මෙරට වත්මන් ලේඛක පරපුර අතින් බිහිවෙන ඇතැම් කවි , ගීත , කෙටි කතා , නවකතා ආදි නිර්මාණ මගින් පීඩිත පන්ති හැඟීම , මානව දයාව , සටන්කාමිත්වය යන වෙසෙස් ගුණාංග ප්‍රකට වුවද ඒ නිර්මාණ කළ ඇතැමුන්ගේ චරිත තුළ එම ගුණාංග සැබෑ ලෙස පිහිටා නොමැති බව පසක් වන අවස්ථා දුලබ නොවේ.තම කෘති මගින් ඉස්මතු කොට දක්වන උතුම් ගුණාංග තම චරිතයෙන්ද එක සේ පිළිබිඹු කරන ලේඛකයෝ අති දුර්ලභයෝය. පියදාස වැලිකන්නගේ ලේඛකයාණෝ එම ගණයෙහි ලා ගිණිය හැකි දුර්ලභයෙකි. ඔහු වනාහි යථාවාදී තථාකාරී ලේඛකයෙකැයි කට පුරා කිය හැක්කේ එහෙයිනි. පියදාස වැලිකන්නගේ ලේඛකයාණන්ට 90 විය පිරීම නිමිත්තෙන් , මහතලා පුරවැසි උපහාර කමිටුව විසින් , ඔහුගේ නිර්මාණාත්මක ජීවිතය ඇගයීම උදෙසා , 2023 ජූනි16 සිකුරාදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය වීර කැප්පෙටිපොළ ශ්‍රවණාගාරයේ පවත්වන ලද , 'සාහිත්‍යවේදී පියදාස වැලිකන්නගේ සම්භාවනා‘ උලෙළෙහිදී මා කළ මුඛ්‍ය දේශනය අනුව සැකසුණු මේ ලිපිය 2024 නොවැ: මස 25 වන සඳු දින සිදුවුණු ඔහුගේ අභාවප්‍රාප්තිය නිමිත්තෙන් වෙසෙසින් පළවෙයි.]
බලන්නකො පියදාස වැලිකන්නගේ සූරීන් දිහා.
Winter is on his head. but, eternal spring is in his heart.
ඔහුගෙ හිස මත දිස්වන්නෙ සිසිරය. නමුත්, ඔහුගෙ හදවතේ පවතින්නෙ සදාකාලික වසන්තය. ඔහු මගේ උපකාරක , සමාන සුඛ දුක්ඛ , අනුකම්පක , අත්ථක්ඛායී මිත්‍රයා.
අර මං මුලින් කියපු ඉංග්‍රීසි ආප්ත වාක්‍යය මගෙ නෙමෙයි.ප්‍රංශ ජාතික ශ්‍රේෂ්ඨ ලේඛක වික්ටර් හියුගෝගෙ. තම ශ්‍රේෂ්ඨ ලේඛකත්ව කීර්තියට පරිබාහිරව වික්ටර් හියුගෝ තවත් විශේෂ චරිත චර්යාවක් කරණ කොටගෙන ලෝකප්‍රකට වෙලා හිටියා. ඔහු තමයි මුළු ලෝකෙන්ම ඇඳුම් නැතුව ඉඳගෙන, ඒ කියන්නෙ හෙලුවෙන් ඉඳගෙන පොත් ලියපු එකම ලේඛකයා. වික්ටර් හියුගෝ අපිට නෑයෙක් වගේ සමීපයි. ඇයි ඒ? මම එස්.එස්.ඊ පන්තියෙ ඉන්න කාලයෙ සිංහල සාහිත්‍යයට නියමිතව තිබුණු නවකතාව තමයි ‘මනුතාපය’. වික්ටර් හියුගෝගෙ ශ්‍රේෂ්ඨ නවකතාවක් වන 'ලේ මිසරාබ්ලේ' කෘතියෙ සිංහල පරිවර්තනයයි 'මනුතාපය.' ඒක සිංහලට පරිවර්තනය කළේ අයි.එම්.ආර්.ඒ ඊරියගොල්ල ලේඛකයාණන්. 'මනුතාපය' ඒ කාලෙ සිංහල පාඨකයන් අතරෙ අතිශය ජනප්‍රිය නවකතාවක් වුණ නිසයි වික්ටර් හියුගෝ අපේ පාඨකයන්ට ඒ තරම් සමීප වුණේ.
අද අපි පියදාස වැලිකන්නගේ ලේඛකයාණන්ගෙ නිර්මාණාත්මක ජීවිතය අරබයා මේ විධියට විශේෂ ඇගයීමක් කරන්න රැස්වෙලා ඉන්නෙ ඇයි? ඔහු මනුෂ්‍ය ජීවිතයෙ දශක දශකයෙන් නව වෙනි දශකයට ඒ කියන්නෙ තම ජීවන ගමන් මගේ අනූ වැනි සැතැප්ම කණුවට සම්ප්‍රාප්ත වීම නිමිති කොටගෙනයි. මේ වෙලාවෙ මට නැවතත් මතක් වෙනවා වික්ටර් හියුගෝ ලේඛකයාණන්ගෙ තවත් අමරණීය කියමනක්.
‘Forty is the old age of youth, Fifty is the youth of old age’
හතළිහ මහලු අවදිය වෙයි තරුණ
වියේ
පනහා තරුණ අවදිය වෙයි මහලු
වියේ
වයස හතළිහ තාරුණ්‍යයේ මහලු අවස්ථාවයි. පනහ කියන්නෙ මහලු වයසේ තාරුණ්‍යයයි. මොන තරම් අපූරු කියමනක්ද? වික්ටර් හියුගෝ ප්‍රාඥයා සාහිත්‍යමය අලංකාරෝක්තියකින් මේ ප්‍රකාශ කළේ වෙන දෙයක් ගැන නෙමෙයි. ඥාන තාරුණ්‍යය ගැනයි. අනූ වෙනි වයසේදිත් අපේ කතා නායකයා, පියදාස වැලිකන්නගේ සම්භාවිත ලේඛකයා ඉන්නෙ ඒ ඥාන තාරුණ්‍යයේ මිණි කිරණ විහිදන භද්‍ර යෞවනයෙ. ඥාන තාරුණ්‍යය කියන්නෙ මිනිසා බුද්ධි පරිපාකයෙන් ජීවිත පරිඥානයෙන් අත්පත් කරගන්නා විශිෂ්ටම ඵල සම්පතයි. අපේ රටේ සිද්ධ වෙන්නෙ මේ විශිෂ්ට ඵල සම්පත අත්පත් කර ගෙන සිටින පස් වෙනි දශකයෙදි මිනිසුන් විශ්‍රාම යැවීමයි.
අපිට බණ පොතේ කියවන්න ලැබෙනවා මෙන්න මෙහෙම පාලි ගාථාවක්.
‘මන්දෝ ඛිඩ්ඩා ච වණ්ණා ච
බලා පඤ්ඤා ච හායනා
පබ්භාරා පවංකා ච
මොමූහා සයනා දස’
මොකක්ද මේ ගාථාවේ තේරුම?
මිනිසා ජීවත්වෙන කාලය වයස අවුරුදු සීයක් හැටියට අරගෙන ඒක දසක දසකයකට බෙදලා ඒ එක එක දසකයෙ ස්වභාවය හෙළි කරන විවරණයක් තමයි මේ ගාථාවෙ අර්ථය හැටියට ගැබ් වෙලා තියෙන්නෙ. ඒ දසක දසකය හඳුන්වා දෙන නාමාවලිය මෙහෙමයි.
"මන්ද, ඛිඩ්ඩා, වණ්ණ, බල, පඤ්ඤා, හායන, පබ්භාර, පවංක, මෝමූහ, සයන"
'මන්ද’ කියන්නෙ පුංචිම කාලය. 'ඛිඩ්ඩා’ සෙල්ලම් කරන කාලය. සංස්කෘතයෙ 'ක්‍රීඩා' තමයි පාලියෙ 'ඛිඩ්ඩා' වෙලා තියෙන්නෙ. ඒක සිංහලට ආවෙ 'කෙළි' කියලා, ඊළඟට ‘වණ්ණ'. මනමාල වයස. ‘බල' කියන්නෙ නහයට අහන්නෙ නැති වයස. ඊට පස්සෙ තමයි ‘පඤ්ඤා’ දසකය. පනස් හැවිරිදි වයස. ඒ කියන්නෙ නුවණ මුහුකුරා ගිය වයස. හැබැයි ඒ වයස අතරතුරදි අපේ රටේ මිනිස්සු විශ්‍රාම ගන්වන එක තමයි ලස්සනම වැඩේ. 'පඤ්ඤා' දසකයෙදි විශ්‍රාම යවනව. ‘හායන’ එන්නෙ ඊට පස්සෙ. අවුරුදු හැටේදි. ඒ කියන්නෙ ජීවිතය අවරට හැරෙන්න පටන් ගන්න වයස. අනතුරුව එන ‘පබ්භාර’ දසකය තමයි සරීරෙ ඇලගහන වයස. එතකොට තමයි හැරමිටියෙ පිහිට පතන්න වෙන්නෙ. ඊළඟ දසකය ‘පවංක’. දැන් මං ඉන්න වයස. කුදුවෙන වයස. එහෙම පේනවද? ඊට පස්සෙ එන 'මෝමූහ' තමයි සිහි කල්පනාව නැතිවෙන, හැම දේම අමතක වෙලා යන වයස.. අවසාන දසකය තමයි ‘සයන’. මංච පරායණ වෙන වයස. ඇඳේ පිහිට පතන වයස.ඒ කියන්නෙ ඇඳටම වැටෙන වයස.
හැබැයි මෙතන රැස්වෙලා ඉන්න රසික පාඨක ජනතාව ඒ දසක දසක කතන්දරය ඇත්තක් හැටියට පිළිගනීද ඒක බොරු කරන පියදාස වැලිකන්නගේ නමැති ජීවමාන සාක්කිය මෙතන අපි ඉදිරියෙ විරාජමාන වෙනකොට. පියදාස
වැලිකන්නගේ ලේඛකයාණන් දැන් අනූ වියට ඇවිල්ලනෙ. දසක දසක කතන්දරේ අනූව කියන්නෙ 'මෝමූහ' දසකය. සිහිය මුළා වෙන, සියල්ල අමතක වෙලා යන වයස. පියදාස වැලිකන්නගේ ලේඛකයාණන් ඔය අලුත් නවකතාවකුත් ලියාගෙන යන්නෙ. ඉතිං මෝමූහද? ඒ සියල්ලට හේතුව වික්ටර් හියුගෝගෙන් අරගෙන අර මං නිදර්ශනයක් හැටියට ඔබට කිව්ව අමරණීය ආප්ත වාක්‍යයෙන් සක් සුදක් සේ පැහැදිලි වෙනවා .
Winter is on his head. but , eternal Spring is in his heart
මේ සභාවේ පියදාස වැලිකන්නගේ ලේඛකයාණන් ළඟින්ම වාඩිවෙලා ඉන්න මගේ ළෙන්ගතු මිත්‍ර ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ ලේඛකයාණන්ද ඒ නැකතේම කෙනෙක් තමයි.
මගේ වගේම වැලී අබේ දෙන්නගෙත් කුලුපග කිර්තිමත් ලේඛක යාළුවෙක් හා සම්බන්ධ මගේ ප්‍රත්‍යක්ෂ සුන්දර අත්දැකීමක් මේ වෙලාවෙ මගේ සිහියට නැගෙන එක පුදුමයක් නෙමෙයි. ඒක මේ වෙලාවෙ මතක් වෙන්නෙ නැත්නං කොයි වෙලාවෙ මතක් වෙන්නද? අපේ ඒ යාළුවත් ඒ වෙලාවෙ 'මෝමූහ' දසකය පසු කරමින් හිටපු කෙනෙක්. ඒ කියන්නෙ වයස අනූව. ඒ යාළුවා තමයි අපි කවුරුත් දන්න සිරිලාල් කොඩිකාර සූරීන්. පී. බී. අල්විස් පෙරේරා කිවිඳාණන්ගෙ ජන්ම ශත සංවත්සරයට සමරු කලාපයක් කරන්න ලෑස්ති කරල තිබුණා. ඒකට සිරිලාල් කොඩිකාරයන්ගෙන් ලිපියක් හරි කවියක් හරි ගන්න ඕනැ වුණා. ඒ නිසා එම සමරු කලාපයේ සංස්කාරක මගේ මිත්‍ර පී.එම්. සේනාරත්නයන් සමග සිරී හමුවීමට ඔහුගේ නිවසට ගියා. සිරිලාලයන්ට සත්කාර කරන්න මැදි වියේ කාන්තාවක් තමයි හිටියෙ. ඒ ගෑනු කෙනාගෙන් අපි ඇහුවා සිරිලාල් කොඩිකාර මහත්තයා ඉන්නවද කියලා. ඔහු ඇතුළෙ ඉන්න බව ඇය කිව්වා. අපි කාමරයට යද්දි සිරිලාලයන් හාන්සි පුටුවක දිගා වෙලා පොතක් කියව කියව ඉන්නවා. ඔහුට දැනුණෙ නෑ අපි කාමරයට ආපු බව. අර කාන්තාව කිව්වමයි ඔහු ඔළුව උස්සලා බැලුවෙ. අපිව අඳුර ගත්ත ඔහු අපිව බදාගෙන බොහෝම උණුසුම් විදිහට පිළිඅරගෙන කියනවා, “කාම සූත්‍රයෙ නැත්තෙම කාමයනෙ” කියලා. සේනෙයි මායි අන්දුන් කුන්දුන් වෙලා දෙන්නගෙ මූණු බලා ගත්තා මොකක්ද මේ කාම සූත්‍රයක් ගැන කතාව කියලා. බලන කොට 'මෝමූහ' දසකයෙ ඉන්න සිරිලාලුන් හාන්සි පුටුවෙ ඇලවෙලා කියව කියව ඉඳලා තියෙන්නෙ වාත්ස්‍යායන ආචාර්යවරයගෙ ‘කාම සූත්‍රය’ පොත. හැබැයි ඔහු කිව්ව දේ හරි. ඇත්තවශයෙන් වර්තමාන බොහෝ විචාරකයන්ගෙ මතය අනුව 'කාම සූත්‍රය' හුඟක් අවිද්‍යාත්මක පොතක්. මෝමූහ වයසෙ සිරිලාලුන්ට තිබුණු තීක්ෂ්ණ විචාරාත්මක චින්තනය ස්ඵටික මාණික්‍යයක්, නැතිනම් පළිඟු මිණක් වගේ පැහැදිලියි. තර්කානුකූලයි. ඔහු වැඩි වෙලාවක් නොගෙන පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන් ගැන මේ කවියත් ලියලා දුන්නා.
උපතින් සිය වසක කාලය
අතරතුර
පී බී කිවිඳුගේ සේවය කර
සමර
පවසත හැකිය මට මෙකරුණ ලෙසට තිර
තව සිය වස් ගණන් යයි සේවයෙ මිහිර
පියදාස වැලිකන්නගේ නමින් අපි දන්නා කීර්තිමත් ලේඛකයාණන්ගෙ මුල් නම මහවැලිකන්නගේ පියදාසයි. ඔහුගෙ තාත්තා මහවැලිකන්නගේ සාදිරිස්. පියදාස තමන්ගෙ වාසගමේ 'මහ' කෑල්ලට කැමති වුණේ නෑ. ඒක හින්දා 'මහ' කෑල්ල කපලා දාලා නිකම්ම වැලිකන්නගේ කියල වාසගම හදාගත්තා. ඔහු කොලු
'සමසමාජ' වාදියෙක් වෙච්ච කාලෙ ඉඳලම පුංචි මිනිහගෙ පැත්ත තමයි ගත්තෙ. 'මහ' මිනිස්සුන්ගෙ පැත්ත නෙමෙයි. අද වෙනකම්ම එහෙමයි.
මේ 'වැලිකන්න' කියන වාසගමේ ඔබ කවුරුත් නොදන්න කතන්දරයක් තියෙනව. මේ වාසගමේ පුරා වෘත්තය කෝට්ටේ රජ කාලය තෙක් දිව යනවා.කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල රාජ සමයෙ වික්‍රමසිංහ කියල සෙන්පතියෙක් ඉඳල තියෙනවා. දොන් ජුවන් ධර්මපාල රජු පෘතුගීසින්ගෙ ගැත්තෙක් වීම නිසා වික්‍රමසිංහ සෙන්පති අමනාප වෙලා යනවා සීතාවක පළමු වෙනි රාජසිංහ රජු ළඟට. ඒ යද්දි ඔහු කියලා යනවා පස් කාලා හරි මේ රට නිදහස් කරගන්න බව. එහෙම අධිෂ්ඨානයක් ඇතුව ගිහින් රාජසිංහ රජතුමාගෙ සෙන්පතියෙක් වෙනවා. රාජසිංහ රජු ඔහුව එවනවා ගල්කිස්සට පෘතුගීසිකාරයොත් එක්ක සටනට. දැන් ගල්කිස්සෙ මුහුදු වෙරළ තියෙන්නෙ හුඟක් ඈතනෙ. ඔය කාලයෙ ගාලු පාරට ආසන්නව තමයි මුහුදු වෙරළ තිබුණය කියන්නෙ. දැනුත් ගාලු පාර හෑරුවොත් වැලි අහුවෙනවා. වික්‍රමසිංහ සෙන්පතියා අශ්වයා පිටේ එද්දි පෘතුගීසි සෙන්පතියෙකුගෙ වෙඩි පහරින් වැල්ලෙ වැටිලා මැරෙන්නෙ වැලි කාගෙන. ඔහු හිතාගෙන ගියේ පස් කාලා හරි රට බේරගන්නනෙ. පියදාස වැලිකන්නගේ
ලේඛකයාණන්ගෙ පරම්පරාවෙ ආදි පුරුෂයා හැටියට තමයි වික්‍රමසිංහ සෙන්පතියව සැලකෙන්නෙ.
මේ පුරා වෘත්තය මං දැනගෙන හිටිය නිසා මම කියවලා බැලුවා කෝට්ටෙ කාලෙ ලියවිච්ච සංදේශ කාව්‍ය තුනක්. ඒ සංදේශ කාව්‍ය තුනේම සංදේශ හාරක දූත කුරුල්ලො, ඒ කියන්නෙ, පරෙවියා, ගිරවා හා කෝකිලයා තුන්දෙනාම පියඹා ගිහින් තියෙන්නෙ පියදාස වැලිකන්නගේ ලේඛකයාණන් උපන්න අත්තිඩිය ගම උඩින්.කර්තෘ අඥාත ගිරා සංදේශය කාව්‍යයේ එන 71 වැනි පද්‍යයයි මේ.
සිත් එඩියෙන් යුද කර තම හිමි යෙහෙන
ලත් පඩියෙන් සතුටුව ඉඳ මන මතින
මත් වැඩියෙන් ලිය ගී කියන තැන තැන
අත්තිඩියෙන් යව ලද ලිය දැක සොබන
කෝට්ටේ රාජධානිය පැවති සමයෙ අත්තිඩිය යුද සෙබළු පදිංචිව හිටිය සෙබළ ගමක් බවට ඉඟියක් මේ සන්දේශ පද්‍යයෙන් ලැබෙනවා. අත්තිඩියේ වැලිකන්නගේ පරම්පරාවෙ ආදි පුරුෂයා හැටියට සැලකෙන වික්‍රමසිංහ සෙන්පතිගේ පුරාවෘත්තියෙහි කිසියම් සත්‍ය බීජයක් ඇතැයි යන අනුමානයට ඉහත දැක්වුණු පද්‍යයෙන් හෙළි වෙන තොරතුරු අනුබල දෙනවාය කියලයි මට හිතෙන්නෙ.
සංදේශ අරගෙන අත්තිඩිය ගමට උඩින් පියෑඹූ පරෙවි, ගිරා, කෝකිල කුරුල්ලො තුන්දෙනාම දැකලා තියෙනවා මාත්‍රා වැඩි කරමින් ශ්‍රවණ රමණීය ගී ගයමින් ඒ ගමේ උන්න කුසුම කෝමල ලද බොළඳ ගම් දැරියන්ගෙ මන මෝහන රූපශ්‍රීය. අනේ අපේ පියදාස වැලිකන්නගේ ලේඛකයාණන්ට ඒ කාලේ ඉපදෙන්න වාසනාව තිබුණෙ නෑනෙ! මෙන්න ඒ කවි.
පෑයෙන් අදර පබළකුරන් ගත් එඩිය
ගීයෙන් කොවුල් සර අඟවන මත් වැඩිය
තෝයෙන් සිහිලුපුල් මුවරඳවත් වැඩිය
ඒයෙන් එතෙර අඟනන් දකු අත්තිඩිය
(පරෙවි සඳෙස - 51)
ගත් දැඩි නූ මොලකැටි මල් දම් ලෙසින
අත් පොඩි උඩ නඟමින් ළතඹුරු සිරින
මත් වැඩි ලෙස ලිය ගී කියන රැව්වෙන
අත්තිඩියේ සිට අසමින් යා සෙමෙන
(කෝකිල සඳෙස - 107)
ඒ වැලී මම වැඩ කළ 'ජනදින'
පුවත්පත් කාර්යාලයට නිතර යන එන කාලේ. පත්තරේට නිතර ලියපු නිසාත් සමසමාජ පාක්ෂිකයකු නිසාත් ඔහුත් සැලකුණේ කතු මඬුල්ලේම කෙනෙකු හැටියටයි. ‘ජනදින’ මුද්‍රණාලයේ වැඩකරපු කන්දයියා සහෝදරයා කසාද බැන්දා. ඒ 'ඇට්හෝම්' එකට අපි හැමෝම ගියා.අපි මධු විත පානය කරමින් අල්ලාප සල්ලාපයෙන් පසුවෙන වෙලාවෙ කන්දයියා සහෝදරයා ඇවිල්ලා එතන හිටපු පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන්ට කිව්වා ‘අනේ අල්විස් පෙරේරා සහෝදරයා මේ වෙලාවෙ මං වෙනුවෙන් කවියක් කියන්නකො' කියලා. ඒ කාලයෙ ‘ජනකවි’ කියලා කවි පත්තරයක් තිබුණා. පී. බී. අල්විස් පෙරේරා කිවිඳුන් තමයි එහි කර්තෘවරයා. අල්විස් පෙරේරා කිවිඳුන් කියන හිටිවන කවියේ පද හතර මම, දයාරත්න රණේපුර, ආනන්ද ගුණවර්ධන හා පියදාස වැලිකන්නගේ එක්කෙනා එක ගානෙ වෙන වෙනම මතක තියාගත්තා. අල්විස් පෙරේරා කිවිඳුන් නැගිට්ටා. කාල වර්ණ, උස මහත, යෝධ පුරුෂයා.
සරස්වතියගෙන් අරගෙන බොහෝ වරම්
ආවෙමි වනක්කම් එප්පුඩි සහෝදරම්
ආඬවනේ කන්දයියෝ මෙහේ තරම්
දෑ සමගියක් එංගේරිකි අගේ කරම්
සිංහල දෙමළ වදන් එකට මුසු කරලා හිටිවන ගොතපු චතුර කවියක්. වැලීට මතක ඇති. සුන්දර අත්දැකීමක්!
තවත් හෘදයංගම අත්දැකීමක් හෙළි කරලා මම මේ කතාව හමාර කරන්නම්.
1990 ගණන්වල වගේ අධ්‍යාපන අමත්‍යාංශයෙ සිංහල භාෂා ඒකකයෙන් රටේ හැම පළාතකම පැවැත්වුවා සිංහල ගුරු පුහුණු සම්මන්ත්‍රණ මාලාවක්. එම්. ජී. ටී. නවරත්න මහත්තයා තමයි ඒ කාලෙ ඒ අංශයෙ අධ්‍යක්ෂවරයා. බොහොම සුන්දර රසිකයෙක්. ඒ සම්මන්ත්‍රණ මාලාවෙ නිත්‍ය දේශකයො දෙන්නෙක් තමයි වැලී සහ මම. අම්පාරේ තිබුණු සම්මන්ත්‍රණයෙදි විවේකයක් ලැබුණු වෙලාවක වැලී මාව එක්කගෙන ගියා ඔහු ගුරුවරයෙක් විදිහට මුල්ම පත්වීම ලැබුව ඉඟිනියාගල ‘වාවින්න’ ඉස්කෝලෙට. ගිහින් පාසලට ඇතුළුවුණා විතරයි ගුරුවරයෙක් ඇවිත් පසඟ පිහිටුවා වැලීට වැන්දා. ඒ වැන්ද පුද්ගලයා තමයි ඒ පාසලේ විදුහල්පති. ඔහු වැලීගෙ අතීත ශිෂ්‍යයෙක්. වැලී ඊට පස්සෙ මාව එක්ක ගෙන ගියේ පාසලේ පහළ තිබුණු කැඩී බිඳී ගිය කොන්ක්‍රීට් බැම්මක් ගාවට. ඒක ගස්කොළන් නැති දුෂ්කර පළාතක්. අපි දෙන්නා කොන්ක්‍රීට් බැම්ම උඩ වාඩිවුණා. වැලී වටපිට බලමින් ඉඳලා සුසුමක් හෙළලා මට හිමින් මෙහෙම කිව්වා.
“කරූ, මම මේ ඉස්කොලෙ උගන්වන කාලේ මේ කොන්ක්‍රීට් බැම්ම උඩ වාඩිවෙලා තැපැල්කාරයගෙ බෙල් එක කොයිවෙලාවෙ ඇහේවිද කියලා අහගෙන ඉන්නවා නිශ්ශබ්දව. ඒ මම ආදරය කරමින් හිටිය කාලේ. මටයි එයාටයි එක කාලේ එකටමයි ගුරු පත්වීම් ලැබුණෙ. එයාට පත්වීම ලැබුණෙ කොට්ටාවෙ පාසලකට. එයාගෙන් ලියුමක් එනකම් තමයි මම එදා මෙතන ඉඳගෙන මග බල බල හිටියෙ. කරූ, මේ දැනුත් මට ඒ බෙල් එකේ හඬ ඇහෙනව බං. ඒ කාලේ ආයෙත් එනව නම්!"
මේ ආප්ත ශ්ලෝකය කියලා මම ඔබෙන් සමුගන්නම්.
ස්ව ගෘහේ පූජ්‍යතේ මූර්ඛඃ
ස්ව ග්‍රාමේ පූජ්‍යතේ ප්‍රභූඃ
ස්ව දේශේ පූජ්‍යතේ රාජා
විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ
"මෝඩයා පිදුම් ලබන්නේ තමන්ගේ ගෙදරදී. ප්‍රභූවරයා පිදුම් ලබන්නේ තමන්ගේ ගමේදී. රජු පිදුම් ලබන්නේ තමන්ගේ රටේදී. නමුත් විද්වතා, ලොව සියලු තැනකදීම එක සේ පිදුම් ලබයි. පියදාස වැලිකන්නගේ ලේඛකයාණෝ එබඳු විද්වතෙක්."
මෙරට වත්මන් ලේඛක පරපුර අතින් බිහිවෙන ඇතැම් කවි , ගීත , කෙටි කතා , නවකතා ආදි නිර්මාණ මගින් පීඩිත පන්ති හැඟීම , මානව දයාව , සටන්කාමිත්වය යන වෙසෙස් ගුණාංග ප්‍ර
ජගත්.ජේ.එදිරිසිංහයන් ෆේස්බුක් මගින් මගේ අවධානයට ලක් කළ විකාර වාක් ප්‍රයෝග පිළිබඳ සුලමුල විවරණය කරමින් මා වරක් එෆ්බීයට සැපයූ පිළිතුරු ලිපිය මගේ ’මතක ස
’ෆේස් බුක්’ මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි.
සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 96 වැනි වියට එළැඹෙණුයේ 2024 නොවැම්බර් 12 වැනි දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!
මා මාර්ටින් වික්‍රමසිංහ මහාශයන්ගේ ආවේශාත්මක වූත් ආස්වාදාත්මක වූත් සමීප ආශ්‍රය ලබමින් විසූ භාග්‍ය සම්පන්න සමයේ එක්තරා අවස්ථාවක මම ඔහුගෙන් මේ පැනය වි
ඇස්. පියසේන (සේනාධීර පියසේන) නම් බහුශ්‍රැත හා පරිණත මාධ්‍ය විශාරදයාණන් සමග ඉතා ළංව ඇසුරු කිරීමට ලැබීම මගේ පරම භාග්‍යයකි. අනූ වියද ඉක්ම මියෙන තෙක්ම පැහැද
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
යථාවාදී තථාකාරී ලේඛකයා