෙන්නේ සිංහලෙන්, ඒගොල්ලන්ට කියවල තේරුම් ගන්ට ලියන්ට ඕනේ ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට තමයි හරි පණිවිඩය ජාත්‍යන්තරයට යන්නේ. මොකද මේ ප්‍රශ්නය ජාත්‍යන්තර කරණය වෙලා ඉවරයි. (ස)

:       0       0

සරත් බණ්ඩාර Tuesday, 20 May 2014 02:25 PM

උතුරු පළාත් සභාවේ කොටින්ව අනුමත කරන පටු දේශපාලන මන්ත්‍රීවරු කරන ප්‍රකාශ වලින් ජනතාවගේ හැගීම් තවදුරටත් වෙනම රජයක් සදහා අනුමත වෙනවා .මේවට රජය නීති සම්පාදනය කර වහාම ඔවුන්ව උසාවියට අරගෙන යා යුතුයි. රටේ ව්‍යවස්ථාවට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන අය නිතිය හමුවට රැගෙන යන්න. (ස)

:       0       0

නාරද Tuesday, 20 May 2014 03:00 PM

මගේ ප්‍රණාමය මෙයට දායක වූ සියලුම ආරක්ෂක අංශ සාමාජිකයින්ට. අතීතයෙන් පාඩම් උගත් බහුතර දෙමල ජනතාව එල් ටි ටි යේ නැවත නැගිටීමක් ව්‍යර්ථ කිරීමට ඔවුන් සිටින සුදානම ද, විමශිලිමත් බවද අගය කල යුතුය. ඇත්තටම එය ඉතා හොඳ ප්‍රවනතාවයක්.(නදී)

:       0       0

රන්ජිත් Tuesday, 20 May 2014 04:48 PM

ශ්‍රී ලාංකිකයෙකු ලෙස කියවිය යුතු වටිනා ලිපියක් බව කියමි. ඔබ සැමට තුති. (නි)

:       0       0

කමල් Tuesday, 20 May 2014 06:22 PM

මේ පිළිකාව වෙනත් තැනකින් මතුවිය හැකියි. නිතර විමසිලිමත්ව සිටිය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3865 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2816 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3594 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3274 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 735 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1419 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36129 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site