"Language is the the greatest achievement of Culture; Poetry is the greatest achievement of Language."
(The Miracle of Language - Richard Ledder - p.178 - New York - 1991.)
(සංස්කෘතියේ අග්‍ර ඵලය භාෂාවයි. භාෂාවේ අග්‍රඵලය කාව්‍යයයි)
අනුරාධපුර කාලයට අයිති එකම කවි පොතක්වත් අපට ලැබී නැත. කවර හේතුවක් නිසා හෝ ඒවා අභාවයට ගොසිනි. ගී විරිතෙන් ලියැවුණු සිංහල පැදි පොතක් අපට ඒ කාලයෙන් හමුවී ඇතත් එය කවි පොතක් ලෙස හැඳින්විය නොහැකිය. දැනට අපට හමුව ඇති එකම පැරණි පොත වන 'සියබස්ලකර' නමැති ඒ පොත කවියන්ට කවි සමය ගැන උපදෙස් දෙන පොතකි. ඊට ඇතුළත් වන්නේ කවිය අලංකාර කිරීමට යොදා ගත යුතු අංගය. කවි ලකර විස්තර කොට දක්වන මේ පොත සංස්කෘත සාහිත්‍යයට අයිති 'කාව්‍යාදර්ශ' නමැති අලංකාර ග්‍රන්ථයේ සිංහල අනුවාදයකි.
මෙහිදී එක් විශේෂ කරුණක් හෙළි කිරීම වැදගත් වෙයි. එනම් එක්තරා පැරණි සිංහල ගී විරිත් කවි පොතකින් ගත් පැදියක් 'සියබස්ලකර' ග්‍රන්ථයේ නිදසුනක් ලෙස දී ඇති බවය. ඒ පැදිය ඇතුළත් සිංහල ගී කවි පොතක් මෙතෙක් අපට හමුවී නැත. ඒ පැදිය අනුරපුර සමයේදී සිංහලෙන් ලියැවී අතුරුදහන්ව ගිය 'කුස දා' ගී විරිත් කවකින් උපුටා ගත්තක් හැටියට අනුමාන කිරීමට එහි අරුත අනුබල දෙයි. අනුරපුර සමයේ ලියැවුණු සිංහල කවි පොත් පෙර සිට පැවති බව ඒ අනුව අපට නිගමනය කළ හැකිය.
අභාවයට ගිය පැරණි සිංහල කවි පොත්වලින් උපුටා ගත් ඒවා යැයි අනුමාන කළ හැකි විධියේ ගී විරිත් පැදි හා සිව්පද විරිත් පැදි නිදසුන් වශයෙන් දී ඇති තව සිංහල සාහිත්‍ය ග්‍රන්ථ දෙකක් අපට දඹදෙණි යුගයෙන්ද හමු වෙයි. ඒවා නම්
'සිදත් සඟරාව' නමැති සිංහල වියරණ පොත හා 'එළු සඳස් ලකුණ' නමැති සිංහල සඳ ලකර පොතය. 'සියබස්ලකරේ'දී මෙන්ම මේ කෘතිවලදීද අපට පැරණි 'කුස දා' පැදි කීපයක් හමුවෙයි. 'සිදත් සඟරාව' හා 'එළු සඳස් ලකුණ' යන කෘති සඳහා පැරණි 'කුස දා' කවකින් උපුටාගෙන ඇති මේ ගී හා සිව්පද නිදසුන් පැදිද දැනට අපට ලැබී ඇති පැරණි 'කුස දා' කවි පොත්වල දක්නට නැත. එසේ නම් මේවා අඩංගු කෘතියට කුමක් සිදුවීද? සිදුව ඇත්තේ අභාවයට යාම මිස අනිකක් නොවේ. දැනට අප සතුව ඇත්තේ පැරණි 'කුස දා' කවි පොත් දෙකක් පමණි. එකක් දඹදෙණි යුගයේ විසූ දෙවැනි පැරකුම්බා රජු විසින් ගී විරිතෙන් බැඳුණු 'කව් සිළුමිණ' මහා කාව්‍යයයි. අනික සීතාවක සමයේ අලගියවන්න මුකවැටි කිවිඳුන් විසින් සිව්පද විරිතෙන් රචිත කුස ජාතක කාව්‍යයයි.
'ආසංඛ' , 'වෙස්සන්තර' , 'තේමිය' සහ 'මාතංග' යන ජාතක කතා වස්තු ඇසුරෙන් පබැඳුණු පුරාතන ගී කාව්‍යවලින් උපුටා ගත් ගී පද ලෙසට අනුමාන කළ හැකි නිදසුන් කීපයක්ද 'සිදත් සඟරා' වියරණ පොතේදී අපට හමුවෙයි. එකී ගී පද ඇතුළත් ජාතක කාව්‍ය කිසිවක් දැනට අපට හමුව ඇති පැරණි කාව්‍ය කෘති අතර නැත. අද අප සතුව ඇත්තේ ජාතක කතා ආශ්‍රිතව රචිත ගී කාව්‍ය ග්‍රන්ථ තුනක් පමණි.ඒවා නම් 'සසදාවත' , 'මුවදෙව්දාවත' සහ 'කව්සිළුමිණිකුසදාව'ය. මේවාට වස්තු වී ඇත්තේ පිළිවෙළින් 'සස' ජාතකය , 'මඛාදේව' ජාතකය සහ 'කුස' ජාතකයයි.
අභාවයට පත් පැරණි 'මයුර' සන්දේශයකින් උපුටා ගැනුණු ගී පද නිදසුන් හා සිව්පද නිදසුන්
'සිදත් සඟරා' පුරාණ සන්නයේ මෙන්ම 'එළු සඳස් ලකුණ' ග්‍රන්ථයේද දැකිය හැකිය. 'මයුර' සංදේශයක් වශයෙන් දැනට අප සතුව ඇත්තේ ගම්පොළ යුගයේදී පබැඳි 'මයුර' සන්දේශ කෘතිය පමණි. එහෙත් එය ගී විරිතෙන් නොව සිව්පද විරිතෙන් පබැඳුණකි.
'සිදත් සඟරා' හා 'එළු සඳස් ලකුණ' යන කෘති දෙකෙහිම නිදසුන් කොට දැක්වෙන තවත් බොහෝ පැදි ඇතද ඒවා කවර පොත්වලින් උපුටා ගැනුණේද යන්න සඳහන් නොවේ. එකී නිදසුන් පද්‍යයෝ ගී , සිව්පද ආදි විවිධ විරිත්වලට අයත් වෙති. මේ අප්‍රකට පොත්වලින් ඇතැම් ඒවා අනුරපුර යුගයේ බිහිවී අභාවයට ගිය පොත් යැයි අනුමාන කළ හැකිය. දස පද, දොළොස් පද, සැහැලි ආදිය පැහැදිලි කිරීම සඳහාද 'එළු සඳස් ලකුණ' කතුවරයා විවිධ කවි පොත්වලින් උපුටා ගත් නිදසුන් කවි ගෙනහැර පා ඇත. එහෙත් ඒ කවි පොත් මොනවාදැයි නොකියැවෙයි. අනුරපුර යුගයේදී ලියැවී අභාවයට පත් ඇතැම් කවි පොත් මේ අතර තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.
06වන සියවස වන විට සිංහල කවිය ඉතා සශ්‍රීක තත්වයකට පත්ව තිබුණු බවට සාධක සාහිත්‍ය ඉතිහාසයෙන් ඉස්මතුව පෙනේ. ඒ සිය වසේ රජකම් කළ දෙවන මුගලන් රජතුමා හැඳින්වෙන්නේ කවියෙකු ලෙසිනි. ඔහු ධර්ම කාව්‍යයක් රචනා කොට ඇත. ඔහු එය ඇත් කුඹ මත තබවා එහි එන දහම් කවි මිනිසුන් ලවා ගයවමින් ඔවුන් රාත්‍රී කාලයෙහි නුවර සැරිසැරැවූ බව මහාවංශයෙන් හෙළි වෙයි.
06වන සියවසෙහිම රජ පැමිණියෙකි අග්බෝ රජතුමා. එකල දොළොස් මහා කවියන් විසූ බව පූජාවලිය හා නිකාය සංග්‍රහය නමැති සාහිත්‍ය කෘති මගින් නම් සහිතව හෙළි වෙයි. ඔවුන් විසින් ලියන ලද එකම කාව්‍ය කෘතියක්වත් අප අතරට පත්ව නැත. දොළොස් මහා කවියන් අතර සිටි බව කියැවෙන අසක්දාමල් කවියාගේ කාව්‍ය කෘතියක් බවට අනුමාන කෙරෙන 'අසක් දා' කවෙන් (මෙය ආසංඛ ජාතකය ඇසුරෙන් ලියැවුණු ගී කවකි.) උපුටා ගත් ගී පද සතරක්ම 'සිදත් සඟරාව' නිදසුන් ලෙස ගෙනහැර දක්වා ඇත,
අනුරපුර යුගයෙන් හා ඊට පසු යුගවලින් අපට හිමි වී ඇති පොත්වල හමුවන කවි නිදසුන්, දැනට අපට අහිමි වී ඇති කවි පොත් කවර ගණයට අයත් ඒවාද යන්න අනුමාන කිරීමට සාධක වුවද ඒවා කළ කවියන් කවුරුන්දැයි හඳුනා ගැනීමට ඉන් කිසිදු පිටිවහලක් නොලැබේ. ඔවුන් අතර කිවිකම් පුරුදු රජුන්, සඟුන් මෙන්ම පොදු දනන්ද සිටින්නට ඇත. අනුරපුර සමයෙන් දැනට අපට හිමිව ඇති 'සියබස්ලකර' හා 'දම්පියාඅටුවාගැටපදය' යන කෘති දෙකම ලියා ඇත්තේ රජුන් දෙදෙනෙකු විසිනි. ඉහත සඳහන් ග්‍රන්ථාගත සාධක අනුව එක් කරුණක් අවිවාදයෙන් පිළිගැනීමට සිදුවේ. එනම් අනුරපුර සමය සශ්‍රීක සාහිත්‍ය අස්වැන්නක් බිහි කළ යුගයක්ව පැවැති බවයි එසේ නම් එවැන්නක් හුදු රජවරුන්ට පමණක් කළ හැක්කක් නොවේ. එසේම සඟුන්ට පමණක් කළ හැක්කක් ද නොවේ. අනිවාර්යෙන්ම එහිලා පොදු ජනතා සාහිත්‍යකරුවාගේ නිර්මාණ දායකත්වයද ප්‍රබල ජීව ශක්තියක් විය යුත්තේමය.
අප අතට පත්ව ඇති පොත් කළ අනුරපුර රජුන් දෙදෙනා හැර එසමයේ පොත් ලියූ තවත් රජුන් ගැන වංසකතා මගින් විස්තර හෙළි වෙයි. ඔවුන් ලියූ පොත් අපවත්ව ගොසිනි. පසු කල ලියැවුණු පොත්වල හමුවන නිදසුන් කවි අයත් අනුරපුර කවි පොත් ලියූ කවියන් කවුරුන්දැයි නිසැකව පැවසීමට තරම් සාධක අපට නැත. එහෙත් එකක් ඉඳුරා පැවසිය හැකිය. එනම් ඒ කවි පොත් ලියූවන් අතර රජුන් , සඟුන් මෙන්ම පොදු ජන කවියන්ද සම තැන් ගෙන සිටින්නට ඇති බවය.එය සනාථ කරන ප්‍රත්‍යක්ෂ සාක්ෂි සටහන්ව ඇත්තේ සීගිරි කැටපත් පවුරේය. ඇත්ත වශයෙන්ම සීගිරි කැටපත් පවුර සැලකිය යුත්තේ අනුරපුර සමයේ ජීවත් වුණු පොදු ජන කවියන්ගේ ප්‍රතිභාන්විත හිටිවන කවි සටහන් කළ හෘදයංගම සිහිවටන ඵලකයක් ලෙසිනි.
කැටපත් පවුරේ සටහන්ව ඇත්තේ සීගිරි පැමිණි කවියන්ගේ සිතේ ඒ මොහොතේ හටගත් සිතුවිලි නිසා එසැණින් උපන් කවිය. එහෙත් තම සිතුවිලි ඇසුරෙන් ඔවුන් හිටිවන බිහි කර ඇත්තේ නීරස කවි නොව රසවත් කවිය. එවේලේ දුටු යමක් නිසා එවේලේ තම සිත උපන් හැඟුමක් අන් සිත් සතුටින් ඔකඳ කරන, රසයෙන් කුල්මත් කරන කවියක් බවට එසැණින් පෙරළමින් දුර්ලභ නිර්මාණ පෙළහරක් පෑ හැක්කේ පිළිබන් (ප්‍රතිභා) නුවණින් හෙබි කවියෙකුටය. සීගිරි කැටපත් පවුරේ නිසලව හිඳිමින් රසිකයන්ගේ සහෘදයන්ගේ හද සසල කරන බොහෝ සීගිරි ගී අතරින් අපට එකී පිළිබන් නුවණින් හෙබි කවියන්ගේ සොඳුරු මුහුණු දැකිය හැකිය. එහෙත් පිළිබන් නුවණ හීන වූවන්ගේ මුහුණුද ඇතැම් ගී අතරින් නොදැකිය හැක්කේ නොවේ. එවැන්නෙකුගේ නීරස ප්‍රතිභා හීන සීගිරි හිටිවන කවියක් ගැන ඒ කාලයේ එහි ගිය කවියෙකු විසින්ම විචාර කවියක් ලියා ඇත. සීගිරි ගී දුක සේ රැස්කොට මහා පොත් දෙකක් ලියා ඉපැරණි සිංහල කාව්‍ය උරුමයේ අගය සකල ලොවටම පහදාලූ මහැදුරු සෙනරත් පරණවිතාන සූරීන් ඒ විචාර කවිය හඳුන්වන්නේ අපට හමුව ඇති පැරණිම කාව්‍ය විචාරය ලෙසය. තම සමකාලීන සීගිරි කවියාගේ හිටිවන කවිය විචාරක කවියා හඳුන්වන්නේ හිස් ගීයක් හැටියටය. අටවන සියවසේදී හෝ නවවන සියවසේදී ඉදිරිපත් කර ඇති මේ කාව්‍ය විවාරය කාව්‍ය ගුණ, දෝෂ, හා කාව්‍ය රස විනිශ්චය සම්බන්ධයෙන් සර්වකාලීන අගයක් ඇත්තක් සේ සැලකිය හැකිය. හිස් හිටිවන කවිය ගැන විචාරක කවියා පළ කළ බස් මෙසේය.
"තමා කවියක් ලියන්නේ යැයි සිතා මොහු මේ ලියා ඇත්තේ කවියක්ද? තමා දුටු දේ දුටු හැටියටම විස්තර කරමින් ඔහු ලියා ඇත්තේ හිස් ගීයකි."
මේ විචාරක කවියා ස්වභාවෝක්තිය පිළිබඳ සාහිත්‍ය සංකල්පයට එරෙහි වූවෙකු බව මෙයින් හෙළි වෙයි. බුදුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අතර සිටි වංගීස තෙරුන් බුදුහිමියන්ගෙන් අග තනතුරු ලැබුවේ අග්‍රගණ්‍ය ප්‍රතිභා සම්පන්න භික්ෂුව වශයෙනි.
වංගීස හිමියෝ උපන් හිටිවන කවියෙකි. ඒත් උන්වහන්සේ සැණින් පද බැඳ කී හිටිවන කවි හිස් හිටිවන කවි නොවේ. සිංහල කවි මගේ සුල මුල විමසා බැලීමේදී සනාථ වන්නේ හිටිවන කවි කලාව පාරම්පරික සිංහල කවි සමයේ ජන්ම උරුමයක් බවය. මෙහි මුලදී හෙළි කළ තොරතුරු මගින් සිංහල කවි කලාවේ දිගු ඉතිහාස උරුමයේ මහිමය ඉඳුරා වටහා ගත හැකිය. වත්මන් හිටිවන කවියන්ගේ පරපුරට අයත් අය වෙසෙසින් සිතට ගත යුතු කරුණ වන්නේ හිටිවන කවිය, සීගිරි විචාරක කවියා කීවාක් මෙන්, හිස් කවියක් නොව රස කවියක්ම විය යුතු බවය.
’’Language is the the greatest achievement of Culture; Poetry is the greatest achievement of Language.’’
මෙරට බොහෝ මවුපියන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන්ද ලිංගික කරුණු සම්බන්ධයෙන් අවිද්‍යා අන්ධකාරයේ පසුවන්නන් බව ඔවුන් ගේ අදහස් උදහස්, ආකල්ප විකල්ප මගින් ම
දිගු කලක පටන් මම සෑම සතියක් නෑරම ජාතික ගුවන්විදුලිය ඔස්සේ ’පෙරවදන’ නමින් පොත්පත් හඳුන්වාදීම අරබයා වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියෙමි.
මෙරට වත්මන් ලේඛක පරපුර අතින් බිහිවෙන ඇතැම් කවි , ගීත , කෙටි කතා , නවකතා ආදි නිර්මාණ මගින් පීඩිත පන්ති හැඟීම , මානව දයාව , සටන්කාමිත්වය යන වෙසෙස් ගුණාංග ප්‍ර
ජගත්.ජේ.එදිරිසිංහයන් ෆේස්බුක් මගින් මගේ අවධානයට ලක් කළ විකාර වාක් ප්‍රයෝග පිළිබඳ සුලමුල විවරණය කරමින් මා වරක් එෆ්බීයට සැපයූ පිළිතුරු ලිපිය මගේ ’මතක ස
’ෆේස් බුක්’ මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සිංහලයෝ කවියෝය