ආරම්භක අවධියේ ලංකා ගුවන් විදුලිය ඔස්සේ ගුවන්විදුලි නාට්‍ය ප්‍රචාරය කළ ශිල්පීන් සහ නාට්‍ය සංගම් අතර තැපැල් හා විදුලි සංදේශ නාට්‍ය සංගමද විය. ලංකා ගුවන් විදුලිය මගින් මුලින්ම හාස්‍ය වැඩසටහන් ප්‍රචාරය කිරීම පිළිබඳ ගෞරවය හිමි වන්නේ එකී තැපැල් හා විදුලි සංදේශ නාට්‍ය සංගමයේ ඒ. ඒ. පෙරේරා මහතාටය. හාස්‍ය වැඩසටහන් මගින් පොදුජන රසවින්දනය සැපයීමෙහි ලා එකල සුලබව කෙරුණේ විවිධ හාස්‍ය ජවනිකා ලියා ඒවා ග්රැමෆෝන් තැටිවලට නැගීමය. ඒවා අසා රස විඳීමටත් එමගින් විනෝදාස්වාදයක් ලැබීමටත් වාසනාව ලැබුණේ ග්‍රැමෆෝන් යන්ත්‍ර හිමියන්ට මිස පොදු ජනයාට නොවේ. ග්‍රැමෆෝන් යන්ත්‍ර ඇති තැන්වලට ළං වීමේ අවස්ථාව ලද අතළොස්සකට ඒ වරප්‍රසාදය හිමි වන්නට ඇත. එසේ හෙයින් එදා ලංකා ගුවන් විදුලිය ඔස්සේ හාස්‍ය වැඩසටහන් ප්‍රචාරය කිරීමෙන් මෙරට ශ්‍රාවක ජනතාවට රසයක් හා විනෝදාස්වාදයක් අත්පත් කර දීමට බලධාරීන් උනන්දුවීම ප්‍රශස්ත ප්‍රයත්නයකි.
තැපැල් හා විදුලි සංදේශ නාට්‍ය සංගමයේ ඒ. ඒ.පෙරේරා මහතා ගුවන්විදුලි හාස්‍ය වැඩසටහන් ප්‍රචාරය කරන කාලයේ දොන් බෙනඩික්ට් නම් ශිල්පියාද වරින් වර ගුවන්විදුලි හාස්‍ය වැඩසටහන් සැපයීය. ඔහු එකල ග්රැමෆෝන් තැටිවලට හාස්‍ය ජවනිකා සැපයූවෙකි. පැරණි ගුවන්විදුලි හාස්‍ය ශිල්පීන් අතර මොරටුවේ රොමානිස් පෙරේරා, පැරණි නාඩගම් ශිල්පියෙක් වූ ජාඇල කුඩහකපොළ විසෙන්ති පෙරේරා, පානදුරේ ආතර් පෙරේරා, පානදුරේ දොන් ස්ටීවන් උඩවත්ත, එඩී යාපා යන නම් සුප්‍රකටය. එකල ලේක් හවුස් පුවත්පත්වල සේවය කළ නිර්මාණශීලී ඡායාරූප ශිල්පියකුව සිටි වින්සන්ට් වීරසේකර සහ හැරියට් සුරවීර යන දෙදෙනා කලක පටන් නිරන්තරයෙන්ම ගුවන් විදුලිය ඔස්සේ හාස්‍ය වැඩසටහන් ඉදිරිපත් කළහ. එකල 'කොළඹ අප්පුහාමි' ලෙසින් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේද තුඩ තුඩ රැව් දෙන කීර්තිනාමයක් අත්පත් කරගෙන සිටියෙකි වින්සන්ට් වීරසේකරයෝ. මුල් අවධියේම ගුවන්විදුලියට පිවිසුණු තවත් ශූර හාස්‍ය ශිල්පියෙකු ලෙස ජෝෂප් සෙනවිරත්නයන් හැඳින්විය හැකිය. එක්දහස් නවසිය හතළිස් ගණන්වලදී එවකට සුප්‍රකටව සිටි අති දක්ෂ හාස්‍ය නළුවෙක් ගුවන්විදුලි හාස්‍ය ශිල්පියෙකු ලෙස කලඑළියට පැමිණියේය. ඒ එඩී ජයමාන්නයෝය. ඔහු තම ගුවන් විදුලි හාස්‍ය වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී රුක්මණී දේවිය මෙන්ම හෙක්ටර් එදිරිසිංහද සහාය කර ගති.
ඒ අතර 'ඒක මේක' සහ 'වටින් පිටින්' නමින් අලුත් ආරේ වැඩසටහන් දෙකක් ප්‍රචාරය කිරීම ගුවන්විදුලිය ආරම්භ කළේ එක්දහස් නවසිය හතළිස් දෙකේ පමණය. මේ වැඩසටහන් දෙකම ඉදිරිපත් කරන ලද්දේ කෘතහස්ත ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු මෙන්ම වැඩසටහන් සම්පාදකවරයෙක්ද වූ ජේ. විජේවීර මහතා විසිනි. සඟරාවක ස්වරූපයෙන් සකස් වුණු මේ වැඩ සටහන්වලටද නිතර නිතර හාස්‍ය ජවනිකා හා හාස්‍ය නාට්‍ය ඇතුළත් කිරීම කෙරෙහි විජේවීරයෝ වෙසෙස් උනන්දුවක් ගත්හ. ගුවන් විදුලිය ඇරඹූ හාස්‍ය රසය ප්‍රධාන කොටගත් විනෝදාස්වාද ව්‍යාපාරයට ඔහු දායක වූයේ එලෙසිනි.
කලින් සිටි යුරෝපීය අධ්‍යක්ෂ ජනරාල්වර ජෝන් එන්. ලැම්ප්සන් මහතාගේ රාජකාරි සමය 1952 අගෝස්තු පස් වන දායින් අවසන් වීමත් සමගම ලංකා ගුවන් විදුලියේ ඇම්. ජේ. පෙරේරා ලාංකික අධ්‍යක්ෂ ජෙනරාල් යුගය උදාවිය. එහි ඉෂ්ට ප්‍රතිඵලයක් වූයේ ගුවන් විදුලියේ එතෙක් පැවති වැඩසටහන් පද්ධතිය මුළුමනින්ම වාගේ ප්‍රතිව්‍යුහගත වීමය.
මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයන් හට හාස්‍ය රසය හා විනෝදාස්වාදය ලබාදීමේ අරමුණෙන් ආරම්භයේ සිට ප්‍රචාරය කරගෙන ආ හාස්‍ය වැඩසටහන්වල අන්තර්ගතයේ හා ආකෘතියේ වෙනසක්ද ඇම්. ජේ. යුගයේදී සිදුවීම වැදගත් පරිණාමයකි. ප්‍රගති පියවරකි. මා එසේ පවසන්නේ එමගින් විනෝදාස්වාදය සැපයීම සමගම නිර්භය සමාජ විචාරයක්ද සිදුකෙරුණු බැවිනි. ඇම්. ජේ. පෙරේරා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාණන්ගේම යෝජනාවක් අනුව ගුවන්විදුලිය 1954 වසරේ 'විහිළු තහළු' නමින් ඇරඹූ අපූර්ව ස්වරූපයේ හාස්‍ය වැඩසටහන ඊට ප්‍රත්‍යක්ෂ සාක්ෂියකි. එහි ගෞරවනීය නිර්මාතෘවරයාණෝ වනාහි ගුවන් විදුලිය බැබළවීමට නොමසුරුව තම දුර්ලභ කුසලතා කැප කළ විශිෂ්ට ගුවන්විදුලි පෞරුෂ්‍යයක් වූ එච්. ඩී. විජේදාසයෝය.
එච්.ඩී.විජයදාසයන්
(හෙයියන්තුඩුවගේ දොන් විජයදාස)ජන්ම ලාභය ලැබුවේ හෙයියන්තුඩුවේ දේවමිත්‍ත පෙදෙසේදීය. මූලික අධ්‍යාපනය හෙයියන්තුඩුවේ රජයේ පාසලෙනි. ඉන්පසු අධ්‍යාපනය ලද්දේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මගින් පාලනය වුණු කැලණියේ ධර්මාලෝක විද්‍යාලයෙන් හා ගුරුකුල විද්‍යාලයෙනි. එකල ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පති තනතුර දැරුවෝ කීර්තිධර පුවත්පත් කතුවරයෙක් වූ ඩී.බී ධනපාල මහාශයෝය. විජේදාසයෝ ධනපාලයන්ගේ මුල්ම ධර්මාලෝක ශිෂ්‍යයන් අතරින් දීප්තිමත් ශිෂ්‍යයෙකි. අනාගත ගුවන්විදුලිය ජ්වලමාන කිරීමට සමත් නිසර්ග සිද්ධ උපනිශ්‍රයෙන් සමන්විත තවත් ශිෂ්‍යයෝ තිදෙනෙක් ධර්මාලෝක විද්‍යාලයාධිපති ඩී.බී. ධනපාල මුල් ශිෂ්‍ය අස්වැන්න අතර වූහ. විජේදාසයන්ගේ සමකාලීනයන් වූ ඔවුහු වනාහි ආනන්ද සරත් විමලවීර, ශ්‍රීපාලි වයමන් සහ ආනන්ද සිරිසේන යන කීර්තිමත් ගුවන්විදුලි චරිතයෝය. ධනපාලයන්ගේ ධර්මාලෝක ශිෂ්‍ය පරපුරේ විශිෂ්ටත්වය වූයේ සිංහල භාෂා සාහිත්‍යය මෙන්ම ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය විෂයෙහිද ඔවුන් එක සේ අත්පත් කරගත් ව්‍යක්ත භාවයයි. ගුවන්විදුලිය බැබළවීමෙහි ලා ඔවුන් සතුව පැවති එම ද්වි භාෂා ඥානය අමිල සම්පතක් වූ බැව් ඒකාන්තය.
පසු කලෙක නිදහස් චතුරස්‍ර පරිශ්‍ර ගුවන්විදුලි ආයතනය කීර්තිමත් කළ විජේදාසයන් ස්වකීය ගුවන්විදුලි ශිල්පී චාරිකාව ආරම්භ කළේ මුල් අවධියේ බොරැල්ලේ බවර් හවුස්හි පිහිටි ගුවන්විදුලි මධ්‍යස්ථානයෙනි.
මෑත කාලයේ ගුවන්විදුලි හාස්‍යය මැවීමෙහි ලා විජේලා දෙන්නෙකුම (ජේ.විජේවීර සහ එච්.ඩී.විජේදාස) පුරෝගාමී වීමද සිත්ගන්නා සුලු කරුණක් නොවේද? පාසල් වියේ සිටි ආධුනික ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙකු වශයෙන් ඔවුන් දෙදෙනාගෙන්ම එක සේ ගුරුහරුකම් ලැබීමෙනුත් ඔවුන් සමග එකට හඬ රැඟුම් පෑමෙනුත් මා ලත් ආවේශය හා ආභාසය මගේ ගුවන්විදුලි ගමන් මගට වැටුණු අරුණාලෝකයක් වැන්න.
අපි දැන් මඳකට විජේදාසයන්ට සවන් දෙමු.
"ඒ කාලේ සහන නිවේදකයකු හැටියටත් ප්‍රවෘත්ති සන්දර්ශනය සම්පාදක හැටියටත් ක්‍රියා කළ මට අධ්‍යක්ෂ ජනරාල්තුමා ආරාධනා කළා හාස්‍ය නිර්මාණ කටයුතු ආරම්භ කිරීමට. මම එකඟ වුණා.අපේ කණ්ඩායමට අයත් වුණේ ඇල්ෆ්‍රඩ් පෙරේරා,එච්.ටී.බස්නායක,ඇනස්ලි
ඩයස්, බර්ටි ගුණතිලක, සැමුවෙල්
රුද්‍රිගු සහ ස්වර්ණ ශ්‍රී සරත්වීර යන අය. මගේ 'විහිළු තහළු' වැඩසටහන ක්‍රම ක්‍රමයෙන් දියුණු වුණා. ප්‍රසාදයට පත් වුණා. අපි පෑ බාගයේ වැඩසටහනක් දවස් 11ක් 12ක් පුහුණු කළා. හැම වැඩසටහනකටම ඇතුළු කළේ ජනතාව එදිනෙදා ජීවිතයේ දී මුහුණ දෙන ප්‍රශ්න ගැනයි. මැති ඇමතිවරුන්ගේ සමහර ක්‍රියා කලාපයන්ද ඇතුළු කළා. පෑ බාගෙක 'විහිළු තහළු' වැඩසටහනක් ලියලා ඒ වැඩසටහන දවස් 12ක් තිස්සේ පුහුණු කරලා ප්‍රචාරය කරනවට මුල් දවස්වල එක්කෙනෙකුට ලැබුණේ රුපියල් පහයි."
එච්.ඩී.විජයදාසයන්ගේ 'විහිළු තහළු' වැඩසටහන අසන්නන් අතර අතිශය ජනප්‍රිය වැඩසටහනක් වීමට හේතු භූත වූ ප්‍රධාන සාධකයක් නම් ඔහු තම වැඩසටහන සඳහා උපයෝගී කොටගත් නිර්මාණාත්මක රචනා පිටපත්ය. ඒවා මගින් ප්‍රකට වූයේ හුදු විනෝදාත්මක හාස්‍යය අබිබවා සිටි උපහාසාත්මක
හාස්‍යයයි. ගුවන්විදුලි ශ්‍රාවකයන් 'විහිළු තහළු' වැඩසටහන මගින් විනෝදාස්වාදය ලැබීමට මෙන්ම තම කල්පනාවද එක සේ පුබුදු ගැන්මට සමත් වූයේ එබැවිනි. එමගින් කර්කශ ලෙස හෙළි කළ ලොක්කන්ගේ හා සොක්කන්ගේ අමනකම් දෙස බලා ඔවුන් සිනාසුණේ තම අමනකම්ද සිහියට නගා ගනිමිනි. විජේදාසයන්ට අනන්‍ය වූ හාස්‍ය නිර්මාණ කලාවේ අපූර්වත්වයද එයම වෙයි. අසෝක පීරිස්, හෙන්රි තෙන්නකෝන්, ඇලෙක්සැන්ඩර් තෙන්නකෝන්, එච්.ඩී. වීරසිරි හා අමරදාස ගුණවර්ධන යන අති ශූර හාස්‍ය පිටපත් රචකයෝ 'විහිළු තහළු' වැඩසටහන පොහොසත් කිරීමෙහි ලා මෙහිදී අපගේ අප්‍රමාණ සම්භාවනාවට පාත්‍ර විය යුත්තාහ.
එච්. ඩී. විජේදාසයන් 'ප්‍රවෘත්ති නිලධාරි' නම් උසස් තනතුර ලැබ ගුවන් විදුලියෙන් ඉවත් ව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට යෑමෙන් පසු 'විහිළු තහළු' නමින් එවකට ජනප්‍රියත්වයේ මුදුන් පෙත්තෙහි පැවති අති විශිෂ්ට හාස්‍ය වැඩසටහනද ඉබේම නැවතී ගියේය. එය යළිත් ඇරඹීමේ උනන්දුවක් ඔහු තුළ නොවූ බවද පෙනේ.
'විහිළුතහළු' නිර්මාතෘවරයා නිර්මාණ කාරියෙන් සමුගත්තද ඔහු තම පුරෝගාමී වැඩ සටහන මගින් හඳුන්වා දුන් ගුවන් විදුලි හාස්‍ය ශිල්පී පිරිස යළි නිර්මාණ කාරියට පිළිපන්හ. එහි ඉෂ්ට ප්‍රතිඵලය වූයේ 'විනෝද සමය' නමින් අභිනව ගුවන්විදුලි හාස්‍ය වැඩසටහනක් බිහිවීමය.එහි පුරෝගාමියා වූයේ ඇල්ෆ්‍රඩ් පෙරේරා සූරීන් ය. සැමුවෙල්, බර්ටි ,ඇනස්ලි යන නළු ත්‍රිමූර්තිය සමග එක්ව පසුකලක ඇල්ෆ්‍රඩ් පෙරේරා සූරීන් ඇරඹූ 'විනෝද සමය' නම් ගුවන්විදුලි හාස්‍ය වැඩසටහනද දන මන පිනවූ රසාලිප්ත හා ප්‍රශස්ත නිර්මාණ කාරියක් බවට පත්වීමෙහි ලා ඔවුන් එච්.ඩී. විජේදාස නම් ප්‍රතිභා සම්පන්නයා ගෙන් ලත් අභ්‍යාසය හා ආභාසය අඛණ්ඩ අනුප්‍රාණයක් වූවාට කවර සැකයක්ද?
බර්ටි ගුණතිලකයෝ වූකලී දුර්ලභ ගණයේ රංග ප්‍රතිභා සම්පන්න නිසර්ග සිද්ධ හාස්‍ය නිර්මාණ කෞශල්‍යයෙන් අනූන ගුවන්විදුලි හාස්‍ය කලා කෝවිදයෙකි. අතිශය ජනප්‍රියත්වයට මෙන්ම අත්‍යන්ත සම්මානනයටත් ඔහු පාත්‍ර වූයේ සංවිධානාත්මක ප්‍රචාරක ව්‍යාපාර මඟින් නොවේ. ඒකාන්ත වශයෙන්ම ඔහු සතු ජන්ම හාස්‍ය රස උරුමයේ මහිමයෙන්මය. ශ්‍රාවක හා ප්‍රේක්ෂක රසිකයන් ඔහුගේ රංගනයෙන් ලත් ප්‍රබෝධය, ප්‍රමෝදය හා රසෝත්කර්ෂය එතරම්ම මහත්ය. බර්ටි ගුණතිලක යන පුද්ගල සංඥා නාමය මෙරට දනන්ගේ සිත් සතන් තුළ නොමැකී සිත්තම් වුණු ආදරණීය පෞරුෂයක් බවට පත්වීමේ රහස ඇත්තේ එතැනය.
හාස්‍ය රසය හා හාස්‍ය රස නිරූපණය පිළිබඳ ගැඹුරු වූත්
පරිණත වූත් දැනුමකින් හා වැටහීමකින් යුත් බර්ටි ගුණතිලකයෝ කිසි දිනක සුලබ විහිළුකාරයෙකු ගේ තැනට නො වැටුණහ. මිනිසුන් හිනැස්සීම පිණිස ඔහු ලිස්සා වැටුණේ නැත. අසරණයෙකු ගේ ගොත ගැසීමේ ආබාධයට අවමන් කළේ නැත. තමාටම ආවේණික වූ රංග ලීලා උපයෝගී කරගනිමින් ඔහු අපගේ සිනාවට ලක් කළේ මිනිසුන් නොව මිනිසුන්ගේ නොමිනිස් ගති හා අමන ඇවතුම් පැවතුම් ය.
බර්ටි ගුණතිලකයන් මා පළමුව දැක දැන හැඳින ගත්තේ එකල ගුවන් විදුලියේ හය වැනි මැදිරියට අයත්ව
තිබුණු නේපථ්‍යාගාරය (Dressing Room) තුළදීය. නරඹන්නන් ඉදිරියේ වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා වූ වේදිකාවක් සහිත හය වන මැදිරියටම අල්ලා තනා තිබුණු කාමරය මේ නේපථ්‍යාගාරයයි. වැඩසටහනට සූදානම් වූ ශිල්පීන් වේදිකාවට පිවිසුණේ එහි සිටය. මුල් ගුවන් විදුලි ගොඩනැගිල්ලට ආවේණික ගෘහ නිර්මාණ සැලැස්ම හා එම මැදිරි අංගයේ අවශ්‍යතාව වටහා නොගත් පශ්චාත් කාලීන තකතිරු ගුවන්විදුලි බලධරයන් දැන් එම නේපථ්‍යාගාරය කන්තෝරු කාමරයක් කර ඇත. ඒ පනහේ දශකයේ මැද භාගයයි. එකල පාසල් ශිෂ්‍යයෙක් වූ මම ගුවන් විදුලි නාට්‍ය ශිල්පී පරීක්ෂණයෙන් සමත්ව සිටි කොලු හඬ නළුවෙක් වීමි. පනහේ දශකයේ මුල සිටම දනන් තුඩ තුඩ රැව් දුන් කීර්ති රාවයකට උරුමකම් කී 'විහිළු තහළු' වැඩසටහන පුහුණු කරනු බැලීමේ නොතිත් ආශාවක් ගුවන්විදුලියට ආධුනිකයෙක් වූ මගේ සිත තුළ කලක සිටම පැවතුණි. එදා මට බර්ටි ගුණතිලකයන් නමෝ විත්තියෙන් හමුවූයේ මගේ ඒ ආශාව සංසිඳුවා ගැනීමට ගිය අවස්ථාවේදීය. හය වැනි මැදිරියේ නේපථ්‍යාගාරය තුළ එදා පැවැති 'විහිළු තහළු' පුහුණුව බැලීමට මා ගියේ එහි නිර්මාතෘ එච්. ඩී.විජේදාසයන්ගේ කාරුණික ආරාධනයෙනි.
පැහැපත් ඡවි වර්ණයෙන් යුත් ප්‍රසන්න මුහුණක් සතු භද්‍ර යෞවන බර්ටි ගුණතිලකයන් ගේ දෙතොල මත එදා මා දුටුවේ මඳ සිනාවක් මිස පුළුල් සිනාවක් නොවේ. එසේම ඔහු කතාවේදී ද මිතභාෂී විය. ඔහුගේ නිහතමානය පිළිබිඹු වූයේ ආධුනික මා හට සමාචාර පිණිස මුදු
දයාලූ දෑසින් හෙළූ තම සහෘද බැල්ම තුළය. පසු කල මගේ ළෙන්ගතු රසිකයෙකු හා මිතුරෙකු බවට පත් බර්ටි ගුණතිලකයන් ගේ චරිතයෙහි ආවේණික ලක්ෂණයක් ලෙස මඳ සිනාවත් මිතභාෂී භාවයත් දැක්විය හැකිය. ඔහුගේ උච්චස්වර සිනාවත් බහුභාෂික භාවයත් විචිත්‍ර මල් වෙඩිල්ලක් සේ පුපුරා හැලෙන්නේ ඔහුගේ රංගාවේශයත් සමගය. අපගේ සතුටු සිනාව පුපුරා යන්නේ ද ඉන් ලද නොමඳ ආස්වාදයේ උද්දාමයෙනි. උත්කර්ෂයෙනි. උල්ලාසයෙනි.
බර්ටි ගුණතිලකයන් තුළ පිහිටි නිසර්ග සිද්ධ හාස්‍ය රංගන කෞශල්‍යය විකසිත කරලීමට රශ්මි විහිදූ ප්‍රධාන පෞරුෂයන් දෙකක් ඇතැයි සිතමි. ඒ එක් පෞරුෂයක් නම් එච්. ඩී. විජේදාසයෝය. බර්ටි ගුණතිලකයන් ගේ සමකාලීන සමීප මිතුරෙකු මෙන්ම හාස්‍ය රංගන කලාවේ ගුරුවරයෙක්ද වූ විජේදාස යන්ගේ 'විහිළු තහළු' ගුවන් විදුලි හාස්‍ය සංග්‍රහය ඊට උපස්තම්භක වූ බැව් නිසැකය. ගුවන් විදුලියේත් චිත්‍රපටයේත් කෘතහස්ත ජනකාන්ත හාස්‍ය රංගන ශිල්පියෙකු ව සිටි ජෝෂප් සෙනෙවිරත්නයන් අනික් පෞරුෂය වූහයි සිතමි.තම එක කුස හොත් සොහොයුරිය චාන්දනී ගේ සැමියා වන ජෝෂප්
සෙනවිරත්නයන්ගේ කුලුපග ඇසුර බර්ටි ගුණතිලකයන් ගේ සහජ හාස්‍ය කුසලතා උද්දීපනය කර ලීමෙහි මහත් සේ පිටිවහල් වන්නට ඇතැයි ඉඳුරා පැවසිය හැකිය. හාස්‍යය නීච රසයක තැනට නොහෙළා එය උත්තර රසයක තැනට නැංවූ විශ්ව කීර්තිධර හාස්‍ය රංගන කලාකරුවෙක් වූ චාලි චැප්ලින් ශ්‍රීමතාණන්ගේ සදානුස්මරණීය ආප්ත වාක්‍යයකින් මේ ලිපිය හමාර කරන්නේ බර්ටි ගුණතිලක නම් හාස්‍ය රසාත්මක පෞරුෂයට උපහාර උදෙසාය.
"Life laughs at you when you are unhappy. Life smiles at you when you are happy.But life salutes you when you make others happy!"
"ඔබ අසතුටෙන් සිටිනු දකින ජීවිතය ඔබට උපහාසයෙන් සිනාසෙයි.ඔබ සතුටෙන් සිටිනු දකින ජීවිතය ඔබ දෙස බලා සතුටෙන් සිනාසෙයි.එහෙත්, ඔබ අන් අය සතුටට පත් කරනු දකින ජීවිතය ඔබට උපහාර පුදයි!"
’’Language is the the greatest achievement of Culture; Poetry is the greatest achievement of Language.’’
මෙරට බොහෝ මවුපියන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන්ද ලිංගික කරුණු සම්බන්ධයෙන් අවිද්‍යා අන්ධකාරයේ පසුවන්නන් බව ඔවුන් ගේ අදහස් උදහස්, ආකල්ප විකල්ප මගින් ම
දිගු කලක පටන් මම සෑම සතියක් නෑරම ජාතික ගුවන්විදුලිය ඔස්සේ ’පෙරවදන’ නමින් පොත්පත් හඳුන්වාදීම අරබයා වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියෙමි.
මෙරට වත්මන් ලේඛක පරපුර අතින් බිහිවෙන ඇතැම් කවි , ගීත , කෙටි කතා , නවකතා ආදි නිර්මාණ මගින් පීඩිත පන්ති හැඟීම , මානව දයාව , සටන්කාමිත්වය යන වෙසෙස් ගුණාංග ප්‍ර
ජගත්.ජේ.එදිරිසිංහයන් ෆේස්බුක් මගින් මගේ අවධානයට ලක් කළ විකාර වාක් ප්‍රයෝග පිළිබඳ සුලමුල විවරණය කරමින් මා වරක් එෆ්බීයට සැපයූ පිළිතුරු ලිපිය මගේ ’මතක ස
’ෆේස් බුක්’ මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ගුවන්විදුලි හාස ඉතිහාසය විජේ සහ බර්ටි