IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


78 ව්‍යවස්ථා මාරකය

මතක හා මතය


නව ව්‍යවස්ථාවක් පතන ලක් පුරවැසියන්ගේ අවධානය පිණිසය !

1972 සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවේ පළමු ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරලමින් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව 1978 අගෝස්තු 31වැනි දා නව විධායක ජනාධිපති ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කෙළේය. ජනතා පරමාධිපත්‍යයට පරම ද්‍රෝහී වූ එම ව්‍යවස්ථාවේ දුර්විපාක සසාධකව සකාරණව ඔප්පු කරමින් ආචාර්ය එන්.එම්. පෙරේරා සහෝදරයා 1979දී ඊට එරෙහිව අගනා පොතක් ඉංග්‍රීසියෙන් ලිවීය. ටී.ජී.පියදාස සහෝදරයා කළ එහි සිංහල පරිවර්තනය "විවේචනාත්මක විශ්ලේෂණයක්" යන නමින් 1980දී පළ විය. එන්.එම්. සහෝදරයාගේ ඉංග්‍රීසි පොතේ "ජනාධිපති" නම් හයවැනි පරිච්ඡේදයෙන් විමසා බැලෙන්නේ ජනතා පරමාධිපත්‍යයට ද්‍රෝහී වූ ඒකාධිපති ජනාධිපති තනතුරේ අනතුර ගැනය. එම පොතේ සිංහල පරිවර්තනයෙන් උපුටා එකී පරිච්ඡේදය මා මෙහි යළි පළ කරන්නේ එය මෙරට වත්මන් තරුණ හා වැඩිහිටි බුද්ධිමත් පරපුරේ විමසුම් නුවණට හසු කරන අදහසිනි. ඊට සුදුසුම කල දැන් එළඹ ඇතැයි සිතමි.


(6) - ජනාධිපති

ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති වරයාටද ඇමෙරිකාවේ ජනාධිපතිවරයා සතු තත්වයට බලතල ඇත්තේය. ඔහු අත රජයේ සියලු බලතල ඒකරාශී වී ඇත්තේය. 1972 ව්‍යවස්ථාවෙහි ජනාධිපතිවරයා චාරිත්‍රානුකූල රාජ්‍ය නායකයා සහ නාමමාත්‍රික ත්‍රිවිධ හමුදා නායකයාද විය. නාමමාත්‍රික වශයෙන් වූයේ ඔහුට අගමැතිවරයාගේ අවවාදය නොලබා කථා කිරීමට හෝ ක්‍රියා කිරීමට අවසරයක් නොතිබුණ නිසාය. 1978 ව්‍යවස්ථාවෙන් ඔහු රාජ්‍ය නායකයා වූවා පමණක් නොව විධායක බලධරයාද වෙයි. අගමැතිවරයා ඇතුළු සෑම ඇමතිවරයකුම ක්‍රියාත්මක කළ යුතුව ඇත්තේ ඔහුගේ ප්‍රතිපත්තියයි.

ජනාධිපතිවරයා තෝරා පත් වන්නේ අවුරුදු 6ක කාල සීමාවකටය. ඕනෑම පුරවැසියකුට නිදහස් අපේක්ෂකයකු ලෙස ජනාධිපති තරගයට පිවිසිය නොහැකිය. ඔහු දේශපාලන පක්ෂයක නියෝජිතයකු විය යුතුය. මෙය ඇමෙරිකානු ක්‍රමයට වෙනස්ය. ඇමෙරිකාවේ ඕනෑම පුරවැසියකුට ජනාධිපති තරගයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය හැකිය. සිරිත් වශයෙන් ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රැටික් හා රිපබ්ලිකන් පක්ෂ අතරේ මිස මෙතෙක් එවැනි බරපතළ අන්දමේ අභියෝගයක් නිදහස් අපේක්ෂකයකු විසින් කර නැත.

ජනාධිපතිගේ තේරී පත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා විසින් අනුමත කරන ලද ඡන්ද ලැයිස්තුවේ දක්වා ඇති ඡන්දදායකයන්ගේ පිළිගත හැකි ඡන්ද අනුව බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත යුතුය. එසේ හෙයින් අපේක්ෂකයන් දෙදෙනකුට වැඩි අවස්ථාවකදී ඡන්ද දායකයා විසින් ඔහුගේ මනාපය අනුපිළිවෙළින් දැක්විය යුතුය. (94 වැනි වගන්තිය) තනි අපේක්ෂකයකු සම්බන්ධයෙන් පවා කතිරය ගැසීමේදී ඡන්ද දායකයන් නිසි පරිදි මනාපය ප්‍රකාශ නොකරන අවධියකදී ඡන්ද පත්‍රිකාවල මේ අන්දමට මනාප ඡන්දය දෙන ලෙස ඉල්ලීමෙන් තබා ඇත්තේ ඉහළ බලාපොරොත්තුවකි.

මෙවැනි ඡන්දයකදී නරක් වූ ඡන්ද රාශියක් තිබිය හැකිය. මනාප ඡන්ද ක්‍රමයක ඇති වන එබඳු දුෂ්කරතාවක් වළක්වා ගැනීම අපහසුය. එය ලබන දශකය අවසානයේදී පමණ යථා තත්වයට පත් වේ යැයි සිතිය හැකිය.

ජනාධිපතිවරයා තෝරා ගනු ලැබුවේ කිනම් දිනයක හෝ මාසයක වුවද ඔහුගේ ධුර කාලය ඔහු තෝරා පත් කර ගනු ලැබූ දිනට පසුව එළඹෙන පෙබරවාරි මාසයේ 4 වන දිනයෙන් ආරම්භ විය යුත්තේය. මෙහිදී ඇමරිකානු ක්‍රමය පිළිපැද ඇත. එනම් ඇමරිකාවේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගන්නේ කිනම් දිනයක වුවද ඔහු ධුරයේ පත්වීම ලබන්නේ මාර්තු මාසයේ එක් නියමිත දිනයකදීය. මේ අනුව 1978 පෙබරවාරි 4 වෙනිදා මහනුවරදී ජනාධිපති ධුරය භාරගත් ජයවර්ධන මහතාගේ ධුර කාල සීමාව 1984 පෙබරවාරි මස 4 වැනිදා තෙක් බලපවත්නේය. අලුත් ජනාධිපතිවරයකු තෝරා පත් කිරීම පෙබරවාරි 4 ට පෙර මසකට වැඩි හෝ දෙමසකට අඩු කාල සීමාවක් තුළ පැවැත්විය යුතුය. කෙසේ වෙතත් දූෂණය මත එල්ල වූ චෝදනා මත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපතිවරයා කලින් ඉවත් කළ හොත් උසාවි තීන්දුව ප්‍රකාශයට පත් කොට තුන් මසක් ගත වීමට පෙර ජනාධිපති නිලවරණයක් පැවැත්විය යුතුය.

. මොනයම් හේතුවක් නිසා හෝ ජනාධිපති ධූරය පුරප්පාඩු වුවහොත් එය යළිත් පිරවීම සඳහා අනුගමනය කිරීමට තීන්දු කර ඇති අවුල් සහගත ක්‍රමයේ පසු පස වූ චින්තනය වටහා ගැනීම අපහසු වේ. ඇමරිකානු ක්‍රමය ලිහිල් වූ නිරවුල් වූ ක්‍රමයකි. ඇති වූ පුරප්පාඩුව උප ජනාධිපතිවරයා ගෙන් පිර වෙයි. අපේ ව්‍යවස්ථාවේ උප ජනාධිපති ධුරයක් නැත. මරණයෙන් හෝ කායික දුර්වලතාවක් නිසා හෝ ජනාධිපති තනතුර පුරප්පාඩු වුවහොත් පාර්ලිමේන්තුව විසින් සාමාන්‍ය ඡන්දයෙන් ඔවුන් අතුරින් කෙනකු ශේෂව ඇති ජනාධිපති නිල කාලය සඳහා තෝරා ගත යුතුය.මෙම ඡන්දය පුරප්පාඩුව ඇති වී මසක් ඇතුළත සිදු කළ යුතුය.

පුරප්පාඩු වූ ධුරයට ජනාධිපතිවරයකු තෝරා පත් කර ගනු ලබන තෙක් අගමැතිවරයා හිස් වූ ධුරයේ වැඩ බැලිය යුතුය. එනම් උපරිම වශයෙන් එක් මස් කාලයකටය. ඒ වගේම තෝරා පත් කොට ගත් ජනාධිපතිවරයා තාවකාලිකව සිය ධුරයෙහි කාර්ය භාරය දැරීමට අපොහොසත් වුවහොත් අගමැතිවරයා ජනාධිපති ධුරයෙහි වැඩ බැලිය යුතුය. එමෙන්ම ජනාධිපතිවරයාට ශාරීරික දුබලතාවක් නිසා හෝ රටින් බැහැරව සිටීම නිසා හෝ සිය කාර්යයෙහි යෙදීමට නොහැකි යයි කල්පනා කරතහොත් ඔහු වෙනුවෙන් වැඩ බැලීමට අග්‍රාමාත්‍යවරයා පත් කළ හැකිය. තවත් විටකදී ජනාධිපතිවරයා සිය ධුරයේ කාර්යයන් සිදු කිරීමට තාවකාලික වශයෙන් අපොහොසත් වීමත් ඒ වෙනුවට සිය අභිප්‍රාය අනුව කෙනෙක් තෝරා පත් කර ගැනීමට හෝ බැරි අවස්ථාවක පසු වෙතැයි අග්‍ර විනිශ්චයකාරවරයා හා කථානායකවරයා අතර වූ එකඟත්වකින් පසුව ජනාධිපති ධුරයෙහි වැඩ බැලීමට අග්‍රාමාත්‍යවරයා කැඳවිය හැකිය. මීටත් අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ පෙත්සමක් අනුව එම මණ්ඩලය විසින් ජනාධිපතිවරයා හට යළිත් ධුරයේ වැඩ බැලීමට නුපුළුවන් බව තීරණය කිරීමෙන් හෝ එබඳු පෙත්සමක යෝජනා කර ඇති පරිදි වරදකරු බව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගන්නේ නම් හෝ ඉන් ඇති වන පුරප්පාඩුවට පාර්ලිමේන්තුව විසින් සුදුස්සකු පත් කර ගන්නා තෙක් අගමැතිවරයා වැඩ බලන්නේය.

කිනම් හේතුවක් නිසා හෝ තාවකාලිකව ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇතිවූ විට අග්‍රාමාත්‍යවරයාට එහි වැඩ බැලීමට පිළියෙල කිරීම වැනි ඍජු විසඳුමක් තිබියදී ඒ සඳහා මෙතරම් අවුල් සහගත ක්‍රමයක් යොදා ඇත්තේ කුමකටදැයි කෙනෙකුට සාධාරණව ප්‍රශ්න කළ හැකිය.මේ සම්බන්ධයෙන් කිසිදු අර්බුදයක් ඇති නොවීම සඳහා අගමැතිවරයා උප ජනාධිපතිවරයා ලෙස නම් කළ හැකිය. ඇමෙරිකාවේ සෙනෙට් සභාවේ සභාපති එහි උප ජනාධිපති වරයාද වෙයි. ඉහතින් අසන ලද ප්‍රශ්නයට පිළිතුර නම් දේශපාලන අවශ්‍යතාව යන්නයි. එක්සත් ජාතික පක්ෂයේ වැඩි පිරිස නොවේ නම් ඉන් විශාල පිරිසක් ප්‍රේමදාස මහතා අගමැති වීම ගැන සතුටු නැත. එහෙත් ප්‍රේමදාස මහතාට පක්ෂපාතී අනුගාමිකයන් ඇති බැවින් ඔහු අගමැති වශයෙන් පත් නොකරන ලද්දේ නම් පක්ෂය බිඳී යාමට ඉඩ තිබුණි. එබැවින් අග්‍රාමාත්‍ය ධුරය දැන්වීම් පුවරුවට පමණක් සීමා කොට, ජනාධිපති ධුරයෙහි වැඩ බැලීම තාවකාලික පත්වීමක් කොට, දෙපසම සංසිඳවා තිබේ.


(2) ඉන්දියානු ව්‍යවස්ථාව

බුදු දහමට විරුද්ධ බලවතුන් අතට ඉන්දියාවේ බලය පත්වීමේ අනිෂ්ට ප්‍රතිඵලය වූයේ නොයෙක් ජාතීන්ට අයත් බෞද්ධ ජනයා 'අඡූත' මිනිසුන් කොට්ඨාසයක් ලෙසට බලයෙන් වර්ගීකරණය කිරීමය. 'අඡූත' යන වචනයේ තේරුම 'ස්පර්ශ නොකළ යුතු' යන්නය. 'අතින්වත් නොඇල්ලිය යුතු තරමට පිළිකුල් කළ යුතු' යනු එහි සරල අදහසයි. එය ඉංග්‍රීසි බසින්
untouchable යනුවෙන් හැඳින්වේ. බමුණන්ගේ මනු නීතිය අනුව ඉන්දියානු සමාජයේ මිනිස් වර්ගයා කුල සතරකට බෙදා ඇත. එය 'චතුර් වර්ණ භේදය' නමින් දැක්වේ. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යනු ඒ සතරයි. ශාස්ත්‍ර ඒකාධිපතියෝ බ්‍රාහ්මණයෝය. රාජ්‍ය පාලනය ක්ෂත්‍රියයන්ගේම භුක්තියකි.වෙළෙඳ ඒකාධිකාරය වෛශ්‍යයන් සතු උරුමයකි. ශුද්‍රයෝ අර තුන් ගොල්ලන්ගේම දාසයෝ වෙති. 'අඡූත' නමින් හැඳින්වෙන්නේ ශුද්‍රයන්ටත් වඩා පහත්ම පහත් ලෙස සැලකෙන ජන කොට්ඨාසයකි. අන් කිසිම කුලයකට අයත් මිනිසුන් විසින් අතින්වත් ස්පර්ශ කිරීමට තරම් නොවටිනා ගර්හිත, අධම, තුච්ඡ මිනිස් වර්ගයක් ලෙසිනි 'අඡූත' ජන කොට්ඨාසය සැලකුණේ.
ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ 'මහාර්' නමින් හැඳින්වෙන්නේ එවැනි එක් 'අඡූත' ජන වර්ගයකි. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවර ආචාර්ය භීමරාවෝ රාම්ජී ආම්බෙඩ්කර් 1891 අප්‍රේල් 14 වැනි දා උපත ලැබුවේ කොංකණ ප්‍රදේශයේ එක්තරා 'මහාර්' පවුලක දරුවෙකු ලෙසිනි. කුඩා කල දිනක් ඔහු කෙස් කපා ගනු පිණිස කරණවෑමියා වෙත ගියේය. අඡූතයෙකැයි ඔහු එලවා දැමුණි. පාසලේ සියලු ළමයින් ඉගෙන ගත්තේ බංකුවක වාඩිවී පොත්පත් මේස උඩ තබාගෙනය. කුඩා ආම්බෙඩ්කර්ට වාඩි වීමට සිදු වූයේ පැදුරක් මතය. අනෙක් ළමයින් ක්‍රිකට් ආදී ක්‍රීඩාවල යෙදෙන දෙස හිත වාවාගෙන බලා සිටීමට පමණක් ඔහුට සිදු විය. පයිප්පය අතින් ඇර වතුර බීම ඔහුට තහනම් වූ නිසා ඔහුට පවස නිවා ගත හැකි වූයේ අනිත් ළමයින්ගේ අතින් ඇරුණු පයිප්පයෙනි. වරක් පින් තාලියකින් වතුර බීමට ගිය ඔහුට හොඳටම ගුටි බැට කෑමට සිදු විය.දිනක් ඔහුට හදිසි ගමනක් යෑමට අවශ්‍ය විය. කිසිම කරත්ත කාරයෙක් ඔහු රැගෙන යෑමට ඉදිරිපත් නොවීය. ආම්බෙඩ්කර් ස්වභාවයෙන්ම ආත්මාභිමානී චරිතයකි. මෙවැනි වෙනස්කම් කිරීම් හා තවත් එවැනි අමිහිරි අත්දැකීම් නිසා ඔහුගේ උදාර චරිත පෞරුෂ්‍යයබ්‍රාහ්මණයන්ගේ මනුෂ්‍ය ද්‍රෝහී චතුර් වර්ණ ව්‍යවස්ථාවට පරම හතුරු බුද්ධි බලවේගයක් බවට පත් වූයේ ඉබේය.

කෘෂ්ණා ජී කේලුස්කර් ආචාර්යවරයා හමුවීම ආම්බෙඩ්කර්ගේ ජීවිතයේ ඥාන අරුණෝදය විය. ඔහු මැට්‍රික් විභාගය සමත් වීම එහි ඉෂ්ට පලයකි. වරක් බොම්බායට පැමිණි විද්‍යාප්‍රේමී සයාජීරාව ගායක්වාඩ් මහා රාජා මෙසේ ‍ ප්‍රකාශයක් කළේය.

"මම බුද්ධිමත් අඡූත ශිෂ්‍යයෙකුට ආර්ථික වශයෙන් උදව් කිරීමට කැමතියි!"

කේලුස්කර් ආචාර්යවරයා ආම්බෙඩ්කර් රැගෙන මහා රාජා වෙත ගොස් ඔහුගේ පොරොන්දුව ඉටු කරවා දුන්නේය. එහි පලය වූයේ ආම්බෙඩ්කර් B.A විභාගය සමත් වීමය. තවත් වරක ඔහු බඩෞදාහි නරේන්ද්‍ර හමුවීමට ගියේ තම නිවාස ප්‍රශ්නය හා භෝජන ප්‍රශ්නය විසඳා ගැන්මටය. එහිදී නරේන්ද්‍රයා ඔහුගෙන් වෙනත් ප්‍රශ්නයක් ඇසීය.

"මම ඔබ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ඇමෙරිකාවට යැවීමට බලාපොරොත්තු වෙනවා.ඔබ ඒකට කැමතිද?"

"ඔබ උදව් කරනවා නම් මම කැමතියි!"

දැන් ආම්බෙඩ්කර් ඉන්දියාවේ නොව ඇමෙරිකාවේය. ඉන්දියාවේ අඡූත වසංගතය එහි නොවීය.සියලු ශිෂ්‍යයෝ සමානයෝය.කොලම්බියා විශ්වවිද්‍යාලයේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳ මහාචාර්ය සෙලිග්මාන් තම ශිෂ්‍ය ආම්බෙඩ්කර් ඇගැයුයේ මෙසේය.

"ඇමෙරිකාවේ ශිෂ්‍යයන් අතර පවා ඔහු වැනි ශිෂ්‍යයෙක් නැත."

වසර දෙකකට පසු ආම්බෙඩ්කර්ට M.A උපාධිය ලැබුණ අතර නොබෝ කලකින් ඔහු P.H.D එනම් ආචාර්ය උපාධියද අත් පත් කර ගති. බොම්බායේ සිඩේන්හැම් කොලීජියේ හා සෙන්ඩ්හස්ටේ කොලීජියේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳ මහාචාර්ය පදවි දැරූ ආම්බෙඩ්කර් යළි ලන්ඩනයට හා ජර්මනියට ගොස් නව උපාධි ලබා ඉන්දියාවට පැමිණියේය. දැන් ඔහු
M.A , P.H.D , D.S.C , Barrister at Law යන උපාධි සියල්ලම දිනා ගත්තෙකි.

අර්ථශාස්ත්‍රය , නීතිය සහ ආණ්ඩුක්‍රම විෂය පිළිබඳ විශාරද බුද්ධිමතෙක් වූ ආචාර්ය ආම්බෙඩ්කර් ශ්‍රී ජවහර්ලාල් නේරු අග්‍රාමාත්‍යවරයාගේ පළමු වැනි අමාත්‍ය මණ්ඩලයේ නීතිය හා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය වරයා විය. ඉන් පසු ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීම සඳහා පිහිටු වූ කොමිටියේ සභාපතිත්වය දැරීමේ ගෞරවයද ඔහුටම අත් පත් වූයේ ඔහු තුළ පැවැති ආණ්ඩු ක්‍රම විෂය විශේෂඥ භාවය නිසාමය. 1956 දෙසැම්බර් 06 වැනිදා නව දිල්ලියේදී දිවංගත වූ ඔහු තම ජීවිතයේ අවසාන භාගයේදී කුල පීඩනයට අනුබල දුන් හින්දු සමය අත හැර කුලවාදය පිටු දුටු සමානාත්මතා දහමක් වන බුදු සමය වැලඳ ගත්තේ පන් ලක්ෂයකට අධික තම අඡූත ජනයා සමගිනි.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කොමිටියේ සාමාජිකයන් හය දෙනෙකු සිටිය මුත් එහි සම්පූර්ණ නිර්මාණ කාර්යය තනියම කිරීමට සිදුවූයේ ආම්බෙඩ්කර් ආචාර්යවරයාටය. හය දෙනාගෙන් එක් අයෙක් මිය ගියේය. තවෙකෙක් ඇමරිකාවට ගොස් සිටියේය. අනිකෙක් වෙනත් නොයෙක් රාජකාරිවල පැටලී සිටියේය. දෙදෙනෙක් දිල්ලියෙන් ඈතින් ඈත සිටීම කරණ කොට ගෙන විශේෂ සහභාගිත්වයක් දැක්වීමට අසමත් වූහ.

ආචාර්ය ආම්බෙඩ්කර් තම පරම පරිශ්‍රමයෙන් සම්පාදනය කළ ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිටපතට සූචි 08ක් සහ වගන්ති 315ක් ඇතුළත් විය. 1948 නොවැම්බර් 04 වැනිදා එම පිටපත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරමින් ආම්බෙඩ්කර් ආචාර්යවරයා පැවසූ මේ වදන් අසත්වා!

"මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට කුමක් හෙයින් පැමිණියෙම්ද? හුදෙක්ම අඡූත ජනයාගේ යහපත ආරක්ෂා කිරීම සඳහාය.

"නිදහස ,සමානත්වය හා සහෝදරත්වය මත ස්ථාපනය වී ඇති ජීවනයම ප්‍රජාතන්ත්‍රය වශයෙන් හැඳින්වේ. ඉන්දියාවේ සමානත්වය සම්පූර්ණයෙන්ම දක්නට නොලැබේ. දේශපාලනයෙහි අපට සමානත්වයක් ලැබී ඇති මුත් සාමාජික මෙන්ම ආර්ථික ජීවනයේ විෂමතාවයම දක්නට ලැබේ.

"අද 'අපි එක රටක්වෙමු' යි

අපිම කියා ගනිමු නම් එය සමහර විට ආත්ම වංචාවක් විය හැකිය. ජාති , උප ජාති දහස් ගණනකට බෙදුණ රටක් එක රටක් විය හැක්කේ කෙසේද? එබඳු සියලු බාධාවන් දුරු කර අපි එක ශක්තිසම්පන්න රටක් සෑදිය යුත්තෝ වෙමු!"

ස්වකීය මාතෘ භූමියේ වෙසෙන ජනයා පමණක් නොව සකල ලෝකයේම වෙසෙන ජනයාද ශීර්ෂ ප්‍රණාමයෙන් සදා සිහි කරන ආචාර්ය භීමරාවෝ රාම්ජී ආම්බෙඩ්කර් නම් අභීත මානව ප්‍රේමියා එදා තමා විසින් නිර්මිත ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කොට තිරසර නීතියක් බවට පත් කරන ලද 16 ,17 , හා 244-244 A යන අගනා වගන්ති මෙසේය:


(16) වැනි වගන්තිය:

ජනතාවට රැකියා සැපයීමේදී සමාන අවස්ථා සැලසීම.

(17) වැනි වගන්තිය:

අඡූත (ස්පර්ශ නොකළ යුතු) ජන වර්ග වාදය (untouchability) අහෝසි කිරීම.


(244-244 A) වැනි වගන්තිය:

සමාජ අසාධාරණයට ලක් වූ ජන කොට්ඨාසවල හා ආදිවාසී ජනයාගේ මානව හිමිකම් සුරැකීම.

 

(3) පීඩිතයෝ රජ වෙති.

ඉන්දියාව ජාතික නිදහස ලබා හැත්තෑපස් වසරක් පිරීමත් සමගම එරට සිදුවූ ඓතිහාසික සිද්ධියක් දෙස මුළු ලොවම දෑස දල්වා බලා සිටියේය. එනම් එක්තරා ආදිවාසී කාන්තාවක ඉතිහාසයේ පළමු වරට ඉන්දියාවේ රාෂ්ට්‍රපති භවනේ රාෂ්ට්‍ර පතිනිය වීමය. නැතහොත් රාෂ්ට්‍රපති පදවියට පත්වීමය. ඇය ද්‍රෞපදී මුර්මු මහත්මාවයි. ඇය අයත් වන සන්තාල් නමැති ආදිවාසී ජන කොට්ඨාසය ඒ ගණයට වැටෙන අනික් ඒවා අතර විශාලත්වය අතින් මෙන්ම පුරාණත්වය අතින්ද මුල් තැනක් ගනියි. ඉන්දියාවේ ආදිවාසී ජනයා රටේ මුළු ජනගහනයෙන් සියයට 8.06ක් ලෙස සැලකේ. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (05) වැනි උපලේඛනය (schedule) යටතේ ආදිවාසී ජනයා සමාජ අසාධාරණයට ලක් වුණ ජන කොට්ඨාසයක් හැටියට නිල වශයෙන් පිළිගැනීමට භාජනය වී ඇත. ඔවුන් එහි හැඳින්වෙන්නේ උපලේඛන ගත ආදිවාසී ජන කොට්ඨාස (scheduled tribes) යන විශේෂ යෙදුමෙනි. ඉන්දියාවේ එවැනි ජන කොට්ඨාස 645 ක් පමණ ඇත.

යශ්වාන් සිංහ නම් තරගකරුවා පරදවමින් ද්‍රෞපදී මුර්මු මහත්මාව ඉන්දීය ජනපති තරඟයෙන් ජයග්‍රහණය කළ බව 2022 ජූලි මස 21 වැනි බෘහස්පතින්දා ලෝකයට ප්‍රකාශ වීමත් සමගම මනුෂ්‍ය සාධාරණත්වය සහ සමානාත්මතාව අගයන ජන හදවත් සතුටින් ඔකඳ වූවා නිසැකය. ඉන්දියාවේ මෙම පරමෝත්තර තනතුරට පත් පළමු ආදිවාසී කාන්තාව වන ද්‍රෞපදී මුර්මු මහත්මාව එම පදවිය ලත් දෙවැනි වනිතාවයි. ඉන්දියාවේ රාෂ්ට්‍රපති පදවියට පත් පළමු වනිතාව වූයේ ප්‍රතිභා පතිල් මහත්මාවයි. ඇය ඉසිලුවේ ඉන්දියාවේ 12 වැනි රාෂ්ට්‍රපති පදවියයි.

ද්‍රෞපදී මුර්මු මහත්මාව පත්වූයේ ඉන්දියාවේ 15 වැනි රාෂ්ට්‍රපති පදවියටය. එම පදවියට පත් දෙවැනි කාන්තාව මෙන්ම පළමු වැනි ආදිවාසී කාන්තාවද වූ ඇයට පෙර ඉන්දියාවේ 14 වැනි රාෂ්ට්‍රපති පදවිය ඉසිලුවේ රාම්නාත් කෝවින්ද් මහත්මාය. ඔහු වූකලී පහත් යැයි සම්මත දලිත් නම් ජන කොට්ඨාසයෙන් රාෂ්ට්‍රපති පදවියට පත් දෙවැන්නාය.

පළමුවැන්නා වූයේ ඉන්දියාවේ 10 වැනි රාෂ්ට්‍රපති පදවිය දැරූ කේ.ආර්.නාරායන් මහත්මාය. සමාජ අසාධාරණයට ලක් වුණ ජන කොට්ඨාස හැටියට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිල වශයෙන්ම පිළි ගෙන ඇති අඡූත (ස්පර්ශ නොකළ යුතු/untouchable)

ජන කොට්ඨාසය හා පහත් යැයි සම්මත සෙසු ජන පිරිස්ද හැඳින්වීමට ඉන්දීය ව්‍යවස්ථාවේ යෙදී ඇති නිල යෙදුම වනාහි 'උපලේඛන ගත කුල' (scheduled castes) යන්නය.

ඉන්දියාවේ 03 වැනි රාෂ්ට්‍රපති පදවියට පත් වූයේ මුස්ලිම් ජාතිකයෙකි. ඔහු වූකලී සකීර් හුසේන් මහත්මාය.විශිෂ්ට ගණයේ අර්ථ ශාස්ත්‍රඥයෙකු මෙන්ම ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙක්ද වූ ඔහු ඉන්දියාවේ කීර්තිමත් .දේශපාලනඥයෙක් විය.

ද්‍රෞපදී මුර්මු මහත්මාව 1958 ජුනි මස 20 වැනි දින ජන්ම ලාභය ලැබුවේ අන්ත පසුගාමී දිස්ත්‍රික්කයක් වූ මයුර්බාන්ජ්හි උපර්බේද නම් ගමේ සන්තාල් නමින් දන්නා ආදිවාසී පවුලක දැරියක ලෙසිනි. දර ළිපේ ඉයූ පිහූ , අතින් වතුර ඇද ගත් , වැස්සට කොටන විදුලිය පමණක් දකිමින් , කුප්පි ලාම්පු එළියෙන් සියලු වැඩ කර ගත් මිනිසුන් විසූ එකී ගමේ පවුල්වලින් පළමුව පාසල් ගිය දැරිය වූයේ ද්‍රෞපදීය. ඇය අකුරු කළ රාම දේවි ගෑනු පාසල දැන් ඔඩිසාහි බුවනේස්වර නගරයේ රාම දේවි කාන්තා විශ්වවිද්‍යාලය බවට පත්ව ඇත.

පළමුව ගුරුවරියක ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ

ද්‍රෞපදිය පසුව රජයට අයත් ආයතන කීපයක සේවයෙහි නිරත වූවාය. ඇගේ දේශපාලන ජීවිතය ඇරඹෙන්නේ රයිරන්ග් පූර් නගර සභාවෙනි. ඒ 1997 අවුරුද්දේ එහි නාගරික මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වීමෙනි. පසුව ඇය එහි නගරාධිපතිනියද වූවාය. අනතුරුව ද්‍රෞපදිය රයිරන්ග් පූර් ව්‍යවස්ථාදායක සභාවේ සභිකවරියක ලෙස දෙවරක්ම පදවි දරුවාය.ඔඩිසා ප්‍රාන්තයේ දුෂ්කර ගමකින් මතු වුණු පළමු ආදිවාසී කාන්තා නායකත්වය වූ ද්‍රෞපදී මුර්මු මහත්මාව පසු කලෙක එම ප්‍රාන්තයටම අයත් ජහර්කන්ඩ්හි පළමු ආණ්ඩුකාරවරිය බවට පත්වීම ඇගේ දේශපාලන ගමන් මගේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් විය. එකල බලයේ සිටි ආණ්ඩුවද දැනුවත්ව සම්මත කර ගැන්මට තැත් කළ ඉඩම් පනත් දෙකකට ආණ්ඩුකාරිය වශයෙන් ඇය එක හෙළා විරුද්ධ වූයේ ඉන් තම ආදිවාසී ජන වර්ගයාට සිදුවිය හැකි බලවත් අනර්ථය ගැන සැලකීමෙනි. තමාද අයත් ආණ්ඩු පක්ෂය ගෙනා පනත් බැව් නොසලකා එම පනත්වලට එරෙහි වීමෙන් ඇය දැක්වූ ජන කරුණාව නිසා ඇගේ කිතු ගොස තුඩ තුඩ පැතිර ගියේය.

අවසානයේ ද්‍රෞපදී මුර්මු මහත්මාව සකල ඉන්දීය රාජ්‍යයේම පළමු පුරවැසියා සේම එරට සන්නද්ධ ත්‍රිවිධ හමුදාවන්ගේම ආඥාපතිද වූවාය. ආචාර්ය භීමරාවෝ රාම්ජී ආම්බෙඩ්කර් නම් මනුෂ්‍යයෝත්තමයා එදා තමා විසින් නිර්මිත ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කොට තිරසර නීතියක් බවට පත් කරන ලද 16 ,17 , හා 244-244 A යන අගනා වගන්ති නොවන්නට ආදිවාසී කාන්තාවක වන ද්‍රෞපදී මුර්මු මහත්මාව හට පමණක් නොව පහත් යැයි සම්මත කුලයකට අයත් සෑම පුද්ගලයෙකුටම ඉන්දියාවේ පරමෝත්තර තානාන්තරය වන මෙම රාෂ්ට්‍රපති පදවි ප්‍රාප්තිය හුදු සිහිනයක්ම වනු ඒකාන්තය.

 



අදහස් (0)

78 ව්‍යවස්ථා මාරකය

ඔබේ අදහස් එවන්න

මතක හා මතය

සිංහලයේ වෙසෙස් වියරණ ලකුණු
2024 නොවැම්බර් මස 19 71 0

’ෆේස් බුක්’ මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි.


ලේඛකයන්ට ශේඛර වන් අමරසේකර
2024 නොවැම්බර් මස 12 280 1

සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 96 වැනි වියට එළැඹෙණුයේ 2024 නොවැම්බර් 12 වැනි දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!


එක වහලක් යට තිස් වසරක මතක
2024 නොවැම්බර් මස 05 150 0

මා මාර්ටින් වික්‍රමසිංහ මහාශයන්ගේ ආවේශාත්මක වූත් ආස්වාදාත්මක වූත් සමීප ආශ්‍රය ලබමින් විසූ භාග්‍ය සම්පන්න සමයේ එක්තරා අවස්ථාවක මම ඔහුගෙන් මේ පැනය වි


පැරණිම රැකියාව දූෂණයද?
2024 ඔක්තෝබර් මස 29 216 0

ඇස්. පියසේන (සේනාධීර පියසේන) නම් බහුශ්‍රැත හා පරිණත මාධ්‍ය විශාරදයාණන් සමග ඉතා ළංව ඇසුරු කිරීමට ලැබීම මගේ පරම භාග්‍යයකි. අනූ වියද ඉක්ම මියෙන තෙක්ම පැහැද


78 ව්‍යවස්ථා මාරකය
2024 ඔක්තෝබර් මස 22 113 0

නව ව්‍යවස්ථාවක් පතන ලක් පුරවැසියන්ගේ අවධානය පිණිසය !


සම්මාන උන්මාදය
2024 ඔක්තෝබර් මස 15 367 0

සංස්කෘත භාෂාවේ එන ’මන්’ ධාතුව හෙවත් ක්‍රියා මූලය කෙරෙන්, ’දැනගැනීම’, ’සිතීම’, ’මැනීම’, ’සලකා බැලීම’, ’ගරු කිරීම’, ’ආඩම්බර වීම’, යන අර්ථ සූචනය වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 447 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 688 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1951 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site