අප 'අඹ' බයන්න යනුවෙන් හැඳින්වීමට පුරුදුව සිටින්නේ සඤ්ඤක 'ඹ'යන්නය. ඊට හේතුව, අඹ නමැති පලතුරට කියන නාමය ලිවීමේදී සඤ්ඤක 'ඹ'යන්න භාවිත වීම බවය බොහෝ දෙනාගේ සිතේ ඇති අදහස. එය සපුරා වැරදිය. එය එසේ වේ නම් කඹ, බඹ, උඹ, ආදි වචනවලදී ලියැවෙන එම 'ඹ'යන්න 'අඹ' බයන්න ලෙස හැඳින්විය හැක්කේ කෙසේද? ඒවා හැඳින්විය යුත්තේ කඹ බයන්න, බඹ බයන්න, උඹ බයන්න ආදි නම්වලින් නොවේද? එහෙත් එය එසේ නොවෙයි. එතැන්හි ඇති සඤ්ඤක 'ඹ'යනුද හැඳින්වෙන්නේ 'අඹ' බයන්න යන එකම නාමයෙන්මය.
මේ 'අඹ' නාම ව්‍යවහාරය කෙසේ බිහි වුණක්ද? මේ ලිපියේ පරමාර්ථය එහි සුලමුල සොයා බැලීමයි. 'අඹ' නාම ව්‍යවහාරය සම්බන්ධයෙන් මා අසා ඇත්තේ එක් නිරුක්ති අර්ථ කථනයක් පමණි. එහෙත් එය වනාහි 'අඹ' යාළුවා යන වහර ගැන මිස 'අඹ' බයනු වහර ගැන නොවේ. එහිදී 'අඹ' ශබ්දය සලකා ඇත්තේ 'ජලය' යන අරුත දෙන පදයක් ලෙසිනි. 'රුවන් මල' සහ 'පුරාණ නාමාවලිය' යන අපගේ පැරණි සිංහල නිඝණ්ඩු දෙකෙහිම මේ 'ජල' වාචී 'අඹ' ශබ්දය හමුවෙයි. එම 'අඹ' යන හෙළ වදන බිඳී ඇත්තේ පාලි සහ සංස්කෘත භාෂාවල එන 'අම්බු' ශබ්දයෙනි. නෙලුම් මල 'අම්බුජ' (අම්බු + ජ ) යනුවෙන් හැඳින්වෙන්නේ ජලයේ හටගන්නා හෙයිනි.
මා අසා ඇති පූර්වෝක්ත 'අඹ' යාළු අර්ථකථනය වූකලී පෙරහැර ආදි ආගමික උත්සව අවසානයේදී සිදුවන මංගල සම්මත කාරියක් වන දිය කැපීම සාධක කොට ගෙන නිපදවන ලද්දකි. එහිදී දිය දෙබෑව යන සේ කඩුවෙන් ගසන මුත් වහා එම දිය කඳ බද්ධ වෙයි. එය කිසි සේත් වෙන් කළ නොහැකිය. කැපුවත් වෙන්කළ නොහැකි වතුර මෙන් පවත්නා මිත්‍ර සන්ථවය 'අඹ' යාළුකම යැයි යනු එම නිරුක්ති අර්ථයයි. මෙය කවුරුන් හෝ අතිපණ්ඩිත හිතුමතයෙකු විසින් බලයෙන් අටවන ලද්දක් ලෙස මිස ව්‍යාකරණානුකූල පද සිද්ධියක් මුල් කොටගෙන නිපන් නිරුක්තියක් ලෙස පිළිගත හැකිද? මක්නිසාදයත් 'ජල' වාචී 'අඹ' වදන නිඝණ්ඩු පොත්වලට සීමා වූවක් මිස සිංහලයන්ගේ කට වහරේ භාවිත වන්නක් නොවන හෙයිනි. 'අඹ' යන්න 'වතුර' අරුතින් අපගේ පැරණි ගද්‍ය පද්‍ය සාහිත්‍ය පොත පතෙහිද විරල ලෙස හෝ යෙදුණු තැනක් වීද යන්න සංශයට කාරණයකි.
අදත් සිංහලයාගේ කටවහරින් ගිලිහී නොගොස් නොනැවත භාවිත වන 'අඹ' බයන්න සහ 'අඹ' යාළුවා යන දෙවැදෑරුම් යෙදුම කෙසේ නිපන්නක්ද යන්න පිරික්සා බැලීමේ කාරියට දැන් අපි පිවිසෙමු.
සිංහල හෝඩියේ ක - ච - ට - ත - ප යන වර්ග අක්ෂරවලට අයත් අග අකුරු පහ ඞ - ඤ - ණ - න - ම වෙයි. ඒවා හැඳින්වෙන්නේ නාසික්‍ය ශබ්ද ලෙසය. අනුනාසික යනුද ඊටම නමකි. උච්චාරණය නාසයේ ආධාරයෙන් සිදුවන හෙයිනි. මේ වර්ග අක්ෂර අතර ඇති ග - ජ - ඩ - ද - බ යන අකුරු පහෙන් මුල් සතරට ඒවාට අයත් ඞ - ඤ - ණ - න යන අනුනාසික අකුරු සතරේ අර්ධයක් හෙවත් අඩක් සංයෝග වන මුත් පස් වන 'බ' අකුරට පමණක් එහි අනුනාසිකය වන 'ම' අකුර සම්පූර්ණයෙන්ම සංයෝග වීම විශේෂයකි. එසේ අර්ධ සංයෝගයෙන් නිපන් ඟ - ඦ - ඬ - ඳ අකුරු හතර හැඳින්වෙන්නේ අර්ධ අනුනාසික නමිනි. ක - ච - ට - ත - ප යන වර්ග අක්ෂර පහෙන් පස්වැන්න වන 'ප' යන්නෙන් පටන් ගන්නා අක්ෂරවලට අයත් අර්ධ අනුනාසිකය අපේ හෝඩියේ නිර්මාණාත්මකම අක්ෂරය වශයෙන් හැඳින්වීම කවර වරදද? අප 'ඹ' රූපයෙන් ලියන්නේ එම නිර්මාණාත්මක අක්ෂරයයි. මේ අර්ධ අනුනාසික අකුරු සියල්ලම 'සඤ්ඤක' නාමයෙන් හැඳින්වෙන්නේ 'සංයෝග' යන අර්ථයෙනි.
ඟ - ඦ - ඬ - ඳ යන අර්ධ අනුනාසික අක්ෂර රූපවලට වඩා 'ඹ' අර්ධ අනුනාසිකය අමුතුම හැඩයක් ගත් නිර්මාණාත්මක අක්ෂර රූපයක් බවට පත් වූයේ කවර හේතුවක් නිසාද? 'ඹ' අර්ධ අනුනාසිකයේ සංයෝග විධිය සෙසු අර්ධ අනුනාසික අක්ෂර සතරෙහි සංයෝග විධියට අසමාන වූයේ කෙලෙසින්ද? එසේම මුල් අර්ධ අනුනාසික අක්ෂර සතර 'සඤ්ඤක' නාමයෙන් හැඳින්වෙද්දී 'ඹ' අර්ධ අනුනාසිකය පමණක් සඤ්ඤක 'ඹ' යන්න නොවී 'අඹ' බයන්න වූයේ ඇයි?
'ඹ' යන මෙම විශේෂ අනුනාසික අක්ෂර රූපය බිහිවීමට හේතු වුණු සංයෝග විධිය කෙසේ සිදු වූවක්ද? මේ පිළිබඳ වෙසෙස් සඳහනක් මුනිදාස කුමාරතුංග පඬිඳුන්ගේ ප්‍රාමාණික ව්‍යාකරණ ග්‍රන්ථයක් වන 'ව්‍යාකරණ විවරණ'යෙහිද අදෘශ්‍යමානය. කුමාරතුංග වෛයාකරණයන්ගේ කෘතියෙහි 'අක්ෂර' නමින් එන (2) වන අධිකාරයේදී අර්ධ අනුනාසික ශබ්ද සම්බන්ධයෙන් දක්නට ඇත්තේ පහත එන විවරණ පාඨය පමණි.
(24) සිංහලයෙහි ඟ - ඦ - ඬ - ඳ - ඹ යන තන්හි අනුනාසික සංයෝගයෙක් පෙනේ.(21 වන පිටුව)
'ඹ' අක්ෂරයේ බිහිවීම හා එහි විශේෂත්වය අවධාරණය කරමින් කළ රමණීය විවරණයක් වි . ජ . මු ලොකු බණ්ඩාර සූරීන්ගේ ගුරුවරයෙක් වූ දො . ඩ . ඩයස් වියතාණන්ගේ දේශනයක් අනුව පළ කළ ලිපියක දක්නට ඇත.
" 'ඹ' (අඹ බයන්න) හෝඩියේ තියෙන ලස්සනම අකුර වෙන්න ඇති. ඒ අකුර අපේ හොඳ නිර්මාණයක්. 'ම' යන
අනුනාසිකාක්‍ෂරයත් ඒ වර්ගයේ තුන් වන වර්ණය වන 'බ'යන්නත් එකට බැඳ 'බ' යන්නේ 'ගැටය' අස් කර දැමීමෙනුයි 'ඹ' (අඹ බයන්න) තනාගෙන ඇත්තේ."
(සසඳු සටහන් -11 - 46 පිටුව.)
'අඹ' බයන්න සහ 'අඹ' යාළුවා යනුවෙන් (නියම සුල මුල නොදැන වුවද) තවමත් සිංහලයන්ගේ කටින් නොගිලිහී පවතින ප්‍රකට කියමන් දෙකෙහි උපත පිළිබඳව සසාධකව හා සකාරණව නිගමනයකට බැසගත හැකි තර්කානුකූල ව්‍යාකරණ සාධකයක් මට පළමු වරට හමුවූයේ රැයිපියෙල් තෙන්නකෝන් පඬිඳුන්ගේ 'හොඳ සිංහල' නමින් දන්නා උසස් පොතෙහි 'හෝඩිය' නමින් එන (2) වන පරිච්ඡේදයෙහි 19 වැනි පිටුවෙහි අගදීය.
" 'ඳ්' යන නාසික්‍ය ලක්ෂණයේ අර්ධය හා බැඳී ඇති අකුරු සඳහා 'සඤ්ඤක' යන විශේෂණය යෙදෙයි. 'බ්' යනු ඒ හා නොබැඳී 'ප'වර්ගයේ නාසික්‍යය සමගම බැඳෙයි.
" 'ඹ්' යන්න, 'ම් , බ්' යන අකුරු දෙක එකට බැඳීමෙන් සිද්ධයි. එයට 'මඹ' බ යන්න කියාද 'අඹ' බ යන්න කියාද දනෝ පවසති."
ඒ අනුව මේ 'ඹ්' අක්ෂරය 'ම්' හා 'බ්' යන අක්ෂර සංයෝගයෙන් නිෂ්පන්න වෙයි. උච්චාරණයේදී එය 'ම්බ්' යනුවෙන් කියැවෙයි. එසේ නිපන් 'ඹ්' යන අර්ධ අනුනාසික හලන්ත ශබ්දයට 'අ' ස්වරය එක්වීමෙන් 'ඹ්' ශබ්දය බිහිවෙයි. පසුව එම 'ඹ්' ශබ්දය 'ම්බ්' යනුවෙන් උපන්නක් ලෙසට හැඳින්වීමට යෑමේදී සිදුවූ උච්චාරණ විපර්යාසයෙන් එය 'ම්බ' බයන්න වී යළි 'අම්බ' බයන්නව පසුව 'අඹ' බයන්න යන ව්‍යවහාරය ප්‍රචලිතව යන්නට ඇතුවා නිසැකය.
මෙහිදී 'අඹ' යාළුවා යන ව්‍යවහාරය කෙරෙහිද අවධානය යොමු කර බැලීම වටී. මෙවැනි යෙදුමක් සිංහලයේ භාවිත වන්නේ දැඩි මිත්‍ර සන්ථවයක් ප්‍රකාශ කිරීම සඳහාය. ඒ අරුතින් 'අඹ' යන්න විශේෂණයක් ලෙස යෙදී ඇති අන් තැනක් එකල හෝ මෙකල වහරේ ඇසු දුටු බවක් සිහියට නැගිය හැකිද?
දැඩි මිත්‍රත්වය ගම්‍ය කිරීම සඳහා ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරයේ යෙදෙන්නේ Bosom යන පදයයි. උදා:
The two boys had become bosom friends. ( පිරිමි දරුවෝ දෙදෙනා 'අඹ' යාළුවන් බවට පත්ව සිටියහ.)
කෙසේ වුවද සිංහල 'අඹ' යන විශේෂණ පදය හා 'අඹ' නමැති පලතුර අතර කවර අයුරක හෝ සම්බන්ධයක් නොමැති බව නම් ඉඳුරා පැවසිය හැකිය. 'ඹ' අක්ෂරය බිහිවන්නේ 'ම' සහ 'බ' යන යුග අක්ෂරයන්ගේ පෙර පසු අංග එකක් ලෙස බැඳීමෙනි. යළි එය මෙසේ පැහැදිලි කිරීම මැනවැයි හඟිමි.
'ම' සහ 'බ' දෙක බැඳීමේදී එක් අර්ධයක් 'ම' අක්ෂරය සතුය. අනෙක් අර්ධය අයත් වන්නේ 'බ' අක්ෂරයටය. මේ අක්ෂරාර්ධ සංයෝගයේදී 'ම' යන්නෙන් එක් වන්නේ ඊට අයත් ගැටය සහිත මුල භාගයයි. එනම් මුල් අඩයි. 'බ' යන්නෙන් එක් වන්නේ එහි ගැටය රහිත පශ්චිම භාගය හෙවත් පසු අඩයි.
පුුද්ගලයන් දෙදෙනෙකුගේ බඩ බැඳගත් මිත්‍රත්වය මේ 'ම' යන්නේ හා 'බ' යන්නේ බැඳීමට උපමා කළ නොහැකිද? එසේ නම් එවැන්නෝ 'මබ' යාළුවෝ නොවන්නෝද? උච්චාරණ විපර්යාසයෙන් 'මබ' යන්න 'මඹ' බවට පෙරළී පසුව එය 'අඹ' යනුවෙන් සුවසේ කියැවෙන්නට ඇතැයි සිතීම කවර වරදද? බසේ 'අඹ' හා ගසේ 'අඹ' අතර කිසිදු වෙසෙස් සබඳකමක් කෙසේ වත් නොදැකිය හැකි හෙයිනි.
අපගේ පුරාතන සිංහල සාහිත්‍යය යුග වශයෙන් බෙදන කල එහි ප්‍රාරම්භය වශයෙන් විද්වත් සම්මතය වී ඇත්තේ අනුබුද්ධ මහා මහින්ද යතිවරාගමනය සමග සිද්ධ වූ ත්‍රිපිටක ධ
ලක්දිව නූතන පිරිවෙන් අධ්‍යාපනය වූකලී 19 වන සියවසේ ඇරඹුණකි. ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසු සංස්කෘත භාෂා අධ්‍යයනයේ අභිනව ව්‍යාප්තිය සිදුවූයේ එහි ප්‍රති
කවර භාෂාවක් වුවද ප්‍රගුණ කිරීමේදී කුසලතා සතරක් වර්ධනය කර ගැනීම අනිවාර්ය බව භාෂාවිඥයන්ගේ මතයයි. භාෂාවේ චතුර්විධ කුසලතා වර්ධනය ලෙස එය හැඳින්වේ.
’’Language is the the greatest achievement of Culture; Poetry is the greatest achievement of Language.’’
මෙරට බොහෝ මවුපියන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන්ද ලිංගික කරුණු සම්බන්ධයෙන් අවිද්‍යා අන්ධකාරයේ පසුවන්නන් බව ඔවුන් ගේ අදහස් උදහස්, ආකල්ප විකල්ප මගින් ම
දිගු කලක පටන් මම සෑම සතියක් නෑරම ජාතික ගුවන්විදුලිය ඔස්සේ ’පෙරවදන’ නමින් පොත්පත් හඳුන්වාදීම අරබයා වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියෙමි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අඹ බයන්න සහ අඹ යාළුවා