'ෆේස් බුක්' මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු
වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි.
"පත්තරවල ලියන්නන්, 'යූ ටියුබ්' සහ 'රූපවාහිනී' නිවේදකයන් සිංහලට අලුත් විලාසිතාවක් එකතු කරමින් ඉන්නා බව පෙනේ. බහුවචන 'යන්' එකතු කර ඩබල් බහුවචන කිරීමය. දැන් ඇත්තේ 'ප්‍රදේශ'නොව 'ප්‍රදේශයන්' ය. 'ලේඛන' නොව
'ලේඛනයන්' ය. 'මාර්ග' නොව 'මාර්ගයන්' ය. 'උලෙළයන්' කියා ලියා තිබෙනුත් දුටුවෙමි. 'ප්‍රහාර' නොව 'ප්‍රහාරයන්' ය. දවසකට මේ විකාර වදන් සිය ගණනක් දකින්නට අසන්නට ලැබෙයි. මේ පිළිබඳව ඔබගේ අදහස දැන ගන්නට කැමැත්තෙමි."
එසේ විකාර භාෂා භාවිතය ගැන සඳහන් කරමින් එදිරිසිංහයන් මගෙන් කළ ඉල්ලීමට එදා මා එෆ්බීය මගින් දැක්වූ ප්‍රතිචාරය මෙසේ පුන ප්‍රචාරය කිරීමෙහි කවර වරදක්ද?
එදිරිසිංහයන් එෆ්බී පණිවිඩයක් මගින් මවෙත වෙසෙසින් හෙළි කළ , භාෂාන්ධයන්ගේ සුලබ වාග් භාවිත නිදර්ශන පාඨය දකිත්ම එක්තරා අතීත අත්දැකීමක් වෙත වහා මගේ මතකය දිව යයි. ලියොන් ට්‍රොස්කි නම් විශ්ව විශ්‍රුත මාක්ස්වාදී ධීමතාගේ වජ්‍රමය චින්තන ධාරාව විෂයෙහි මගේ දැන්ම සහ ඇල්ම පුළුල් කළ මගේ සන්මිත්‍ර සරත් නාවාන සහෝදරයාත් මමත් දිනක් දොස්තර කාලෝ ෆොන්සේකා වෛද්‍ය රසිකයාගේ පොල්හේන්ගොඩ තලකොටුව වත්තේ නිවසේ ඔහු සමග සුහද පිළිසඳරක යෙදී
හුන්නෙමු. එවේලේ ඔහු අප සමග
පැවසුවේ මැතිවරණ සමයක තමාද සහභාගි වූ එක්තරා රැස්වීමකදී පී.මලල්ගොඩ චතුර දේශක කිවිඳුන් තම විරුද්ධවාදියෙකුට පිළිතුරු වශයෙන් එල්ල කළ ප්‍රබල වාග් ප්‍රහාරයක් පිළිබඳ ඔහුගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමකි. එය වූකලී පණ්ඩිතමානී විරුද්ධවාදියෙකුට එරෙහිව ඔහු එල්ල කළ අතිශය දරුණු අශනි ප්‍රහාරයකි. 'පී.මලල්ගොඩ' යනු දිවංගත අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතන නඩුවේදී එක දිගට දින ගණනක් තිස්සේ තමා දුන්
අනභිභවනීය සාක්කියෙන් පසු මෙරට අස්සක් මුල්ලක් නෑර දනන් තුඩ තුඩ රැව් පිළිරැව් දුන් කීර්ති නාමයකි. ඊට හේතු වූයේ ඔහුගේ අති දුර්ලභ ගණයේ උපහාසාත්මක වාග් චාතුර්යය හමුවේ එදා එම නඩුවේ පැමිණිලි පාර්ශ්වයට පෙනී සිටි නීති විශාරද වාදීභසිංහයන්ගේ මුකපූට්ටු වී යෑමය. ඔහුගේ උපහාසය ඒ තරම්ම කර්කශය. දුර්වාදී හෘදය විදාරණය කරනසුලුය.
දොස්තර කාලෝ ෆොන්සේකා සහෝදරයා එදා අප දෙදෙනා ඉදිරියේ තමාටම වෙසෙස් වූ සුපුරුදු රසාලිප්ත වාක් ශෛලියෙන් පලිප්පු දමා එළි කළ පී.මලල්ගොඩයන්ගේ
අර චතුර උපහාස ප්‍රහාර ප්‍රවෘත්තියයි මේ.
"මායි මලල්ගොඩයි කතා පවත්වපු දේශපාලන රැස්වීම තිබ්බ තැනම ඊට කලින් සුමානෙ විරුද්ධ පක්ෂෙ රැස්වීමක් තියලා තියෙනවා. ඒ රැස්වීමේ කතා කරපු කථිකයෙක් මලල්ගොඩ මහණ වෙලා හිටි බව එළි කරලා මිනිහට තදින්ම නින්දා අපහාස කරලා තියෙනවා. විරුද්ධ පක්ෂෙ කථිකයා සිංහල පණ්ඩිතයෙක් හැටියට ප්‍රසිද්ධ මිනිහෙක්. මලල්ගොඩගෙ තරහකාරයෙක්. මං හිටිය රැස්වීමෙදි මලල්ගොඩ ඒ සිංහල පණ්ඩිතයගෙ කතාවට පිළිතුරු දුන්නෙ මෙහෙමයි."
'එක්තරා සිංහල පණ්ඩිතයෙක් කියලා තියෙනවා මං මහණ වෙලා හිටියා කියලා. ඒක ඇත්ත. එයයි මායි දෙන්නම මහණ වෙලා හිටියෙ එකම පන්සලේ. හැබැයි මේ සිංහල පණ්ඩිතයා තමයි අපේ කට්ටියෙන්ම සිංහල බැරිම එකා. මං ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. 'ගොනා තණ කයි' කියන වාක්‍යය මිනිහා බහු වචනයට හැරෙව්වෙ 'ගොනා තන් දෙකම කයි' කියලා.'
දැන් අපි ජගත් ජේ එදිරිසිංහයන් අවධානයට ලක් කළ ඩබල් බහුවචන විලාසිතාව පිළිබඳ කතාවට බහිමු. මෙයත් පී.මලල්ගොඩයන් නිදසුන් කොට දැක්වූ ජාතියේ අතිපණ්ඩිත සිංහල ව්‍යාකරණ වික්‍රමයක්දැයි විමසා බලනු වටී.
ඩබල් බහු වචන ප්‍රයෝගයන්
හැටියට එදිරිසිංහයන්ගේ දෝෂ දර්ශනයට ලක් වන 'ප්‍රදේශයන්', 'ලේඛනයන්', 'මාර්ගයන්', 'ප්‍රහාරයන්' ආදියම නිදසුන් කොටගෙන සුල මුල පරීක්ෂාකර බලමු. මේ සියලුම වචන තත්සම ශබ්ද ප්‍රකෘති හෙවත් ශබ්ද මූල වලින් තනාගත් අනුක්ත ප්‍රයෝගයන්ය. තත්සම ශබ්ද ප්‍රකෘති යන්නෙහි අර්ථය වන්නේ අන්‍ය භාෂාවකින් පැමිණි වචන මූලයක්
යන්නය. ඒ අනුව 'ප්‍රදේශ' යන්න එවැනි තත්සම වචන මූලයකි. සංස්කෘත භාෂාවෙන් සිංහලයට පැමිණි එය එම භාෂාවේ යෙදෙන්නේද ඒ අයුරින්ම වන හෙයිනි. සෙසු සියලු යෙදුම්ද ඒ ගණයට වැටෙන බැව් සලකා ගත යුතුය. ඒ අනුව 'ලේඛන', 'මාර්ග",
'ප්‍රහාර' යනුද සංස්කෘත ශබ්ද මූලම වෙයි.
එදිරිසිංහයන් ප්‍රකාශ කොට ඇත්තේ සත්‍යයකි. ඉහත සඳහන් කළ 'ප්‍රදේශ', 'ලේඛන', 'මාර්ග, 'ප්‍රහාර' යන සියලුම තත්සම ශබ්ද මූලයන් බහු අර්ථ වාචී බව සක්සුදක් සේ පැහැදිලිය.එනම් 'ප්‍රදේශ'යැයි කියූ කල අපට හැඟෙන්නේ එක ප්‍රදේශයක් නොව ප්‍රදේශ බොහෝ ගණනක් යන තේරුමය. එහෙත් මෙහි විශේෂයක් ඇත.එනම් 'ප්‍රදේශ' යන්න අචේතන පදයක්
හෙවත් අප්‍රාණවාචී පදයකි. සිංහලයට ආවේණික එක්තරා විශේෂ ව්‍යාකරණ ලක්ෂණයක් වේ.
එනම් සිංහල භාෂාවේ විශේෂණ
පදය හැටියට හැම විටම යෙදෙන්නේ ශබ්ද ප්‍රකෘතිය හෙවත් ශබ්ද මූලයයි. ඒ නිසාම ඔබට සිංහල වචනයක ශබ්ද මූලය හෙවත් මුල් ශබ්දය හොයා ගන්නට අවශ්‍ය වේ නම් වහා කළ යුත්තේ එය විශේෂණ පදයක් බවට පෙරළීමයි. උදාහරණයකට 'මිනිසා'යන නාම පදය ගනිමු. හොයමු එහි ශබ්ද මූලය? හරවමු එය 'ලොව' යන නාම පදයේ විශේෂණය බවට. එවිට 'මිනිස් ලොව' යැයි සිටී. 'ලොව' යන්නට විශේෂණය වූ 'මිනිස්' යන්න 'මිනිසා' යන නාම පදයේ ශබ්ද ප්‍රකෘතිය හෙවත් ශබ්ද මූලයයි. අපේ පැරණිම ප්‍රාමාණික ව්‍යාකරණ ග්‍රන්ථය වන 'සිදත් සඟරා' වෙහි 'ශබ්ද ප්‍රකෘතිය' හැඳින්වෙන්නේ 'සද පියවි'යන නමිනි.
මෙහිදී සිංහල භාෂාවට විශේෂ වූ තවත් ව්‍යාකරණ ලක්ෂණයක් වටහා ගනිමු. එදිරිසිංහයන් සදොස් කොට දැක්වූ වාක්‍ය ප්‍රයෝග පිළිබඳ ගැටලුව නිරාකරණය කර ගැන්මට එය මහත් රුකුළකි.
අප කලින් නිදසුන් කොට ගත් 'මිනිසා' යන නාම පදය සචේතනය.
එනම්, ප්‍රාණවාචීය.සචේතන නාම පද පුරුෂ-ස්ත්‍රී ලිංග දෙකට අයත් සේ සැලකේ. අචේතන නාමපද සැලකෙන්නේ නපුංසක ලිංගයට අයත් ලෙසය. අපි දැන් අචේතන
හෙවත් අප්‍රාණවාචී නාම පදයක් නිදසුන් කොට ගෙන එහි ශබ්ද මූලය හොයමු.
'රුක' යනු 'ගස' ය. 'රුක' යන්න අචේතන නාම පදයකි. :දෙවියා' යන්නට එය විශේෂණ කළ කල 'රුක් දෙවියා' යනුවෙන් සිටී. 'රුක්' යනු 'රුක' යන්නෙහි ශබ්ද ප්‍රකෘතියයි. එහෙත් 'මිනිස්' ශබ්ද ප්‍රකෘතියෙහි නුදුටු වෙනසක් 'රුක්' යන්නෙන් ප්‍රකට වෙයි. කුමක්ද ඒ? එනම් එය බහු අර්ථ වාචී බවට හැරී ඇති බවය. නැතහොත් බහු වචනයට පෙරළී ඇති බවය. 'මිනිසා' යන්නෙහි බහු වචනය 'මිනිස්සු' මිස 'මිනිස්' නොවේ.' මිනිස්' යන්නෙහි ඒක-බහු භේදයක් නැත. එහෙත් 'රුක්' යන්නෙන් බහු අර්ථයක් ප්‍රකාශ වෙයි. මෙයින් සනාථ වන සිංහලයට විශේෂ වූ ව්‍යාකරණ සාධකය කුමක්ද? එනම් විශේෂණය හැටියට හැමවිටම ශබ්ද ප්‍රකෘතිය හෙවත් ශබ්ද මූලයම යෙදෙන අතර එසේ යෙදෙන අචේතන හෙවත් අප්‍රාණවාචී ශබ්ද ප්‍රකෘතිය නියත වශයෙන්ම බහු අර්ථ වාචී වන බවය. 'පොත්රාක්කය', 'ඇඳුම් අල්මාරිය' යන නිදසුන් ගෙන බලන්න.
එදිරිසිංහයන් ගෙන හැර පෑ 'ප්‍රදේශ', 'ලේඛන','මාර්ග','ප්‍රහාර' යන තත්සම පදද ශබ්ද ප්‍රකෘති හෙවත් ශබ්ද මූල බව පෙර සඳහන් කෙළෙමි. පිට භාෂාවකින් පැමිණියද සිංහලයේදී ඒවාද සිංහල ව්‍යාකරණ නීතියට යටත් වෙයි. ඒ අනුව ඒවාද විශේෂණ පද බවට පත් වෙයි. 'ප්‍රදේශ වාසීන්',
'ලේඛන ශෛලිය' ආදි වශයෙනි. ඒ ප්‍රකෘති පද සියල්ලම අප්‍රාණවාචී බැවින් ඒවායින් ධ්වනිත වන්නේද බහු අර්ථයක්මය. එදිරිසිංහයන් දැක්වූ පද මගින්ද එයම සනාථ වෙයි.
සිංහල භාෂාවෙි තවත් විශේෂ ව්‍යාකරණ ලක්ෂණයක් දක්නටඇත . එනම් අප්‍රාණවාචී ශබ්ද ප්‍රාණවාචී ශබ්ද ලෙස යෙදීමයි. 'පුෂ්පයෝ', 'වෘක්ෂයන්', 'ග්‍රන්ථයෝ', 'නදීහු', 'කුසුමන්' ආදිය නිදසුන්ය. පැරණි සිංහල ලේඛකයන් නපුංසක ලිංගයක් ගැන සලකා නැත. මෙය පැරණි ගද්‍ය සාහිත්‍යයට වඩා පද්‍ය සාහිත්‍යයෙහි සුලබව දැකිය හැකි ලක්ෂණයකි. අප්‍රාණවාචී ශබ්ද ප්‍රාණ වාචිත්වයෙන් ගෙන යොදන විට ඒ අප්‍රාණවාචී ශබ්දයන් කෙරෙන් පරව යෙදෙන්නේද අර ප්‍රාණවාචී ශබ්දයන් කෙරෙන් පරව යෙදෙන විභක්ති ප්‍රත්‍යයමය. 'මනුෂ්‍යයෝ', 'කාන්තාවන්' යන සචේතන යෙදුම් සමග 'වෘක්ෂයෝ', 'ගංගාවන්' යන අචේතන යෙදුම් සසඳා බලන්න. එදිරිසිංහයන් ඉදිරිපත් කළ පද පද්ධතියද එසේ ප්‍රාණවාචිත්වයට පත් අප්‍රාණවාචී පද ගණයෙහිලා ගිණිය හැකිය.
සිංහල වියරණ රීති සාරය
1/ විශේෂණ පදය සඳහා හැමවිටම යෙදෙන්නේ වචනයක මූලයයි.
2/ විශේෂණ පදය සඳහා යෙදෙන අප්‍රාණවාචී වචන මූලය
බහුඅර්ථවාචී වෙයි. එනම් එම වචනයේ බහු වචනය වෙයි.
3/ අප්‍රාණවාචී වචන ප්‍රාණවාචී කොට යෙදේ.
ඤාණ මාණික්‍යයක් වන් පුරාණ සංස්කෘත ශ්ලෝකයකින් මේ ලිපිය අවසන් කරනු කැමැත්තෙමි.
විනා ව්‍යාකරණේනාන්ධෝ
බධිරඃ කෝෂ වර්ජිතඃ
ඡන්දශ්ශාස්ත්‍රං විනා පංගුඃ
මූගෝ'ලංකාර වර්ජිතඃ
(වියරණ දැනුමෙන් තොර තැනැත්තා අන්ධයෙකි.ශබ්ද කෝෂ විශ්ව කෝෂ ආදිය ඇසුරු නොකරන්නා බිහිරෙකි. ඡන්දස් ශාස්ත්‍රය නොදන්නා තැනැත්තා කොරෙකි. අලංකාර ශාස්ත්‍රය නොදන්නා තැනැත්තා මෝඩයෙකි.)
’ෆේස් බුක්’ මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි.
සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 96 වැනි වියට එළැඹෙණුයේ 2024 නොවැම්බර් 12 වැනි දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!
මා මාර්ටින් වික්‍රමසිංහ මහාශයන්ගේ ආවේශාත්මක වූත් ආස්වාදාත්මක වූත් සමීප ආශ්‍රය ලබමින් විසූ භාග්‍ය සම්පන්න සමයේ එක්තරා අවස්ථාවක මම ඔහුගෙන් මේ පැනය වි
ඇස්. පියසේන (සේනාධීර පියසේන) නම් බහුශ්‍රැත හා පරිණත මාධ්‍ය විශාරදයාණන් සමග ඉතා ළංව ඇසුරු කිරීමට ලැබීම මගේ පරම භාග්‍යයකි. අනූ වියද ඉක්ම මියෙන තෙක්ම පැහැද
සංස්කෘත භාෂාවේ එන ’මන්’ ධාතුව හෙවත් ක්‍රියා මූලය කෙරෙන්, ’දැනගැනීම’, ’සිතීම’, ’මැනීම’, ’සලකා බැලීම’, ’ගරු කිරීම’, ’ආඩම්බර වීම’, යන අර්ථ සූචනය වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිංහලයේ වෙසෙස් වියරණ ලකුණු