IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් වෙයි

ජනපතිවරණ ජයෙන් වසරක් ගිය තැන මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සැළකිය යුතු වෙනස්කම් සිදුකිරීමට පසුගියදා මුල් පියවර තැබීය.

තමන් නායකත්වය දරන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමිව තිබූ පිටු දෙකක ලියවිල්ලක් ඔහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.ව්‍යවස්ථාවට සිදුකළ යුතු වෙනස්කම් යැයි එහි සඳහන්ව තිබිණ.

ජනපතිවරණයේදී පොදු විපක්ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයේ මා ජනපති වුවහොත් ව්‍යවස්ථාවට ප්‍රධාන වෙනස්කම් දෙකක් සිදුකරන බව සඳහන් විය.ඒවා වනුයේ

 

1.විධායක ජනපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කොට එම බලතල පාර්ලිමෙන්තුවට ලබාදීම

2.සමානුපාතික ඡන්ද ක්‍රමය සංශෝධනය කොට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මනාප ක්‍රමයකට යටත්ව ජනතාවට තමන්ගේ මනාපය ලබාදීමේ අවස්ථාව ඇතිකිරීම

 

විධායක ජනපති බලතල වලට යම් තාක් දුරට සංශෝධනයන් සිදුවන සේ හා ස්වාධීන කොමිෂන් සභා ඇතිවන සේ ඉතාම කෙටි කාලයකදී ව්‍යවස්ථාවේ අදාළ වෙනස්කම් සිදුකිරීමට අප සමත්ව ඇතත් ජනතාවට දුන් පොරොන්දු එළෙසම ඉටුකිරීමට අප අපොහොසත්ව ඇති බව පිළිගත යුතුය.පවත්නා මනාප ක්‍රමය වෙනස් කිරීමට සියලුදෙනාගේ එකඟතාවය ඇතිව යෝජනා ඉදිරිපත් කිරීමට අප උත්සාහ කළත් එය සාර්ථක වූයේද නැත.මෙනිසාම අප දේශපාලන පක්ෂ හා නායකයින් විචාරකයින්ගේ මෙන්ම ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව සිටින බවද රහසක් නොවේ.

 

යෝජනා

'' විසඳුම් සෙවීමට අගමැති නායකත්වයෙන් යුත් විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට මම යෝජනා කරන අතර එම කමිටුවේ වාර්තාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු එය නීතිගත කිරීම සඳහා යොමුකෙරෙනු ඇත.වාර්තාව සකස් කිරීමේදී නොයෙක් දේශපාලන පක්ෂ වල අදහස්ද සැළකිල්ලට ගැනීමට මෙම කැබිනට් අනු කමිටුවේ අවධානය යොමුවිය යුතුය.''

''පොරොන්දු ඉටු කිරීමේ රජයේ වත්මන් ක්‍රියාපිළිවෙත ගැන දැනටමත් සැළකිය යුතු විරෝධයක් මතුව ඇති නිසාවෙන් මෙම වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීම නිශ්චිත කාල පරාසයක් ඇතුළත සිදුවිය යුතු බවටද මම යෝජනා කිරීමට කැමැත්තෙමි.''

 

විධායක ජනපතිධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ප්‍රථම වරට ප්‍රකාශ කළේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදීය.විධායක ජනපති ධූරය අහෝසි කළ යුතුයැයි ප්‍රබල හඬක් නැගූ උන්වහන්සේ එනිසාම පොදු විපක්ෂය හා සම්බන්ධව කටයුතු කළේය.නමුත් පොරොන්දුව දිනෙන් දින කල් යද්දී උන්වහන්සේ සිටියේද කළකිරීමෙනි.සෝභිත හිමිගේ අපවත් වීමෙන් පසු ජනපති සිරිසේන මෙවන් ප්‍රකාශයක් සිදුකිරීම ගැන සතුටට පත්විය නොහැකිය.නමුත් ඔහු ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අපට නොහැකිව තිබෙනවායැයි කැබිනට් මණ්ඩලයට හමුවේ පිළිගැනීම අගය කළ යුතුය.

 

නමුත් දින සියයේ වැඩපිළිවෙලේ ප්‍රගතිය හා සැසඳීමේදී ජනපතිවරයා මෙසේ පවසන ආකාරයට විධායක ජනපතිධූරය අහෝසි කිරීමට තවත් වසර 4 ක් පමණවත් ගතවනු ඇත.මේ හදිසියේ විධායක ජනපතිධූරය අහෝසි කිරීමක් ගැන ඔහු නැවත නැවතත් පවසා සිටින්නේ ඇයි? ලබන මැතිවරණයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස තරගවැදීමේ අපේක්ෂාවක් හෝ ඔහුට තිබෙනවාද? කෙසේනමුත් ජනපතිවරයා අවධාරණය කර තිබෙන්නේ එවන් අරමුණක් තමන්ට නොමැති බවයි.

පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රකාශයේ මෙලෙසද සඳහන්ව ඇත,

 

‘‘ව්‍යවස්ථාවට අදාළ සංශෝධනයන් පාර්ලිමෙන්තුවේ සම්මත කරගැනීමේ කටයුතු වලට නායකත්වය දිය යුත්තේ ජනපතිවරයාය.මම පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ එවන් නායකයෙක් ලෙස කටයුතු කිරීමටය.තවද ජනපතිවරයා රටේ දේශපාලන පක්ෂ අතර සංහිදියාවක් ඇතිවන අයුරින් කටයුතු කළ හැකි විය යුතුය.එම හැකියාවද මට තිබෙන බව මාගේ විශ්වාසයයි.එක්සත් ජාතික පක්ෂය හා ජාතික හෙළ උරුමය දැනටමත් මා වටා එක්ව සිටී.සියලු දේශපාලන පක්ෂ වල අදහස් විමසා දින සියයක් ඇතුළත ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මම කටයුතු කරමි.විධායක ජනපතිධූරය අහෝසි කිරීම මගේ ප්‍රධාන කාර්යභාරයයි.ඒ සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ගරු මාදුළුවාවේ සෝභිත හිමි සහ අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන පිවිතුරු හෙටක් ජාතික සභාව ඉදිරිපත් කර තිබෙන යෝජනා සැළකිල්ලට ගන්නෙමි.එම යෝජනා ප්‍රකාරව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමට කටයුතු කරන්නෙමි.‘‘

ජනපතිවරයා ඉදිරිපත් කළ යෝජනා වලට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවිය.

 

‘‘ ව්‍යවස්ථාවට හා මැතිවරණ ක්‍රමයට සිදුකළ යුතු වෙනමස් කම් ගැන අනෙක් දේශපාලන පක්ෂ වලිනුත් විමසා බැලිය යුතු බව ඔහු අවධාරණය කළා.වාර්තාව සකස් කරන එක දෙසැම්බර් මාසය වෙද්දී අවසානය කළ හැකි බවටත් ඔහු අනුමාන කළා.ඒක පාර්ලිමෙන්තුවේ පැවැත්වෙන ව්‍යවස්ථා සභාවක් හමුවට ඉදිරිපත් කරන්නයි සැළැස්ම.සිවිල් සංවිධාන වල මත විමසීමටත් නියමිතයි.බලය බෙදීම ගැන,ආර්ථික කටයුතු ගැන,නීති කටයුතු ගැන හා වෙනත් දේවල් ගැන සාකච්ඡා කරලා එකඟතාවයන්ට පැමිණෙන්න සර්ව පාක්ෂික සමුළු පවත්වන්නටත් නියමිතයි.අන්තිමට ඔක්කොම ඉවර වුනාට පස්සේ මේ ඉදිරිපත් වෙන යෝජනා ජනමත විචාරණයකට යොමු කිරීමටත් සැළසුම් කරලයි තිබෙන්නේ.‘‘ සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 

දින 100 කින් විධායක ජනපතිධූරය අහෝසි කරන බවට නව රජය පොරොන්දුවක් දුන්නද එය යථාර්ථයක් බවට පත්වූයේ නැත.දැන් එම කටයුතු ආරම්භවී ඇතත් ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ධූර කාලය නිම වනතෙක් සම්පූර්ණයෙන් විධායක ජනපතිධූරය අහෝසි කිරීමක් සිදුවේයැයි අපේක්ෂා කළ නොහැක.19  ඒ ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඔහුගේ ධූර කාලය වසර 5 කට සීමාවේ.

 

‘‘ විධායක ජනපතිධූරය අහෝසි කරන එකට අපි එකඟයි.නමුත් ඊට පෙර විසඳාගත යුතු ගැටලු තිබෙනවා.මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ඉදිරිපත්ව තිබෙන යෝජනා ඊට එක උදාහරණයක්.ඒ යෝජනා ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතුව තිබෙනවා.‘‘ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සන්ඩේ ටයිම්ස් හා පැවසීය.

 

‘‘ජනාධිපතිවරණයේදී මුළු දිවයිනම එකම ඡන්ද කොට්ඨාශයක් හැටියට ගැනෙනවා.ඒක ලොකු පක්ෂ වලට වාසියක්.මැතිවරණ යෝජනා ක්‍රියාත්මක කරනකොට කුඩා පක්ෂ වලට අවාසියක් නොවන විදිහට ඒ කටයුතු සිදුවිය යුතුව තිබෙනවා.‘‘ ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා කීය.

 

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ ලියැවිල්ලේ වැදගත් කරුණු කිහිපයක සංක්ෂිප්තය මෙවැනිය.

 

  • පාර්ලිමෙන්තුවේ සියලු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් යුත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම සම්බන්ධ යෝජනාවලිය මෙසේය.මෙම සම්පාදක මණ්ඩලයේ කාර්යය වනු ඇත්තේ අලුත් ව්‍යවස්ථාවක් සකස් කෙරෙන කටයුතු වලදී ජනතාවගේ මතය හා අදහස් විමසා බැලීමත් ඒවා සැළකිල්ලට ගැනීමත්ය.ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තිය ප්‍රකාරව මෙම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට අලුත් ව්‍යවස්ථාවක දළ පිටපතක් සකස් කිරීමටත් එය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමටත් බලය හිමිය.

 

  • පාර්ලිමෙන්තුවේ ගරු කතානායකවරයා මෙම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපතීත්වය උසුලනු ඇති අතර ඔහුට අමතරව තවත් නියෝජ්‍ය සභාපතීවරුන් 7 දෙනෙක් සභාවේ සාමාජිකයින් අතර සිදුකෙරෙන ඡන්ද විමසීමකින් තෝරාපත් කර ගැනෙනු ඇත.සභාපති වන කතානායකවරයා නොමැති අවස්ථාවක සම්පාදක මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කරනු ඇත්තේ මෙසේ පත්කරගන්නා නියෝජ්‍ය සභාපතිවරයෙකි.

 

  • ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ නීතිමය කටයුතු අධීක්ෂණය කිරීමට විශේෂ ලේකම්වරයෙක් හා ඒ සම්බන්ධ පිරිවරද මාධ්‍ය ප්‍රචාරණ කටයුතු අධීක්ෂණය කිරීමට (සමාජ ජාල වෙබ් අඩවිද ඇතුළත්ව) විශේෂ කාර්යමණ්ඩලයක්ද පත්කෙරෙනු ඇත. සම්පාදක මණ්ඩලයේ සභාවාර,තීන්දු හා තීරණ,යෝජනා ආදිය ජනතාවට දැනගැනීම සඳහා වෙබ් අඩවියක් ආධාරයෙන් ප්‍රචාරය කිරීමේ වගකීමද මෙම මාධ්‍ය කාර්යමණ්ඩලයට පැවරෙනු ඇත.

 

  • ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටුවීම නීතිගත කෙරෙන ලියැවිල්ලක් සකස් කිරීම මන්ත්‍රණ සභාව රැස්වෙන පළමු දිනයේ විශේෂ මෙහෙයුම් කමිටුවකට පැවරෙනු ඇත.

 

  • සම්පාදක මණ්ඩලය පාර්ලිමෙන්තුවේ රැස්වනු ඇත.බස්නාහරි පළාතෙන් පිට වෙනත් ස්ථානයක රැස්වීමටද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට අවසර ඇතත් යෝජනා ඉදිරිපත් කිරීම හෝ ඡන්ද විමසීම හෝ සිදුවිය යුත්තේ පාර්ලිමෙන්තුවේ පැවැත්වෙන රැස්වීම් වලදීය.

 

  • සම්පාදක මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය විටෙකදී සහය ලබාගැනීමට වෙනත් ආයතන හෝ සේවා හා සම්බන්ධ වීමටත්, අදාළ විෂයයන් සම්බන්ධ විද්වතුන් පත්කර ගැනීමටත් විශේෂ මෙහෙයුම් කමිටුවට අවසරය හිමිය.

 

  • සම්පාදක මණ්ඩලයේ සහ ඒ සම්බන්ධ උප කමිටු රැස්වීම් වල තොරතුරු මහජනතාවට දැනගත හැකිවන සේ නිදහස් කෙරෙනු ඇත.ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් එම කටයුතු සිදුවනු ඇත්තේ පාර්ලිමෙන්තු බලතල හා හිමිකම් පණත ප්‍රකාරවය.

 

  • මහජන නියෝජන කමිටුවේ සාමාජිකයින් පත් කිරීමෙන් පසු මහජනතාවගේ අදහස් විමසීම අරබයා එම කමිටුව භාෂා 3 න්ම පුවත්පත් නිවේදන පළකරනු ඇත.එම නිවේදන පලකර සති 3 ක් ඇතුළත තම අදහස් මහජන නියෝජන කමිටුව වෙත යොමුකිරීමට මහජනතාවට අවස්ථාව හිමිය.

 

  • නව ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු පිළිඹදව ජනතාව දැනුම්වත් කිරීමේ වගකීම පැවරෙන්නේ මහජන නියෝජන කමිටුවටය.නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් ජනතාව අතර කතිකාවකත් ඇතිකිරීම මෙහි අරමුණයි.ඒ සඳහා සමාජ ජාල වෙබ් අඩවිද යොදාගැනෙනු ඇත.

 

  • මහජන නියෝජන කමිටුවට ඉදිරිපත් කෙරෙන යෝජනා ලිඛිතව භාරදිය යුතුවනු ඇති අතර විශේෂ අවස්ථාවකදී පමණක් මුඛ්‍ය අදහස් සටහන් කරගැනීමක් සිදුකළ හැකිය.කමිටුවේ වාර්තාව මාස 3 ක් ඇතුළත හෝ නියමිත කාලයක් ඇතුළතදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇත.

 

  • සම්පාදක මණ්ඩලය රැස්වනු ඇත්තේ අගමැතිවරයාගේ හෝ ඔහුගේ අණ පරිදි පත් කෙරෙන කැබිනට් අමාත්‍යවරයෙකුගේ නියමයෙනි. සම්පාදක මණ්ඩලයේ අනු කමිටු වල වාර්තා විශේෂ මෙහෙයුම් කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.ව්‍යවස්ථාව සකස් කිරීමේදී මහජන නියෝජන කමිටුවේ හා මෙම අනු කමිටු වල යෝජනාවන්ද සැළකිල්ලට ගැනෙනු ඇත.

 

  • යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු පිළිගත් ප්‍රතිපත්ති හා විනය මාලා අනුව එම යෝජනා ක්‍රියාත්මක කළ හැකිදැයි සම්පාදක මණ්ඩලයේ අවධානයට යොමු කෙරේ.යෝජිත ව්‍යවස්ථා සංශෝධනයන් ගැන විවාද පැවැත්වීමටද මෙහිදී අවස්ථාව ඇත.

 

  • සම්පාදක මණ්ඩලයේ සංශෝධන අවසානයේ ව්‍යවස්ථාවේ දළ කෙටුම්පතක් සකස් කිරීමේ වගකීම පැවරෙන්නේ විශේෂ මෙහෙයුම් කමිටුවටය.එසේ සකස් කෙරෙන අවසන් කෙටුම්පත නැවත වරක් සම්පාදක මණ්ඩලයේ අධීක්ෂණයට ඉදිරිපත් කරනු ඇත්තේ අගමැතිවරයාය.

 

  • සම්පාදක මණ්ඩලයේ සභාපති වන කතානායක හෝ ඔහු නොමැති අවස්ථාවකදී උප සභාපතිවරයෙක් හෝ මෙම අවසන් කෙටුම්පතේ ඇති යෝජනා එකින් එක සම්පාදක මණ්ඩලය හමුවේ ගෙන හැර දක්වනු ඇත.මෙම අවස්ථාවේදී විවාද කිරීමට හෝ සංශෝධන සකස් කිරීමට හෝ අවස්ථාවක් නොමැත.යෝජනා ගෙන හැර දැක්වීමෙන් පසු සාමාජිකයෙකුට එම යෝජනා සම්බන්ධ

 

සංශෝධනයක් සිදුකිරීමට අවැසි වේ නම් ඒ සඳහා අවස්ථාව ඇත.ඇතැම් යෝජනා සාකච්ඡාවට ගැනීම පසුවට කල් දැමිය හැකිය.මෙසේ කල් දැමෙන යෝජනා සාකච්ඡාවට ගැනෙනු ඇත්තේ දැනට කෙටුම්පතේ ඇති යෝජනා හා අලුතින් ඉදිරිපත් වන යෝජනා සියල්ල සැළකිල්ලට ගැනීමෙන් පසුවය.

 

 

  • මෙසේ සකස් කෙරෙන දළ ව්‍යවස්ථා කෙටුම්පතට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ තුනෙන් දෙකක ඡන්දය හිමි නොවන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය හා එහි අනුබද්ධිත උප කමිටු සියල්ල විසිරුවා හැරෙනු ඇත.නමුත් තුනෙන් දෙකක ඡන්දය හිමිවන අවස්ථාවකදී විශේෂ මෙහෙයුම් කමිටුව මෙම ව්‍යවස්ථා කෙටුම්පත නියමිත පරිදි සකස් කර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය හා එහි අනු කමිටු විසිරුවා හැරෙනු ඇත.

 

 

  • කැබිනට් මණ්ඩලයේදී මෙම දළ ව්‍යවස්ථාව රටේ පවත්නා ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ප්‍රතිස්ථාපනය කිරීමට සමත් නව ව්‍යවස්ථාවක් ලෙස සලකා කටයුතු කෙරෙනු ඇති අතර අනතුරුව එය ගැසට් මගින්ද ප්‍රසිද්ධියට පත්කෙරෙනු ඇත.නව ව්‍යවස්ථාව දිවයිනේ සියලු පළාත් සභා වලට යොමුකර ඒවායේ අදහස් වීමසීම වගකීම ජනපතිවරයාට පැවරෙන වගකීමකි.

 

  • අනතුරුව නව ව්‍යවස්ථාව පාර්ලිමෙන්තුවේ සභාගත කිරීම සඳහා එය පාර්ලිමෙන්තු න්‍යාප පත්‍රයට ඇතුළත් කිරීම අගමැතිවරයා සිදුකරනු ඇත.83 වැනි වගන්තිය අනුව ව්‍යවස්ථාවක් පාර්ලිමෙන්තුවේ සම්මත වීම සඳහා තුනෙන් දෙකක බහුතර කැමැත්තක් තිබීම අනිවාර්යය කාරණයකි.එසේ තුනෙන් දෙකක බහුතරය හිමිවූ අවස්ථාවක කතානායකවරයා මෙවන් ප්‍රකාශයක් සිදුකරනු ඇත.

 

‘‘ ව්‍යවස්ථා මන්ත්‍රණ සභාව සකස් කළ මේ ව්‍යවස්ථාවට පාර්ලිමෙන්තුවේ බහුතර බලය හිමිව තිබේ.නමුත් මෙම ව්‍යවස්ථාව රටේ නීතිය බවට පත්වනු ඇත්තේ රටේ ස්වෛරීභාවයට සැබෑ අයිතිවාසිකම හිමි ජනතාවගේ මතයද විමසෙන ජනමත විචාරණයකින් ලැබෙන අවසන් තීරණය අනුවය.‘‘

  • මෙයින් පසු ජනපතිවරයා ඔහුට හිමි බලතල භාවිතා කර නව ව්‍යවස්ථාව ජනමත විචාරණයක් සඳහා යොමුකරනු ඇත.ජනමත විචාරණයේද කැමැත්ත ව්‍යවස්ථාවට හිමිවුවහොත් ඔහු තම බලතල භාවිතා කර එය රටේ නීතිය ලෙස ස්ථාපිත කරනු ඇත.

 

කුඩා පක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන ජනතපතිවරයාට තවමත් විරෝධය දක්වන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහින්ද හිතවාදී පාර්ශවය මෙසේ ඇතිකිරීමට යන ව්‍යවස්ථා මන්ත්‍රණ සභාවට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි පැහැදිලි නැත.කෙසේනමුත් අගමැතිවරයාගේ අරමුණ වන්නේ ලබන වසර ආරම්භවත්ම මන්ත්‍රණ සභාවේ කටයුතු ආරම්භ කිරීමයි.පලාත් පාලන ඒකකයන්ගේ මැතිවරණ පැවැත්වෙන අතරදීම මෙම සභාවේ කටයුතු දිගටම සිදුවනු ඇත.මෙයට පෙර අනුමැතිය ලබාගත යුතු සංශෝධනයන් 21 ක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ යුතුවද තිබේ.

 

එවන් එක් සංශෝධනයක් වන්නේ ප්‍රාෙද්ශීය පාලන ඒකකයන්ගේ ඇති ආසන සංඛයාව තුන් ගුණයකින් ඉහළ දැමීමයි.මෙම ආසන සම්පූර්ණයෙන්ම වෙන්වන්නේ කාන්තාවන්ටය.අගමැතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිව තිබේ.පිළිගත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලට මෙම යෝජනාවට ප්‍රකාරව මැතිවරණයට නාම යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට සිදුවේ.එයින් එකක් සාමාන්‍ය අපේක්ෂක නාමයෝජනාවලිය වන අතර අනෙක කාන්තාවන්ගේ නම් පමණක් සඳහන් වන නාමයෝජනාවලියයි.

 

විධායක ජනපතිධූරය අහෝසි කිරීමට හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට රජය කටයුතු කරමින් සිටීම ජිනීවා මානව හිමිකම් කවුන්සිල යෝජනා ක්‍රියාත්මක කිරීම අරබයා ශ්‍රීලංකාවට වාසි සහගත තත්ත්වයක් ඇතිකරනු ඇතැයි රජය විශ්වාසයෙන් සිටී.පසුගියදා ශ්‍රීලංකාවට පැමිණී එක්සත් ජාතීන්ගේ ඇමරිකා තානාපතිනී සමන්තා පවර් මහත්මියද මේ බව සඳහන් කළාය.ඇය අද (23) ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ දෙදෙන හමුවීමට නියමිතය.

 

මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ අයවැයේ විදෙස් ආයෝජකයින්ට හිතකර පරිසරයක් රටේ ඇතිකිරීමට හා පෞද්ගලික අංශයට සහය සැළසීමේ අරමුණ ඇතිව යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙනු හඳුනාගත හැකිවුනි.රජය ආර්ථික වර්ධනය කෙරේ වැඩි අවධානයක් යොමුකර තිබෙන බව එයින් පැහැදිලිව අවබෝධ කරගත හැකිය.

 

විධායක ජනපතිධූරය අහෝසි කිරීමටත්,මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමටත් රජය වහවහා පියවර ගනිමින් සිටී.මෙම පාලන සමයේ අත්කරගත නොහැකි බවක් පෙනුනද ඒ සංශෝධනයන් සිදුකිරීම සදහා අවශ්‍ය පියවර ගත්තේ තම රජය සමයේ බව ඉදිරි මැතිවරණයකදී කියා සිටීමට මෙනිසා රජයේ සාමාජිකයින්ට අවස්ථාව හිමිය.



අදහස් (0)

පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් වෙයි

වින්සන්ට් Sunday, 22 November 2015 11:00 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද හිතවාදී පාර්ශවයේ සහයෝගය මේ සඳහා ලබන්නට හැකිවේයැයි සිතනවාද? එම පාර්ශවය ජනතාවගේ අවශ්‍යතාවයට වඩා තමන්ගේ පැවැත්ම ගැන සිතන බව මගේ හැඟීමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2775 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2364 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2941 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5858 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1973 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6670 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18614 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 146 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site