කවර භාෂාවක් වුවද ප්‍රගුණ කිරීමේදී කුසලතා සතරක් වර්ධනය කර ගැනීම අනිවාර්ය බව භාෂාවිඥයන්ගේ මතයයි. භාෂාවේ චතුර්විධ කුසලතා වර්ධනය ලෙස එය හැඳින්වේ. පඨනය හෙවත් කියවීම (Reading ), ලේඛනය හෙවත් ලිවීම (Writing), භාෂණය හෙවත් කතාව (Speaking ) සහ ශ්‍රවණය හෙවත් ඇසීම (Listening ) යනු ඒ කුසලතා චතුෂ්කයයි. පිරිවෙන් අධ්‍යාපනයේදී මෙන්ම පාසල් අධ්‍යාපනයේදීත් මව්බස ප්‍රගුණ කරවීම උදෙසා එදා සිට අද දක්වාම අඛණ්ඩව ක්‍රියාවට නැගෙන ප්‍රමුඛ ප්‍රායෝගික කාරිය වන්නේ එකී චතුරංග භාෂා කුසලතා වර්ධනයම මිස අනෙකක් නොවේ.
එහෙත් මව්බස හෙවත් සිංහල බසට අයත් කියවීම, ලිවීම හා කතාව යන විශේෂ භාෂා කුසලතා ත්‍රිකය පුවත්පත් ඇතුළු ලේඛන ක්ෂේත්‍රයේ මෙන්ම ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේත් මෙකල අන්ත අකුසලතා බවට පිරිහී ඇතැයි නිතර චෝදනා නැගේ. එසේම එහි දුර්භාවිතය අඛණ්ඩව නිර්දය විවේචනයටද ලක් වේ. මෙවැනි චෝදනා එල්ල කරන බහුශ්‍රැත විද්වතුන් හා පරිණත මාධ්‍ය ප්‍රවීණයන් එකී පරිහානියට පාදක වුණු හේතු විමසීමේදී එකල පැවති ජාතික පුවත්පත්වල භාෂා භාවිතය මෙන්ම ජාතික ගුවන්විදුලියේ භාෂා භාවිතයද එක සේ සංසන්දනාත්මක සාධකයන් කොටගැනීම නිසැකව සිදුවන්නකි. ඒ ඔවුන් බොහෝ දෙනෙකු ප්‍රස්තුත මාධ්‍යයන් පිළිබඳ ප්‍රත්‍යක්ෂ අත්දැකීම් ලද්දවුන් වන හෙයිනි.
එකල ජාතික ගුවන්විදුලිය පමණක් නොව ජාතික පුවත්පත්ද පුවත්පත් කලාවේදීන් පුහුණු කිරීමේදී චතුර් විධ භාෂා කුසලතාවන්ට අයත් වන ලේඛන කුසලතාව ප්‍රගුණ කරවීමෙහිලා විශේෂ සැලකිල්ලක් දැක්විය. උක්ත ආඛ්‍යාත යෝගය, අක්ෂර වින්‍යාසය සහ පද වෙන් කිරීම ආදියට අදාළ දෝෂ අද මෙන් එකල භාවිතයේ පැවති පුවත්පත් භාෂාවේ දක්නට නොලැබීමටත් එහි වියත් බව ආරක්ෂා වීමටත් එකී ලේඛන ප්‍රාගුණ්‍යය බලවත් සාධකයක් වූ බැව් ඉඳුරා පැවසිය හැකිය.
චතුර්විධ භාෂා කුසලතා මැනවින් ප්‍රගුණ කළවුන් එකල ජාතික පුවත්පත්වල මෙන්ම ජාතික ගුවන් විදුලියේද හිඟ නොවූ බව අත්දැකීමෙන් දන්නාහු මෙකලද
දිවමන්ව සිටිති. එහෙයින් එම භාෂා කුසලතාවන්ගේ වත්මන් පරිහානිය ගැන කරන කර්කශ විවේචනයේදී ඔවුන් මෙකල පුවත්පත්හි හා ගුවන්විදුලි රූපවාහිනිවල නිතර දකින පිරිහුණු බස තමා පෙර අත්දුටු පොහොසත් බස සමග සැසඳීමට ඉබේම පෙලඹීම කවර අරුමයක්ද?
භාෂා ප්‍රාගුණ්‍යයේදී කියවීම, ලිවීම හා කතාව යන ත්‍රිවිධ කුසලතා වර්ධනය අත්‍යවශ්‍ය බව ප්‍රත්‍යක්ෂ වෙතත් එහිලා 'ඇසීම' යන කුසලතාවෙහි වැදගත්කම ඇතැමෙකුට අවිෂය විය හැකිය. එහෙත් මෙහිදී සෙසු කුසලතා ත්‍රිකයටම බලපාන ප්‍රබලම කුසලතාව වන්නේ ඇසීම් කුසලතාව බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය. ජාතිබධිර (උපතින් බිහිරි) කෙනෙකු භාෂණාබාධිත භාවයට පත්වීම ස්වභාවසිද්ධ ප්‍රතිඵලයකි. එමගින් සනාථ වන සත්‍යය කුමක්ද? භාෂණය හෙවත් කතාව වූකලී
පූර්වශ්‍රුත ශබ්ද පද්ධතියක් එනම් පෙර ඇසීමෙන් කනට හුරුපුරුදු වුණු කිසියම් ශබ්දාවලියක් ආධාර කොටගෙන කෙරෙන ප්‍රකාශනයක් බවය. තමා කිසි දා නොඇසූ විරූ ආගන්තුක ශබ්දයක් යළි ප්‍රකාශ කිරීම කෙසේ කළ හැක්කක්ද? ජාත්‍යන්ධභාවය යනු ඉන් පෙර කිසි දිනක කිසිම රූපයක් ඇසට ගොදුරුව නැති බවයි. එනයින්ම ජාතිබධිර භාවය ලෙස සැලකෙන්නේද කවර දා හෝ කිසිදු හඬක් ඉන් පෙර කනට නෑසී ඇති බව මිස අන් කුමක්ද?
භාෂාවක 'හෝඩිය' යනු ඒ භාෂාවට අයත් මූල ශබ්දමාලාවයි. එය විවිධ ධ්වනි සහිත විචිත්‍ර ශබ්දපද්ධතියක් මිස ඒක ධ්වනි සහිත ඒකාකාරී වූවක් නොවේ. එය නිවැරදි ලෙස වෙන් කොට හඳුනාගෙන ස්මෘතිගත වනුයේ නිවැරදි වූත් පැහැදිලි වූත් ශ්‍රවණය හෙවත් ඇසීම ආධාරයෙනි. එම ශබ්ද නිවැරදිවත් පැහැදිලිවත් මුඛාරූඪ වනුයේ ඉන් පසුවය. භාෂණය එහි අග්‍ර ඵලයයි.
හෝඩියෙහි අන්තර්ගත ශබ්ද මාලාව ඇසට හා පෑනට හසු කිරීම, එනම් කියවීම හා ලිවීම කළ හැකි වනුයේ එම ශබ්ද නියෝජනය කරන නැතහොත් ඒවා වෙනුවෙන් පෙනී සිටින සම්මත රූප මාලාවක් හෙවත් සංකේත සමූහයක් ආධාරයෙනි. ඒ සඳහා නිර්මිත එම රූප මාලාව
හැඳින්වෙන්නේ 'අක්ෂරමාලාව' යන නමිනි. 'මහාරූපසිද්ධි' නමැති ප්‍රාමාණික පාලි ව්‍යාකරණ ග්‍රන්ථය විසින් 'අක්‍ෂර' ශබ්දයේ නිරුක්ත්‍යර්ථය දැක්වෙනුයේ පහත සඳහන් කෙරෙන විග්‍රහ වාක්‍යයෙනි.
"නක්ඛරන්තී'ති අක්ඛරා"
එහි අර්ථය කුමක්ද?
"කොතරම් කතාව සඳහා භාවිතයට ගත්තද කොතරම් ලිවීම සඳහා භාවිතයට ගත්තද 'ඛය'
(සංස්කෘතයේ 'ක්ෂය') නොවන්නාවූ (එනම්, නැතිව නොයන්නාවූ අවසන් නොවන්නාවූ") යන අර්ථයෙන් 'අක්ඛර' නාමය සිද්ධ වෙයි."
'අකුරු' යන හෙළ වදන ඉහත දැක්වුණු පාලි විග්‍රහ වාක්‍යයෙහි එන 'අක්ඛර' යන්නෙන් සිංහලට බිඳුණකි. එහි සංස්කෘත රූපය 'අක්ෂර' යන්නය. නිරුක්ත්‍යර්ථය සමාන වෙයි.
චතුර්විධ භාෂා කුසලතාවලට අයත් වන 'ශ්‍රවණය' හෙවත් 'ඇසීම' යන්න සෙසු තෙවැදෑරුම් කුසලතාවන්ටම ප්‍රමුඛ ලෙසත් ප්‍රබල ලෙසත් බලපාන මහා සාධකයක් බව ඉහත දැක්වූ විවරණය මගින් මනාව විශද වෙතියි සිතමි. කෙසේ වුවද පෙර පරපුර සතුව පැවැති චතුර්විධ භාෂා කුසලතා උරුමය ඛේදජනක ලෙස මෙසේ වත්මන් පරපුරෙන් ගිලිහී ගියේ කෙසේද යන්න බෑරෑරුම් ලෙස විමසා බැලීම ජාතික යුතුකමක් හා වගකීමක් නොවේද? මෙම පරිහානිය වූකලී ඉහත කී චතුර්විධ භාෂා කුසලතා උරුමය අහිමි ඕපපාතික ගුරු පරපුරක් අද්‍යතන පාසල් පද්ධතියට හිමිවීමේ අනිවාර්ය දුර්විපාකයක් නොවිය හැකිද?
සිංහල භාෂාව විෂයෙහි ගැඹුරු විග්‍රහාත්මක ඥානයක් උත්පාදනය කොට ගැන්මෙහිලා එහි ව්‍යාකරණ පක්ෂය මැනවින් හැදෑරීම අත්‍යවශ්‍ය කාරියක් වෙයි. එහිලා පාලි, සංස්කෘත යන උභය මූල භාෂා දැන සිටීම ශාබ්දිකයෙකු හට පරම ශාස්ත්‍ර සම්පතකි. භාරත දේශයේ පඬිවරු සංස්කෘත භාෂාවට අප්‍රමාණ භක්ති ප්‍රණාම දක්වති. ඔවුහු එය මළ භාෂාවක් ලෙස නොසලකති. බද්ධ ප්‍රේමයෙන් යුතුව එය ප්‍රගුණ කරති. සංස්කෘතයෙන් ලේඛනයෙහි යෙදෙති. භාෂණයෙහි යෙදෙති. සංස්කෘතය තම බැවහර බස කොටගෙන සිටින පොදු ජනතාව වෙසෙන පෙදෙස් තවමත් ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තයක හමුවෙයි. ඉන්දියානු වාග් විද්‍යාඥයෙකුගේ සුවිශේෂ ශාබ්දිකත්ව චිහ්නය වූකලී සංස්කෘත භාෂා ප්‍රාගුණ්‍යයයි.
අනාදිමත් කලක පටන් අප රට තුළද පරපුරෙන් පරපුරට අඛණ්ඩව ගලා ආ ගම්භිර ප්‍රාචීන ඥාන ධාරාව අල්පශ්‍රුතභාව මරු කතරේ ශීඝ්‍රයෙන් සිඳී යමින් පවතින බව පන්සල, පිරිවෙන, පාසල, විශ්වවිද්‍යාල යන ශාස්ත්‍ර භූමි අද නිස්සාර ශුෂ්ක බවට පත්ව ඇති සැටියෙන් නිසැක ලෙස පසක් වෙයි. වත්මන් ලංකාවම වෙළාගෙන සිටින දුස්සාධ්‍ය වයිරස ජාලාවක් හා සමාන අධ්‍යාත්ම නාශක සකල විධ ගුවන්විදුලි, රූපවාහිනී හා අන්තර් ජාල මාධ්‍ය මහෝඝය ඔස්සේ නොනැවතී බහුලව විකාශනය වන්නේ නිස්සාරත්වයේ ඝෝර භීරු දෝංකාරය මිස අනිකක් නොවේ. භාරත දේශයේ ප්‍රාඥයන් ප්‍රාචීන මූල භාෂාවක් වන සංස්කෘතය මළ භාෂාවක් ලෙස නොසලකා එහි නිධන්ගතව පවත්නා ඥාන ධනය අත්පත් කර ගනිමින් පොහොසත් වුවද මෙකල උගතුන්ගේ වෙස් මවාගෙන මෙරට වෙසෙන බොල් පිළිමයන්ට එය හුදෙක් මළ භාෂාවකි. අද මෙරට භාවිත වන්නේ සංස්කෘත ශබ්ද මිශ්‍ර සිංහල හෝඩියක් බව ඔවුහු නොදනිති. පාලියද ඔවුන්ට මළ භාෂාවකි. සිංහල බෞද්ධ පවුලක දරුවෙකු මව්කුස පිළිසිඳගත් දා සිට මරණය තෙක්ම ගාථා, බණ හා පිරිත් ඔස්සේ පාලි භාෂාව ඔහුගේ ජීවිතයට ආධ්‍යාත්මික වශයෙන් කොතරම් ප්‍රබල ලෙස බැඳී පවතින්නේද යන්න ඔවුහු අමතක කරති. තමා මෙලොවට බිහිකොට හැදූ වැඩූ මවුපිය දෙදෙනාගේ ගුණ සිහි කර නිබඳ නමඳින පාලි ගාථා යුගලයක අධ්‍යාත්ම උරුමයක් සතු සංස්කෘතියක් පාරම්පරිකව සිංහලයාට දායාද වී ඇති බව ඔවුහු සිහි නොකරති. බියෙන් තැති ගත් කලක ඔවුන්ට ඉබේම හඬ ගා කියැවෙන්නේ පාලි ඉතිපිසෝ ගාථාව මිස අනිකක් නොවේ. අප පන්සිල් ගන්නේ බුදුන් වඳින්නේ දහම් වඳින්නේ සඟුන් වඳින්නේ බුදුන්ට මල් පහන් පුදන්නේ පාලියෙන් මිස සිංහලෙන් නොවේ.
අද අප බාල වියේ සිටම හදාරන්නේ මිශ්‍ර සිංහල හෝඩිය මිස ශුද්ධ සිංහල හෝඩිය නොවේ. භාවිත කරන්නේද එයමය. අද මෙරට අධ්‍යාපනක්ෂේත්‍රයේ පිළිගත් සිංහල හෝඩිය එය වන හෙයිනි. පුරාණයේ පැවති සිංහල හෝඩියට ශුද්ධ සිංහල හෝඩිය යැයි කීවේ ඇයි? වෙනත් භාෂාවකට අයත් අකුරු කිසිවක් එක් නොවී හුදු සිංහලයටම ආවේණික ශබ්ද රූපවලින් පමණක් එය සජ්ජිතව පැවති හේතුවෙනි. එකල පරිශීලනය කිරීමට සිදු වූයේ එකී ශබ්ද රූප උපයුක්ත වචන පමණක් අන්තර්ගත භාෂාවකින් රචිත ලේඛන නිසා සුඛාවබෝධයට කිසිදු බාධාවක් නොවුණි.
ශුද්ධ සිංහල හෝඩිය මිශ්‍ර සිංහල හෝඩිය බවට පරිවර්තනය වූයේ කෙසේද? පාලි, සංස්කෘත හෝඩි දෙකට ආවේණිකව තිබූ ශබ්ද රූප පද්ධතියක් ශුද්ධ සිංහල හෝඩියට ප්‍රවිෂ්ට වීමත් සමගම එහි පෙර පැවති අමිශ්‍රත්වය මිශ්‍රත්වයට පෙරළුණි. එතෙක් 'අල්පප්‍රාණ' අක්ෂර පමණක් තිබුණු ශුද්ධ සිංහල හෝඩියට පළමු වරට 'මහාප්‍රාණ' අක්ෂර පැමිණියේ මෙහිදීය.තනිව සිටි දන්තජ 'ස' කාරයට තාලුජ 'ශ' සහ මූර්ධජ 'ෂ' යන ආගන්තුක ශකාර ෂකාර දෙකද ඒ සමගම එකතු වුණි. අතීතයේ පැවති හුදු හෙළ ලේඛන වෙනුවට පාලි සංස්කෘත මිශ්‍ර සිංහල ලේඛන පරිශීලනය ආරම්භ වීම මේ මිශ්‍ර සිංහල හෝඩියේ උත්පත්තියට මූල කාරණය වූ බැව් පිළිගත යුතුය.
මිශ්‍ර සිංහල හෝඩියට අයත් අක්ෂර රූප සාවද්‍ය ලෙස ලිවීමේ මෙන්ම එම අක්ෂර ශබ්ද සාවද්‍ය ලෙස උච්චාරණය කිරීමේද අනිවාර්ය දුර්විපාකය වන්නේ අර්ථ විපරීතයයි. මෙකල පන්සිල් දෙන ඇතැම් සාමණේරයන් වහන්සේලාට පමණක් නොව ඊනියා කාලීන බණ දෙසන ඇතැම් දේශකයාණන් වහන්සේලාටද පාලි ශික්ෂාපදයන්හි හා ගාථාවන්හි එන මහාප්‍රාණ ශබ්ද නොකියැවෙයි. වියතුන් සභා මැද දේශන පවත්වන්නා වූද ගුවන් විදුලි රූපවාහිනී නාලිකාවල සාකච්ඡා කතා පවත්වන්නා වූද ඇතැම් සිංහල ආචාර්ය මහාචාර්යවරුන්ටද පාලි සංස්කෘත තත්සම ශබ්දයන්ගේ මහාප්‍රාණ ශබ්ද නොකියැවේමැයි. ගුවන්විදුලි රූපවාහිනී නාලිකාවල නිතර දෙවේලේ වැඩසටහන් ඉදිරිපත් කරන ඇතැම් නිවේදක නිවේදිකාවන්ගේ මහාප්‍රාණ
ශබ්දෝච්චාරණය ගැන කවර කතාද? එසේම මෙරට රාජ්‍ය සම්මානයෙන් සම්පූජිත ඇතැම් ලේඛක ලේඛිකාවන්ගේ පවා සිංහල භාෂා භාවිතය වූකලී සාවද්‍ය ක්‍රියාකාරක පද සම්බන්ධය, උක්තාඛ්‍යාත යෝගය, අක්ෂර වින්‍යාසය, වාක් ප්‍රයෝග, අර්ථ ප්‍රකාශනය ආදි භාෂා දෝෂයන්ගෙන් අන්ත දූෂිතය. මේ භාෂා දුර්භාග්‍යයට හේතුව වනාහි මා පෙර සඳහන් කළ ප්‍රාරම්භ ගුරුභූමි දෙකට වත්මනෙහි චතුර්විධ භාෂා කුසලතා හීන ගුරු ජනයා ප්‍රවිෂ්ට වීමේ ශාපය මිස අනිකක් නොවේමැයි. මාතෘභාෂා භක්ති විමුක්ත, සුපෝෂිත භාෂා කුසලතා වියුක්ත, මෙවැනි ගර්හිත පරපුරක් මෙරටට උරුම වීම එකී භයංකර ශාපයේ අති ඝෝර දුර්විපාකයක් මිස අන් කවරක්ද?
ලක්දිව නූතන පිරිවෙන් අධ්‍යාපනය වූකලී 19 වන සියවසේ ඇරඹුණකි. ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසු සංස්කෘත භාෂා අධ්‍යයනයේ අභිනව ව්‍යාප්තිය සිදුවූයේ එහි ප්‍රති
කවර භාෂාවක් වුවද ප්‍රගුණ කිරීමේදී කුසලතා සතරක් වර්ධනය කර ගැනීම අනිවාර්ය බව භාෂාවිඥයන්ගේ මතයයි. භාෂාවේ චතුර්විධ කුසලතා වර්ධනය ලෙස එය හැඳින්වේ.
’’Language is the the greatest achievement of Culture; Poetry is the greatest achievement of Language.’’
මෙරට බොහෝ මවුපියන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන්ද ලිංගික කරුණු සම්බන්ධයෙන් අවිද්‍යා අන්ධකාරයේ පසුවන්නන් බව ඔවුන් ගේ අදහස් උදහස්, ආකල්ප විකල්ප මගින් ම
දිගු කලක පටන් මම සෑම සතියක් නෑරම ජාතික ගුවන්විදුලිය ඔස්සේ ’පෙරවදන’ නමින් පොත්පත් හඳුන්වාදීම අරබයා වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියෙමි.
මෙරට වත්මන් ලේඛක පරපුර අතින් බිහිවෙන ඇතැම් කවි , ගීත , කෙටි කතා , නවකතා ආදි නිර්මාණ මගින් පීඩිත පන්ති හැඟීම , මානව දයාව , සටන්කාමිත්වය යන වෙසෙස් ගුණාංග ප්‍ර
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
භාෂාවේ පරිහානියද? භාවිතයේ පරිහානියද?