IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කාමය නැති ’’කාම සූත්‍රය’’

මතක හා මතය -16

 

 

පී. බී. අල්විස් පෙරේරා කිවිඳුන්ගේ
ජන්ම ශත සංවත්සර උළෙල ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට යොදා ගෙන තිබුණේ2017 මාර්තු මස 03 වැනි දිනටය.ඒ නිමිත්තෙන් සමස්ත ලංකා කවි සම්මේලනය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිත
'පී. බී. කිවියර- සියවස් හරසර' නමැති
සමරු කලාපයේ සංස්කරණය පැවරුණේ කෘතහස්ත මාධ්‍ය වේදියෙකු මෙන්ම ගත්කරුවෙක්ද වූ මා මිත්‍ර පී.ඇම්. සේනාරත්නයන් හටය.එම පොතට ඇතුළු කිරීම සඳහා කීර්තිමත් ලේඛක, කිවියර සිරිලාල් කොඩිකාරයන්ගෙන් පී.බී.කිවිඳුන් ගැන කාව්‍ය රචනයක් ලබාගැනීමට අවශ්‍ය වූයෙන් ඔහු
හමුවීමට යෑමට සේනාරත්නයෝ මට
වෙසෙස් ඇරියුමක් කළහ. සිරිලාල් කොඩිකාරයන් මගේ අතිශය හිතෛෂී මිත්‍රයෙකු බව සේනාරත්නයන් ඉතා හොඳින් දන්නා හෙයිනි. මගේ කුලුපග මිත්‍ර
සිරිලාලුන් කලකට පසු දැකීමේ
බලවත් ස්නේහ උපන් හෙයින් මම
ගමනට එකහෙළා එකඟ වීමි.

අප දෙදෙනා සිරීගේ නිවසට ගියේ 2017 පෙබරවාරි 16 වැනි බෘහස්පතින්දා දිවා කලය. ඒ වන විට
ඔහු 93 වියේ පසු විය. ඔහු 1924
අගෝස්තු 24 වැනිදා උපත ලද්දෙකි.
එදා අප දෙදෙනා සිරීගේ කාමරයට
ඇතුළු වන විට දුටු චිත්තාහ්ලාද ජනක දර්ශනය එක් වරම මගේ සිහියට නැංවූයේ ලෝකප්‍රකට ප්‍රංශ නවකතාකරුVictorHugo(1802-1885)ගේ විශිෂ්ට ආප්ත වාක්‍යයකි.Victor Hugo යනු අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල සූරීන්ගේ පරිවර්තනයක් වන 'මනුතාපය' කෘතියට පාදක වුණු
'Les Miserables'(1862) නමැති මුල් ප්‍රංශ නවකතාවේ කතුවරයාය. ඒ ආප්ත වාක්‍යය මෙසේය.
"Forty is the old age of youth.
Fifty is the youth of old age"
එභි අරුත මෙසේ සිංහල පැදි
දෙපෙළකට නඟා දක්වමි.

"හතළිහ මහලු කාලය වෙයි තරුණ
වියේ
පනහා තරුණ කාලය වෙයි මහලු
වියේ"

'මහලු වියේ තරුණ කාලය'යනු
පරිණත ඥාන තාරුණ්‍යය මිස අන් කවරක්ද?
මිනිසාගේ පරම ආයුෂ වසර 100
සේ ගෙන එය දශක දශකයකට බෙදා දක්වන විග්‍රහයක් බෞද්ධ සාහිත්‍යයෙහි එයි.

මන්දෝ ඛිඩ්ඩා ච වණ්ණා ච
බලා පඤ්ඤා ච හායනා
පබ්භාරා ච පවංකා ච
මෝමූහා සයනා දස

ඒ අනුව පිළිවෙළින් මන්ද (පළමු 10 විය); ඛිඩ්ඩා (ක්‍රීඩාවෙන් ගෙවෙන 20 විය); වණ්ණ (හැඩ රුවැති 30 විය); බල (සිරුරු බලැති 40 විය); පඤ්ඤා (නුවණ මේරූ 50 විය); හායන (පිරිහීම ඇරඹෙන 60 විය); පබ්භාර (කෙළින් ඉන්න බැරි 70 විය); පවංක (වක ගැහෙන 80 විය); මෝමූහ (සිහි මුළා 90 විය); සයන (ඇඳට වැටෙන 100 විය ) යනු එම දශක දශකය වෙයි.
බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන එම දශක දශකය පිළිබඳ විග්‍රහය අනුව පස් වන දශකය හෙවත් 50 වන විය හැඳින්වෙන්නේ 'ප්‍රඥා' දශකය නමිනි. එය වනාහි ඉහත දැක්වුණු Victor Hugo ගේ ආප්ත වාක්‍යයේ පූර්ව ප්‍රකාශයක් වැනිය. එහෙත් අපේ රටේ විශ්‍රාම ගැන්වීම සිදුවන්නේ මේ ප්‍රඥා දශකයේය.
දශක දශකයට අයත් එක් එක්
දශකය හැඳින්වෙන නාම ව්‍යවහාර
අනුව නම් එදා සිරිලාල්
කොඩිකාරයන් සිටිය යුත්තේ
'මෝමූහ' හෙවත් සිහි මුළා
දශකයේය. 90 වන විය 'මෝ මූහ'
නම් වන හෙයිනි.එහෙත් සිරිලාලුන්
තවමත් පසු වනුයේ ප්‍රඥා දශකයේ බව සනාථ කළේ අප දෙදෙනා දුටු පෙර සඳහන් කළ හද ඔද වඩවන චිත්තාහ්ලාද ජනක දර්ශනයමැයි.
සිරිලාල්හු හාන්සි පුටුවේ ඇලවී
කන්නාඩියකින්ද තොරව වාත්ස්‍යායනගේ 'කාම සූත්‍රය' කියවති.
කාමරයට පිවිසුණු දෙදෙනා ඔහුගේ
අවධානයට ලක් නොවෙති.
මෙහෙකාරිය අප පැමිණ සිටින බව
ඔහුට සැල කර සිටී. ඉන් පසු අප
දෙදෙන හැඳිනගත් ඔහු හඬ නඟා
සිනාසී හෙමින් නැඟී සිට අප බදා වැලඳ ගනියි.පසුව කාම සූත්‍රය පොත
අතට ගත් ඔහු එය රචනා කළ
වාත්ස්‍යායන ආචාර්යවරයා වෙත
නිර්දය ප්‍රහාරයක් එල්ල කළේ තමා
තවමත් ප්‍රඥා දශකය ඉක්මවා නොමැති බව නියත ලෙස සනාථ
කරමිනි.
"මේකට 'කාම සූත්‍රය' කියල කිව්වට මොකද මේකෙ කාමය
තියෙන්නෙ බොහොම ටිකයි.
වැඩියෙන් තියෙන්නෙ අර්ථ,ධර්ම,
මෝක්ෂ.ඒ වුණාට 'චතුර්විධ පුරුෂාර්ථ' අතරෙන් "කාමය' තමයි
සාහිත්‍යය,සංගීතය,නාට්‍යය ආදි
කලාවන්ගෙ පහළවීමට මුල් වුණේ."
කාම කලාව අරබයා සම්පාදිත පැරණි භාරතීය ග්‍රන්ථවල සාරය ගැබ් කොට විරචිත ග්‍රන්ථයකි 'කාම සූත්‍රය'. කාමාස්වාදය මුල් කරගත් විධි නියමයන් මෙහි ලා 'සූත්‍ර' නාමයෙන් හැඟැවුණු බැව් සිතිය හැකිය. මෙය වාත්ස්‍යායන නම් ආචාර්යවරයාගේ කෘතියකි. ඔහු විසූ කාලය අවිනිශ්චිතය. එහෙයින් 'කාම සූත්‍රය' බිහිවුණු කාලයද අඥාතය.
ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යනුවෙන් දැක්වෙන්නේ සතර පුරුෂාර්ථයෝය. මෝක්ෂාදි පුරුෂාර්ථයන්ට ශාස්ත්‍රයක් අවශ්‍ය වේ නම් කාම පුරුෂාර්ථයටද වෙසෙස් ශාස්ත්‍රයක් අවශ්‍ය බව භාරතීයෝ කල්පනා කළහ. ශෘංගාර රස ප්‍රධාන සාහිත්‍ය, සංගීත, චිත්‍ර, මූර්ති ආදි කලාවන් පවතින්නේ කාම ශාස්ත්‍රය පාදක කොට ගෙනය. රමණයෙහි යෙදෙන ස්ත්‍රී පුරුෂයන්ගේ විවිධ විචිත්‍ර රමණ විලාස විධිවලට (Erotic Postures)
'කාම සූත්‍රය' වෙසෙස් තැනක් දී ඇත. ඒවා එහි හැඳින්වෙන්නේ 'ආසන බන්ධ ක්‍රම' යන නමිනි. මධ්‍යම ඉන්දියාවේ පිහිටි කජුරාහෝ දේවාල සමූහයට අයත් ගොඩනැගිලි බිත්තිවල අඹන ලද එකී කාම සූත්‍ර ආසන බන්ධ විලාස පිළිබිඹු කරන මනමෝහන මූර්ති කැටයම් අදත් දැකිය හැකිය. ඒවා වූකලී ආදි භාරත මූර්ති කලාවේ පරම නිර්මාණ ප්‍රාතිහාර්යෝ වැනියහ.
'කාම සූත්‍රය' අරබයා සිරීගේ මුවින් පිටවුණු ඒ නිවහල් එඩිතර
ප්‍රකාශය වහා මගේ මතකය ගෙන ගියේ මගේ ගෙදර ලියන කාමරයේ ෆයිල් කුසක් තුළ කලක පටන් ප්‍රසූතිය පතමින් විලි වේදනා විඳින පරිවර්තිත ලිපි සමුච්චයකට අයත් එක්තරා එඩිතර ලිපියක් වෙතය. මවිසින් සිංහලට නගන ලද
එම සියලුම ලිපි කීර්තිමත් ඉන්දියානු
ලේඛක, අදීන මාධ්‍යවේදී කුෂ්වාන්ත්
සිං ගේ ප්‍රබල මිසයිල ප්‍රහාරයන්ය. කා විනාශ කර දමනු වෙනුවට ඒ ලිපි මෙතෙක් පණ මෙන් රැකි කාවෝ, වේයෝ, මීයෝ මගේ සංසාර නෑයෝ නොවන්නෝද?
කුෂ්වාන්ත් සිං යනු ඉන්දියාවේ කීර්තිමත් සන්නිවේදකයෙකි. ප්‍රශස්ත ලේඛකයෙකි. නිවහල් මනසකින් යුත් කුෂ්වාන්ත් සිං සන්නිවේදකයෙකු ලෙස අඛිල භාරතීය ආකාශ්වාණියට බැඳීමත් සමග විශිෂ්ට වෘත්තියක ආරම්භය සිදුවිය. එතැන් සිට ඔහු ඉන්දියාවේ කීර්තිමත් පුවත්පත් රාශියක කර්තෘත්වය හෙබවීය. එසේම ලේඛකයෙකු වශයෙන්ද ඔහු ඉන්දියානු සාහිත්‍යයට විශිෂ්ට සේවාවක් සිදු කර ඇත. Train to Pakistan, Company of Women යන සුප්‍රකට කෘති ඇතුළු නවකතා,
කෙටිකතා හා පරිවර්තන මෙන්ම ප්‍රබන්ධ ගණයට නොවැටෙන කෘතිද ඔහුගේ එකී සාහිත්‍යය සේවයෙහි විපුල ඵල වෙයි. විවිධ සම්මානයන්ගෙන් පුද ලද ඔහුට 1974 වසරේදී ඉන්දියානු ජනාධිපතිවරයා විසින් 'පද්මභූෂණ' සම්මානය පිරිනමන ලදී. එහෙත් ඒකාබද්ධ ආණ්ඩුව විසින් අම්රිත්සාරයේ රන්දෙවොල ආක්‍රමණය කරන ලද අවස්ථාවේ ඊට විරෝධය ප්‍රකාශ කිරීමක් වශයෙන් 1984 වසරේදී ඔහු එකී සම්මාන පදක්කම ආපසු ආණ්ඩුවට භාර දුන්නේය.
කුෂ්වාන්ත් සිං ගේ ඉහත මා සඳහන් කළ එම එඩිතර ලිපියෙන් ඔහු 'කාම සූත්‍ර' ග්‍රන්ථ කර්තෘ
වාත්ස්‍යායන ආචාර්යවරයා වෙත
එල්ල කළ මිසයිල ප්‍රහාරයයි මේ! එය කියවන කෙනෙකු තුළ අපේ සිරිලාලුන්ද කුෂ්වාන්ත් සිං ගේම
නැකතින් උපන්නෙක් නොවේදැයි යන හැඟීම හට ගතහොත් එය කවර අරුමයක්ද!
"මා මෙතෙක් කියවා ඇති අමනම,
අවිද්‍යාත්මකම කාම විද්‍යා ග්‍රන්ථය
වාත්ස්‍යායනගේ කාම සූත්‍රයයි.ඔහු
විසින් ගැහැනුන් හා පිරිමින්
වර්ගවලට බෙදා ඇත්තේ තම තමාගේ ජනනේන්ද්‍රියවල ප්‍රමාණය
අනුවය.මෙහි කිසිම පදනමක් නැත.
පිරිමින් සා, අශ්ව සහ ගව යෝනි
වශයෙනුත් ගැහැනුන් මුව, වෙළඹ සහ
ඇත් යෝනි වශයෙනුත් ඔහු වර්ග
කර ඇත්තේ ගැහැනු - පිරිමි කායික
සම්බන්ධය පිළිබඳව තමා කරන
විග්‍රහය පදනම් කර ගනිමිනි.මෙය
අත්‍යන්ත අත්තනෝමතික වර්ග
කිරීමකි.
"ගැහැනු - පිරිමි සමීප කරන සෑම
ක්‍රියාවක්ම පාහේ ගණනය කිරීමට
ඔහු දක්වන අභිරුචියද එසේමය.
64 සංඛ්‍යාවෙහි ඔහුට එක්තරා
ආකාරයක ගුප්ත වැදගත්කමක්
ඇත. චතුර්වර්ණයන් විසින් කඩ
නොකළ යුතු කුල චාරිත්‍ර 64ක් ඔහු
පෙළ ගසා ඇත්තේ මනු නීතිය අනුව
යමිනි. මේ ගණයේ නිබන්ධයක් අද
කා හට නම් බරපතළ කෘතියක් ලෙස
පිළිගත හැකිද?
'කාමසූත්‍රය'හොඳ කාමාස්වාද ජනක ග්‍රන්ථයක්ද නොවේ.එය මුළුමනින්ම අමන වූත් බොහෝ විට හාස්‍ය ජනක වූත් කෘතියකි. ඊට අනුග්‍රහ පිණිස පැවසිය හැකි එක් දෙයක් ඇත. එනම් එය ගුප්ත යුගයට අයත් ස්වර්ණ යුගය උදාව පැවති ක්‍රි:ව:04 වන සිය වසට සමීප කලක සම්පාදනය වූ බවය. එසේම එකල පැවති නිදහස් විවෘත සමාජය පිළිබඳ යම් කිසි අදහසක් එමගින් පාඨකයාට ලැබෙන බවය. රටේ නොයෙක් තැන්වල ශෘංගාරාත්මක ප්‍රතිමා කලා සහ චිත්‍ර කලා සශ්‍රීකව පැවතුණේද මේ කාලය තුළය."

 



අදහස් (0)

කාමය නැති ’’කාම සූත්‍රය’’

ඔබේ අදහස් එවන්න

මතක හා මතය

බෞද්ධ මාක්ස්වාදියා
2024 සැප්තැම්බර් මස 03 312 0

කලක පටන් දැන හැඳින සමීපව ඇසුරු කළ ගුණසේන විතානයන් සමග එකට වැඩ කිරීමේ අවස්ථාව පළමුවෙන්ම මට උදාවූයේ ඔහු ’ජනතා ලේඛක පෙරමුණ’ ආරම්භ කිරීමත් සමගය.


’යුග පුරුෂයා’ ගණිකාවක් ද?
2024 අගෝස්තු මස 27 682 0

’නිම් වළලු පළල් කරනවා’ යන සුලබ කියමන සේම නිතර නිතර අපගේ කනට ඇහෙන ඇසට පෙනෙන තවත් සුලබ වත්මන් වාග් ව්‍යවහාරයකි ’යුග පුරුෂයා’ යන්න.


මමත් කළුයි මාගේ කවිකමත් කලුයි!
2024 අගෝස්තු මස 20 474 0

(පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන් මිය ගොස් 2024 අගෝස්තු 21 වැනි දිනට පුරා වසර 58ක් සපිරෙයි. ඔහු පිළිබඳ මගේ මේ හෘදයංගම මතක වත සහෘද ඔබගේ පහන් සංවේගය උදෙසාය.)


අඹ බයන්න සහ අඹ යාළුවා
2024 අගෝස්තු මස 13 472 0

අප ’අඹ’ බයන්න යනුවෙන් හැඳින්වීමට පුරුදුව සිටින්නේ සඤ්ඤක ’ඹ’යන්නය. ඊට හේතුව, අඹ නමැති පලතුරට කියන නාමය ලිවීමේදී සඤ්ඤක ’ඹ’යන්න භාවිත වීම බවය බොහෝ දෙනාගේ


’’ෆ’’ අක්ෂරය සිංහල හෝඩියට ආ හැටි
2024 අගෝස්තු මස 06 833 2

ඉංග්‍රීසි හෝඩියේ F ශබ්දය වෙනුවට සිංහල හෝඩියට මෑතක පිවිස මේ වන විට බහු භාවිතයට පත්ව ජන සම්මතව ඇති ’ෆ’ අක්ෂර රූපය අලුත නිපදවා ගත්තක්ය යන දුර්මතය ඒ පිළිබඳ


මැතිවරණ කාලයේ ජ්‍යෝතිෂ උන්මාදය
2024 ජුලි මස 30 131 0

අභීත සන්නිවේදන මාධ්‍ය විශේෂඥයෙකු මෙන්ම අදීන ලේඛකයෙක්ද වූ කුෂ්වාන්ත් සිං නම් නිර්දය දේශපාලන විශ්ලේෂකයා වර්තමාන ඉන්දියානු දේශපාලකයන්ගේ ජ්‍යෝතිෂ උන්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site