IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හමුදාව පාවා නොදෙන බව රනිල් කියයි

ගෙවුණු සතියේ එක් දිනයකි.ස්ථානය අරලියගහ මන්දිරයේය.යුද හමුදාවේ මුල් පෙල ජෙනරාල්වරුන්,නාවික හමුදාවේ වයිස් අද්මිරාල්වරුන්,ගුවන් හමුදාවේ එයාර් චීෂ් මාර්ශල්වරුන් පිරිසක් මේසයක් වටා අසුන්ගෙන සිටියහ.මේසය මත තිබුණේ ඇමරිකාව ප්‍රමුඛ රටවල සහය මත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මතවූ ශ්‍රීලංකාව සම්බන්ධ යෝජනාවලියේ ඉංග්‍රීසි හා සිංහල පිටපත් දෙකය.

 

මෙම යෝජනාවලිය සම්මත වීමට පෙර සිටම රජය සිටියේ ආරක්ෂක අංශ සාමාජිකයින් හා අදහස් හුවමාරු කරගනිමින්ය.යෝජනාවලියේ නිර්දේශිත පරීක්ෂණයන්ට ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයින්ට මෙන්ම එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ටද එකසේ මුහුණදීමට සිදුවනු ඇත.ආරක්ෂක අංශ ආරංචි මාර්ග වලට අනුව 3000 ක පමණ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසක් පුනරුත්ථාපන වැඩසටහන් මගහැර සිටින්නෝ වෙති.

 

පුනරුත්ථාපනය සඳහා භාරවී ඇති එල්.ටී.ටී.ටී සාමාජිකයින් සංඛ්‍යාව 12383 කි.පුනරුත්ථාපන කටයුතු පිළිඹඳ කොමසාරිස් ජනරාල්වරයාගේ කාර්යාලයට අනුව මෙයින් 12105 දෙනෙක් සම්පූර්ණයෙන් පුනරුත්ථාපනය කර නිදහස් කරනු ලැබ ඇත.ඉතිරියෙන් 26 දෙනෙක් වැඩසටහනින් ඉවත්ව ගොස් ඇති අතර 13 දෙනෙක් ස්වභාවික හේතූන් නිසා මරණයට පත්ව ඇත.179 දෙනෙක් පරීක්ෂණ කටයුතු සඳහා පොලිසියට භාරදී ඇත.මේ අනුව සැළකූ විට දැනට පුනරුත්ථාපන වැඩසටහනට අනුයුක්තව සිටින්නේ සාමාජිකයින් 60 දෙනෙකු පමණකි.

 

පොලිසියේ සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට නැගී ඇති චෝදනා ඔවුන් නිසා නොයෙක් අසාධාරණකම් වලට ලක්වූ බව කියන පුද්ගලයින් ස්වකැමැත්තෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹඳ මහකොමසාරිස් කාර්යාලයට ලබාදී ඇතත් එල්.ටී.ටී.ඊ.යේ අපරාධ සම්බන්ධයෙන් එසේ තනි තනිව ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුව නොමැති තරම්ය.එල්.ටී.ටී.ඊ යට නැගී ඇත්තේ එම මුළු සංවිධානයම මුල් කරගෙන නැගී තිබෙන චෝදනාවන් පමණකි.යුද්දයේ අවසාන භාගයේදී ඉදිරියට එමින් සිටි ආරක්ෂක අංශ අතරට යෑමට තැත්කළ සිවිල් වැසියන් වළක්වාලීමත්,අණ නොතැකූ වැසියන් ඝාතනය කිරීමත් එල්.ටී.ටී.ඊ යට නැගී ඇති එවන් චෝදනාවකට උදාහරණයකි.මෙම චෝදනාවන්ද ආරක්ෂක අංශ වලට එරෙහිව නැගී ඇති චෝදනා විමර්ෂණය කෙරෙන්නාක් මෙන් වෙන් වෙන්ව සොයාබැලිය යුතුව ඇත.සැබෑ ගැටලුව වන්නේ මේ අපරාධ වලට නායකත්වය ලබාදුන් පුද්ගලයින් හඳුනාගැනීමය.

 

කොමිසම් වාර්තා පාර්ලිමෙන්තුවට

අතුරුදන්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කෙරුණු විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ඉතාම ඉක්මනින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන බව මෙම හමුවේදී අගමැතිවරයා පැවසීය.මහින්ද රාජපක්ෂ පාලන සමයේ පත් කෙරුණු මෙම කොමිසම ක්‍රියාත්මක වූයේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතා යටතේය.1990 ජූනි මස 10 වැනිදා සිට 2009 මැයි මස 19 වැනිදා දක්වා කාලයේ අතුරුදන්වූ පුද්ගලයින් පිළිඹඳව මෙම කමිටුවෙන් සොයා බැලිණ.මේ සම්බන්ධයෙන් තවදුරටත් විස්තර කළ අගමැතිවරයා කියා සිටියේ කමිටු වාර්තාවේ හමුදාවේ නම ගිය පුද්ගලයින් කිහිපදෙනෙකුගේ නම්ද සඳහන්ව තිබෙන බවයි.ඔවුන් කවුරුන්දැයි දැන්ම හෙළිකිරීමේ හැකියාවක් තමන්ට නොමැකි බවද ඔහු කීය.බදාදා ජිනීවාහිදී පැවැති මානව හිමිකම් කවුන්සිල විවාදයේදීද මේ කමිටු වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළවූ අතර මානව හිමිකම් පිළිඹඳ මහකොමසාරිස්වරයා කියා සිටියේ එහි විශ්වසනීයත්වය පිළිඹඳව ගැටලු රැසක් ඇතිව තිබෙන හෙයින් ස්වාධීන හා වගකීම් සහගත ආයතනයකට අතුරුදන්වූවන් පිළිඹඳ සෙවීමේ කටයුතු පැවරිය යුතු බවයි.

 

මෙයට අමතරව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වන නිස්සංක උඩලාගම මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මකවූ තවත් කමිටුවක අවසන් වාර්තාවද පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අගමැතිවරයා කීය.මෑත කාලීනව සිදුවූ අතුරුදන්වීම් හා ත්‍රස්ත කටයුතු පිළිඹඳ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් මෙම කමිටුවෙන් සිදුකර ඇත.හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය,කොන්ට්‍රෙ ලේ ෆෙයිම් නම් ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයින් 17 දෙනෙක් මුතූර්හීද ඝාතනය වීම,ත්‍රිකුණාමලයේදී තරුණයින් 5 දෙනෙක් ඝාතනය වීම,අල්ලායිපිඩිහි පිලිප් නේරි දේවස්ථානයේ ප්‍රධාන පියනම වූ නිහාල් ජිම් බ්‍රවුන් 2006 අගොස්තු මස 28 වැනිදා සිට අතුරුදන්ව සිටීම වැනි සිදුවීම් මෙම කොමිසමෙන් විමර්ෂණයට ලක්කර ඇත.

 

අගමැතිවරයාගේ අදහස් දැක්වීමෙන් පසු මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක,වැඩබලන විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා,සහ වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුද ආරක්ෂක අංශ සාමාජිකයින් හා අදහස් හුවමාරු කරගත්හ.

 

එක්සත් ජාතීන්ගේ 70 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීමට දිවයිනෙන් බැහැරව යාමට මත්තෙන් ජනපතිවරයා හා අගමැතිවරයා ආරක්ෂක අංශ නිලධරයින් හමුවී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපත් කර තිබෙන වාර්තාව සම්බන්ධයෙන් ඔවුන් හා සාකච්ඡා කළහ.සිකුරාදා සවස් වරුවේ දිවයිනට පැමිණි වහා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ ජනපතිවරයා නැගී තිබෙන චෝදනා විමර්ෂණය කිරීමට දේශීය යාන්ත්‍රණයක් සකස් කිරීමට සිදුවන බව කීය.මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට සියලු ලියාපදිංචි දේශපාලන පක්ෂ නායකයින් කැඳවා විශේෂ සමුළුවක් පැවැත්වීමටත්,ආගමික නායකයින්ගේ හා බුද්ධිමතුන්ගේ අදහස් ලබාගැනීමටත් බලපොරොත්තු වන බවද ඔහු පැවසීය.

 

‘අන්තර්ජාතික මතය අනෙක් පැත්තට හරවන්න අපට පුලුවන් වුනා‘ ජනපතිවරයා කීය.කෙසේවුවත් ඔහු තමාගෙන් ප්‍රශ්න ඇසීමට පැමිණ සිටි මාධ්‍යකරුවන්ට අවස්ථාවක් ලබාදුන්නේ නැත.

 

චම්පික හා රුවන් හමුදාව ආරක්ෂා කරන බවට දිව්රුම් දේ

2009 මානුෂීය මෙහෙයුමේ අවසානභාගයේ ක්‍රියාන්විතයන්ට එක්ව සිටි මුල් පෙල හමුදා නිලධරයින් සමග රණවක,හර්ෂ ද සිල්වා,රුවන් විජයවර්ධන යන අමාත්‍යවරු විශේෂ හමුවක් පැවැත්වූහ.මෙම හමුව නොනිල මට්ටමින් සිදුවන්නක් නිසා නිදහසේ අදහස් ප්‍රකාශ කරන ලෙස රණවක ඇමතිවරයා පැමිණ සිටි ආරක්ෂක නිලධරයින්ට දැනුම් දුන්නේය.ඒ අනුව ඔවුන් නැගූ පැනය වූයේ අපරාධ චෝදනා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු වලදී තමන්වද ඒවාට ඈඳාගනු ඇතිද යන්නයි.ඔවුන් අස්වසමින් පිළිතුරු දුන් ඇමතිවරයා හමුදාව යනු රාජ්‍ය ආයතනයක් හෙයින් එය ආරක්ෂා කරගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ රජයට බව පැවසීය.මෙම අවස්ථාවේදී සිදුවීමට නියමිතව ඇත්තේත් එවැන්නක් බව පෙන්වාදුන් ඔහු පරීක්ෂණ කටයුතු වලින් අපේක්ෂා කෙරෙන්නේ නීතිවිරෝධී නියෝග ලබාදුන් හා ඒවා ක්‍රියාත්මක කළ පුද්ගලයින් කවුරුන්ද යන වන හදුනාගැනීම බව පමණක් යැයිද කීය.කිසිඳු අයුරකින් පුද්ගලයින් දඩයම් කිරීමේ ක්‍රියාමාර්ගයක් මෙහිදී අනුගමනය නොකෙරෙන බව අමාත්‍යවරයා හමුදා නිලධරයින් හමුවේ අවධාරණය කළේය.

 

අගමැතිවරයා සමග පැවති හමුවේදී ඔහු පැවසූ ඇතැම් දේ තමන්ට හරිහැටි නොඇසුණු බව ඇතැම් නිලධරයෝ කියා සිටියහ.එහිදී මැදිහත්වූ වැඩබලන විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා එම අදහස් නැවත වරක් විස්තර කළේය.මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ වාර්තාවේ කිසිඳු තැනක සමස්ථ ශ්‍රීලංකා හමුදාවට චෝදනා නගා නොමැති බව පෙන්වා දුන්නේය.රජයේ එකම අරමුණ වන්නේ ශ්‍රීලංකා ආරක්ෂක අංශ වලට තිබෙන හොඳ නම හා ස්ථානය රැක ගැනීම පමණක් යැයිද ඔහු කීය.මෙම සාකච්ඡාවන්ට සහභාගීව සිටි හමුදා නිලධරයින් ආරක්ෂක අංශ වල වෙනත් ඒකකයන්හි ප්‍රධානීන්වද පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.

 

ශ්‍රීලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලිය බදාදා මානව හිමිකම් කවුන්සිලයේදී විවාදයට ගනු ලැබුණු අතර එය ඡන්ද විමසීමකින් තොරවම සම්මත විය.පිටු 6 කින් යුතු වූ එයට දායකත්වය ලබාදී තිබූ රටවල් වූයේ ඇල්බේනියාව,ඕස්ට්‍රේලියාව,ජර්මනිය,ග්‍රීසිය,ලැත්වියාව,මොන්ටිනීග්‍රෝ,පෝලන්තය,රුමේනියාව,ශ්‍රීලංකාව,මෙසිඩෝනියාව,එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල් 13 යි.

 

‘යුධ අපරාධ හා මානව හිමිකම් කඩවීමේ චෝදනාවන් හඳුනාගෙන ඇති ශ්‍රීලංකාව එම චෝදනා පිළිඹඳ සොයාබැලීම සඳහා වගකිවයුතු හා විශ්වසනීය දේශීය යාන්ත්‍රණයක අවශ්‍යතාව මැනැවින් හඳුනාගෙන ඇත‘. ලෙස එම යෝජනාවලියේ එක් තැනක දැක්වේ.

 

මෙය එම යෝජනාවලියේම තවත් තැනක මහත් අගැයීමට ලක්කර ඇති අයුරුද දැකගත හැකිය.

 

‘යාන්ත්‍රණයේ විශ්වසනීයත්වය හා වගකිවයුතු භාවය සම්බන්ධයෙන් ශ්‍රීලංකා රජය අවධානය යොමුකර තිබීම ප්‍රශංසනීයය.මෙම යාන්ත්‍රණය සම්බන්ධයෙන් හා නීතියේ ස්වාධිපත්‍ය සම්බන්ධයෙන් විශ්වාසය වර්ධනය වනු ඇත්තේ  එවිටය.අන්තර්ජාතික නීතියට පටහැනිව සිදුව ඇති මානව හිමිකම් කඩවීමේ චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට විශේෂ අධිකරණ ක්‍රියාමාර්ගයක් සකස් කිරීමටද ශ්‍රීලංකා රජය අවධානය යොමු කිර තිබීමද අගය කළ යුත්තකි.මෙම කටයුතු ක්‍රියාවට නැගෙනු ඇත්තේ විශ්වසනීයත්වය තහවුරු වන අයුරින් හා එම කටයුතු භාරව කටයුතු කරනු ඇත්තේ ස්වාධීන,අපක්ෂපාතී පුද්ගලයින් බවත් ශ්‍රීලංකා රජය සහතික කර තිබීමද ප්‍රශංසනීයය.ඒ අනුව මෙම කටයුතු සම්බන්ධයෙන් ශ්‍රීලංකා නීති විශාරදයින්,පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ වෙනත් විදේශික නීති විශාරදයින්,ආරක්ෂක කටයුතු සම්බන්ධ නීතිඥවරුන් සහ නිලලත් විමර්ෂකවරුන් මැදිහත්ව කටයුතු කරනු ඇත.‘ යැයි එහි සඳහන්ව තිබේ.

 

යෝජනාවලියේ අන්තර්ගත කරුණු ක්‍රියාවට නැංවෙන ආකාරය පිළිඹදව මුඛ්‍ය තොරතුරු දැක්වීමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරය පැවැත්වෙන එළැඹෙන වසරේ ජූනි මසදී මානව හිමකම් මහකොමසාරිස්වරයා සිදුකිරීමට නියමිත අතර වඩා සවිස්තරාත්මක වාර්තාවක් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය පැවැත්වෙන 2017 වසරේ මාර්තු මස ඉදිරිපත් කිරීමට නියමිතය.

 

ජිනීවා නියෝජිතයාගේ ප්‍රකාශය

එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිතයා වන රවිනාථ ආරියසිංහ මහතාගේ ප්‍රකාශයන් දෙකක් විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය අනුව නිදහස් කෙරිණ.එසේනමුත් ඇතැම් මාධ්‍ය වාර්තා වල පලව තිබූයේ ආරියසිංහ ශ්‍රීලංකා රජයේ ස්ථාවරයට පටහැනිව අදහස් දක්වා ඇති බවයි.සිකුරාදා නැවත වරක් ප්‍රකාශයක් නිකුත් කරමින් මේ පිළිඹද පැහැදිලි කිරීමක් සිදුකළ විදේශ කටයුතු අමාත්‍යංශය එම මාධ්‍ය වාර්තා පදනම් විරහිත බවත් යෝජනාවලිය නිල නොවන මට්ටිමින් සාකච්ඡාවට ගත් සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වුනු පළමු සාකච්ඡාවේදීද,එහිදී එකඟවූ සංශෝධනයන් යෝජනාවලියට එක්කිරීමට සැප්තැම්බර් මස 22  වැනිදා පැවැත්වුනු දෙවැනි නිල නොවන සාකච්ඡාවේදීද රවිනාථ මහතා ප්‍රකාශ කළේ රජයේ ස්ථාවරය බවත් සහතික කර කියා සිටියේය.

 

මේ සම්බන්ධයෙන් ඔහුටම අදහස් පළ කිරීමක යෙදෙන්නට ආරියසිංහට අවස්ථාවක් නොවීය.විදේශ කටයුතු අමාත්‍යංශය එයට අවස්ථාවක් නුදුන්නේය.මෙනිසා ඔහුට සිදුවූයේ වෙනස්ම ආකාරයකට නිවේදනයක් නිකුත් කිරීමටය.එයට අමාත්‍යංශයේ කිසිවෙකුගේ සහතිකය ලැබී නොතිබුණි.කිසිවෙකුත් එයට අත්සන් තබා තිබූයේද නැත.පසුගිය සතියේ දේශපාලන තීරුවේ රවිනාථගේ ප්‍රකාශයට අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබුණු බවක් කිසිදු තැනක සටහන්ව තිබූයේද නැත.වසර ගණනාවක සිට කළ පරිද්දෙන් ඔහු එම ප්‍රකාශය නිකුත් කර තිබුණේ සෘජුවම ජිනීවාහි සිටය.ගෙවුනු සතියේ දේශපාලන තීරුවේ දැක්වුනේ එම ප්‍රකාශයේ සඳහන්ව තිබූ තොරතුරුය.යෝජනාවලියට සිදුවිය යුතු සංශෝධනයන් සම්බන්ධයෙන් නැවත නැවතත් මානව හිමිකම් කවුන්සිලයේදී අදහස් දැක්වූ බවද එසේවුවත් ඒවාට බලාපොරොත්තු වූ තරමේ ප්‍රතිචාරයක් නොලැබුණු බවද ආරිංයසිංහ මහතා මේ වන විට සහතික කර කියා ඇත.

 

ශ්‍රීලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ආරම්භක සැසිවාරයන් අමතමින් ප්‍රකාශ කළේ යෝජනාවලියේ අන්තර්ගතය ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකා රජය සූදානමින් සිටින බවයි.

 

‘විශ්වාස කරන්න මාව.දුන් පොරොන්දු කඩකළ නිසා හෝ, අප එක්ක වැඩ කරලා තිබෙන අත්දැකීම් මත හෝ, දෙයක් කියලා එක සැරේට ඒකට හාත්පසින්ම වෙනස් දෙයක් කළ නිසා හෝ, අපව නොසළකා හරින්න එපා.‘ ඔහු කීය.

 

නමුත් ජිනීවාහි ශ්‍රීලංකා නිත්‍ය නියෝජිතයා කියනුයේ යෝජනාවලියට සිදුවිය යුතු සංශෝධනයන් සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ අදහස් වල වැඩි සැළකිල්ලක් නොලැබුණු බවයි.කරුණු එසේ නම්,
නිල හෝ නිල නොවන වශයෙන් සාකච්ඡා පැවැත්වුනද ශ්‍රීලංකාව පාර්ශවයෙන් ඉදිරිපත්වූ අදහස් යෝජනාවලියට ඇතුළත්ව නොමැති නම්, අපට බලපැවැත්වෙන්නේ බටහිර රටවල් එක්ව අප රට සම්බන්ධයෙන් සකස් කළ යෝජනාවලිය කිසිදු සංශෝධනයකින් තොරවමය.නමුත් එහි දළදඩු භාවය මදකින් හෝ ලිහිල්වී ඇති බව සඳහන් කළ යුතුය.මේ සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහ සිදුකළ මෙහෙය පසුගිය සතියේ දේශපාලන තීරුවෙන් විස්තර කෙරිණ.

 

මෙම තොරතුරු රජයේ ඉහළම පුද්ගලයින්ගේ අවධානයට ලක්ව ඇත.විශ්වසනීය රාජ්‍ය ආරංචි මාර්ගයක් සඳහන් ක‍ළේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවකදී මෙම කරුණු සාකච්ඡාවට ගැනුණු බවයි.එහිදී පළවුණු අදහස් හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ එම ආරංචි මාර්ගය මෙම සාකච්ඡාවට මංපෑදූයේ හමුවේදී අනාවරණයවූ තවත් සිදුවීමක් බව පැවසීය.ඒ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් හමුවේ අනාවරණය කෙරුණු තොරතුරු වලට අනුව ශ්‍රීලංකාවේ අපරාධ විමර්ෂණ කටයුතු හා ඒ සම්බන්ධ නෛතික කටයුතු වැඩිදියුණු කිරීමට ඇමරිකාව රුපියල් ලක්ෂ 3650 ක මුදලක් ලබාදීමට සූදානමින් සිට ඇත.මේ සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාරයක් අවශ්‍ය බවත් නොඑසේනම් මෙම මුදල ලබාදීම අවලංගු කර දමන බවත් ඇමරිකා බලධරයින් ශ්‍රීලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම්දීද තිබී ඇත.මේ ඇසූ අගමැතිවරයා එයට අනුමැතිය ලබාදී ඇත්දැයි එම අවස්ථාවේදීම විමසා බලා තිබෙන අතර එහිදී ඔහුට දැනගැනීමට හැකිව තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධරයින් ඇමරිකාවේ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතියක් ලැබී නොමැති බවත්,වැඩ බලන විදේශ අමාත්‍යවරයෙකුට මෙවන් යෝජනාවකට අනුමැතිය ලබාදීමට නීතිමය හැකියාවක් නොමැති බවත් කියමින් එම මුදල ලබාගැනීම ප්‍රමාද කරමින් සිටින බවයි.කෝපයට පත්ව ඇති අගමැතිවරයා වහාම වැඩබලන විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා අමතා ඇමරිකාව හා එම ගිවිසුමට අත්සන් කර එම මුදල හා සහය ලබාගන්නා ලෙස දැනුම්දී තිබේ.දීමනාව අවලංගු වීමට ප්‍රථමයෙන් එය ශ්‍රීලංකාවට ලබාගැනීම අගමැතිවරයාගේ අරමුණ වූ බව අප හා අදහස් දැක්වූ පෙරකී ආරංචි මාර්ගය පැවසීය.

 

ශ්‍රීලංකාවේ ඇමරිකා තානාපති අතුල් කෙෂාප් පසු අවස්ථාවක නිකුත් කළ නිවේදනයක් මෙසේ සඳහන්ව තිබිණ.

‘රාජ්‍ය කටයුතු වල වෘත්තිමය නිපුණතාවය හා විනිවිදභාවය සම්බන්ධයෙන් තිබෙන අත්දැකීම් ශ්‍රීලංකාව හා හුවමාරු කරගැනීමට ඇමරිකාව සිටින්නේ ඉතාම කැමැත්තෙනි.ශ්‍රීලංකාවේද වගකිවයුතු රාජ්‍ය තන්ත්‍රයක් ඇතිවනු දැකීම ඇමරිකාවේ අපේක්ෂාවයි.‘

 

‘මෙම නව වැඩසටහන් වලින් රටේ තිබෙන අධිකරණ පද්දතිය නවීකරණය කිරීමටත්,පුද්ගල හැකියාවන් වැඩිදියුණු කිරීමටත්,අපරාධ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන්ව තිබෙන ආයතනයන් හා එම කටයුතු වල නිරතව සිටින පුද්ගලයින්ගේ වෘත්තීමය නිපුණතාවන් ඔප්නැංවීමටත්,පොලිසිය හා නීති විශාරදයින් අතර වඩා හොඳ සබඳතාවක් ඇතිකිරීමටත් හැකිවනු ඇතැයි අපගේ විශ්වාසයයි.වංචාව හා දූෂණය,මත්කුඩු ජාවාරම්,මූල්‍යමය අපරාධ කටයුතු හා සංවිධානාත්මක අපරාධ කටයුතු මර්දනය කිරීම සඳහා වෙන වෙනම ශ්‍රීලංකාවට හඳුන්වාදීමට යන වැඩසටහන් උපකාරීවනු ඇත.‘

 

සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වූ රජයේ ආරංචි මාර්ගයට අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කටයුතු කෙර් අගමැති වික්‍රමසිංහ සිටිනුයේ නොමනාපයෙනි.එහි ඇතැම් නිලධරයින් තවමත් පසුගිය රජය වෙනුවෙන් පෙනී සිටිමින් වත්මන් රජයේ වැඩකටයුතු නොසළකා හරිනු ඔහුගේ අවධානයටද ලක්ව තිබේ.පසුගිය දිනෙක සිදුවූ ඔහුගේ ඉන්දියා සංචාරයේදී සාකච්ඡා කළ යුතු දේ සම්බන්ධයෙන් තමන් වෙත විදේශ අමාත්‍යංශය ලබාදී තිබූ ලියැවිල්ලද ඔහු ප්‍රතික්ෂේප කළේ තමන් දැක්විය යුතු අදහස් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කිසිවෙකුගේවත් උපදෙස් අවශ්‍ය නොවන බව කියමින්ය.තම විදෙස් සංචාර කලමණාකරනය කිරීම ඔහු පවරා තිබෙනුයේ සංවර්ධන මූලෝපායන් සහ අන්තර්ජාතික වෙළදාම් පිළිඹද අමාත්‍යංශයටය.

 

‘ජපානයේ ඉදන් ආවයින් පස්සේ ඔහු මේ ගැන මංගල සමරවීර එක්ක සාකච්ඡා කරාවි.‘ සන්ඩේ ටයිම්ස් හා තොරතුරු හුවමාරු කරගත් රජයේ ආරංචි මාර්ගය සඳහන් කළේය.

 

අගමැති වික්‍රමසිංහ ජපානයේ නිල සංචාරයක් සඳහා ඊයේ (04) පිටත්ව ගිය අතර ඔහු එරට කියෝතෝ නුවර විද්‍යා හා තාක්ෂණ සංසදය අමතමින් විශේෂ දේශනයක් සිදුකිරීමට නියමිතය.අනතුරුව තෙදින සංචාරයක් සඳහා ටෝකියෝ නුවරට පැමිණීමට සැළසුම් කර තිබෙන ඔහු එහිදී ජපාන අගමැති ෂින්සෝ අබේද හමුවී සාකච්ඡා කරනු ඇත.

 

‘මේකෙන් අදහස් වෙන්නේ නැහැ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඔහුගේ රාජකාරිය නිසි පරිදි නොකරන බවක්.ඔහු විශ්වසනීය සේවයක් ඉටුකරමින් සිටින්නේ.අන්තර්ජාතික තලයේ ශ්‍රීලංකාවට මේ තරම් පිළිගැනීමක් ලැබිලා තියෙන්නේ ඔහු නිසා.විදේශ කටයුතු අමාත්‍යංශයේ වෙනස්කම් සිදුවෙන්න ගත්තහම සමහරු කියයි මෙහෙම වෙන්නේ අගමැතිවරයයි විදේශ අමාත්‍යවරයයි අතර තියෙන ගැටුමක් නිසා කියලා.නමුත් ඇත්ත ඒක නෙවෙයි.දෙන්නටම වුවමනා විදේශ අමාත්‍යංශය හරි මාර්ගයට ගන්න‘ රජයේ ආරංචි මාර්ගය කීය.

 

මෙම කටයුතු වලට අමතරව ජිනීවා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට දෙදෙන කටයුතු කරනු ඇති බවට තොරතුරු තිබේ.විශේෂයෙන් ඔහු ජිනීවා සිට සෘජුව ශ්‍රීලංකාවේ පුවත්පතක් හා සම්බන්ධ වෙමින් රජයේ අනුදැනුමකින් තොරව ජිනීවා සාකච්ඡා වල තොරතුරු ලබාදීම රජයේ මුල් පෙල සාමාජිකයින් අතරද සාකච්ඡාවට බඳුන්වී ඇත.‍

 

‘අන්තිම මොහොතේදීයි අපි ඒක නතර කළේ.‘ ආරංචි මාර්ගය අප හා පැවසීය.

 

බදාදා පැවැති මානව හිමිකම් කවුන්සිල විවාදයේදී ශ්‍රීලංකාව සම්බන්ධයෙන් එහි විදේශ නියෝජිතයෝ නොයෙක් අදහස් පළකළහ.ශ්‍රීලංකාවට පක්ෂපාතීව දැඩි අදහස් දැක්වීමක නිරතවූ රටවල් අතර ප්‍රධාන තැනක් හිමිකරගත්තේ පකිස්තානයයි.

 

‘අපි හිතනවා ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ අරගලය අවසාන වෙලා තියෙන මේ කාලයේ ශ්‍රීලංකාවට දැන් වුවමනා වන්නේ අන්තර්ජාතික ප්‍රජාවගේ උපකාරය මිස අදහස් නොවේ.ශ්‍රීලංකාවට චෝදනා කරන අය ඉස්සෙල්ලාම තම තමන්ගේ චරිතය ගැන සිතා බලා අදහස් දැක්වීම සුදුසුයි‘. යැයි එරට නියෝජිත සමීර් අක්රම් පැවසීය.

 

ඉන්දියා නියෝජිත දිලීප් සිංහ අදහස් දැක්වූයේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක සිටය.යුධ අපරාධ චෝදනා ගැන කිසිඳු සඳහනක් නොකළ ඔහු එක්සත් ශ්‍රීලංකාවක දෙමළ ජනතාවගේ ගැටලු වලට විසඳුම් ලැබෙන අයුරු දැකීම ඉන්දියාවේ එකම අරමුණ බව කියා සිටියේය.

 

දෙමළ ජාතික සන්ධානය බෙදේ

මේ අතර ජිනීවාහි ‘පැලෙයිස් ද නැසියොනෙස්‘ හි දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ප්‍රධානත්වයෙන් පැවැති හමුවේදී එම පක්ෂයේ දැඩි බෙදීමක් ඇතිව තිබෙන බව පැහැදිලිව පෙනින.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ නිර්දේශය ලැබී තිබෙන සංවිධානයන් නියෝජනය කරමින් ඔවුහු අදහස් දැක්වූහ.

 

පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් අදහස් දැක්වූයේ ආබාධිත පුද්ගලයින්ගේ ලීගය නම් සංවිධානයන් නියෝජනය කරමින්ය.

‘දෙමළ ජනතාව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ වාර්තාව ගැන සෑහීමකට පත්වෙන්නේ නැහැ.වාර්තාවෙන් ශ්‍රීලංකාවේ වුනු අපරාධ අන්තර්ජාතික අධිකරණය ඉදිරියට ගෙනයෑමක් ගැනවත් අන්තර්ජාතික විමර්ෂණයක් ගැනවත් සඳහන් වන්නේ නැහැ.‘ ඔහු කීය.

‘ඇසෝසියේෂන් ඩෙස් ජෙර්නෙස් පොවුර් ප්‘ඇග්රිකල්චර් අවු මාලි‘ නම් සංවිධානයක් නියෝජනය කළ සුරේෂ් කන්දයියා ප්‍රේමචන්ද්‍රන්

‘උතුරු නැගෙනහිර ශ්‍රීලංකා යුධ හමුදාව සිටිනකම් සහ සිංහල ජනාවාස පවතිනකම් සැබෑ සංහිදියාවක් ගැන කතාකරලා වැඩක් නැහැ.‘ යැයි පැවසීය.

දෙමළ ජාතික පෙරමුණේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ‘ක්‍රියේටිව් කමියුනිටි ප්‍රොජෙක්ට්‘ නම් සංවිධානයක් නියෝජනය කරමින්

‘අපරාධ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු පරිහානියට පත්වෙලා තියෙන ශ්‍රීලංකා අධිකරණ පද්දතිය යටතේ සිදුනොවිය යුතුයි.එසේත් නොමැති නම් ඉතා අවම මැදිහත්වීමක් යටතේ සිදුවිය යුතුයි.එම කටයුතු එක්සත් ජාතීන් යටතේ ක්‍රියාත්මක වන අධිකරණ පද්දතියක් යටතේ සිදුවිය යුතුය යන්නයි අපගේ මතය.‘ යැයි අදහස් දැක්වීය.

 

උතුරු පළාත් සභා සාමාජිකා ආනන්දි ශාස්ත්‍රියන්ද මෙහිදී අදහස් දැක්වූවාය.

‘උතුරු පළාත් සභාව ඉල්ලා සිටින්නෙ ස්වාධීන අන්තර්ජාතික පරීක්ෂණයක්.සියලුම අපරාධ හා දෙමළ ජනතාව සමූළඝාතනය කිරීම එයින් විමර්ෂණයට ලක්විය යුතුයි.දෙමළ ජාතිකයින්ට තමන්ගේම තීරණ ගන්න අයිතියක් නැහැ.ස්වෛරීභාවයක් නැහැ.තමන්ගේ ජාතිකත්වය ගැන ආඩම්බර වන්නට බැහැ.මේ ගැටලුයි ඉස්සෙල්ලාම විසඳිය යුත්තේ.‘ ඇය කීවාය.

නමුත් ඇයගේ සැමියා වන එල්.ටී.ටී.ඊ  සාමාජික එලීලන්ට ළමා සොල්දාදුවන් බඳවාගත්තේයැයි ඇය මෙම කරුණු හුවා දක්වන මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවෙන්ම චෝදනා නගා තිබේ.

 

ආනන්දි උතුරු පළාත් මහ ඇමැති සී.වී.විගනේෂ්වරන් පාක්ෂිකාවකි.‘සමූලඝාතනය‘ මැයෙන් යෝජනාවලියක් උතුරු පළාත් සභාවේදී පසුගිය සමයේ සම්මතවූයේ ඇයගේ හා තවත් පිරිසකගේ මෙහෙයවීම යටතේය.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ පවා ‘සමූලඝාතනය‘ යන වදනවත් කිසිඳුතැනක සඳහන් නොවේ.

 

එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා සම්බන්ධීකාරකවරයා එම සංවිධානයේ මුල් පෙල සාමාජිකයින් හා සම්බන්ධවීමට රජයේ හෝ ඔහුගේම පක්ෂයේ සාමාජිකයින්ගේ අනුදැනුමකින් තොරව විගනේෂ්වරන් ගත් උත්සාහයක් අතටම හසුකරගෙන ව්‍යර්ථ කරදැමූයේ මීට සති කිහිපයකට පෙරදීය.එය ඔහු සිදුකරන්නට තැත් කර ඇත්තේ ඔහුගේම ඥාතියෙක් විශේෂ උපදේශකවරයෙක් ලෙස පත්කරගෙන එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ සහන වැඩසටහන සමග සම්බන්ධ වීමෙන් හා එක්සත් ජාතීන්ගේ සාමසාධන වැඩසටහනින් ඩොලර් ලක්ෂ ගණනක් ලබාගැනීමට යත්න දරමින්ය.මේ සියල්ලේ ආරම්භය එල්.ටී.ටී.ඊ ය යුධමය වශයෙන් පරාජය කෙරුණු සමය දක්වා දිවයන්නකි.

 

සාමසාධක වැඩසටහනේ සහයක කාර්යාලයක් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් පිහිටුවා තිබෙන අතර  එයින් අපේක්ෂා කෙරෙනුයේ එම වැඩසටහනේ කටයුතු සඳහා උපකාරී වන සාමසාධක කොමිසමට මුලෝපායික හා ප්‍රතිපත්තිමය සහය ලබාදීමත්,සාමසාධක අරමුදලේ පරිපාලන කටයුතු සිදුකිරීමත්,එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතු වලදී එම ලේකම්වරයාට අවශ්‍ය සහය ලබාදීමටත්ය.මේ කටයුතු වෙනුවෙන් මැදිහත්වීමට විගනේෂ්වරන් නම් කර තිබෙන පුද්ගලයාගේ නම වන්නේ නිමලන් කාර්තිකෙයන්ය.ඔහු ජීවත්වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරය.මෙම පුද්ගලයා දැනට තහනම් කර තිබෙන දෙමළ සරණාගතයින් පුනරුත්ථාපනය කිරීමේ සංවිධානය නම් රාජ්‍ය නොවන සංවිධානයක සේවය කළ අයෙකි.

 

උතුරු පළාත් මහ ඇමැති විගනේෂ්වරන් අගොස්තු 15 වැනිදා දාතමින් යුතු ලිපියක් එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා සම්බන්ධීකාරිණිය වන සුබිනෙයි නැන්සි වෙත යවා ඇත.එහි දැක්වෙන්නේ මෙලෙසය,

 

‘එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුගමනය කරන ආචාරධර්මයන්ට අනුව උතුරු පළාත් සභාව සම්බන්ධයෙන් ශ්‍රීලංකා රජය දරන මතය කුමක් වුවත් උතුරු පළාත් සභාවේ අදහස් වලටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුවිය යුතු බව මම පෙන්වාදීමට කැමැත්තෙමි.යහපාලනය යනු එයයි.

 

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග උතුරු පළාත් සභාව ශ්‍රීලංකාවේ පාලන ක්‍රමයේ වැඩි වගකීමක් දරන ආයතනයක් බවට පත්විය.මෙවන් අවස්ථාවක් උතුරු පළාත් සභාවට ලැබුණේ වසර 25 කට පමණ පසුවය.1990 වසරේදී උතුරු පළාත් සභාව විසිරුවාහැරීමෙන් පසුව සිටම එහි පාලන කටයුතු සිදුවූයේ පළාත් ආණ්ඩුකාරවරයාගේ සහ විවිධ ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ මෙහෙයවීම මතය.

 

මෙනිසා සාමසාධක ක්‍රියාවලියෙහි උතුරු පළාත් සභාවට ඇති මෙහෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඔබ වටහා ගත යුතුය.යහපාලනය ගැන නොයෙකුත් ආචාර ධර්මයන් පළමුකොට සළකන එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහි වැදගත්කම වටහාගත යුතුය.යුද්ධයේ අදුරු මතකයන් ද එයට විරුද්ධව ආලෝකය ගෙන ඒමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළ ආකාරයද ජනතාවගේ සිතින් මැකී ගොස් නොමැති බවද මම මතක් කර දෙන්නට කැමැත්තෙමි.‘

 

අගොස්තු මස 28 වැනිදා දාතමින් යුතු ලිපියකින් එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා සම්බන්ධිකාරිණී නැන්ඩි විගනේෂ්වරන්ට පිළිතුරු ලබාදුන්නාය.

 

‘ඔබ පවසන ආකාරයට වෙනම වෙනම උපදේශකවරයෙකුට සාමසාධක වැඩහටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ආධාර ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මතය කිහිපවතාවක්ම මේ වන විට ඔබට පැහැදිලි කර දී ඇත.එවන් පුද්ගලයෙකු පත්කරගැනීම සිදුවන්නේ නම් එය සිදුවිය යුත්තේ පිළිගත් ක්‍රියාපටිපාටියකට යටත්වය.ඔබ තවත් විශේෂ උපදේශකවරයෙක් පත්කරගැනීමක් ගැන නැවත වතාවක් සඳහන් කර තිබීම පෙර සඳහන් කළ අපගේ සංවිධානයේ මතය තවදුරටත් තහවුරු කරන්නකි.‘

 

‘අප ඔබට දැනුම් දුන්නේ ඔබේ මතය මධ්‍යම රජය හරහා ඉදිරිපත් කරන ලෙසයි.යුද්ධයෙන් පසු අප ශ්‍රීලංකාවේ කටයුතු කිරීමට යන ආකාරය පිළිඹද එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ සහන වැඩසටහනේ සාමාජිකයින් එකතුව පැවැත්වීමට සංවිධානය කර තිබූ විශේෂ හමුවකට පැමිණෙනෙන ලෙස මා ඔබට ආරාධනා කළද ඊට ඔබ ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.මේ ආරාධනාව අදටත් විවෘතය.‘

 

‘පසුගිය ජූලි මාසයේදී නිව්යෝර්ක් නුවර අප හමුවීමෙන් පසු සාමසාධක කටයුතු සම්බන්ධයෙන් අප සාකච්ඡා කළ තොරතුරු මාධ්‍ය වාර්තා වල පළව තිබීම අපව මවිතයට පත්කළ සිදුවීමක් විය.ඇත්තෙන්ම එහි සැගවීමට යැයි කිසිදු කරුණක් නොතිබුණි.නමුත් මාධ්‍ය එම වාර්තා පළකර තිබුණේ ‘රහසිගතව නිකුත් කෙරුණු‘ තොරතුරු ලෙසය.මෙවන් හැසිරීමක් අප ඔබෙන් බලාපොරොත්තු නොවුනි.සාමසාධක කටයුතු සම්බන්ධයෙන් අප දැනටමත් ශ්‍රීලංකා රජය හා සිවිල් සංවිධාන සමග එකට කටයුතු කරමින් සිටී.‘

 

‘එනිසා මම ඔබට කියන්නේ ගැටලුවක් ඇතොත් එය ශ්‍රීලංකා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා අපට ඉදිරිපත් කරන ලෙසය.ඒ අයුරින් ඔබ සාමසාධක කටයුතු වෙනුවෙන් මැදිහත්වීමට බලාපොරොත්තු වන බව අපට දැනුම්දුනහොත් ඔබ සමග එක්ව කටයුතු කිරීමට අප සූදානම් අතර උතුරු පළාත් සභාවට වුවත් සාමසාධක අරමුදලෙන් යම්කිසි මුදලක් අවශ්‍ය නම් එයද ඉල්ලා සිටිය යුතු වන්නේ පෙරකී අයුරින්මය.එමෙන්ම එක්සත් ජාතීන්ගේ එකාබද්ධ සහන වැඩසටහනේ සහ සාමසාධක අරමුදලේ එකිනෙක අතර සෘජු සම්බන්ධතාවයක් නොමැති බවද මම මෙතැනදී සඳහන් කළ යුතුය.අරමුදලෙන් මුදල් ලබාදීමේ කටයුතු අධීක්ෂණය සිදුවන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය යටතේය.උතුරු පළාත් සභාවටත් එසේ මුදල් ලබාගැනීමට අවශ්‍ය නම් විදේශ කටයුතු අමාත්‍යංශය හා සමග සම්බන්ධවී තොරතුරු ලබාගත හැකිය.‘

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සාමසාධක කටයුතු සඳහා වෙනම මුදල් ලබාගැනීමට උතුරු පළාත් මහ ඇමතිවරයා උත්සාහ කිරීම ඔහු ශ්‍රීලංකා රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තවමත් කැමැත්තෙන් පසු නොවන බව මොනවට පෙන්වා දෙන්නකි.ඔහු තමන්ගේ පක්ෂයේම සාමාජිකයින් සමගද ගැටුම් ඇතිකරගනිමින් සිටී.මෙයට විසඳුමක් සොයාගැනීම එක්සත් ජාතීන්ගේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමේ රාජකාරියද දැන කරට ගෙන සිටින වත්මන් රජය හමුවේ ඇති තවත් අභියෝගයකි.



අදහස් (0)

හමුදාව පාවා නොදෙන බව රනිල් කියයි

රත්නා Sunday, 04 October 2015 12:58 PM

හොඳ විස්තරාත්මක ලිපියක්. සත්‍ය කරුණු කියල හිතනවා. (බ)

:       0       0

ප්‍රසන්න Sunday, 04 October 2015 01:37 PM

තවත් පාවා දෙන්න ඉතුරුවෙලා තියෙනවද. (බ)

:       0       0

උදාරි Monday, 05 October 2015 08:19 AM

ඉතාම හොඳයි මහත්තයෝ (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 04 October 2015 09:55 PM

2020 දී සියලුම දෙනාට දැනේවි ලංකාව කොතැනද කියා (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 04 October 2015 10:04 PM

පාවා දුන්නොත් ලෙහෙසි වෙන එකකුත් නැහැ. (නි)

:       0       0

විජිත Monday, 05 October 2015 12:01 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

දුමින්ද Monday, 05 October 2015 06:45 AM

නාටකය තවම තිරයෙන් පිටුපස (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 421 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 167 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 243 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 290 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 384 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 491 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site