භද්‍ර යෞවන වියෙහි කල් ගෙවන සුකුමාරමතික ප්‍රේමවන්තයන්ගේ ප්‍රේම අල්ලාප සල්ලාප රසාලිප්ත කොට වර්ණනා කිරීම සාහිත්‍ය නිර්මාණකරුවෙකුට මිස හුදු වාර්තාකරුවෙකුට නොකළ හැක්කකි. සාහිත්‍යය හා ස්ත්‍රී පුරුෂ ප්‍රේමය යන දෙකෙහි සමවාය විසිතුරු ලෙස වර්ණිත තැන් අපගේ පැරණි සාහිත්‍යයේ නොයෙක් තැන දිදුලයි. පැරණි වුවද අදද ඒවා නොව පැරණිය වන රමණිය වැනුුම් මැයි. යුග යුග ජන මන පිනවන වදන් සිත්තම්මැයි. අප සතු පැරණි පොත පතින් උකහා ගත් එබඳු සිරිඟර රසයෙන් පෙඟුණු මනරම් වැනුම් නව ජන සන්නිවේදන මාධ්‍යයනට නගාලීමෙන් ඒවායෙහි රසය තම හදවතින්ම පසක් කොට ගැන්මට වත්මන් රසික ජනයාට මං සැලසීම සංස්කෘතික පුණ්‍ය කර්මයක් යැයි සිතමි. සෞන්දර්ය පූජාවක් සේ සලකමි.
ගුරුළු ගෝමී පඬිඳුන් විරචිත උත්කෘෂ්ට සාහිත්‍ය ග්‍රන්ථ රත්නයක් වන, 'ධර්මප්‍රදීපිකා' නම් මහා බෝධිවංශ පරිකථා ග්‍රන්ථයෙහි "දන්ත පුරේ රාජා හුත්වා" යන 146 වන පාඨය අරබයා මට සිලිටි සුකොමල සිනිඳු මුදු හුදු හෙළවදනින් ගෙතුණු පරිකථාවක් වන මනරම් සුළු කලිඟු දා නම් පෙම් පවත වූකලී සිරිඟර රසයෙහි නොමියෙන මිහිර මමන සාහිත පබඳකි. සුහදයෙනි! රස විඳිත්වා!
කලිඟු රජුට දරුවෝ දෙදෙනෙකි. දෙදෙනාම පුත්තුය. ඒ දරුවන් දෙදෙනාගේ ලක්ෂණ බැලූ නිමිතිකාරයෝ අනාවැකියක් පළ කරති.
"පියාගෙන් පසු රජ වන්නේ මහ කලිඟු කුමරුය. සුළු කලිඟු කුමරු තවුස් වෙස් ගෙන ජීවිකාව කරන කෙනෙක් වෙයි. ඒත් ඔහුගේ පුතෙක් චක්‍රවර්ති වනු ඒකාන්තය."
ඉන්පසු ලොකු පුතා පියාගෙන් පසු රජ වෙයි. තම පුතා චක්‍රවර්ති වන බව ඇසූ සුළු කලිඟු කුමර මල්හු උදම්ව හිඳිනා බව දැනගත් වැඩිමල් සොයුරු රජු තම මල්ලී අල්ලාගෙන එන්නැයි අණ දෙයි. රජ අණ සැලවූ සැණින් සුළු කලිඟු කුමරු තම මුද්දත් පලසත් කඩුවත් තම විශ්වාසවන්ත ඇමතියෙකුට දී දිවි රැක ගනු පිණිස පලා ගියේ ඔහුට මෙසේ පවසමිනි. "කවදා හෝ දිනක මේ වස්තුත් අරගෙන මගේ පුතා පැමිණියොත් ඔහුට රජය දෙනු."
සුළු කලිඟු කුමරු මෙසේ දන්වා පිටත්ව ගොස් ඔයක් අසල රමණීය වන පියසක අසපුවක් සාදාගෙන හුදකලා දිවියක් අරඹයි.
මදුරට සාගල නුවර මදු රජුටද දුවක් සිටියි. නිමිති කාරයෝ ඇයගේද ලක්ෂණ බලා ඇය තවුස් දිවියක්
ගෙවන බවත් ඇගේ පුතෙකු චක්‍රවර්ති වෙන බවත් කීහ. ඇය භද්‍ර යෞවනයට එළඹ සිටි කල්හි
මුළු දඹදිවම රජවරු ඇය පතා අවුත් නුවර වට කොට ගත්හ. එකල්හි මදු රජු, "මා මගේ දුව මොවුන් ගෙන් එකෙකු හට දුනහොත් සෙසු රජවරු උදහස් වෙති. මා ඇය රැක ගත මැනවැ"යි සිතා දුවද බිසෝද හැරගෙන වෙස් වලා වනයට පලා ගොස් සුළු කලිඟු කුමරු විසූ තැනට
නුදුරු තැනක අසපුවක් කොටගෙන විසීය.
වසන්තය උදා විය. නව යොවුන් විය බබළවන මදු රජ දුව, මවුපියන් පල වැළ නෙළා ගෙනෙනට වන වන් කල්හි නන් විසිතුරු කුසුමින් ගෙතූ මල් දමක් ගෙල පැලඳගෙන අසපුවෙන් නික්ම ගොස් එවන පියසෙහි තිබූ මල් පල්ලෙන් පිරි අඹ රුකකට නැගී හුදකලාව ගී ගයමින් කෙළිදෙලෙන් ඔකඳව සිට පසුව තම ගෙල පලන් එම මල් දම අඹ රුක අසලින් නැලැවි නැලැවී ගලා ගිය ඔය දියේ හෙළා යළි අසපුව බලා යෑම සිරිතක් කොටගෙන සිටියාය.
සුළු කලිඟු කුමරුද එළැඹ සිටි වසන්තයේ හුදකලා නවයොවුනන්ට දැනෙන දුකින් නොමඳව තැවේ. කුමරුගේ දුක වාවනු බැරි තරමට බලවත් වෙයි. වසන්තයේ අසිරි සිරියෙන් සැරසුණු වන මැද කෙසේ හුදකලාව වසන්නද! සුළු කලිඟු කුමරු දිනක් ඔයට බැස දිය නාද්දී
දියේ පාවී ආ මල් දමක් තම හිසෙහි දැවටෙයි. එමල් දම නිසැකවම නව යොවුන් දැරියකගේ සියුමැලි ඇඟිලි තුඩින් මැවුණක් බැව් සිතූ සුළු කලිඟු කුමරු එම මල්දම ආ තැන සොයා ගියේ නොඉවසිල්ලෙනි. අඹ රුක් දෙබලෙහි හිඳ මදු රජ දූ ගැයූ මියුරු ගීය ඇසෙන දෙසට කුමරුගේ පා එසවෙයි.
දෙව් අප්සරාවකගේ රූ සිරියෙන් දුල්නා නව යොවුන් මදු රජ දූ දැක කුල්මත් වන සුළු කලිඟු කුමරු අඹ රුක් මුලට එළැඹ "සොඳුර ඔබ කවුරුන්දැ"යි අසා මදු රජ දූ බව දැනැ නොයෙක් පෙම් බස් කියා ඕ ගසින් බස්වා ගැන්මට අපමණ වෙහෙසක් ගත් මුත් එය පල නොගත් බැවින් තම අවසන් පෙම් බසත් පැවසුවේ බලවත් සිත් තැවුලිනි.ගුරුළු ගෝමි පඬිඳු සුළු කලිඟු දා කුමරුගේ මුවින් ගිලිහුණු ඒ අවසන් පෙම් බස ළතෙත් ලෙසින් ලියා ඇත්තේ මෙසේය.
"කියග සොඳුර! මහබඹ තෙමෙහෙ සඳින් සොමි ගෙනැ රන් ගලින් පහන් පැහැ උකාගෙනැ වනවිලින් මත්හස් යුවළක් ගෙනැ තුන්රත්පියුමක් ඇරැ එයින් එකක් තබා දෙකක් හිරාගෙනැ සිනිඳු සුනිල් මහනෙල් මල් දෙකක් ගෙනැ ළහෝපල්ලෙහි මෙළෙකක් ගෙනැ ළහෙල්මැල්ලෙහි සිහිලස් ගෙනැ සැහැසී හනා වනා බඹරබැර පුල් ලෙළ ලියෙක්හි එව තී මවමින් ළය කිසේ ගල කෙළේ හො"
(ධර්ම ප්‍රදීපිකාව - ගුරුළුගෝමි - සුළු කලිඟු දා වත)
(මහබඹු සඳින් සොමි ගුණයද රන්ගලින් රන් පැහැයද වන විලකින් මත් හංස යුවළක්ද අරගෙන , රතු නෙළුම් මල් තුනක පෙති ඇර එකක් මුහුණට තබා දෙකක් ඉරා දෙතොලට තබා සිනිඳු සුනිල් මානෙල් මල් දෙකක්ද , ළා අසෝක දල්ලේ මෙළෙක හා ළා හෙල්මැලි මලේ සිහිලද අරගෙන , ඒවා හණික එකට ගළපා , බඹරුන් පිරුණු පිපී සැලෙන වැලක සතපා ඔබ මවා ඔබේ ළය පමණක් ගලක් කෙළේ ඇයිදැයි කියන්න සොඳුරිය!)
ගුරුළු ගෝමි පඬිඳුන්ගේ ඒ මනරම් ගැදි පෙම් බස නගමු හෙළ පැදියට.
සොමි ගෙන සඳෙන් රන් පැහැ රන් ගලෙන් ගෙන
මදමත් හසුන් යුවළක් වන
විලෙන් ගෙන
තුන් රත් පියුම් පොබ කොට ඉන් එකක් ගෙන
තබමින් අනිත් දෙක රිසි ලෙස ඉරාගෙන
සුසිනිඳු සුනිල් මහනෙල් මල්
දෙකක් ගෙන
සුව දෙන ළහෝපල්ලෙහි රැඳි මෙළෙක ගෙන
සියුමැලි ළහෙල්මැල්ලෙහි මුදු
සිහිල ගෙන
මහබඹු එහැම සැහැසී හනා
වනමින
නුඹ මවමින් එසියල් ගුණ පිරි
රුවින
බඹර බර සුපිපි ලෙළ ලියක
හොවමින
ළය පමණක් නුඹේ ඒ බඹු මේ
ලෙසින
ගලක් කළේ කෙලෙසද සොඳුර කිව මැන
'ධර්මප්‍රදීපිකා' කර්තෘ ගුරුළුගෝමි පඬිඳුන් මෙම මනරම් පෙම්බස මෙතරම් කාව්‍යමය ලෙස රසාලිප්තව රචනය කිරීමට මූල ආවේශය ලැබුවේ කොතැනින්ද ! මහාකවි කාලිදාස ප්‍රණීත කෘතියක් ලෙස ඇතැම් විචාරකයන් විසින් සැලැකෙන 'ශෘංගාර තිලක' ඛණ්ඩ කාව්‍යයෙහි එන මේ සුන්දර ශ්ලෝකය කියවා බලන්න.
ඉන්දීවරේන තයනම් මුඛමම්බුජේන කුන්දේන දන්තමධරම් නව
පල්ලවේන
අංගානි චම්පක දලෛඃ සවිධාය
වේධාඃ
කාන්තේ කථං ඝටිතවාන් උපලේන
චේතඃ
(නිල් මානෙල් මලින් ඇස්ද , නෙළුම් මලින් මුහුණද , කොඳ මලින් දත්ද , අලුත් දලුවලින් තොල්ද , සපුමල් පෙතිවලින් අඟපසඟද මැවූ මහබඹු ඔබේ හිත පමණක් ගලකින් මැවුවෙඇයි සොඳුරිය!)
භද්‍ර යෞවන වියෙහි කල් ගෙවන සුකුමාරමතික ප්‍රේමවන්තයන්ගේ ප්‍රේම අල්ලාප සල්ලාප රසාලිප්ත කොට වර්ණනා කිරීම සාහිත්‍ය නිර්මාණකරුවෙකුට මිස හුදු වාර්තාකරු
අපගේ පුරාතන සිංහල සාහිත්‍යය යුග වශයෙන් බෙදන කල එහි ප්‍රාරම්භය වශයෙන් විද්වත් සම්මතය වී ඇත්තේ අනුබුද්ධ මහා මහින්ද යතිවරාගමනය සමග සිද්ධ වූ ත්‍රිපිටක ධ
ලක්දිව නූතන පිරිවෙන් අධ්‍යාපනය වූකලී 19 වන සියවසේ ඇරඹුණකි. ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසු සංස්කෘත භාෂා අධ්‍යයනයේ අභිනව ව්‍යාප්තිය සිදුවූයේ එහි ප්‍රති
කවර භාෂාවක් වුවද ප්‍රගුණ කිරීමේදී කුසලතා සතරක් වර්ධනය කර ගැනීම අනිවාර්ය බව භාෂාවිඥයන්ගේ මතයයි. භාෂාවේ චතුර්විධ කුසලතා වර්ධනය ලෙස එය හැඳින්වේ.
’’Language is the the greatest achievement of Culture; Poetry is the greatest achievement of Language.’’
මෙරට බොහෝ මවුපියන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන්ද ලිංගික කරුණු සම්බන්ධයෙන් අවිද්‍යා අන්ධකාරයේ පසුවන්නන් බව ඔවුන් ගේ අදහස් උදහස්, ආකල්ප විකල්ප මගින් ම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සාහිත්‍යයේ ශෘංගාරය