IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජාති ආලය හා ලණු බෝලය

මතක හා මතය - 12

 

 

කිසිවකුගේ නියෝගයකින් හෝ ප්‍රයෝගයකින් තොරව පැවැත්වෙන ජගත් ජන්මෝත්සව තුනක් ඇත. මේ උත්සව තුනම පැවැත්වෙන්නේ සකලවිධ මනුෂ්‍ය වර්ගයාට ශාන්ති දායක වූ මහෝත්තමයාණන් තිදෙනෙකුගේ පරමෝත්කෘෂ්ට ගුණ කදම්බයට භක්ති ප්‍රණාම පිණිසය. ඒ උත්තමයන් තුන් දෙනාට සම්භක්තවූ ජනතාව අතින් සිදුවන ස්වේච්ඡා ප්‍රණාමයක් ලෙස එය හැඳින්විය හැකිය. එබැවින් එය අව්‍යාජය. අවංකය. බුදුන් වහන්සේ උපන් වෙසක් දින උලෙළ, යේසුස් වහන්සේ උපන් නත්තල් දින උලෙළ හා මහම්මත් තුමා උපන් දින පැවැත්වෙන මිලාද් උන් නබි උලෙළ ඒ අවස්ථා තුනයි.

කිසියම් ජාතියකට අයත් නිදහස් දින උළෙල ද එසේ ස්වේච්ඡා ප්‍රණාමයක් ලෙස සිදුවිය යුත්තක් මිස නියෝග ප්‍රයෝග මාර්ගයෙන් නොසිදුවිය යුත්තකි. එය එසේ සිදු වන්නට නම් එම නිදහස සමරන ජාතිය තුළ තමා ලත් නිදහස පිළිබඳ බලවත් හැඟීමක් පැවතිය යුතුය. හැඟීම බලවත් වන්නේ එය අව්‍යාජ නම් අවංක නම් පමණි. මේ බව සනාථ කරන ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් මීට කලකට පෙර මගේ හිතවතකු විසින් මට හෙළි කරන ලද්දේ මහත්වූ සංවේගයෙනි. එය අද අපට අලුත් ඇසක් පාදා දෙතියි සිතමි.

මේ සිද්ධිය සිදුවූ සමයේ මගේ හිතවතා සේවයෙහි යෙදී සිටියේ සිලෝන් තියටර්ස් සමාගමට අයත් කොළඹ රීගල් සිනමා ශාලාවේය.

එකල එහි වාර්ෂික ලෝක සිනමා උත්සව පැවැත්වුණි. විවිධ බටහිර රටවලට අයත් උසස් ගණයේ සම්මානිත චිත්‍රපටි එහිදී ප්‍රදර්ශනය කරන ලදී. ශිෂ්ට රුචියකින් යුක්ත සිනමා ලෝලීහු ඒවා නැරඹීම සඳහා බලවත් උද්‍යෝගයකින් එක් රොක් වූහ. ජාතික පුවත්පත්වල මෙන්ම සිනමා පුවත්පත් හා සඟරාවල සේවය කළ පුවත්පත් කලාවේදීහු හා සිනමා විචාරකයෝ ඒ අතර විශේෂයෙන් කැපී පෙනුණාහ.

එවැනි සිනමා උත්සවයක් පැවැත්වෙන අවස්ථාවලදී එහි ප්‍රදර්ශනය වන චිත්‍රපටි අයත් රටවලට ආවේණික ජාතික කොඩි සිනමා ශාලාව අබියස ප්‍රදර්ශනය කිරීමද සම්මත සිරිතකි. මගේ හිතවතා රීගල් සිනමා ශාලාවේ සේවය කරන සමයේ මෙවැනි ලෝක සිනමා උත්සවයක් පැවැත්වෙන අවස්ථාවක් උදා වුණි. එහිදී එහි ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය විදේශීය ජාතික කොඩි රැගෙන ඒමේ වගකීම පවරා ඇත්තේ ඔහුටය. මහත් සංවේගයෙන් යුතුව ඔහු මට හෙළි කළ ප්‍රත්‍යක්ෂ අත්දැකීමට ඔහු මුහුණ පෑවේ ඒ ගිය ගමනේදීය.

ප්‍රංශය, ඉතාලිය, බ්‍රිතාන්‍යය, රුසියාව ආදි රටවලට අයත් තානාපති කාර්යාල වෙත ගිය ඔහු තම අවශ්‍යතාව එහි හුන් වගකිව යුත්තන් හට සැලකර සිටියේය. ඔවුන් විසින් අප හිතවතා අදාළ අංශ වෙත යොමු කර අපේක්ෂිත කාර්යය ඉටුකර දීමට ගෞරවනීය සහායක් දක්වා ඇත.ඒ ඒ රටවලට අයත් ජාතික කොඩි ලබාගැනීම සඳහා අදාළ සෑම තානාපති කාර්යාලයකම නියම කළ විශේෂ ස්ථානයේ රැඳී සිටින විට ඔහු ලද ප්‍රත්‍යක්ෂ අත්දැකීම කුමක්ද? එය කරණ කොටගෙන එදා ඔහු තුළ බලවත් සංවේගයක් හටගත්තේ ඇයි? මගේ හිතවතා දැන් ඊට පිළිතුරු සපයනු ඇත.

"මම හැම තානාපති කාර්යාලයකම ඉඳගෙන ඉන්නකොට ඒ ඒ රටවලට අයිති ජාතික ඇඳුමෙන් සැරසුණු නිලධාරියෙක් ඉතා ගරු ගාම්බීර විදියට බොහෝම තැන්පත් ගමනින් යුතුව තමන්ගේ රටේ ජාතික කොඩිය බන්දේසියක තියාගෙන ඇවිත් මට බාර දුන්නා. මෙවැනි දෙයක් කිසි සේත් බලාපොරොත්තු නූණු මට එවේලේ ඉබේම නැගිටුණා. ඒ වගේම ඒක බාර ගන්න කොට මගේ හිසයි කඳයි ඉබේම නැමුණා.

"ඊට පස්සේ මම අපේ ජාතික කොඩි ගන්න සංස්කෘතික දෙපාර්තමේන්තුවට ගියා. එතන හිටිය නිලධාරියකුට කාරණය කිවුවහම මාව ගබඩාවකට පිටත් කළා. මගෙන් කාරණය අහපු එතන හිටිය සේවකයෙක් ඇතුළට ගිහිල්ලා ලොකු ලණු බෝලයක් ගෙනත් දුන්නා. ඒක මොකක්ද දන්නවද? අපේ ජාතික කොඩි එකට රෝල් කරලා කිටි කිටියට ගැටගහලා තිබුණු ලණු බෝලයක්."

මගේ අතීත වාමාංශික මිතුරෙකුගෙන් අසා දැනගත් කල්පනාව පුබුදුවන එක්තරා අත්දැකීමක් මෙවේලේ මගේ සිහියට නැගෙන්නේ ඉබේය. ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරුව සෝවියට් දේශයේ බිහි කරන ලද සමාජවාදී රාජ්‍යය තම ධජය ලෙස යොදා ගත්තේ ගොවි කම්කරු සමගිය සංකේතවත් කරන දෑකැත්ත සහ මිටිය යන සලකුණු දෙක සහිත රතු කොඩියයි. ඒ අනුව එය මෙරට බිහිවුණු වාමාංශිකයන්ගේද පොදු කොඩිය බවට පත් විය.

1939 අවුරුද්දේ ලංකාවට පැමිණි ශ්‍රී ජවහර්ලාල් නෙහෙරු තුමා එම වසරේම ජූලි මාසයේ 16 වැනි දා ලංකා සමසමාජ පක්ෂ මූලස්ථානයේ පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගි විය. එවේලේ එහි ඔසවා තිබුණු දෑකැති මිටි සලකුණු සහිත කොඩිය දුටු ඔහු මේ අවවාදය දී ඇත.
 

"සහෝදරවරුනි, ජාත්‍යන්තර කොඩිය එක්ක සිංහ කොඩියත් ඔසවා තබන්න."
 

ශ්‍රී ජවහර් ලාල් නෙහෙරු තුමා වනාහි තම මාතෘ භූමිය සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගැනීම ඒකායන පරමාර්ථය කොටගෙන මහත්මා ගාන්ධි තුමා ඇතුළු දේශාභිමානී ඉන්දියානු නායකයන් අභීතව අඛණ්ඩව ගෙන ගිය අත්‍යුදාර නිදහස් අරගලයේදී පෙරමුණු බල ඇණියේ සිට සිරබත් කමින් සටන් කළ අයෝමය නායකයෙකි. ජාතික කොඩිය කෙරෙහි ඔහු තුළ වූ අභිමානවත් ආකල්පය ඔහුගේ යට කී මහාර්ඝ ප්‍රකාශයෙන් ඉඳුරා විශද වන්නේ නොවේද?

සමසමාජ පක්ෂ මූලස්ථානයේ හිඳ ඔහු එම අවවාදය දෙන අවස්ථාවේ එතැන සිටි පක්ෂයේ කාරක සභික සහ සිංහල දෙමළ පරිවර්තක අයි . ඇම් . ඉබ්‍රාහිම් සහෝදරයාගේ සිතෙහි ඒ වදන් රැඳුණේ කිසි දා නොමැකෙන ලෙසිනි. නෙහෙරු තුමාගේ මේ ප්‍රකාශය පිළිබඳ පුවත මගේ මනසේ කොටා තැබුවේ පුරෝගාමී වාමාංශික බුද්ධිමතෙකු මෙන්ම පරිණත ලේඛකයෙක්ද වූ මගේ සන්මිත්‍ර ලයනල් සරත් සහෝදරයාය. ඔහුගේ දෙසවන මේ පුවත ඇසුවේ ඉබ්‍රාහිම් සහෝදරයාගේම මුවින්ය.

ජාතික කොඩිය බෙල්ලේ ඔතන, පිටේ පොරවන, ඉණට සරුවාලෙට අඳින, එයින් ජටා බඳින පරපුරක් මෙරට පහළවී ගියේ කෙසේද? එක ලේ බිඳුවක්වත් නො හෙළා ලදුම්හයි අපේ අලජ්ජී දේශපාලන නායකයන් උදම් අනන ඊනියා නිදහසෙන් පසු සකල ලක් පොළොවම එක සේ තෙත් කරමින් මේ සා මිනිස් ලේ කඳක් යළි යළි හැලී ගියේ ඇයි? මේ රටේ පරම පරිහානියට ඒකායන හේතුව ආනන්ද සමරකෝනුන් තම ජාතික ගීය
'නමෝ නමෝ මාතා' යනුවෙන් 'න' 'ම' යන අපාය අක්ෂරවලින් හා අසුබ 'ජ' ගණයෙන් ('සූර්ය'ගණය- අග දෙලඝු මැද ගුරු) අරඹා ඇති හෙයිනැයි කියමින් දෛවඥ අඥයෝ දේශපාලන මුග්ධයන් අන්ධ කළහ. ඔවුහු ඊට 'ශ්‍රී' 'ල' යන දිව්‍ය අක්ෂර සහ සුබ 'ම' ගණය ('භූමි' ගණය- තුනම ගුරු)යොදවා ජාතික ගීය 'ශ්‍රී ලංකා මාතා' යනුවෙන් සුබ පල පතා රෙපයාර් කැරැවූහ. සුනාමිය හා කොරෝනාව නම් පරම සෞභාග්‍යය අප්‍රමාදව සම්ප්‍රාප්ත වීම එහි ඉෂ්ට ඵලප්‍රාප්තිය විය. දැනුදු අපි එහි සුබ පල විඳිමින් අගාධයක ගිලෙමින් සිටිමු.

'සංයුක්ත' නිකායේ 'සගාථ' වර්ගයේ (1)'දේවතා' සංයුක්තයේ
(8)'ඣත්වා'හෙවත් 'ඡෙත්වා' වර්ගයේ
(4) 'වුට්ඨි' සූත්‍රයේ එන උද්ධෘතයකින්


මේ ලිපිය හමාර කරමි.

දෙවියෙක්:

කිංසු උප්පතතං සෙට්ඨං
කිංසු නිපතතං වරං

(උඩට නැගෙන්නවුන් හට කුමක් වටින්නේද?
පහළට වැටෙන්නවුන් හට කුමක් වටින්නේද?)

 

බුදුන් වහන්සේ:

විජ්ජා උප්පතතං සෙට්ඨං
අවිජ්ජා නිපතතං වරා

(උඩට නැගෙන්නවුන් හට වටින්නේ ප්‍රඥාවයි.
පහළට වැටෙන්නවුන් හට වටින්නේ මිථ්‍යාවයි.)



අදහස් (1)

ජාති ආලය හා ලණු බෝලය

විරාජ් මහවෙල Thursday, 27 June 2024 03:14 PM

ඔබතුමා බොහෝ කලකට පෙර පල කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ හා මාර්ටින් වික්‍රමසිංහගේ ඇසුර පිළිබද රසකතා නුතන පාඨකයන් සදහා නැවත එළි දැක්වීමට අදහසක් නොමැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

මතක හා මතය

බෞද්ධ මාක්ස්වාදියා
2024 සැප්තැම්බර් මස 03 312 0

කලක පටන් දැන හැඳින සමීපව ඇසුරු කළ ගුණසේන විතානයන් සමග එකට වැඩ කිරීමේ අවස්ථාව පළමුවෙන්ම මට උදාවූයේ ඔහු ’ජනතා ලේඛක පෙරමුණ’ ආරම්භ කිරීමත් සමගය.


’යුග පුරුෂයා’ ගණිකාවක් ද?
2024 අගෝස්තු මස 27 682 0

’නිම් වළලු පළල් කරනවා’ යන සුලබ කියමන සේම නිතර නිතර අපගේ කනට ඇහෙන ඇසට පෙනෙන තවත් සුලබ වත්මන් වාග් ව්‍යවහාරයකි ’යුග පුරුෂයා’ යන්න.


මමත් කළුයි මාගේ කවිකමත් කලුයි!
2024 අගෝස්තු මස 20 474 0

(පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන් මිය ගොස් 2024 අගෝස්තු 21 වැනි දිනට පුරා වසර 58ක් සපිරෙයි. ඔහු පිළිබඳ මගේ මේ හෘදයංගම මතක වත සහෘද ඔබගේ පහන් සංවේගය උදෙසාය.)


අඹ බයන්න සහ අඹ යාළුවා
2024 අගෝස්තු මස 13 472 0

අප ’අඹ’ බයන්න යනුවෙන් හැඳින්වීමට පුරුදුව සිටින්නේ සඤ්ඤක ’ඹ’යන්නය. ඊට හේතුව, අඹ නමැති පලතුරට කියන නාමය ලිවීමේදී සඤ්ඤක ’ඹ’යන්න භාවිත වීම බවය බොහෝ දෙනාගේ


’’ෆ’’ අක්ෂරය සිංහල හෝඩියට ආ හැටි
2024 අගෝස්තු මස 06 833 2

ඉංග්‍රීසි හෝඩියේ F ශබ්දය වෙනුවට සිංහල හෝඩියට මෑතක පිවිස මේ වන විට බහු භාවිතයට පත්ව ජන සම්මතව ඇති ’ෆ’ අක්ෂර රූපය අලුත නිපදවා ගත්තක්ය යන දුර්මතය ඒ පිළිබඳ


මැතිවරණ කාලයේ ජ්‍යෝතිෂ උන්මාදය
2024 ජුලි මස 30 131 0

අභීත සන්නිවේදන මාධ්‍ය විශේෂඥයෙකු මෙන්ම අදීන ලේඛකයෙක්ද වූ කුෂ්වාන්ත් සිං නම් නිර්දය දේශපාලන විශ්ලේෂකයා වර්තමාන ඉන්දියානු දේශපාලකයන්ගේ ජ්‍යෝතිෂ උන්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site