IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රවීගේ අයවැයට දුවන ගමන් රෙපයාර්

අයවැය ගැන ඉඟියක් ලබාදෙමින් පසුගිය නොවැම්බර් මස 20 වැනිදා රවී කරුණානායක මහතා පැවසූයේ මෙවර ඉදිරිපත් කරන්නේ පෙරළිකාර අයවැයක් බවයි.

පෙරළිකාර අයවැයක් කෙසේවෙතත් මෙවර අයවැය තරම් විරෝධයට,විවේචනයන්ට හා සංශෝධනයන්ට ලක්වූ තවත් අයවැයක් නොමැති තරම් බව සඳහන් කළ යුතුය.සමාජයේ සියලුම තලයන්හි ජීවත්වන ජනතාව සියලුදෙනා එකාවන්ව අයවැය යෝජනා වලට විරෝධය පළකළහ.සංශෝධන සිදුකළ යුතුව ඇතැයි කීහ.හොඳම උදාහරණය වන්නෙ පසුගියදා කොළඹට පැමිණි ගොවි මහතුන් පිරිසක් අමුඩයෙන් පමණක් සැරසී පොහොර සහනාධාරය වවුචර ක්‍රමයක් යටතේ නොව පැරණි ක්‍රමය යටතේම ලබාදිය යුතු බව පවසමින් කළ උද්ඝෝෂණයයි.අයවැයට සිදුවිය යුතු පළමු සංශෝධනය ඉදිරිපත් කළේ ජනපතිවරයා වීම විශේෂයකි.ඇල්කොහොල් ප්‍රතිශතය සියයට 5 කට වඩා අඩු බීර වර්ග මත පනවා ඇති බද්ද වැඩිකළ යුතු බව ඔහු මුදල් අමාත්‍යවරයාට දැනුම්දුන්නේය.

පසුගිය බදාදා රැයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදීද අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණ.පාප් වහන්සේ බැහැදැකීමට වතිකානය බලාගොස් සිටි ජනපතිවරයා මෙම හමුවට සහභාගීවූයේ දිවයිනට පැමිණි වහාමය.පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත් ලබාදීම පිළිබඳව ජනමාධ්‍ය හා පාර්ලිමෙන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විමසුවේය.මෙම අවස්ථාවේදී දැඩිව ඔහුට පිළිතුරු දුන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එසේ බලපත් ලබාදීමක් සිදුනොකරන බව අවධාරණය කළේය.මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර තිබෙන බව කියා සිටි කරුණානායක ඒ වෙනුවට පාර්ලිමෙන්තු මන්ත්‍රීරුන්ගේ වැටුප් වැඩිකිරීමට හා පාර්ලිමෙන්තු ධූර කාලයේ ඔවුන්ගේ භාවිතයට ලබාදෙන රථවාහන අවශ්‍යතාවයක් වෙතොත් ඔවුන්ටම මිලදී ගත හැකි ක්‍රමවේදයක් ඇතිකරන බව පැවසුවේය.මේ සඳහා රුපියල් ලක්ෂ 150 ක් දක්වා වටිනාකමින් යුත් ණය පහසුකම් ඇතිකිරීමට නියමිත බවද සඳහන් විය.

සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ පරිදි මුදල් අමාත්‍යවරයා කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින් සමග හමුවක් පවත්වා තිබේ.එයට සහභාගීව තිබෙන පක්ෂ නායකයින් පැමිණ ඇත්තේ හමුවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගීව වනු ඇතැයි සිතාය.නමුත් ඔහු ඊට සහභාගීව සිට නැත.පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප රුපියල් ලක්ෂ හතරක් දක්වා ඉහළ දැමීමට ඇති හැකියාව සම්බන්ධව හමුවට සහභාගීව සිටියෝ සාකච්ඡා කර තිබේ.වර්තමානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක්ට රුපියල් 55000 ක මාසික වැටුපක් හිමි අතර ඊට අමතරව සහභාගීවන පාර්ලිමෙන්තු සභාවාරයක් සඳහා රුපියල් 500 ක දීමනාවක්ද ඔවුන්ට ගෙවනු ලබයි.පෞද්ගලික ලේකම්වරයෙක්,කාර්යාල බඩුබාහිරාදිය ඔවුනට නොමිලයේ ලැබෙන අනෙක් වරප්‍රසාදයන්ය.

බලපත්‍ර ලබානොදීමට තීරණයක් ගෙන ඇත්තේ එම වැඩපිළිවෙල තමන්ගේ වාසියට යොදාගැනීමට ඇතැමුන් කටයුතු කරන නිසාවෙන් බව කරුණානායක පැවසුවේය.පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් තමන්ට ලැබෙන බලපත් ඉහළ මිල ගණන් වලට විකුණා දමන බව ප්‍රසිද්ධ රහසකි.මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙසේ බලපත්‍ර විකිණීම සාධාරණීකරණයද  කෙරිණ.එතැනින්  නොනැවතී ඒ සඳහා නීතිමය අවසරයද ලබාදෙනු ලැබිණ.මුදල් අමාත්‍යංශ වාර්තාවක දැක්වෙන පරිදි  මෙම වසරේ අගෝස්තු සිට ජනවාරි දක්වා වාහන 32287 ක් බලපත්‍ර යොදාගෙන මෙරටට ආනයනය කර තිබෙන අතර මෙම ආනයනයන් නිසා රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 147.3 කි.

දේශපාලන පක්ෂ නායකයින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමකට පැමිණ තිබෙන බව කරුණානායක කීවත් අගමැති වික්‍රමසිංහ ඔහුට විරෝධය දැක්වූවේය.පක්ෂ නායකයෙක් වන තමා මෙසේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීමට හා වාහන මිලදී ගැනීමට ඔවුන්ට ණය ලබාදීමට කිසිසේත්ම එකඟ නොමැති බව ඔහු කීවේය.මෙවන් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවුවහොත් එය ජනතාව අතර දැඩි දෝෂදර්ශනයට ලක්වනු ඇති බවත් එනිසා බලපත් ක්‍රමය සම්බන්ධයෙන් වෙනස් කම් සිදුකිරීමට දැන් කාලය සුදුසු නොවන බවත් ඔහුගේ අදහස විය.

කැබිනට් මණ්ඩලයේ පළවූ මෙම අදහස් වල අනුව නැවත වරක් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත් ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇත.අගමැතිවරයාගේ ඉල්ලීමට ගරු කරමින් නැවත වරක් බලපත් ලබාදීමේ ක්‍රමවේදය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව කරුණානායක සිකුරාදා කීවේය.නමුත් මෙවර යම් යම් කොන්දේසි යටතේ බලපත්‍ර ලබාදෙන බවද ඔහු පැවසුවේය.අදාළ මෝටර් රථයේ වටිනාකම,එහි එන්ජින් ධාරිතාවය බලපත් ලබාදීමේදී සැළකිල්ලට ගන්නා බව ඔහු කීවේය.

‘අපට ඇතැම් යෝජනා සංශෝධනය කරන්න සිදුවේවි.සමහර ඒවා ක්‍රියාත්මක කරන්න තවත් කාලයක් බලන් ඉන්නත් තවත් සමහර ඒවා වහාම ක්‍රියාත්මක කරන්නත් සිදුවේවි.‘

කැබිනට් අමාත්‍යහමුව අවසානයේ තම හිතෛශීයයෙකු සමග අදහස් දැක්වූ වික්‍රමසිංහ කීවේය.වැටුප් වැඩිකිරීමක් හෝ ණය ලබාදීමක් සිදුනොකර මන්ත්‍රීවරුන්ට වාහන බලපත් ලබාදීම වඩා පහසු බවද ඔහු පැවසුවේය.වාහන බලපත් ගැටලුව අරබයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද සංකේත වැඩවර්ජනයක් දියත් කළේය.එහි නියෝජිතයෝ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡාද පැවැත්වූහ.ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමෙන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළ අගමැතිවරයා තෝරාගත් රජයේ සේවාවන් වල නිරතවන්නන්ට වසර දහයකට වරක් වාහන බලපත් දෙකක් දක්වා ලබාගත හැකි ක්‍රමවේදයක් ඇතිකරන බව කිවේය.

සංස්ථා,ව්‍යවස්ථාපිත මණ්ඩල ආදියට සභාපතිවරුන්,අධ්‍යක්ෂකවරුන් හා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ බලතල අදාළ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල වල ලේකම්වරුන්ට බලය ලබාදිය හැකිදැයි නීතිපති දෙපාර්තමෙන්තුවෙන් විමසා සිටීමටද අගමැතිවරයා කටයුතු කර ඇත.නීතිපති දෙපාර්තමෙන්තුවෙන් ඔහුට දැනුම්දී ඇත්තේ දැනට පවත්නා නීති වල යම් සංශෝධන සිදුකිරීමෙන් එම බලය ලබාදිය හැකි බවයි.මෙවන් පියවරක් ගැනීමට සිදුව ඇත්තේ ඇතැම් සංස්ථා සභාපතිවරුන් හා අධ්‍යක්ෂකවරුන් ලැබෙන නියෝග නොතකා තවදුරටත් එම ධූරයන්හි රැඳී සිටීමේ තත්ත්වයක් උද්ගතව ඇති බැවින්ය.පාර්ලිමෙන්තු මැතිවරණයට පෙර රවී කරුණානායක යටතේ පැවති අමාත්‍යංශයට අයත් ආයතන වලට ඔහු පත්කළ සභාපතිවරුන් හා අධ්‍යක්ෂකවරුන් මෙසේ නියෝග නොතකා එම තනතුරු වල තවමත් රැඳී සිටින බවත් දැනගන්නට ඇත.

වෘත්තිය සමිති 18 ක හා රාජ්‍ය බැංකු ක්ෂේත්‍රය නියෝජනය කළ නියෝජිතයෝ පිරිසක්ද අයවැය යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැති වික්‍රමසිංහ හමුවූහ.එහිදී වර්ජනයකට නොයන ලෙස අගමැතිවරයා කළ ඉල්ලීම නොසළකා හැරි බැංකු වෘත්තිය සමිති පසුගියදා සංකේත වැඩවර්ජනයක් දියත් කළහ.මෙය අගමැතිවරයා කෝප ගැන්වීමට සමත්වූවක් වුනි.රජයේ මුදල් ගනුදෙනු පෞද්ගලික බැංකු මාර්ගයෙනුත් සිදුවිය යුතුය මැයෙන් කැබිනට් පත්‍රිකාවක්ද ඔහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.දැනට රජයේ මුදල් ගනුදෙනු සියල්ල සිදුවනුයේ රාජ්‍ය බැංකු මාර්ගයෙනි.නමුත් මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේම ඇතැම් අමාත්‍යවරු විරෝධය දැක්වූහ.මේ සම්බන්ධයෙන් තවත් අවධානය යොමුකළ යුතුව තිබෙන බව ජනපතිවරයාගේ අදහස විය.

බ්‍රහස්පතින්දා රැයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්,නියෝජ්‍ය ඇමැතිවරුන්,රාජ්‍ය ඇමැතිවරුන් හා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනපති සිරිසේන හමුවී අයවැය යෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කළහ.මෙය අයවැයට විරුද්ධව ඡන්දය ලබාදීමට නිදහස් පක්ෂ සාමාජිකයින්ට අවස්ථාවක් ඇතිද යන්න විමසා බැලීමට ඔවුන් යොදාගත් උපායක් වැනි විය.මෙම කණ්ඩායමේ ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා හමුවෙන් පසු අවස්ථාවක සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වූවේය.ජනපතිවරයා තම කණ්ඩායම හා ඉතාම හොඳින් අදහස් හුවමාරු කරගත් බවත්,අගමැතිවරයා හා සිකුරාදා දිනයේ සාකච්ඡාවක් සූදානම් කර දෙන බවත් කියා සිටියේයැයි ඔහු පැවසුවේය.

අගමැතිවරයා සමග පැවති හමුවේදී සාකච්ඡා කළ දේ සම්බන්ධයෙන්ද අදහස් පළකළ ඔහු නිදහස් පක්ෂ පිරිස ඉදිරිපත් කළ යෝජනා වලට අගමැතිවරයා හොඳ ප්‍රතිචාරයක් ලබාදුන් බව කීවේය.බොහෝමයක් යෝජනාවලට  අගමැතිවරයාගේ එකඟතාවය පළවූ බවද ඔහු කියා සිටියේය.පෙරේරාට අනුව අගමැතිවරයා අනුමැතිය ලබාදුන් යෝජනා මෙසේය.

සේවක භාරකාර අරමුදල හා සේවක අර්ථසාධක අරමුදල ඒකාබද්ධ නොකිරීම,පොහොර සහනාධාරය රබර්,පොල්,එළවලු හා පළතුරු වගාවන්ටද ලබාදීම,වාහන දුම්පරික්ෂණ ගාස්තුව රුපියල් 5000 සිට 1500 දක්වා අඩුකිරීම,රජයේ නිලධරයින්ට විශ්‍රාම යෑමෙන් පසු වාහන බලපත් ලබාගැනීමේ අවස්ථාව නැවත ලබාදීම,ලබන ජනවාරි මාසයේ සිට රජයේ සේවකයින්ගේ සාමාන්‍ය වැටුපට රුපියල් 2000 ක් එකතු කිරීම,කල්බදු පහසුකම් ලබාදීමට රාජ්‍ය බැංකු වලටත් අවස්ථාව ලබාදීම.

මෙම යෝජනා වලට අනුමැතිය ලබාදීමට අගමැතිවරයා කටයුතු කර ඇත්තේ ඒවා සියලුදෙනාගේ දැනගැනීමට යොමු කිරීමටත් පෙර වීම විශේෂය.

මීට පෙර සිදුකළ සංශෝධන වලින් අයවැය පරතරය රුපියල් බිලියන 7 කින් වැඩිවූ බව පැවසූ මුදල් අමාත්‍යවරයා මෙම නව සංශෝධනද සමග අයවැය පරතරය තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව පැවසුවේය.කෙසේනමුත් මෙම සංශෝධන තවදුටත් සළකා බැලෙමින් තිබෙන බවද ඔහු කියා සිටියේය.

‘මේකෙන් පේනවා එක්සත් ජාතික පක්ෂයටයි,ශ්‍රීලංකා නිදහස් පක්ෂයටයි එකට එකතුවෙලා වැඩකටයුතු කරන්න පුලුවන් බව.නව ව්‍යවස්ථාවක් පිහිටුවීම,මැතිවරණ ක්‍රමයට අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම,පුනරුත්ථාපන කටයුතු වගේ ජාතික ගැටලු විසඳනකොටත් මේ සහයෝගීතාවය අපට ගොඩක් ප්‍රයෝජනවත් වේවි‘ ඩිලාන් පෙරේරා පැවසුවේය.

පාර්ලිමෙන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත්කරනු වස් ජනවාරි මස 9 වැනිදා අගමැතිවරයා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලියත් සමග නව ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු ආරම්භ වනු ඇත.පාර්ලිමෙන්තුවට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කරන මත විමසා බැලීමටත්,විවාද කිරීමටත් හැකියාව ලබාදීම මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරීමේ අරමුණයි.ව්‍යවස්ථා සභාවේ කටයුතු මෙහෙයවීම සහ දළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ වගකීම පැවරෙනු ඇත්තේ විශේෂ මෙහෙයුම් කමිටුවකටය.අගමැතිවරයා සභාපතීත්වය දරනු ඇති මෙම කමිටුවේ අනෙක් සාමාජිකයින් ලෙස විපක්ෂ නායකවරයා,සභා නායකවරයා,අධිකරණ අමාත්‍යවරයා සහ ව්‍යවස්ථා මණ්ඩලයෙන් තෝරාගන්නා සාමාජිකයින් 11 දෙනෙක් පත්කරගැනීමට නියමිතය.මෙම සාමාජිකයින් 11 දෙනා තෝරාගනු ඇත්තේ ව්‍යවස්ථා මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ගේ කැමැත්ත අනුවය.

යෝජිත ව්‍යවස්ථා මණ්ඩලයට විරෝධය පළකරන්නවුන් අතර ඉදිරියෙන්ම සිටින්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාය.ඔහු හා බැසිල් රාජපක්ෂ පසුගිය සති කිහිපයේදීම හමුවී ව්‍යවස්ථා මණ්ඩලයක් ඇතිකිරීමෙන් පැනනගින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය මැතිවරණයේදී නව ව්‍යවස්ථාවක් ඇතිකිරීමක් ගැන සඳහන් නොකළ නිසා ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමට ප්‍රථමයෙන් ඒ සම්බන්ධ ජනමත විචාරණයක් පැවැත්විය යුතුය යන්නයි.මේ අතරම නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ කටයුතු වලද රාජපක්ෂ කාර්බහුලව සිටී.වාර්තා වලට අනුව ලබන මසදී පක්ෂයේ නම ප්‍රසිද්ධ කිරීමටත්,නියමිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව නව ව්‍යවස්ථාවක් පිහිටුවීමට රජය කටයුතු කරමින් සිටින ආකාරය ගැන විරෝධය දැක්වීමටත්, රාජපක්ෂ කඳවුර සූදානමින් සිටී.නව දේශපාලන පක්ෂයක් පිහිටුවිමේදී අදාළ නෛතික හා වෙනත් කටයුතු වලට කාලය වැයවීම මගහැරීමේ අරමුණින් දැනට ලියාපංදිචි කර ඇති දේශපාලන පක්ෂයක නම වෙනස් කර රාජපක්ෂගේ නායකත්වය යටතේ එය පෙරට ගෙන ඒමට සැළසුම් කර ඇතැයිද සඳහන් වේ.පක්ෂය යටතේ පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින්ද ඉදිරිපත් කිරීමටද නියමිත බව පැවසේ.රාජපක්ෂ කඳවුරේ ප්‍රධාන ඉලක්කය වනු ඇත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයින් හා සංවිධාන බව කිව හැකිය.

පාර්ලිමෙන්තුව ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්කිරීම සම්බන්ධයෙන් පැවති පාර්ලිමෙන්තු විවාදයේදී අදහස් පළකළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමෙන්තු ස්ථාවර නියෝග අනුව පිහිටුවිය හැක්කේ පාර්ලිමෙන්තු තේරීම් කමිටුවක් පමණක් හෙයින් මෙසේ පාර්ලිමෙන්තුව ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්කිරීම යනු එහි බලය හෑල්ලුවට ලක් කිරීමක් නොවන්නේදැයි යන්න විමසා සිටියේය.

‘අපි පාර්ලිමෙන්තුවේ බලය කිසිසේත්ම හෑල්ලුවට ලක්කරන්නේ නැහැ.මේ ගැන තීරණයක් ගන්න එක ජනතාවට භාර දෙන්න පුලුවන්.අපි මේ වෙනකන් ව්‍යවස්ථානුකූලව කටයුතු කරලා තියෙනවා.සෘජුවම ජනතාව එක්ක සම්බන්ධ වෙලා ඉදිරි කටයුතු ගැන ඔවුන්ගේ අදහස් ජනමත විචාරණයක් මාර්ගයෙන් විමසා බැලීමයි අපේ සැළැස්ම‘ එයට පිළිතුරු දෙමින් අගමැති වික්‍රමසිංහ පැවසුවේය.

තවදුරටත් මේ සම්බන්ධයෙන් විස්තර කළ අගමැතිවරයා පාර්ලිමෙන්තුව ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්කෙරෙන්නේ යෝජනාවලියක් ප්‍රකාරව මිස ස්ථාවර නියෝග වලට සිදුකෙරෙන සංශෝධනයක් ආකාරයෙන් නොවන බව පෙන්වා දුන්නේය.පවත්නා ස්ථාවර නියෝග වලට අනුව කිසියම් යෝජනාවලියක් පාර්ලිමෙන්තුවේ සම්මත වන්නේ නම් එය ක්‍රියාවට නැංවිය හැකි බවද ඔහු පැවසුවේය.නමුත් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයාට එරෙහිව අදහස් දක්වමින් ස්ථාවර නියෝග වලට අනුව එවැනි යෝජනාවලියක් සම්මත කර ගැනීමෙන් පාර්ලිමෙන්තුව කමිටුවක් බවට පත්වනු ඇති බවත් එනිසාම කමිටුවේ යෝජනා නැවත වරක් සාකච්ඡාවට ගැනීමට සිදුවන්නේ සාමාන්‍ය පරිදි පාර්ලිමෙන්තුවේම බවත් කියා සිටියේය.

අයවැයට මෙතරම් සංශෝධන සිදුවීම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක ලැබූ පරාජයක් ලෙස සිතීමට ඉක්මන් විය යුතු නැත.ඔහු අයවැය යෝජනා සම්බන්ධයෙන් දේශපාලන නායකයින් දැනුම්වත් කළේ මුල් අවදියේදීමය.යෝජනා සංශෝධනය කිරීම සඳහා අදහස් බොහෝමයක් ඉදිරිපත්ව ඇත්තේ විරෝධතා ස්වරූපයෙන් වන හෙයින් ජනතාව රටේ නායකත්වයට කර තිබෙන අභියෝගන් ලෙස ඒවා සැළකිල්ලට ගත හැකිය.මෙයින් අදහස් කෙරෙන්නේ අයවැයේ තිබූ යෝජනා සියල්ල සාධනීය බව නොවේ.ලක්ෂ 10 කට වඩා බැංකු ගිණුමකින් ලබාගන්නා පුද්ගලයෙක් මත එම මුදලට අදාළ බද්දක් පැනවීම වැනි ආන්දෝලනාත්මක යෝජනාද එහි තිබිණ.

සෙනසුරාදා රැයේ අයවැය පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය.ඡන්ද 160 ක් අයවැයට පක්ෂවද ඡන්ද 51 ක් විපක්ෂවද ලැබී තිබුණි.13 දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමෙන්තුවේ නොසිටියහ.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඔවුන් අතර විය.

ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා,සිලෝන කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණඩමන්,විපක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.

සිකුරාදා මුදල් අමාත්‍යංශයේ පැවති අයවැය ලේඛණයේ කමිටු අදියරේ සාකච්ඡාවට සහභාගීව සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දීර්ඝ ප්‍රකාශයක් සිදුකළේය.ඔහු පිටු 6 ක ලියැවිල්ලක් රැගෙන පැමිණ සිටියේය.

‘මට  ඇහිලා තියෙනවා රජයේ කට්ටිය අපට මේක කරන්න බැහැ,අපට අරක කරන්න බැහැ,ඔය කියන විදිහට සහන දෙන්න විදිහක් නැහැ වගේ දේවල් කියනවා.මම ඒ අයට කියන්නේ ධනාත්මකව අභියෝග දෙස බලන්නට පුරුදු වෙන්න කියා‘

ඔහු පැවසුවේය.යුද්දය අවසන් කිරීමට නොහැකි බව බොහෝ දෙනා කියා සිටියත් තමන් ඇතුළු රජය ධනාත්මක ආකල්පයකින් කටයුතු කළ නිසාවෙන්ම ජයග්‍රහණය කරා යාමට හැකිවූ බව ඔහු කීවේය.නවතා දමා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි ඔහු ගොවියන් වෙනුවෙන් ජනපතිවරයා මැදිහත්ව සාධාරණය ඉටුකරනු ඇතැයි අපේක්ෂා කරන බව කියා සිටියේය.ජනතාවට සවන්දී අයවැය සංශෝධනයන් සිදුකිරීමට අගමැතිවරයා පියවර ගෙන තිබීම සම්බන්ධයෙන් තම ස්තූතිය පුද කර සිටින බවද ඔහු පැවසුවේය.

ශ්‍රීලංකා අයවැය ඉතිහාසයේ පළමුවතාව සනිටුහන් කළ සිදුවීම් කිහිපයක්ද මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේ සිට සම්මත වීම දක්වා දැකගත හැකිවුනි.ඉන් එක් සිදුවීමක් වූයේ ජනපති ලේකම් කාර්යාලයේ හා ආරක්ෂක අමාත්‍යංශයේ මතය විමසීමට අයවැය ලේඛණයේ කමිටු මට්ටමේ සාකච්ඡාව පැවැත්වුණු අවස්ථාවේදී ඊට ජනපති සිරිසේනද සහභාගී වී සිටීමය.අයවැය ඉදිරිපත් කර දින කිහිපයකට පසු මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් කතානායකවරයාට භාරදීම තවත් සිදුවීමකි.මේ සම්බන්ධයෙන් ලබන වසරේදී තීරණයක් ගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා පවසා තිබේ.

විශ්වාසභංගය විවාදයට නොගෙන එහි අන්තර්ගත කරුණු විමර්ෂණය කිරීමට පාර්ලිමෙන්තු තේරීම් කමිටුවක් පත්කිරීමට අගමැතිවරයා ඉදිරිපත්ව සිටී.නමුත් එහි කටයුත වලද අවසානයක් තවමත් දක්නට නැත.

අයවැයට සිදුකළ සංශෝධනයන් නිසා මේ වන විට අයවැය පරතරය රුපියල් බිලියන 35.5 ක් දක්වා ඉහළ ගොස් තිබේ.පරතරය මෙසේ ඉහළ යාමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ලබන ජනවාරියේ සිට රජයේ සේවකයින්ගේ වැටුපට රුපියල් 2500 කින් ඉහළ දැමීම අරබයා සිදුකළ සංශෝධනය බව කරුණානායක පාර්ලිමෙන්තුවේදී කීවේය.මෙහිදී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා වැටුප් වැඩිකිරීමේ ප්‍රතිලාභය වතු කම්කරු ජනතාවටද හිමිවන බව කීවේය.

අයවැය විවාදයේ සෑම අවස්ථාවකටම සහභාගීවූ අගමැතිවරයා අයවැය යෝජනා සම්බන්ධයෙන් නැගුණු දැඩි විරෝධතා හා විවේචනයන්ට මුහුණ දුන්නේය.

‘අපි දක්කා වර්ජන නිසා බැංකු වහලා තියෙනවා.ගොවියෝ විරෝධතා පවත්වනවා.දොස්තරලා වැඩවර්ජනය කරනවා.මේ සියල්ලෙන්ම පෙනෙන දෙය තමයි රටේ දැන් වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියන එක.‘ ඔහු වරක්  පැවසුවේය.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජය කටයුතු නොකරන්නේනම් තමන් ගිණි තබාගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා කළා ප්‍රකාශය යම් කලබලක් ඇතිකිරීමට සමත්විය.ඉන්ධන පිරවූ භාජනයක්ද රැගෙන සභාගර්භයට ඇතුල්වීමට ඔහු දැරූ උත්සාහය පොලිසියේ මැදිහත් වීමෙන් ව්‍යර්ථ විය.

රජයේ ආදායම පහත බැස තිබෙන අවදියකදී,ඉපැයීම් හා වැයවීම් අතර පරතරය තවත් වැඩි කරමින් මෙසේ අයවැයට සංශෝධනයන් සිදුකෙරුණේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රීලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙල හා එහි ප්‍රගිතය ගැන විවේචනාත්මක වාර්තාවක් නිකුත් කර තිබියදීය.

‘නිසි පරිදි ගෙවීම් සිදුකර නොමැතිවීමත්,මහ බැංකුවේ විදෙස් සංචිත ප්‍රමාණය ක්‍රමයෙන් ක්ෂය වෙමින් පැවතීමත්,දිනෙන් දින ඉහළ යමින් තිබෙන ණය බරත්,ශ්‍රීලංකා රජයේ අවධානයට ලක්විය යුතු කරුණුය.‘ යැයි ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිකුත් කර තිබෙන නිවේදනයක දැක්වේ.

‘අන්තර්ජාතික ණය වෙළදපලට ප්‍රවිශ්ඨ වීමට වැඩි අවස්ථා දැන් හිමිව තිබෙතත් පෙර කී කරුණු නිසාවෙන් ශ්‍රීලංකාව වර්තමානයේ සිටින්නේ අන්තරාය අවදියකය.රටේ ව්‍යාපාර ආරම්භ කිරීමට ඇති අවස්ථා වැඩි දියුණු කිරීමත්,රජය සතු කර්මාන්ත ප්‍රතිව්‍යූහගත කිරීමත්,විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් තරගකාරීත්වය බැඳුණු සාර්ථකත්වය ලබාගැනීමත් ශ්‍රීලංකාවට මෙම තත්ත්වයෙන් මිදීමට ගත හැකි විසඳුම්ය.‘ යැයි එම නිවේදනයේ වැඩිදුටත් සඳහන්ය.

අයවැයට පෙර වෙනත් මූල්‍ය ආයතන හා සබඳතා පවත්වමින් සිටි රජයේ සම්පූර්ණ අවධානය දැන් යොමුව ඇත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙතය.පසුගියදා වොෂින්ටනයේ සිට පැමිණි එම අරමුදලේ නියෝජිත පිරිසක් අගමැතිවරයා හා මුදල් අමැතිවරයා හමුවී සාකච්ඡාද පැවැත්වූහ.විශ්වාසදායක ආරංචි මාර්ගයකට අනුව ලබන මසදී ශ්‍රීලංකාවේ නියෝජිත පිරිසක් වොෂින්ටන් නුවර බලා ගොස් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ බලධරයින් හමුවී ශ්‍රීලංකාවේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ලබන ජනවාරි 9 වැනිදා පාර්ලිමෙන්තුව ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්කෙරන යෝජනාවට අමතරව තවත් වැදගත් යෝජනාවලියක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.ඒ ඉහළ සංවර්ධනයක් අපේක්ෂාවෙන් මෙගාපොලිස් හා බස්නාහිර පළාත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කිරීමට යන සංවර්ධන සැළැස්මය.රණවකගේ සැළැස්මට අනුව කොළඹ නගරයේ වෙනස්කම් රාශියක් සිදුකිරීමට අපේක්ෂිතය.එයින් එකක් වන්නේ පිටකොටුව මැනිං මාකට් වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාමයි.ඉතිරිවන බිම් කොටස කොටුව දුම්රිය ස්ථානය හා යාවන පරිදි නව මධ්‍යම බස් නැවතුම්පළ ඉදිකිරීමට යොදා ගැනෙනු ඇත.මොරටුවේ මහා පරිමාන ප්‍රවාහන හා ගමනාගමන මධ්‍යස්ථානයක්ද ඇති කිරීමට නියමිතය.කොළඹ නගරයට මොනෝ රේල් ප්‍රවාහන ක්‍රමය හඳුන්වාදීමේ වාසි ගැන පෙර අදහස් පළවූවත් ඒ සඳහා කරන ආයෝජනය හා සාපේක්ෂව සැළකිය යුතු ආදායමක් ලබාගත නොහැකි බව පෙනී යාම නිසාවෙන් එම ව්‍යාපෘත්‍රිය ක්‍රියාත්මක කිරීම අත්හළ බව රණවක පසුගියදා පැවති හමුවකදී පැවසුවේය.මොනෝ රේල් ක්‍රමයෙන් වරකට ප්‍රවාහනය කළ හැක්කේ ඉතා සීමිත මගී සංඛ්‍යාවක් වීම මෙයට ප්‍රධානම හේතුව බව ඔහු පෙන්වා දුන්නේය.

මේ සා සංශෝධන සංඛ්‍යාවකට ලක් කෙරුණු එකම අයවැය මෙය බව සඳහන් කළ හැකිය.ජනපතිවරයා සිට වෘත්තිය සමිති,සාමාන්‍ය ජනතාව දක්වා ඉහළ සිට පහළට සියලුම දෙනා ඉදිරිපත් කළ යෝජනා හා සංශෝධනයන්ට අනුව අයවැය කිහිපවාරයක්ම සංශෝධනයට ලක් කෙරිණ.අයවැය අවසානයේ යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණු රජය ඉදිරියේ දැන් තිබෙන අභියෝගය වන්නේ ළඟ එන පළාත් පාලන මැතිවරණයයි.රජයට සෑහීමකට පත්විය හැකි කරුණක්ද තිබේ.වගකිව යුතු රජයක් ලෙස ජනතාවගේ ඉල්ලීම් වලට ඇහුම්කන්දීමට සූදානම් බව අයවැයට සිදුකළ අනේකවිධ සංශෝධනයන්ගෙන් රජය මෙවර පෙන්වා දුන්නේය.මෙය ඉදිරි මැතිවරණයේදී ජනතා කැමැත්ත දිනාගැනීමට යොදාගත හැකි ප්‍රබල තුරුම්පුවකි.

 



අදහස් (0)

රවීගේ අයවැයට දුවන ගමන් රෙපයාර්

ලක්මාල් Monday, 21 December 2015 06:53 AM

ලක්ෂ 10 කට වඩා බැංකු ගිණුමකින් ලබාගන්නා පුද්ගලයෙක් මත එම මුදලට අදාළ බද්දක් පැනවීම, දැන් පිටරට සිට තම ගිණුමට මුදල් ඒවා ලංකාවට පැමිණ තම අවශ්‍යතාවන් සදහා තමාගේම මුදල් ලක්ෂ 10 කට වඩා ගන්න එකට බද්දක් පනවන්න ද මේ හදන්නේ? මේක හරිම අසාදාරන බද්දක්.. පිටරට ඉදන් අපි එන්නේ ලංකාවේ කෙටි කලකට සමහරවිට අවුරුදු ගානකට පසු කෙටි කලකට පැමිණෙද්දී ලක්ෂ 10 කට වඩා ගන්න එක සාමාන්‍ය දෙයක් එකට බදුපනවනවා කියන්නේ හරිම අසාධාරනයි. (කෞ)

:       0       0

චතුර Sunday, 20 December 2015 06:20 PM

ඒ වගේම තමයි බණ්ඩාර, මෙතරම් සංශෝධනය කළ අයවැයක් ඉතිහාසයේ තිබිලත් නැහැ (නි)

:       0       0

ශාන් Sunday, 20 December 2015 08:44 AM

මහින්ද රාජපක්ෂ වගේ හිටියා නම් සංශෝධන ඕන වෙන්නේ නෑ. (හේ)

:       0       0

බණ්ඩාර Sunday, 20 December 2015 09:49 AM

මෙන්න නියම යහ පාලනය ජනතා හඩට කන් දී අය වැය සංශෝදනය කරනවා ..(හේ)

:       0       0

ප්‍රදීප් Monday, 21 December 2015 02:37 AM

රවීගේ අයවැය කපලා, කපලා දැන් ඉතුරුවෙලා තියෙන්නේ " ගරු කථානායකතුමනි," කොටස විතරද දන්නෙ නැහැ (නි)

:       0       0

විදානගේ Sunday, 20 December 2015 12:15 PM

දැන් වහල් භාවයෙන් මිදිලානේ ඉන්නේ . ලෝකෙම දැක්ක ආණ්ඩුවෙන් පිනට ඉල්ලගෙන පෙළපාලි යනවා .කොයි තරම් ණයවී සිටියත් තව ණය දේවි මේ කම්මැලි අයට බෙදා දෙන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 128 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 53 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1003 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 405 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1065 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 210 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30025 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23663 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site