අයං නිජෝ පරෝ චේතී
ගණනා ලඝු චේතසාම්
උදාර චරිතානන් තු
වසුධෛව කුටුම්බකම්
(අපේය අපේ නොවේය යනුවෙන් බෙදා වෙන් කිරීම පටු කල්පනා
ඇත්තවුන්ගේ සිරිතකි. උදාර පුරුෂයන්ට සකල ලෝකයම එකම පවුලෙකි.)
කලක පටන් දැන හැඳින සමීපව ඇසුරු කළ ගුණසේන විතානයන් සමග එකට වැඩ කිරීමේ අවස්ථාව පළමුවෙන්ම මට උදාවූයේ ඔහු 'ජනතා ලේඛක පෙරමුණ' ආරම්භ කිරීමත් සමගය. මුල සිටම මම එහි විධායක සභිකයෙක් වීමි. මෙම ලේඛක සංවිධානය වූකලී හතු පිපෙන න්‍යායෙන් පැන නැගුණක් නොවේ. එය වනාහි එක්තරා ආන්දෝලනාත්මක සාහිත්‍ය වාදයකට එරෙහිව අභීතව අකුටිලව නැගූ ප්‍රතිවාදයක ප්‍රතිඵලයක් වශයෙන් සසාධකව සකාරණව බිහි වුණකි. එදා ඒ අදීන ප්‍රතිවාද නින්නාද නැගූ මුව සදහටම ගොළුව ගිය මෙදා ගුණසේන විතානයන්ගේ අනන්‍ය ලේඛක චරිතකාය අරබයා කෙරෙන මගේ මේ අතීත ආවර්ජනය වූකලී ඔහුගේ මානව ගුණකාය උදෙසා පිරිනැමෙන බහුමානයක් කොට සලකත්වා!
මාර්ටින් වික්‍රමසිංහයන් 1929 දී පළමු මුද්‍රණය පළ කළ තම 'රෝහිණී' නවකතාව අරබයා ගුණසේන විතානයන් 1955 දී කතුවරයාට ලියා දැන්වූයේ මෙසේය.
"ඔබේ ' රෝහිණී' නවකතාව මං කලින් සැලකුවේ උසස් කෘතියක් හැටියටයි. දැන් එය මට ජාතිවාදී කෘතියක්."
වික්‍රමසිංහයන් ලිපියකින් ඊට ප්‍රතික්‍රියා දැක්වූ අයුරුයි මේ.
"ඔබේ අදහසට මා ගරු කරනවා."
ගුණසේන විතානයෝ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'විරාගය'නවකතාව අරබයා 'විරාගයේ වග' නමින් පොතක් ලියා පළ කළහ.එකල එම නවකතාව ඔහුගේ ප්‍රසාදයට හා ප්‍රශංසාවට පාත්‍ර වස්තුවක් විය. එහෙත් තම 'විරාගය' නවකතාවෙහි ලා මාර්ටින් වික්‍රමසිංහයන් විසින් චිත්‍රිතකතානායක 'අරවින්ද' චරිතය පසු කලෙක ගුණසේන විතානයන්ගේ බලවත් අප්‍රසාදයට හා ගර්හාවට ලක් විය. ඔහු එම චරිතය එසේ තම දැඩි විවේචනයට නිමිත්තක් කොට ගත්තේ සාහිත්‍යයේ පරමාර්ථය අරබයා එතෙක් ඔහු දැරූ මතය වෙනස්ව යෑමේ ප්‍රතිඵලයක් වශයෙනි. සාහිත්‍යය වනාහි ජනතාවාදී විය යුතු බවත් ප්‍රගතිශීලී සාහිත්‍යය යන නමට යෝග්‍ය වනුයේ එවැනි සාහිත්‍යයක්ම බවත් ඔහුගේ නව මතය විය. ගුණසේන විතානයන් ජී.බී.සේනානායකයන්ගේ කෙටිකතා විචාරයට ලක් කරමින් 'දුප්පතුන් නැති ලෝකයේ හැටි' යන නමින් පොතක් පළ කළේද එම මතය මත පිහිටමිනි. එතැන් සිට ගුණසේන විතානයන් 'අරවින්ද' චරිතය සැලකුවේ හුදු 'මනස් පුතෙක්'
(Brain Child) වශයෙනි. ඉංග්‍රීසි Brain child යන්නෙහි වාච්‍යාර්ථය වනාහි සමාජ මූලයකින් තොර මනඃකල්පිත චරිතයක් යන්නය.
Brain Child යන ඉංග්‍රීසි වදනට සිංහල පර්යාය පදයක් වශයෙන් 'මනස් පුතා' යන්න මුලින්ම නිපදවා තම විචාර ලිපිවලදී සාවඥ වහරක් ලෙස නිතර නිතර යොදමින් එය ව්‍යාප්ත කරන ලද්දේ ගුණදාස අමරසේකර සාහිත්‍යධරයාණන් විසිනි.
සාහිත්‍ය නිර්මාණය වූකලී කිසිදු සමාජ අදාළත්වයක් නොමැති සපුරා සමාජ වගකීමෙන් තොර පරාධීන , පරකීය උත්පාදනයක් වන්නේ නම් එය ජනතාවාදී නොවන ජන ද්වේෂී කෘතියක් ලෙස හැඳින්වීම කවර වරදදැයි යනු පසු කල ගුණසේන විතානයන් අභීතව අදීනව තම ප්‍රතිවාදීන්ගෙන් නොනැවත ඇසූ ප්‍රශ්නය විය. එකී සාහිත්‍ය ගණයට වැටෙන නවකතාවක නිරූපිත කතානායකයා අවජාත චරිතයක් මිස සුජාත චරිතයක් නොවන බව ඔහුගේ මතය විය. 'මනස් පුතෙකු' ලෙස ඔහු දුටුවේ එවැන්නෙකු මිස අනිකෙක් නොවේ.
06 වැනි දශකයේ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය දෙවනත් කළ සාහිත්‍ය වාදයක් වූයේ 'පරාජිත' නවකතා වාදයයි. 'විරාගය' නවකතාවේ එන 'අරවින්ද' කතානායක චරිතය පරමාදර්ශ කොටගෙන නිපන් නවකතා ගඩ්ඩරිකා ප්‍රවාහය කරණ කොටගෙන උද්ගත වූවකි 'පරාජිත' නවකතා වාදය. පේරාදෙණි ගුරුකුල විචාරයෙන් අනුබල ලද 'පරාජිත' නවකතා රැල්ලට එරෙහිව අප්‍රතිහත ධෛර්යෙන් එකලාව එඩිතරව නොනවතා ප්‍රතිවාද නින්නාද නැගුවේ ගුණසේන විතාන නම් වූ මහා කාහලයයි. ගුණසේන විතානයන් විසින් 1968 දී 'ජනතා ලේඛක පෙරමුණ' පිහිටුවන ලද්දේ එකී 'පරාජිත' සාහිත්‍ය වාදයට එරෙහි අපරාජිත ජනතා වාදී ප්‍රගතිශීලී සාහිත්‍යයක් බිහි කිරීමේ උදාර පරමාර්ථයෙනි.දකුණේ හා උතුරේ සිංහල දෙමළ ලේඛකයන් අතර අන්‍යෝන්‍ය සහෘදත්වයක් ඇතිකරගැනීම සඳහා දෙජාතියට අයත් සාහිත්‍යය පිටිවහල් කරගැනීමේ ප්‍රශස්ත ප්‍රයත්නය ගුණසේන විතානයන් ඇරඹුවේ 'ජනතා ලේඛක පෙරමුණ' මගිනි.මක්නිසාද යත් සිංහල දෙමළ ලේඛක සහෘදත්වය වනාහි ජාතික සමගිය තහවුරු කිරීමෙහි ලා අයෝමය සේතුවක් වන බව ඔහු සැක හැර දැන සිටි හෙයිනි. ශ්‍රී ලංකාවේ වෙසෙන සුප්‍රකට දෙමළ මෙන්ම මුස්ලිම් ලේඛකයෝද ජනතා ලේඛක පෙරමුණේ සාමාජිකයෝ වූහ. යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කළ අවස්ථාවේ එය සිංහලයන් විසින් යළි ගොඩනැගිය යුතු යැයි ගුණසේන විතානයෝ ප්‍රබල හඬක් නැගූහ. ජනතා ලේඛක පෙරමුණේ' සන්නිවේදන කාහලය වූයේ 'ජනරුචිය' පුවත්පතය.
රුසියානු සාහිත්‍යයෙන් හා සෝවියට් සාහිත්‍යයෙන් පෝෂිත අධ්‍යාත්මයක් ඇති ගුණසේන විතානයන් මැක්සිම් ගෝර්කිගේ පුරෝගාමිත්වයෙන් රුසියාවේ බිහිවුණු 'සමාජවාදී යථාර්ථවාදී' සාහිත්‍ය චින්තාව බැති සිතින් වැලඳ ගැනීම කවර අරුමයක්ද? 'ජනතා ලේඛක පෙරමුණ' අනුදත් න්‍යාය ධර්මය වූයේ එකී සාහිත්‍ය චින්තාව මිස අනිකක් නොවේ. දිවි හිම් තෙක් එම ජනතා සාහිත්‍ය සංකල්පය ගුණසේන විතානයන්ගේ සිතින් නොමැකී පැවතිණැයි සිතමි. ඔහුගේ සියලු සාහිත්‍ය නිර්මාණ, විචාර හා වාද විවාද ඔස්සේ එකී සංකල්පය දිව ගියේ යපටක් ඔස්සේ දිවෙන විදුලි දහරක් මෙනි.
ලංකාවේ ප්‍රථම වරට ලේඛක නාමාවලියක් ප්‍රකාශයට පත් කිරීම මෙන්ම සිංහල නිර්මාණ සාහිත්‍ය කෘති දෙමළට හා දෙමළ නිර්මාණ සාහිත්‍ය කෘති සිංහලට පරිවර්තනය කිරීමද එසේම ආසියා අප්‍රිකා සාහිත්‍යය සිංහලට හඳුන්වාදීමද 'ජනතා ලේඛක පෙරමුණ' විසින් ඉටු කරන ලද ප්‍රශස්ත මෙහෙවර වෙයි.
ගුණසේන විතානයන්ට හා හපුරා කියා රුසියානු විප්ලවයේ හා කොමියුනිස්ට් වාදයේ ඉඳුල ගැන්වුණේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ පළමු සභාපතිවර උඩකැන්දවෙල සිරි සරණංකර ස්වාමීන්ද්‍රයන්ගේ සංස්කාරකත්වයෙන් ප්‍රකාශිත කීර්තිමත් 'නව ලෝකය' සඟරාව මගිනි. 'නව ලෝකය' සඟරාවේ නිතර නිතර පළවුණු, නිවහල් කල්පනා දල්වන දේශපාලන හා සාහිත්‍ය ලිපි කියවූ ගුණසේන විතානයන්ට සමාජ සමානාත්මතාවට හොඳම විසඳුම කොමියුනිස්ට් වාදය බව පැහැදිලිව පෙනී ගියේ පළිඟු මිණ සේය . ඔහු කොමියුනිස්ට් පක්ෂයට බැඳීම එහි ඉෂ්ට ප්‍රතිඵලයකි. ගුණසේන විතානයන් සෝවියට් දේශය කෙරෙහි මහත් බැති සිතක් ඇත්තෙක් වූයේ කොමියුනිස්ට් පාක්ෂිකයෙකුට වඩා රුසියානු සහ සෝවියට් සාහිත්‍යයේ උත්තම මානුෂික හරය සිතින් වැලඳ ගත් සහෘදයෙකු වීමේ ඉෂ්ට ප්‍රතිඵලයක් වශයෙනැයි යනු මගේ අවංක හැඟීමයි. දිවි හිම් තෙක් ඔහු තුළ, කොමියුනිස්ට් පක්ෂ සහෝදරයා අබිබවා රුසියානු සහ සෝවියට් සාහිත්‍ය සහෘදයා විරාජමාන වූයේ නොවේද? 'ගුණසේන විතාන' යන සංඥා නාමයට පර්යාය නාමයක් වන තරමට 'ජනතා සාහිත්‍ය සංකල්පය' ඔහුගේ සම්, මස්, නහර සිඳ ඇට මිදුළු තෙක් ගිලී පැවතිණැයි සිතම්හ.
ගුණසේන විතානයන් තම 'ජනතා ලේඛක පෙරමුණ' මගින් අභීතව අදීනව එකලාව අප්‍රතිහත ධෛර්යයෙන් ගෙනගිය 'සමාජවාදී යථාර්ථවාදී' සාහිත්‍ය ව්‍යාපාරයට මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගෙන් එල්ල වූයේ නිර්දය විචාර විෂශරප්‍රහාරයකි. ගුණසේන විතානයන් අති පරිණත ලීලාවෙන් එය ඉවසුවේ සතර බඹ විහරණයට අයත් 'උපේක්ෂා' ගුණය විදහා පාමිනි. පසු කලෙක දග්ධ මුග්ධ විශ්වවිද්‍යාල බලධාරීන් විසින් මහාචාර්ය සුචරිත ගම්ලතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් නෙරපා හළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් හඬ නැගූ සත්පුරුෂයෝ දෙදෙනෙක් මගේ මතකයෙන් කිසි දා මැකී නොයති. ඉන් එක් සත්පුරුෂයෙක් මගේ සන් මිත්‍ර මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයෝය. ඔහු මෙන්ම මහාචාර්ය සුචරිත ගම්ලත්හුද මගේ සන්මිත්‍රයෙකි. ඒ දිනවල සුනන්ද හා සුචරිත දෙදෙනා අතර පැවැතියේ උග්‍ර විරසකයකි. එහෙත් එවේලේ ගම්ලතුන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයෙන් ඇසුණේ සුනන්ද මහේන්ද්‍රයන්ගේ හුදෙකලා හඬ පමණි. ගම්ලතුන්ට සිදුවූ අසාධාරණයට විරුද්ධව තම
'ජනතා ලේඛක පෙරමුණ' මගින් හඬක් නැගීමට ඉදිරිපත් වූ අනිත් සත්පුරුෂයාණෝ ගුණසේන විතානයෝය. සුනන්දයන් මෙන්ම විතානයන්ද සතර බඹ විහරණයට අයත් 'කරුණා' ගුණෝපේත සාක්ෂාත් සත්පුරුෂ මූර්ති යුගලයක් සේ දැකීම කවර වරදද?
ගුණසේන විතානයන් සිංහල දෙමළ ලේඛක සමගිය වෙනුවෙන් පමණක් නොව සිංහල සිංහල ලේඛක සමගිය වෙනුවෙන්ද ඇප කැප වූ සත්පුරුෂයෙකු බවට අස්මත්හු ප්‍රත්‍යක්ෂ සාක්ෂිකරුවෙක් වම්හ.එක් කලෙක විවිධ මත ගැටුම් පාදක කරගෙන මාර්ටින් වික්‍රමසිංහයන් හා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතරත් කේ.ජයතිලකයන් හා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් අතරත් හටගෙන තිබුණු උග්‍ර විරසකයන් මුලින් පිස දමා ඔවුනොවුන් යළි සමගි කිරීමට ගුණසේන විතාන නාමධේය අති පරිණත අති අව්‍යාජ මානව ප්‍රේමියා දැරුවේ අප්‍රතිහත ප්‍රයත්නයකි.
"මං අද ඉන්න තැනට එන්න ප්‍රධාන වශයෙන් සිංහයො දෙන්නෙක් මට පිහිට වෙලා තියෙනවා. දෙන්නම වික්‍රමසිංහල. එක සිංහයෙක් දොස්තර සුගීශ්වර අබේවර්ධන (එස්.ඒ) වික්‍රමසිංහ. අනික් සිංහයා මාර්ටින් වික්‍රමසිංහ."
ගුණසේන විතානයන්ගේ මුවින් මෙම ප්‍රකාශය ගිලිහුණේ වරක් දෙවරක් නොවේ.මාර්ටින් වික්‍රමසිංහයන් කෙරෙහි ගුණසේන විතානයන් තුළ පැවති නොසිඳෙන භක්ත්‍යාදරය සංකේතවත් කරන ප්‍රතිමූර්තියක් ලෙස කොග්ගල වික්‍රමසිංහයන්ගේ උපන් ගෙය හැඳින්විය හැකිය.
මක් නිසාද යත් , ගුණසේන විතානයන්ගේ අති මහත් උත්සාහය හා කැපවීම නොවන්නට මාර්ටින් වික්‍රමසිංහයන්ට ඒ ගෙය යළි කිසි දා අත්පත් නොවන්නටද ඉඩ තිබුණු හෙයිනි. තමා උපන් නිවස මාර්ටින් වික්‍රමසිංහයන්ට යළි ප්‍රදානය කළ අවස්ථාවේ ඒ නිමිත්තෙන් සම්මාන සංග්‍රහයක් මෙන්ම 1982 දී 'මාර්ටින් වික්‍රමසිංහ විමර්ශන' නිබන්ධ සංග්‍රහයක්ද පළ කරමින් ගුණසේන විතානයන් ඒ මහා ගත්කරුවාණන්ට බුහුමන් දැක්වූයේ ඉත සිතින් සේම ඉමහත් බැතිමතිනි.
මාර්ටින් වික්‍රමසිංහයන් කෙරෙහි ගුණසේන විතානයන් තුළ පැවති අප්‍රමේය භක්තිය ප්‍රකට කරන මගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් මෙවේලේ සිහියට නැගීම කෙසේ වළකම්ද? පේරාදෙණි සාහිත්‍ය ගුරු කුලය නිර්දය ලෙස හා සාහසික ලෙස විදාරණය කරමින් ලියන ලද 'සාහිත්‍ය කොල්ලය' නමැති විචාර
ග්‍රන්ථය යළි ප්‍රකාශයට පත් කිරීමේ අභිලාෂයෙන් මා ළඟ තිබූ එහි පිටපතක් ඉල්ලාගෙන කියවූ ගුණසේන විතානයෝ දින දෙක තුනකට පසු මා හමුවී මෙසේ පැවසූහ.
"කරූ මේ පොත මේ කාලෙ පළ කෙරුවා නම් හොඳට විකිණෙයි. ඒත් මං තීරණය කළා ඒක පළ නොකරන්න. ඒ පොතේ මාර්ටින් වික්‍රමසිංහ ගැන කරන්නෙ හරිම අසාධාරණ විවේචනයක්. පේරාදෙණි ගුරුකුල වාදයටයි පේරාදෙණි සාහිත්‍යයටයි මාර්ටින් විමසිංහ වගකිවයුත්තෙක් නෙවෙයි. පොත පළ කරලා මට පුළුවන්ද ඒ ශ්‍රේෂ්ඨ මනුස්සයට දෙවෙනි වරටත් අසාධාරණයක් කරන්න!"
ගුණසේන විතානයන් අනුනට උපකාර කිරීමෙහි ලා විවෘත හදකින් යුතුව නොපැකිළව නොපමාව ලාභ සත්කාර නොතකමින් කොතරම් අකුටිලව කැපවන්නෙකුද යන්න පිළිබිඹු කරන කැටපතක් වන් අත්දැකීමක් මට මෙවේලේ සිහිපත් වෙයි. මගේම අත්දැකීමක් වන මෙයද මෙහි සටහන් කරන්නේ ගුණසේන විතානයන්ගේ ඒ ගුණයට ප්‍රණාමයක් වශයෙනි. ඒ වූකලී මගේ කුලුපග මිත්‍ර රංජිත් ධර්මකීර්ති නාට්‍යවේදියා ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කි ගේ Lower Deapths නමැති නාට්‍යය 'හිරු නැති ලොව' නමින් සිංහලෙන් නිෂ්පාදනය කරමින් සිටි කාලයයි. මුල් රුසියානු නාට්‍යයේ හා එහි ඉංග්‍රීසි පරිවර්තනයේ ආ ඇතැම් යෙදුම් හා වදන් අරබයා යම් යම් කරුණු පැහැදිලි කර ගැනීමට සෝවියට් සංස්කෘතික කේන්ද්‍රයට යන ලෙස මම රංජිත් ධර්මකීර්තීන්ට උපදෙස් දුන්නෙමි. එහෙත් එහි ගිය ඔහුට ඒ සඳහා කිසිදු පිටිවහලක් එතැනින් නොලැබුණු බව දිනක් ඔහු මා සමග පැවසීය. එම නාට්‍යයේ 'ක්ලේෂ්' නම් චරිතය රඟ පෑවේ මා බැවින් අපි දෙදෙනා සෑම හවසකම ,රෝයල් ප්‍රයිමරි පැරණි රඟහලේ පැවති පුහුණුවීම්වලදී මුණ ගැසුණෙමු. ඔහු යට කී පුවත මා සමග පැවසුවේ එසේ පුහුණුවීම් සඳහා හමුවුණු දිනකය. මම පසු දාම රංජිත් සමග මගේ කුලුපග මිත්‍ර ගුණසේන විතානයන්ගේ වැලිකඩ ගෙදරට ගියෙමි. පළමු වරට ඔහුට රංජිත් හඳුන්වා දුන් මම සිද්ධිය ඔහුට දන්වා සිටියෙමි. ඉන්පසු අප තිදෙනා විශේෂයෙන් මැක්සිම් ගෝර්කි ගැනත් පොදුවේ රුසියානු සහ සෝවියට් සාහිත්‍යය ගැනත් බොහෝ වේලා පිළිසඳරේ යෙදී සිටි සැටි මට අද මෙන් මතකය. Lower Deapth නාට්‍යයේ සිංහල නිෂ්පාදනය ගැන රංජිත්ගෙන් තොරතුරු විමසූ විතානයෝ
'ජනතා ලේඛක පෙරමුණ' හා එක් වන ලෙස ඔහුට ඇරියුමක්ද කළහ. ගුණසේන විතානයන්ගෙන් සමුගෙන එන අතර රංජිත් මා සමග කතා කළේ සැක මුසු හැඟීමකිනි. රුසියානු නාට්‍යයක් සිංහලෙන් නිෂ්පාදනය කරන නාට්‍යකරුවෙකු කෙරෙහි සෝවියට් සංස්කෘතික කේන්ද්‍රය දැක්වූ උදාසීන ආකල්පය කරණකොටගෙන හොඳටම කලකිරී සිටි රංජිත් ධර්මකීර්තීන් තුළ ගුණසේන විතානයන්ගෙන්ද තමාට උපකාරයක් නොලැබේය යන සැකය විය. එසේ සැකයක් ඇතිකර නොගන්නා ලෙස එවේලේ මා රංජිත්ට කීවේ ගුණසේන විතානයන්ගේ ගුණ වෙසෙස් මා හොඳින් දැන සිටි හෙයිනි. එකල සෝවියට් සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේ ජිජින් නමැති හොඳ සහෘදයෙකි. රංජිත් ධර්මකීර්තීන්ගේ
'හිරු නැති ලොව' සිංහල නිෂ්පාදනයේ සාර්ථකත්වයට එදා ගුණසේන විතාන - ජිජින් දෙදෙනාගේ නොපමා හමුව මහත් පිටිවහලක් විය. පසුව රංජිත් ධර්මකීර්ති නාට්‍යවේදියාට නාට්‍ය කලාව සහ සාහිත්‍යය හැදෑරීම සඳහා සෝවියට් දේශයට යෑමට අවස්ථාවක් සැලසීමද ගුණසේන විතානයන් සතු පෘථුල හෘදය සනාථ කරන මනා සාධකයකි.
පසු කලෙක කොමියුනිස්ට් පක්ෂයේ 'මව්බිම' පුවත්පතේ මෙන්ම 'ඇත්ත' පත්තරේත් 'නව ලෝකය' සඟරාවේත් සංස්කාරකත්වය දැරූ ගුණසේන විතානයෝ තම දිවියේ සන්ධ්‍යා සමයේදී අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා අධ්‍යාපන ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ සභාපතිත්වයට පත්ව ළමා සාහිත්‍ය සංවර්ධනය, පාසල් සාහිත්‍ය සංගම් සංවර්ධනය හා ගෘහ පුස්තකාල සංවර්ධනය වෙනුවෙන් අප්‍රමේය කැප කිරීමක් කළහ.
බද්දේගම ශාන්ත අන්තෝනි විදුහලේ තම සිංහල ගුරුවරුන් අතර හෙළ හවුලේ සාමාජිකයන්ද සිටි කලෙක ඔහුගේ සිංහල භාෂා සාහිත්‍යය ඇල්ම මෙන්ම දැනුමද සුහුඹුල්ව වැඩී යෑම කවර අරුමයක්ද ? ගුණසේන විතානයන් ශ්‍රී ලංකා අධ්‍යාපන ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ සභාපති වශයෙන් විශිෂ්ට ගණයේ විද්වතුන් සහභාගි කරගෙන අක්ෂර වින්‍යාසය හා පද බෙදීම විෂය කරගත් සම්මත නීති සංග්‍රහ දෙකක් පළ කරවීම වනාහි ඔහුගේ භාෂා සාහිත්‍ය වාත්සල්‍යයේ හා ශික්‍ෂණයේ ඉෂ්ට ඵලාගමයක් නොවේද?
සමාජවාදයේ ගැබ්වුණු මානව දයාවත් බුදු දහමේ ඉගැන්වෙන සත්ව කරුණාවත් දෙකක් නොව එකක් ලෙස සලකා උදාර අරමුණක් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ සත්පුරුෂයෙකු ලෙස ගුණසේන විතානයන් හැඳින්වීම කවර වරදද?සිංහල දෙමළ සමගිය වෙනුවෙන් ඔහු අඛණ්ඩව ගෙන ගිය සටන වනාහි ලාභ ප්‍රයෝජන සඳහා එන්.ජී.ඕ කාරයන් ගෙන ගිය ජාවාරම් සටන් ගණයට නොවැටෙන බැවිනි. ගුණසේන විතානයන්ගේ දැනුම, අත්දැකීම මෙන්ම නිර්මාණ ශක්තියද මුළුමනින්ම කැප කරන ලද්දේ ඒ උදාර අරමුණ වෙනුවෙනි.
75 වසරක තම ජීවන මෙහෙවර අරබයා 'දෙනෝ දාහක් අතර' නමින් 2004 පළ කළ අභිනන්දන සංග්‍රහයට 'දුටිමි වින්දෙමි' යන හිසින් ලිපියක් සපයන ගුණසේන විතානයෝ එහි ලා මෙසේ පවසති.
"සියල්ල සඟ සතුය, සියල්ල සමාජය, සමූහය සතුය යන බුද්ධ භාෂිතය අනුව විද්‍යාව, තාක්ෂණය, කලාව වහල් කර ගත යුතුව ඇත්තේ මිනිසාට සහ සමාජයට සේවය කිරීම සඳහා පමණකි. හැත්තෑවේ දශකයේදී අපි 'කලාව ජනතාව සඳහාය' යන ස්ථාවරයෙහි රැඳී ජනතා සාහිත්‍යය නමින් නව සංකල්පයක් ඉදිරිපත් කෙළෙමු. එයට හේතු වූයේ නිදහස් වන යටත් රටවල් කෙලෙසීම අරමුණු කරගත් පරාජිත චරිත අගය කිරීමේ කලාවක් පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වූ නිසාය.
"සමාජීය සාහිත්‍ය අධ්‍යයනයක යෙදුණ 'ජනතා ලේඛක පෙරමුණ' පේරාදෙණි විචාරය පිටු දකින ගමන් සරච්චන්ද්‍රයන් සමග සංවර්ධනාත්මක සංවාදයක්ද ගෙනයාමට ඉදිරිපත් වූයේය. මෙම ප්‍රයත්නය සාර්ථක කිරීමට
මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාද ජනතා ලේඛක පෙරමුණට දායක වූයේය.
"මම අදත් මාක්ස්වාදියෙක්මි. මම ඇතැමුන් මෙන් ජාතිවාදී හෝ කුලවාදී වූ මාක්ස්වාදියෙක් නොවෙමි. බෞද්ධයෙකු වන මට එය මහත් ගෞරවයකි. අභිමානයකි. ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් හෙවත් සූරාකෑමෙන් බිහිවූ ලෝකය වෙනස් කර ලෝභ, ද්වේෂ මෝහයෙන් තොර සුදාන්ත ලෝකයක් ගොඩ නැගිය හැක්කේ බුදු දහම ගැඹුරින් හදාළ මාක්ස්වාදියාට පමණකි. ගත වූ හැත්තෑ පස් වසර තුළ මා පසක් කරගත් පරම සත්‍යය එයයි."
එම අභිනන්දන ග්‍රන්ථයට දයාරත්න රණේපුර සහෝදර කවියා විසින් සැපයුණු කවි පෙළක එන අවසන් කවියෙන් මගේ මේ මතක වත අවසන් කිරීම මැනවැයි හඟිමි.
ඊයේ වමට අද දකුණට ලියා
නැත
පොට වැරදුණේ නැත පිල පැටලුණේ
නැත
පණ වැනි සොයුර දිනු ජනතාවගේ
හිත
ඔබ කිසි විටෙක රතු ඉර පැන ගියේ
නැත
- දයාරත්න රණේපුර
[ 'බෞද්ධ මාක්ස්වාදියා' නමින් 'මතක හා මතය' මැය යටතේ පළ වන මෙම ලේඛනයෙහිදී මවිසින් යොදන ලද 'ගඩ්ඩරිකා ප්‍රවාහය' යන වාක්ප්‍රයෝගයේ සුලමුල පිළිබඳ ක්ෂුද්‍ර විවරණයකි මේ.]
'බැටළු' හෝ 'එළු' රැළ හෙවත් පෙළ යනු මෙම වාක්ප්‍රයෝගයේ වාච්‍යාර්ථයයි. සංස්කෘත භාෂාවෙන් බැටළුවා හෝ එළුචා හැඳින්වෙන්නේ 'ගඩ්ඩර' යන නමිනි. මෙම වාක්ප්‍රයෝගය ඉන්දියාවේ පැරණි සංස්කෘත ආලංකාරිකයන් විසින් නිපදවන ලද්දකි. 'ආලංකාරිකයන්' යනු පැරණි සංස්කෘත කාව්‍ය විචාරකයන් හඳුන්වන ප්‍රකට සංඥා නාමයයි. ඔවුන් විසින් ඉහත කී වාක්ප්‍රයෝගය නිපදවන ලද්දේ අනුකාරක කවියන් අවඥාවට ලක් කරන සුලු නින්දා පදයක් වශයෙනි. බැටළුවන්ගේ හෝ එළුචන්ගේ පුරුද්ද මුලින් යන එකා අනුව එකා පස්සේ එකා යෑමය. එසේ යද්දී කඳු ගැටයක් නගින විටෙක මුලින් යන එකා හදිසියේ පස්සට ඇද වැටුණහොත් ඌ පස්සේ එක පෙළට යන සෙස්සන්ද එක දිගට වැටීගෙන යෑම අරුමයක් නොවේ. එකම අච්චුවේ අනුකාරක කවියන්ට අවඥා පිණිස ආදි සංස්කෘත ආලංකාරිකයන් විසින් නිපදවන ලද මෙම පැරණි වාක්ප්‍රයෝගය අද වෙසෙන අනුකාරක කවියන්ට පමණක් නොව අන් සියලු අනුකාරක සාහිත්‍ය හා කලා කරුවන්ටත් එක සේ වලංගු චතුර ප්‍රායෝගික නිර්මාණයක් නො වේ ද?
මෙරට බොහෝ මවුපියන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන්ද ලිංගික කරුණු සම්බන්ධයෙන් අවිද්‍යා අන්ධකාරයේ පසුවන්නන් බව ඔවුන් ගේ අදහස් උදහස්, ආකල්ප විකල්ප මගින් ම
දිගු කලක පටන් මම සෑම සතියක් නෑරම ජාතික ගුවන්විදුලිය ඔස්සේ ’පෙරවදන’ නමින් පොත්පත් හඳුන්වාදීම අරබයා වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියෙමි.
මෙරට වත්මන් ලේඛක පරපුර අතින් බිහිවෙන ඇතැම් කවි , ගීත , කෙටි කතා , නවකතා ආදි නිර්මාණ මගින් පීඩිත පන්ති හැඟීම , මානව දයාව , සටන්කාමිත්වය යන වෙසෙස් ගුණාංග ප්‍ර
ජගත්.ජේ.එදිරිසිංහයන් ෆේස්බුක් මගින් මගේ අවධානයට ලක් කළ විකාර වාක් ප්‍රයෝග පිළිබඳ සුලමුල විවරණය කරමින් මා වරක් එෆ්බීයට සැපයූ පිළිතුරු ලිපිය මගේ ’මතක ස
’ෆේස් බුක්’ මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි.
සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 96 වැනි වියට එළැඹෙණුයේ 2024 නොවැම්බර් 12 වැනි දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
බෞද්ධ මාක්ස්වාදියා