'විහිළු තහළු' නිර්මාතෘ එච්.ඩී.විජේදාසයන් නොකියූ රහස්
නාඩගම් යුගයේ නූර්ති යුගයේ ග්‍රැමෆෝන් යුගයේ සිනමා යුගයේ මෙන්ම ගුවන්විදුලියේ මුල් යුගයේද විකට රසය නිපදවීමෙහි ලා නිරතව සිටි මෙරට ප්‍රකට විකට ශිල්පීන් එතෙක් අනුගමනය කළ ගතානුගතික සම්ප්‍රදාය ඉවත ලා නව්‍ය ආකල්පයකින් යුත් පරිණත ප්‍රහසන කලාවක් ගුවන්විදුලිය මගින් නමෝ විත්තියෙන් හඳුන්වා දුන් දුර්ලභ ගණයේ ප්‍රහසන කලාකරුවෙකු ලෙස එච්.ඩී.විජයදාසයන් හැඳින්වීම කවර වරදද? ඔහුගේ නෑඹුල් හාස නිර්මාණ ප්‍රයත්නය වන 'විහිළු තහළු' වැඩසටහන තත් ක්ෂණයකින් මෙරට උගත් නූගත් ශ්‍රාවකයන් දෙවග අතරම එක සේ අතිශය ජනප්‍රියත්වයට පත්වීමෙන් එය මනාව සනාථ වෙයි.
අමන අකට විකට සම්ප්‍රදායෙන් මිදී ගුවන්විදුලිය මගින් නව්‍ය පරිණත සාහිත්‍යමය ප්‍රහසන කලාවක් බිහි කිරීමෙහි ලා එච්.ඩී. විජයදාසයන් පුරෝගාමී වූයේ යම් සේද එම ප්‍රහසන කලාව පිළිබඳ අවබෝධයක් ඊළඟ පරම්පරාවට ලබාදීමටද ඔහු එසේම පුරෝගාමී වීම අතිශය ප්‍රශස්ත ප්‍රයත්නයකි.'හාස්‍ය නිර්මාණ කලාව' නමින් 2000 වසරේදී ඔහු පළ කළ මාහැඟි ග්‍රන්ථය ඊට ප්‍රත්‍යක්ෂ සාධකයකි. පරිණත ප්‍රහසන කලාවේ නිර්මාණ පක්ෂය මෙන්ම ප්‍රායෝගික පක්ෂයද අරබයා සිංහලෙන් ලියැවී ඇති එකම ග්‍රන්ථය විජේදාසයන් විසින් රචිත 'හාස්‍ය නිර්මාණ කලාව' කෘතිය ලෙස හැඳින්වීම කවර වරදද?
'හාස්‍ය නිර්මාණ කලාව' ග්‍රන්ථය ශාස්ත්‍රීය අගයෙන් යුත් කෘතියක් වීමට විශේෂ කරුණු දෙකක් එක සේ බල පා ඇතැයි යනු මගේ අවංක හැඟීමයි. ප්‍රහසන කලාව අරබයා විජයදාසයන් තුළ පැවති පරිණත දාර්ශනික ආකල්පය ඉන් පළමු වැන්නයි. මෙම වෙසෙස් චරිතාංගය වූකලී ලෝක විශ්‍රුත විශිෂ්ට ප්‍රහසන කලාකරුවෙක් වූ චාලි චැප්ලින් ප්‍රකට කළ දාර්ශනික ප්‍රහසන කලා ආකල්පය සිහියට නගන්නකි. ප්‍රහසන කලාවට අයත් රචන , රංගන හා වින්දන යන තෙවැදෑරුම් විෂය ක්ෂෙත්‍රයන්ම විශද වන විලාසයෙන් විජයදාසයන් තත් කෘතිය මගින් කරන ස්වතන්ත්‍ර සාහිත්‍යමය විග්‍රහය දෙවැන්න වෙයි. ඒ අනුව එච්.ඩී.විජයදාසයන්ගේ මෙම ප්‍රශස්ත කෘතිය වනාහි පරිණත ප්‍රහසන කලාව හඳුනා ගැන්මට හා හැදෑරීමට උනන්දුවක් ඇති අංකුර හා පරිචයෙන් යුත් ප්‍රහසන කලාකරුවන්ට මෙන්ම හාස්‍ය රස ලෝලී පොදු පාඨකයන්ටද එක සේ පලදායී ගුරු පොතක් ලෙස නොමසුරුව අගය කළ යුත්තකැයි මම ඉඳුරා පවසනු කැමැත්තෙමි.
තම නෑඹුල් ගුවන්විදුලි ප්‍රහසන වැඩසටහන වන 'විහිළු තහළු' නිපදවීමේදී පාදක කොට ගත් ගුරුඅරුත එච්.ඩී.විජදාසයන් යථෝක්ත කෘතියේ පෙරවදන මගින් නියත ලෙස හෙළිකර සිටින්නේ මෙසේය.
"එවකට සිටි වෙනත් ගුවන්විදුලි විකට වැඩසටහන් නිෂ්පාදකයන්ගේ මගින් බැහැරව යමින් පොදු ජනතාවගේ අයිතිවාසිකම් ඕනෑ එපාකම් සොයා බැලීම, එසේම මහජන මුදලින් යැපෙන රජයේ ඇතැම් නිලධාරීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දේශපාලනඥයන්ගේ මහන්තත්තකම් මෝඩකම් අගතියෙන් තොරව හෙළි කිරීම 'විහිළු තහළු' වැඩසටහනේ පරමාර්ථය විය. නින්දා අපහාස ආදියෙන් තොරව වරද කරන තැනැත්තාටත් වින්දනයක් ලබාදීම වැඩසටහනේ දර්ශනය විය. උසස් නිලධාරීන් වරප්‍රසාද ලදුවන් දේශපාලකයන් ආදීන් ගැන ගුවන් විදුලියේ වැඩසටහනක සඳහන් කිරීමම පංචානන්තරිය පාපකර්මයක් හැටියට සලකා දැඩි දඬුවම් ලබාදීම පිළිවෙත කරගත් බලවතුන්ද සිටිය නිසා 'විහිළු තහළු' වැඩසටහනට මහත් අපල උපද්‍රව වලටද මුහුණ පෑමට සිදුවිය."
1953 පැවති හර්තාලයේදී පොලිස් වැඩ පහරින් සිදුකළ මනුෂ්‍ය ඝාතනවල ප්‍රතිඵලයක් වශයෙන් එවක මෙරට පාලන භාරය දැරූ අගමැති ඩඩ්ලි සේනානායකයෝ තම තනතුර හැර දා ගියහ. අනතුරුව අගමැති පදවියට පත් වූයේ සර් ජෝන් කොතලාවලයන්ය. එකල පැවති සුප්‍රකට බැං ඩුං සම්මේලනයට ලංකාවේ අගමැතිවරයා ලෙස සහභාගී වූ සර් ජෝන් කොතලාවලයන් එහිදී ප්‍රකට කළ අමනෝඥ ක්‍රියා කලාපය නිසා ඔහුට රට තුළ උග්‍ර විවේචනයට හා සරදමට ලක් වීමට සිදුවිය. ' බැං ඩුං ගිය වීරයා ආසියාවෙ මෝඩයා' යනුවෙන් එකල විරුද්ධවාදීන්ගේ තුඩ තුඩ රැවු දුන් නින්දා පදය තවමත් මගේ මතකයේ නොනැවතී පිළිරැවු දෙයි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට නොහොබනා ලෙස අසංවර චණ්ඩි විලාසයෙන් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ අවිචාර වහසි බස් නිසා ඒ වන විට කොතලාවල අගමැතිවරයා ජනතාව අතර උග්‍ර ගර්හාවට හා අන්ත අපකීර්තියට පත්ව සිටි අයුරු දැනුදු මගේ සිහියට නැගීම කෙසේ වළකම්ද?
යූඑන්පියෙන් විරුද්ධ පක්ෂයට ගොස් 'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය' පිහිටුවා ගත් එස්.ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරනායකයන් කොතලාවල ආණ්ඩුව විසුරුවා හැරීමෙන් පසු වාමාංශිකයන් හා සෙසු ප්‍රගතිශීලීන් සමග එක්ව 'මහජන එක්සත් පෙරමුණ' ගොඩනගාගනිමින් මැතිවරණ සටනට එළඹ සිටි අවදියයි ඒ. එදා බණ්ඩාරනායකයන්ගේ මුඛ්‍ය දේශපාලන සටන් පාඨය වූයේ 'පැය 24න් සිංහල භාෂාව රජයේ භාෂාව කරමි' යන්නය. ඊට එරෙහිව කොතලාවල අගමැතිවරයා කළ අවඥා සහගත ප්‍රකාශය වූයේ 'සිංහල භාෂාව රජයේ භාෂාව කරන්න යන එවුන් කොච්චින්ට ජාතක වෙච්ච උන්' යන්නය. මේ සාහසික ප්‍රකාශයේ අනිවාර්ය ප්‍රතිඵලය වූයේ කොතලාවල අගමැතිවරයා ඒ වන විටත් අත්පත් කරගෙන සිටි අන්ත අපකීර්තිය උග්‍ර ජනතා කෝපාග්නියක් ලෙසට ඇවිිළ යෑමය. රට වටේ රැස්වීමක් රැස්වීමක් ගානේ ඔහු කරගෙන ගිය මේ ගර්හිත ප්‍රකාශය එදා පාසල් සිසුවෙකුව සිටි මා කනින්ම අසා සිටියේ කළුබෝවිල ලයිට් මෝල හන්දියට නුදුරුව බොතේජු වත්තේ (අද මෙහි පිහිටුවා ඇත්තේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලය.) පැවති යූඑන්පී රැස්වීමකදීය. බණ්ඩාරනායකයන්ගේ සිංහල භාෂා සටන් පාඨයෙන් පිබිද සිටි භාෂා ප්‍රේමී ජනතාව නොනවතා නැගූ හූ හඬ මධ්‍යයේ වසා ගත් වීදුරු සහිත නිල රියට නැඟී එම නිල රියට මිනිසුන් බුලත් කෙළ ගසනු දකිමින්ම එදා කොතලාවල අගමැතිවරයා පිටව ගිය අයුරු දැනුදු මගේ මනසේ එසේම දිස්වන්නේ සජීව සිනමා ජවනිකාවක් ලෙසිනි.
දසතින් විවේචනයට හා සමච්චලයට ලක් වුණු බැං ඩුං සම්මේලන සිද්ධිය උපහාසයට ලක් කරමින් 'විහිළු තහළු' වැඩසටහනක් කිරීමට එදා විජේදාසයන් පෙලඹීම කවර අරුමයක්ද? කල දුටු කල වළ ඉහ ගන්නා සතුරු ගුවන්විදුලි සගයන්ගේ දුෂ්ට කුමන්ත්‍රණවල අනිෂ්ට ප්‍රතිඵලයක් වශයෙන් විජයදාසයන් කොතලාවල අගමැතිවරයාගේ උග්‍ර උදහසට ගොදුරු වීම නොවැළකිය හැකි දුර්විපාකයක් විය. තම 'හාස්‍ය නිර්මාණ කලාව' පොතේ පෙරවදනෙහි ලා එම කටුක අත්දැකීම නොවළහා හෙළි කර සිටින ඔහුගේ මේ වදන්වලට සවන් දෙමු.
" නියෝගය අනුව අදාළ වැඩසටහන ඇතුළත් පටිය රැගෙන අගමැතිතුමාගේ කඳවල නිවසට ගියෙමි. සැඩ පරුෂ ලෙස මා පිළිගත් අගමැතිතුමා පටිය වාදනය කිරීමට අණ කළේය.
"නිසගයෙන්ම පිහිටි දේශානුරාගයත් 'විහිළු තහළු' වැඩසටහන කෙරෙහි මා තුළ ඇති අසීමිත කැපවීමත් සමග ඇතිවූ විපිළිසර බව හැරුණු විට අංශුමාත්‍රයක භයක් මා තුළ ඇති නොවීය. මම නිසලව සන්සුන්ව පටිය යන්ත්‍රයට දමා වාදනය වීමට සැලැස්වූවෙමි. නිනව්වක් නැතිවාක් මෙන් පළමු විනාඩි කීපයට කන් දුන් කොතලාවල අගමැතිතුමා පසුව සුව පහසු අසුනක් සමීප කරගෙන හාන්සි වී දෙනෙත් පියාගෙන කන් යොමාගෙන සිට වාදනය අවසන් වූ වහාම ඉද්ද ගැසුවාක් මෙන් නැගී සිටියේය. "Very good programme. What do you want?" ඉංග්‍රීසියෙන් ඇසුවේය. නිවසට ආ හැටියේම කථා කළ හැටි සිහියට ආ නිසා ඇතිවූ ආත්ම ගෞරවය සහිත අභිමානය ආයාසයෙන් යටපත් කර ගනිමින් කිසිවක් අනවශ්‍ය බව ප්‍රකාශ කළෙමි. " එහෙනම් මොකුත් බොනවද?" එයද ආචාරශීලීව ප්‍රතික්ෂේප කළ මම කඳවල වලව්වෙන් පැන ගතිමි. ආපසු කාර්යාලයට පැමිණි විට වැඩසටහන නැවත ප්‍රචාරය කිරීමටත් අවසර දුන් බවත් ප්‍රශංසාත්මක සටහනක් පෞද්ගලික ලිපි ගොනුවට එක් කිරීම සඳහා පසුව එවන බවත් අගමැතිතුමා කී බව ගුවන්විදුලියේ ස්වදේශීය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් දැනගන්නට ලැබිණ."
කොතලාවල අගමැතිවරයාගේ යූඑන්පිය අටට බස්සමින් 1956 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ගේ 'මහජන එක්සත් පෙරමුණ' අත් පත් කරගත්තේ විජයග්‍රහණයකි. ඉන්පසු පිහිටුවන ලද ඇමති මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව පැවති උත්සවයේදී බණ්ඩාරනායක අගමැතිවරයා කිරිබත් කැවුම් කෙසෙල් ගෙඩි හැඳි ගෑරුප්පුවලින් කෑමේ සිද්ධිය නිර්දය විවේචනයටත් අවඥාවටත් ලක්ව ගියේ එකල පුවත්පත් එය ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස හෙළි කිරීමේ පල වශයෙනි. බණ්ඩාරනායකයන් අගමැති වීමත් සමග එළැඹි සිංහල අවුරුදු දින ඔහු රෝස්මිඩ් මන්දිරයේ තම කුඩා දරු තිදෙන හා මැතිනිය සමග හැඳි ගෑරුප්පුවලින් කිරිබත් කැවුම් කන දසුනද එකල පුවත්පත් මුල් පිටුවල පළ කළ අයුරු මට මෙවේලේ සිහියට නැගෙන්නේ ඉබේය.
මෙම සිද්ධිය දෙවැනි වූයේ එකල කොතලාවල අගමැතිවරයා පැවැත්වූ එක්තරා සාදයකදී වසු පැටවෙකු පුලුස්සා කෑමේ (Barbecue)සිද්ධියට පමණි. එදා පුවත්පත් පින්තූරත් සමග හෙළි කළ එම පුවත නිසා මුළු රටේම බෞද්ධ ජනතාව කම්පාව යෑම කවර අරුමයක්ද? කොතලාවල අගමැතිවරයාගේ අන්ත පරාජයටද එය මහත් සේ බල පෑ බැව් නිසැකය. කොතලාවල අගමැතිවරයා කුප්‍රසිද්ධ වීමට එම භෝජන සංග්‍රහය බලපෑවද ඔහු සුප්‍රසිද්ධ වීමටද එක්තරා භෝජන සංග්‍රහයක් බල පෑ බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. එය වනාහි කඳවල වලව්වට එන අමුත්තන් වෙනුවෙන් ඔහු නිතර පිරිනැමූ බිත්තර ආප්ප සංග්‍රහයයි. හා හපුරා කියා බිත්තර ආප්පය ජනප්‍රිය ආහාරයක් කිරීමේ පුරෝගාමියා ඔහු මිස අනෙකෙක් නොවේ.
"පැය විසි හතරෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරම්හ"යි යන උත්තේජක සංස්කෘතික සටන් පාඨයේ බලමහිමයෙන් රාජ්‍ය නායක පදවිප්‍රාප්ත බණ්ඩාරනායක අගමැතිවරයා කිරිබත් කෑමේදී විදහා පෑ සංකර අනුභව විලාසිතාව දැක එදා මෙරට පොදු ජනයා කිපුණේ තමන්ගේ අගමැති තමන්ගේ එකෙකු නොව පිට එකෙකැයි යන හැඟීම ඔවුන් තුළ ඉබේම ඉස්මතු වීමේ නියත පලයක් ලෙස බැව් නිසැකය. මේ සමාජය තුළ ගැඹුරට මුල් බැස ඇති සංස්කෘතික අධ්‍යාත්මයක් උරුම කොට සිටි විජේදාසයන් පොදු ජනයාගේ එම විරුද්ධවාදයට තම 'විහිළු තහළු' වැඩසටහන මගින් ප්‍රතික්‍රියා දැක්වූයේ තියුණු උපහාස මුඛයෙනි. එහි අනිවාර්යය ආදීනවයක් හැටියට තමාට මුහුණ පෑමට සිදුවූ ව්‍යසනය ඔහු තම'හාස්‍ය නිර්මාණ කලාව' පොතේ පෙරවදනෙහි ලා බලවත් සංවේග ස්වරයෙන් නොසඟවා හෙළිකර සිටින්නේ මෙසේය. එය බැංඩුං ආදීනවයට කිසි සේත් දෙවැනි නොවන්නකි.
" බණ්ඩාරනායක අගමැතිතුමාටත් නව රජයටත් අපහාස කර ඇති නිසා වගකිවයුත්තන්ට වහාම නිසි දඬුවම් දෙන්නැයි එවක කැලණිය නියෝජනය කළ විමලා විජේවර්ධන මැතිනිය ගුවන්විදුලි කටයුතු භාර ඇමති සී.ඒ.එස්. මරික්කාර් මහතාගෙන් තරයේ ඉල්ලා සිටියාය.
"ගුවන්විදුලියෙන් විජයදාස වහාම ඉවත් කළ යුතු යැයි කියැවුණ ඇමති නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හරින ලද යන චෝදනාව මත එම්.ජේ. පෙරේරා මහතාට ගුවන්විදුලි අධ්‍යක්ෂක ජනරාල් පදවිය හැර යාමට සිදුවූ බව පසුව දැනගන්නට ලැබුණි.
"අපරාධකරුවෙකු හැටියට තවත් වරක් විනිශ්චයකරුවන් ඉදිරියේ පෙනී සිටීමට මට සිදුවිය. මගේ හෘදය සාක්ෂිය වැනි වැඩසටහන ඇතුළත් පටිය හා වාදනය කරන යන්ත්‍රයත් සමග විනිශ්චයකරුවන් ඉදිරියේ ගරු සරු ඇතිව පෙනී සිටියෙමි.
"විනිශ්චය මඬුල්ල සමන්විත වූයේ ශ්‍රී ලංකාවේ පළමු වැනි සංස්කෘතික කටයුතු භාර ඇමතිවර ජයවීර කුරුප්පු මහතා සහ එම විෂයම බාර උප ඇමතිවර විමලා විජේවර්ධන මැතිනියගේ බෑනණුවන් වූ සී.ආර්. බෙලිගම්මන මහතා යන දෙදෙනාගෙනි. පටිය වාදනය විය. ඇමති දෙපළ හාවක් හූවක් නැතුව කන් දුන්හ. අවසානයේ සංස්කෘතික කටයුතු භාර ඇමතිතුමා කථා කළේය. කියන්න කිසිම වරදක් නෑ. වැඩසටහන අගෙයි. කියා සිය උප ඇමතිවරයා දෙස බැලුවේය. එතුමා හිස වනා එය අනුමත කළේය."
එච්.ඩී.විජයදාසයන් හාස්‍ය රස ජනනය සැලකුවේ හුදු ජන මන පිනවන විනෝද මාර්ගයක් ලෙසම නොවේ. ඔහුට එය සමාජ විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක දාර්ශනික අංග සංගත ගැඹුරු විෂයක් විය. දැන හෝ නොදැන වැරදි කරන නොමිනිසුන් යළි නිවැරදි මිනිසුන් බවට පත් කළ හැක්කේ උපහාසයෙන් මිස අපහාසයෙන් නොවන බව ගැඹුරින් වටහාගෙන සිටි මානව ප්‍රේමියෙකු ලෙස විජයදාසයන් හැඳින්වීම කවර වරදද? ඔහුගේ 'විහිළු තහළු' වැඩසටහන එම වෙසෙස් ගුණාංගය ඉඳුරා පිළිබිඹු කරන අගනා කැඩපතක් වැන්න. විද්‍යාලංකාර පිරිවෙනේ නිරන්තර ඇසුර විජයදාසයන්ට අනන්ත ඉසුරක් විය. තම මව් බසට අයත් සම්භාව්‍ය සාහිත්‍යය ඔහුගේ අධ්‍යාත්ම උරුමයක් වීම එහි ඉෂ්ට ඵලයකි. පණ්ඩිත ජන සාහිත්‍යයේ මෙන්ම පොදු ජන සාහිත්‍යයේද රස ගුණ එකට මුසු වුණු උසස් රුචියක් ඔහු සතු විය. ඔහු හාස්‍ය රසය නිපදවූයේ එය ශාස්ත්‍රීය සාහිත්‍ය විෂයක් ලෙස ළැදිව හැදෑරීමෙනි. පඬි වහරින් මෙන්ම ජන වහරින්ද රැස් කරගත් යෙදුම් වදන් මෙන්ම මුකරි කියමන් හා රස කවිද ඔහුගේ අත් අකුරෙන්ම කොපි කර ගත් කෝෂග්‍රන්ථයක් වැනි ලොකු මොනිටර් ඇක්සයිස් පොතක් දිනක් ඔහු ගුවන්විදුලියේදී මට පෙන්නූ අයුරු මෙවේලේ මගේ සිහියට නැගෙයි.
එච්.ඩී.විජයදාසයන් සත්පුරුෂ සාහිත්‍යකරුවෙකි. සුන්දර රසිකයෙකි. එසේම අතිශයින් ලයාන්විත මධුර ස්වරයෙන් කවි ගායනයෙහි කෝවිදයෙකි. කවි ගායකයන් තේරීම සඳහා 1952 ගුවන් විදුලිය පැවැත් වූ මුල්ම පරීක්ෂණයෙන් විශිෂ්ට ලෙස සමත් වූයේ එච්.ඩී.විජේදාස, මර්වින් සේනාරත්න, එම්.ජී. සමරසේකර, ධර්ම ශ්‍රී ජේ දහනායක, සුමනා ජයතිලක යන පස් දෙනාය. පසු කලෙක මහගම සේකර නමින් යළි ඉපදුණු එම්.ජී. සමරසේකරයන් හා එච්.ඩී. විජයදාසයන් කවි ගායනයෙහි කෝවිදයන් බව ඔවුන්ගේ දිවි හිම් තෙක්ම අතිශය අප්‍රකට රහසක් විය.
කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැරණි එළිමහන් කරළියේ වරක් ගුවන්විදුලි සංවත්සර සමරු උලෙළක් පැවැත්වුණි. එදා එම කරළිය වටා වූ තණ බිමෙහි තනා තිබුණු පඩි පෙළ මත වාඩිවී සිටි දෙනෝ දාහක් නරඹන්නන් අතර මමද වීමි. එහිදී ඉදිරිපත් වුණු එක් රසාංගයක් සඳහා එකල ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹුණු ගුවන්විදුලි ශිල්පියෙක් නරඹන්නන් ඉදිරියේ පෙනී සිටියේය. අත්පොළසන් හඬින් මුළු රඟබිමම ගිගුම් ගැන්වුණි. ඒ පෙනී සිටියේ එච්.ඩී. විජයදාසයන්ය. එදා ඔහු එක්තරා ගැමි පෙම් පුවතක් හෙළි කරමින් ප්‍රේක්ෂකයන් අබිමුවේ ගැයූ රස වෑහෙන කවිය තවමත් මගේ මතකයේ ඒ ලයාන්විත මධුර ස්වරයෙන්ම නින්නාද වීම කවර අරුමයක්ද? විජයදාසයන්ගේ ඒ රස කතාවෙන් සහ කවියෙන් මේ මතක සටහන් අවසන් කරන්නේ ඔහු කෙරෙහි මා තුළ පවත්නා අපමණ බුහුමනින් හා සෙනෙහසිනි.
එක්තරා ගැමි තරුණයෙක් තම ඇවැස්ස නෑනා සමග දැඩි සේ පෙමින් වෙළී සිටියි. ඔහුගේ නැන්දා එය තදින්ම නුරුස්සයි. දිනක් පෙම්වතා පෙම්බර නෑනා දැකීම සඳහා නැන්දාගේ ගෙදරට යයි. එවේලේ තම දුව සමග එළියේ සිටි නැන්දා බෑනා වත්තට ඇතුළු වනු දුටු සැණින් දුව වහා ගෙතුළට යවයි. ප්‍රේමාවනද්ධ තරුණ මස්සිනා එය දකියි. ඔහුගේ සිත මහත් සේ සසලව යයි. තරුණ පෙම්වතා කවියෙකි. ඔහුගේ මුවින් මේ කවිය ගිලිහුණේ ඉබේය.
තරුව තියෙන්නේ හැමදාමයි lනැන්දේ
හෙරලි තියෙන්නේ තුන් මාසෙයි නැන්දේ
නුඹෙ අයියගෙ පුතා මං නේදැයි නැන්දේ
පැණි වරකා බෑය ඇයි හැංගුවෙ නැන්දේ
පෙම්වතාගේ නැන්දාද කිවිඳියකි. තමා කළ ක්‍රියාව බෑනා දුටු බැව් තේරුම් ගත් ඇගේ පිළිතුරු කවිය සැණෙකින් බෑනාගේ කනට පිළිපන්නේ නිතැතිනි.
අයියගෙ පුතා නුඹ බව සැබවයි
බෑනෝ
ඇඟිලි ගගහ නුඹ මෙහෙ ඇවිදින්
බෑනෝ
කොහොල්ලැ ගා ගනියි කියලා මම
බෑනෝ
පැණි වරකා බෑය ගෙයි හැංගුව
බෑනෝ
බෑනාගේ පිළිතුරද ඔහුගේ මුවින් ගිලිහුණේ එසැණිනි.
පින් ඇති නැන්දේ මේ අහපන්නේ
නුඹෙ දුවමයි මගෙ හිත ඉල්ලන්නේ
දුව දුන්නෝතින් කුසලක් වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ
මා මාර්ටින් වික්‍රමසිංහ මහාශයන්ගේ ආවේශාත්මක වූත් ආස්වාදාත්මක වූත් සමීප ආශ්‍රය ලබමින් විසූ භාග්‍ය සම්පන්න සමයේ එක්තරා අවස්ථාවක මම ඔහුගෙන් මේ පැනය වි
ඇස්. පියසේන (සේනාධීර පියසේන) නම් බහුශ්‍රැත හා පරිණත මාධ්‍ය විශාරදයාණන් සමග ඉතා ළංව ඇසුරු කිරීමට ලැබීම මගේ පරම භාග්‍යයකි. අනූ වියද ඉක්ම මියෙන තෙක්ම පැහැද
සංස්කෘත භාෂාවේ එන ’මන්’ ධාතුව හෙවත් ක්‍රියා මූලය කෙරෙන්, ’දැනගැනීම’, ’සිතීම’, ’මැනීම’, ’සලකා බැලීම’, ’ගරු කිරීම’, ’ආඩම්බර වීම’, යන අර්ථ සූචනය වෙයි.
අනාදිමත් කාලයක පටන් අද්භූත චරිතයක් ලෙස නිරූපිත බුද්ධ චරිතය යථාර්ථවාදී උත්තම මානව චරිතයක් ලෙස නිරූපණය කරමින් මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ’බ
(සැට වස් ඉක්මවන මියුරු මිතුරු ඇසුරකට උරුමකම් කියන මගේ ළබඳ සකිසඳ ඩබ්ලිව්.ජයසිරි කලාකරුවාණන්ගේ හදිසි දිවි අබිනික්මන නිමිතිකොට සසල හදින් ලියැවෙන මතක වත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුවන්විදුලි හාස ඉතිහාසය (2)