සංස්කෘත භාෂාවේ එන 'මන්' ධාතුව හෙවත් ක්‍රියා මූලය කෙරෙන්, 'දැනගැනීම', 'සිතීම', 'මැනීම', 'සලකා බැලීම', 'ගරු කිරීම', 'ආඩම්බර වීම', යන අර්ථ සූචනය වෙයි. සංස්කෘත 'සම්මාන' පදය 'සං' පූර්ව 'මන්' ධාතුවෙන් සිද්ධ වූවකි. මෙහිදී 'සං' උපසර්ගයෙන් 'ගෞරවනීය' යන අර්ථය අභිමතය. 'මන්' ධාතුව 'මානන' හෙවත් 'මැනීම්' අර්ථයෙහි වැටේ. ඒ අනුව 'සම්මාන' යනු 'ගෞරවනීය' මැනීමකි.
ගෞරවනීය මැනීමක් සිදු විය හැක්කේත් සිදු විය යුත්තේත් ප්‍රාමාණික ප්‍රාඥ විනිශ්චයකරුවන් අතින්මය. කවර සම්මානයක් වුවද සම්මාන ලාභියාට වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සාධු සම්මත සම්මානයක් වන්නේ ආයාචනය අනුව නොව ප්‍රාමාණික විනිශ්චය අනුවම මැනීම සිදු වී ඇත් නම් පමණි. ඒ ඒ විෂය ක්ෂේත්‍රයන් විෂයෙහි කෘතහස්ත විඥයන් සිටියදී අපරිණත අඥයන් ලවා සම්මාන
විනිශ්චය කරවීම කාම ක්‍රීඩා කෞශල්‍යය නපුංසකයන් ලවා විනිශ්චය කරවීමට අසමාන නොවේ.
ප්‍රතිභා සම්පන්නයන් අප්‍රමාණ අවමානයට ලක් කරන ගර්හිත සම්මාන න්‍යායයක් ක්‍රියාත්මක වන ලෝකෙන් උතුම් රට මේ ශ්‍රී ලංකාවය. එසේම සම්මාන යාචකයන් සිටින ලෝකෙන් උතුම් රටද මේ ශ්‍රී ලංකාවමය. මා මෙසේ පවසන්නේ සම්මාන ද්වේෂී ආකල්පයකින් නොවේ. ප්‍රතිභා විභූෂිත නිර්මාණකරුවෙකු හෝ නිර්මාණයක් සම්මානනයට පාත්‍ර කිරීම අතිශය ප්‍රශස්ත වන්නේමය. එහෙත් එය සිදු විය යුත්තේ නිර්මාණකරුවාගේ ප්‍රතිභානයට හෝ නිර්මාණයේ අභිමානයට හෝ අවමානයක් නොවන පරිද්දෙනි. එසේ වන්නට නම් කළ යුත්තේ තත් නිර්මාණකරුවා හෝ නිර්මාණය ප්‍රාමාණික විනිශ්චයක් මගින් සම්මානනයට පාත්‍ර වීමට සැලැස්වීමය. 'සම්මාන' වචනයෙන් ගම්‍යමාන උත්තමාර්ථය අර්ථ ශූන්‍ය නොවන්නේ එවිටමය.
10 වන සිය වස මුල භාරතයේ කේරළ දේශයේ රජකම් කළ කීර්තිමත් කාව්‍ය විචාරක හා නාට්‍ය රචක රාජශේඛර නරනාථයන් සිංහල දීපයට හා අනුරාධපුර යුගයේ විසූ සිංහල කවියන්ගේ නිර්මාණයන්ට නොමසුරුව පිදූ උත්තම සම්මානය මෙන්න!
ජනශ්ච වාක් සුධා සූතීර්
මණි සූතිශ්ච රෝහණඃ
නාන්‍යත්‍ර සිංහල ද්වීපාන්
මුක්තා සූතිශ්ච සාගරඃ
(රාජශේඛර - බාල රාමායණය - 10 සර්ගය - 19 ශ්ලෝකය)
වචන නමැති අමෘතය වගුරන ජනයා වසන්නාවූද , මැණික් වගුරන රුහුණු දේශය ඇත්තාවූද , මුතු වගුරන මුහුද ඇත්තවූද වෙනත් දේශයක් සිංහල දේශය හැරෙන්නට වෙන කොතැනකවත් ඇත්තේම නැත.
කාව්‍යයට හා ශාස්ත්‍රයට රජ කෙනෙකුගෙන් ඉටු විය යුතු යුතුකම ගැන රාජශේඛර රජු තම කාව්‍ය මීමාංසා ග්‍රන්ථයෙහිලා කරුණු ඉදිරිපත් කරන්නේ අතිශය උද්‍යෝගයෙනි. වාසුදේව , සාතවාහන , ශුද්‍රක හා සාහසාංක යන රජුන්ගේ ආදර්ශය අනුගමනය කරමින් කවීන්ගේ හා අනෙක් විද්වතුන්ගේ සම්මේලනයක් පවත්වා ඔවුන් විසින් රචිත කෘති පරීක්ෂා කර ඉන් ප්‍රකට වන කුසලතාවන්ට අනුව ඔවුන්ට ත්‍යාග ප්‍රදානය කළ යුතු යැයි රාජශේඛර නරනාථයෝ තම කෘතිය මගින් සමකාලීන රජුන්ට අවධාරණය කරති. සම්මාන ලබා ගන්නා අටියෙන් ඉදිරිපත් කරන ලද ග්‍රන්ථ පරීක්ෂා කර බලනු සඳහා රජුන් විසින් ස්වකීය විජිතයෙහි ප්‍රධාන නගරවල 'බ්‍රහ්ම සභා' (බ්‍රාහ්මණ ව්‍යක්තයන්ගේ රැස්වීම්) පැවැත්විය යුතුය යන්න ඔහුගේ මතයයි. උජ්ජයිනියෙහි පැවැත්වූ එවැනි සභාවකදී කාලිදාස මෙන්ම අමර, රුප, සූර, භාරවී,හරිචන්ද්‍ර, චන්ද්‍රගුප්ත යන කවියන්ද පාටලීපුත්‍රයෙහිදී උපවර්ෂ, පාණිනී, පිංගල, ව්‍යාදි, වරරුචි සහ පතංජලී යන ප්‍රාඥයන්ද සම්මාන ලත් බව ප්‍රකට වෙයි.
මෙවේලේ මට සනාතන අගයකින් යුත් ආප්ත ශ්ලෝකයක් සිහි වෙයි.
අමන්ත්‍රමක්ෂරං නාස්ති
නාස්ති මූලමනෞෂධම්
අයෝග්‍යඃ පුරුෂෝ නාස්ති
යෝජකස්තත්‍ර දුර්ලභඃ
එය මෙසේ සිංහල කවියට නගමු.
මන්තරයකට ගන්නට බැරි අකුරු
නැත
අවුසදයකට ගන්නට බැරි මුල්ද
නැත
වැඩකට යොදා ගන්නට බැරි අයද
නැත
එය කෙරුමට සමත් අය නම් හිඟව
ඇත
බුදුන් වහන්සේ වසර දෙදහස් පන්සිය ගණනකට පෙර තම ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිසට ඔවුන් සතු ඒ ඒ ගුණ විශේෂයන් සලකා අගතනතුරු සම්මාන පිරිනැමූ ආකාරය පිළිබඳ විස්තර අංගුත්තර නිකායේ එන ඒතදග්ග පාලි වර්ණනාවෙන් මනාව හෙළි වෙයි.
'ඒතදග්ග' යන පාලි පදය විසන්ධි කළ විට 'ඒතං+අග්ග' යනුවෙන් සිටියි. 'ඒතං' යනු 'මෙය' යන අර්ථ සූචක සර්ව නාම පදයකි. 'අග්ග' ශබ්දය 'අග' හෙවත් 'මුදුන' හෝ 'ශ්‍රේෂ්ඨ' යන අර්ථයන්හි වැටෙයි. ඒ අනුව 'ඒතදග්ග' යන සන්ධි පදයෙන් ප්‍රකාශ වන්නේ 'මෙයින් අගතැන් පත්', 'මෙයින් උසස් තැනට පත්' යන අදහසය. මෙහිදී 'මෙයින්' යනුවෙන් අදහස් කරන්නේ යම් කිසි ගුණ විශේෂයකින් යන්නය.
බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන් හට විවිධ අගතනතුරු සම්මාන පිරිනැමුවේ ඔවුන්ගේ අනුදැනුමකින් තොරව විනා ඔවුන් ගේ ආයාචනා අනුව නොවේ. ඒ ඒ ශ්‍රාවකයන් සතු අනන්‍ය ගුණ විශේෂයන් ප්‍රත්‍යක්ෂයෙන් දැන තම විනිශ්චයන්ට එළඹි උන් වහන්සේට නීච යාචක සම්මාන න්‍යායයක් අභිමත නොවීය.එවැන්නකින් තම ශ්‍රාවක සංඝයාගේ පෞරුෂ්‍යයට හා ආත්මාභිමානයට අප්‍රමාණ අවමානයක් සිද්ධ වන බැවිනි.
තම ශ්‍රාවකයන් සතු විශේෂ ගුණ උදෙසා අගතනතුරු සම්මාන පිරිනැමීමේ දී බුදුන්වහන්සේ අනුගමනය කළ නිර්ණායකයක් අංගුත්තර නිකායේ එන ඒතදග්ග පාලි වර්ණනාවෙන් හෙළි වෙයි. එය කාරණා සතරක් මුල් කර ගත්තකි.ඒ
කාරණා සතර මෙසේය.
(1) අට්ඨුප්පත්ති.
(2)ආගමන.
(3) චිණ්ණවසී.
(4) ගුණාතිරේක.
යම් ප්‍රස්තාවකදී උපන් පැනයක් විෂයෙහි ප්‍රකට කොට සිටි අති දුර්ලභ ගුණයකට යමෙක් අගතනතුරු ලබන්නේ නම් ඔහු
'අට්ඨුප්පත්ති' කාරණයෙන් සම්මානනයට පාත්‍ර වන්නෙකි.
'ආගමන' කාරණයෙන් අගතනතුරු සම්මාන ලබන්නා භවාගමනයෙන් පැවත ආ ගුණයක් සතු තැනැත්තෙකි.
පුරුදු කළා වූ වෙසෙස් ගුණයක් ඇත්තා අගතනතුරු සම්මාන ලබන්නේ 'චිණ්ණවසී' කාරණයෙනි.
'ගුණාතිරේක' කාරණයෙන් අගතනතුරු සම්මාන ලබන්නේ අධික ලෙස පිහිටි ගුණයක් ඇත්තාය.
බුදුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසගෙන් කෙනෙකු අගතනතුරු සම්මාන ලද්දේ යට කී කරුණු සතරින් එකක් මුල් කරගෙනය. ඇතැමෙකු ඉන් දෙකක්ද තවත් අය තුනක්ද ප්‍රධාන කරගනිමිනි. මේ අතර සමහරු කරුණු සතරම පාදක කරගෙන අගතනතුරු සම්මාන
ලදහ.
සැරියුත් මුගලන් අගසව් තෙරවරු හා මහා කාශ්‍යප තෙරහු එකී කරුණු සතරින්ම ඒතදග්ග භාවය හෙවත් අගතනතුරු සම්මානය ලැබූවෝ වෙති. සැරියුත් තෙරුන් කරුණු සතරින්ම අගතනතුරු සම්මාන ලද පුවත අරබයා ඒතදග්ග පාලි වර්ණනාව ඉදිරිපත් කරන විස්තරය මෙහි ලා හකුළුවා නිදසුන් කොට දැක්වීමෙන් මේ විවරණය වටහා ගැනීම පහසු වෙතියි සිතමි.
බුදුන් විසින් විචාරා වදාළා වූත් අනිකෙකුට අවිෂය වූත් බුද්ධ විෂය හා බද්ධ වූ ප්‍රශ්නය බුදුන්ගේ න්‍යායයෙන් ම විසඳීමෙන් වරක් දම් සෙනෙවි සැරියුත් තෙරණුවෝ තම ප්‍රඥානුභාවය ප්‍රකට කළ සේක. මේ අති දුර්ලභ 'පඤ්ඤා' ගුණය උදෙසා බුදුහු සැරියුත් තෙරණුවන් 'මහා පඤ්ඤ' යන අගතනතුරෙන් පිදූහ.එය සැරියුත් තෙරුන් වහන්සේ 'අට්ඨුප්පත්ති' කාරණයෙන් සම්මානනයට පාත්‍ර වීමකි.
සැරියුත් තෙරණුවන් භවාගමනයෙන්ද 'මහා පඤ්ඤ' වූ බැව් වදාළ බුදුහු 'ආගමන' කාරණයෙන්ද උන්වහන්සේට අගතනතුරු සම්මාන පිදූහ.
සිවු පිරිස් ඉදිරියේ දම් දෙසන සැරියුත් තෙරහු සිව්සස් (සතර ඇත්ත) අත් නෑරම දම් දෙසති. එය උන් වහන්සේගේ පුරුද්දකි. 'චිණ්ණවසී' කාරණයෙන් උන්වහන්සේ අගතනතුරු සම්මාන ලද්දේ එයිනි.
බුදුන් වහන්සේ හැර අසූමහ සව්වන්ගෙන් කිසිවෙක් 'පඤ්ඤා' ගුණයෙන් සැරියුත් තෙරුන් හා සම නොවෙති. එහෙයින් ඒ තෙරණුවෝ 'ගුණාතිරේක' කාරණයෙන්ද අගතනතුරු සම්මාන ලදහ.
අංගුත්තර නිකායේ එන ඒතදග්ග පාලි වර්ණනාවේ අන්තර්ගත මේ තොරතුරුවලින් මනාව අනාවරණය වන්නේ කුමක්ද? මීට වසර දෙදහස් පන්සිය ගණනකට පෙර බුදුන් වහන්සේ තම ශ්‍රාවක සංඝයාට අගතනතුරු සම්මාන පිරිනැමීමේදී ප්‍රාමාණික න්‍යායයක් මත පිහිටා ක්‍රියා කළ බව මිස අන් කුමක්ද?
සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 96 වැනි වියට එළැඹෙණුයේ 2024 නොවැම්බර් 12 වැනි දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!
මා මාර්ටින් වික්‍රමසිංහ මහාශයන්ගේ ආවේශාත්මක වූත් ආස්වාදාත්මක වූත් සමීප ආශ්‍රය ලබමින් විසූ භාග්‍ය සම්පන්න සමයේ එක්තරා අවස්ථාවක මම ඔහුගෙන් මේ පැනය වි
ඇස්. පියසේන (සේනාධීර පියසේන) නම් බහුශ්‍රැත හා පරිණත මාධ්‍ය විශාරදයාණන් සමග ඉතා ළංව ඇසුරු කිරීමට ලැබීම මගේ පරම භාග්‍යයකි. අනූ වියද ඉක්ම මියෙන තෙක්ම පැහැද
සංස්කෘත භාෂාවේ එන ’මන්’ ධාතුව හෙවත් ක්‍රියා මූලය කෙරෙන්, ’දැනගැනීම’, ’සිතීම’, ’මැනීම’, ’සලකා බැලීම’, ’ගරු කිරීම’, ’ආඩම්බර වීම’, යන අර්ථ සූචනය වෙයි.
අනාදිමත් කාලයක පටන් අද්භූත චරිතයක් ලෙස නිරූපිත බුද්ධ චරිතය යථාර්ථවාදී උත්තම මානව චරිතයක් ලෙස නිරූපණය කරමින් මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ’බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සම්මාන උන්මාදය