IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අතිපණ්ඩිතයන්ගේ වචන වාත්තුව

මතක හා මතය - 16


 

මෙරට වියතුන් සබා මැද, දේශපාලන වේදිකා මත, පුවත්පත්වල මෙන්ම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවල ද නිතර පට්ට ගහන සුලබ කියමනක් ඇත. මේ බලන්න.

නිවාස වැඩ පිළිවෙළේ නිම්වළලු පුළුල් කරනවා, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කරනවා, රියැලිටි ෂෝ සම්ප්‍රදායේ නිම්වළලු පුළුල් කරනවා, ගවේෂණ ප්‍රවෘත්ති කලාවේ නිම්වළලු පුළුල් කරනවා, පුරා විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කරනවා.

මොකක්ද මේ පළල් කරන නිම්වළල්ල?


වත්මන් ලේඛක ලේඛිකාවන්, ගුවන්විදුලි - රූපවාහිනී නිවේදක නිවේදිකාවන් හා දේශකයන් අතර සිටින ඇතැම්හු තම වචන මාලාවේ අන්ත දිළිඳුකම හා වචනවල නිවැරදි අරුත් නොදන්නාකම
කරණකොටගෙන ඒකාකාරී සුලබ ගණයේ වදන් හා යෙදුම්  අභිරුචියෙන් භාවිතයට ගැනීමට ඇබ්බැහි වී සිටිති. ඒවා ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ Cliche (ක්ලී⁣ෂේ) යන නමිනි. භාෂණයේදී මෙන්ම ලේඛනයේදී ද මෙකල සුලබ ලෙස වහරට ගැනෙන එබඳු එක්තරා වාක්‍ ප්‍රයෝගයක සුලමුල වෙත ඔබේ අවධානය යොමු කරන අටියෙන් කරන අර්ථ විවරණයකි මේ.

'නිම්වළලු පුළුල් කරනවා' යන එකී සුලබ වාක් ප්‍රයෝගය අද උගතුන් අතර මෙන්ම සාමාන්‍ය ජනතාව අතරද සාධු සම්මත වූවකි. ඊට හේතුව නිරන්තර භාවිතය නිසා එය බහු ව්‍යාප්තවීමය. ඇතැම් ගුවන් විදුලි - රූපවාහිනී නිවේදක නිවේදිකාවන් තම පුහු පණ්ඩිතමානී ස්වරයෙන් තත් ප්‍රයෝගය නිතර භාවිතයට ගන්නා අයුරු ඔබ අසා දැක ඇත. 'නිම්වළලු පුළුල් කරනවා' යන්න වර්තමාන සිංහල කථන ව්‍යවහාරයේ මෙන්ම ලේඛන ව්‍යවහාරයේ ද නිරන්තර භාවිතයට ගැනෙන්නේ කවර නිශ්චිත අදහසක් ගම්‍යමාන කරන වාක් ප්‍රයෝගයක් ලෙසද? එය ඉඳුරා සම්මතව ඇත්තේ කිසියම් ක්ෂේත්‍රයක ප්‍රගතියට අවශ්‍ය අවකාශය විස්තාරණය කරලීම යන අදහස ප්‍රකාශ කිරීම සඳහා මිස අනෙකක් සඳහා නොවන බව පැහැදිලිය. 'නිම්වළලු පුළුල් කරනවා' යන්න එම අදහස දීම සඳහා කවුරුන් විසින් කවර නිරුක්ත්‍යාර්ථ පාදක කරගෙන කවර දා නිපදවා වත්මන් සිංහල වහරට හඳුන්වා දුන්නක්ද යන්න අවිනිශ්චිතය. ය⁣ථෝක්තාර්ථයෙන් එය පැරණි සිංහල වහරේ භාවිත විණැයි සසාධකව සකාරණව සනාථ කළ හැකි වේද? නොහැක්කේමය. එහෙයින් 'නිම්වළලු පුළුල් කරනවා' යන මෙම වාක් ප්‍රයෝගය මෙකල සම්මතව ඇති අර්ථයෙන් මෙසේ සුලබ ලෙස භාවිතවීම මෙතෙක් භාෂාඥයන්ගේ කුහුලට හා විමතියට ලක් නොවීම එක් අතකින් විස්මයටද කරුණකි. මා එසේ පවසනුයේ වෙසෙසින්ම මෙම වාක් ප්‍රයෝගයේ එන 'නිම්වළලු' යන පදය සැලකිල්ලට ගනිමිනි.

'පුළුල් කරනවා' යන්නෙහි ක්‍රියාර්ථය උගත් නූගත් කාටත් වැටහෙන්නකි. පටු - පළල් වෙනස කවුරුත් දන්නා හෙයිනි. එහෙත් තත් ප්‍රයෝගය භාවිත කරන උගතුන් පවා මෙහි එන 'නිම්වළලු' යන පදයෙහි නියම නිරුක්ත්‍යාර්ථයට අඳ ඇස් ඇත්තන් බව නිසැකය. ඔවුන් එම 'නිම්වළලු' යන පදයෙහි සාවද්‍යාර්ථයක් නොදක්නා හෙයිනි. මෙම සුලබ වාක් ප්‍රයෝගයේ ආදි කර්තෘවරයා එය නිපදවූයේ ද එම සාවද්‍යාර්ථයම පාදක කරගෙන නොවිය හැකිද?

පැරණි සිංහල වදන්වල නියතාර්ථ නොදත් ඉංග්‍රීසි වහර අනුචිත ලෙස අනුකරණය කළ මෑත කාලීන අතිපණ්ඩිතයෙකුගේ කෘත්‍රිම නිපැදුමක් ලෙස මේ 'නිම්වළලු පුළුල් කරනවා' යන ප්‍රයෝගය සැලකීම අසාධාරණ නොවේ. 'නිම්වළල්ල' පදය 'ක්ෂිතිජය' වාචී ශබ්දයක් ලෙස එහි භාවිතව ඇති හෙයිනි.

'නිම්වළල්ල' හා 'ක්ෂිතිජය' සමානාර්ථ පද ලෙස වර්තමාන සිංහල ව්‍යවහාරයට කෙසේ පැමිණියේද යන්න අවිනිශ්චිතය. එසේ වුවද 'නිම්වළලු පුළුල් කරනවා' වාක් ප්‍රයෝගයේ ආදි කර්තෘවරයා "කිසියම් ක්ෂේත්‍රයක අවකාශය හා ප්‍රගතිය වඩාත් විස්තාරණය කරලීම" යන අර්ථයෙන් එම ප්‍රයෝගය නිපදවා ඇත්තේ 'නිම්වළල්ල' යන්න 'ක්ෂිතිජය' යන නාමපදයේ පර්යාය ශබ්දයක් හෙවත් සමානාර්ථ පදයක් ලෙස සලකමින් බව ඉඳුරා පැවසිය හැකිය. මා එසේ පවසන්නේ මේ අර්ථ විපරීත කෘත්‍රිම වාක් ප්‍රයෝගයට උපත දුන් මූලාශ්‍රය හැටියට අනුමාන කළ හැකි එක්තරා ඉංග්‍රීසි අලංකාරෝක්තියක් සාධක කොට ගෙනය. 'ක්ෂිතිජය' වාචී ඉංග්‍රීසි Horizon වචනය එම ඉංග්‍රීසි අලංකාරෝක්තියෙහි සංකේත පදයක් හැටියට භාවිත කොට ඇති හෙයිනි. ක්ෂිතිජය වාචී පදයක් ලෙස මෑතකදී වත්මන් සිංහල වහරට පිවිස ඇති 'නිම්වළලු' ශබ්දය නිපදවූයේ අප මාතෘකා කොටගත් කෘත්‍රිම වාක් ප්‍රයෝගයේ ආදිකර්තෘවරයාද නැතහොත් වෙනත් කෙනෙකුද යන්න අවිනිශ්චිත වුවද එය වනාහි කවර හෝ වර්තමාන භාෂාන්ධයෙකු විසින් මෑත කලෙක කෘත්‍රිම ලෙස නිපදවන ලද අර්ථශූන්‍ය අව්‍යක්ත ශබ්දයක් බව නම් නියතය. මෙම වාක්‍ ප්‍රයෝගය හැරෙන්නට 'නිම් වළල්ල' යන්න 'ක්ෂිතිජය' වාචී පදයක් ලෙස නිශ්චිතාර්ථයෙන් භාවිතයට ගත් වෙනත් පුරාතන හෝ අද්‍යතන නිදර්ශනයක් අදෘශ්‍යමානය. එය අර්ථවිපරීත සාවද්‍ය ව්‍යවහාරයක්ම වීම ඊට හේතුව නොවේ යැයි කාට නම් කිව හැකිද?

'නිම්වළලු පුළුල් කරනවා' යන කෘත්‍රිම වාක් ප්‍රයෝගයට මූලාශ්‍රය වූ බවට අනුමාන කළ හැකි එක්තරා ඉංග්‍රීසි අලංකාරෝක්තියක් ගැන මම මෙහි මුලින් සඳහන් කළෙමි. 'අලංකාරෝක්තිය' යන්න සන්ධි පදයකි. එය සෑදී ඇත්තේ 'අලංකාර' සහ 'උක්ති' යන උභය පද එක්වීමෙනි. ⁣'අලංකාර' යන්නෙහි ඇත්තේ 'විසිතුරු' යන අරුතය. 'උක්ති' යනු 'කියමන' යන තේරුම දෙන්නකි. එවිට 'අලංකාරෝක්ති' යන සන්ධි පදය 'විසිතුරු කියමන' යන තේරුම පළ කරයි. ඉංග්‍රීසි භාෂාවේ 'අලංකාරෝක්තිය' හැඳින්වෙනුයේ Figure of Speech යන වහරිනි. සම්මත පද වෙනුවට විසිතුරු අර්ථ නගන සංකේත පද යොදා නිපදවන අපූරු යෙදුම් යනු එහි නිරුක්ත්‍යාර්ථයයි. ලේඛනයේදී මෙන්ම භාෂණයේදීද මෙම අලංකාරෝක්ති නිසා භාෂාව භ්‍රාජමාන වෙයි. එමෙන්ම භාෂකයාගේ හෝ ලේඛකයාගේ නිර්මාණ නිපුණත්වය මෙන්ම කවි ශක්තියද මැනීමට උපයුක්ත අලංකාරෝක්ති මනා පිටිවහලක් වෙයි.

'නිම්වළලු පුළුල් කරනවා' යන කෘත්‍රිම වාක් ප්‍රයෝගයේ කර්තෘ එය නිපදවාගෙන ඇත්තේ Broadening Horizons යන ඉංග්‍රීසි අලංකාරෝක්තිය අනුකරණයෙන් යැයි යනු මගේ අනුමානයයි. Broadening යන ඉංග්‍රීසි වචනයෙහි ඇත්තේ 'පළල් කරනවා' යන ක්‍රියාර්ථයයි. Horizons යන ඉංග්‍රීසි බහු වචනය 'ක්ෂිතිජයෝ' යන බහු අර්ථය ප්‍රකාශ කරයි. ඒ අනුව Broadening Horizons යන ඉංග්‍රීසි අලංකාරෝක්තියේ ඍජු පදගතාර්ථය වන්නේ 'ක්ෂිතිජයන් පළල් කිරීම' යනුයි. එය වනාහි විප්‍රකාර හාස්‍යජනක අර්ථයක් බව නොකියමනාය. එහෙත් එය එවන් අර්ථයක් නඟන්නක් ලෙස හැඟෙන්නේ එම ඉංග්‍රීසි අලංකාරෝක්තියෙහි ගැබ්ව පවත්නා ව්‍යංග්‍යාර්ථය හෙවත් ධ්වන්‍යාර්ථය නොදත් ජනයාටය. ඉන් ව්‍යංග්‍යයෙන් ප්‍රකාශ වන අර්ථය අනුව නම් එහි 'ක්ෂිතිජයන් පළල් කිරීම' යන අර්ථයේ ඡායාමාත්‍රයක්වත් ගෑවී නැත. එහෙත් ඔබ එකක් දැනගැනීම වටී. කුමක්ද ඒ? Broadening Horizons යන ව්‍යංග්‍යාර්ථවත් ව්‍යක්ත ඉංග්‍රීසි අලංකාරෝක්තිය සමග සසඳන කල 'නිම්වළලු පුළුල් කරනවා' යන්න කෘත්‍රිම ලෙස නිපදවාගත් අව්‍යක්ත, අර්ථශූන්‍ය, අසිංහල නිරාලංකාරෝක්තියක් බවය.

ක්ෂිතිජය යන නාමපදය සඳහා ඉංග්‍රීසි භාෂාවේ භාවිත වන වචනය Horizon යනුයි. ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරයේදී ඉන් හඟවන්නේ අහස සමග පොළොව හෝ මුහුද එකට ගෑවෙන සේ දිස්වෙන රේඛාවයි. 'තිරස්ව පිහිටි' යන තේරුම දෙන ඉංග්‍රීසි Horizontal වහරද ඊට නෑකම් කියන්නකි. ඉංග්‍රීසි කෝෂග්‍රන්ථ අනුව Horizon යන්නෙහි සුලමුල දැක්වෙන්නේ ග්‍රීක් - ලතින් ප්‍රභවයෙන් පැරණි ප්‍රංස බස ඔස්සේ මධ්‍යකාලීන ඉංග්‍රීසියට පැමිණි වචනයක් හැටියටය. 'ක්ෂිතිජය' යන්න ඉංග්‍රීසි Horizon වචනයේ අර්ථය දෙන පදයක් ලෙස මෑත කාලයේ මෙරට භාවිතයට ආවක් යැයි සිතමි. එය එම අර්ථයෙන් ඈත කාලයේ පටන් ව්‍යවහාර වුණු බවක් සිංහල පොත පතෙන් හෙළි නොවන හෙයිනි.

'ක්ෂිතිජය' යනු සංස්කෘත භාෂාවට අයත් වචනයකි. එහි නිරුක්තිය හෙවත් පදසිද්ධිය සලකන විට එයද මෑත අවධියක නිෂ්පන්න වූ පදයක් බැව් පෙනේ. පැරණි සංස්කෘත ගද්‍ය පද්‍ය ග්‍රන්ථවල එය විරල වශයෙන් හෝ ව්‍යවහාර වී ඇති බවක් ප්‍රකට නොවන හෙයිනි. ඇතැම් විට එයද මෑත කාලීන සංස්කෘත භාෂාඥයෙකු විසින් ඉංග්‍රීසි Horizon පදාර්ථය ආශ්‍රයෙන් නිපදවන ලද දේශීය ශබ්දයක් විය හැකිය. සන්ධි පදයක් වන 'ක්ෂිතිජය' යන්න විසන්ධි කොට එහි පදාර්ථ විමසන කෙනෙකු ඒ අනුමානයට නිසැක ලෙස එළඹෙනු නියතය. 'ක්ෂිතිජය' යන සංස්කෘත වචනයේ පද සිද්ධිය වන්නේ 'ක්ෂිති' හා 'ජ්‍යා' යන උභය පද එකට සන්ධි වීමෙනි. 'ක්ෂිති' යන්න 'පොළොව' යන අර්ථයෙහි වැටේ. 'ජ්‍යා' යනු රේඛාව හෝ ලණුව යන අර්ථ දෙයි. එම උභය පද පිළිවෙළින් ඉංග්‍රීසියෙහි Line හෝ String දෙපදයට සම වෙයි. 'ක්ෂිති' හා 'ජ්‍යා' යන දෙපදය සන්ධි වූ කල පදගතාර්ථ වශයෙන් ඉන් ප්‍රකාශ වන්නේ 'පොළොවේ රේඛාව' යන වාච්‍යාර්ථයයි. එහෙත් එහි ධ්වන්‍යාර්ථය හෙවත් ව්‍යංග්‍යාර්ථය වශයෙන් ව්‍යවහාර සම්මතව ඇත්තේ අහස සමග පොළොව හෝ මුහුද එකට ගෑවී ඇත්තා සේ දිස්වන රේඛාවයි. 'ක්ෂිතිජය' යන සංස්කෘත වචනයේ නිරුක්ත්‍යාර්ථය එසේ දැනගත යුතුය. ඉංග්‍රීසි භාෂාවේ එන Horizon වචනයත් 'ක්ෂිතිජයං' යන සංස්කෘත වචනයත් අතර අර්ථ වශයෙන් පවතින සමීප නෑ සබඳකම මෙයින් ඔබට නිසැක ලෙස පැහැදිලි වෙතියි සිතමි.

මෙහිදී තව කරුණක්ද දැනගැනීම වටී. එනම් 'දුන්න' යන අර්ථය දෙන 'ධනුර්' පදයත් 'ලණුව' යන අර්ථය දෙන 'ජ්‍යා' පදයත් එක්ව නිපන් සංස්කෘත වචනයකින් බිඳුණු සිංහල තද්භව පදයක් අපගේ පැරණි සම්භාව්‍ය ග්‍රන්ථ ව්‍යවහාරයේ පවතින බවය. 'ධනුර්ජ්‍යා' යනු ඒ සංස්කෘත වචනයයි. එහි තේරුම
'දුනු ලණුව' යන්නය. දුන්නේ දෙකෙළවර එක් කරන්නේ දුනු ලණුවයි. ඉංග්‍රීසි භාෂාවේ එය Bow String නම් වෙයි. 'ධනුර්ජ්‍යා' යන සංස්කෘත වචනය සිංහලට බිඳෙන්නේ 'දුනු දිය' ලෙසිනි. 'මදරද' හෙවත් අනංගයා තම උක්දඬු දුන්නෙන් මල් හී විද පෙම්වතුන්ගේ හද සිදුරු කරන්නේ එහි බැඳ ඇති මී මැසි දුනුදිය අදිමිනි.


Broadening Horizons' යනු ඉංග්‍රීසි භාෂාවේ භාවිත වන ප්‍රකට අලංකාරෝක්තියක් බව මම කලින් සඳහන් කළෙමි. එහි හුදු පදගතාර්ථය විය යුත්තේ 'ක්ෂිතිජයන් පළල්කිරීම' යන්න බවද කීවෙමි. එහෙත් එවැනි විකාර අර්ථයක් දෙන යෙදුමක් අලංකාරෝක්තියක් ලෙස සැලකිය හැක්කේ කෙලෙසද? ඉංග්‍රීසි Horizon යන්න 'ක්ෂිතිජය' වාචී ශබ්දයක් බව සැබවි. එහෙත් මේ විශේෂ යෙදුමේදී Horizon යන්න භාවිතව ඇත්තේ එහි පදගතාර්ථය අනුව නොවේ. සංකේතාර්ථය අනුවය. මේ නිශ්චිත සංකේතාර්ථය නම් ප්‍රධාන වශයෙන් පුද්ගලයෙකුගේ නුවණ, අත්දැකීම හෝ උනන්දුව පිළිබඳ සීමාවයි. ඒඅනුව Broadening Horizons යන අලංකාරෝක්තියෙන් අදහස් කරන්නේ කෙනෙකුගේ නුවණේ අත්දැකීමේ හෝ උනන්දුවේ සීමාව විකාසනය කරලීමයි. පුළුල් කරලීමයි. මේ ඉංග්‍රීසි උදාහරණය බලන්න.

She wanted to leave home and broaden her horizons.

(ගෙදරින් පිටව ගොස් තම නුවණ හා අත්දැකීම් පුළුල් කරගැනීමට ඇයට වුවමනා විය.)

'නිම්වළලු පුළුල් කරනවා' යන්න සිංහල වාග් ව්‍යවහාරයට දාව උපන්නක් නොවන බව මම කලින් ප්‍රකාශ කළෙමි. එසේම මම එය පැරණි සිංහල පොතපතේ එන වචනාර්ථ නිශ්චිත ලෙස වටහා නොගත් සාවද්‍ය අව්‍යක්ත සිංහල වචන අවිචාරයෙන් පිළිගත් වත්මන් පුහු පණ්ඩිතමානියෙකු විසින් ඉංග්‍රීසි ව්‍යවහාරය අනුකරණයෙන් කෘත්‍රිම ලෙස නිපදවූවක් ලෙසද හැඳින්වීමි. 'නිම්වළලු පුළුල් කරනවා' යන්නෙහි ආදි කර්තෘවරයා සැබවින්ම උත්සාහ කර ඇත්තේ ඉංග්‍රීසියෙහි එන Broadening Horizons යන අලංකාරෝක්තිය අනුකරණයෙන් නව සිංහල අලංකාරෝක්තියක් නිපදවා ගැන්මටය. එහෙත් බිහිව ඇත්තේ නිරාලංකාරෝක්තියකි. එවැන්නක් සිදුවීමට හේතුව විමසා බැලිය යුත්තකි.

නව සිංහල අලංකාරෝක්තිය අව්‍යක්ත නිරාලංකාරෝක්තියක තැනට හෙළන්නට හේතු වූ දෝෂය ඇත්තේ 'නිම්වළලු' යන පදයෙහිය. එය මෙහි යෙදී ඇත්තේ 'ක්ෂිතිජය' යන අරුත දෙන පදයක් ලෙසින් බව කලින් පැහැදිලි කළෙමි. ක්ෂිතිජය අරුත දෙන 'නිම්වළලු' පදය කවර දා කවරෙකු විසින් නිපදවන ලද්දක්දැයි නොදනිමි. එම අරුතින් එය සිංහල ව්‍යවහාරයේ පැවත ආවක් නම් නොවේමැයි. 'නිම්' යන්නෙහි 'කෙළවර', 'අවසානය' යන අරුත ඇති මුත් 'වළල්ල' යන්නෙහි ඇත්තේ 'කවය', 'රවුම' යන අරුතය. ක්ෂිතිජය කෙළවරක් අවසානයක් පෙන්වන්නක් වුවද එය රේඛාවක් ලෙස මිස කවයක් ලෙස දිස්වන්නක් නොවේ. එසේ නම් එහි පද සිද්ධිය අනුව ක්ෂිතිජය 'නිම් වළල්ල' නමින් හැඳින්විය හැකි වේද?

කෙසේ වුවද අපගේ පැරණි සිංහල පොතපතේ භාවිත 'නිම්වළලු' ශබ්දයක් ඇත. එහෙත් එය 'ක්ෂිතිජය' යන අර්ථයෙන් නම් නොවේ. සපුරා වෙනස් අර්ථයකිනි. එම 'නිම්වළලු' යන්න සිංහලයේ නිපන් පදයක්ද නොවේ. එය වනාහි සංස්කෘත - පාලි භාෂාවන්ට අයත් මූල ශබ්දයකින් සිංහලයට පිවිසුණකි. එය තත්සම ( මුල් බසට අයත්) පදයක් ලෙස මෙන්ම තත්භව ( සිංහලයට බිඳුණු) පදයක් ලෙසත් පැරණි ග්‍රන්ථ සිංහලයේ ව්‍යවහාර වී ඇත. 'නිම්වළලු' යන්න ක්ෂිතිජය යන අර්ථයෙන් භාවිතයට ගත් පුරෝගාමියා කවරෙකු වුවද ඔහු එහි නියම අර්ථය නොදත් අඥයෙකි.

සංස්කෘත - ඉංග්‍රීසි ශබ්දකෝෂවල 'නේමි' යන සංස්කෘත වචනයට ඉංග්‍රීසියෙන් අර්ථ දී ඇත්තේ Edge Rim යනුවෙනි. එහි සරල සිංහල තේරුම වන්නේ රෝදයේ 'පිටපට්ටම' යන්නය. කරත්ත රෝදයේ පිටපට්ටම යකඩෙන් තැනුණකි. ලී රෝදය සවිමත් කරනු පිණිසය. නවීන රෝදයේ ටයරය ගෙන ඇත්තේ ඒ තැනය.

'නේමි' වචනය සංස්කෘත භාෂාවේ පමණක් නොව පාලි භාෂාවේද හමුවෙයි. ලංකාවේ එකම පැරණි පාලි ශබ්දකෝෂය වන 'අභිධානප්පදීපිකාව' ඊට දී ඇති අර්ථය 'නිම්වළල්ල' යනුයි. එය පාලියෙන් පැහැදිලි කොට ඇත්තේ රිය සක වටා ඇති වළල්ල ලෙසය. periphery of the wheel යනුවෙන් එය එහි ඉංග්‍රීසියෙන්ද තේරුම් කොට ඇත. ඉංග්‍රීසි periphery යන්නෙහි තේරුම අන්තය, කෙළවර යනුයි. එදා රිය සකෙහි කෙළවර නම් ඒ වටා ඇති යකඩ පට්ටමයි. මෙදා නම් ටයරයයි.

මහා කවි කාලිදාසයන්ගේ අභිරමණීය කාව්‍යයක් වන 'මේඝදූත'යේ උත්තර මේඝයේ එන

(48) වන පද්‍යයේ (4) වන පාදයේ පද පිළිවෙළ මෙසේය.


"දශාඃ චක්‍රනේමික්‍රමේණ නීචෛර්

ගච්ඡන්ති උපරි ච ගච්ඡන්ති."


'මේඝදූත' කාව්‍යයේ පුරාණ සිංහල සන්නකරු ඒ පද පිළිවෙළට පණ්ඩිතප්‍රිය භාෂාවෙන් අර්ථ ඉදිරිපත්කොට ඇත්තේ පහත එන අයුරිනි.


"දශාඃ (සුඛිත දුඃඛිත අවස්ථාවෝ) චක්‍රනේමික්‍රමේණ (රථ චක්‍රයාගේ නේමික්‍රමයෙන්; රථ චක්‍රයෙහි

නිම්වළල්ල යන පරිද්දෙන්) නීචෛර් ගච්ඡන්ති ( මිටිවද යන්නාහ.) උපරි ච ගච්ඡන්ති (මතුවද යන්නාහුයි.)"


මේ පුරාණ සිංහල සන්නය කවර දා කවුරුන් විසින් කරන ලද්දක්ද යන්න අප්‍රකටය.

මිනිසුන්ගේ දුක සැප දෙකේ මාරුව කරත්ත රෝදයේ නිම් වළල්ල හෙවත් යකඩ පට්ටම යන ගමනට උපමා කළ හැකිද? හැක්කේමය. එය කැරකෙන විට වරක් එහි බිම ගෑවුණ තැන උඩට යයි. යළි එතැනම යටට කැරකී විත් බිම ගෑවෙයි. දිගටම සිදුවන්නේ මේ මාරුව මිස අනිකක් නොවේ. ඒ අනුව බලන විට මිනිසුන්ගේ දුක සැප මාරුව පෙන්වීමට කැරකෙන රෝදයේ නිම් වළල්ල හෙවත් යකඩ පට්ටම කදිම උපමාවකි.

"පෙරළෙන ඉරණම චිත්‍රපටිය සඳහා "මේ ලෝකේ වේදීකාවේ නළුවෝ අපී - ප්‍රේමේ රැඟුම් ලොවේ පා දයා - ඉන් බැස යාවී තම කාලෙ අවසන් වෙලා" යන ගීතය ලිවීමට මහාකවි විලියම් ශේක්ස්පියරයන්ගේ As you like it දෘශ්‍ය කාව්‍යයේ ආශ්‍රය ලද ආදි කෘතහස්ත චිත්‍රපටි ගීත රචක ජී.එල්.ජේ. නන්දන කීර්ති සාහිත්‍යවේදියා 'කපටිආරක්ෂකයා' චිත්‍රපටය සඳහා "දුක සැප නිති පෙරළේ රිය සක ලෙස ලෝකේ" යන ගීතය ලියුවේ මහාකවි කාලිදාසයන්ගේ 'මේඝදූත' සන්දේශ කාව්‍යය ආශ්‍රයෙන් විය හැකිය. වර්තමාන බොහෝ අර්ථ දූෂක ගීත රචකයෝ මෙයින් ආදර්ශයක් ගතයුත්තාහ.

මෙතෙක් අප සතුව පවතින පැරණිම පැදි පොත 'සියබස්ලකර'ය. එය ලියා ඇත්තේ ක්‍රි.ව. (9) වන සි.ව. රජකම් කළ (1) වන සේන රජු විසින් බව උගතුන්ගේ පිළිගැනීමය. ක්‍රි.ව. (10) වන සි.ව. මුලදී රජකම් කළ (5) වන කාශ්‍යප රජු ලියූ
'දම්පියාඅටුවාගැටපදය' දැනට අපට ලැබී තිබෙන පැරණිම ගැදි පොතයි. එහිද 'නේමි' යන පාලි වචනය හා ඉන් හෙළයට බිඳුණු 'නිම්' වදන හමුවෙයි. මේ ශබ්ද දෙකටම වැලිවිටියේ සෝරත පඬි හිමියන් තම සුමංගල ශබ්ද කෝෂයෙහිලා අර්ථ දක්වා ඇත්තේ 'රෝදයෙහි පට්ටම' යනුවෙනි.

පොලොන්නරු යුගයට වැටෙන (12) වන සි.ව. විසූහයි සැලකෙන ගුරුළුගෝමීන් විසින් ලියන ලද 'අමාවතුර' ග්‍රන්ථයෙහි 'භික්ෂු දමන' නම් පරිච්ඡේදයේ තැනක මේ වැකි කඩ හමුවෙයි.


" ....නිම්වළල්ලෙහි ගෙනැ පෙරළන ලද රිදී සකක් බඳු පුන්සඳ මඬල නැඟී නුබතලට පිළිපනැ."


මෙහි එන "....නිම් වළල්ලෙහි ගෙනැ පෙරළන ලද ...." යන්නට වැලිවිටියේ සෝරත පඬි හිමියන් තම 'අමාවතුර' ගැටපද විවරණයෙහිලා තේරුම දී ඇත්තේ "රෝදයක් අවට ඇති පට්ටම නිම්වළල්ලයි. එය අල්ලාගෙන කරකවන ලද " යනුවෙනි.

ඉහත ඉදිරිපත් කරන ලද සාධක අනුව ඔප්පු වන්නේ 'නිම්වළල්ල' යන පදය පැරණි සිංහල ගැදි පැදි පොත්වල භාවිතව ඇත්තේ කරත්ත රෝදයේ 'පිට පට්ටම' යන අර්ථයෙන් බවය. ඒ අනුව 'නිම්වළලු පුළුල් කරනවා' යන්නෙහි නියම අර්ථය විය යුත්තේ කරත්ත රෝදයේ 'පිට පට්ටම පළල් කරනවා' යන්න බව අනිවාර්යයෙන් පිළිගැනීමට සිදුවේමැයි. එසේ වුවද 'නිම්වළලු පුළුල් කරනවා' යන සුලබ කියමන පට්ට ගහන වත්මන් දේශක, ලේඛක හා නිවේදක ගණයා එකී පැරණි අර්ථය මෙන්ම පෙර සඳහන් ඉංග්‍රීසි අලංකාරෝක්තිය ගැනද හාංකවිසියක්වත් දැන සිටින්නේද යන්න කාට නම් කිය හැකි වේද? නිශ්චිත අර්ථය වෙනුවට විපරීත අර්ථයක් ආරෝපිත වූ දුෂ්ප්‍රයෝගයක් වුව සතත භාවිතය නිසා සාධු සම්මත ජන ව්‍යවහාරයක් බවට පත්වීම ජීව භාෂාවක ආවේණික ලක්ෂණයකි. එහෙයින් එහි මුල් අර්ථය පුනරුත්ථාපනය කිරීමට දරන ප්‍රයත්නය නිෂ්ඵල ප්‍රයත්නයක් නොවෙතියි කාට නම් කිව හැකිද?



අදහස් (0)

අතිපණ්ඩිතයන්ගේ වචන වාත්තුව

ඔබේ අදහස් එවන්න

මතක හා මතය

බෞද්ධ මාක්ස්වාදියා
2024 සැප්තැම්බර් මස 03 312 0

කලක පටන් දැන හැඳින සමීපව ඇසුරු කළ ගුණසේන විතානයන් සමග එකට වැඩ කිරීමේ අවස්ථාව පළමුවෙන්ම මට උදාවූයේ ඔහු ’ජනතා ලේඛක පෙරමුණ’ ආරම්භ කිරීමත් සමගය.


’යුග පුරුෂයා’ ගණිකාවක් ද?
2024 අගෝස්තු මස 27 682 0

’නිම් වළලු පළල් කරනවා’ යන සුලබ කියමන සේම නිතර නිතර අපගේ කනට ඇහෙන ඇසට පෙනෙන තවත් සුලබ වත්මන් වාග් ව්‍යවහාරයකි ’යුග පුරුෂයා’ යන්න.


මමත් කළුයි මාගේ කවිකමත් කලුයි!
2024 අගෝස්තු මස 20 474 0

(පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන් මිය ගොස් 2024 අගෝස්තු 21 වැනි දිනට පුරා වසර 58ක් සපිරෙයි. ඔහු පිළිබඳ මගේ මේ හෘදයංගම මතක වත සහෘද ඔබගේ පහන් සංවේගය උදෙසාය.)


අඹ බයන්න සහ අඹ යාළුවා
2024 අගෝස්තු මස 13 472 0

අප ’අඹ’ බයන්න යනුවෙන් හැඳින්වීමට පුරුදුව සිටින්නේ සඤ්ඤක ’ඹ’යන්නය. ඊට හේතුව, අඹ නමැති පලතුරට කියන නාමය ලිවීමේදී සඤ්ඤක ’ඹ’යන්න භාවිත වීම බවය බොහෝ දෙනාගේ


’’ෆ’’ අක්ෂරය සිංහල හෝඩියට ආ හැටි
2024 අගෝස්තු මස 06 833 2

ඉංග්‍රීසි හෝඩියේ F ශබ්දය වෙනුවට සිංහල හෝඩියට මෑතක පිවිස මේ වන විට බහු භාවිතයට පත්ව ජන සම්මතව ඇති ’ෆ’ අක්ෂර රූපය අලුත නිපදවා ගත්තක්ය යන දුර්මතය ඒ පිළිබඳ


මැතිවරණ කාලයේ ජ්‍යෝතිෂ උන්මාදය
2024 ජුලි මස 30 131 0

අභීත සන්නිවේදන මාධ්‍ය විශේෂඥයෙකු මෙන්ම අදීන ලේඛකයෙක්ද වූ කුෂ්වාන්ත් සිං නම් නිර්දය දේශපාලන විශ්ලේෂකයා වර්තමාන ඉන්දියානු දේශපාලකයන්ගේ ජ්‍යෝතිෂ උන්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site