IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


ලේඛකයන්ට ශේඛර වන් අමරසේකර

මතක හා මතය

 


සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 96 වැනි වියට එළැඹෙණුයේ 2024 නොවැම්බර් 12 වැනි දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විරචිත ස්වාත්ම වෘත්තාන්තය වන 'පිං ඇති සරසවි වරමක් දෙන්නේ' කෘතියෙහි පහත එන පාඨය හමුවෙයි.

"....නොබෝ දිනකින් මට ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ලියුමක් ලැබුණි.

එහි 'යෞවන සමාජය' නම් අලුත් වැඩ සටහනක් ආරම්භ කරන මෙන් මට ආරාධනා කොට තිබුණේය.

" 'යෞවන සමාජය' වැඩ සටහනින් විකාශනය කිරීම සඳහා මම කෙටි කතා ,නාට්‍ය ,කාව්‍ය රචනා ආදිය ඉල්ලුයෙමි. මට එවන ලද ප්‍රයත්න පරීක්ෂා කොට ඒවා රචනා කළ අය අතරින් උපනිශ්‍රය ඇත්තෙකු සේ පෙනෙන කෙනෙක් සිටී නම් ඔහු ගෙන්වා වැඩ සටහනෙහි යොදවමි.

"මට ගුණදාස අමරසේකරද පළමු වරට හමු වූයේ ඒ දවස්වලය. කිසියම් විදේශ ප්‍රකාශන සමාගමක් විසින් නොයෙක් රටවල ආධුනික ලේඛකයන් විසින් රචනා කරන ලද කෙටි කතාවල සංග්‍රහයක් පළ කරන්නට අදහස් කර අපේ රටින්ද කෙටි කතාවක් තෝරා එවන මෙන් ආරාධනා කරන ලදී. ඒ සඳහා පවත්වන ලද තරගයට එවන ලද කෙටිකතා අතුරින් එකක් තේරීම මටත් එම්. ජේ.පෙරේරාටත් බාර විය. ගුණදාස අමරසේකරගේ 'සෝමා' නම් කෙටි කතාව අප විසින් තෝරා ගන්නා ලදී.

"මේ කතාව ඉංග්‍රීසියට පෙරළා යවන්නට සිදු වූ බැවින් මම පරිවර්තන කාර්යය භාර ගතිමි. ඊට එහි කර්තෘ ගුණදාසගේ සහාය මම පැතීමි. විශාල ඇස් සඟලකින් යුත් ඔහුගේ බුද්ධිමත් මුහුණ මගේ දෘෂ්ටි පථයට පිවිසුණු පළමු මොහොත මගේ සිහියෙන් මැකී නොයයි. ගුණදාසගේ කතාව යුරෝපීය හා ආසියාතික තරුණ ලේඛකයන්ගේ කෘති සමග නොබෝ දවසකට පසු ජාත්‍යන්තර සංග්‍රහයක පළ වී තිබෙනු මම දුටිමි. මම ඔහුගේ 'සෝමා' 'යෞවන සමාජය' වැඩ සටහනින් විකාශනයට පත් කළෙමි. ටික කලක් ගුණදාස මගේ වැඩ සටහනට මට සහාය වූයේය."

මහාචාර්ය සරච්චන්ද්‍රයන්, උපනිශ්‍රය ඇති කෙටිකතාකරුවෙකු වශයෙන් ගුණදාස අමරසේකරයන් නමෝ විත්තියෙන් හැඳින ගත් ආකාරය තත් ග්‍රන්ථ සාධකයෙන් විශද වෙයි. එනයින්ම උපනිශ්‍රය ඇති කවියෙකු ලෙසද ගුණදාස අමරසේකරයන් හා හපුරා කියා හඳුනා ගන්නට ඇත්තේද සරච්චන්ද්‍රයන්ම යැයි අනුමාන කරන්නට පහත දැක්වෙන මුල් කාලීන අමරසේකර කාව්‍ය රචනය අනුබල දෙයි. මෙය පළමු වරට ප්‍රචාරය වී ඇත්තේ සරච්චන්ද්‍රයන් විසින් නිෂ්පාදිතව 1953 අප්‍රේල් මස 24 වැනි දා ඉදිරිපත් කෙරුණු ගුවන් විදුලි 'යෞවන සමාජය' වැඩ සටහනෙනි. මවිසින් මේ කාව්‍ය රචනය උපුටා ගන්නා ලද්දේ එකල ගුවන් විදුලියේ සේවය කළ කෘතහස්ත මාධ්‍යවේදී කුලසිරි අමරතුංගයන්ගේ සංස්කාරකත්වයෙන් පළ කෙරුණු විශිෂ්ට මට්ටමේ වාර සඟරාවක් වූ 'තරංගිණී' නම් ගුවන්විදුලි (1953 නොවැම්බර්)සඟරාවෙනි.


සුන්දරත්වය

මල් වැටී විසුරුණ

පාළු ඇළබඩ

ඔබ හා එක්ව

කතාවෙන් තොරව

සැඳෑ අඳුරෙහි

ඇවිදීමට

ප්‍රේමිය,

මා හද

ශෝකයෙන් ළතවෙයි.

එහෙත්,

මම එය නොපතමි.

එහි කිනම් සැපතක්ද?


සොඳුර,

පියකරු උදයක

ගලා යන

හිරු රැසින් යුත්

කාමරයෙහි

ඔබ අසලට වුත්

ඔබේ මොළොක් සුරත ගෙන

මා මුහුණට

තද කළ විට

ඔබ

ප්‍රේමයෙන් නඟන

සිනහව

ඇසීමට

සොඳුර

දිවා රෑ

මා හද ළතවෙයි.

එහෙත්,

මම එය නොපතමි.

එහි කිනම් සැපතක්ද?


රාත්‍රියෙහි

දික් මේසය අසල

නැඹුරු වී

පොත් බලන

ඔබේ

සිහින් කෙස් රොදක්

අතැඟිලි අගින් ගෙන

පටලවන විට

ඔබ හිසොසවා

නෙතගින්

මා දෙස

බලනු දැක්මට

සොඳුර,

මා හද

ශෝකයෙන් ළතවෙයි.

එහෙත්,

මම එය නොපතමි.

එහි කිනම් සැපතක්ද?


ඔබ හා

එක් වන මට

ඔබේ

සුන්දරත්වය

නොවැටහෙතියි මට සිතේ.

සුන්දරත්වය ඇත්තේ

එක් වීමෙන් තොර

ඒ ශෝකී

සිතුවිල්ලෙහිය.


'සුන්දරත්වය' නම් මෙම කවි කැකුළ ගුණදාස අමරසේකරයන් 1955 වසරේ නෑඹුලෙන් පළ කළ 'භාව ගීත' නම් කවි සංග්‍රහයෙහිදී විකසිතව ඇත්තේ නව සුන්දරත්වයකිනි.


සුන්දරත්වය


මල් වැටී විසුරුණ එ් ඇළබඩ

පාළුවෙහි බිම වැතිර තනිවී

ඔබේ අත ගෙන

සෙමෙන් අල්ලා

නඟින අඳුරෙහි

මහත් රහසක්

සෙමෙන් කීමට මගේ සොඳුරිය
 විඩාපත් වූ මගේ මේ සිත

දිවා රෑ එක විලස වෙහෙසේ.


එහෙත් එය නොපතා සිටින්නෙමි

එහි කිනම් සතුටක් ද ඇත්තේ.


උදය කාලයෙ

ළහිරු රැස් වැද

ඔබේ මුළු කාමරය බබළයි.

ඔබද එහිවුත්

ඔබගෙ දිගු කෙස්

කරල් ගොතනට පටන් ගන්නෙය. 
එවිට එහිවුත්

ඉන් එකක් ගෙන

සෙමෙන් අදිනට පටන් ගත් විට

ඔබේ නෙතගින් බලන එබැලුම් බලාගන්නට මගේ සොඳුරිය

විඩා පත් වූ මගේ මේ සිත

දිවා රෑ එක විලස වෙහෙසේ.


එහෙත් එය නොපතා සිටින්නෙමි

එහි කිනම් සතුටක්ද ඇත්තේ.


රෑ කල්හි

දිගු මේසයෙහි මුල

නැඹුරු වී ඔබ

පොත් බලන විට

පහන් එළියෙහි

දිළෙන ඔබෙ කෙස්

රොදක් අල්ලා ඇඟිලි තුඩකින් සෙමෙන් එය කරකවන විට ඔබ නඟන ඒ පෙම් මිහිරි සිනහව

ඇසීමට මා සොඳුර මේ සිත

දිවා රෑ එක විලස වෙහෙසේ.


එහෙත් එය නොපතා සිටින්නෙමි

එහි කිනම් සතුටක්ද ඇත්තේ.


උදයෙ පාසල වෙතට යාමට

පළමු සුදු සාරියෙන් සැරසී

පැමිණ මා සිටි

තැනට හෙමිහිට

"ලස්සනද මං" කියා

ඔබ ඒ අසන

සුමිහිරි එහඬ ඇසුමට

සොඳුර මා සිත

දිවා රෑ තුළ

එකම විලසට නිබඳ වෙහෙසේ.


එහෙත් එය නොපතා සිටින්නෙමි එහි කිනම් සතුටක්ද ඇත්තේ.


ඔබ සමග එක් වෙන එමොහොතෙහි සුන්දරත්වය ඔබේ දැකුමට

මගේ සිත අසමතියි මා හට

මහත් සැකයක් ඇතිව පවතී.

සුන්දරත්වය අහෝ ඇත්තේ

එසේ එක්වීමෙන් ඈත් වූ

පාළු සිතුවිල්ලෙහිය ශෝකී හද වෙළාගෙන ශෝක දනවන.


මහාචාර්ය සරච්චන්ද්‍රයන් තෙමේම ආංගල බසට නගා ලොවට හඳුන්වා දුන් 'සෝමා' කෙටි කතාවද පසුව ගුණදාස අමරසේකරයන්ගේ නෑඹුල් කෙටි කතා සංග්‍රහය වන 'රතු රෝස මල' කෘතියට ඇතුළුව ඇත.

සාහිත්‍ය විචාරකයෙකු හැටියට මතුවීමටද අමරසේකරයන්ට මග හෙළි කරන්නට ඇත්තේ සරච්චන්ද්‍රයන්ම විය හැකි බැව් සිතන්නට අමරසේකරයන්ගේ පළමු සාහිත්‍ය විචාර ග්‍රන්ථය වන 'විනෝදය හා විචාරය' (එය ගුණසේන සමාගමේ ළිහිණි පොතකි.) අනුබල දෙයි. 1955 වර්ෂයේ පළමු වරට පළ වුණු ඒ කෘතිය සම්පාදනය කොට ඇත්තේ අමරසේකරයන් විසින් ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරන ලද ශාස්ත්‍රීය කතා කීපයක් සංග්‍රහ කිරීමෙනි. ඇතැම් විට ඒවා ප්‍රචාරය වන්නට ඇත්තේ සරච්චන්ද්‍රයන් විසින් නිෂ්පාදිත 'යෞවන සමාජය' වැඩ සටහන ඔස්සේ හෝ එකල ඔහුගේම උපදෙස් මත ආරම්භ කරන ලද ගුවන් විදුලි 'ශාස්ත්‍රීය සංග්‍රහය' ඔස්සේ විය හැකිය. එකල බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ Second Programme නමින් ප්‍රචාරය වුණු වැඩ සටහන සිහි කරමින් සැකසුණු ලංකා ගුවන් විදුලියේ 'ශාස්ත්‍රීය සංග්‍රහය' සඳහා සංඥා වාදනය වශයෙන් යොදා ගැනුණේ භාරතයේ විසූ දුර්ලභ ගණයේ වාදන චාතූර්යකින් සහෘද ජන හෘදය රංජනය කළ ශංකර් රාව් නම් ගාන්ධර්වේශ්වරයා විසින් වාදිත ජෝගියා රාගය ආත්ම කරගත් කර්ණ රසායන ඒකල ෂෙහනායි වාදනයකි. මේ පුවත මා අසා දැනගත්තේ මගේ සෞන්දර්ය මිත්‍ර හේමපාල සංගීත ප්‍රාඥයාගෙනි. එම මධුර රාග රාවය දැනුදු මගේ දෙකන්හි නාද නින්නාද වීම කාට නම් වැළකිය හැකිද? තත් වාදනය ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහ සංඥා වාදනය සඳහා තෝරා දී ඇත්තේද සාහිත්‍යය මෙන්ම සංගීතය විෂයෙහිද හසළයෙක් වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් බැව් ප්‍රකටය.

මෙවේලේ මගේ මතකය සොළොස් වසරක් අතීතයට ඇදී යයි. ගුණදාස අමරසේකරයන් අසූ වියට එළැඹුණේ 2009 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනි දාය. එම ජන්මෝත්සවය නිමිති කර ගෙන 2008 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනි දින පටන් 2009 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනි දින දක්වා පුරා වසරක් තිස්සේ ඔහුගේ සාහිත්‍ය හා සමාජ සේවය ප්‍රත්‍යවලෝකනය කිරීමේ වැඩ සටහන් මාලාවක් ආරම්භ කෙරුණි. එය සංවිධානය වූයේ 'විසිදුනු' ග්‍රන්ථ ප්‍රකාශන ආයතනාධිපති ගෙවිඳු කුමාරතුංගයන්ගේ පුරෝගාමිත්වයෙන් හා අනුග්‍රාහකත්වයෙනි. එහි ප්‍රාරම්භ උත්සවය පවත්වන ලද්දේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. එහිදී තම දේශනය පැවැත්වූ අමරසේකරයන් එය අවසන් කළේ මේ වචනවලිනි.

"මට තියෙන්නෙ පුංචිම පුංචි 'ම'යනු දෙකක්!"

ගුණදාස අමරසේකරයන්ගේ චරිතාංග මගින් එකී කියමන මනාව සනාථ වෙතියි යනු මගේ අවංක හැඟීමයි. අඩ සිය වසක් සා දිගු කලක් ඔහු ඉතා සමීපව හා ළැදිව ඇසුරු කිරීමෙන් මා ලත් අත්දැකීම් ඊට සාක්ෂි සපයයි. මහා ලේඛක මාර්ටින් වික්‍රමසිංහ ප්‍රාඥයන් සමග අමරසේකර ලේඛකයාණෝද මගේ විවාහයේ සාක්ෂිකරුවෙක් වූහ.

2009 වසරේ නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබුණු අමරසේකර ප්‍රත්‍යවලෝකන සමාප්ති උත්සවයට පෙර පැවැත්වුණු උත්සව මාලාවේ අවසාන උත්සවය වශයෙන් එක්තරා වෙසෙස් උළෙලක් සංවිධානය කොට තිබුණි. 'නිජබිම ආවර්ජනා' යනුවෙන් නම් කෙරුණු එහි ආරම්භක උලෙළ පැවැත්වුණේ 2009 වසරේම ඔක්තෝබර් මස 25 වැනි ඉරිදා ප්‍රභාත කාලයේ යටලමත්ත විදුහල් පරිසරයේදීය. අමරසේකරයන් පළමුව මෙලොව එළිය දුටු තිඹිරි ගෙය වන ගුරු නිවාසය අයත් එම පාසල ඊට පතිරූප දේසයක් වීය. ඔහු එම පාසලේ ගුරු නිවස තුළ උපත ලබන විට ඔහුගේ මවු තොමෝ එහි මුල් ගුරුවරිය වූවාය. ප්‍රකට වෙදැදුරෙක් වූ පියා විද්‍යෝදය පරිවේණාධිපති වරයෙකුව වැඩ හුන් මහා පඬි බද්දේගම පියරතන නා හිමිපාණන්ගේ එක කුස හොත් බාල සොහොයුරා විය. එදිනම නිශා භාගයේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාර එළිමහන් භුමියේ පැවැති අමරසේකර කාව්‍ය රසාස්වාද මණ්ඩපයකි. ඔක්තෝබර් 26 වැනි සඳුදා ගාලු පුරහලේ මුළු දුන් මහා සාහිත්‍යෝත්සව සභාව 'නිජබිම ආවර්ජනා' වෙසෙස් උළෙලේ සමාප්ති අංගය වුණි.

ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකන වැඩසටහන් මාලාවට අයත් 'නිජබිම ආවර්ජනා' වෙසෙස් උලෙළට සහභාගී වනු වස් අප එදා කොළඹ සිට යටලමත්ත බලා ගියේ විශේෂ බස් රියකිනි. ගුණදාස අමරසේකරයන් සහ ඔහු බිරිය
චන්ද්‍රාවන් , කේ. ජයතිලකයන් සහ බිරිය සුමනාවන් , තිස්ස කාරියවසමුන් , ගුණසේන විතානයන් , ලීලානන්ද ගමාච්චීන් , ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේයන් , ගෙවිඳු කුමාරතුංගයන් , දයාපාල ජයනෙත්තීන් සහ මා ඇතුළු සාහිත්‍ය ලෝලීන් විශාල පිරිසක් එදා එම බසයේ එකට ගමන් ගත් අයුරු මෙවේලේ මගේ සිහියට නැගෙයි. අමරසේකරයන්ගේ හැම්මෑලියේ මහ ගෙදර අසලදී ඔහුගේ එක කුස ඔත් වැඩි මහල් සොහොයුරු ධර්මදාස සූරියආරච්චි අමරසේකරයන්ද (සූරියආරච්චි නාමය ගුණදාස අමරසේකරයන්ටද වෙයි.) අප ගිය බසයට ගොඩ වුණා මට මතකය.

අමරසේකරයන්ගේ උපතට තිඹිරි ගෙය වූ ගුරු නිවාසය අයත් ඔහුගේ මුල් පාසල වන යටලමත්ත විදුහල කිසිදු වෙනසකට භාජන නොවී පෙර සේම පැවති බව අපි එදා දුටුවෙමු. අමරසේකරයන් විසින් රචිත මහාර්ඝ කෙටිකතා සංග්‍රහයක් වන 'ජීවන සුවඳ' කෘතියෙහි එන 'ආපසු ගමන' නම් ආත්ම චරිතාත්මක කතාවේදී මෙම සංවාදාත්මක හා වර්ණනාත්මක පාඨය හමුවෙයි.

"අම්මා යළිත් නැවතිල්ලේ කියවන්නට විය.

'උඹ දුව පැන ඇවිදින කාලේ තමයි මේ ඔක්කොම වැඩ ඉවර කරල ඔය කාමරෙත් හදල මුළු ස්කෝල සාලෙම සිමෙන්ති දැම්මෙ. තවම ඇති ඒ සිමෙන්ති දාපු පාර උඹ තියාපු අඩි........ ඔය සිමෙන්ති දාන දවසක අපි ගාලු ගිහිල්ල පස්ස පැත්තෙන් කාමරේට ඇවිල්ල දොර ඇරී හැටියෙ උඹ ස්කෝල සාලෙට දුව ගෙන ගියා. තවම ඇති ඒ තියාපු අඩි අගේට' යි කී ඈ නැගිට ස්කෝල සාලයෙහි ගුරු නිවාසයට ඇතුළු වන දොර අසලට ගියාය.

'මේ තියෙන්නෙ....... මේ දුවගෙන ගිය අඩි' යි කී ඈ මට ඒ මගේ අඩි පාරවල් පෙන්වුවාය.

'මම , හා පුතේ මෙහේ මෙහේ කියලා කෑ ගැහුවා. ඒ පාර ආපහු දුවගෙන ආපු අඩි තමයි මේ' යි කී ඈ ආපසු පැමිණි අඩිද පෙන්වුවාය.

'මේව තව සැරයක් සිමෙන්ති දානකන් මෙහෙම තියේවි.'

'නිජබිම ආවර්ජනා' උලෙළට සහභාගී වනු පිණිස යටලමත්ත විදුහලට ගිය අප කවුරුත් එහි විදුහල් සාලයේ පැරණි සිමෙන්ති පොළොවේ කොටු කර තිබුණු එක්තරා වෙසෙස් තැනක් වෙත නෙත් හෙළමින් බලා උන්නේ මහත් කුහුලිනි. අසූ වියට එළැඹි අමරසේකරයෝ ද එතන අප ඉදිරියේ නැගී සිටිති. ඔහු තම විසල් නෙත් සඟල විදහා මඳක් ඉරි තැළී ගිය සිමෙන්තියේ තවමත් ඉතිරිව ඇති තම බිලිඳු පතුල් සටහන දෙස එබී බැලුවේ බලවත් හැඟීමෙකිනැයි සිතමි
මා කලින් උපුටා දැක්වූ කෙටි කතා පාඨයට අනතුරුව එම කතාවේ එන ආඛ්‍යාන පාඨය මෙසේය.

"නැඹුරු වී ඒ දෙස බලා උන් මට ඒවා අතගා බැලීමටද සිතිණ. මම නැඹුරු වී ඒවා අතගා බැලුවෙමි. 'මාපට ඇඟිල්ල , අනික් ඇඟිලි , විලුඹ' ඒ සියල්ලම එහි ඇත. මම මගේ දෙපා දෙස හැරී බැලුවෙමි.එක්තරා සතුටකින් විස්මයකින් හා ස්නේහයකින් මගේ හිත වෙළී යන්නා සේ මට දැනිණ. 'මගේ නේද? අනේ දෙයියනේ මේ ඔක්කොම මගේ නේද?' යි මම අවට දෙස බලමින් මටම කියා ගතිමි. මේ සියල්ල ඇද වැළඳ ගැනීමට තරම් ප්‍රේමයකින් මගේ සිත මොළොක් වූවා සේ මට දැනිණ. මගේ දෙනෙත් තෙත් වී ඇතැයි මට හැඟිණ."

තම බිලිඳු වියේ පතුල් සටහනට එබී
බලා නැගී සිට සිනා මුහුණින් අප දෙස බැලූ , අසූ වියට එළැඹි ගුණදාස අමරසේකරයන්ගේ මුහුණ දකිත්ම යට කී කෙටිකතා පාඨය මගේ සිහියට නැගෙනු කෙසේ නම් වැළකිය හැකිද?

තම තිඹිරි ගෙය වන එම පැරැණි ගුරු නිවාසයට අප සමග ඇතුළු වුණු අමරසේකරයන් කුඩා වියේ තමා එහි උන් හිටි තැන් , කළ කී දෑ අපට නොසඟවා හෙළි කළේ බලවත් ආසාවෙනි.

'නිජබිම ආවර්ජනා' උත්සවය පැවැත්වුණේ වෙනත් තැනක ගොඩ නගන ලද යටලමත්ත අලුත් විදුහල් ශාලාවේය. එහි ප්‍රධාන දේශකයා වූයේ මහාචාර්ය තිස්ස කාරියවසම්හුය. උත්සව සභාවට සහභාගී වූ සම්භාවනීය පිරිස අතර මාර්ටින් වික්‍රමසිංහ ප්‍රාඥ ලේඛකයාණන්ගේ බාල පුත් වෛද්‍ය රංග වික්‍රමසිංහයන් සමග වැඩිමහල් දියණිය රූපා සපරමාදු මහත්මියද වූවාය.

උලෙළ අවසානයේ ගුණදාස අමරසේකරයන් නමින් යටලමත්ත විදුහලේ දක්ෂතම කුඩා සිසු දැරියට ශිෂ්‍යත්වයක්ද පිරිනැමුණි. එම සබා මැද ඔහු පැවැත්වූ දේශනයේදී අති අනතිමානීව අතීව
 අව්‍යාජ ලෙස හෙළි කළ තම අතීත සැමරුම් අසා සිටිද්දී ඔහුගේ 'ආවර්ජනා' කාව්‍ය සංග්‍රහයෙහි එන 'නිජ බිම ආවර්ජනා' නම් හෘදය ග්‍රාහී කාව්‍ය රචනය මගේ මතකයට මතුව ආවේ ඉබේය. අමරසේකරයන් එය රචනා කර ඇත්තේ වරක් විදුහල්පතිගේ ආරාධනයෙන් යටලමත්ත විදුහල් උලෙළක විශේෂ අමුත්තා වශයෙන් එහි ගිය අවස්ථාවක ලද හෘදයංගම අත්දැකීම් වස්තු කර ගනිමිනි.


නිජබිම ආවර්ජනා


දෙඇස් දල්වා බලත්

ගොළු බසින් මුසපත්ව

හොටු පෙරා ගත් මුහුණු

විහිදුවා දෙකන් පෙති

විරිත්තා දත් දෙපෙළ


කවුද මේ තැනැත්තා

දිස්න දෙන රියෙන් බට

ගුරුතුමා කැටිව යන

එමේ අත උඩ පහත

දෙඇස් හරවා බලන


කවුද මේ තැනැත්තා

මහත් ගරු සරු ලබන

ගුරුතුමා කැටිව යන


ඔවුන් ඇස් මා මුහුණ

මත ඇලවි ගොස් ඇතැයි

මොහොතකට මට සිතේ


උන් කුමක් සිතනු ඇති?


ගොළු බසින් මුසපත්වු

උන් මුහුණු මා වටා

වැට කඩොලු බැඳ ඇතැයි 
මොහොතකට මට සිතේ


එහෙත් මගෙ උනන්දුවෙ

තෙරක් නැත නිමක් නැත

නොමැත මට ඉවසුමක්

දැක ගන්න මෙහැම දෙය

සොළොස් වසරකට පසු

නොවෙද මා දකින්නේ

මෙහැම දෙය යළි මෙසේ


ඒ ඉකුත් වසර තුළ

මා සිතින් කී වරක්

මෙහැම ගෙන එකින් එක

වැලඳ ගෙන ඇති නොවෙද?


මෙකඳු ගැට මෙවන පෙත්

මේ බිත්ති මේ කුලුනු

සියක් වර සොම්නසින්

ලබා ඇත මා පහස


එසැම යළි දැක ගන්ට

සියැසින්ම දැක ගන්ට

ඇද වැලඳ සිප ගන්ට

ඉවසුමක් නොමැත මට


මෙසිසු කැල මුව දෙනෙත

ගුරුතුමා දොඩන බස

වැට කඩොලු පමණි මට


සොටු පෙරා ගත් මුහුණු

කිම බලනු මදෙස කිම


එකින් එක අවුස්සා

පිරික්සා අත ගගා

බලන මා පිස්සෙකැයි

සිතනු ඇත මොවුන් හැම


එහෙත් මට කමක් නැත

මේ මගේ නිජ බිමයි

මකව් සිත දිනු බිමයි

මෙහි සෑම අඟලක්ම

පිදුම් ලැබ ඇත මහද


මේ විසල් බිත්ති මත

නැඟී මා කොලු වයස

බලා කඳු හෙල් ඈත

ළහිරු රැස් වැද දිලෙන

නැඟූ සිතිවිලි සොඳුරු

නොවෙද මා අද පවා

නඟන්නේ බැති සිතින්


එදා මා පා ගැටුණු

මෙබිම රැඳි ගල් බොරලු

තණ පඳුරු මල් පියලි

නොවෙද මා මවන්නේ සිත් අතින් කවා රස හව් නොයෙක්


අර ඈත පාළු බිම

මහද නැඟු පාළුවයි

මා වෙළුෑ තනිකමයි

වේදනාවයි දුකයි

තවම මා රැගෙන යනු

සිතුවමට නඟාලනු

බසින් හඬ ගා කියනු


මේ මගේ නිජ බිමයි

මකව් සිත දිනු බිමයි

මෙහි සෑම අඟලක්ම

පිදුම් ලැබ ඇත මහද


මෙය නොවෙද අප එදා

විසල් ගෙයකැයි සිතූ

පස් දෙනම රැඳී උන්

දෙපැත්තෙහි ඇඳන් තැබු

කවුළු දෙකකින් සැදුණු

නිවාසය 'අපේ ගෙය'


තුටින් මත් මට නොහැක

නොපෙන්වා සිටින්නට

තිබුණු තැන අපේ ඇඳ

මා කැටිව එන ඔහුට


'අර ඇඳේ බුදියෑවෙ

නඟයි අම්මයි අපේ'


'මම උපන්නේ අතන

කෑම කාමරයේලු'


මගෙ නෙතට හුරු පුරුදු

ඒ අඳුර තවම ඇත


අත ගෑමි විසල් දොර

ඇරෙන සාලාව වෙත


'මෙතන ඉඳ ගෙන තමයි

සියලු කව් රස වින්දෙ

මගේ මව උගැන්නුව

සැලළිහිණි ගුත්තිලය

දැන ඇඳින ගත්තෙ මම'


"ඔව් තවම තියෙනවා

ඔබේ පා සටහනක්

අපි ඒක බෝ බැතින්

මෙහි සුරැක තියෙනවා"


මා නැඹුරු වී සැණින්

බලත අත ගා එතැන

උන් දෙනෙත් විවර කොට

සොටු මුහුණු විදෑ හැර

දෙකන් පෙති විහිදුවා

දත් දෙපෙළ විරිත්තා

ගොළු බසින් මුසපත්ව

මදෙස බලනා අයුරු

මම දුටිමි නෙත් අගින්


සොටු පෙරා ගත් මුහුණු

ඇයි මදෙස බලනු කිම?


සොටු පෙරෙන උන් සිතට

දැනෙන රස හව් කුමන?


එකින් එක අවුස්සා පිරික්සා

බලන මා පිස්සෙකැයි

හිතනු ඇත ඔවුන් හැම


එහෙත් මට කමක් නැත


මේ මගේ නිජ බිමයි

මකව් හිත දිනු බිමයි


බැති සුවඳ දුම් දෙමින්

මහද ගැබ ලා සුරැකි

රන් රුවන් පුරා ගත්

මහඟු වස්තුව මෙයයි


එහි ඇතුළු ගැබ වැතිර

ඇද වැලඳ දැවටෙමින්

විඳිනු පිණිසය මෙසුව

පිවිසියේ මා මෙතැන


තුටු මතින් ඔකඳ වී

මා බලත හාත්පස

කැටිව ආ ඔහු සෙමෙන්

කියන්නට විය මෙබස


'මෙසිසු කැළ අමතන්න

ඔබට කළ හැකි අපට

ලොකුම ගරු සරුව එය


ඔවුන් ඔබ ගැන අසා

ඇත සියක් දහස් වර'


ඔහු බසින් තිගැස්සී

මම බලාගෙන උනිමි


කුමක් කිව හැකිද මට?


වැසූ වැරහැලි විසින්

සොටු පෙරා ගත් වතින්

විරිත්තූ දත් පෙළින්

මුසපත්වු ගොළු බසින්

යුතු මෙසිසු දෙස බලා

කුමක් කිව යුතුද මම

කුමක් කිව හැකිද මට

කුමක් කිව යුතුද මම

+

මා අතින් උන් නිසා

සිදුවු මෙහෙයක් ඇතිද?


උන් දුගී බව නසන

දුක් තැවුල අඩු කරන

අවිදු අඳුරෙන් මුදන

කිසිදු මෙහෙයක් උතුම්

මා අතින් ඉටුවිණිද?


එවැනි මෙහෙයක් නොකළ

මා මෙසේ දැන් ඉතින්

බලා උන් දෙස කුමක්

කියන්නද මේ මොහොතෙ


රැගෙන මේ බිම හදින්

එහි රසෙන් මත් වෙමින්

හනා රස හව් අරුත්

ලියා ඇති මුත් නෙකව්

මා අතින් මොවුන් වෙත

සිදුවීද මෙහෙවරක්

ඉටු වුණිද යුතුකමක්


බිඟුහු සේ රොන් සොයන

උරා මුවරඳ සොරා

මකව් රස මැවූ මුත්

ඉටු කෙළෙද කිසි දිනක

මෙහෙවරක් යුතුකමක්

උන් මුදා ලනු පිණිස


පැකිලෙමින් සිනාසුණ

මම නිහඬ වී උනිමි.

+

ඇතිද ඒ වැනි මෙහෙය

කිවිහු සතු රස මවන


කිව්හු වෙද ලොව් සතුන්

මුදාලන දිය නඳුන්


කිම පතනු කිවි වෙතින්

මවන රස හව් නිතින්

මෙවැනි මෙහෙවර උතුම්


කිවි නොවේ දිය නඳුන්

මුදා ලන ලොව සතුන්

ඉටු කරන මෙහෙවරක්

පැතුම් පෙරුමන් බෙලෙන්

+

කිවිහු වෙති දුබල සත

පසිඳුරන් මත වසන

එඉඳුරන් පිහිට කොට

මවා රස හව් බෙදන


නැතිද වෙනසක් ඔවුන්

හා මෙලොව අනෙක් සත


එසේ නම් කිම කියනු

කිවිහු වෙත දුලබ සත

පිදුම් ලබනට සුදුසු

ලෝ සතුන්ගෙන් නිබඳ

+

වෙසෙස කිවි ඔහු සතුවු

දුලබ හද කැඩපතය


එහද කැඩපත සතුවු

එකම සත කිවි පමණි


එයයි කිවි සතු වෙනස

පිදුම් ලබනට සුදුසු

ලද උපත ලැබ එහද

කිවිහු වෙති දුලබ සත

වතින් පුරනා නිබඳ

ඔප් නඟා එකැඩපත

කිවි දකී පිළිබිඹුව

රිසි නොරිසි සිය මනස

+

මුල් දවස මෙමිහි බට

ලොව දකින අකුරුකිවි

දකිනුයේ එකැඩපත

පිළිබිඹුව පමණි තම


සිතා තම පිළිබිඹුව

ලොසත පිළිබිඹුව යැයි

මත් සිතින් ඔහු ගයයි

තමා පිළිබිඹු වරුණ


කිවි මතින් සිත මිදී

මනු දමින් හද වෙළෙත

පහව දිය වී මැකෙයි

සිය නිසරු පිළිබිඹුව


මනු දමින් ඔප් නැඟූ

හද සරස තලය මත

වැටෙනුයේ ඉන්පසුය

මෙලොව සත පිළිබිඹුව

+

සොටු පෙරාගත් මුහුණු

දුකිනවුල් වූ දෙඇස්

නිවෙස් කොට ගනු නොවෙද

ඉන් පසුව කිවිහු හද?


ඉන්පසුව වෙද ඇසෙනු

ගොළු මුහුණ දොඩන බස?


ඉන්පසුව වෙද හැඟෙනු

ගොළු මුහුණු විඳින දුක?


ඉන්පසුව වෙද ලබනු

ඔවුන් අමතනා බස?

 

පසක් කෙරුවෙමි මෙදින

නොමැති බව මා සතුව

මනු දමින් ඔප් නැඟූ

එවැනි හද එකැඩපත


මා අකුරු කවියෙක්ද 
කිවි මතින් මත් වෙමින්

බලා මා පිළිබිඹුව උදම් වී ගී ගයන නැතිද සිදු කළ පිනක් මිදී ඒ අත්බැවින්

දැකිය හැකි හද තලය සොටු පෙරාගත් මුහුණ


ඉටා ගත්තෙමි මෙදින මගින් සොටු පෙරි මුහුණ

මකාලමි මපිළිබිඹු අරිමි තා වෙත මහද

උගත්තෙමි තා වෙතින් මෙතෙක් නූගත් වදන

තවෙත එමි ළඟ දිනෙක විබුද කිවියර ලෙසින.



අදහස් (1)

ලේඛකයන්ට ශේඛර වන් අමරසේකර

වසන්ත ලියනගේ Friday, 15 November 2024 05:15 AM

අමරසේකරට වඩා කොතරම් දක්ෂ, කුසලතා සහිත, ප්‍රතිභාසම්පන්න කවියන් අද ඉන්නවාද? මේ ගතානුගතික කියැවීම නතර වන්නේ කවදාද? එකම තැටිය වාදනය කරන මේ විචාරකයින් කරන හානිය සුළුපටු නොවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

මතක හා මතය

යථාවාදී තථාකාරී ලේඛකයා
2024 දෙසැම්බර් මස 03 13 0

මෙරට වත්මන් ලේඛක පරපුර අතින් බිහිවෙන ඇතැම් කවි , ගීත , කෙටි කතා , නවකතා ආදි නිර්මාණ මගින් පීඩිත පන්ති හැඟීම , මානව දයාව , සටන්කාමිත්වය යන වෙසෙස් ගුණාංග ප්‍ර


භාෂා පරිහානියේ රෝග නිදානය
2024 නොවැම්බර් මස 26 311 0

ජගත්.ජේ.එදිරිසිංහයන් ෆේස්බුක් මගින් මගේ අවධානයට ලක් කළ විකාර වාක් ප්‍රයෝග පිළිබඳ සුලමුල විවරණය කරමින් මා වරක් එෆ්බීයට සැපයූ පිළිතුරු ලිපිය මගේ ’මතක ස


සිංහලයේ වෙසෙස් වියරණ ලකුණු
2024 නොවැම්බර් මස 19 156 0

’ෆේස් බුක්’ මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි.


ලේඛකයන්ට ශේඛර වන් අමරසේකර
2024 නොවැම්බර් මස 12 291 1

සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 96 වැනි වියට එළැඹෙණුයේ 2024 නොවැම්බර් 12 වැනි දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!


එක වහලක් යට තිස් වසරක මතක
2024 නොවැම්බර් මස 05 158 0

මා මාර්ටින් වික්‍රමසිංහ මහාශයන්ගේ ආවේශාත්මක වූත් ආස්වාදාත්මක වූත් සමීප ආශ්‍රය ලබමින් විසූ භාග්‍ය සම්පන්න සමයේ එක්තරා අවස්ථාවක මම ඔහුගෙන් මේ පැනය වි


පැරණිම රැකියාව දූෂණයද?
2024 ඔක්තෝබර් මස 29 221 0

ඇස්. පියසේන (සේනාධීර පියසේන) නම් බහුශ්‍රැත හා පරිණත මාධ්‍ය විශාරදයාණන් සමග ඉතා ළංව ඇසුරු කිරීමට ලැබීම මගේ පරම භාග්‍යයකි. අනූ වියද ඉක්ම මියෙන තෙක්ම පැහැද


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 47 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 660 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 836 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site