ලක්දිව නූතන පිරිවෙන් අධ්‍යාපනය වූකලී 19 වන සියවසේ ඇරඹුණකි. ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසු සංස්කෘත භාෂා අධ්‍යයනයේ අභිනව ව්‍යාප්තිය සිදුවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ සමගම සංස්කෘත කවීන්ද්‍ර මණි මාලාවේ තරල මාණික්‍යයායමාන කවිකුලගුරු කාලිදාස නිර්මිත කාව්‍ය රත්නයෝ ලක්දිව සංස්කෘත සාහිත්‍ය සම්භක්තයන්ගේ අනිවාර්ය අධ්‍යයනයට පාත්‍ර වූහ. අනතුරුව ඔහුගේ කාව්‍ය හා නාටක කෘති සිංහලට පරිවර්තනය වීමත් ඔහු විසින් උත්පාදිත තත් කෘති අරභයා ප්‍රාචීන අර්වාචීන විබුධයන් පළ කළ විචාර වාද අධ්‍යයනය කෙරෙහි මෙරට ගිහි පැවිදි සංස්කෘත පඬිවරුන්ගේ උද්‍යෝගය උද්දීපනය වීමත් කවර අරුමයක්ද?
ලක්දිව පණ්ඩිතජනයා අතර පමණක් නොව පොදුජනයා අතර පවා මහාකවි කාලිදාසයන්ගේ මහිමය තුඩ තුඩ රැව් පිළිරැව් දුන් බව පාරම්පරිකව මෙරට පැතිර පැවතුණු විවිධ ජනප්‍රවාද මගින් මනාව සනාථ වෙයි.
මහාකවි කාලිදාසයන් භෝජ
නරරාජයන්ගේ පණ්ඩිත පර්ෂදය විරාජමාන කළ අසහාය කවිරාජයෙකු බව චිර ප්‍රකටය.
මාලව දේශයේ ධාරා පුරය අගනුවර කොටගෙන රාජ්‍යය විචාළ භෝජ රාජයෝ සියලු සාහිත්‍ය කලා විෂයෙහි හසළයෙකු ලෙස කීර්තිරාව නැංවූවෙකි. එසේම කවියන්ට අප්‍රතිම සම්භක්තයෙකි. 8 වන සියවසේ අග භාගය හෝ 11 වන සියවසේ මුල භාගය ඔහුගේ ධරමාන අවධිය ලෙස සැලකේ.
භෝජ රාජයන්ගේ යශස් රශ්මිය ලක්දිව විසූ කවියන්ගේ ලෝකය වෙතද විහිද පැතිර පැවති බව ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ විරචිත කෘතියක් ලෙස පිළිගැනෙන 'පැරකුම්බා සිරිත' නමැති රමණීය ප්‍රශස්ති කාව්‍යයේ හමුවන,
'සකල කලා වල්ලබ ගුණ සාහිත සත බෝජ රාජ'
යන පද්‍ය පාදයෙන් ඉඳුරා සනාථ වෙයි.
සුකුමාරමතික භෝජ රාජයෝ 'ආශු' කවි හෙවත් 'ශීඝ්‍ර' කවි අසා කුල්මත්වූ මධුලෝලයෙකි. ඔහු තම රාජ්‍ය සභාවේ විසූ කවියන්ට නොමසුරු ලෙස ත්‍යාග ප්‍රදානය කළේ ලක්සෙන් බැඳි පියලිවලිනි. භෝජ රාජසභා පණ්ඩිත පර්ෂදයේ වැජඹුණු කවීන්ද්‍රචක්‍රමකුටමණි සදෘශව විරාජමාන වූවෝ මහාකවි කාලිදාසයෝය. භෝජ රාජයන්ගේ අතිශය මෝහනයට හා විස්මයට පාත්‍ර වූ 'ආශු' හෙවත් 'ශීඝ්‍ර' කවි කෝවිදයාණෝද කවිකුලගුරු කාලිදාසයෝම වුහ. 'ආශු' හෙවත් 'ශීඝ්‍ර' කවි නාමයෙන් ප්‍රචලිතව පවත්නේ කවර ගණයේ කාව්‍ය විශේෂයක්ද?
'ආශු' යනු සංස්කෘත භාෂාවේ එන නිපාත පදයකි. එහි අරුත නම් 'ක්ෂණික', 'ඉක්මන්', 'වහා' යනුයි. සංස්කෘත 'ශීඝ්‍ර' යන්නද දෙන්නේ එම අරුතමය. වත්මන් සිංහල වහර අනුව හිටිවන කවි කියා කියන්නේ මේ අයුරින් වහා පද බැඳ කියන
කවිවලටය. කලින් තෝරා ගත් මාතෘකාවක් හෝ වහා දුන් මාතෘකාවක් අනුව එවේලේම පද බැඳ කවි කීමට සමතා ශූර හිටිවන කවියෙකු ලෙසය සැලකෙනුයේ. කොළඹ යුගයේ මුල් පෙළට හා දෙවන පෙළට අයත් බොහෝ කවියෝ හිටිවන කවි කෝවිදයෝ වූහ. ඉන් පසුවද නව හිටිවන කවි පරපුරක් මෙරට බිහි විය. එය තවමත් නොනැසී ඉදිරියට යයි.
සංස්කෘත කවියන් හිටිවනම පද බැන්දේ රමණීයාර්ථ රසාර්ද්‍ර ශ්ලෝකය. එවැනි රමණීයාර්ථ රසාර්ද්‍ර 'ආශු' ශ්ලෝක මධුලෝල භෝජ රාජයෝ ස්වකීය රාජ සභා කවියන්ට කිසියම් ශ්ලෝක පදයක් දී ඔවුන් එය සම්පූර්ණකර අපූර්ව 'ආශු' ශ්ලෝකයක් ගයනු අසා අමන්දානන්දයට පත්වීම නිරන්තර පුරුද්දක් කොටගෙන සිටි නරේන්ද්‍රයෙකි. ශ්ලෝක පාදයක් හෝ ශ්ලෝකාර්ධයක් සම්පූර්ණ කොට ක්ෂණිකව ශ්ලෝකයක් පද බැඳීම සංස්කෘත සාහිත්‍යයේ හැඳින්වෙන්නේ සමස්‍යා පූරණය යන ප්‍රකට නාමයෙනි. සමස්‍යා පූරණයෙහිලා මහාකවි කාලිදාසයෝ නිසර්ග සිද්ධ ප්‍රතිභාන්විතයෙකි. සමස්‍යා පූරණයෙහි නිරත ස්වකීය රාජසභා කවියන් අතරින් තම ප්‍රියතමයා වූ කාලිදාසයන් තත් කාර්යට පෙලඹවීමට භෝජ රාජයන් සතතයෙන් උත්සුක වූයේ එහෙයිනි.
එවැනි සුන්දර පෙලඹවීම් රාශියකින් උද්ගත මධුර රස මදිරා පූරිත රසාකරයක් වන් රමණීය සංස්කෘත ග්‍රන්ථ රත්නයකි ඛල්ලාල කිවිඳුන් විසින් විරචිත 'භෝජ ප්‍රබන්ධ' ප්‍රකරණය. ඉන් මා ලද අප්‍රමාණ
රසානුභූතියෙන් බින්දු මාත්‍රයක් සුකුමාර මතික ඔබේද රසානුභවය උදෙසා මෙසේ ඉත සිතින් පිරිනමම්හ.
දිනක් භෝජ රජතුමා සුවඳ පැන් සොළොස් කළයකින් නාවමින් සිටි මදමත් යොවුන් ලියගේ අතින් ගිලිහී ගිය රන් කළය බිම වැටී පියගැටපෙළ දිගේ ටටං ටටං ටං ටටටං ටටං ටං යන හඬ නගමින් පෙරළී ගියේය. එවේලේ එයින් නැගුණු එම හඬ කන වැකුණු රජතුමා රාජ සභාවට පැමිණ කාලිදාස කවියාට මෙසේ කියයි.
"කිවිඳුනි, මෙන්න මේ හඬ පෙළ යොදා සමස්‍යා පූරණයක් කරන්න."
"ටටං ටටං ටං ටටටං ටටං ටං"
එවිට කාලිදාස කවියා මෙසේ සමස්‍යා පූරණය කරයි.
රාජාභිෂේකේ මද විහ්වලායා
හස්තාත් ච්‍යුතෝ හේම ඝටෝ යුවත්‍යාඃ
සෝපාන මාර්ගේ ප්‍රකරෝති ශබ්දං
ටටං ටටං ටං ටටටං ටටං ටං
යොවුන් ලියක් රජු නාවන විටදි තොසින්
හෙළුවා රන් කළය බිම මද විකල
වෙසින්
නැඟුවා හඬක් එය පඩිපෙළ දිගේ ගොසින්
ටටං ටටං ටං ටටටං ටටං ලෙසින්
එය ඇසූ රජු සතුටින් පිනා ගොස් කාලිදාස කිවිඳුන්ට අකුරකට ලක්ෂය බැගින් ප්‍රදානය කළේය.
තවත් දවසක දඩකෙළියෙහි සිත ඇලුණු භෝජ රජතුමා වනාන්තරයේ බොහෝ දුර ඇවිද ගොස් මහත් සේ ශරීර පීඩාවට පත්ව එක්තරා පොකුණු තෙරක පිහිටි ඝන සෙවණැති ජම්බු ගසක් මුලට පැමිණියේය. රජු එහි වැතිර සිටිද්දී ජම්බු ගස උඩ සිටි බොහෝ වඳුරන් විසින් ජම්බු ගෙඩි සියල්ලම බිම හෙලන ලදී. රජතුමා ඒවා පොකුණු ජලයට වැටෙන
ගුලු ගුග්ගුලු ගුග්ගුලු
යන හඬඅසමින් පැයක් විතර එහි වැතිර හිඳ වෙහෙස දුරු වීමෙන් පසු නැගිට අසු පිට නැගී පිටත්ව ගියේය. පසුව රජ සබයට ගිය රජතුමා එදා වඳුරන් හැලූ ජම්බු ගෙඩි පොකුණු ජලයට වැටුණු වේලේ තමා අසා සිටි
ගුලු ගුග්ගුලු ගුග්ගුලු
යන හඬ පෙළ කාලිදාසයන්ට දී එය යොදා සමස්‍යා පූරණයක් කරන්නැයි ඔහුට ඇරයුම් කොට සිටියේය. මේ කාලිදාස කවියාගේ සමස්‍යා පූරණයයි.
ජම්බූ පලානි පක්වානි
පතන්ති විමලේ ජලේ
කපි කම්පිත ශාඛාභ්‍යෝඃ
ගුලු ගුග්ගුලු ගුග්ගුලු
පැන පැන යද්දි වඳුරන් දඹ ගස
මුදුනේ
ගෙඩි පිරි දඹ ගසේ අතු හොඳටම සැලුණේ
ඉදුණු ගෙඩි එවිට විල් ජලයට වැටුණේ
ගුලු ගුග්ගුලු ගුග්ගුලු ගුලු ගුලු හඬිනේ
අමන්දානන්දයට පත් රජතුමා මෙසේ පසසයි.
"කිවිඳුනි, සියැසින් නොදැකත් අන් ඇසින් දුටු දෙයක් කෙසේ දැක ගත්තෙහිද? මගේ ඇසට පෙනෙන්නේ සරස්වතී තොමෝ ජීවමානවම මා අබියස පහළ වී ඇත්තා සේය."
දිනක් භෝජ රජතුමා කාලිදාස කිවිඳුන්ට මේ ආරාධනය කරයි.
"කිවිඳුනි, මා දිවංගත වූ කල්හි ඔබගෙන් පහළ වන දුක් කවිය අද අසනු කැමැත්තෙමි. එය කියනු මැනවි!"
එම ආරාධනය දරාගත නොහැකි වීමෙන් බලවත් සිත් වේදනාවට පත් කාලිදාස කවියා රජු සමග උරණව වහා ඒ රට අතහැර විලාසවතිය සමග ඒකශිලා නුවරට සම්ප්‍රාප්ත විය. කාලිදාස කවියාගේ වියෝගයෙන් මහත් වූ ඛේදයට පත් රජු යළි ඔහු ධාරා පුරයට ගෙන්වා ගන්නා අටියෙන් තවුස් වෙස් ගෙන ඔහු සොයා ඒකශිලා නුවරට පැමිණියේය. එහිදී හමුවුණු තවුසා හා කවියා අතර සිද්ධ වූ අන්‍යෝන්‍ය සංවාදය මෙසේය.
"ඔබ වාසය කරන්නේ කොහිද?"
"කිවිඳුනි, මම වාසය කරන්නේ ධාරා නුවරයි."
"එහි මහාරාජ භෝජ රජතුමාගේ සුවදුක් කෙසේද?"
"මම මොනවා කියා කියන්නද?"
'වෙසෙස් තොරතුරක් ඇත්නම් ඇත්ත කියන්න.!"
"රජතුමා දිවංගත වුණා."
කවියා බිම වැටී හඬයි.
"දේවයන් වහන්ස, ඔබ නැතුව අපි කුමට මිහි පිට සිටින්නද?"
කාලිදාස කිවිඳු බොහෝ සේ වැලපී තම ප්‍රාණප්‍රිය රජු වෙනුවෙන් තම දුක් කවිය කීවේය.
අද්‍ය ධාරා නිරාධාරා
නිරාලම්බා සරස්වතී
පණ්ඩිතාඃ ඛණ්ඩිතාඃ සර්වේ
භෝජ රාජේ දිවංගතේ
දාරා පුරවරට අද අහිමිය
පිහිට
රැකවරණද නොමැති විය සිරි සරසවිට
විපතක් අත් වුණා වැනි පඬිදන හැමට
බෝජ රජතුමා වැඩියෙන් සුර
ලොවට
කාලිදාස කිවිඳුගේ මුව්න් මේ දුක් කවිය කියවෙනවාත් සමගම තවුසා සිහිසුන්ව බිම වැටුණි. එදෙස බැලූ කවියා මේ නම් භෝජ රාජයාම යැයි තීරණය කොට මෙසේ කීය.
"අහෝ! මහ රජතුමනි, ඔබ වහන්සේ මා රැවටුවා නේද?"
ඉන්පසු කාලිදාස කවියා මුලින් කී දුක් කවිය වහා වෙනස් කොට යළි මෙසේ කීය.
අද්‍ය ධාරා සදාධාරා
සදාලම්බා සරස්වතී
පණ්ඩිතාඃ මණ්ඩිතාඃ සර්වේ
භෝජ රාජේ භුවංගතේ
දාරා පුරවරට අද හිමි විය
පිහිට
රැකවරණද උරුම විය සිරි
සරසවිට
බැබළෙන වර ලැබුණි යළි පඬිදන හැමට
බෝජ රජතුමා වැඩියෙන් මනු
ලොවට
ලක්දිව නූතන පිරිවෙන් අධ්‍යාපනය වූකලී 19 වන සියවසේ ඇරඹුණකි. ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසු සංස්කෘත භාෂා අධ්‍යයනයේ අභිනව ව්‍යාප්තිය සිදුවූයේ එහි ප්‍රති
කවර භාෂාවක් වුවද ප්‍රගුණ කිරීමේදී කුසලතා සතරක් වර්ධනය කර ගැනීම අනිවාර්ය බව භාෂාවිඥයන්ගේ මතයයි. භාෂාවේ චතුර්විධ කුසලතා වර්ධනය ලෙස එය හැඳින්වේ.
’’Language is the the greatest achievement of Culture; Poetry is the greatest achievement of Language.’’
මෙරට බොහෝ මවුපියන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන්ද ලිංගික කරුණු සම්බන්ධයෙන් අවිද්‍යා අන්ධකාරයේ පසුවන්නන් බව ඔවුන් ගේ අදහස් උදහස්, ආකල්ප විකල්ප මගින් ම
දිගු කලක පටන් මම සෑම සතියක් නෑරම ජාතික ගුවන්විදුලිය ඔස්සේ ’පෙරවදන’ නමින් පොත්පත් හඳුන්වාදීම අරබයා වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියෙමි.
මෙරට වත්මන් ලේඛක පරපුර අතින් බිහිවෙන ඇතැම් කවි , ගීත , කෙටි කතා , නවකතා ආදි නිර්මාණ මගින් පීඩිත පන්ති හැඟීම , මානව දයාව , සටන්කාමිත්වය යන වෙසෙස් ගුණාංග ප්‍ර
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කාලිදාස කවි රස
hussain Tuesday, 07 January 2025 07:35 AM
ඉතා උසස් ඇගැයීමක් !!