‘රුවන් වලා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම් තුෂාර හාර හා එතී ගලා හැලෙනවා
පුතුගේ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා
අනෝතප්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින් සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා
සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා අතු අග මල් කුමාරියන් - බිඟු මිණි දැල් සැලෙන හඬින් නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා
සිහින ලොවේ ළපටි සිහින හිතේ අඳිනවා රාජ ඉසුරු බරට වටින - වාසනාව කිරුළු දරන මාළිගාව එළිය කරන - බිළිඳු නිදනවා සීත නලින සිහින ලොවට බිළිඳු වඩිනවා‘
මේ නම් කිනම් පහසක් දෙත්දැයි අත ගගා බලන්නට ලෙව කකා රස විඳින්නට රස පහස කෙතෙක්දැයි ගත පුරා තවරා ගන්නට හිතෙන අති සුන්දරම නැළැවිලි ගීයෙකි. මෙය පරයන තවත් නැළවිලි ගී සිංහල ගීත සාහිත්‍යයේ ඇත්දැයි විමසා බලත්වා. රුවන් වළා දුහුල් කඩින් ගීය අපට රස විඳුමට හමුවන්නේ ජාතක කථාවක් ඇසුරින් කළ "වෙසතුරු සිරිත" නම් සිනමා පටයෙනි.
ගී පද පැබැඳුවෝ හෙළයේ මහා ගීත ප්‍රබන්දකයාණන් වූ ආචාර්ය මහගම සේකරයෝය. ගී තනුව හා සංගීතය මුසු කළෝ හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණඩිත් අමරදේවයෝය. සිංහලයේ කාන්තා හඬ විශාරද නන්දා මාලිනී ශූරිය ගායනා කළාය. සැබැවින්ම නැළැවිල්ලකි. සිංහල ජාතියම නලවන නැළැවිල්ලකි. අසන්නාට තමන් තොටිල්ලක ඕවිල්ලක පැද්දෙන්නා සේ නිසැකින්ම දැනෙයි. කුමන මානසික වේගයන් උසුලමින් සිටියද කොතෙක් දුක් උසුලමින් සිටියද ගීය ඇසෙන කල ඒ සියලු දුක් නිවෙයි. කම්කටොලු දුරැලෙයි. ආතතිය පහව යෙයි. සියලු ලෙඩ සංසිඳෙයි. මෙහි ගැයෙන ගැයුම ලොව අන් තැනකදී අපට හමු නොවෙයි. අලුත වැදූ මවක ස්නේහාර්ද්රව සිය දරුවා දෝතින් ගෙන නිදි ගන්වන අයුරින් ගැයෙන ඇගේ ගැයුම ගැන කියන්නට මට බොහෝ අදහස් ඇතත් වදන් නම් නොමැතිය.මා දන්නා වදන් ඊට මදි බව මට හැඟෙයි.
මේ ගීයේ ඇති ගී සුවඳ කල් යත්මැ තීව්‍ර වෙයි. දශක ගනනාවකට එහාදී ගැයුනු ගීය අද මූ කළ සුවඳින් මුහුකුරා ගොස් ඇති. ඒ වදන් පෙළ ඒ රසාර්ද්ර මියැසිය ඒ සෙනේවන්ත මව් ගුණය අපට වෙනත් තැනකින් හමු නොවෙයි. රැයේ නැගෙන සඳේ උදුල රිදී කැල්ම පෙරී පොළොවට එන්නේ රුවන් වළා දුහුල් කඩක් හරහාය. මේ මට සිළිටු සුගායනීය වදන් පෙළ ගස්වා ඇති රස වෑහෙන අයුර රිදෙතියි සිතෙන බැවින් යාන්තමට මුදු මොළොකට අත ගා බලන්නට කාට නම් නොසිතේද? මේ වදන් වල අරුත් බසෙහි මොළොක සීන් සිනිඳු සංගීතය කැටුව ගත දැවටෙන හිතේ එතෙන දුහුල් වලා කඩක් නොවන්නේද? සිඟිති පුතකු නලවන රාජ මාතාව රජ කුලයේ දරුවන්ගේ ඉතා සිනිඳු මටසිළිටු ළපැටි සිරුර, සිරුර වසා ඇති සුසිනිඳු රන් පැහැ හම නොරිදෙන්නට වැළඳ ගත යුතු බව දනී. ඒ සොබා දහමේ සුමුදු බව වැළඳ ගැනීමකි. තුෂාර හාර හා එතී ය. පිණි කැට මිදී හැදෙන හිම මාලාවන් සමගය. සඳ කැල්ම වළා දුහුල හිම මාලා මේවා කුමන නම් සිහිලක් මෙළෙකක් ගෙන දේද? සඳ ඇති රැයක ඈත අහස දෙස බලා සිටින විට පාවී යන ඉතා දුහුලු වලා සේලයකට හඳ එළිය වැටී පුළුන් පෙදක් සේ පැත්තෙන් පැත්ත එය බලන සැටි දුටු කවියා සිය නිර්මාණයෙහි ලා සොබා දහමේ ඒ සුන්දර සිතුවම උකහා ගෙන ඇති. අනෝතප්ත විලේ පාවී යන නෙළුම් මල් රේණු වල ඇති සුවඳ උරා ගත් සුළඟ හෙමින් හෙමින් ඇදෙන සුළඟ නම් මදනලයි. අනෝතත්ත විල සිංහල හා පාලි සාහිත්‍යයේ එන කල්පානික විලකැයි සඳහන් වේ.
මේ විල ආතපයෙන් හෙවත් අව්වෙන් රත් නොවන බැවින් අනවතප්ත නම් වෙයි. බෞද්ධ සාහිත්‍යයේ සත්දහතලා යැයි විල් හතක් දැක්වේ. ඉන් ප්‍රධාන අනෝතත්ත විලය. අනෙක්වා කර්ණ මුණ්ඩ, රථකාර, ඡද්දන්ත, කුණාල, මන්දාකිනී සීහප්පපාත නම් වන්නේය. මේ විල් සතට ප්රධාන වූ අනෝතත්ත විලේ පිපුණු නෙළුම් මල් වල රේණු දියට වැටී පාවී යයි. ඒවායේ ඇති මිහිරි දිව්‍යමය සුවඳ උරා සුළඟ හෙමින් හමා එයි. එවිට සුළඟ හමන්නේ අනෝතත්ත විල මතින්ය. අනෝතත්ත විල පිහිටා ඇත්තේ හිමාල පර්වත මුදුනේ යැ කියවේ. ඒ හිම මිදෙන අතිශයින්ම ශීත ලෝකයේ ඇති උසම පෙදෙසයි. තුෂාර හාර හැදෙන්නේත් මෙහිය. නෙළුම් මල් රේණු උරා ගත් සුළඟ ගලා එන්නේ මේ සියල් මිහිර පිස එයද කැටිවය. කවියා මේ අනවතප්ත විල හඳුනාගන්නේ එහි පරිසරයත් සමගව නෙළුම් විලක් යන විසිනි. නෙළුම් නම් පියුම්ය. මේ පියුම් වගෙන් පසෙකි. එකල එය පස් පියුම්ය.
අපේ සාහිත්‍යයේ බෙහෝ තන්හි පස් පියුම් ගැන කියවේ. උත්පල - පද්ම - පුණ්ඩරීක රාජීව - ශත පත්ර යැයි ඒ නමු. ඒවාට හෙළ බසින් නෙළුඹු - උපුල් - කුමුදු - මහනෙල් - ඇඹුළු යැයි කිවද දොස් නැතැයි ජාතක ගැටපදය කියයි. අනෝතත්ත විලට වැටෙන්නේ මේ සියලු මල් වල රේණුය. ඒවා ගුණයෙන් විවිධ විය හැක. එමෙන් සුවඳින්ද විවිධ විය හැක. ඒ සුවඳ කැටිව හමන සුළඟ සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලන බවක්ද කියවේ. සඳුන් නම් ස්වභාවයෙන්ම සිසිල්ය. මෙහි පානා සෙමෙර වූ කලී චාමර මෘග හෙවත් සෙමෙර මුවාගේ වල්ගයෙන් තනා ගන්නා වල් විදුනාවයි. හෙවත් වාලව්‍යජනයයි. හිම සඳුන් පල්ලවයෙන්ද සෙමෙරාගේ වලගින් තැනූ වල් විදුනාවෙන්ද පවන් සලන කළ කුමන නම් පහසක් ලැබේද? ඇත්තෙන්ම දිව පහසකි. වල් විදුනාව නම් ගත පහස් දීමට පවන් සලන්ට තනනා උපකරණයකි. එම වල් විදුනා අතරින් සෙමෙර වලගින් කළ වල්විදුනාම ශ්රේෂ්ඨ යැයි කියවේ. සෙමෙර මුවා හිමාල පර්වත ප්රාන්තයේ වෙසෙතියි කියවේ. උහු කෙතෙක් තම වලිගයට ඇලුම් කරත්දැයි කිවහොත් කටු ලැහැබක පැටලී සිටියදීත් සිය වලිගයට අනතුරක් වේ දෝයි ඉන් ගැලවෙන්ට නොයතා මියෙතත් වල්ගයම රැකගෙන සිටියි. මේ එවන් සෙමෙර වල්ගයෙන් තැනූ වල් විදුනාවෙකි.
පවන් සැලීම රිද්මයානුකූලව මෟදුව කෙරෙන්නකි. හුළං හැමීම සේ නොවේ. පවන් සලනුයේ ආදරය සෙනෙහස ලබැඳි බව ඇතිවය. මේ සුන්දර පරිසරයේ ආදරය සෙනෙහස හා ලබැඳි බව කොපමණ ඉහළ තලයක ඇත්ද? කවියා එය අපට සිතා ගන්ට ඉඩ හරී. අතු අග මල් කුමාරියන් - බිඟු මිණි දැල් සැලෙන හඬින් නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා මුලදී සඳ ගැන කීමෙන් කවියා රාත්රී පරිසරයක් මවයි. එහෙත් මෙහිදී මල් හා බිඟුන් පිළිබඳව කියයි. මේ අරුණෝදය යැ කිය හැකිය. අතු අගැ දිලි මල් කුමරියන්ව කවියා ගනියි. ඔවුන් අස බිඟු මිණි දැල් සැලෙයි. මිණි දැල් මැණික් එබ්බූ රහු ගෙඩි බැඳි වැල් හඟවතත් බිඟු මිණි දැල් යැ කවියා කියනුයේ රොද බැඳි බිඟු නද වන ගුමු ගුමු වයි. බිඟුන්ගේ ගුමු ගුමුව මිණි දැල් සැලෙන නදට කවියා සම කරයි. මේ සියුම් හඬින් නිදන පුතුගේ කණට මිහිරි වූ කතා කියයි. ඒ කතා කියමින් ළමා කුමරුගේ සිහින ලොව ළපැටි සිහින ළපැටි සිතේ අඳී. කුඩා දරුවන් සිහිනෙන් සෙන සිනා මුවග නැගෙනු නිදි දරුවන් දෙස බලා හිඳීමෙන් කවියා වටහා ගනී. ඒ ළපැටි සිහින මෙලෙස විය යුතු යැයි කවියා සිතන නිසාම මල් කුමරියන් හා බිඟු මිණි දැල් සැලෙන හඬ ඊ යොදන්ට සිත්තමක් අඳී. අප රසයන්නේ ඒ වදන් සිත්තමයි.
රාජ ඉසුරු බරට වටින - වාසනාව කිරුළු දරන මාළිගාව එළිය කරන - බිළිඳු නිදනවා සීත නලින සිහින ලොවට බිළිඳු වඩිනවා රාජ ඓශ්වර්යේ හෝ ඉසුරේ බරට කුමරු වටී. ළපැටි වුවත් හේ වාසනාවේ කිරුළු දරයි. ඔහු මුළු රජ මාළිගයම එළිය කරමින් නිදයි. රාජ ඉසුරු යැ කී කළ පමන හඟවන්ට හැකිද? කිරුළු දරන වාසනාව කෙ අයුරුදැයි මිනිය හැකිද? මේ බිළිඳු කුමරුවා රජ මාළිගයට ලබා දෙන වාසනාවේ එළිය කොපමණ දීප්ති දැයි කාට නම් කිය හැකිද? ළපැටි කුමරු බොළඳින් මුසු කොට රජ කුලය සනහන අයුර අපට මනසින් දැකිය හැකියි. එම වටපිටාවේ නැවුම් බව අපට මනසින් විඳ ගත හැකියි. මාළිගාව එළිය කරන බිළිඳු නිදයි. බිළිඳා නිදන්නේ මාළිගාවේ ඇතුළු ගැබෙකය. මේ මාළිගාව පිහිටා ඇත්තේ ජයතුරා පුරයේයි. එනුවර සියලු ඉසුරින් පිරි සෞභාග්‍යයේ පුරය කැයි බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. එවන් සෞභාග්‍යයේ පුරයෙහි පිහිටි රාජ මාළිගාව පමණ නොකලැකි ඉසුරින් පිරි එකක් ම විය යුතුයි. එවන් මාළිගාවෙක රජුට කුළුඳුලෙහි හෙවත් කුලය ඉඳුල් කළ පුතකු ඉපිද ඒ බිළිඳා නිදන යහන් ගැබ කුමන නම් ඉසුරකින් නිමැ වේද? සියු දෑ ගඳින් යහන් ගැබ සුවඳ වී ඇති. යහන් ගැබ තුල කොඳු පලස් ඇතිරී ඇති. හමා බස්නා සීන් පාන් එළියෙන් අඳුර දුරැලී ඇති.
කප්පාසකීය පිචූ පුරාණයෙන් ස්නිග්ධ වූ හෙවත් කපු පුළුනෙන් පුරවා සිනිඳු කළ ඇතිරිලි යහන් හි අතුරා ඇති. ඒ මත කෞශෙය නූලින් කළ සුසිනිඳු තිහිරි පිළි එලා ඇති. ඊ සීන පමනින් බිළිඳු ගත සැනැහෙයි. සුවැති නිදි ගෙන එයි. සීන් සිනිඳු සිසිල් පවන් සමඟ බිළිඳා සිහින ලොවට පිවිසෙයි. මේ මනරම් වටපිටාව කවියා නොකියයි. අපට එය සිතන්ට ඉඩ හරී. ඒ ඔහුගේ කවි කමය. මේ ගීයේ වදන් ගැන කියන්නට මට වදන් නැති. මගේ වදනින් තවත් කීමෙන් ගී පාදාවලියට අතෝරයක් වේ දෝ හෝ යි සිතෙන බැවින්. සංගීත රචනයෙන් හා එය මෙහැයවීමෙන් පණ්ඩිත් අමරදේවයන් කර ඇත්තේ කුමන නම් ආශ්චර්යයක්ද? සිත සුව පත් කර ඇතුළු හද නළවන සංගීතයකි එය. නන්දා මාලනියගේ ළද බොළඳ නැවුම් හඬ ආතතියේ ආතපයෙන් තැවෙන හදට දු:ඛ දෝමනස්සයෙන් ගිමෙන හිතට සතුට ගෙනෙන හිම වලාවකි. සියල් ලෙවන් ඕවිල්ලෙක හිඳුවා සිහිල් නල රැල්ලේ පාව යන්ට සලස්වන්නකි. ගීයටම සරිලන සංගීතයයැ ඊටම සරිලන ගැයුමයැ. මෙවන් නිමැවුම් කෙවන් තැනෙකින් හමුවේද?
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ජාතියම නලවන නැළවිල්ලක් බඳු ‘රුවන් වළා විමානේ‘