වත්මන් ඇතැම් සිංහල ආචාර්ය මහාචාර්යවරුන්, ලේඛකයන්, පරිවර්තකයන් මෙන්ම සාහිත්‍ය හා දේශපාලන විචාරකයෝ ද සිංහල භාෂා භාවිතය කෙසේ වෙතත් සංස්කෘත භාෂාවේ නිරුක්ත්‍යර්ථ පිළිබඳ බින්දු මාත්‍ර වැටහීමකිනුදු තොරවම චතුර්වේද පාරප්‍රාප්ත බමුණු ගුරුන්ගේද ගුරුන් සේ අලුත් අපභ්‍රංශ සංස්කෘත වචන වාත්තු කිරීමෙහිලා රුසියන්ව සිටිති.එසේ වාත්තු කරන ලද සංස්කෘත වචන කීපයක් මෙන්න.
සුවාරක්ෂිත
හරයාත්මක
මධ්‍ය සාරය
දෛනික දින චර්යාව
මහා ශ්‍රේෂ්ඨතමයාණෝ
වාරි ජලය
ඓශ්චර්ය
ප්‍රතික්ෂේපිත
අමන්දානන්දනීය සතුටක්
අවස්ථාවෝචිත
අනගිභවනීය
"සුවාරක්ෂිත" = 'සුව' යන්න සිංහල වදනකි. 'ආරක්ෂා' යන්න සංස්කෘත වචනයකි. එය එළ හරක් - මී හරක් ඈඳිල්ලකට අසමාන නොවේ.
"හරයාත්මක" = 'හරය' සිංහලය. 'ආත්මක' සංස්කෘතය. එයද එළ - මී ඈඳිල්ලක්මය.
"මධ්‍යසාරය" = මැදින් ගලන සැරව යන විහිළු තේරුම දෙන්නකි. එය 'මද්‍යසාරය' යනුවෙන් නිවැරදි විය යුතුය.එවිට තේරුම් වන්නේ මත් දියර යනුයි.
"දෛනික දින චර්යාව" = 'දෛනික' යන්නෙහි තේරුම 'දිනපතා' යනුයි. යෙදිය යුත්තේ 'දෛනික' හා 'දින' යන දෙවදනින් එකකි.
"මහා ශ්‍රේෂ්ඨතමයාණෝ" = 'ශ්‍රේෂ්ඨ' යන්න සෑදෙන්නේ 'ශ්‍රා' (උසස් බව) යන්නට 'අතිශය:' හෙවත් 'වැඩි' යන තේරුම දෙන 'ඉෂ්ඨ' ප්‍රත්‍යය එක්වීමෙනි. (ශ්‍රා + ඉෂ්ඨ = ශ්‍රේෂ්ඨ) ඒ අනුව 'ශ්‍රේෂ්ඨ' වචනයෙහි තේරුම ඉතා උතුම් යන්නය. 'මහා' යන විශේෂණ පදයේත් 'තම' යන ප්‍රත්‍යයේත් ඇති අතිශයාර්ථයද 'ශ්‍රේෂ්ඨ' යන එකම වචනයේ සම්පූර්ණයෙන්ම ගැබ්ව පවතී. ඒ අනුව 'මහා ශ්‍රේෂ්ඨතමයාණෝ' යන්න වාත්තු කළ සංස්කෘතයකි.
"වාරි ජලය" = 'වාරි' සහ 'ජල' යන ශබ්ද දෙකම සංස්කෘත භාෂාවේ පර්යාය පද වෙයි. එනම් 'වතුර' යන සමාන තේරුම ඇති පදය.
"ඓශ්චර්ය" = මෙහි 'ව' කාරය වෙනුවට යෙදී ඇත්තේ 'ච' කාරයයි. 'ඓශ්චර්ය' යනුවෙන් වචනයක් සංස්කෘත භාෂාවේ නැත. ඇත්තේ 'ඓශ්වර්ය' යන්නය. එහි තේරුම 'ඉසුරු', 'සම්පත', 'ධනය', 'වස්තුව', 'සෞභාග්‍යය' යනුයි. සංස්කෘතයේ 'ආශ්චර්ය' යනුවෙන් වචනයක් ඇත. එහි තේරුම 'විස්මය' හෙවත් 'පුදුමය' යනුයි.
"ප්‍රතික්ෂේපිත' = මෙය 'ප්‍රතික්ෂිප්ත' යනුවෙන් යෙදිය යුතුය.
"අමන්දානන්දනීය සතුටක්" = 'අමන්ද' වදනෙහි තේරුම මඳ නොවන හෙවත් බොහෝ යන්නය. ආනන්දය නම් සතුටයි. ඒ අනුව 'සතුටක්' යන්න පුනරුක්තියකි. නිරවද්‍ය යෙදුම විය යුත්තේ 'අමන්දානන්දය' යන්නය. තේරුම අතිශය සන්තෝෂයයි.
අවස්ථාවෝචිත = මෙය සාවද්‍ය සංස්කෘත සන්ධියකි. මෙහි ඇති සන්ධි පද දෙක 'අවස්ථා' හා 'උචිත' යන්න මිස 'අවස්ථාව' හා 'උචිත' යන්න නොවේ. එහෙයින් ඒවා සන්ධි විය යුත්තේ මෙසේය.
අවස්ථා + උචිත = අවස්ථෝචිත.
' අවස්ථාව' යනු ශබ්දප්‍රකෘතියක් නොව ස්වරවත් (වර නැගුණු) පදයකි.
අනගිභවනීය = සාවද්‍ය යෙදුමකි. එය අනභිභවනීය විය යුතුය. 'අභිභවනය' යනු යටත් කිරීමයි. එහි පද සිද්ධිය මෙසේය.
න+අභිභවන = අනභිභවන
'ඊය' ප්‍රත්‍යය යෙදීමෙන් 'අනභිභවනීය' වෙයි. 'යටත් නොකළ හැකි' යන තේරුම දෙයි. 'අනගි' යනු සංස්කෘත 'අනර්ඝ' ශබ්දයේ තද්භවයකි. එනම් සිංහලට බිඳුණු පදයකි. 'අගනා', 'වටිනා' යනු එහි තේරුමයි. ඒ අනුව 'අනගිභවනීය' යනු දුෂ්ප්‍රයෝගයකි. ඉඳුරාම භාෂා අඥයන්ගේ සංස්කෘත වාත්තුවකි.
ඉතා මෑතක ජාතික වශයෙන් සිද්ධ කරන ලද සම්මාන ප්‍රදානෝ්ත්සවයක් නිමිත්තෙන් පිිරිනැමූ දිගුපුළුලින් විසල් සහතික පත්‍රයක් මගේ ඇසට ලක්වුණි. එය වූකලී මෙරට ජනතාවගේ භාවමය ජීවිතය පෝෂණය කිරීමට මහාර්ඝ සේවාවක් ඉටු කළ ලේඛකයන්ගේ හා වෙනත් විවිධ කලාකරුවන්ගේ ගුණ කීර්තනය අරබයා රචිත වර්ණනා පාඨයක් සහිත ප්‍රශස්ති පත්‍රයකි. සංස්කෘත වචන මිශ්‍ර භාෂාවෙන් රචිත එය අක්ෂර වින්‍යාස දෝෂයන්ගෙන් මෙන්ම පදාර්ථ දෝෂයන්ගෙන්ද දූෂිත විය.
සිංහල ලේඛනය මහත් වූ පරිහානියකට පත්ව ඇති බව කැටපත් විලාසයෙන් පිළිබිඹු කොට දක්වන්නේ මෙකල ලියැවෙන පොත්, පළ වන පුවත්පත් හා රූපවාහිනී තිරයන්ය. තම ගැඹුරුම අධ්‍යාත්ම ප්‍රකාශන යානය වන මව්බස පිරිහීම වූකලී තම ජාතික දේහය දුස්සාධ්‍ය පිළිකාවකට ගොදුරුව ඇති බව හඬ ගා කියන්නකි. එහෙත් මුළු රටේම උගතුන් බුද්ධිමතුන් ලෙස අහංකාර පරවශව වෙසෙන ගිහි පැවිදි පිරිස කුදු මහත් අන් සියල්ලක් ගැනම කට ඇරියද පිරිහුණු මව්බස වේදනාවෙන් නගන හඬට පමණක් නෑසූ කන්ව සිටිති.
මා ඉහත සඳහන් කළ සම්මාන සහතික පත්‍රයෙහි මෙහි පහත දැක්වෙන අපශබ්ද හමුවෙයි.
අත්‍යුත්කෘෂ්ඨ
ගෞරවණීය
හිතායු
සුඛායු
අපි 'අත්‍යුත්කෘෂ්ඨ' යන්න සාවද්‍ය ඇයිදැයි බලමු. සංස්කෘත වචනවල මූර්ධජ 'ෂ' යන්නෙන් පසුව බැඳී යෙදෙන 'ත' 'තී' කෘදන්ත ප්‍රත්‍යයවලට ආදේශ වන්නේ අල්පප්‍රාණ 'ට' කාරය මිස මහාප්‍රාණ 'ඨ' කාරය නොවේ. මෙය සංස්කෘත භාෂාවේ අක්ෂර වින්‍යාස රීතියකි. 'විශිෂ්ට' 'දෘෂ්ටි' යනු නිදර්ශන වෙයි.;(ෂ්+ත=ෂ්+ට) -
(ෂ්+ ති=ෂ්+ටි). 'අත්‍යුත්කෘෂ්ඨ' යන්නද ඒ අනුව 'අත්‍යුත්කෘෂ්ට' විය යුතුය.
'ගෞරවණීය' සාවද්‍ය වනුයේ මන්ද? 'අනීය' යනු 'කළ යුතුය' යන අර්ථයෙන් යෙදෙන ප්‍රත්‍යයෙකි එය යෙදිය යුත්තේ 'ධාතුවක්' හෙවත් 'ක්‍රියා මූලයක්' සමගය.
උදාහරණ:
රමණීය( රම +අනීය]
දර්ශනීය (දෘශ් + අනීය)
'ගෞරව' යන්න ධාතුවක් නොවේ. එබැවින් 'ගෞරවණීය' හා ගෞරවනීය' යන දෙකම සාවද්‍ය වෙයි. ඒ සඳහා යෙදිය යුත්තේ 'ගෞරවාර්හ' 'ගෞරව සම්ප්‍රයුක්ත'' 'ගෞරවාදර වැන්නකි.
ඉහත සඳහන් සහතිකයෙහි 'හිතායු' 'සුඛායු' යනුවෙන් යොදා ඇති ආශීර්වාද ක්‍රියා වනාහි ඒවා ලියූ එකාගේ අති පණ්ඩිතකමට සාධකයකි. එය වූකලී පාලි භාෂාවේ එන
"සුඛී දීඝායුකෝ භව!"
යන ගාථා පාදය අසා ඇති පුරුද්ද අනුව එකී භාෂාන්ධ අති පණ්ඩිතයා විසින් කරන ලද පාලි වාත්තු වැඩක් මිස වෙනෙකක් නම් නොවේ.පාලි ගාථා පාදයේ අර්ථය නම් "සුවය හා
දිගායු වේවා!"යනුයි. 'හිතායු' 'සුඛායු' වැනි අපභ්‍රංශ පාලියක් ඇත්තේ කොහේදැයි ඒවා ලියූ එකාගෙන්ම අසා දැනගත යුතුය.
මෙම යෙදුම් නොයෙක් සුබ පැතුම් පත් හා සම්මාන සහතික පත් ආදියෙහි දැන් දැන් නිතර නිතර භාවිත වන බව ඔබ දැක ඇතැයි සිතමි. එසේම ඒවා නිවැරදි වියත් යෙදුම් ලෙස සලකා ඔබ විසින්ද භාවිතයට ගැනුණු අවස්ථා විණි නම් ඒ ගැනද මම මවිත නොවෙමි.
'හිතායු' 'සුඛායු' යන මේ යෙදුම් භාවිතයට ගන්නා භාෂාන්ධයන් සිතනු ඇත්තේ ඒවා හිත සුව ප්‍රකාශ වන නියම පාලි ආශිර්වාද පද රූප බවය. එය කෂ්ට කල්පනාවකි. මේ යෙදුම් දෙකට අයත් ශබ්ද ප්‍රකෘති හෙවත් ශබ්ද මූල පාලි භාෂාවට අයත්ය. ඒවා 'හිත' 'සුඛ' යනු වෙයි. මෙම පාලි රූප වත්මන් කාඩ්බෝඩ් පාලි පණ්ඩිතයන් මෙසේ අපපාඨ ලෙස භාවිත කොට ඇතද ඒවා සුපාඨ වන ආකාරය පහත දැක්වෙන නිරවද්‍ය පාලි නිදර්ශනය මගින් ඔබට පැහැදිලිව වටහා ගත හැකි වනු ඇත.
"චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය."
"මහණෙනි බොහෝ දනන්ගේ හිත සුව පිණිස ලෝ වැසියන්ට අනුකම්පා පිණිස සැරිසරව්."
එක්තරා රූපවාහිනී නාලිකාවක් මගින් ඉදිරිපත් කරන Super Star වැඩසටහනක් මෙහෙයවන නිවේදකයෙකුගේ කටින් තොරතෝංචියක් නැතුව කියැවෙන කියමනක් මට අසන්නට ලැබුණි. ඔහුගේ කටින් මේ කියමන එක දිගට කොපමණ වාරයක් කියැවෙන්නේ දැයි කියතොත් එය එකම කන්දොස්කිරියාවක් බවට පත්වෙයි. මා මෙය ඉවසා සිටියේ මොන අදහසක් කියා පෑමට මොහු මෙය කියන්නේදැයි දැන ගැනීමේ කුතුහලය නිසා මිසක් පුළුවන්කමකට නම් නොවේ.
නිවේදකයා මේ කියමන වමාර වමාරා කියවන්නේ එකී Super Star වැඩසටහනේ විනිශ්චය මණ්ඩල සාමාජිකයන් සම්බන්ධයෙනි. ඔවුන්ගේ විශේෂඥ භාවය ඉස්මතු කොට දැක්වීම සඳහාය. මෙන්න ඒ කියමන.
"නිපුණත්වයේ ප්‍රවීණයන්ගේ මතය අපි අසා බලමු."
එම නිවේදකයා නැවත නැවත නොනවතා පුනරුච්චාරණය කරන්නේ 'නිපුණ' හා 'ප්‍රවීණ' යන වචන දෙකමය. මේ වචන දෙක අසා සිටින කවරෙකුට වුවද වැටහෙන්නේ වැඩසටහන මෙහෙයවන නිවේදකයා එම විනිශ්චය මණ්ඩල සාමාජිකයන් 'නිපුණ' සහ 'ප්‍රවීණ' යනුවෙන් සුදුසුකම් දෙකක් ඇත්තන් සේ සලකන බවයි. ඔහුට කෙසේ වෙතත් 'නිපුණ' සහ 'ප්‍රවීණ' යන වචන දෙකේ නියම තේරුම් දන්නා අයට නම් ඒ කියමන අපභ්‍රංශයකි.වල්බූතයකි.මේ වචන දෙකේ තේරුම් නිවැරදි ලෙස වටහාගෙන සිටින කිසිවෙකුගේ කටින් එවන් කියමනක් කිසි දාක නොකියැවෙනු නිසැකය.
වචනවල තේරුම් නිසි ලෙස නොදැන සන්නිවේදන කාර්යෙහි යෙදෙන මෙවැනි නිවේදකයන් නිසා සිදුවන භාෂා දූෂණය සුළු කොට තැකිය නොහැකිය.මක්නිසාද යත් අලුත් පන්නයේ කියමනක් සේ සලකා එවැන්නකට වශීවී එයම පුනරුච්චාරණය කිරීමට පෙලඹෙන සුළු අනුකාරක පරපුරක් මෙකල ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවල බහුලව සිටින හෙයිනි. ජාතික ගුවන්විදුලියේ අතීතයේ
සිටමද ජාතික රූපවාහිනියේ ආරම්භයේ සිටද භාෂා උපදේශක සේවයක් ක්‍රියාත්මක වූ බැවින් වර්තමානයේ සිදුවන්නාක් මෙන් අන්ත භාෂා දූෂණයක් එකල එම මාධ්‍ය ආයතනවල සේවයේ නිරතව සිටි නිවේදක නිවේදිකාවන්ගේ
කටවලින් සිදු නොවුණි.
ඉහත සඳහන් නිවේදකයා 'නිපුණ' සහ 'ප්‍රවීණ' යන වචන දෙක භාවිතයට ගැනීමේ දී කුමන තේරුමකින් යුතුව ඔහු ඒවා කටින් පිට කළේද යන්න ඔහුගෙන්ම අසා දැනගත යුත්තකි. කෙසේ වුවද එකක් ස්ථිරව කිය හැකිය. එනම් ඔහු එම වචන දෙක තුළ තේරුම් දෙකක් ඇතැයි සිතා එය පුනරුච්චාරණය කළ බවය. එහෙත් ඒවා ඔහුගේ මනස්ගාත තේරුම් බවට සැක නැත. නැතිනම් "නිපුණත්වයේ ප්‍රවීණයන්" වැනි විකාර කියමන් කෙසේ කියැවේද?
'නිපුණ' සහ 'ප්‍රවීණ' යන වචන දෙකම සංස්කෘත භාෂාවේ එන වචනය. එහෙත් එම වචන මෙරට සාමාන්‍ය දැනුමක් තිබෙන අය අතර පවා ඉතා ප්‍රසිද්ධය. එසේම නිශ්චිත ලෙස තේරුම් නොදැන සිටියද එම වචන දෙකෙන් සාමාන්‍යයෙන් හඟවන්නේ කවර තේරුමක්දැයි සාමාන්‍ය ජනයාට පවා නොහැඟෙතියි නොසිතමි. ඒවා එතරම්ම සුලබ ලෙස භාවිතයට ගොස් ඇති හෙයිනි.එසේ නම් ඉහත සඳහන් නිවේදකයා ජනමාධ්‍ය ආයතනයක සන්නිවේදන කාර්යට සුදුස්සෙකු ලෙස සැලකිය හැකිද? සන්නිවේදන කලාවේ ප්‍රබලම ශක්‍යතාව වන භාෂාවබෝධයට ඔහු අන්ධයෙකු බැවිනි.
'නිපුණ' සහ 'ප්‍රවීණ' යන වචන දෙකම සංස්කෘත භාෂාවේ ව්‍යවහාර වන්නේ පර්යාය පද හෙවත් සමානාර්ථ පද වශයෙනි. එනම් එම වචන දෙකෙන්ම ප්‍රකාශ වන්නේ සමාන තේරුම් වන හෙයිනි. 'දක්ෂ', 'සමර්ථ' 'ශූර' යන අර්ථ ගම්‍යමාන වන එම සංස්කෘත වචන දෙක අපගේ වර්තමාන පොදු සන්නිවේදන යානය වන මිශ්‍ර සිංහල භාෂාවේද බහුලව ව්‍යවහාර වන්නකි. මුල සංස්කෘත වූවද දැන් ඒවා සිංහල වී ඇත. 'නිපුණ' යන්නෙන් හැදෙන 'නිපුණයා' යන නාම පදයෙන් පරතෙරටම ඉගෙන ගත් තැනැත්තා යන අර්ථය ධ්වනිත වෙයි. අතීතයේ 'ප්‍රවීණ' වචනය භාවිත වූයේ වීණා වාදනයෙහි සමර්ථ වූ තැනැත්තා හැඳින්වීමටය.පසුව එය කවර දෙයකට වුවද දක්ෂ පුද්ගලයා හඳුන්වන පදයක් බවට පත්විය.
මෙකල බෝවී සිටින මේ කාඩ්බෝඩ් පාලි සංස්කෘත පඬි පරිපුර ගැන ලියද්දී නාරායණ පඬිවරයා විසින් විරචිත හිතෝපදේශ ග්‍රන්ථ රත්නයේ එන මේ සුප්‍රකට සංස්කෘත ආප්ත ශ්ලෝකය මගේ සිහියට නැඟුණේ ඉබේය.
යත්‍ර විද්වජ්ජනෝ නාස්ති
ශ්ලාඝ්‍යස්තත්‍රාල්පධීරපි
නිරස්ත පාදපේ දේශේ
ඒරණ්ඩෝපි දෘමායතේ
(හිතෝපදේශය - 74)
"විද්වතුන් නැති තැන්වල මන්දබුද්ධිකයාද පැසසුම් ලබයි. ගස් නැති රටේ එරඬු ගහද ගහක් වන්නාක් මෙනි."
එසේම මේ ජන කවියද මෙහිදී
අමතක කළ නොහැක්කේමය.
බළලා නැති ගෙදර මීයා
හිතුමතයා
දිවියා නැති කැලේ ගවයා
වල්මතයා
හිමියා නැති ගෙදර හොර හිමි
රතිමතයා
ලූලා නැති වළේ කනයා
පණ්ඩිතයා
වත්මන් ඇතැම් සිංහල ආචාර්ය මහාචාර්යවරුන්, ලේඛකයන්, පරිවර්තකයන් මෙන්ම සාහිත්‍ය හා දේශපාලන විචාරකයෝ ද සිංහල භාෂා භාවිතය කෙසේ වෙතත් සංස්කෘත භාෂාවේ නිරුක
සාහිත්‍යය හා දේශපාලනය විෂය කර ගනිමින් ලේඛන කාර්යෙහි නිරත වත්මන් බොහෝ සිංහල ලේඛකයෝ උග්‍ර රෝග දෙකකට ගොදුරුව සිටිති.
භද්‍ර යෞවන වියෙහි කල් ගෙවන සුකුමාරමතික ප්‍රේමවන්තයන්ගේ ප්‍රේම අල්ලාප සල්ලාප රසාලිප්ත කොට වර්ණනා කිරීම සාහිත්‍ය නිර්මාණකරුවෙකුට මිස හුදු වාර්තාකරු
අපගේ පුරාතන සිංහල සාහිත්‍යය යුග වශයෙන් බෙදන කල එහි ප්‍රාරම්භය වශයෙන් විද්වත් සම්මතය වී ඇත්තේ අනුබුද්ධ මහා මහින්ද යතිවරාගමනය සමග සිද්ධ වූ ත්‍රිපිටක ධ
ලක්දිව නූතන පිරිවෙන් අධ්‍යාපනය වූකලී 19 වන සියවසේ ඇරඹුණකි. ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසු සංස්කෘත භාෂා අධ්‍යයනයේ අභිනව ව්‍යාප්තිය සිදුවූයේ එහි ප්‍රති
කවර භාෂාවක් වුවද ප්‍රගුණ කිරීමේදී කුසලතා සතරක් වර්ධනය කර ගැනීම අනිවාර්ය බව භාෂාවිඥයන්ගේ මතයයි. භාෂාවේ චතුර්විධ කුසලතා වර්ධනය ලෙස එය හැඳින්වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සංස්කෘත අජීරණය