ජගත්.ජේ.එදිරිසිංහයන් ෆේස්බුක් මගින් මගේ අවධානයට ලක් කළ විකාර වාක් ප්‍රයෝග පිළිබඳ සුලමුල විවරණය කරමින් මා වරක් එෆ්බීයට සැපයූ පිළිතුරු ලිපිය මගේ 'මතක සහ මතය' පාඨක පිරිසගේ ශාස්ත්‍ර ලාභය උදෙසා මම පසුගිය සතියේ ලංකාදීප 'මතු මහල' මගින් 'සිංහලයේ වෙසෙස් වියරණ ලකුණු' යන මැයින් යුතුව පුන ප්‍රචාරය කළෙමි. යථෝක්ත පිළිතුරු ලිපිය මුලින් එෆ්බීයේ පළවුණු අවස්ථාවේ ඊට ලැබුණු ප්‍රතිචාර බොහෝය. එයින් ඔවුන්ගේ මාතෘ භාෂා සංවේදිත්වය මොනවට ප්‍රකට වුණි. ඒ ප්‍රතිචාර ප්‍රකාශ අතර කෘතහස්ත පරිගණක විද්වතෙකු වන පුෂ්පානන්ද ඒකනායකයන්ගේ ප්‍රශස්ත ප්‍රතිචාර ප්‍රකාශයක් විය.
එය සියලුම සිංහල භාෂා ළැදි වියතුන්ගේ අවධානයට ලක් විය යුත්තකි. එහෙයින් එයද ලංකාදීප මතු මහලෙහි පළවන මගේමතක හා මතය' පාඨකයන්ගේ ඥානපථ විස්තාරය අරබයා මෙසේ පුන ප්‍රචාරය කිරීමට සිතුවෙමි. පහත දැක්වෙන්නේ පුෂ්පානන්ද ඒකනායකයන්ගේ එම ප්‍රතිචාර ප්‍රකාශයයි.
"මේ 'යන්' 'වන්' යෙදුම් ගැන මම යම් යම් තැන්වල කතා කර තිබෙනවා.'මගේ පරිගණක සිංහලය' පොතේද මේ ගැන තිබෙනවා. වචන බර කිරීමේ මේනියාවෙන් පෙළෙන නව මාධ්‍යකරුවන් අතින් මෙය දිගින් දිගටම ඇදීගෙන යනවා. මට පරිගණක අකුරු පිරික්සනයක් සැකසීමේ කටයුත්තට ආ විශාල බාධාවක් මෙය. නිශ්චිත බහුවචනය අබිබවා යමින් එන මේ අලුත් බහුවචන රැල්ල සහ එහි දොස ගැන භාෂා ප්‍රේමීන් කතා නොකිරීම ගැන වසර ගණනාවකම සිට කනගාටුවෙන් ඉන්න කෙනෙක් මම. මේ කාරණය නිසා සිංහලයේ නිශ්චිත වචන කෝෂයක් තනා නිම කිරීමට හැකියාවක් නැති වෙලා තියෙනවා. දැනට අපට ඇසෙන මෙහි දක්වා ඇති වචනවලට අමතරව 'චිත්‍රයන්' වැනි වචනත් මා අසා තිබෙනවා. මේ අනුව යමින් පරිගණක වචන කෝෂයට 'පාරයන්', 'ජනේලයන්', ඇළයන්', 'දොළයන්' යනුවෙන් ඉදිරියේ වචන එතැයි සිතා කටයුතු කරන්නට අපට සිදුවේද? 'හේතුව'- 'හේතු', 'නීතිය'-'නීති' වචනවලට අමතරව මේ ජුගුප්සාජනක 'හේතූන්', 'නීතීන්' යන අමතර අලුත් යෙදුම් වචන කෝෂයට හෙවත් පරිගණක දත්ත ගබඩාවට එක් කෙරිය යුතුද? එසේ සිත සිතා කරන්නට යෑමෙන් හෙවත් අපට නිම කරන්නට බැරි වචන හේතුවෙන් වටිනා තාක්ෂණ පහසුව තව බොහෝ දුර වෙයිද? වෙනත් රටවල, වෙනත් භාෂාවල දැනටමත් ප්‍රයෝජන ගන්නා වටිනා පරිගණක මෙවලම් මේ අමන භාෂා ව්‍යවහාර හේතුවෙන් පමාවීම විග්‍රහ කරන්නේ කෙසේද? මෙය තේරුම් ගැනීමට හැකි අය දැන් අප අතර අල්ප වී ඇති බවයි මට හැඟෙන්නෙ."
පුෂ්පානන්දයන්ගේ තත් ප්‍රතිචාරයට ප්‍රතිප්‍රතිචාර වශයෙන් මම භාෂා පරිහානියට මුල් වූ රෝග නිදානය එදා මෙසේ විවරණය කළෙමි.
පුෂ්පානන්දයෝ මෙරට පරිගණක තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි. ලංකාවේ පරිගණක භාවිතය ආරම්භ වූ සමයේ සිංහල අකුරුවල පිල්ලම් පැහැදිලිව නොවැදීම නිසා, ටයිප් කළ ලේඛන කියවීමේදී දුෂ්කරතා මතු විය. එය වූකලී සිංහල අකුරුවලට අයත් පිල්ලම් ක්‍රමයේ වරද නිසා වූවක් සේ දක්වමින් පිලි වෙනස් කළ යුතු බවට හඬ නැගුවෝද එකල වූහ. ඒ ගැන කිසිවක් නොතෙපලා කරබාගෙන පරිගණකයට ඕනෑ විදියට සිංහලය සකස් නොකොට සිංහලයට ඕනෑ විදියට පරිගණකය සකස් කළ පරිගණක තාක්ෂණයෙහි හසළ , එඩිතර, භාෂා ප්‍රේමියෙක්ද ඒ අතර විය. ඒ වනාහී පුෂ්පානන්ද ඒකනායක නම් භාෂා මාමක පරිගණක විද්වතාය.
කම්පියුටර් හෙවත් පරිගණක යුගය එන්නට පෙර උදාව තිබුණේ ටයිප්රයිටරය හෙවත් යතුරුලියනය රජ කළ යුගයයි. ඒ තාක්ෂණය හා එකට බැඳී තිබුණු අනෙක් ශිල්පය වූකලී ෂෝර්ට් හෑන්ඩ් හෙවත් ලඝුලේඛනයයි. අද පරිගණකය මෙන් එදා යතුරු ලියනය හා ලඝු ලේඛනය ලිපිකාර සේවයට අත්‍යවශ්‍ය අනිවාර්ය අංගයක් විය. මේ තාක්ෂණ පුහුණුව ලබා දෙන ජනප්‍රිය ආයතනයක් පනහේ හැටේ දශකවල වැල්ලවත්තේ පිහිටා තිබුණි. එය පොලිටෙක්නික් නම් විය. මෙකල පරිගණක පුහුණු ආයතන මෙන්ම එකල වූ පොලිටෙක්නික් පුහුණු ආයතනයද, රක්ෂා අපේක්ෂිත භද්‍ර යෞවනයේ හුන් තරුණ තරුණියන්ගෙන් පිරී පැවතුණි.
ෂෝර්ට් හෑන්ඩ් හෙවත් ලඝුලේඛනයේ ආදි නිර්මාතෘවරයා එකල ඒ ආයතනයට මහත් වූ කීර්තියක් අත්කර දෙමින් එහි
වැජඹුණි. ඔහු මුනිදාස කුමාරතුංග පඬිඳුන්ගේ හෙළ හවුලට ළැදි කීර්තිමත් විද්වතෙකි. ඔස්ටින් කැන්ටර් නමැති එතුමෝද පුෂ්පානන්ද පරිගණක විද්වතාණන් මෙන්ම සිංහලය විකෘති කිරීමට එරෙහි වූ වියත් භාෂා ප්‍රේමියෙකි. 'හෙළ බස් රුකුල' සහ 'සම්මත යෙදුම' යන කෘති දෙක ඔහුගේ භාෂා දැන්ම හා ඇල්ම සනාථ කරන ප්‍රත්‍යක්ෂ සාක්ෂි වෙයි.නිරවුල් ලේඛන සිංහලයක් බිහි කිරීම ඔහුගේ ඒකායන පරමාර්ථය විය.
මෙරට පුවත්පත්, ගුවන්විදුලි- රූපවාහිනී නාලිකා, ස්වතන්ත්‍ර කවි- කෙටිකතා- නවකතා හා නාට්‍ය ක්ෂේත්‍ර, පරිවර්තන ක්ෂේත්‍ර, රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙනත් සාහිත්‍ය විනිශ්චය මණ්ඩල ආදියෙහි වියත් බස නොහදාළ අය අද අපට සුලබව දක්නට ලැබෙන්නේ ඇයි? මොවුහු වනාහි නිදහස් අධ්‍යාපනයෙන් පසු බිහිවූ පරපුරකි. පාසල් පද්ධතියක් හා විශ්ව විද්‍යාල පද්ධතියක් චිරස්ථිත රටක බිහිව ඉගෙන හැදුණ වැඩුණ පරපුරකි. එහෙත් මොවුන්ගෙන් වැඩි දෙනෙකු තම මවුබස ව්‍යක්ත ලෙස නොහදාළ , එබැවින්ම ඊට අව්‍යාජ හෘදය සංවේදිත්වයකින් තොර, එසේම ,තම සංස්කෘතියට අයත් පුරාතන සම්භාව්‍ය සාහිත්‍ය ධාරාවට මුළුමනින්ම ආගන්තුක , ඕපපාතික අහිංසකයන් රැළක් වූයේ කෙසේද?
මෙය වූකලී මා ප්‍රත්‍යක්ෂ අත්දැකීමෙන්ම වටහා ගත් පරම යථාර්ථයකි.
විසි වසරකට වැඩි කලක් තිස්සේ මම 'පෙරවදන' නමින් යුත් වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ අඛණ්ඩව ඉදිරිපත් කළෙමි. ඒ වනාහි ලේඛකයන් හා ඔවුන් ලියා පළ කර ඇති විවිධ පොතපත හඳුන්වා දෙන වැඩ සටහනකි. එහිදී මේ පරපුරේ තරුණ ලේඛක ලේඛිකාවන්ගේ බස නිබඳව මගේ ඇස ගැසිණ. හැත්තෑවේ දශකයේ මා ගුවන්විදුලියෙන්ම ඉදිරිපත් කළ 'අද ලියැවෙන කවි' වැඩසටහනේදී ඔවුන්ගේ කවි බසද දුටිමි. දිගු කලක් තිස්සේ මවිසින්ම පවත්වාගෙන ආ ගුවන් විදුලි- රූපවාහිනී පාඨමාලාවේදීද මම මේ පරපුරට අයත් ආදරණීය තරුණ තරුණියන්ගේ බස හඳුනා ගත්තෙමි. 'ජාතික තරුණ සේවා සභාව' විසින් පවත්වන ලද ජන සන්නිවේදන සහ නාට්‍ය පාඨමාලා දෙකේම නිත්‍ය දේශකයෙකු වශයෙන් මම එහිදී හමුවුණ භද්‍ර යෞවන පරපුරේ බසද ඇසුවෙමි. දුටුවෙමි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන කාලයේ මෙන්ම ඉන් පසුවත් එමගින් දිවයින පුරා පැවැත්වුණ සිංහල භාෂා ගුරු නියාමක පුහුණු සම්මන්ත්‍රණ මාලාවේ නිත්‍ය දේශකයෙකු හැටියට මම තරුණ ගුරුවර ගුරුවරියන්ගේ භාෂාවද අවුරුදු ගණනක් තිස්සේ කනින් ඇසින් හඳුනා ගත්තෙමි. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේත් බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් එහි විද්‍යාර්ථීන්ගේ බස හඳුනා ගැනීමටද අවස්ථාව ලදිමි. ඉහත සඳහන් කළ යථාර්ථය මට ප්‍රත්‍යක්ෂ සාධකයක් වූයේ එමගිනි.
මෙහිදී මට එක් කරුණක් ඉඳුරා පසක් වුණි. එනම් මේ පරපුරේ භාෂා පරිහානියත් භාෂා අසංවේදීත්වයත් බෝ කළ වයිරසය හටගත්තේ මෙරට පාසල් පද්ධතිය තුළ බවය.එය කෙසේ සිදු වූවක්ද?
අමන දේශපාලන උදරම්බරියන්
ඒ ඒ ආණ්ඩු මගින් තම ගොදුරු ලොබ පතා ක්‍රියාත්මක කළ ජාතික ප්‍රතිපත්තියකින් තොර තාවකාලික අධ්‍යාපන ප්‍රතිසංස්කරණම මේ වයිරසය බිහි කිරීමට එකම තෝතැන්න විය යනු මගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයයි. මෙසේ ක්‍රියාත්මක කළ එක්තරා ප්‍රතිසංස්කරණයක අනිෂ්ට ප්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් පාසල් පද්ධතියේ සිටි නිර්මාණාත්මක , බහුශ්‍රැත , රසික සිංහල භාෂා සාහිත්‍ය ගුරුවරයාට ගතානුගතික , අනුකාරක , අල්පශ්‍රුත ගුරුවරයෙකුගේ තැනට ඇද වැටීමට සිදුවුණි. එය කෙසේ සිදු වූවක්ද? පෙර වූ සිංහල භාෂා සාහිත්‍ය ගුරුවරයා තම පුරාතන සාහිත්‍ය කෘති අතැඹුල සේ දත්තෙකි.ඔහුට සම්පූර්ණ පුරාණ සාහිත්‍ය කෘතියක් ඉගැන්වීමට සිදුවුණු නිසා ඔහු පුරාතන සාහිත්‍ය පද්ධතියම පරිශීලනය කළ හෙයිනි. එපමණකින් නොනැවතුණු ඔහු නූතන සාහිත්‍ය කෘති විනිශ්චය කළේද ඒවා පැරණි සාහිත්‍යය හා සසඳමිනි. ඔහු බහුශ්‍රැතයෙක් වූයේ එලෙසිනි. වියරණය , වචනකෝෂය , පදාර්ථ ඔහුගේ දිවග නිබඳ ලෙළදුණු. පැරණි පොත්වල වාසගම් කෑලි හා කවි කෑලි සහිත චිකන් පාර්ට්ස් පෙළ පොත් ක්‍රමය පැමිණීමත් සමගම මධුර මනෝහර සිංහල ග්‍රන්ථ රසාකරය ගුරුන් සන්තකයෙන් සිඳී වියළී ගියේය. පාසල් පද්ධතිය පාළු විය.
එතෙක් පාසල් පද්ධතියේ බහුශ්‍රුතයෙකු හා රසිකයෙකු ලෙස උදාර ලෙස විරාජමාන නිර්මාණාත්මක සිංහල භාෂා සාහිත්‍ය ගුරුවරයා මරා දැමුණේ කෙසේද? 'ගුරු අත්පොත' නමැති මෝඩ ගඩොල් අච්චුවකට සිරකිරීමෙන් අනන්තය හා සදිසි අනන්‍ය පරිකල්පනයක් අත්‍යවශ්‍ය වන ගුරු රසිකයාගේ නිර්මාණාත්මක විභවය අභාවයට යවමිනි. මේ ඩබල් බහුවචන කාර, ව්‍යාකරණ භීරුක ,
භාෂා සාහිත්‍ය රස ශූන්‍ය , අසංවේදී , අහිංසක පරපුර ඒ දුර්විපාකයේ අනිෂ්ට ප්‍රතිඵලයක් ලෙස හැඳින්වීම කවර වරදද?
ජගත්.ජේ.එදිරිසිංහයන් ෆේස්බුක් මගින් මගේ අවධානයට ලක් කළ විකාර වාක් ප්‍රයෝග පිළිබඳ සුලමුල විවරණය කරමින් මා වරක් එෆ්බීයට සැපයූ පිළිතුරු ලිපිය මගේ ’මතක ස
’ෆේස් බුක්’ මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි.
සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 96 වැනි වියට එළැඹෙණුයේ 2024 නොවැම්බර් 12 වැනි දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!
මා මාර්ටින් වික්‍රමසිංහ මහාශයන්ගේ ආවේශාත්මක වූත් ආස්වාදාත්මක වූත් සමීප ආශ්‍රය ලබමින් විසූ භාග්‍ය සම්පන්න සමයේ එක්තරා අවස්ථාවක මම ඔහුගෙන් මේ පැනය වි
ඇස්. පියසේන (සේනාධීර පියසේන) නම් බහුශ්‍රැත හා පරිණත මාධ්‍ය විශාරදයාණන් සමග ඉතා ළංව ඇසුරු කිරීමට ලැබීම මගේ පරම භාග්‍යයකි. අනූ වියද ඉක්ම මියෙන තෙක්ම පැහැද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
භාෂා පරිහානියේ රෝග නිදානය