IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හේමසිරිත් පූජිතත් පමණක් අත්අඩංගුවට ගැනීම සාධාරණ නෑ

(***මුදිතා දයානන්ද)

පාස්කු ඉරිදා දින සිදු වූ බෝම්බ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් රැසක් සිටියදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් පමණක් අත්අඩංගුවට ගැනීම සාධාරණ නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) පිළිගත්තේය.

ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනීසිටි නිතිඥ දිල්ශාන් ජයසූරිය මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

නීතිඥ -  විදෙස් බුද්ධි අංශයකින් ප්‍රහාරයක් පිළිබඳව ලැබුණු තොරතුර සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඔහුව දැනුවත් නොකිරීම හරහා රාජකාරිය පැහැර හැර තිබෙනවා නේද?
සාක්ෂිකරු- එක් නිලධාරියකු පමණක් රාජකාරිය පැහැර ඇතැයි කියලා මේ ප්‍රහාරයේ වගකීම පවරන්න මම කැමති නැහැ. ප්‍රහාරයක් සිදුවිය හැකි බවට වන තොරතුර ලැබී ඒ පිළිබඳව මා දැනුවත් නොකළ සියලුම නිලධාරීන් ඒ සඳහා වගකිව යුතුයි.

නීතිඥ - එසේ නම් හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා පමණක් මාස හතරක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබීම අසාධාරණයි නේද?
සාක්ෂිකරු- ඔව්. එය සාධාරණ නැහැ.

නීතිඥ - පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයෙන් දින දෙකක් වැනි සුළු කාලයක් ඇතුළත කිසිදු විමර්ශනයක් සිදුනොකර ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ජයසුන්දර සහ ප්‍රනාන්දු යන මහත්වරුන් බව කිසිදු පැකිළීමකින් තොරව ඔබ ප්‍රකාශ කළා නේද?  
සාක්ෂිකරු- අප්‍රේල් 22 වැනිදා පැවැති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී අනාවරණය වූ කරුණු අනුව තමයි ඔවුන් දෙදෙනා ඊට වගකිව යුතු බව ප්‍රකාශ කළේ.

නීතිඥ - 2019 අප්‍රේල් 8 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවට ඔබ සහභාගි වුණා. එය අතරතුර හෝ ඉන්පසුව පෞද්ගලිකව හෝ මේ ප්‍රහාරයක් සිදුවිය හැකි බවට ලැබී තිබුණු තොරතුර සම්බන්ධයෙන් ඔබට දැනුම්දීමක් වුණේ නැද්ද?
සාක්ෂිකරු- නැහැ.

නීතිඥ - ප්‍රහාරයෙන් පස්සේ ඔබට නිලන්ත ජයවර්ධන මහතා කතා කළා නේද?
සාක්ෂිකරු- ඔව්. ඔහු මට සිදුව ඇති දේ කිව්වා .

නීතිඥ - ඔබ ඔහුට දොස් කිව්වේ නැද්ද මේ තොරතුර දැනගෙනත් නොකියා සිටීම ගැන?
සාක්ෂිකරු- නැහැ. එහෙම දුරකථනයෙන් කතා කරලා ප්‍රශ්න කියද්දි නිලධාරින්ට බැනවැදීම සුදුසු නැහැ. මම එහෙම කරන්නේ නැහැ. අනික මම රටේ නැති වෙලාවේ ඔවුන් තමයි ප්‍රශ්නයට මුහුණ දුන්නේ. ඒ නිසා මම ඇහුවා ඔහුගෙන් ඇයි මට මේක නොකිව්වේ කියලා. ඒත් බැණවැදුණේ නැහැ.

නීතිඥ - ඔහු මොකක්ද දුන්න උත්තරය.
සාක්ෂිකරු- මට වචන හැටියට හරියටම මතක නැහැ. ඔහු කිව්වේ ඒ තොරතුර හරියටම නිශ්චිත කරගෙන තිබුණේ නැති නිසා කිව්වේ නෑ වගේ අදහසක්.

නීතිඥ - අප්‍රේල් 16 වැනිදා විදෙස් සංචාරය සඳහා පිටව යන අවස්ථාව වන විටත් ඔහු ජයවර්ධන මහතා හරහා ප්‍රහාරයක් සිදු විය හැකි බවට ඔබ දැන සිටියා. ඔහු ඔබට මේ ගැන කියලා තිබුණ නිසා තමයි ඔහුට බැන්නේ නැත්තේ. මම ඔබට යෝජනා කරනවා ඔබ සියල්ල දැනගෙන තමයි සිංගප්පූරු සංචාරයට ගියේ කියලා.   
සාක්ෂිකරු- මම එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥ - කාත්තන්කුඩි ප්‍රදේශයේ දී අප්‍රේල් 16 වැනිදා සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමක් විසින් යතුරුපැදියක අටවන ලද බෝම්බයක් පුපුරුවා හැරීමේ සිදුවීම පිළිබඳව රාජ්‍ය බුද්ධි ප්‍රධානී ඔබ දැනුවත් කළාද?
සාක්ෂිකරු - අප්‍රේල් 22 වැනිදා තෙක් එම සිදුවීම පිළිබඳව දැනගෙන සිටියේ නැහැ.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩගේ සභාපතීත්වයෙන් යුතු කමිටුව පිළිබඳව ද දිල්ශාන් ජයසූරිය මහතා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේය.

නීතිඥ - ඔබ සිංගප්පූරුවේ සිටියදීම තමයි මෙම කමිටුව පත් කළේ කියලා කිව්වා නේද?
සාක්ෂිකරු - ඔව්.

නීතිඥ - මේ කමිටුව පත් කළේම එහි විමර්ශන හරහා වැරදිකරුවන් වන නිලධාරීන් හොයන්න නේද?
සාක්ෂිකරු- නැහැ. ඊට වඩා පුළුල් අර්ථයක් එහි තිබුණා. මේ ප්‍රහාරය එල්ල වුනේ කොහොමද? මේ පිටුපස ඉන්නේ කවුද?  යනාදී සියලු‍ දේ සොයාගැනීම එහි ප්‍රධාන අරමුණක්.

නීතිඥ - එහෙත් ඔබ කිව්වා මෙයින් වරදකරුවන් ලෙස හඳුනා ගන්නා නිලධාරින්ට දැඩි දඬුවම් ලබාදෙන බව. නැත්නම් ඔවුන් නීතිය හමුවට පමුණුවන බව. එහෙම කිව්වා නේද?
සාක්ෂිකරු- වරදකරුවන්ට දඬුවම් දීම කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය වැනි ආයතන. ඒක මගේ වැඩක් නෙවෙයි.

නීතිඥ - මලල්ගොඩ කමිටුවේ අතුරු වාර්තාව දෙන්නත් කලින් ඔබ ප්‍රසිද්ධියේ කිව්වා ජයසුන්දර සහ ප්‍රනාන්දු යන මහත්වරුන් වගකිව යුතුයි කියලා?
සාක්ෂිකරු- ඔව්. ඒකට මේ කමිටුවේ සම්බන්ධයක්  නැහැ. ජාතික ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණය වූ කරුණු අනුවයි එහෙම කිව්වේ.
 
නීතිඥ -  ඔබ එවැනි ප්‍රකාශයක් සිදු කිරීම හරහා මලල්ගොඩ කමිටුවට ස්වාධීනව කටයුතු කරන්න තිබුණ අවස්ථාව නැති වුණා.
සාක්ෂිකරු- මම එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් යටතේ පැවති කමිටුවක් නිසා එය විශ්වාස කරන්න පුළුවන්. මම කියපු කරුණු අදාළ වෙන්නේ නැහැ එම කමිටුවේ කටයුතුවලට.

නීතිඥ - එම කමිටුවේ වාර්තාව ප්‍රසිද්ධ කරන බවට ඔබ අවස්ථා කිහිපයකදී පවසා තිබුණත් එය ප්‍රසිද්ධ කිරීම සඳහා කටයුතු නොකළේ ඇයි?
සාක්ෂිකරු - එය ප්‍රසිද්ධ කිරීම ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බව නීතිපතිවරයා විසින් දැනුම් දුන් නිසා එසේ ප්‍රසිද්ධ කළේ නැහැ.

නීතිඥ - මම යෝජනා කරනවා ඔබ එය ප්‍රසිද්ධ නොකළේ එයින් වැරදිකරුවන් ලෙස නම් කළ සමහර රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට තිබූ අවශ්‍යතාව නිසා කියලා. ඔබට අවශ්‍ය වුණේ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර මහත්වරුන් පමණක් ඊට වැරදිකරුවන් කරන්න.
සාක්ෂිකරු- මම එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥ - ඔබ කියන්නේ පාස්කු ඉරිදා දින සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ඔබට පැවරෙන්නේ නැති බවද?
සාක්ෂිකරු - නැහැ. මට එහි වගකීම භාරගන්න බැහැ.

නීතිඥ - මාකඳුරේ මදුෂ් වැනි අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගන්න ඔබ කටයුතු කළා නේද?
සාක්ෂිකරු- ඒවා කළේ ජනාධිපති නෙවෙයි. නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය.

නීතිඥ - ඒත් ඔබ එහි ප්‍රශංසාව ගත්තා නේද?
සාක්ෂිකරු- නැහැ. මට හැම වෙලාවෙම ලැබෙන්නේ අප්‍රශංසාවනේ.

නීතිඥ - රටේ යම්කිසි හොඳ දෙයක් සිදුකළාම එහි ප්‍රශංසාව ජනාධිපති ගන්නවානේ.
සාක්ෂිකරු- ගන්නවා නෙවෙයි ලැබෙනවා.

නීතිඥ - එහෙම නම් යම් දෙයක් වැරදුණාම ඒ පිළිබඳව වගකීමත් ජනාධිපති ලැබිය යුතුයි නේද?
සාක්ෂිකරු- ඒක ඒ ඒ සිදුවීම අනුව වෙනස් වෙනවා.

නීතිඥ - ප්‍රහාරයක් සිදුවිය හැකි බවට ඔබද දැනුවත්ව සිට ඒ පිළිබඳව කිසිදු පියවරක් නොගත් බව යම්කිසි පරීක්ෂණයකින් තහවුරු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සාධාරණ නැද්ද?
සාක්ෂිකරු-  යම්කිසි පරීක්ෂණයකින් ඒ බව තහවුරු වන්නේ නම් එසේ කිරීමේ වරදක් නැහැ.

නීතිඥ - ඔබේ පාලන කාලයේ ජනාධිපති ලේකම්වරුන් තුන්දෙනෙක් සහ ආරක්ෂක ලේකම්වරුන් පස්දෙනෙක් වරින් වර පත් වුණා. එසේ ආරක්ෂක ලේකම්වරු විටින් විට වෙනස් වීම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බරපතළ ලෙස බලපානවා නේද?
සාක්ෂිකරු- නැහැ එහි කිසිම බලපෑමක් නැහැ. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි රටවල ආරක්ෂාව පිළිබඳ ප්‍රධානීන් වරින් වර ඉවත් කළ අවස්ථා කිහිපයක් තිබෙනවා. ඒක සාමාන්‍ය කරුණක්. ඩොනල්ඩ් ට්‍රම්ප්, බැරක් ඔබාමා, තේරේසා මේ, බොරිස් ජොන්සන් වගේ අය අවස්ථා ගණනාවකදී එවැනි නිලධාරීන් ඉවත් කරලා තියෙනවා.

නීතිඥ - ඔබ වැඩ කරන්නේ ලෝක ආදර්ශ අරගෙනද?
සාක්‍ෂිකරු-  අපේ රටේ වැඩිපුර ගන්නේ ලෝක ආදර්ශනේ.

නීතිඥ -  මාවනැල්ල ප්‍රදේශයේ දී බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීම, වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම සහ වනාතවිල්ලු‍ව ප්‍රදේශයෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීම වැනි සියලු සිදුවීම් වාර්තා වූයේ 2018 ඔක්තෝබර් 26 වැනිදා ආණ්ඩුව වෙනස් කිරීමත් සමග නේද?
සාක්ෂිකරු-  අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත් කිරීම දේශපාලනික කරුණක්. එය ජනාධිපති නීතිඥවරුන් වැනි අය සමග සාකච්ඡා කර ගනු ලැබූ තීරණයක්. එය රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ කටයුතු කිරීම සඳහා කිසිදු බාධාවක් වුනේ නැහැ.
මා ඒ ගත් තීරණය දේශපාලනික වශයෙන් නිවැරදි බව අදටත් විශ්වාස කරනවා.

නීතිඥ - ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ මෙහෙයවීමෙන් ඔබව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව යම් අවස්ථාවක ප්‍රකාශ කළා නේද?
සාක්ෂිකරු- මම කිසිම අවස්ථාවක එවැනි ප්‍රකාශ කර නැහැ.

අනතුරුව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසුවේය.

නීතිඥ - රාජ්‍ය බුද්ධි සේවයට සහරාන්ලාගෙන් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරු ලැබී තිබුණේ 2019 අප්‍රේල් 04 වැනිදා බව වාර්තා වී තිබෙනවා. ඔබතුමා ඒ ගැන දැන සිටියාද?
සාක්ෂිකරු- නැහැ. ඒ බව මා දැන ගත්තේ ප්‍රහාරයෙන් පස්සෙයි.

නීතිඥ - ඔහු ඒ බව ඔහුගේ ඉහළ නිලධාරින් දැනුවත් කළ බව මේ කොමිසමේදී අනාවරණය වුණා. ඔබතුමා ඒ ගැන දැනුවත්ද?
සාක්ෂිකරු- ඒ බව දැන ගත්තෙත් ප්‍රහාරයෙන් පස්සේ තමයි

නීතිඥ - කවුද ඒ ඉහළ නිලධාරීන්?
සාක්ෂිකරු- ආරක්ෂක ලේකම් හා පොලිස්පති

නීතිඥ - සහරාන්ලා 21 වැනිදා ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක ඉන්න බවට රාජ්‍ය බුද්ධි ප්‍රධානීට ලැබුණ තොරතුරක් වට්ස් අප් කර වගකිව යුතු නිලධාරින්ට යොමු කර තිබුණා. ඔබතුමා ඒක දැක්කාද?
සාක්ෂිකරු- ඔව්. ප්‍රහාරයෙන් පස්සේ දැක්කා.

නීතිඥ - එසේ තොරතුර ලැබී තිබියදීත් මේ ප්‍රහාරය වළක්වාගන්න නොහැකි වීම ඔබතුමා දකින්නේ කෙසේද?
සාක්ෂිකරු- ඔවුන් තමන්ගේ වගකීම ඉටුකර නැහැ. ඒකයි මේ ප්‍රහාරය වළක්වාගන්න බැරි වුණේ.

නීතිඥ - ඔබතුමා නීතියට පිටින් කටයුතු කළ බවට ඊයේ දිනයේ මේ කොමිසමේදී බරපතළ චෝදනාවක් නැගුණා. විශේෂයෙන්ම ජාතික ආරක්‍ෂක කවුන්සිලයට කැඳවිය යුතු නිත්‍ය සාමාජිකයෙක් වන හිටපු පොලිස්පති නොකැඳවීම ගැන එවැනි චෝදනාවක් නැගුණා.
සාක්ෂිකරු- ඇත්තටම ජාතික ආරක්ෂක කවුන්සිලය අද පවත්වාගෙන යන්නේ සම්ප්‍රදායයක් ලෙසයි. එය පිහිටුවා තිබෙන්නේ හදිසි නීති පනත යටතේ නිකුත් කළ ගැසට් නිවේදනයක් අනුවයි. දැන් රටේ හදිසි නීතිය නැහැ. ඒ නිසා මම නීති විරෝධීව කටයුතු කළ බවට එන චෝදනාව පදනම් විරහිතයි.

නීතිඥ - ඔබගේ සහෝදරයා වන කුමාරසිරි සිරිසේන මහතා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස තනතුරු දැරූ කාලයේ ඒ බලතල භාවිතා කර ඇතැම් සාක්ෂිකරුවන්ගේ දුරකතන වාර්තා මකා දැමූ බවට මේ කොමිසමේදී සාක්ෂි ඉදිරිපත් වී තිබෙනවා.
සාක්ෂිකරු- ඔහු ගැන මම හොඳට දන්නවා. ඔහු තමන්ගේ නිල වාහන දරුවන් පාසල් යැවීමටවත් භාවිතා කරන කෙනෙක් නෙවෙයි.

කොමිසම - ඔබ විදෙස් ගතවූ අවස්ථාවේ ඔබේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කළේ ප්‍රියන්ත කියන නිලධාරියා නේද?
සාක්ෂිකරු- ඔව්.

කොමිසම- රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා ඔබ සම්බන්ධ කරගැනීම සඳහා විසිවැනිදා අවස්ථා ගණනාවකදී කතා කළ බවට මෙහිදී සාක්ෂි දුන්නා. ඔබේ පෞද්ගලික ආරක්ෂකයා ඒ බව ඔබට කිව්වාද?
සාක්ෂිකරු- මට ඒ ගැන හරියටම මතක නැහැ.

කොමිසම - ඔබට ඇමතුම් ලැබෙනවා නම් ප්‍රමුඛතාව දිය යුතු අය අතර රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන සිටින බව ඔබ කලින් සාක්ෂි ලබාදීමේදී කිව්වා නේද?
සාක්ෂිකරු- ඔව්.

කොමිසම- ඔබ සිංගප්පූරුවේ රෝහලේ වෛද්‍යවරු හමුවීමට දහඅට වැනිදා ගිය බව කිව්වානේ. ඔබ එහි කොපමණ වේලාවක් රැඳී සිටියාද?
සාක්ෂිකරු- උදේ වරුවේ හිටියා. මම හිතන්නේ දහවල් එක දෙක පමණ වනතුරු ඉන්න ඇති.

කොමිසම- විසිවැනිදා කොපමණ වේලාවක් හිටියාද?
සාක්ෂිකරු- ඒත් උදේ වරුවේ තමයි හිටියේ. දවස් තුනේම උදේ වරුවේ රෝහලේ හිටියා. පරීක්ෂණ කරලා ප්‍රතිකාර ලබාදෙන්න ඒ කාලය ගත වුණා.

කොමිසම- සහරාන් හෂීම්ලා අයිඑස් මතවාදය දරන බවත් එය ප්‍රචාරය කරන බවත් ජයවර්ධන මහතා ආරක්ෂක කවුන්සිලය දැනුවත් කළ බවට සාක්ෂි දී තිබෙනවා.
සාක්ෂිකරු- ඔව්. ඔහු එසේ වාර්තා කර තිබෙනවා.

කොමිසම- අයිඑස් මතවාදය කියන්නේ ත්‍රස්තවාදී මතවාදයක් කියලා ඔබ දැන සිටියාද?
සාක්ෂිකරු- ඔව්.

කොමිසම- එවැනි පසුබිමක් තුළ රටේ ආරක්ෂාව බාර නායකයා රටේ නායකයා ලෙස ඔබ ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?
සාක්ෂිකරු- ඒක දැනගත්ත වෙලාවේ තමයි මම උපදෙස් දුන්නේ සහරාන් අත්අඩංගුවට ගන්න කියලා.

කොමිසම- ආරක්ෂාව බාර ප්‍රධානියා ලෙස ඇයි ඔබට මේ සම්බන්ධ තොරතුරු වේලාසන නොලැබුණේ?
සාක්ෂිකරු- වවුනතිව් පොලිස් නිලධාරින් දෙදෙනා ඝාතනය කළ වෙලාවෙත් යුද හමුදා බුද්ධි අංශය කිව්වේ ඒක එල්ටීටීඊ ප්‍රහාරයක් කියලයි. ඒක අන්තවාදීන්ගේ වැඩක් බව හෙළි වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සෙයි.  බුද්ධි නිලධාරින් පසුගිය ආණ්ඩු කාලයේ සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළා. මේ දේවල් නිසා ඔවුන් මන්දෝත්සාහි වීම මේකට හේතු වුණා වෙන්න පුළුවන්. ඔවුන්ගේ උනන්දුව බිඳවැටෙන්න ඇති.

කොමිසම- ඔබතුමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා ලෙස ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. එහෙත් ඔහුගේ නීතිඥවරයා ඔබෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවශ්‍ය නැහැ කිව්වා. එහෙත් ඔබම පත්කළ පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් ඔබෙන් දැඩි ලෙස හරස් ප්‍රශ්න විමසුවා. මේ දෛවෝපගත සිදුවීමක්ද?
සාක්ෂිකරු- මම පූජිත් ජයසුන්දර දැන ගත්තේ ඔහු පත්කරන්න අවුරුදු නවයකට පමණ පෙර සිට. ඔහු නියෝජ්‍ය පොලිස්පති විදිහට හිටපු කාලේ හොඳට වැඩ කළා. පොලිස්පති වුණාට පස්සේ ඔහුට මොනවා වුණාද කියලා හිතාගන්න බැහැ. හේමසිරි මම රාජ්‍ය නිලධාරියෙක් විදිහට හඳුනාගෙන දීර්ඝ කාලයක්. ඔහුත් හොඳ නිලධාරියෙක්. මට ඔවුන් සමග පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මෙතනදි ඔවුන් සාක්ෂි දුන්නේ කොහොමද කියලා මම දන්නවා. අපි එකට හිටපු එක පවුලක් වගේ පිරිසක්. සහරාන්ලාගේ ප්‍රහාරය අරමුණු කීපයකින් සාර්ථක වෙලා. අපි එකට හිටපු පිරිසක් භේදබින්න කරලා එකිනෙකාට චෝදනා කරගන්න තැනට පත්වෙලා.

කොමිසම- පොළොන්නරුවට තරමක් නුදුරින් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම, මුස්ලිම් පල්ලි බහුලව ඇති කිරීම වැනි දේවල් සිදුවුණා. ඇයි ඔබට මේවා වළක්වාගන්න බැරි වුණේ? මේවා  අන්තවාදීන්ගේ මැදිහත්වීමෙන් සිදුවූ දේවල්ද?
සාක්ෂිකරු- අන්තවාදීන් පිටුපස සිටියේ මුස්ලිම් දේශපාලනඥයන්. ජාති, ආගම් මූලික කරගෙන දේශපාලන පක්ෂ බිහිවීම තමයි මේ ඛේදවාචකයේ ආරම්භය. මුස්ලිම් දේශපාලනඥයන් අන්තවාදීන් ආරක්ෂා කළා.

කොමිසම- ඔබ විදේශ ගත වෙද්දි වැඩ බලන ආරක්ෂක ඇමති කෙනෙක් පත් කළා නම් මේ ප්‍රශ්නය මීට වඩා හොඳ විදිහට බේරගන්න තිබුණා නේද?
සාක්ෂිකරු- මම නැති වුණාම ජනාධිපති ලේකම් හිටියා. ඔහුට කිව්වා නම් ඔහු මට මොන විදිහකින් හරි මේක දැනුවත් කරන්න ඉඩ තිබුණා. පූජිතයි උදය සෙනෙවිරත්නයි එක පංතියේ එකට ඉගෙන ගත්තු අය. ඇයි ඔහුට මේක කියන්න බැරි වුණේ?

කොමිසම- ඔබට මේ ගැන කියන්න වගකීම තිබෙන්නේ කාටද?
සාක්ෂිකරු- පූජිතට මට මේ ගැන කියන්න තිබුණා. එහෙම කිව්වා නම් මම මේ ගමන යන්නේ නැහැ. එහෙම වුණා නම් මේ ප්‍රහාරය වළක්වාගන්න සියලු‍ දේ කරනවා.

කොමිසම- මේ තොරතුර වාර්තා කිරීමේ වගකීම වැඩියෙන්ම තිබෙන්නේ කාටද?
සාක්ෂිකරු:- ආරක්ෂක ලේකම්, පොලිස්පති හා රාජ්‍ය බුද්ධි ප්‍රධානී කියන තුන්දෙනාටම මෙහි වගකීම තිබෙනවා. ඒත් වඩාත් වැඩිම වගකීම තිබෙන්නේ ආරක්ෂක ලේකම්ට.

කොමිසම- බුද්ධි අංශ දඩයම් කළේ රාජ්‍ය නොවන සංවිධාන බවට චෝදනා තිබෙනවා.
සාක්ෂිකරු- ඔව්. රාජ්‍ය නොවන සංවිධාන තමයි මේවා පිටිපස්සේ ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ආරක්ෂාවට සම්බන්ධ ඇතැම් පනත් පවා පහුගිය කාලයේ හැදුවේ රාජ්‍ය නොවන සංවිධාන . ඒ සඳහා ඇතැම් රටවල් පවා මැදිහත් වුණා. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියලා අලු‍තෙන් ගේන්න හදපු පනත. අපේ තිබුණ පනත අයින් කරලා මේක ගේන්න හැදුවේ ඔවුන්ගේ වුවමනාවට. ඒවා ලිව්වේත් ඔවුන්ම තමයි. මම මේකට තදින්ම විරුද්ධ වුණා. එහෙම තමයි මේවා නවත්වාගෙන හිටියේ. මේ සංවිධානය අපේ රටේ ලියාපදිංචි වෙන්නේ ළමා හිංසනය පිටුදැකීම, කාන්තා සුබසාධනය වගේ දේවල් ගැන කියලා. ඒත් වැඩ කරද්දී වෙන්නේ වෙනම දෙයක්. මම වතාවක් ස්ථාන මාරු කරන්න කිව්වා කියලා පූජිත කියපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාත් ඒ රාජ්‍ය නොවන සංවිධාන සමග වැඩ කරන කෙනෙක්. මට මේවා දරාගන්න බැරිම තැන තමයි අගමැති වෙනස් කරලා අලු‍ත් ආණ්ඩුවක් හැදුවේ.

කොමිසම- නාලක සිල්වා අත්අඩංගුවට ගත්තෙත් එහෙම බලපෑමක් මතද?
සාක්ෂිකරු- ඒක පොලිස් දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයක් අනුව සිදුවුණ දෙයක්. ඒක වෙනම ප්‍රශ්නයක්.

කොමිසම- ඔබේ ගම් පළාත වන පොළොන්නරුවේ රිදීතැන්න, විහාරගොඩැල්ල වැනි ප්‍රදේශවලත් විශාල වැශයෙන් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම් කළා නේද? ඇයි ඔබට ඒවා වළක්වන්න බැරි වුණේ?
සාක්ෂිකරු-  අපේ ආණ්ඩුවලට බලපෑම් කිරීමේ හැකියාව මුස්ලිම් දේශපාලනඥයන්ට ලැබුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඔවුන්ට වැඩි ඉඩක් ලැබුණ නිසයි. ඒක වුණේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ පාර්ලිමේන්තු නියෝජනය සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රතිශතය සියයට දොළහේ සිට පහට අඩු කළ නිසයි. අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශන කරන්නේ නීතිය හා සාමය අමාත්‍යංශය යටතේ පොලිස් දෙපාර්තමේන්තුවෙන්. එය මගේ යටතට ගත්තේ අන්තිම මාස හතරෙදි. අවුරුදු හතරක් තිස්සේ සිදුවුණ වැරදි ක්‍රියාමාර්ග මට මාස හතරකින් වෙනස් කරන්න බැහැ. පෙට්ටියක දාලා වහනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. ක්‍රමානුකූලව කළ යුතු දෙයක්. දිගන සිදුවීම වැනි දේවල් නැගෙනහිර පළාතෙන් උතුරෙන් වාර්තා වීම වළක්වගන්නයි මට අවශ්‍ය වුණේ. එහෙම නැතිව ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට මුස්ලිම් මන්ත්‍රීවරු ආණ්ඩුවේ තියාගන්න මට අවශ්‍ය වුණේ නැහැ. මට ආණ්ඩුව හිසරදයක් වෙලා තිබුණේ. මුස්ලිම් මන්ත්‍රීවරු එළියට බැහැලා ගිහින් ආණ්ඩුව ඇදගෙන වැටුණා නම් මම කැමතියි.

 



අදහස් (14)

හේමසිරිත් පූජිතත් පමණක් අත්අඩංගුවට ගැනීම සාධාරණ නෑ

fairoos Thursday, 26 November 2020 08:00 AM

ඔබතුමන්ලාගේ පැවැත්ම රැඳෙන්නේ ජාතිවාදය මත පමණි.

:       0       12

isuru Thursday, 26 November 2020 08:31 AM

දැනුයි මේක මෙයාට මතක්වෙලා තියෙන්නේ. මේකත් ඩීල් එකක්ද දන්නේ නැහැ...

:       0       13

isuru Thursday, 26 November 2020 08:50 AM

එහෙනම් නියම සැකකරුවෝ අධිකරණය හමුවට පමුණුවන්න. එය රටම බලාගෙන ඉන්නවා.

:       0       10

jagath g Thursday, 26 November 2020 08:51 AM

ආ... දැන්ද මෙයාට ඇහැරුණේ..? හරි හොඳයි.

:       1       11

thissa Thursday, 26 November 2020 08:53 AM

මෙයාට කොහෙන්ද දන්නේ නැහැ මේ අදහස ආවේ..? මොන ඩීල් එකක්ද මන්දා.. නඩුව වෙන පැත්තකට යනවාද මන්දා..?

:       0       9

rohan Thursday, 26 November 2020 08:56 AM

හේමසිරි හා පූජිත් මේ බෝම්බ පිපිරීමට කිසිම සම්බන්ධයක් නැහැ කියලා ලෝකයම දන්නවා සත්‍යය කවදා හෝ ජයගනීවි.. වැරැදි කරුවන්ට ඊගාව ආත්ම භවවලදී හෝ දඬුවම් ලැබෙයි. එයයි බුදු බණ.

:       1       16

kalani Thursday, 26 November 2020 08:58 AM

මේ දෙදෙනා නිදොස්කොට නිදහස් විය යුතුයි කියලා තමයි මට හිතෙන්නේ...

:       1       7

rathna Thursday, 26 November 2020 09:54 AM

අර මිනිස්සුන්ව එල්ලන්න ඉන්දියාවෙන් වධක ලණු 6ක් ගෙනාවා නේද? ඒකෙන් එකක් අපි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් වෙන්කරලා තියෙනවා.

:       0       10

බද්රානි Thursday, 26 November 2020 11:26 AM

මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ මොහුවයි. කොහෙද ඉතින් ගජ මිතුරු කුමන්ත්‍රණ කල්ලිය එහෙම කරයිද නේද? මෙයා දැන් මෙතන බොරුවට, ජාත්‍යන්තරයක් ගාවගන්න හදනවා. ඒ කරපු කුමන්ත්‍රණ අපරාධයට නම් සසර වසන තුරාවටම සහ ගහනවා. කාට බොරුකළත් ඒ අපරාධය කළ අයට විශ්ව ධර්මයෙන් නම් ගැලවීමක් ලැබෙන්නේ නැහැ...

:       0       12

de silva Thursday, 26 November 2020 01:37 PM

ආරක්ෂක ඇමැති කම කරන්න දන්නේ නැතිනම් කුමටද ඒක බාරගත්තේ? රට යනකොට වැඩබලන ආරක්ෂක ඇමැතිට වැඩ පවරලා යන්න බැරිද? හිරේ යවන්න ඕනේ මොහු මිසක් වෙන කවුරුවත් නොවේ.

:       0       9

jinasiri Thursday, 26 November 2020 03:30 PM

ඔයා හරි.. මේ දෙදෙනාම නිදොස් කොට නිදහස් කළ යුතුයි කියා තමයි අපිත් හිතන්නේ.

:       0       1

K Perera Thursday, 26 November 2020 04:25 PM

හරි නම් ඒ දෙදෙනා පමණක් පමණක් නොව ඔබවත් අත් අඩංගුවට ගන්න ඕනේ නේද?

:       0       0

jagath g Saturday, 28 November 2020 02:42 PM

මේ වැඩේ නියම සැකකරුවන් රජවෙලා... ඉතින් මොකක්ද කරන්නේ?

:       0       0

Ravindra Prasanna Ranasinghe Sunday, 29 November 2020 10:17 AM

හොඳයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 570 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3969 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1527 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 632 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3775 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2812 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 319 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site