( තිළිණි ද සිල්වා )
කෘෂිකර්ම අමාත්‍යාංශය ඩි.පී.ජේ ගොඩනැගිල්ලට ගෙන යාමත්, පාර්ලිමේන්තු කාරක සභාව ගොවිජන මන්දිරයේ පිහිටුවීමත් මගින් රජය බලාපොරොත්තු වූ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බව අග්‍රාමාත්‍යවරයා අද ( (16) ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා ලබා ගැනීමට අමාත්‍යාංශය රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ල සඳහා ගෙන ඒමේදී තමා එම ගොඩනැගිල්ල ලබාගත යුතු බවට කිසිඳු අවස්ථාවක ප‍්‍රකාශයක් හෝ දැනුම්දීමක් නොකළ බවද අග‍්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 21 මාසික කුලියකට රාජගිරිය ඩී.පී.ජේ ගොඩනැගිල්ල ගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම කොමිසම හමුවේ ගොනු වී ඇති පැමිණිලි විභාගයට අදාළව සාක්කි ලබා දෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එවකට අමාත්‍ය දුමින්ද දිසානායක මහතා තම අධීක්ෂණය යටතේ නොව ජනාධිපතිවරයා ගේ අධික්ෂණය යටතේ සිය ක‍්‍රියාකලාපයන් සිදු කර ගෙන ගිය බවත් අතමන් යටතේ සිටියේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් පමණක් යැයිදා අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා සිදු කළ වැඩිදුර ප‍්‍රශ්න කිරීම් හමුවේ අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
අග‍්‍රාමාත්‍යවරයා අද (16) පෙරවරු 9.30 සිට පෙරවරු 11.20 දක්වාත් , පසුව 1.30 සිට 4.20 දක්වා පැය පහකට වැඩි කාලයක් සාක්කි ලබා දුන්නේය.
කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්කි දුන් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාම හේතුවෙන් අධික වැය බරක් දරන්නට සිදුව ඇති බව තමන් පිළිගන්නා බවත් කොමිසන් සභාවේ හෙළි වී ඇති කරුණු හා එහි සාමාජිකයින් සිදුකරන ප‍්‍රශ්න කිරීම් අනුව තමාට ඒ බව පෙනී යන බවය.
එසේම අදාල ගොඩනැගිල්ල ලබා ගැනීමෙන් අපේක්ෂා කළ සාර්ථකත්වය මේ දක්වා ඉටු වී නොමැති බව ජනාධිපති කොමිසම හමුවේ අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එවකට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාල ගොඩනැගිල්ල ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවේ අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ඉදිරිපත් කරන බව සඳහන් කර තිබුණ ද තමන් උපදෙස් ලබාදුන්නේ එම ගොඩනැගිල්ල ලබා ගැනීමට නොව සුදුසු ගොඩනැගිල්ලක් පරීක්ෂා කර බලා ලබාගන්නා ලෙස බව අග‍්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ කියා සිටියේය.
මේ අතර අදාල සිද්ධිය සිදුවූ කාලවකවානුව තුළදී හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන යාම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ නායකයා ලෙස ඔවුන්ගේ ක‍්‍රියා කලාපයන් තමන් විසින් සොයාබලන අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ක‍්‍රියාකාරකම් සොයාබලා කටයුතු කිරීමේ වගකීම එහි නායකයා වශයෙන් ජනාධිපතිවරයාට පැවරෙන බව අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න , එහි පරීක්ෂකවරුන් වන විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන , විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ , හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන ලලිත් ආර්.ද සිල්වා සහ විශ‍්‍රාමලත් විගණන අධ්‍යක්ෂකවරයෙකු වන පී.ඒ.පේ‍්‍රමතිලක යන මහත්ම මහත්මීන් හමුවේ මෙම සාක්කි ලබා ගැනීම සිදු කෙරිණි.
කොමිසමේ සභාපති සහ එහි පරීක්ෂකවරුන් හා අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මියගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දුන් පිළිතුරු මෙසේය.
ප‍්‍රශ්නය : අගමැතිතුමනි, අද ඔබ ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබෙන්නේ ගොවිජන මන්දරය පාර්ලිමේන්තු කටයුතු වලට පවරා ගැනීම සහ ඒ ගැන මෙම කොමිසම හමුවේදී සාක්කිකරුවන් කැඳවා දුන් සාක්කි වල කරුණු නිරාකරණය කර ගැනීමටයි.ඒ අනුව ගොවිජන මන්දිරය පාර්ලිමේන්තුවට පවරා ගැනීමට ඔබ 2015 සැප්තැම්බර් 21 වැනි දින කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළාද ?
පිළිතුරු : ඔව් . මේ කැබිනට් පත‍්‍රිකාව මගේ නොවේ.පාර්ලිමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව මා එය ඉදිරිපත් කළා.සෙත්සිරිපායට ආසන්නව අලුතින් ඉදිවන තට්ටු විස්සක ගොඩනැගිල්ලේ තට්ටු පහක් හිස්ව ඇති බව මා දැන ගත්තා.
කොමිසමේ සභාපති : අගමැතිවරයා ලෙස ඔබ ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවේ කරුණු ඒ අයුරින්ම පසුව ඉෂ්ඨ නොවුනේ ඇයි කියා සොයා බැලූවේ නැද්ද ?ඔබගේ පිළිතුරු සඳහා පහසුවටයි මා කලින්ම මෙය අසා සිටින්නේ ?
පිළිතුර : ස්තූතියි.
කොමිසමේ සභාපති : ඔබේ මේ කැබිනට් පත‍්‍රිකාවත් ඒ සඳහා කැබිනට් එක ලබා දුන් අනුමැතියත් ඔබේ ලේකම් සමන් ඒකනායක හොඳින් දැන සිටියා කීවොත් එකඟ වෙනවාද ?
පිළිතුරු : ඔව් අගමැති ලේකම්වරයා , පාර්ලිමේන්තු ලේකම්වරයා , අමාත්‍යාංශ ලේකම්වරයා එය දැන සිටියා.
අතිරේක සොලිසිටර් ජනරාල්වරිය : 2015 සැප්තැම්බර් 29 වැනිදා වැඩ බලන ආරක්ෂක ඇමතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවක සඳහන් වෙනවා , සෙත්සිරිපාය අසල තට්ටු 20ක ගොඩනැගිල්ලේ පරිපාලනය නාගරික සංවර්ධන අධිකාරියට බාර දිය යුතු බවට?
පිළිතුරු : ඔව් එය එකල නාගරික සංවර්ධන අධිකාරිය ඉල්ලමින් තිබුණේ.
ප‍්‍රශ්නය : මේ තට්ටු 20ක ගොඩනැගිල්ලේ ස්ථාපති කිරීමට යෝජිත අමාත්‍යාංශ අතරික් එකක් වුනේ කෘෂිකර්ම අමාත්‍යාංශය නේද ?
පිළිතුරු : ඔව් , මගේ ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් කළ නිර්දේශයන්ට අනුව මේ ගොඩනැගිල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපති කරන්න නිර්දේශයක් තිබුණේ නැහැ.කෘෂීකර්ම අමාත්‍යාශය පෞද්ගලික ගොඩනැගිල්ලක ස්ථාපති කරන්නයි නිර්දේශ කර තිබුණේ.
අතිරේක සොලිසිටර් ජනරාල්වරිය : මේ තට්ටු 20ක ගොඩනැගිල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා තවත් අමතර තට්ටුවක් වෙන් කළේ නම් අවශ්‍ය වර්ග අඩි 55,000කට ආසන්න ප‍්‍රමාණයක් ලැබෙනවා නේද ?
කොමිසමේ සභාපති : 15 වැනි තට්ටුවේ උනත් කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කරන්න තිබුණා නේද ? ඔබ රටේ දෙවැනි රාජ්‍ය නායකයා ? ඔබට ඇති වගකීම් මූලික කරගෙනයි මෙම විමසීම් කරන්නේ , නැතිව ඔබව හිතාමතා අමාරුවේ දමන්න නොවෙයි ?
පිළිතුරු : මම කල්පනා කළේ මේ අමාත්‍යාංශ සෙත්සිරිපායට යවන්න.ඒක පහසුයි.ඒත් අගමැති ලේකම් සමන් ඒකනායක ප‍්‍රධාන කමිටු වාර්තාවෙන් නිර්දේශ්‍යක් අවා කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ස්ථානයකට ගෙන යන්න.මොකද ඒ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන හා අංශයක් එකම තැනකට ගෙන යන්න උවමනාවක් තිබුණා.
කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : ඒත් මේ උවමනාව අද දක්වාම ඉෂ්ට වෙලා නැහැ නේද ?අගමැති රටේ දෙවැනි පුරවැසියා.ගොවිජන මන්දිරයේ තිබූ අමාත්‍යාංශ බත්තරමුල්ල තට්ටු 20 ක ගොඩනැගිල්ලේ 14 සිට 18 දක්වා තට්ටු වල ස්ථාපිත කරන්න කියා අගමැති යෝජනා කර තිබියදීත් අගමැති ලේකම්වරයාගේ කමිටුව ඒ යෝජනා නොසලකා ඔවුන්ගේ හිතුමතේට මෙය කළේ ඇයි කියන එකයි ප‍්‍රශ්නය ?
පිළිතුරු : නෑ .එක එක අමාත්‍යාංශ වලට බෙදුවාම කෘෂිකර්ම අමාත්‍යාංශ්‍යයට ඉඩ නැතිවේවි කිව්වා.
කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : ඔබේ අවධානය වුණේ කෘෂිකර්ම අමාත්‍යාංශය මේ ගොඩනැගිල්ලට ගෙන යාම, ඒත් ඔබේ යෝජනාව නොතකා හැරියා ?
පිළිතුරු : කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව ඉඩමක් තිබුණා.ඒ අය මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලුවා අලුත් ගොඩනැගිල්ලක් හදන්න.පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීමට ගොවිජන මන්දරය ලබා ගත යුතුව තිබුණා.ඒ අනුව ඒ ගොඩනැගිල්ලේ තිබූ අමාත්‍යාංශ හතරකට ඉවත් වන්න සිදු වුණා.
එහිදී තමයි කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ගොඩනැගිල්ලක් සොයා ගැනීමට ප‍්‍රමුඛස්ථානය දෙන්න වුණේ.සෙත්සිරිපාය අසල ගොඩනැගිල්ලෙන් තට්ටු කිහිපයත් ඒ සඳහා ලබා ගත්න මැදිහත් වන ලෙස මගෙන් ඉල්ලීමක් කර තිබුණේ නැහැ.වැඩිපුර දෙපාර්තමේන්තු තිබෙන නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනම තැනක් දෙන්න උත්සාහයක් තිබුණා.
අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ ප‍්‍රශ්නය : එවකට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරවූයේ නැද්ද ?
පිළිතුරු : මේ ගැන දැනුම් දුන්නේ නැහැ.
ප‍්‍රශ්නය : දුමින්ද දිසානායක ඇමතිවරයා සාක්කි දෙමින් පැවසුවා ගොවිජන මන්දිරය ආංශික අධීක්ෂණ කාරක සභා ක‍්‍රියාත්මක වන බව දන්නේ නැහැ කියලා.
පිළිතුරු : හොඳම දේ පාර්ලිමේන්තු මහලේකම්වරයා ගෙන් එය අසන එකයි.පාස්කු ඉරිදා තේරීම් කාරක සභාව මේ ගොඩනැගිල්ලේදී තමයි රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන ගෙන සාක්කි විමසූයේ.පාර්ලිමේන්තුව් එය කළේ නැහැ.
කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : ගොවිජන මන්දිරය පිහිටි භූමිය අක්කර 37ක බිමක්.එසේ නම් ඉඩම් සොයා නොගොස් ආංශික අධීක්ෂණ කාරක සභා වලට වෙනම ගොඩනැගිල්ලක් හදන්න තිබුණා නේද පසුගිය අවුරුදු 4ක කාලය තුළ ?
පිළිතුරු : මේ සම්පූර්ණ ඉඩම පාර්ලිමේන්තුවට අරගෙන වෙන අංශයකට නොදෙන්නයි තීරණය කළේ.
අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ ප‍්‍රශ්නය : ඔබ එවකට විෂය බාර ඇමති දුමින්ද දිසානායකට උපදෙස් දුන්නද ඩී.පී.ජේ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සලකා බලන්න කියා?
පිළිතුරු : අමාත්‍යාංශය සඳහා ගොඩනැගිලි පරීක්ෂා කරලා සුදුසු එකක් ගන්න කියලයි මම උපදෙස් දී තිබුණේ.ඒ ගොඩනැගිල බලලා සුදුසු එකක් තීරණය කරන්න කියාලා. ඩී.පී.ජේ ගොඩනැගිල්ලලෙන් තට්ටු දෙක තුනක් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහාත් හරීන් ප‍්‍රනාන්දු ඇමතිවරයටා ඉල්ලා තිබුණා.කැමති තීරණයක් ගන්න කියා මා දුමින්ද දිසානායක මහතාට කිව්වා.
ප‍්‍රශ්නය : මේ ඞී.පී.ජේ. ගොඩනැගිල්ල සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළාද ?
පිළිතුරු : මා දන්නා අන්දමට සමන් ඒකනායක මහතා ගේ කමිටුව අනුවයි තෝරා ගත්තේ.වෙනම ටෙන්ඩර් කැඳවීමක් කළේ නැහැ.
කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : ඒ ගොඩනැගිල්ල තෝරා ගත්තේ කාගේ අභිමාතය අනුවද?
පිළිතුරු : කෘෂිකර්ම අමාත්‍යාංශයේ
කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : මේ ඞී.පී.ජේ ගොඩනැගිල්ල සඳහා රාජ්‍ය ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය අනුගමනය කරලා නෑ , ශක්‍යතා වාර්තාවකුත් නැහැ.
පිළිතුරු : නැහැ.ශක්‍යතා අධ්‍යයන වාර්තා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුනේ නැහැ.
කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : අගමැති රනිල් වික‍්‍රමසිංහ දුන් උපදෙස් අනුව නිලධාරීන් සමඟ ගොස් රාජගිරියේ පිහිටි උපාලි ජයසිංහගේ ගොඩනැගිල්ල පරීක්ෂා කළා යැයි දුමින්ද දිසානායක කියා තිබෙනවා.
පිළිතුරු : මම ඔක්කොටම ගොඩනැගිල්ල බලන්න කියලා උපදෙස් දුන්නා.
කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : අගමැති ලේකම් ප‍්‍රමුඛ කමිටුව ගොඩනැගිලි තුනක් බලන්න කියන එක යෝජනා කර තිබියදීත් , ඔබ ඞී.පී.ජේ ගොඩනැගිල්ල බලන්න කියන උපදෙස් දුන්නේ ඇයි ?
පිළිතුරු : මා කිව්වේ ගොඩනැගිල් තුනක් බලන්න කියලයි.ඉන්පසු දුමින්ද දිසානායක පැවසුවා ගොඩනැගිල්ල මිළඳී ගත යුතුයි කියා.මා කිව්වා මිළදී ගන්න කියලා මම කිව්වේ නැහැ නේ කියලා.හදිසියක් තිබුණා ගොවිජන මන්දිරය නිදහස් කරන්න .මේ සම්බන්ධයෙන් කතානායකවරයා මට නිතර ලිපි එව්වා ඉක්මන් කරන්න කියලා.
කොමිසම් පරීක්ෂක විශ‍්‍රමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප‍්‍රශ්නය : කතානායකට එතරම් උවමනාවක් තිබූ බව පෙනෙන්න නෑ, 2019 මැයි දක්වා ආංශික අධීක්ෂණ කාරක සභා පැවැත්වුනේ පාර්ලිමේන්තුවේයි.ඔබට තේරෙනවා නේද කොතරම් රජයේ මුදලක් අපතේ ගියාද කියලා ?
පිළිතුරු : මා දන්නා තරමින් ඇමතිවරුන් ගෙන් ඉල්ලීම් තිබුණා පාර්ලිමේන්තුවේ කාමර අවශ්‍යයි කියා.බොහොම අමාරුවෙන් මේ කටයුතු කර ගෙන ගියා.හැම ආංශික අධීක්ෂණ කාරක සභාවකම වෙනම කාර්යාලයක් තිබිය යුතුයි.පර්යේෂණ අංශයක් තිබිය යුතුයි.මේ ඉඩකඩ පාර්ලිමේන්තුවේ නෑ.
කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : ඔබට පහසුකම් තිබුණා කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකරන්න ?
පිළිතුරු : පාර්ලිමේන්තුව තීරණය කළා එය ගොඩනැගිල්ලකට යන්න.
කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : පාර්ලිමේන්තු මහලේකම් කියා තිබෙනවා ආංශික අධීක්ෂණ කාරක සභා ගොවිජන මන්දිරයේ පවත්වා ගෙන යන්නේ ඒ සඳහා ගොඩනැගිලි හදන්න කියලා?
පිළිතුරු : ගොඩනැගිලි ඉදි කරන්න මුදල් ඉල්ලා නැහැ.මා දන්නා තරමින් මෙය කළේ ස්ථිරවම ගෙනයන්න.කතානායක තමයි තීරණය කළේ වෙන තැනකට ගෙනි යන්න.
කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : රාජගිරිය ඞී.පී.ජේ ගොඩනැගිල්ල වර්ග අඩි 1, 03000ක් සඳහා භාවිතයට ගත්තත් අමාත්‍යාංශ භාවිතයට ගනු ලබන්නේ වර්ග අඩි 90,000ක පමණ ප‍්‍රමාණයක් , ඒවගේම තක්සේරු දෙපාර්තමේන්තුව අදාළ ගොඩනැගිල්ලේ මාසික කුලිය මිලියන 13.5ක වටිනාකමක් පමණයි ලබා දී තිබෙන්නේ, නමුත් බදුකරු එය දී ඇත්තේ මිලියන 21කට එය පාඩුවක් නේද ?
පිළිතුරු : ඔව්. රජයේ තක්සේරු වාර්තාව සැලකිය යුතුයි.ඒ ගැන අමාත්‍යාංශ බලධාරීන් සැලකිල්ලට ගත යුතුව තිබුනා.
කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : මෙම ගොඩනැගිල්ල සඳහා ගොඩනැගිලි අනුකූලතා සහතිකය ලබා ගෙන ඇත්තේ වර්ග අඩි 94,500ක පමණයි.මේ ගැන දැනුම්වත්ද ?
පිළිතුරු : තක්සේරුකරුගේ යුතුකම ඒ සියල්ල ගැන සොයා බලා දැනුම් දීමයි.
අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ ප‍්‍රශ්නය : මෙම ඞී.පී.ජේ.ගොඩනැගිල්ල පිහිටි ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් බෙදුම්කර නඩුකරයක් තිබෙන බව කොමිසම හමුවේ හෙළි වී තිබෙනවා , ඒ අනුව මෙම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට දී තිබෙන්නේ අනිත්‍යානුකූලව, ඒසේම උපාලි ජයසිංහ මෙම කරුණු සඟවා වංචා සහගතව සිදුකළ ගිවිසුමක් බව පිළිගන්නවද ?
පිළිතුරු : එකඟයි.එසේ නම් එම වංචා සහගත තත්ත්වය පිළිබඳ විභාගයක් පවත්වා මෙතැන ප‍්‍රශ්න කරන එක හොඳයි.මෙම බදු ගිවිසුම සම්බන්ධයෙන වන් නීතිපති දෙපාර්තමේන්තුවට අපි ඉදිරිපත් කරනු ලැබුවා.ඊට සංජය රාජරත්නම් මහතා අවස්ථා කිහිපයකදීම අපට කරුණු දක්වා තිබුණා.
ප‍්‍රශ්නය : නමුත් මෙම බදු ගිවිසුමේ අවසන් ලිපි ගොනුව නීතිපතිවරයා වෙත යොමු වී නැහැ.ඔබ එය පිළිගන්නවාද ?
පිළිතුරු : ගිවිසුම සම්බන්ධයෙන් සංශෝධන ලිපි දෙකක් අප නීතිපති දොපාර්තමේන්තුවට යැව්වත් , අවසන් ලිපි ගොනුව යවන් බැරිවී තිබෙනවා.
ප‍්‍රශ්නය : මීට පෙර අවස්ථාවකදී ඞී.පී.ජේ ගොඩනැගිල්ලට මුදල් ගෙවීම හරි හැටි සිදු නොකිරීම සම්බන්ධයෙන් ඔබතුමන් එම අමාත්‍යාංශයේ එවකට අතිරේක ලේකම්වරියට දොස් පවරා ඇති බවත් , ඒ අනුව එවකට අමාත්‍යාංශ ලේකම් විජේරත්න මහතා විසින් එම අතිරේක ලේකම්වරිය ඒකාබද්ධ සංචිතයට මාරු කර යවා ඇති බව මෙම කොමිසමේදී කරුණු හෙළි වුනා ?ඇත්තටම එම මාරු වීමට ඔබ සම්බන්ධද ?
පිළිතුරු: මම එම අතිරේක ලේකම්වරියගේ රාජකාරී අතපසුවීමක් සම්බන්ධයෙන් දැඩි ලෙස කරුණු පෙන්වා දුන්නා. එසේ වුවද ඇයගේ මාරු කිරීමට මා සම්බන්ධ නැහැ.
කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මිලියන 21 මාසික කුලියකට ලබා ගත් රාජගිරිය ඞී.පී.ජේ ගොඩනැගිල්ල සඳහා ගිවිසුම් ප‍්‍රකාරව 2016 අපේ‍්‍රල් 08 වැනිදා සිය 2019 මේ දක්වා රුපියල් බිලියන 1යි මිලියන 479 හතලිස්දහසක මුදලක් ගෙවලා , ඒ වගේම බදු මුදල් නියමිත පරිදි ගෙව්වත් ,අවුරුද්දයි මාස 4 ක් යන තුරු කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලට ගෙන ගොස් නැහැ.මෙය රජයේ අති විශාල මුදලක් අවභාවිත කිරීමක් නේද ?
පිළිතුරු : මා එය සාධාරණීය කරන්නේ නැහැ.
කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : ඞී.පී.ජේ ගොඩනැගිල්ල සඳහා අවුරුදු පහක කාලයකට බදු ගිවිසුම් එළැඹිලා.එම කාලයෙන් වසර 3ක් ගෙවී ගිය පසු ඉතිරි දෙවසරක කාලය සඳහා බදු කුලිය සියයට 15 කින් වැඩි කිරීමේ කොන්දේසියකට එකඟ වෙලා.මෙයත් රජයේ මුදල් රෙගුලාසි වලට පයහානි සහා රජයේ මුදල් අවභාවිත කිරීමක් නේද?
පිළිතුරු : ඇත්ත වශයෙන්ම මේ ගැන නීතිපති , මුදල් අමාත්‍යාංශය හා කැබිනට් මණ්ඩලය දැන ගතයුතුව තිබුණා.එය මුදල් රෙගුලාසි පිළිබඳ ක‍්‍රියා පටිපාටියට පටහැනියි.
ප‍්‍රශ්නය - මෙලෙස රජයේ මුදල් වැය කිරීම නිර්ථක ක‍්‍රියාවක් නේද ?
පිළිතුරු : කළ වියදම් වලින් සම්පූර්ණ ප‍්‍රයෝජනයක් රජය ලෙස අපට හිමිවූයේ නැහැ.අපිවත් , පාර්ලිමේන්තුවත් බලාපොරොත්තු වුනේ නැහැ කොමිසමේ හෙළි වූ කරුණු අනුව මෙහෙම මුදලක් වැය වේවි යැයි කියා.
කොමිසමේ සභාපතිගේ ප‍්‍රශ්නය : ඔබතුමන් සිතනවාද එවකට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා සපරාධි විශ්වාසය කඩකොට ඇති බවට ?
පිළිතුරු : මා හට මෙතැනදී එය පැවසිය නොහැකියි.ඔහු සමාජය ඉදිරියේ සිටින්නෙක්.
අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොනල්ඞ් පෙරේරා මහතා ගේ වැඩිදුර ප‍්‍රශ්න කිරීම හමුවේ අගමැති දුන් පිළිතුරු.
ප‍්‍රශ්නය : කොමිසම හමුවේදී සඳහන් වුනා ඔබ විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් ගැනීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ බවට , එය ඔබ විසින් ඉදිරිපත් කළත් ඊඨ කැබිනට් මණ්ඩලය සාමුහික වගකිය යුතුයි නේද ?
පිළිතුරු : ඔව්. කැබිනට් මණ්ඩලය සාමූහිකව වගකිව යුතුයි.
ප‍්‍රශ්නය : ඔබතුමා එවකට කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් දුන්නේ කුමන අකාරයටද ?
පිළිතුරු : පරීක්ෂා කර බල කෘෂිකර්ම අමාත්‍යාංශ්‍ය සඳහා සුදුසු ගොඩනැගිල්ලක් ලබා ගන්නා ලෙයසි.
ප‍්‍රශ්නය : එවකට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා ඔබතුමාගේ අධික්ෂණය යටතේ සිටි ඇමතිවරයෙක්ද ?
පිළිතුරු :කෘෂිකර්ම අමාත්‍යාංශ්‍ය සඳහා නව ගොඩනැගිල්ලක් ලබා ගැනීමේ සිද්ධිය සිදුවූ කාලවකවානුව තුළදී හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන යාම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ නායකයා ලෙස ඔවුන්ගේ ක‍්‍රියා කලාපයන් මා විසින් සොයාබැලූවා.
නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ක‍්‍රියාකාරකම් සොයාබලා කටයුතු කිරීමේ වගකීම එහි නායකයා වශයෙන් ජනාධිපතිවරයාට පැවරුණා.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘රජය බලාපොරොත්තුවූ ඉලක්ක සම්පුර්ණ කරන්න බැරි වුණා‘
නෙවිල් Monday, 16 September 2019 11:48 AM
දුමින්ද වැඩ කළේ ජනාධිපතිගේ අධීක්ෂණය යටතේ වුණාට, බිල්ඩිම ගන්න කැබිනට් පේපර් එක දැම්මේ කව්ද රොනල්ඩ් මහත්තයෝ..?
sanaMonday, 16 September 2019 03:42 PM
කැබිනට් පත්‍රිකාවක් මඟින් ඉදිරිපත් කෙරෙන දේ අදාළ නීති රීති හා ආයතන සංග්‍රහය හා මූල්‍ය රෙගුලාසි වලට අනුව ඉදිරිපත් වෙන බව බලාගන්නේ අදාළ අමාත්‍යංශ ලේකම්. මේ ගොඩනැගිල්ල පමණක් නොවේ අද වානිජ මට්ටමින් ගොඩනැගිල්ලක් කුලියට ගැනීම්දී ලැබෙන්නේ හිස් ශාලාවක්. ඒකට කාපට් කරලා පාටිෂන් කරගන්න එක කුලියට ගන්න ආයතනය කරන්න ඕන. මේ අමාත්‍යංශය ගොඩනැගිල්ල කුලියට ගත්තට පස්සෙයි පිරිවිතර හදලා ලංසු කැඳවන්නේ කාපට් කරන්නයි පාටිෂන් කරන්නයි. ඒත් කුලියට දුන්න කෙනාට ඒක අදාළ නෑ, කුලිය ගෙවන්න වෙනවා.
MaheeTuesday, 17 September 2019 07:18 AM
ඔබ ඔය කියන්නේ සාමාන්‍යයෙන් වෙන්න ඕන දේ. නමුත් මහජන මුදල් ඔය හිතන තරම් ලේසියෙන් නාස්ති කරන්න පුළුවන් නම් මොනවටද ටෙන්ඩර් මණ්ඩල, තාක්ෂණික කමිටු, රජයේ තක්සේරු කරු, කැබිනට් අනු කමිටු? ඔය සේරම තියෙද්දිත් කොහොමද මහජන මුදල් කෝටි ගණනක් නිකම්ම ගෙව්වේ? මහත්තයෝ, තමන්ගේ පක්ෂෙට ආවඩන එක කවුරුත් කරනවා. වැදගත් වෙන්නේ මැදිහත්ව හිතල බලන එකයි. තමන්ගේ කෙනා නිදහස් කරගන්න හේතු හොයනවට වඩා අපේ බදු මුදල් නිසි පරිදි වැයවී නැත්තේ ඇයි කියල හිතන එකටයි, හොරාට හොරා කියන්නයි බය වෙන්න එපා මහත්තයෝ. හැබැයි ඒකට අර අර හෘද සාක්ෂිය කියල එකක් තියෙන්න ඕන වෙනවා.
ලියනගේ Monday, 16 September 2019 04:27 PM
රජය බලාපොරොත්තුවූ ඉලක්ක සම්පුර්ණ කරන්න බැරිඋවත් අගමැතිවරයා සුවිශේසී යමක් කළේය. එනම් පසුගිය රජයේ සිටි ප්‍රබලයන් බොහෝ දෙනෙකු ජිනීවා විදුලි පුටුව නිසා අසරණ වී සිටියේය . විදුලිපුටුවෙන් මොවුන් සියලුදෙනාගේ ජිවෙතය බේරා දුන්න එකම මදිද
saliya Monday, 16 September 2019 11:53 AM
මෙච්චර කල් කිව්වේ ඔක්කොම කළා කියලා. අන්තිමේදී කරපු දෙයක් නැහැ කියලා පිළිගන්න වුණා.
HafeelTuesday, 17 September 2019 07:54 AM
සාලිය, මෙතන ඉතා පැහිදිලියි සහ ඔහුම නොකියා පිළිඅරන් ඔහුගේ නොහැකියාව, දුර්වලකම, අසමත්කම සහ මහජන මුදල් පිළිබඳව කිසිම වගකීමක් නැතිකම. නැවතත් ඔහු බලයට ආවොත් මේකමයි වෙන්නේ.
chandima Monday, 16 September 2019 11:59 AM
බලන්න, ජනතාව අාණ්ඩුවක් පත්කරන්නේ සාමූහිකව රට සංවර්ධනය කරන්න. එහෙම නැතුව පහුවෙලා මම නෙමෙයි එ්ක අධීක්ෂණය කලේ අරයා කියලා කියන්න නෙමෙයි. විශේෂයෙන්ම ඇමති මණ්ඩලයේ ප්‍රධානියා අගමැතිවරයාය කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය පවරලා තියෙද්දී. මේ වතාවෙත් වෙනත් පක්ෂ වලින් ජනාධිපති, අගමැති තේරුනොත් තව අවුරුදු 5කින් මෙයා මේ කතාවම කියනවා. ඉතින් මෙවැනි වගකීමක් නැති කෙනෙක් රටේ පාලකයෙක් වීමට සුදුසුද? මේ කියන්නේ මෙයා ගැන විතරක් නොවෙයි ජනාධිපති, අගමැති දෙදෙනාම ගැනයි.
Hafeel Monday, 16 September 2019 12:02 PM
ඒ වුණාට බලයට ආපු විගස ඇලෝසියස් සහ රවීට බලාපොරොත්තු වූ ඉලක්කයන් වඩා සම්පූර්ණ කරගන්න පහසුකම් ලබාදුන්නා නේද?
Asanka Monday, 16 September 2019 01:20 PM
සහතික ඇත්ත, බලාපොරොත්තු වුනේ අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ සල්ලි වලට පෙරේතකමේ රටෙන් භාගයක්ම අහිංසක ජනතාව වලපල්ලට යවන්න. නමුත් 300ක් පමණ අහිංසකයින්ගේ ජීවිත පූජාකරලා.. 250ක් ම සදාකාලික අබ්බගාත කරලා ඒ වග එළිවුණා. ඒ නිසා බලාපොරොත්තු වූ තරමටම ජනසංහාරයක් කරගන්න බැරිවුණා. සදාකල් බලයේ ඉන්න සහ ත්‍රස්තවාදීන්ගෙන් හම්බ කරගන්න.
Raveendra Monday, 16 September 2019 01:26 PM
අනේ සූත්තර පුංචෝ.. අදද ඕක දැනගත්තේ? මිනිස්සු නම් ඕක දැනගෙන සෑහෙන කල්.. නිකම් බබා දානවා නේද? ලැජ්ජයි ඔහේගේ කටින්ම කිව්වා එ්ක.. දැන් කෝ ඔහේගේ ගොට්ටෝ ටික මෙහෙම කිව්වා.. ආසියාවේ හොඳම උගතා? ඔබලා බලය වෙනුවෙන් අපගේ මාතෘභූමිය පාවාදුන්නා... එ්කට තමන්ට දඬුවම් කාලය විසින් දී ඇත. දැනටමත් දීලා තියෙන්නේ... ඒක ඔහේ හොඳින් දන්නවනේ..
ගමගේ Monday, 16 September 2019 02:01 PM
අරය මෙයාට වරද පටවනවා, මෙයා එයාට වරද පටවනවා.. වැඩේ පත්තු වුණාම ඔහොමද නායකයන් රටක් බාරගෙන ඉදිරියට ගෙනියන්නේ? අර බැංකු කොල්ලට අමතරව කෘෂිකර්මයට බිල්ඩිම ගන්නත් කියලා මහා ධනස්කන්ධයක් විනාශ කරලා. තවත් ජනාධිපතිකමට ඉල්ලන්නත් ලැහැස්ති වෙනවා. අනිත් පැත්තේ පොහොට්ටුවයි, නැට්ට්යි කියලා පෙනය පුම්බගෙන ඉන්න සර්පයාට තමයි රට යන්නේ අන්තිමට. එතකොට කොළොන්නාවේ දුමියලා, තංගල්ලේ සභාපතිලා වගේ අය ආයෙත් ළංකර ගෙන දන්සල් සාජ්ජ දමාවි අපිට සුදු වෑන් එවමින්... අනේ අපේ රටටයි, අනාගත දරුවන්ටයි යන කලක් …
Soma dubayi Monday, 16 September 2019 02:26 PM
යහපාලන රජය අලුත් රැකියා දස ලක්ෂයක් බිහිකර, සාමය සංහිඳියාව ඇතිකර, අතමිට සරු කළා. මේ දේවල් හොඳටම ඇති.
Hafeel Monday, 16 September 2019 03:34 PM
කුලියාපිටිය වොක්ස්වැගන් කාර් කර්මාන්ත ශාලාවෙත් පත්වීම් ලක්ෂ ගණන්.
amila Monday, 16 September 2019 02:33 PM
යුද්දේ ඉවර වෙලා ශීඝ්‍රගාමීව සංවර්ධනය වෙමින් තිබ්බ රට ආපස්සට හරවලා, මහ බැංකුවත් හොරා කාලා, මිනිසුන්ට බෝම්බත් ගහලා, ආර්ථික වර්ධන වේගේ 7න් 3 ට බස්සලා, රටටයි මිනිසුන්ටයි යන එන මන් නැති කලේ, ඒවත් ඉතින් ඉලක්ක තමයි.
Nimal Monday, 16 September 2019 03:03 PM
හොරුන් අල්ලනවා කිව්වත් එකත් කර ගන්න බැරි වුණානේ?
Nimal Monday, 16 September 2019 03:05 PM
අපි පත්තරවල ඔය හිස් ගොඩනැගිල්ල ගැන අනන්තවත් ප්‍රශ්න කරනකොට ඒවා වත් සලකලා බලලා ජනතාව කියන විසදුම අරගත්තානම් අද මෙහෙම කොමිසන් ගානේ ගිහින් කට්ටියට රස්තියාදු වෙන්න වෙන්නේ නැහැනේ?
gunarathna Monday, 16 September 2019 03:10 PM
තව මාස දෙකතුනකින් ජනතාවගේ ඉලක්කය බලාගන්ට පුළුවන්. එතකන් බොරුබයිලා කියකියා ඉන්ට පුළුවන්.
sena Monday, 16 September 2019 03:37 PM
මෙම හොර තක්කඩි සියල්ල පලවාහැර ගොඨාභය බලයට ගෙන යුතුයි .මෙය අවසාන අවස්ථාවයි. නැතිනම් ඇමරිකාව ,ද්‍රවිඩ බෙදුම්වාදීන් සමග එක්වී ලංකාවේ බලය පතුරුවනු ඇත
KumarMonday, 16 September 2019 05:42 PM
තමන්ගේ වැරැද්ද වහන්න අනෙක් අයට බනින එක සිරිතක්නේ... බෙදුම්වාදී ඇමෙරිකාවේ ඉන්නවද කියලා ගෝඨාගෙන් අහලා බලන්නකෝ...?
Bamunuarachchi Monday, 16 September 2019 04:40 PM
2012 ආර්ථික වර්දන වේගය 9.1%
chandima Monday, 16 September 2019 05:31 PM
නිලධාරීන් තමන් සතු බලතල මත බාර් පර්මිට් දුන්නාම නැට්ට උස්සගෙන කෑගහන මුදල් ඇමති කෙනෙක් ඉන්න රටේ තමයි මේ කෝටි ගණනකට ගොඩනැගිල්ලක් කුලියට ගත්තම මොකුත්ම දන්නේ නැති අගමැති ඉන්නේ.
Hafeel Monday, 16 September 2019 10:28 PM
මෙතන අගමැතිගේ පිළිතුර අනුව ඉතා පැහිදිලි ඔහුගේ නොහැකියාව, අසාර්ථක ගමන, මහජන මුදල් ගසා කෑම පිළිබඳව ඔහුට ගානක් නැහැ.
kolam boss Tuesday, 17 September 2019 12:49 AM
ඔතන සිද්ද වෙලා තියෙන්නේ මෙච්චරයි . ගොඩනැගිල්ලේ අයිතිකරු රජය පිහිටුවන්න උදවු කළ කෙනෙක් . රජය පත් උනාම ඔහුට කාලගුණ සැලකිය යුතුයි . නිකන් සල්ලි දෙන්න විදියක් නැහැ . ඉතින් කළේ මේ ගොඩනැගිල්ල බද්දට ගැනීම මගින් ඔහුට ආදායමක් ලබා දීමයි . ඔහුට පමණක් නෙමෙයි ඇමතිතුමාට සහ තවත් නිළදාරින්ටත් ගානක් හොයාගැනීමට අවස්ථාව දීමයි . නැතුව මෙතනට වැඩක් කරගන්න එන ජනතාවගේ පහසුව තකා තෝරගත්ත තැනක් නෙමෙයි මේක . අනිත් ලොකුම විහිළුව නම් ලංකාවේ පැරණිතම වෘත්තීය අංශය සඳහා ක්‍රියාත්මක වෙන අමාත්‍යංශය තමන්ටම කියල විශාල ඉඩමක සහ ගොඩනැගිල්ලක කරගෙන යනවිට එය එතනින් ඉවත්කර කුලී ගොඩනැගිල්ලකට ගෙනයන්න සිදුවීමයි .මෙතැනින්ම පේනවා ඉදිරියේදී ලංකාවේ කෘෂිකර්මයට මොකක්ද වෙන්න යන්නේ කියල . මේ සඳහා පත්වුන ඇමතිවරයා නව ඇමති කෙනෙක් . ඔහුට මුදල් අවශ්‍යයි . මේ නිසා ඔහුගේ අමාත්‍යාංශය කවුරුන් විසින් හෝ නිර්දේශ කල බව පෙනෙනවා . එකක් කියන්න අවශ්‍යයි . කෘෂිකර්ම ඇමති අකමැති උනා නම් වෙන මොකක් හරි දෙයකට හරි රජයෙන් මේ කුලියට ගන්නවා අනිවාර්යයි . මොකද එම හිමිකරුට රජය කලගුණ සැලකිය යුතුමයි . ඔහු ඡන්දෙදි සල්ලි වියදම් කලේ මේ වගේ දෙයක් බලාපොරෝත්තුවෙන්මයි.
Sunil Tuesday, 17 September 2019 01:36 AM
තමන්ගේ ගෝල බාලයින් කෝටි ගණන් පිල්ලි ගහනකොට ඒවාට අනුබල දුන් අයට මේ මුදල මොකක්ද?
Bandara Tuesday, 17 September 2019 02:01 AM
සේන හරි. ගෝඨාභය ආවොත් අපිට ඉන්න රටක් හරි ඉතුරු වෙයි. නැත්තන් ආයේ යුද්දේ පටන් ගනී. සොරා කෑම ගැන නෙමේ රටේ දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතා ඡන්දය දෙන්න.
Bamunuarachchi Tuesday, 17 September 2019 02:54 AM
ඔබලාගේ පළමු ඉලක්කය උනේ මහබැංකුව.ඉන් පසුව රටේ දියුණුවට කරන්න ඉලක්ක තිබුනේ නැත. දැන් ඉලක්ක කරනවා පසු පෙලේ මන්ත්‍රීලා වෙන්න.
BamunuarachchiTuesday, 17 September 2019 11:47 AM
මේගොල්ලන්ව පත්කරගත්ත අර 62 ට එගොල්ලම්ගේම මොකක්ද එක විකා ගන්න හිතෙනවා ඇති. කෝ මෙතැ ලියන ගොයියෝටික? ලජ්ජා තිබෙනවානම් ආයිත් මෙතන රනිල්ට කඩේ යන්න එපා රනිල්ට වහල් කම් කරන්න එපා.
Sugath Premalal Tuesday, 17 September 2019 05:02 AM
මෙම ලිපිය බුද්ධිමත්ව කියවීමෙන් ඇතිවන්නේ රටේ පාලකයන් ක්‍රියා කරන්නේ කිසිම සැලැස්මකට හෝ පාලනයකින් තොරව බවයි.බුද්ධිමත් ජනතාව බුද්ධියෙන් හිතන්න.මෙලෙස වැය කරන්නේ කරන්නේ කාගේ මුදල්ද ? අහිංසක ජනතාවගේ බදු මුදල් නොවේද ? මෙය එක් සිද්ධියක් පමණයි. මහ බැංකු කොල්ලය වගේ තව විනාශකාරී කටයුතු කොපමණ තිබේද ? නිසි පාලනයකින් කටයුතු කරන්නනේ නම් අද ලංකාව ඉන්නේ කොතනද ? දකුණු ආසියාවේ දුප්පත්ම රට ශ්‍රී ලංකාව බව ඔබලා දන්නවද ? 2015 ට පෙර නේපාලය , බංගලාදේශය වගේ රටවල් අපට පහලින් හිටපු රටවල්. අද ඔවුන් ලංකාවට වඩා සීග්‍ර දියුණුවක් ලබලා. ජනතාව තේරුම් ගත යුතුයි රට මෙතරම් අගාධයකට ඇද දැම්මේ දේශපාලකයින් බව.
BamunuarachchiTuesday, 17 September 2019 11:53 AM
මහත්තයෝ මේ ගොල්ලන්ට වැඩක් කරන්න බැරිබව තේරුම් ගන්න බුද්ධිමත් වෙන්න ඕනේ නැත. ඕනෙම මොලේ තිබෙන මෝඩයෙකුට තේරෙනවා හොරකමක්වත් කරන්න දන්නේ නැහැ කියලා. මහා බැංකුව හොරකම් කරලා ඉවර වෙන කොටම අහුවෙලා. අනික් අයට හොරු හොරු කියනවා. තාම බැරිවුණා උන් කරපු හොරකමක් අල්ලන්න.
himalWednesday, 18 September 2019 10:03 AM
ඔබ මොන සාධක මතද කියන්නේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දුප්පත්ම රට කියලා ? මේ බිල්ඩිමක් කුලියට ගත්ත ප්‍රශ්නයක් ගැන ලිපියක් කියවලා ඔබ ඒකෙන් රටක් මනිනවා නම් ඔබ ඉන්දියාවේ හෝ පාකිස්ථානයේ ප්‍රශ්න ගැන දැන ගත්තොත් ලෝකයම එපා වෙයි. අමතක කරන්න එපා මේ රටේ එක වසරේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා තාක්ෂණ විද්‍යාල වල පවා නොමිලේ උගන්වනවා. ශිෂ්‍යත්ව සහනාධාර, මහපොළ දෙනවා. පැරසිටමෝල් පෙත්තේ ඉඳන් හදවත් සැත්කම් දක්වා නොමිලේ රජයේ රෝහලෙන් කෙරෙනවා. පිං පඩි දෙනවා, විශ්‍රාම වැටුප් දෙනවා, සීසන් හදලා ප්‍රවාහනය දෙනවා. වෙන රටකට ගිහින් බලන්න අහස සූරණ මැදුරු හදද්දි මිනිස්සුන්ට මේ පහසුකම් දීලද හැදුවේ කියලා ?
vipula Tuesday, 17 September 2019 07:15 AM
කරගන්න බැහැ කියලනම් අපි දැනගත්තේ 2015 වේ දී .
chandima Tuesday, 17 September 2019 07:11 PM
වැඩේ හරියට කරගන්න බැරිවුණා කියන්නේ කෝටි දෙකක් ජනතාවගේ අනාගත බලාපොරොත්තු අසාර්ථක වුණා කියන එකයි. මේ අයට නම් එ්ක බොහොම පහසු උත්තරයක්. එහෙම කියලා අායෙත් ඡන්දෙ ඉල්ලනවා. අපේ රටේ සල්ලි, අනාගත පරම්පරාවේ බලාපොරොත්තු, මේ කට්ටියට අපිව තවත් අල්ලේ නටවන්න දෙනවද? වෙන රස්සාවක නම් වැඩේ බැරිනම් එලවල දානවා.