IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


’’ෆ’’ අක්ෂරය සිංහල හෝඩියට ආ හැටි

මතක හා මතය 17

 


ඉංග්‍රීසි හෝඩියේ F ශබ්දය වෙනුවට සිංහල හෝඩියට මෑතක පිවිස මේ වන විට බහු භාවිතයට පත්ව ජන සම්මතව ඇති 'ෆ' අක්ෂර රූපය අලුත නිපදවා ගත්තක්ය යන දුර්මතය ඒ පිළිබඳ සුලමුල නොදත්තන් අතර පැතිර පවතින්නට පුළුවන. එබැවින් මෙහි ඉතිහාසය හෙළි කිරීම ශාස්ත්‍ර යුක්ති වශයෙන් වැදගත් වෙතියි සිතමි. ෆ අක්ෂර රූපයේ ඉතිහාසය ඉන්දියාවේ වේද කාලය දක්වා දිව ගියද එය ඉංග්‍රීසි

F ශබ්දය සඳහා සුදුසු සලකුණක් ලෙස සම්මත කොටගෙන සිංහල හෝඩියට ඇතුළු කරන ලද්දේ ජාතික අධ්‍යාපන ආයතනයේ (N I E) පර්යේෂණ අංශය සමග එක්ව 1989දී 'සිංහල ලේඛන රීතිය' ග්‍රන්ථය සම්පාදනය කළ තත්ත්වඥ මණ්ඩලය විසිනි.

"මේ තත්ත්වඥ මණ්ඩලයට ද , යළි සාකච්ඡා කොට ග්‍රන්ථය අනුමත කළ ශාස්ත්‍රීය පර්ෂදයට ද , ව්‍යාපෘති කාර්ය මණ්ඩලයට ද අයත් ගිහි පැවිදි වියතුන් අතර පේරාදෙණිය , ශ්‍රී ජයවර්ධන පුර , කැලණිය , කොළඹ සහ රුහුණ යන විශ්වවිද්‍යාලවල සිංහල අධ්‍යයනාංශයන්හි මහාචාර්යවරු ද , සුප්‍රසිද්ධ විද්‍යාඥයෝ ද , ලේඛකයෝ ද , සන්නිවේදන මාධ්‍ය ප්‍රවීණයෝ ද , අධ්‍යාපන අමාත්‍යාංශයේ , අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ , ජාතික අධ්‍යාපන ආයතනයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා කටයුතුවල නියුක්ත නිලධාරීහු ද වූහ."

( 'සිංහල ලේඛන රීතිය' 1989 - පෙරවදන - 06 පි.)

'සිංහල ලේඛන රීතිය' වැනි පොතක් පළ කිරීමට තුඩු දුන් ප්‍රධාන හේතුව ඒ පොතේ පෙරවදන මගින් පැහැදිලි කොට ඇත්තේ මෙසේය.

" පාසල් ශිෂ්‍යයන් ගේ පමණක්

නො ව ලේඛනයෙහි යෙදුණු ඇතැම් ලේඛකයන් ගේ රචනාවල පවා ව්‍යාකූලත්වයෙන් ද ව්‍යාකරණ දෝෂයෙන් ද යුත් යෙදුම් දිගට ම පෙනෙන්නට වූයේ ම ය. එහි ප්‍රතිඵල වශයෙන් සිංහල භාවිතය පිළිබඳ පොදු රීති මාලාවක් ඇති විය යුතු බවට අදහසක් යළිත් ඇසෙන්නට විණි. ඇතැම් පුවත්පත් සඟරා ආදිය ද ඒ පණිවිඩය පතුරාලන්නට යුහුසුලු වූයේ ය.

" ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ අත්දැකීම ද මේ හා සම වීය. පාසල් ළමයින් සඳහා පෙළ පොත් , අතිරේක පොත් , පුස්තකාලය පොත් වශයෙන් සුදුසු ප්‍රකාශන පිළිබඳ තීරණය කිරීම සිය කාර්යභාරයක් වන මේ මණ්ඩලයේ වාර්තාවලින් හෙළිදරවු වූයේ ද

නූතන සිංහල භාවිතයෙහි අක්ෂර වින්‍යාසය , උක්තාඛ්‍යාත සම්බන්ධය , පද බෙදීම ආදී අවශ්‍ය ලක්ෂණ බෙහෙවින් සදොස් ව යෙදෙන බව ය. එහෙයින් ඒ පිළිබඳ සම්මතයක් ඇති කිරීම ජාතික අවශ්‍යතාවක් වශයෙන් ඒ මණ්ඩල සාමාජිකයෝ දුට හ. ඉක්බිති ව එය සිය වගකීම සේ භාර ගත්තේ ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ අංශය යි."

( 'සිංහල ලේඛන රීතිය' 1989 - පෙරවදන 05 පි.)

 

සිංහල ලේඛනයේදී සිදු කෙරෙන භාෂා වැරදි පිළිබඳ අධ්‍යයන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වුණු 'සිංහල ලේඛන රීතිය' ග්‍රන්ථ සම්පාදන කාර්යට අයත් ප්‍රථම තත්ත්වඥ රැස්වීම 1989 ජනවාරි 14 , 15 දෙදින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී පැවැත්වුණි. එකල ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ජී.බී ගුණවර්ධන මහතාය. ඒ අවධියේ ගුරු අධ්‍යාපන පරිපාලන අධ්‍යාපන අධ්‍යක්ෂ , ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ලේකම් මෙන්ම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයේ ලේකම්ද වූ එස්.කේ.නෙත්තානන්ද මහතා ඉහත කී ව්‍යාපෘතියේ ව්‍යාපෘති සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයා විය. එහි ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී හා ව්‍යාපෘති සංස්කාරක ලෙස කටයුතු කළේ එකල ගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාවේ ප්‍රධාන අධ්‍යාපන නිලධාරී ලෙස සේවය කොට විශ්‍රාම ගොස් සිටි ජිනදාස මාරසිංහ මහතාය. එසමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාවේ සේවාවෙහි නිරතව සිටි සිරිසේන විතානගේ , හඳුන්.පී.වික්‍රමසිංහ සහ මේ ලිපිය ලියන ලේඛකයාද , එසේම ජාතික අධ්‍යාපන ආයතනයේ එච්. එම්.කේ.සී.ධර්මවර්ධන මහත්මියද යන සිවු දෙනට එකී ව්‍යාපෘතියේ ව්‍යාපෘති සහාය සංස්කාරක කටයුතු පැවරී තිබුණි.

'සිංහල ලේඛන රීතිය' ග්‍රන්ථ සම්පාදන ව්‍යාපෘතියට අයත් ප්‍රථම තත්ත්වඥ මණ්ඩලය කමිටු තුනකට බෙදුණි. අක්ෂර වින්‍යාසය සහ පද සාධනය , පද බෙදීම හා විරාම ලක්ෂණ , උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය යනු එකී කමිටු තුනට වෙන් වෙන්ව පැවරුණු කාර්යන්ට අයත් විෂයෝ වූහ. මහාචාර්ය විමල් බලගල්ලේ , මහාචාර්ය විමල විජේසූරිය , පණ්ඩිත ගුණපාල සේනාධීර යන පඬිවරුන් තිදෙනා අයත් වූයේ අක්ෂර වින්‍යාසය සහ පද සාධනය අරබයා වූ කමිටුවටය. ඉංග්‍රීසි F ශබ්දය සඳහා ෆ අක්ෂර රූපය පිළිගෙන එය 'සිංහල ලේඛන රීතිය' පොතේ හෝඩියට ඇතුළු කිරීමේ යෝග්‍යත්වය පළමුව යෝජනා කළේ මහාචාර්ය විමල් බලගල්ලේ පඬිතුමාය. 'සිංහල ලේඛන රීතිය' සම්පාදනයට සහභාගී වූ තත්ත්වඥ මණ්ඩලය විසින් එය අවිවාදයෙන් අනුමත කෙරුණි.

මෙවැනි අලුත් අක්ෂර රූපයක් සිංහල හෝඩියට ඇතුළු කිරීමට අවශ්‍ය වූයේ ඇයි? පාලි හා සංස්කෘත යන උභය භාෂාවන්ගේ සම්පර්කය කරණ කොටගෙන පෙර පැවති හුදු හෙළ හෝඩියේ කන්‍යා භාවය සිඳී ගොස් එය මිශ්‍ර සිංහල හෝඩියක් බවට පෙරැළුණි. එතෙක් හුදු හෙළ හෝඩියේ තනිව සිටි දන්තජ 'ස' ඌෂ්මාක්ෂරයට සංස්කෘත හෝඩියේ තාලුජ 'ශ' සහ මූර්ධජ 'ෂ' ඌෂ්මාක්ෂර එකතුවීම එහි අනිවාර්ය ප්‍රතිඵලයකි. මේ වර්ගයේ අකුරු උච්චාරණය කරන විට උණුසුම් වායු ධාරාවක් මුවින් නිකුත්වීම නිසා ඒවාට එම 'ඌෂ්ම' යන නම වැටී ඇත. ඉංග්‍රීසි හෝඩියේ එය SIBILANT නම් වෙයි.

මිශ්‍ර සිංහල හෝඩියේ ක-ච-ට-ත-ප යන අකුරු පහෙන් පටන් ගන්නා වර්ගාක්ෂර අතරින් 'ච' වර්ග හෙවත් තාලුජ (PALATAL SOUND)අකුරුවලට 'ශ'යන්නත් 'ට' වර්ග හෙවත් මූර්ධජ (CEREBRAL SOUND)අකුරුවලට 'ෂ' යන්නත් 'ත' වර්ග හෙවත් දන්තජ (DENTAL SOUND)අකුරුවලට 'ස'යන්නත් ඌෂ්ම අක්ෂර විය. මේ ශබ්ද තුන උගුර හඬවා උච්චාරණය කිරීමට අනවශ්‍ය වූයෙන් ඒවා අඝෝෂ ඌෂ්ම යන නමින් හැඳින්වුණි.එහෙත් 'ක'වර්ග හෙවත්කණ්ඨජ(GUTTURAL SOUND) අකුරුවලට අයත් 'හ' ඌෂ්මය උගුර හඬවා උච්චාරණය කළ යුතු වූ හෙයින් එය ඝෝෂ ඌෂ්ම ගණයෙහි ලා සැලකුණි. ඝෝෂාක්ෂර ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ SONANT යන නමිනි. මිශ්‍ර සිංහල හෝඩියේ

'ත' වර්ග හෙවත් දන්තජ අකුරුවල 'ස' ඌෂ්මය අඝෝෂයකි. Z ශබ්දය

වනාහි ඉංග්‍රීසි හෝඩියේ 'ත' වර්ග හෙවත් දන්තජ අකුරුවලට අයත් ඝෝෂ ඌෂ්මයයි.

මිශ්‍ර සිංහල හෝඩියේ වර්ගාක්ෂර පහෙන් ක - ච - ට - ත - යන හතර වර්ගයම සතුව ඌෂ්මාක්ෂර තිබුණද පස්වන 'ප' වර්ග හෙවත් ඕෂ්ඨජ අකුරු ඌෂ්මයකින් තොර විය.එසේ වුවද භාෂා භාවිතයට එම අඩුව කිසි සේත් බල නොපෑවේය. මක් නිසාද යත් මුලදී එම ඌෂ්මාක්ෂරය සහිත වචන මිශ්‍ර සිංහල ව්‍යවහාරයේ නොපැවති හෙයිනි. එහෙත් ලංකාව ආක්‍රමණය කළ පළමු වන බටහිර ජාතිය වන පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග හට ගත් පෘතුගීසි භාෂා සම්පර්කය කරණකොටගෙන එතෙක් අනවශ්‍යව පැවති 'ප' වර්ග හෙවත් ඕෂ්ඨජ (LABIAL SOUND) ඌෂ්මාක්ෂරයක අවශ්‍යතාව ඉස්මතු විය. ඕෂ්ඨජ ඌෂ්මාක්ෂරය යනු 'F' ශබ්දයයි. සංස්කෘත භාෂාවේ තොල හැඳින්වෙන්නේ ඕෂ්ඨ යන නමිනි. සිංහල හෝඩියේ 'ප' යන්නෙන් පටන් ගන්නා ප - ඵ - බ - භ - ම - යන සියලු ව්‍යංජන අකුරු (CONSONANTS) තොලේ ආධාරය නොමැතිව කිසි සේත් හැඬැවිය නොහැකිය.ඒවා ඕෂ්ඨජ[ඕෂ්ඨ(තොලෙන්)+ජ (උපදින)]

නමින් හැඳින්වෙන්නේ එබැවිනි. එතෙක් සිංහල හෝඩියේ නොතිබුණු ඕෂ්ඨජ F ශබ්දය සහිතව උච්චාරණය කළ යුතු ආගන්තුක වචන රාශියක් භාෂාවට

එකතුවීමත් සමගම එම ශබ්දෝත්පත්තිය නිවැරදි අයුරින් සිද්ධ කරන අක්ෂර රූපයක අවශ්‍යතාව පැන නැගීම කවර අරුමයක්ද? Francis , Fonseka , Fernando ආදි නිදසුන් වදන් මගින් එය සනාථ වෙයි. පෘතුගීසීන්ගෙන් අනතුරුව සිදුවුණු ලන්දේසි නම් දෙවැනි බටහිරයන්ගේ ආක්‍රමණයත් සමග F ඌෂ්මයේ අවශ්‍යතාව වඩාත් බලවත් විය. අවසානයේ ලංකාවම තම අණසකට යටත් කොට ගත් ඉංග්‍රීසි බටහිරයා නිසා එකී අවශ්‍යතාව උග්‍රව ගියේය.

එසේ වුවද ආදි සිංහලයා F අකුරේ අවශ්‍යතාව 'ප' යන්නෙන්ම පිරිමසා ගති. මුලින්ම ඔහු Francis ප්‍රැන්සිස් කළේය. පසුව ඉංග්‍රීසි f අකුර 'ප' අකුරට ඉදිරියෙන් හෝ 'ප' අකුරේ බඩ මැදින් හෝ යොදා Fernando fප්‍රනාන්දු කර ගති.

'සිංහල ලේඛන රීතිය' පොත මගින් ඉදිරිපත් කෙරුණු හෝඩියට 'ෆ' අක්ෂර රූපය ඇතුළු කිරීමෙන් පසු එය පාසල් පද්ධතිය , විශ්වවිද්‍යාල පද්ධතිය , මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පද්ධතිය තුළ මෙන්ම ලේඛක ගණයා හා සාමාන්‍ය ජනයා අතරද බහු ව්‍යාප්තව ගියේය. දැන් එය සිංහල හෝඩියේම අකුරක් හැටියට සම්මතව ඇත. කරුණු එසේ වුවද

'ෆ' අක්ෂර රූපය මෙරට පළමු වරට ප්‍රසිද්ධ භාවිතයට ගැනීමේ ඉතිහාසය 06 වැනි දශකය තෙක් දිව යන්නකි. එය අද සිටින වැඩි දෙනෙකු

නොදනිතියි සිතමි. ඒ වෙළඳ ප්‍රචාරක දැන්වීමක් සඳහාය. එකල ප්‍රසිද්ධ සිගරැට් වර්ගයක් වූ Four Aces නාමය සහිත විසල් ප්‍රචාරක දැන්වීම් පුවරු (Cut-Out), කොළඹ ප්‍රසිද්ධ මංසන්ධිවල සවිකොට තිබුණි. Four Aces නාමය එම දැන්වීම් පුවරුවල ලොකු අකුරෙන් සිංහලෙන් ලියා තිබුණේ ඉංගිරිසි F අකුර වෙනුවට මෙම ෆ අක්ෂර රූපය සහිතවය. ඉන් පෙර එය එසේ ප්‍රසිද්ධියේ භාවිතයට ගත් අවස්ථාවක් අප්‍රකටය. නිසැක වශයෙන්ම එය එම අක්ෂර රූපයේ සුලමුල පිළිබඳව හොඳින් දැන සිටියෙකු විසින් හෝ එවැන්නෙකුගේ උපදෙස් අනුව හෝ කළ දෙයක් නොවිය හැකිද? එසමයේ දැන්වීම් ප්‍රචාරක කලාවෙහි නිරතව සිටියවුන් සතුව පැවති බහුශ්‍රැත භාවය හෙවත් ඇසූ පිරූ තැන් ඇති බවත් උසස් ප්‍රමිතියත් සනාථ කරන ‍ප්‍රත්‍යක්ෂ සාධකයක් ලෙස මෙය නොසැලකිය යුතුද?

'ෆ' අක්ෂර රූපය ඉංග්‍රීසි F ශබ්දය සඳහා පිළිගෙන 'සිංහල ලේඛන රීතිය' පොතේ හෝඩියට පසු කලක ඇතුළු කළද මේ සලකුණ 'ප' වර්ගයේ ඌෂ්මාක්ෂර රූපය හැටියට සිංහල හෝඩියට යොදා ගැන්මේ යෝග්‍යත්වය ගැන කළ යෝජනාවක් පිළිබඳව අපට පළමු වරට අසන්නට ලැබෙන්නේ 19වැනි සියවසේ අග භාගයේදීය. ඒ. මැන්ඩිස් ගුණසේකර පඬිතුමා විසින් 1891දී ඉංග්‍රීසියෙන් ලියා පළ කරන ලද A Comprehensive Grammar of the Sinhalese Language නමැති පොතෙහි ලා ඔහු ඉංග්‍රීසි F ශබ්දය උදෙසා යොදා ගැනීමට සුදුසු සලකුණක් හැටියට 'ෆ' අක්ෂර රූපය යෝජනා කොට ඇත.(A.C.G of the S.L - A.M.G -1962- P 28) ගුණසේකර පඬිඳුන් විසින්ම පළකරන ලද අති සාරවත් සඟරාවක් වූ 'ඥානාදර්ශය' සංස්කරණය කරද්දීද ඔහු Francis වැනි නම් සිංහලෙන් ලියන තැන්වල 'ප්‍රැන්සිස්' ලෙස නොලියා 'ෆ' රූපය භාවිතයට ගෙන 'ෆ්‍රැන්සිස්' ලෙස ලියා ඇති බව පෙනේ. ('ඥානාදර්ශය' -1 වෙනි කාණ්ඩය - 1897 - 166වැනි පි.)

මැන්ඩිස් ගුණසේකර පඬිඳුන් ඉංග්‍රීසි 'F' ශබ්දය සඳහා භාවිතයට ගෙන තිබු⁣ණේ සම්පූර්ණ අක්ෂර රූපයේ යටි අඩ පමණි. වේද කාලයට අයත් එම සම්පූර්ණ සංස්කෘත අක්ෂර රූපය සෑදී තිබුණේ 'ෆ'

රූපය වැනිම වූ රූපයක් උඩු අතට බද්ධ වීමෙනි. වේද පාඨයන්හි ආ ඕෂ්ඨජ ඌෂ්ම ශබ්ද ය දක්වන අක්ෂර රූපය සඳහා භාවිතයට ගැනුණු එය හැඳින්වුණේ 'උපධ්මානිය' යන නාමයෙනි. ඊට

'ගජකුම්භාකෘති' යන අපර නාමයක්ද විය. අලියාගේ කුඹුතලයේ හැඩය ඇති හෙයිනි. 'උපධ්මාන' යන සංස්කෘත වචනය තොල යන අරුත දෙන්නකි. 'ධම්' ධාතුව පිඹීම් අරුතෙහි වැටේ. ධමනය යනු පිඹීමයි. පිඹින්නේ තොලේ ආධාරයෙනි. 'ප' වර්ග හෙවත් ඕෂ්ඨජ ('ඕෂ්ඨ' යනුද තොලය) ඌෂ්මාක්ෂරය හැඳින්වීම සඳහා භාවිත වන 'උපධ්මානිය' යන නාමය ඒ අනුව සැදුණකි. එය අතිශය අන්වර්ථ වන්නේ එබැවිනි. දන්තෞෂ්ඨ(දත් හා තොල ආධාර කොටගත්)අඝෝෂ ඌෂ්මාක්ෂරයක් වූ 'ෆ' ශබ්දය උච්චාරණයේදී නගන්නේ උණුසුම් වායුවක් පිටවන පිඹීම් හඬකි. නිතර දෙවේලේ කම්මුල් පුම්බා නිතම්බ බිම්බ උඩ දා ෆුඃ ෆුඃ හඬින් ලිපට පිඹීමෙහි ශූරියන් වන හෙයින් සිංහල හෝඩියට අයත් නොවුණද 'ප' වර්ගයේ ඌෂ්ම ශබ්දය මැනවින් උච්චාරණය කිරීමේ හැකියාව සිංහල ගැහැනුන්ට හොඳටම ඇතැයි වරක් මහා පඬි මුනිදාස කුමාරතුංගයන් සරදම් ස්වරයෙන් පැවැසුවේ ඒ ගැන සිතා විය යුතුය.



අදහස් (2)

’’ෆ’’ අක්ෂරය සිංහල හෝඩියට ආ හැටි

Kamal Koyrala Tuesday, 06 August 2024 03:30 PM

ෆ අක්ෂරයට අයති කරු ජේ බී කියා බොහෝ තැන්වල පවසා තිබෙනවා. එනමුත් ෆ මෙතුමා කියූ සිගරට් වල වගේම සුහද චිත්‍රකතා පත්ත්රයේ සල්ෆා කතා වෙත් අපි දැක්කා . එනමුත් තවම රජයේ ආයතන වල මෙය අක්ෂ්රක් සේ පිළිගන්නේ නැහැ . හේතුව මේ අකුර යොදා ගත (ෆීළික්ස් ) නම උප්පන්න සහතිකයට යොදන්න බැ කීවා

:       0       6

නි.ආ.අ.චි.ල. විජේවර්ධන Wednesday, 07 August 2024 10:52 AM

ෆ අක්ෂරය මෙන්ම ඉංග්‍රීසි හෝඩියේ Z (z)සෙඩ් අක්ෂරයෙන් වර නැ⁣ඟෙන ශබ්දය සඳහාද සිංහල අක්ෂර රූපයක් අවශ්‍ය කර තිබේ. ඒ සඳහා ස අක්ෂරයේ දකුණු පස අත්තට ජ අක්ෂරයේ අත්ත මුසු කිරීමෙන් යෝජනා කර ඇති අක්ෂර රූපය ඉතා යෝග්‍ය බව පෙනී යයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

මතක හා මතය

ගුවන්විදුලි හාස ඉතිහාසය විජේ සහ බර්ටි
2024 සැප්තැම්බර් මස 10 117 0

ආරම්භක අවධියේ ලංකා ගුවන් විදුලිය ඔස්සේ ගුවන්විදුලි නාට්‍ය ප්‍රචාරය කළ ශිල්පීන් සහ නාට්‍ය සංගම් අතර තැපැල් හා විදුලි සංදේශ නාට්‍ය සංගමද විය. ලංකා ගුවන


බෞද්ධ මාක්ස්වාදියා
2024 සැප්තැම්බර් මස 03 421 0

කලක පටන් දැන හැඳින සමීපව ඇසුරු කළ ගුණසේන විතානයන් සමග එකට වැඩ කිරීමේ අවස්ථාව පළමුවෙන්ම මට උදාවූයේ ඔහු ’ජනතා ලේඛක පෙරමුණ’ ආරම්භ කිරීමත් සමගය.


’යුග පුරුෂයා’ ගණිකාවක් ද?
2024 අගෝස්තු මස 27 684 0

’නිම් වළලු පළල් කරනවා’ යන සුලබ කියමන සේම නිතර නිතර අපගේ කනට ඇහෙන ඇසට පෙනෙන තවත් සුලබ වත්මන් වාග් ව්‍යවහාරයකි ’යුග පුරුෂයා’ යන්න.


මමත් කළුයි මාගේ කවිකමත් කලුයි!
2024 අගෝස්තු මස 20 474 0

(පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන් මිය ගොස් 2024 අගෝස්තු 21 වැනි දිනට පුරා වසර 58ක් සපිරෙයි. ඔහු පිළිබඳ මගේ මේ හෘදයංගම මතක වත සහෘද ඔබගේ පහන් සංවේගය උදෙසාය.)


අඹ බයන්න සහ අඹ යාළුවා
2024 අගෝස්තු මස 13 478 0

අප ’අඹ’ බයන්න යනුවෙන් හැඳින්වීමට පුරුදුව සිටින්නේ සඤ්ඤක ’ඹ’යන්නය. ඊට හේතුව, අඹ නමැති පලතුරට කියන නාමය ලිවීමේදී සඤ්ඤක ’ඹ’යන්න භාවිත වීම බවය බොහෝ දෙනාගේ


’’ෆ’’ අක්ෂරය සිංහල හෝඩියට ආ හැටි
2024 අගෝස්තු මස 06 834 2

ඉංග්‍රීසි හෝඩියේ F ශබ්දය වෙනුවට සිංහල හෝඩියට මෑතක පිවිස මේ වන විට බහු භාවිතයට පත්ව ජන සම්මතව ඇති ’ෆ’ අක්ෂර රූපය අලුත නිපදවා ගත්තක්ය යන දුර්මතය ඒ පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site