IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


එක වහලක් යට තිස් වසරක මතක

මතක හා මතය

 


මා මාර්ටින් වික්‍රමසිංහ මහාශයන්ගේ ආවේශාත්මක වූත් ආස්වාදාත්මක වූත් සමීප ආශ්‍රය ලබමින් විසූ භාග්‍ය සම්පන්න සමයේ එක්තරා අවස්ථාවක මම ඔහුගෙන් මේ පැනය විචාළෙමි.

"මිස්ට වික්‍රමසිංහගෙ සාහිත්‍ය අධ්‍යාත්මයෙයි ලේඛන කලාවෙයි ජාන උරුමය තියෙන කෙනෙක් දරුවො හය දෙනා අතරෙ නැද්ද?"

"ඒ ලකුණු තියෙන කෙනෙක් හැටියට මට පේන්නේ කරුණාරත්න (ඔහු මා ඇමතීමට පුරුදුව සිටියේ එනමිනි.) මගේ බාල පුතා රංග තමයි."

එය ඇසූ සැණින්ම මගේ මතකයට නැඟුණේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ආත්ම අපදානය වන 'උපන්දා සිට' පොතේ තම 'මැද විය' තතු හෙළි කරන කොටසේ එන මේ වෙසෙස් පුවතය.

"...රංග 'කුකුළු හොරා' නමින් කෙටි කතාවක් ලිව්වේය. ඔහු තවත් කතා දෙකකුත් සමග ඒ කතාව 'අපූරු සෙල්ලම' නමින් දරුවන්ගේ කතා පොතක් ලෙස පළ කරනු ලැබීය. වරක් ඔහු 'සත දහය' නමින් ලියූ කතාවක් සිළුමිණෙහි පළ කරනු ලැබීය. දිළිඳු කොලුවෙක් මැද පන්තියේ එකකුගෙන් පිනට සත පහක් ඉල්ලුවේය. ඔහු සත දහයේ කාසියක් කොලුවා වෙතට විිසි

කෙළේය. එය රේල්පීලි අතර විවරයෙහි වැටීණ. කොලුවා සත දහය සොයන්ට වූයේය. කොළඹින් ආ දුම්රියකට හසුවී ඔහු මිය යයි. රංග ලියූ කෙටි කතාවෙහි හරය මේය. මගේ 'වහල්ලු' පොතෙහි එන 'විනෝදාස්වාදය' කතාව ලියන්ට මා උනන්දු කරන ලද්දේ 'සත දහය' විසිනි."

('උපන් දා සිට' - 2 මුද්‍ර: - 307 පි.)


අවසානයේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අනුමානය ප්‍රත්‍යක්ෂයක් බවට පත් විය. පාසල් වියේදීම 'කුකුළු හොරා' , 'සත දහය' , එක දෙක කිරීමේ කතාව' , 'අපූරු සෙල්ලම' , :සෙල්ලම ලෙල්ලම වීම' යන ළමා කතා රංග වික්‍රමසිංහයන් අතින් බිහි වුණි. වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීම නිසා ඔහුගේ ලේඛන කාරිය අනිවාර්ය විරාමයකට ලක් විණැයි සිතමි.

කාලයාගේ ඇවෑමෙන් රංග වික්‍රමසිංහයෝ ව්‍යාධිවේදය (Pathology) ස්නායු ව්‍යාධිවේදය (Neuro Pathology) යන උභය විෂයෙහිම විශාරදඥාන සම්පන්න වෛද්‍ය විශේෂඥයෙකු බවට පත් වූහ. තත් විෂයෙහිලා ඔහු ආචාර්ය උපාධියක්ද ලද්දෙකු බව අතිශය අප්‍රකටය. මහත් වූ බුද්ධි පරිපාකයකින් යුත් ප්‍රාඥයෙකු වන රංග වික්‍රමසිංහයන්හට තුන්ලෝකාග්‍ර බක්කක් ලෙස ආචාර්ය අඩයාලම ප්‍රදර්ශනය කිරීමෙන් කවර මහන්තත්වයක්ද? ඔහු එය භාවිත කරනු තබා හෙළි කිරීමටද උනන්දු නොවුණේ එහෙයින් නොවේද ?

රංග වික්‍රමසිංහයන්ගේ පිතෘ ජාන උරුමය පිළිබිඹු කරන සාක්ෂාත් සාක්ෂියක් මෙවේලේ මගේ මතකයෙන් මතුවේ. එකල ලංකාවේ පිහිටි විශ්වවිද්‍යාලය තුනෙන්ම මාර්ටින් වික්‍රමසිංහයන්ට සම්මාන ආචාර්ය උපාධි පිරිනැමුණේ ඔහුගේ අපරාධීන සාහිත්‍ය විචාර හා නිර්මාණ සම්ප්‍රදානය අරබයාය. එහිදී ඔහු නොපමාව කළ කාර්යක් විය. එනම් එකල මෙලක පැවති ජාතික පුවත්පත්වල ප්‍රධාන කතුවරුන්ට තම අත්අකුරින්ම ලියා යැවූ ලිපි මගින් පහත දැක්වෙන නිවේදනය සැලකර සිටීමය.


"මගේ නමට ඉදිරියෙන් ආචාර්ය නාමය නොයොදන ලෙසට ඔබ කතුමඩුල්ලට දන්වන්නේ නම් අතිශය කෘතඥ වෙමි."

වරක් ගුණදාස අමරසේකරයන් මා ඉදිරියේ කළ අව්‍යාජ ප්‍රකාශයක් තවමත් මගේ මනසේ නින්නාද වෙයි.

"කරූ , මහමිනිහගෙ (මාර්ටින් වික්‍රමසිංහයන්) බුද්ධිය උරුම වෙලා තියෙන්නෙ රංගට තමයි."

විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස දිගු කලක් කළ සේවයෙන් විශ්‍රාම ගිය රංග වික්‍රමසිංහයෝ තමා ගැන පියා කළ අනුමානය සනාථ කරමින් පියාගේ කෙටි කතා රාශියක්ද , ඔහුගේ 'ගම්පෙරළිය' , 'කලි යුගය' , 'යුගාන්තය' යන නවකතා ත්‍රිකය , 'විරාගය' හා ඔහුගේ අවසාන නවකතාව වූ 'බව තරණය' සමග 'උපන් දා සිට' ආත්ම අපදානයද ඉංග්‍රීසි බසට පෙරළූහ. එම උත්කෘෂ්ට සාහිත්‍ය මෙහෙවර අරබයා ඔහු සිව් වරක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබීය.

රංග වික්‍රමසිංහයන්ගේ අලුත්ම කෘතිය 'එක වහලක් යට - තිස් වසරක මතක' නමින් දැන් පළව ඇත. ඔහු සිංහල බසින් ලියූ ලිපි 07කින් සහ තම පියාගේ භාෂා ශාස්ත්‍ර සම්ප්‍රදානය අරබයා ඔහු සමග පුවත්පත් කළ සංවාද ඇසුරෙන් සැකසුණු ලිපි 12කින්ද මෙම අලුත් කෘතිය සමන්විත වෙයි.

දුකින් පෙළෙන දිළින්දන් කෙරෙහි උපන් දයාර්ද්‍ර හැඟීමක් රංග වික්‍රමසිංහයන් තුළ පාසල් වියේ පටන්ම පැවති බව සනාථ කරන කතාවකි මාර්ටින් වික්‍රමසිංහයන් තම 'උපන් දා සිට' පොතේ නිදසුන් කොට දක්වා ඇති 'සත දහය'. තරුණ වියේදී පවා එම මානව දයාව රංග වික්‍රමසිංහයන්ගේ මුළු අධ්‍යාත්මයම වෙළා සිටි අයුරු ඉඳුරා පිළිබිඹු කරන විශිෂ්ට ලිපියක් 'මහත්වරුනි , මේ අහන්න ! සමාජ විවරණයක්' යන මැයින් ඔහුගේ මෙම අලුත් පොතේ පළව ඇත. රංග වික්‍රමසිංහයන් වෛද්‍ය සිසුවෙකුව සිටියදී The Ceylon Medical Student Magazine සඟරාවට Listen Mahaththaya යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියූ මුල් ලිපියෙහි අන්තර්ගත ගුරු අරුතට බිඳකුදු නිගරු නොවන ලෙසින් එය චතුර ලෙස සිංහලට නගා ඇත්තේ මගේ විශ්වවිද්‍යාල වයස්‍යයෙකු (Batch Mate) වන කීර්තිමත් ලේඛක හා ව්‍යක්ත කථික දයාපාල ජයනෙත්ති සන්මිත්‍රයාණන් විසිනි. ඔහුට ප්‍රශංසාවේවා!

රංග වික්‍රමසිංහයන්ගේ මෙම ලිපිය වූකලී දිළින්දන් විඳින අන්ත ජර දුක නිසා කම්පිතව ගිය සිය ළය තුළ උපන් අව්‍යාජ මානව දයාව නින්නාද වන ශෝකී රෝදන රාවයක් වැන්න.


මහත්වරුනි, මේ අහන්න !

සමාජ විවරණයක්

ඔබ වාහනයක නැගී යාලට හෝ කතරගමට හෝ යන විට මඟ දෙපස අව්රැසින් දා ගිය හේන් දකින්ට ඇත. එසේ නැතහොත් කඳුරට බලා යද්දී හෙල්මැලි කුඹුරු යායවල් නෙත ගැටෙන්ට ඇත. ඒ සියල්ල මනස්කාන්ත දසුන් සේ ඔබට හැඟී යන්ට ඇතුවා නිසැකය. එහෙත් මහත්මයාණනි, ඒ අසලම ඇති කුඩා පැල්පත් වෙත ඔබ ඇස යොමු වූයේ නැතිද? පිදුරු හෝ ඉලුක් සෙවිලි කරන ලද කුඩා මැටි ගෙවල් වූ ඒවා පියකරු දර්ශන සේ ඔබට හැඟී ගියේද? අපට නම් ඒවා දැකුම්කලු දසුන් නොවේ. අපි ඒ කුඩා පැල්පත්වල කුඹුරුවල වෙහෙස වන්නෙමු. එය වූකලි අපගේ කරුම ජීවිතයයි. අපගේ පියවරුන් හා මුතුන් මිත්තනුත් ජීවත් වූයේ එපරිද්දෙනි.

මෙයත් අහන්න මහත්වරුනි.

ඔබ හොඳින් ඇහුම්කන් දෙනවා ඇතැයි අපි සිතමු. මා මෙසේ කතා කරන්නේ අගහිඟකමින් පීඩා විඳින අප කිහිපදෙනා වෙනුවෙනි. අවුරුදු සිය දහස් ගණනක් නොතකා හරින ලදුව නිහඬව දුක් වේදනා උහුලාගත් අප ජනකායගේ ඉතිහාසය කවුරු දනිත්ද? සියලුම මානව වර්ගයාට උරුම යහපත් ජීවන පැවැත්මක් වුවමනා ඒ අයගේ දිවිපෙවතේ වටිනාකම අහිමි කළෝ කවරහුද? අප ටික දෙනෙකු පෙනී සිටින්නේ බොහෝ දෙනෙකු වෙනුවෙනි. ඔව්හු ඔබගේ සුඛ විහරණය උදෙසා දුර්විපාක විඳින්නෝය.එහෙයින් බොහෝ දෙනෙකු මෙහෙයවන ඒ ටික දෙනා පිළිබඳව අප කියන දේට ඇහුම්කන් දෙන්න.

අප ගැන කියැවෙන පොත් ඉතා ස්වල්පයකි. කෙසේ වුවද ඒවා ඔබට කියවන්ට ලැබෙන්නේ නැත. ඒවා ලියා ඇති බස ඔබට නොතේරේ. ඔබගේ ඉතිහාස පොත්වලද අප ගැන නොකියැවෙයි. අප ඉතිහාසයක් නැති ජනකායක් වන හෙයිනි.

මහත්වරුනි, අපි කුඹුරු සීසා පස පෙරළා දිය බැඳ කුඹුරු වපුරන්නෙමු. වැහි නැති ඉඩෝර කාලයට කුඹුරු වේළී පැලි වලන් පැළී යයි. ගංගා පිහිටා ඇත්තේ ඉතා දුරිනි. වැව් සියල්ල සිඳී ගොස්ය. අපි සියලු දෙනාම ඇන තියාගෙන බඩගින්නේ ඉහළ අහස දෙස නෙත් අයා බලාගෙන සිටින්නෙමු.

අපගේ ටික දෙනෙකු බලා සිටින්නේ තරහයෙනි. ගංගා හරස් කර දිය වේලි බැඳ ජලය රැගෙන විත් වැව් පිරවිය හැකිය. එය කළ හැක්කේ කෙසේද කියා අපට වැටහෙන්නේ නැත. අපට මිල මුදල්ද නැත. එසේ නමුත් එය කළ හැකි ආකාරය ගැන ඔබ දන්නෙහිය. ඔබට මිල මුදල්ද තිබේ.

මහත්වරුනි, ඔබ අප හැමදෙනා වෙනුවෙන් රුපියල් මිලියන සීයකට අධික වියදමක් දරන බව ඔබගේ සංඛ්‍යා ලේඛනඥයන් පවසනු ඇත. එහෙත් ඔබගේ සැප විහරණය වෙනුවෙන් රුපියල් මිලියන හත්සියයක වියදමක් දරන බව අපි දනිමු. ඔව් මහත්වරුනි, මිලියන හත්සියයක් වන අප ජනගහනයට රුපියල් මිලියන සියයකි. මිලියන සියයක ඔබගේ ජනගහනයට රුපියල් මිලියන හත්සියයකි. එහෙම වුණත් ඔබගේ සහ ඔබ දරුවන්ගේ අවශ්‍යතා සඳහා පවත්නා හොඳ පාසැල්, හොඳ ඉස්පිරිතාල, හොඳ උද්‍යාන හා ක්‍රීඩා පිට්ටනි අපගේ දරුවන්ට නොමැතිවීම ගැන අපි මැසිවිලි නොනඟන්නෙමු. නල ජලය, විදුලි එළිය, හොඳ පාරවල් අපට නැතත් අපි ඊර්ෂ්‍යා නොකරන්නෙමු. එනමුත් අපවිත්‍ර ජලය බීමට සිදුවීම ගැන, හොඳ වැසිකිළි පහසුකම් නොමැතිවීම ගැන අපට මැසිවිලි නැඟීමට සිදුවී තිබේ. ඔබගේ සංඛ්‍යා ලේඛනඥයන්ට අනුව අපගේ දරුවෝ දාස් ගණන් කිරිපණු, කොකුපණු

රෝගවලින් මිය යති. ඔව් මහත්වරුනි, අපිරිසිදු ජලයත් එක්ක ඔවුන්ගේ උදර තුළට දශලක්ෂ ගණන් පණු කැදලි පිවිසෙයි. අප කොතෙක් පැමිණිලි කළද රුපියල් මිලියන සිය ගණනක් වටිනා දිය කඳුළක් අප කරා ගලා එන්නේ නැත. ඒ සියලු සම්පත් හිමිව ඇත්තේ අලසකමින්, නොහැකියාවෙන් හා දූෂණයෙන් ඉහවහා ගිය ඔබ වැන්නන් වෙතය. අල්ලස, දූෂණය, ඥාති සංග්‍රහය ගැන ඔබ හැම නිරන්තරයෙන් කතා කරති. නමුත් එහි ගැලී සිටින සියලු දෙනා සිටින්නේ තම බඩ වැඩීම උදෙසා මේ රට දූෂිත, කෑදර, ඉහඳ හෙළන තත්වයට ඇද දැමූ ඔබ සහ ඔබගේ වන්දිභට්ටයන් අතරය. ඔවුන් විසින් පෝෂණය කොට වපුරන ලද දෑ මඟින් ඔබද වහා රෝගී තත්ත්වයට ඇද දමනු ඇත.

මහත්වරුනි, අපට ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශනා නොපවත්වනු මැනවි. ප්‍රජාතන්ත්‍රවාදය, මාක්ස්වාදය හා පන්ති අරගලය යන මේ සියලුම වචන අපට ආගන්තුකයි. ඒ කියුම් ගැන අපට ඇති වන්නේ තරහවකි. එම පරගැති වදන්වල තේරුම ඔවුන්ට වැටහේ. ඔවුහු ග්‍රීකයන්ගේ ඒබ්‍රහම් ලින්කන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දනිති. එසේම ඔබත් අපත් පන්ති දෙකකට අයත් බව අප ජනතාව දනිති. ඒ පන්ති දෙක මැද තවත් පිරිසක් වෙති. ඉන් සමහරෙක් සියලු අයුරින්ම ඔබ ඔසවා තැබීමට වෑයම් කරන පුරාජේරුකාරයෝය. අනෙක් පිරිස ශ්‍රම සූරාකෑම සඳහා ඔබ විසින් සෘජුව යොදන ලද අයයි. ඔවුන්ද බලාපොරොත්තු වන්නේ ඔබගේ තැනට නැඟීමටය.

ඉතින් මහත්වරුනි, අප සමාජයේ ඇත්තේ පන්ති දෙකකි. ඒ ඔබත් අපත්. ඔබ වැන්නන් වීමට අපට කිසිසේත් වුවමනා නැත. "අයුතු ලෙස දියුණු වීමත් කැමති දේ ලබා ගැනීමත් සඳහා පිළිමලුන් පිටුදැකීම සහමුලින්ම විනාසය ළඟා කර ගැනීමකි." ඒ කියුම වූකලි ඔබගේ සොහොන් කොතේ සිහිවටන ඵලකයේ යෙදෙන වැකිය වනු ඇත. ඔබ වැන්නන් වීමට අප නොපතන්නේ එබැවිනි.

අපගේ කුඩා දරුවන් නිරතුරුව පසු වන්නේ අහේනියෙනි. එහෙත් මහත්වරුනි, ඔවුන් කිසිවෙකු බඩගින්නේ මිය යන්නේ නැත. තඩිස්සි මුහුණැති, බඩගෙඩි නෙරවාගත් අපගේ ඒ ඔතෑනි පැටවුන් මට නිතර දෙවේලේ පෙනේ. ඔවුන්ට කිරි බිත්තර දෙන ලෙස උපදෙස් දෙන දොස්තර මහත්වරු ඔවුන් ආපසු ගෙවල්වලටම එවන්නේ මියැදෙන බව දැන දැනමයි. මගේ සහෝදරියන්ගේ අඳ දෙනෙත් මත කොරපොතු පිපී ඇත. ඔවුන්ට මෝර තෙල් දෙන ලෙස උපදෙස් දෙන දොස්තර මහත්වරු ඔවුන් ගෙදර යවති. ඔව් මහත්තයා, කොයි ලෙසින් හැඳින්වුවත් මන්දපෝෂණය අතිශයින්ම කනගාටුදායකය. අපට හුදු දේශනාවලින් පලක් නැහැ මහත්වරුනි. අපට කියා දෙන්න හොඳින් ජීවත් විය හැකි ක්‍රමයක්. අපට උගන්වන්න. එනමුත් ඔබ මෙන් ජීවත් වන හැටි අපට කියා නොදෙන්න.

ළිපේ ගින්දර පත්තු කළ විට මුළු ගෙපැලම දුමෙන් පිරී යයි. රාත්‍රියට පැල්පත අන්ධකාරයේය. එළියක් දැල්වෙන ගෙයක් දැකිය හැක්කේ කලාතුරකිනි. දරුවන් පොත් කියවන්නේ භූමිතෙල් කුප්පි ලාම්පු එළියෙනි. බඩගින්නේ, අපිරිසිදුකමේ, නොතේරුම්කමේ ව්‍යසනයෙන් මිලියන හත්සියයක ජනකායක් නිදහස් වෙන ආකාරය ඉගෙන ගන්නා තුරු ඔවුන් පොත් කියවනු ඇත. නිදහසේ ජීවත්වීමේ අයිතිය පතා අවුරුදු සිය දහස් ගණනක අති දුෂ්කර ජීවිතයක් අපි ගෙවා ගෙන එන්නෙමු. එහෙත් මහත්වරුනි, ඔබ තවමත් ඒ ගැන අවධානය යොමු කොට නැත.



අදහස් (0)

එක වහලක් යට තිස් වසරක මතක

ඔබේ අදහස් එවන්න

මතක හා මතය

සිංහලයේ වෙසෙස් වියරණ ලකුණු
2024 නොවැම්බර් මස 19 71 0

’ෆේස් බුක්’ මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි.


ලේඛකයන්ට ශේඛර වන් අමරසේකර
2024 නොවැම්බර් මස 12 280 1

සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 96 වැනි වියට එළැඹෙණුයේ 2024 නොවැම්බර් 12 වැනි දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!


එක වහලක් යට තිස් වසරක මතක
2024 නොවැම්බර් මස 05 150 0

මා මාර්ටින් වික්‍රමසිංහ මහාශයන්ගේ ආවේශාත්මක වූත් ආස්වාදාත්මක වූත් සමීප ආශ්‍රය ලබමින් විසූ භාග්‍ය සම්පන්න සමයේ එක්තරා අවස්ථාවක මම ඔහුගෙන් මේ පැනය වි


පැරණිම රැකියාව දූෂණයද?
2024 ඔක්තෝබර් මස 29 216 0

ඇස්. පියසේන (සේනාධීර පියසේන) නම් බහුශ්‍රැත හා පරිණත මාධ්‍ය විශාරදයාණන් සමග ඉතා ළංව ඇසුරු කිරීමට ලැබීම මගේ පරම භාග්‍යයකි. අනූ වියද ඉක්ම මියෙන තෙක්ම පැහැද


78 ව්‍යවස්ථා මාරකය
2024 ඔක්තෝබර් මස 22 113 0

නව ව්‍යවස්ථාවක් පතන ලක් පුරවැසියන්ගේ අවධානය පිණිසය !


සම්මාන උන්මාදය
2024 ඔක්තෝබර් මස 15 367 0

සංස්කෘත භාෂාවේ එන ’මන්’ ධාතුව හෙවත් ක්‍රියා මූලය කෙරෙන්, ’දැනගැනීම’, ’සිතීම’, ’මැනීම’, ’සලකා බැලීම’, ’ගරු කිරීම’, ’ආඩම්බර වීම’, යන අර්ථ සූචනය වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 447 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 688 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1951 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site