මෙරට බොහෝ මවුපියන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන්ද ලිංගික කරුණු සම්බන්ධයෙන් අවිද්‍යා අන්ධකාරයේ පසුවන්නන් බව ඔවුන් ගේ අදහස් උදහස්, ආකල්ප විකල්ප මගින් මොනවට ප්‍රකට වෙයි. ලිංගික අධ්‍යාපනය කෙරෙහි ඔවුන් දක්වන විරුද්ධවාදය එහි අනිෂ්ට ප්‍රතිඵලයකි. ගෙදර, පාසල හා සමාජ සංස්කෘතික පරිසරය යන තුන් පෙදෙසින් උරුම වුණු ගතානුගතිකත්වය මෙන්ම ආගමික බලපෑමද එකී මනෝවෘත්තියට තුඩු දෙයි. බොහෝ මවුපියන් හා වැඩිහිටියන් හිතන්නේ ලිංගික කරුණු තහනම් විෂයක් ලෙසය. ඔවුන්ගේ මවුපිය වැඩිහිටියන් හෝ ගුරුවරුන් ඔවුන් සමග ලිංගික කරුණු සම්බන්ධ කිසිවක් එළිපිට කතා කොට හෝ ඒ ගැන ඔවුන්ට කිසිවක් උගන්වා හෝ නැති බැවිනි. ඒ නිසා ඔවුහු තම දරුවන් සමග ඒ ගැන කතා කිරීම මෙන්ම ඔවුන්ට එය ඉගැන්වීමද අනවශ්‍ය යැයි සිතති. අඳුරේ අතපත ගාමින් තමා දැන කියාගත් පරිදිම දරුවන්ද ඒ ගැන ඉබේම වාගේ දැන කියාගනු ඇතැයි සිතා ඔවුහු තෘප්ත වෙති.
තත් අවිචාරවත් ආකල්පයේ අනිෂ්ට විපාක ගැන වරක් සුප්‍රකට බ්‍රිතාන්‍ය වෛද්‍ය යූස්ටස් චෙසර් පැවසූ වදන් මෙසේය.
"දොස්තර කෙනෙකු වශයෙන් කටයුතු කරන මට දිනපතා මුණ ගැසෙන අය අතර සතුට අහිමි වුණු මිනිස්සු බොහෝ දෙනෙක් සිටියා. මේ ලෝකයේ සතුටින් හා තෘප්තියෙන් ජීවත්වීමට ඔවුන්ට නොහැකි වුණු හේතු මම සොයා බැලුවා. ජීවන කලාව විෂයෙහි ඔවුන්ගේ බාල වියේදී හා තරුණ වියේදී ඔවුන්ට පුළුල් මග පෙන්වීමක් නොලැබීම ඊට බලවත් හේතුවක් වී ඇති බව මට පෙනුණා. සතුට අහිමි වුණු මේ මිනිස්සු මවුපියෝ. එහෙත් තම අභිමතාර්ථයන් කෙසේ වුවත් ඔවුන් තමන් නොදැනුවත්වම තම සිතේ පැවති අශාන්ත භාවය තම දරුවන්ටත් උරුම කර දෙන පිරිසක්. ඇතැම් විට මේ මිනිසුන් තුළ පැවති අසන්තෘෂ්ටිය ඔවුන්ට පෙර ඔවුන්ගේ මවුපියන්ගේද වරද නිසා වැඩී මේ අයුරින්ම තමනට උරුම වූවක් විය හැකියි."
ලිංගික කරුණු අරබයා විද්‍යාත්මක ආකල්පයක් බිහි කිරීම සමාජය දූෂණය කරන්නක් නොවේ. ලිංගික විෂය සම්බන්ධයෙන් ප්‍රචලිතව ඇති මිථ්‍යා මත සහ ඉගැන්වීම් දුරලීමට නම් ඒ පිළිබඳ ග්‍රන්ථකරණයෙහි නියුක්ත විශ්ව සම්භාවිත වෛද්‍යවරුන්ගේ සහ මනෝ විද්‍යාඥයන්ගේ මත හා ඉගැන්වීම් සිංහල පාඨකයන්ටද හඳුන්වා දිය යුතුය.
පස් කම් සැපයේ සපුරා නොඇලෙන ලෙසට බුදුන් වහන්සේ අනුශාසනා කළේ සියලු කෙලෙසුන් නසා නිවන් පසක් කර ගනු පිණිස සිත කය කැප කළ පිරිසටය. උන් වහන්සේ විසින් ඔවුන් හඳුන්වන ලද්දේ 'විනේය ජන' යන විශේෂ නාමයෙනි. පුහුදුන් හැම මිනිසුන්ම විනේය ජනයන් වශයෙන් සැලකිය නොහැකිය. එසේ නොවන්නන් තම වර්ගයා බෝ කිරීම පිණිස ලිංගික කාර්යෙහි යෙදිය යුතුය. එය අනුදත් කාමාචාරයකි. නැතහොත් සම්මා කාමාචාරයකි. එම කාම සම්මාචාරයෙන් හෙවත් අනුදත් ලෙස කාමයේ හැසිරීමෙන් වළකින ලෙස බුදුන් වහන්සේ පුහුදුන් සෑම මිනිසුන්ටම අනුශාසනා කළහයි සිතිය හැකිද? එහෙත් කාම මිච්ඡාචාරයෙන් හෙවත් කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින ලෙස උන්වහන්සේ තම සව්වන් වන විනේය ජන පිරිසට අනුශාසනා කළහ. මෙම 'කාම මිච්ඡාචාර' යෙදුම හුදෙක් ලිංගේන්ද්‍ර්‍රියන්ට පමණක් සීමා වූවක් සේ සැලකිය නොහැකිය. එය පංචේන්ද්‍රියන් විෂයෙහිම පැතිර පවතී. දර්ශන කාම්‍යය, ශ්‍රවණ කාම්‍යය, ආඝ්‍රාණ කාම්‍යය, රසාස්වාදන කාම්‍යය හා ස්පර්ශන කාම්‍යය යනුවෙන් එය පංච විධය. කාමය, රාගය වැනි ශබ්දයන් තුළ ගැබ්ව පවත්නේ පුළුල් දාර්ශනික අර්ථයකි. පන්සිල් පදයන්ගේ එම දාර්ශනික අර්ථ ගිලිහී ගොස් ඒවා ගිහි බෞද්ධයන්ගේ ගතානුගතික මන්ත්‍ර පාඨයන් බවට පත්වූ දා සිට එහි තෙවන සික පදයේ අරුත සීමා වී ඇත. මෙය කෙතරම් සීමා වී ඇද්දැයි කියතොත් දැන් ගිහි පැවිදි දෙපක්ෂයම එහි අරුත වශයෙන් සලකන්නට පුරුදු වී සිටින්නේ ලිංගේන්ද්‍රියන් පිළිබඳ මිච්ඡාචාරයකි. විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ ලිංගේන්ද්‍රිය සේවනය පිළිබඳ මිච්ඡාචාරයකි.
මෙයින් පැහැදිලි වන්නේ බුදුන් වහන්සේ විසින් විනේය ජනයන් සඳහා පනවන ලද ශික්ෂාවන් ප්‍රජනන කාරියෙහි නියුතු පුහුදුන් ගිහි බෞද්ධයන් වන අප විසින් අවිචාරයෙන් යුතුව භාර ගෙන ඇති බව නොවේද? තම වර්ගයා බෝ කිරීම සඳහා ලිංගේන්ද්‍රියන් උපයෝගී කරගැනීම බුදුන් වහන්සේ විසින් පුහුදුන් ගිහි බෞද්ධයන්ට තහනම් කරන ලද බවක් උන්වහන්සේගේ දේශනාවේ සඳහන් වේ යැයි කිය හැකිද? ගෘහ ජීවිතයේ ආලය හරවා ගිහියන් බලයෙන් පැවිදි බිමට ඇද ගැන්මක් උන්වහන්සේගෙන් සිදු නොවීය. ඒත් නැණැස පාදා ලීම මගින් එසේ කළ අවස්ථා ඇත. බුදුන් වහන්සේගේ ශාසනයේ පැවිදිව නිවන් පසක් කර ගැන්මේ ඒකායන අරමුණින් කටයුතු කිරීමට කැපව සිටි මහණුන්ගේ සහ මෙහෙණින්ගේ ලිංගික හැසිරීම් අරබයා නම් උන්වහන්සේ බොහෝ සික පද පැනවූහ. භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂ ග්‍රන්ථය ඊට සාක්ෂ්‍ය සපයයි.
"යම් භික්ෂුවක් තෙමේ භික්ෂූන්ගේ ශික්ෂාපද සංඛ්‍යාත වූ ආජීවයට පැමිණියේ, අධි ශීල ශික්ෂාව බහා නොතබා දුර්වලභාවය ප්‍රකාශ නොකොට මෙවුන්දම් සේවනය කෙළේ වී නම් යටත් පිරිසෙයින් තිරිසන් ගිය මාගමක් කෙරෙහිද සේවනය කෙළේ වී නම් ශාසනයෙන් පැරදීමට පැමිණියේය."
(විසාලා මහ නුවර සුදින්න ස්ථවිරයන් අරබයා මෙවුන්දම් සෙවූ වස්තුව හේතු කොටගෙන පනවන ලද්දේය.)
භික්ෂු ප්‍රාතිමෝක්ෂ පාලි සන්නය - (ප්‍රථම පාරාජිකාව)
" ප්‍රසව මාර්ගයාගේ මතු භාගයෙහි දඬු මුගුරු ආදියෙන් තැළීම හේතු කොටගෙන පචිති ඇවැත වේ."
(සැවැත් නුවර භික්ෂුණීන් දෙදෙනෙක් අරභයා, ප්‍රසව මාර්ගයාගේ පිටත්හි පහර දුන් වස්තුවක් හේතු කොට ගෙන පනවන ලදී.)
"මොනවට සකස් කළා වූ ලාකඩින් කළ වස්තුවකින් ප්‍රසව මාර්ගය ස්පර්ශ කිරීම හේතු කොටගෙන පචිති ඇවැත වේ."
(සැවැත් නුවර එක්තරා
මෙහෙණින්නක් අරභයා වට මට සිලුටු වූ ලාකඩින් කරන ලද්දා වූ පුරුෂ ලිඟු ආකාර වස්තුවක් ප්‍රවේශ කිරීමෙහි ස්පර්ශය ඉවසීම හේතු කොටගෙන පනවන ලදී.)
භික්‍ෂුණී ප්‍රාතිමෝක්ෂ පාළි සන්නය
(පළමුවන ලසුණ වග්ගය)
කාම මිච්ඡාචාරය නිවන් මගට හානි පමුණුවන්නක් වුවද පුහුදුන් ගිහි අඹු සැමියන්ගේ ප්‍රජනන කාරිය හා සම්බන්ධ ලිංගික සංසර්ගය කාම සම්මාචාරයක් කොට නොසැලකිය යුතුද ? නිවන් මගට බට විනේය ජන ගණයට වැටෙන්නට මේ ලොව වෙසෙන සියලුම පුහුදුන් දනන් කැමති වෙතියි කිය හැකිද? එසේම එසේ කැමති වන ලෙසට උන් හැමට බල කිරීමක් කළ හැකිද?
ලිංගික ජීවිතය පිළිබඳ මනෝවිද්‍යාත්මක ලක්ෂණ හෙළි කරන පුවත් රැගත් ජාතක කතා පන්සිය පනස් ජාතක පොතේ කොතෙකුත් ඇත. මේ අරබයා නිවහල් ඇගයීමක් කළ පුරෝගාමියා මාර්ටින් වික්‍රමසිංහයෝය.
"මිනිස් සිත, වංචනික ධර්ම නමින් හැඳින්වෙන යටපත් වී සැඟවුණු ආශා හා වෙනත් ගූඪ චෛතසික ධර්මයන්ගෙන් නොතොර අග්නි භූධරයක් වැන්නක්ය" යන මතය නවීන මානසික විද්‍යාවේ ඇතුළු වූයේ ෆ්‍රොයිඩ් නමැති මානසික විද්‍යාඥයාගේ ආවිෂ්කරණයන් නිසාය. මනසෙහි මේ ගූඪ අංගය පැරණි බෞද්ධ භික්ෂූන් වහන්සේ දත්හ. ඔවුන් ඒ දැනුම ලබන්ට ඇත්තේ කර්ම වාදයත්, භාවනාවෙන් සිත නිර්මල කළ හැකි විධි අරභයා අභිධර්මයෙහි එන චිත්ත චෛතසික විභාගයත් අනුව සිතීමෙන් විය යුතුය."
"මිනිසෙකුගේ සිතෙහි අර ගූඪ අංගය නොහොත් යටි සිත ක්‍රියා කරන සැටි හෙළි කරන කතා වස්තු කිහිපයක් ජාතක පොතේ ඇත."
,(ජාතක කතා විමසුම ,38 , 39 පිටු)
"කාමය, ඊර්ෂ්‍යාව, තෘෂ්ණාව යන ආදි කෙලෙසුන්ට ආකර වන මිනිස් සිත බුද්ධියෙන් නොදැක්ක හැකි තරම් ගූඪ ධර්මයකි."
(ජාතක කතා විමසුම - 66 පිටුව)
මවිසින් රචිත 'ලිංගික ගැටලු - විද්‍යාත්මක විවරණයක්' ග්‍රන්ථයට පසු වදනක් සපයමින් මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වෙද ඇදුරාණෝ මෙසේ අවධාරණය කළහ.
"මානව ලිංගිකත්වය මිනිසා තුළ ස්වාභාවිකව ඇති වන ප්‍රාථමික අවශ්‍යතාවෙකැයි කිව ඒ සත්‍යයෙකි. එහෙත් ඒ සපිරීමෙහිලා අවශ්‍ය වන්නා වූ දැනුම් සම්භාරය මෙන්ම හැකියා සහ ආකල්ප ද ස්වාභාවිකවම ජනිත වෙතැයි සිතීම සාවද්‍යය.
"ඒ සියල්ල උගත යුතු වෙයි. වවා වඩා ගත යුතු වෙයි. එසේ උගත හැකි වන්නේ මාපිය, ගුරු, මහලු ඈ අයගෙන් පමණක් නොව ස්වභාවයාගෙන් මෙන්ම සමාජයෙන් ද වෙයි. මෙහි ලා සමාජය සතු වගකීමෙකි. ඒ, වැඩෙන දරුවකු හට අවශ්‍ය වන එවන් දැනුම්, හැකියා, ආකල්ප ඈ සියල්ල ලබාදීමේ මාර්ග සැපයීමයි.
" එයයි, ලිංගික අධ්‍යාපනය නැතහොත් පවුල් ජීවිත අධ්‍යාපනය යනු."
"නව යෞවනයේ සශ්‍රීකත්වය - ආසියානු තරුණ තරුණියන්ගේ ඇතැම් මනෝ ලිංගික ගැටලු" යන මාතෘකාවෙන් යුතු පර්යේෂණාත්මක ලිපියක් ඉංග්‍රීසි බසින් ලියූ එවක ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍යවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ මහාචාර්ය නන්ද,දාස කෝදාගොඩ වෙදැදුරාණන් එය ලන්ඩන් නුවර වෙල්කම් ආයතනයේදී කියවීය. මා ඉතා ළැදිව සමීපව ඇසුරු කළ ඔහුගේ ආරාධනයෙන්ම මම එය සිංහලටද නගා ලීමි.
මෙරට සමාජයේ ලිංගික ජීවිතය සම්බන්ධයෙන් දුර දක්නා නුවණින් යුතුව නිර්භයව ප්‍රසිද්ධියේ යෝජනාවක් ඉදිරිපත් කළ ගිහි බුද්ධිමතෙකු හා එය අනුදැන වදාළ පැවිදි බුද්ධිමතෙකු මෙවේලේ මට මතක් වෙයි. ඔවුන් දෙදෙනාගෙන් එක් බුද්ධිමතෙකු වන්නේ ආචාර්ය
ඒ.පී.ද සොයිසා මහාශයන්ය. බුද්ධ ධර්මය හා පාලි භාෂාව පිළිබඳ ප්‍රාමාණික ප්‍රාඥ සොයිසා මහතා එවක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ
සුදුවැල්ල කොට්ඨාසයේ මන්ත්‍රී විය. ඔහු එකී යෝජනාව ඉදිරිපත් කළේ එකල පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාවටය. අනික් බුද්ධිමතා වනාහි විචිත්‍ර ගුවන්විදුලි ධර්ම දේශකයෙකු වශයෙන් එකල රට පුරා තුඩ තුඩ රැවු දුන් කීර්ති නාමයක් ඇතිව වැජඹුණු පූජ්‍ය පිටකෝට්ටේ සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයෝය. ලෝහ ධර්මචක්‍ර ලකුණක් ගසන ලද බොනට්ටුවක් සහිත තම මොරිස් මයිනර් කාරයෙන් උන්වහන්සේ එකල ගුවන්විදුලියේ බණට වැඩ වදාළ සැටි මට අද මෙන් මතකය.
20 වන සියවසේ තෙවන දසකය වැනි ඈත කලකදී ඔවුන් දෙදෙනා එක හඬින් හඬ ගා කීවේ නීත්‍යනුකූල ගණිකා නිවාස පිහිටුවන ලෙසය. එහෙත් එහි එක් ප්‍රතිඵලයක් වූයේ මෙරට පහළ වූ විශිෂ්ට ගණයේ විද්වතෙක් වූ ආචාර්ය ඒ.පී. ද සොයිසා මහාශයාණන් ඊළඟ මැතිවරණයේදී පරාජයට පත්වීමය. කීර්තිධර ජනරංජන විචිත්‍ර ධර්ම දේශක පූජ්‍ය පිටකෝට්ටේ සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත එල්ල වුණු උග්‍ර විරෝධය නිසා උන්වහන්සේට නිහඬ වන්නට සිදුවීම අනික් ප්‍රතිඵලයයි.
බුදුන් වහන්සේ ධරමාන කාලයෙහි උන්වහන්සේගේ ශාසනයෙහි පැවිදිව හුන් භික්ෂු භික්ෂුණීන්ගේ කාම චර්යා ගැන ගෞරවාර්හ යක්කඩුවේ ප්‍රඥාරාම ස්ථවිරයන් වහන්සේ තම සඟිබණ 1 මැදුම් සඟිය 1 පොතට ලියූ සමන්නේසනාවෙහිලා මෙසේ තොරතුරු හෙළි කරති.
"උදායි භික්ෂුවගේ පරණ බිරින්දෑ භික්‍ෂුණී ආශ්‍රමයේ පැවිදිව සිටිදෑය. ඈ නිතර නිතරම උදායි තෙරුන් කරා යයි. උදායි භික්ෂුවත් නිතර නිතරම ඈ කරා යයි. ඈ ළඟදී අහර කිසද කරයි. අනුන්ට නොපෙනෙන රහස් තැන්වලද එක්ව හිඳිති.(පාචිත්තිය පාළි, රහෝනිසජ්ජසික්ඛාපද)
දිනක් උන්දෑ පරණ බිරින්දෑ කරා ගොස් ඈ ඉදිරියේ රහසඟ ඇරගෙන හුන්දෑය. භික්ෂුණීන්දෑත් උන්දෑ ඉදිරියේ රහසඟ ඇරගෙනම හුන්දෑය. එකිනෙකාගේ ඇස් සිත් එකිනෙක රහසඟ අහටම යොමු විය. ඔවුහු රාගයෙන් රත් වූහ. කාමයෙන් තෙත් වූහ. උදායි භික්ෂුවගෙන් කාම ධාතු පහ විය. උන්දෑ භික්ෂුණීන්දෑට මෙසේ කීදෑය.
'පලයන් සහෝදරී වතුර ගෙනෙන්. අඳනය සෝදාගන්ට වුවමනායි.'
භික්‍ෂුණීන්දෑ,
'නැහැ ස්වාමීනි, අඳනය මට දෙන්ට. මම සෝ්දන්නම්'
කියා රැගෙන ඒ අශූචි ටිකක් කටටත් ටිකක් රහසඟටත් ලාගත්දෑය. එයින් ඈ සිවුරේ සිටියදීම බඩ ගැබ්බර වෙලා මුළු ශාසනයටමත් මහ නව නින්දා කතන්දර ඇති විය. (පාරාජික පාළි 4 නිසඟිපචිති)
"ඡබ්බග්ගිය භික්ෂුණීහු තමන් ගැන භික්ෂූන්ගේ සිත් අලවා ගැනීමට, ඇද ගැනීමට, බැඳ ගැනීමට, ආශා කරවා ගැනීමට භික්ෂූන්ට මඩ වතුර ඉස්ස බවත් සිවුරු ඉවත් කරගෙන ඇඟ, තන්, කලවා, යෝනි ආදි නොපෙන්නිය යුතු තැන් පෙන්නන්ට පටන් ගත් බවත් මෙවුන්දම් ක්‍රියා ගැන නොයෙකුත් අන්දමේ කතා, කුණුහරුප බස් පවසමින් බරපතළ අන්දමේ නොමනා නෝබිනාකම්වලට භික්ෂූන් පොළඹවා ගන්නට උත්සාහ කළ බවත් භික්ෂූන් වෙනින් වෙනින් මාගමුන් සමග මෙවුන්දම් ක්‍රියාවල යොදවා ලූ බවත් පාවිත්තිය පාළි භික්ඛුනී විභංගයෙහි හා චුල්ලවග්ග පාළි භික්ඛුනී ඛන්ධකයෙහි සඳහන් වෙයි.
"ඡබ්බග්ගියාදි භික්ෂූන් භික්ෂුණීන් සමග කලින් කතා බහ කොට
පාගමන් නැව්ගමන් ආදිය සංවිධාන කරගෙන දෙවගය එකතු වී ගිය හැටිත් ඒ දුටු මහජනයා
'ඡී!ඡී! මෙ මහණුන් හරියට අඹු සැමියන් එකට එකතු වෙලා ගමන් බිමන් කරනවා වගේ මෙහෙණන් සමග හැසිරෙනවා'
කියමින් නින්දා කරන්ට පටන් ගත් හැටිත් ඉන් පසු ශික්‍ෂා පද පනවා එය තහනම් කළ විට තනිව මගතොටත් නැව්වලත් යන භික්ෂුණීන් අල්ලාගෙන චණ්ඩ පරුෂ මිනිසුන් දූෂණය කරන්ට පටන් ගත් නිසා ඒ නීති ලිහිල් කර භික්ෂුණීන්ට භික්ෂූන්ගේ ආරක්ෂාව ලබා නොදී බැරි තැනට කටයුතු සැලසුණු හැටිත් පාචිත්තිය භික්ඛුනී වග්ග 7, 8 ශික්ෂා පදවලින් පැහැදිලි වෙයි.
"නමුත් එය මහණ වෙලා භික්ෂු සංඝයා අතර සිටිමිනුත් කාම පිස්සුවෙන් ගෑනු පිස්සුවෙන් සිහි බුද්දිය විකල කරගෙන හුන් භික්ෂූන්ගේ පිස්සු වැඩවලට අනුබලයක් වීම බුදුරජාණන් වහන්සේටවත් වළකාලිය හැක්කක් නොවීය.
"එක්තරා මෙහෙණක් මහන ගොතන වැඩ ගැන මහ හපන් මහණෙකුව සිටි උදායි නම කරා සිවුරක් මහගන්ට ගිය විට ඔහු එය බාරගෙන සිවුර මසා පඬු ගසා ඒ මැද මෛථුන ක්‍රියාවක් අඩාළව ගිය ගැහැනු පිරිමි මිථුනයකගේ හැටියක් ප්‍රකට කරවන අන්දමේ සිත්තමක්ද ගෙත්තම් කොට නමා අකුළා තැබීය.
"පසුව මෙහෙණ පැමිණිලා,
'හිමියනි, මගේ සිවුර මැහුවාද?' කියා විචාළ විට
'ඔව් සහෝදරී, මේ චීවරය මා නමා තිබෙන අන්දමටම ගෙන ගොස් තබා අවවාද ලැබීමට පැමිණෙන දා
පොරවා ගෙන භික්ෂුණී සංඝයා පස්සේ අන්තිම තැනටම වෙලා එනු මැනවි'
"කියා බාර දුන්නේය.
"ඒ භික්ෂුණියත් ඒ සිවුර ඒ නැමූ වනින්ම ගෙන ගොස් තබා අවවාදයට එන දා පොරවාගෙන භික්ෂුණී සංඝයා පිටිපස්සටම වෙලා එන විට ඒ වල් චිත්‍රය දුටු මිනිස්සු කළකිරී කෝප වී,
'මේ මෙහෙණියෝ විළි ලැජ්ජා නැති මහ සල්ලාල වල් හැත්තක්. අර! අර! අන්න! පෙනෙනවානේ හැටි!'
"යනාදීන් බැණ වදිමින් ශාසනයටම මහ නරක නවනින්දා කතා කියන්ට වන්හ.(පාචි: චීවරසිබ්බන)
"ඝන වනාන්තරයේම නමුත් නිතර නිතර බැලීම සඳහා පැමිණෙන ජනී ජනයාගෙන් නිරන්තර වන තරමට මනහර මහ පන්සලක් තනාගෙන වනවාසීව සිටි උදායි ආයුෂ්මතුන්ගේ පන්සල බැලීම පිණිස බිරින්දෑත් සමග එක්තරා බ්‍රාහ්මණයෙකු ගිය අවස්ථාවකදී ඔහු දොර කවුළු එකිනෙක අරිමින් වහමින් ඉදිරියෙන් ගොස් අනික් පැත්තෙන් ඇවිත් බමුණා පිටිපසින් සිටි බැමිණියගේ අඟපසඟ අතපත ගෑ විත්තියක් පාරාජික දුතිය සංඝාදිසේස ශික්ෂා පදයෙහි එයි.
"විහාර බල බලා යන ගැහැනු සමූහයක් මේ මහා විහාරය දිහෑ ගිය දාක ඔහු පන්සල පෙන්නා ඒ ස්ත්‍රීන් සමග ඔවුන්ගේ වසමග පසමග පිළිබඳව ගුණ කියන්ටත් නුගුණ කියන්ටත් යාච්ඤා කරන්ටත් ආයාචනා කරන්ටත් අහන්ටත් කියන්ටත් පටන් ගත් අවස්ථාවේ ඒ පිරිසේ සිටි සල්ලාල වල් ගෑනු උදායි භික්ෂුව අල්ලාගෙන වල්පල් කතා කිය කියා උල්පන්දම් දෙමින් පොළඹවමින් සිනාසෙමින් විහිළු තහළු කරමින් විනෝද වූ බවක් හා ලැජ්ජා භය සහිත ශීලාචාර ස්ත්‍රීන් ,
',මේක හරි නෑ ස්වාමීනී! මෙහෙම කතා කරනවා සුදුසු නෑ ස්වාමීනි! මෙවැනි නෝබිනා කරුණු අපේ ස්‍වාමිපුරුෂයන් කතා කරනවාටවත් අපේ කැමැත්තක් නැහැ! ඉතින් උදායි සාමින්නාන්සේ මේ අන්දමේ දේවල් කතා කරන එක අපට කොහොම දරා උහුලා ඉන්ට පුළුවන්ද?'
යනාදීන් භික්ෂූන් ඉදිරියේ ඒ ගැන දොස් පරොස් බස් කී විත්තියක් පාරාජික පාළි තතිය සංඝාදිසේස ශික්ෂා පදයෙහි සඳහන් වෙයි.
"දිනක් උපාලි භික්ෂුව සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන අතර එක් මනහර රූප ශෝභාසම්පන්න
කනවැන්දුමියකගේ නිවසට පැමිණ පැනවූ අස්නක හිඳගත් විට ඈ ද ඇවිදින් වැඳ එකත්පස්ව හිඳ ගත්තාය. උපාලි භික්ෂුව මධුර මනෝහර ධර්මකථාවකින් ඇගේ සිත් සතන් පහදවාලීය. බණට හොඳ හැටිම පැහැදිලා ශ්‍රද්ධාභක්තියෙන් පිරී ගිය ඈ මෙසේ කීවාය.
'ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට අවශ්‍ය යමක් ඇත්නම් වදාළ මැනවි. අපට පුළුවනි සිවුරු ආදි සිවුපසයෙන් ස්වාමීන් වහන්සේට උවමනා දෙයක් සකස් කර පූජා කරන්ට.'
'නැහැ සහෝදරී ඒ සිවුපසයෙන් පිරිකරවලින් නම් අපට කිසිම හිඟයක් නැහැ. නමුත් සහෝදරී අපට දුර්ලභ දෙයක් තියෙනවා. ඒක පූජා කරනට.'
'මොකද්ද ස්වාමීන් වහන්ස?'
'මෙවුන්දමයි සහෝදරී.'
'උවමනාද ස්වාමීන් වහන්ස?'
'උවමනයි සහෝදරී.'
'හොඳයි, වඩිනු මැනවි ස්වාමීන්
වහන්ස.'
"උන්දෑ නිදන කාමරයට ගොස් ඇඳුම් බැඳුම් ලිහාදමා ඇඳේ උඩුබැලිව
නිදාගත්දෑය. උපාලි භික්ෂුනම ඈ ළඟට ගොස්,
' ඡී! මේ ගඳ ගහන කහළගොඩ ස්පර්ශ කරන්නේ මොන යකාද?'
කියා කෙළ ගසා පිටව ගියේය.( භික්ඛුවිභංග 4 සංඝාදිසේස)"
මෙරට බොහෝ මවුපියන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන්ද ලිංගික කරුණු සම්බන්ධයෙන් අවිද්‍යා අන්ධකාරයේ පසුවන්නන් බව ඔවුන් ගේ අදහස් උදහස්, ආකල්ප විකල්ප මගින් ම
දිගු කලක පටන් මම සෑම සතියක් නෑරම ජාතික ගුවන්විදුලිය ඔස්සේ ’පෙරවදන’ නමින් පොත්පත් හඳුන්වාදීම අරබයා වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියෙමි.
මෙරට වත්මන් ලේඛක පරපුර අතින් බිහිවෙන ඇතැම් කවි , ගීත , කෙටි කතා , නවකතා ආදි නිර්මාණ මගින් පීඩිත පන්ති හැඟීම , මානව දයාව , සටන්කාමිත්වය යන වෙසෙස් ගුණාංග ප්‍ර
ජගත්.ජේ.එදිරිසිංහයන් ෆේස්බුක් මගින් මගේ අවධානයට ලක් කළ විකාර වාක් ප්‍රයෝග පිළිබඳ සුලමුල විවරණය කරමින් මා වරක් එෆ්බීයට සැපයූ පිළිතුරු ලිපිය මගේ ’මතක ස
’ෆේස් බුක්’ මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි.
සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 96 වැනි වියට එළැඹෙණුයේ 2024 නොවැම්බර් 12 වැනි දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
කාමරාගය සහ බුදුන් වහන්සේ