IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


මැතිවරණ කාලයේ ජ්‍යෝතිෂ උන්මාදය

මතක හා මතය - 17

 

 

අභීත සන්නිවේදන මාධ්‍ය විශේෂඥයෙකු මෙන්ම අදීන ලේඛකයෙක්ද වූ කුෂ්වාන්ත් සිං නම් නිර්දය දේශපාලන විශ්ලේෂකයා වර්තමාන ඉන්දියානු දේශපාලකයන්ගේ ජ්‍යෝතිෂ උන්මාදය විවරණය කරමින් රචිත ප්‍රශස්ත ලිපියක සිංහල පරිවර්තනයක් මේ. මා මෙය සිංහලට නගා පළ කරන්නේ වත්මන් ලංකා දේශපාලකයන්ටද එය එක සේ අදාළ වන හෙයිනි. මැතිවරණ කටේ සිටින මෙරට ජෝතිෂමතාන්ධ මහජනයාටද මෙය ආලෝක ලේඛනයක් වනු නොඅනුමානය.]

මිනිසුන් වර්ග දෙකක් සමග මට මිත්‍ර සබඳතා පැවැත්විය නොහැකිය. ඉන් එක් වර්ගයක් සුනඛ ද්වේෂීන්ය. අනික් වර්ගය ජ්‍යෝතිෂ උම්මත්තකයන්ය. සුනඛ ද්වේෂීන් හඳුනා ගැනීම අමාරුය. සුනඛ ද්වේෂය ඔවුන්ගෙන්ම හෙළි වෙන තුරු ඔවුන් සුනඛ භීතිය සඟවාගෙන සිටින හෙයිනි . සුනඛ ප්‍රේමීන්ගේ ගෙවල්වලට ආරාධනාවක් ලැබූ කලය ඔවුන්ගේ සුනඛ භීතිය හෙළිදරව් වන්නේ. එවැනි අවස්ථාවක ඔවුන් මෙසේ පවසන නිසාය.

"මං ඉන්නකං අර බල්ලා කරුණාකරලා වෙන කාමරයකට දාලා තියන්න."

ඉතිං අර අසරණ බල්ලාට

දම්වැලක බැඳී හෝ කාමරයක සිරවී හෝ ඉන්නට සිදුවේ. සුනඛයෝ සමාජ ශීලී සත්ව විශේෂයකි. සමූහයාගෙන් පිටස්තරව විසීම උන්ගේ ක්‍රෝධයට කාරණයකි. උන් තම විරෝධය දක්වන්නේ බිරීමෙන් හෝ කෑගැසීමෙනි. තමන්ට අකැමැති අය ඉවෙන් හඳුනා ගැනීමට සමත් ඔවුහු ඒ අයට තමන් තුළ ඇති අකැමැත්තද නොසඟවා හෙළි කරති. ඇතැම් විට සුනඛ ද්වේෂීන් තමා තුළ ඇති අකැමැත්ත සඟවා ගන්නේ උන් ගණන් නොගැනීමෙනි. එහෙත් සුනඛයන් සුනඛයන් වීම නිසාම උන් සෑම අමුත්තෙකුම පිළිගන්නේ අධික උනන්දුවකිනි. සුනඛ පෝතකයෝ තව තව දේවල් කිරීමට ආශා කරති. ඔවුහු අමුත්තන්ගේ ඔඩොක්කුවට පනිති. ඔවුන්ගේ මුහුණු ලෙව කති. එය වැළැක්වුවහොත් කකුල් වකුටු කර ගනිති. එය සුනඛ ද්වේෂීන්ට පිටත්ව යා යුතු වේලාව පැහැදිලිව හඟවන සංඥාවක් වනු ඇත.

ජ්‍යෝතිෂ උම්මත්තකයෝ සුනඛ ද්වේෂීන්ට වඩා වෙනස් වර්ගයකි. සුනඛ ද්වේෂීන් අපගේ ජනගහනයෙන් සුළු පිරිසක් වන අතර ජ්‍යෝතිෂ උම්මත්තකයෝ අති බහුලයහ. සියයට අනූවකටත් වැඩිය. එයින් ටික දෙනකු හඳුනා ගත හැක්කේ ඔවුන් පැලඳ සිටින මුදුවලිනි. ඔවුන්ගේ උපතට හා වාසනාවට සම්බන්ධ මැණික් ගල් ඒවාට අල්ලා ඇති හෙයිනි. මොවුන්ගෙන් වැඩි දෙනෙක් වැඩි වශයෙන් ගුප්තය."ඔයා තුලාද? වෘශ්චිකද?" වැනි මෝඩ ප්‍රශ්න ඇසීම මගිනි ඔවුන් ජ්‍යෝතිෂ උම්මත්තකයන් බව හෙළි වී යන්නේ. නක්ෂත්‍රකරුවෝ ඒ ඒ ලග්න හිමි අයගේ සුබ අසුබ පලාපල කියන්නට පටන් ගනිති. ඔවුන් සමග වාදයකට පැටලුණොත් මගේ රුධිර පීඩනය උත්සන්න වී යයි. අතීතයේ පළ කළ අනාවැකි හා සම්බන්ධ දිග සිද්ධි මාලාවක් ඔවුහු කියාගෙන කියාගෙන යති. මේ අනාවැකි පළකොට ඇත්තේ ඒ සිද්ධි සිදුවීමට බොහෝ කලකට පෙරය. එසේම සුප්‍රකට නක්ෂත්‍රකාරයන් විසිනි. ඔවුන්ගේ නම් වට්ටෝරුව බෘගූ සංහිතාවේ සිට ආදි ප්‍රංශ දෛවඥ නොස්ත්‍රදාමුස් දක්වා විහිදෙයි. සාගරයේ වඩදියට හා බාදියට චන්ද්‍රයා බල පාන්නාක් මෙන් විවිධ තාරකා මිනිසාගේ දෛවයට බල පාන බව නක්ෂත්‍රකරුවෝ සහතික කොට කියති. ඔවුන් කොටු කරගැනීම ලෙහෙසි නැත. අනාවැකි පළ කිරීමේදී ඔවුන් මහත් සතුටින් නොපැහැදිලි නක්ෂත්‍ර වචන මාලාවක් භාවිතයට ගන්නා හෙයිනි. අනාගතයේ සිදුවන යම් යම් සිද්ධීන්වලට අදාළ දිනය හා වේලාව නිශ්චිත ලෙස කියා එය වැරදී යෑමෙන් කොටුවී ගොස් මුනින්තලා වැටුණු නක්ෂත්‍රකරුවෝද කලාතුරකින් හමුවෙති. දිල්ලියේ සිට නක්ෂත්‍ර සඟරාවක් පළ කරන ශ්‍රී මදන් වරක් මට කොටු විය. යම්කිසි විශේෂ දිනයක අපගේ පාර්ලිමේන්තුව තුළ සිදුවීමට තිබුණු ඛේදවාචකයක් ගැන ඔහු අනාවැකියක් පළ කළේය. ඒත් කිසි දෙයක් සිදු නොවුණි. මම ඒ ගැන මගේ කොලමේ ලියුවෙමි. ඊට පිළිතුරු වශයෙන් ඔහු මට බැණ වැදුණේ මා ඔහුගේ ගෝත්‍රයට විරුද්ධ අගතිගාමී මත දරන අඥානයෙකු ලෙස හඳුන්වමිනි.

නක්ෂත්‍රකරුවන්ට ලොකුම ඉල්ලුම ඇත්තේ මැතිවරණවලට පෙරය. තම කේන්දර රැගත් දේශපාලකයෝ දික් කරගත් අත්තල ඇතිව ඔවුන් වෙත දුව යති. සාර්ථක ප්‍රතිඵල අත් වන බවට සියලු දෙනාටම ඔවුහු සහතික වෙති. එහෙත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකටය. ජ්‍යෝතිෂ අනාවැකි කීමේ මිථ්‍යාව පවත්වා ගැන්මට එය ඔවුන්ට ප්‍රමාණවත්ය. මේ අතින් පසු ගිය මැතිවරණයද වෙනස් නොවීය. ඒත් එහි එක්තරා වෙනසක් දක්නට ලැබුණි. පළමුවෙනි වරට අපේ පත්තර සඟරා ජ්‍යෝතිෂ අනාවැකි පළ කිරීමට කරදර වුණේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ ඡන්දය දීමට පෙර මෙන්ම පසුද ඡන්ද

ප්‍රවණතා සංඛ්‍යාන වේදීන් කී දේ පළ කිරීමය. වෙනකෙකුට කළ නොහැකි වන සේ එක්තරා මෝඩකමක් කළ එක් පුද්ගලයෙක් මේ අතර සිටියේය. එනම් අන්ධ ලෙස ජ්‍යෝතිෂය විශ්වාස කළ තැනැත්තෙක් වූ ඔහු අනාවැකියක් ඇතුළත් ලියවිල්ලක පිටපතක් මට එවීමය. එය මහජනයා අතර බෙදා හැරීම සඳහා සකසන ලද්දකි. ඒ ලියවිල්ලේ ඇතුළත්ව තිබුණු එකී අනාවැකිය සම්මානනීය දෛවඥයෙකු විසින් පළ කෙරුණකි. මොහුගේ අනාවැකි කෙරෙහි යට කී පුද්ගලයා තුළ වූයේ දැඩි විශ්වාසයකි. 1999 සැප්තැම්බර් 24 වැනි දිනය සඳහන් ලියවිල්ල වී.මෝහන නමැත්තෙකුගෙනි. ඔහු ගැන එහි දැක්වෙන විස්තරය අනුව ඔහු චෙන්නායි නුවර පිහිටි ෆෙඩරල් ඉන්දියානු ව්‍යාපාරයේ ලේකම්වරයාය. නියමිත දිනයට කලින් බලෙන්ම ඡන්දයකට තල්ලු කිරීම කරණකොටගෙන ජාතියට මුහුණ පෑමට සිදුවූ තත්වය ගැන තම සන්තාපය පළ කිරීමෙන් අනතුරුව මෝහන ඡන්ද ප්‍රවණතා සංඛ්‍යාන වේදීන් විවේචනයට ලක් කරන්නට වෙයි. ඔහු මෙසේ ලියා ඇත.

"බොහෝ ගාලගෝට්ටි , කලබල , අප්‍රසන්න කතා සහ ක්‍රියා මැතිවරණය නිසා හටගෙන ඇත. මැතිවරණ නිරීක්ෂණයේ නිරීක්ෂකයන් විසින් ජනතාවගේ මනස ග්‍රහණයට ගෙන ඇත. අනිසි අයුරින් පවත්වන ලද මැතිවරණයේ ප්‍රතිවිපාකය සහ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඡන්දය දුන් ජනතාවගෙන් කළ මත විමසුම මගින් ව්‍යාකූලත්වය වඩාත් උග්‍ර කොට ඇත්තේ අඩුව සම්පූර්ණ කරන්නට මෙනි."

තමාගේ අනාගත වක්තෘවරයාගේ දිව්‍යඥානය මුව නොසෑහෙන සේ වර්ණනා කරන මෝහන ඉන් නොනැවතී තම සංවිධානයේ වැඩකටයුතුද ප්‍රශංසාවට ලක් කරන්නට වෙයි මම ඔහුගේ වචන මෙසේ උපුටා දක්වමි.

"ඡන්ද ගණන් කිරීම සතියක පමණ කාලයකින් පටන්ගන්නා පසුබිමක ඉන්දියානු ව්‍යාපාරය හෙමින් සීරුවේ ප්‍රතිඵලය තක්සේරු කිරීමට වෑයම් කරමින් සිටියේය. නියත ප්‍රතිඵල දැන ගැනීමට අප නොඉවසිල්ලෙන් වෑයම් කරමින් සිටිද්දී අපට විශාරද ජ්‍යෝතිර්වේදියෙකු මුණගැසුණි. ඔහු ජ්‍යෝතිෂරත්න ශ්‍රී ඩී . නාගරාජන් මහත්මාය. ඔහු අප්‍රකට ලෙස කටයුතු කළ ප්‍රසිද්ධිය පිටු දුටු පුද්ගලයෙකි. වර්තමාන කොංග්‍රස් පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි මැතිනිය තම පක්ෂය නිසැකවම පහසු ජයග්‍රහණයක් කරා ගෙන ගොස් ආණ්ඩුවක් පිහිටුවන බවට ඔහු චෙන්නායි නුවර කොනක ඉඳගෙන අනාවැකි පළ කර තිබුණි. ග්‍රහචාරය පිළිබඳව කරන ලද බරපතළ අධ්‍යයනයකින් සහ පර්යේෂණයකින් පසුව ඔහු තවත් දෙයක් සහතික කොට ප්‍රකාශ කළේය. එනම් නිරීක්ෂණ , චින්තන , සමීක්ෂණ හෝ ඡන්දදායක මත විමසීමෙන් සොයාගත් සාධක කෙසේ වුවද 1999 ඔක්තෝබර් මුල හරිය වන විට සෝනියා ගාන්ධි මැතිනිය ඉන්දියාවේ අගමැතිනිය වන බවයි."

සම්මානනීය දෛවඥ ජ්‍යෝතිෂරත්න ඩී , නාගරාජන් මහත්මාගේ අනාවැකි. සම්පූර්ණයෙන් උපුටා දැක්වීම සුදුසුය.

"දැනට පැවැත්වෙන ලෝක් සභා මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂයේ නායකත්වයෙන් තරග කරන පෙරමුණට වැඩි ආසන ප්‍රමාණයක් පහසුවෙන් ලබා දෙමින් එය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඉන්දියානු ජාතික කොංග්‍රස් පක්ෂයේ සභාපතිනි සෝනියා ගාන්ධි මැතිනිය සමත් වන බව අවධාරණයෙන් සහ නියත ලෙස ප්‍රකාශ කිරීමට ඩී . නාගරාජන් වන මම කැමැත්තෙමි. ඇය විසින් ස්ථාවර කොංග්‍රස් ආණ්ඩුවක් පිහිටුවනු ඇත. එසේම ග්‍රහයන් පිහිටා ඇති ආකාරය ගැඹුරු ලෙස විශ්ලේෂණය කිරීම හා සියුම් ලෙස ගැණ බැලීමත් මගේ අන්තර් ඥානය (දිව්‍යමය බලයේ ආශීර්වාදයෙන් මට ලැබුණු) සමග බැඳුණු සංඛ්‍යාත්මක නිරීක්ෂණ හා විද්‍යාත්මක පර්යේෂණයත් අනුව මම තව දෙයක් නිසැක ලෙස සහතික කොට කියමි. එනම් සෝනියා ගාන්ධි මැතිනිය ඉන්දියාවේ අගමැතිනිය වන බවය. එසේම රටේ යහපාලනය සාර්ථක ලෙස පවත්වාගෙන යෑමට ඇය සමත්වන බවය.

"සෝනියා ගාන්ධි මැතිනිය පිළිබඳ මගේ අනාවැකි පදනම් වී ඇත්තේ පහත සඳහන් දත්ත මතය. ඇගේ නමේ අගය, නැකත, රාශිය, ග්‍රහ පිහිටීම්, අංක පිළිවෙළ, අන් අයගේ සහ ඇගේ අංක අතර ගැළපීම, ඉන්දියානු ජාතික කොංග්‍රසයේ විස්තර තොරතුරු, ලෝක් සභාවේ අනුුක්‍රමික අංකය, මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනය හා ඡන්ද ගණන් කරන දිනය ඒ දත්තය.

" මගේ සොයාගැනීම් සහ අනාවැකි සති කිහිපයකට පෙර සිටම සූදානම් කොට තිබුණි. එහෙත් විශේෂ හේතුවක් නිසා ඡන්දය අවසන් වී ඡන්ද ගණන් කිරීමට ළං වන තුරුම මම ඒවා නොදී සිටියෙමි. කරුණු එළිදරව් වන වේලාවල් මම අද වෙන තෙක් රඳවාගෙන සිටිමි. අමාත්‍යාංශ ඇති කිරීම, දිවුරුම් දීම ආදිය සඳහා සුදුසු වන සුබ දින හා සුබ වේලාවල්ද මවිසින් නියම කොට ඇත. ඒවාද ඉක්මනින්ම හෙළි කෙරෙනු ඇත

"ජෝතිෂය හැදෑරීමට මුළු ජීවිතයම කැප කොට ඇති මවිසින් හෙළි කරන ලද සියලුම අනාවැකි සත්‍යය වී ඇත. එබැවින් දෛවඥයෙකු වශයෙන් මම සාර්ථකත්වය අත්පත් කොට ගත් කෙනෙක්මි. ඒ බව කීමට මෙය නුසුදුසු අවස්ථාවක් නොවෙතියි සිතමි. රිචර්ඩ් නික්සන්, ජිමී කාටර් සහ වර්තමාන බිල් ක්ලින්ටන් වැනි ඇමෙරිකානු ජනාධිපතිවරුන්ගේ ජයග්‍රහණ ගැන මම අනාවැකි පළ කළෙමි. සෝනියා ගාන්ධි මැතිනිය ජය ගන්නා බවත් ඇය ඉන්දියාවේ අගමැතිනිය වන බවත් පහසුවෙන් කිය හැකි ප්‍රතිඵලයකි. එය මට හොඳටම විශ්වාසය."

මේ අතර 'මාධ්‍ය අධ්‍යනය කේන්ද්‍රය' නමැති ආයතනය පවත්වාගෙන යන මගේ මිත්‍ර භාෂ්කර රාවෝ මේ වේලාවේ පළ කර ඇති මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ අනාවැකියද ලෝක් සභාවේ සහ ඡන්ද පැවැත්වූ ප්‍රාන්ත තුනේ සැබෑ ප්‍රතිඵලවලට හොඳටම සමීප වී ඇත්තේ අහම්බෙන් මෙනි. උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ එය වෙනස් වී ඇත්තේ ගණනය කිරීමේ වරදක් නිසාය යන්න ඔහුගේ පිළිගැනීමය. ඔහුගේ මැතිවරණ ප්‍රතිඵල අනාවැකි Out Look සඟරාවේ පළවුණි.

'රාහු කාලය' ආදි බොරු ජ්‍යෝතිෂ හා වාස්තු විද්‍යා වචන අපේ ශබ්ද කෝෂයෙන් අකාමකා දැමීමට මේ කාලය නොවේද? විද්‍යාත්මක චින්තනයක් වර්ධනය කිරීමෙහිලා ඒ වචන මගින් ජාතියට සැලසෙන සෙතක් නැත.

(1999 නොවැම්බර් 13)

 


කුෂ්වාන්ත් සිං

 

කුෂ්වාන්ත් සිං සන්නිවේදකයෙකු ලෙස අඛිල භාරතීය ආකාශ්වාණියට බැඳීමත් සමග විශිෂ්ට වෘත්තියක ආරම්භය සිදුවිය. එතැන් සිට ඔහු ඉන්දියාවේ කීර්තිමත් පුවත්පත් රාශියක කර්තෘත්වය හෙබවීය. එසේම ලේඛකයෙකු වශයෙන්ද ඔහු ඉන්දියානු සාහිත්‍යයට විශිෂ්ට සේවාවක් සිදු කර ඇත. Train to Pakistan, Company of Women යන සුප්‍රකට කෘති ඇතුළු නවකතා,කෙටිකතා හා පරිවර්තන මෙන්ම ප්‍රබන්ධ ගණයට නොවැටෙන කෘතිද ඔහුගේ එකී සාහිත්‍යය සේවයෙහි විපුල ඵල වෙයි.

විවිධ සම්මානයන්ගෙන් පුද ලද ඔහුට 1974 වසරේදී ඉන්දියානු ජනාධිපතිවරයා විසින් 'පද්මභූෂණ' සම්මානය පිරිනමන ලදී. එහෙත් ඒකාබද්ධ ආණ්ඩුව විසින් අම්රිත්සාරයේ රන්දෙවොල ආක්‍රමණය කරන ලද අවස්ථාවේ ඊට විරෝධය ප්‍රකාශ කිරීමක් වශයෙන් 1984 වසරේදී ඔහු එකී සම්මාන පදක්කම ආපසු ආණ්ඩුවට භාර දුන්නේය.



අදහස් (0)

මැතිවරණ කාලයේ ජ්‍යෝතිෂ උන්මාදය

ඔබේ අදහස් එවන්න

මතක හා මතය

ගුවන්විදුලි හාස ඉතිහාසය විජේ සහ බර්ටි
2024 සැප්තැම්බර් මස 10 117 0

ආරම්භක අවධියේ ලංකා ගුවන් විදුලිය ඔස්සේ ගුවන්විදුලි නාට්‍ය ප්‍රචාරය කළ ශිල්පීන් සහ නාට්‍ය සංගම් අතර තැපැල් හා විදුලි සංදේශ නාට්‍ය සංගමද විය. ලංකා ගුවන


බෞද්ධ මාක්ස්වාදියා
2024 සැප්තැම්බර් මස 03 421 0

කලක පටන් දැන හැඳින සමීපව ඇසුරු කළ ගුණසේන විතානයන් සමග එකට වැඩ කිරීමේ අවස්ථාව පළමුවෙන්ම මට උදාවූයේ ඔහු ’ජනතා ලේඛක පෙරමුණ’ ආරම්භ කිරීමත් සමගය.


’යුග පුරුෂයා’ ගණිකාවක් ද?
2024 අගෝස්තු මස 27 684 0

’නිම් වළලු පළල් කරනවා’ යන සුලබ කියමන සේම නිතර නිතර අපගේ කනට ඇහෙන ඇසට පෙනෙන තවත් සුලබ වත්මන් වාග් ව්‍යවහාරයකි ’යුග පුරුෂයා’ යන්න.


මමත් කළුයි මාගේ කවිකමත් කලුයි!
2024 අගෝස්තු මස 20 474 0

(පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන් මිය ගොස් 2024 අගෝස්තු 21 වැනි දිනට පුරා වසර 58ක් සපිරෙයි. ඔහු පිළිබඳ මගේ මේ හෘදයංගම මතක වත සහෘද ඔබගේ පහන් සංවේගය උදෙසාය.)


අඹ බයන්න සහ අඹ යාළුවා
2024 අගෝස්තු මස 13 478 0

අප ’අඹ’ බයන්න යනුවෙන් හැඳින්වීමට පුරුදුව සිටින්නේ සඤ්ඤක ’ඹ’යන්නය. ඊට හේතුව, අඹ නමැති පලතුරට කියන නාමය ලිවීමේදී සඤ්ඤක ’ඹ’යන්න භාවිත වීම බවය බොහෝ දෙනාගේ


’’ෆ’’ අක්ෂරය සිංහල හෝඩියට ආ හැටි
2024 අගෝස්තු මස 06 834 2

ඉංග්‍රීසි හෝඩියේ F ශබ්දය වෙනුවට සිංහල හෝඩියට මෑතක පිවිස මේ වන විට බහු භාවිතයට පත්ව ජන සම්මතව ඇති ’ෆ’ අක්ෂර රූපය අලුත නිපදවා ගත්තක්ය යන දුර්මතය ඒ පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site