සාහිත්‍යය හා දේශපාලනය විෂය කර ගනිමින් ලේඛන කාර්යෙහි නිරත වත්මන් බොහෝ සිංහල ලේඛකයෝ උග්‍ර රෝග දෙකකට ගොදුරුව සිටිති. මෙම තත්වය ලේඛක, පරිවර්තක, විචාරක යන ත්‍රිපක්ෂයටම එක සේ අදාළ වෙයි. පළමු රෝගය බලමු. එනම්, නිරාකූල ලෙස අර්ථ ප්‍රකාශ වන සිංහල වාක්‍ය වෙනුවට අර්ථග්‍රහණය නොකළ හැකිවන අන්දමේ ව්‍යාකූල අසිංහල වාක්‍යය ලිවීමය. මෙම රෝග තත්වය වූකලී වාක්‍ය ගැළපීමේ පළමු අභ්‍යාසය වන ක්‍රියාකාරකපදසම්බන්ධය නොදැන්මේ අනිවාර්ය ආදීනවයක් මිස අනිකක් නොවේ.
මේ ආප්ත ශ්ලෝකය කියවා වටහා ගනිත්වා!
ක්‍රියාකාරක සම්බන්ධං
යේ න ජානාති මානවෝ
පදේ පදේ විකංඛේය
වනේ අන්ධ ගජෝ විය
(යම්කිසි කෙනෙක් ක්‍රියාකාරකපද සම්බන්ධය නොදන්නේද ඔහු වනාහී සැකයෙන් පය තබ තබා වනයේ ඇවිදින අඳ ඇතෙකු වැන්න.)
දෙවන රෝගය නම් නියත නිරුක්ති අර්ථ නොදැන හිතුමතේ වචන වාත්තු කරමින් අති පණ්ඩිත මානයෙන් (හීන මානයෙන්) කරන අපභ්‍රංශ සංස්කෘත වචන භාවිතයයි.
මෙම ද්විධ භාෂා ව්‍යාධියේ අනිවාර්ය අනිෂ්ට දුර්විපාකය කුමක්ද? අසිංහල සිංහලය නවීන පන්නයේ සිංහලයක් කොට ගත්තාවූද, චතුර්වේද පාරප්‍රාප්ත සංස්කෘත ඥාාන සාගර ඉන්දියානු බ්‍රාහ්මණ පඬිවරුන්ද භීත කරවන අන්දමේ විපරීත පාරිභාෂික සංස්කෘත වචන කෝෂයක් හිතුමතේ භාවිත කරන්නාවූද සාහිත්‍ය සහ දේශපාලන ලේඛක, පරිවර්තක, විචාරක චූල පරපුරක් මෙන්ම ඔවුන්ගේ අන්ධානුකාරක සන්නිවේදක පරපුරක්ද අඳ බාල පාඨක පරපුරක් පිරිවරාගෙන මෙකල මෙරට උත්කර්ෂයෙන් වැජඹීමය.
එකී චූල පරපුරේ අපභ්‍රංශ අසිංහලය සහ අපභ්‍රංශ සංස්කෘතය ගැන විද්වතුන්ගේ මෙන්ම පොදු උගතුන්ගේද අවධානය යොමු කිරීම ශාස්ත්‍රීය වගකීමක් කොට සලකම්හ. ඔවුන් භාවිත කරන අපභ්‍රංශ සංස්කෘතය දෙසට පළමුව හැරෙමු. එම සංස්කෘතය ඔවුන්ටවත් දිරවා ගත හැකිවේද යන්න සැක සහිතය. තමාට දුරවබෝධ දෙයක් අනිකෙකුට සුබෝධ වන ආකාරයෙන් කෙසේ ප්‍රකාශ කරන්නද? මේ සංස්කෘත රෝග ලක්ෂණය වූකලී උග්‍ර ඌනතා දෙකක අනිවාර්ය දුර්විපාකයක් යැයි සිතමි. ඉන් එකක් ඉංග්‍රීසි මූලාශ්‍රය පොත් පරිශීලනය කරන ඇතැමුන් මුල් ඉංග්‍රීසි වදන්වල නිශ්චිතාර්ථ වටහා ගැනීමට අසමත් වීමයි. අනික පොදු හා පාරිභාෂික ඉංග්‍රීසි පද සඳහා නියතාර්ථ දෙන සංස්කෘත පර්යාය ශබ්ද බහුල ප්‍රාමාණික ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයක් නොමැති වීමයි. ඉංග්‍රීසි පද සඳහා සංස්කෘත පර්යාය ශබ්ද භාවිතයේදී පූර්වෝක්ත ලේඛක, පරිවර්තක, විචාරක ගණයා මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයම පිහිටකොටගන්නා බව ඔවුන්ගේ ලිපි ලේඛනවලින්ම සනාථ වෙයි. මේ අතර අතිපණ්ඩිතමානයෙන් ගර්විතව සංස්කෘත වචන හිතුමතේ වාත්තු කොට වහරන්නෝද බහුල වෙති.
ඉංග්‍රීසි ශබ්ද සඳහා වන සංස්කෘත ශබ්ද සපයා ගැන්මේදී පමණක් නොව සිංහල ශබ්ද දැනගැන්මෙිදීද මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයේ පශ්චාත් සංස්කරණ ප්‍රාමාණික වේද යන්න විචක්ෂණ භාෂාඥයන්ගේ විචාරක්ෂියට ලක් විය යුත්තකි. භාෂාන්තර සමයාන්තර
ඥානෝපශෝභිත පණ්ඩිත ශිරෝමණී ගුණපාල මලලසේකර මහාශයන් සතුව පැවැති බහුශ්‍රැත භාවයේ හා භාෂා විශාරදත්වයේ ඥාන උරුමය මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයේ තත් පශ්චාත් සංස්කරණයන්ගෙන් කෙමෙන් අදෘශ්‍යමානව ඇති හෙයිනි.
ඉංග්‍රීසි ශබ්ද සඳහා නියතාර්ථ සහිත සංස්කෘත පර්යාය ශබ්ද බහුල ලෙස අන්තර්ගත කොට මෙතෙක් පළව තිබුණේ එකම එක ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයක් පමණි. එය සම්පාදිත වූයේ ශ්‍රීමත් ඩී.බී.ජයතිලක ධීමතාණන් ආරම්භ කළ පළමු සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ ජූලියස් ද ලැනරෝල් භාෂා විඥයාණන් අතිනි. එය අද අමුද්‍රිතව නාම මාත්‍රව පවතින්නකි. මා මේ ශබ්දකෝෂය මුලින්ම මිලදී ගත්තේ පාසල් සිසුවියේදීය. එකල ගුවන් විදුලියේ වෙළෙඳ සේවය මගින් ප්‍රචාරය වුණු 'වාසනාව උදාව' නමැති දැනුම මිනුම ප්‍රශ්න විචාරක වැඩසටහනකින් දිනාගත් රුපියල් 25ක තෑගි මුදලිනි. එදා එහි මිල රුපියල් 25කි. ගුවන්විදුලියේ ප්‍රේක්ෂකාගාරයක් ලෙස වෙන් කළ වේදිකාවක් සහිත 6 වන මැදිරියේදී 'වාසනාව උදාව' වැඩසටහන ඉදිරිපත් කළේ එකල සිංහල සේවා ප්‍රධානියා වූ තේවිස් ගුරුගේ මහතාණන්ය. අතරින් පතර පිටු ගණනක් අතුරුදහන් වුවද සංස්කෘත ශබ්ද නිධානයක් වන් එම ජුලියස් ද ලැනරෝල් සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය හම් බැම්මෙන් බන්දවා මගේ ශබ්දකෝෂ රාක්කයට වැඩමවා සිටින්නේ අත්‍යන්ත සම්භක්ත භාවයකිනි. අදද මා එයින් ලබන මහත් ඵල මහානිශංස අප්‍රමාණය.
මෙකල වෙසෙන ශාස්ත්‍රාභිලාෂී ග්‍රන්ථ ප්‍රකාශකයෙකුට මේ විශිෂ්ට ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයේ නව මුද්‍රණයක් පළ කළ හැකි වේ නම් එය වනාහි වර්තමාන පරම්පරාව වෙනුවෙන් පමණක් නොව අනාගත පරම්පරාව වෙනුවෙන්ද ඉටු කෙරෙන උදාර ජාතික මෙහෙවරකි. අපභ්‍රංශ සංස්කෘතකාර චූල පරපුරටද එයින් මහත්මැ පිළිසරණක් වේමැයි. ඔවුන්ගේ ලේඛන, පරිවර්තන, විවේචන කියවන පාඨක ජනයා බහුලවීමටද එමගින් ඉඳුරා මග පෑදේමැයි. මක්නිසාදයත් ෆ්‍රැන්සිස් බේකන් පඬිතුමාගේ ත්‍රිවිධ ග්‍රන්ථ වර්ගීකරණයේදී නම් කළ හොඳම ග්‍රන්ථය සේ ඔවුන්ගේ ලේඛනද පහසුවෙන් කියවා දිරවා ගත හැකි වන හෙයිනි.
සංස්කෘත ශබ්දයන්ගේ නෛරුක්තිකාර්ථාවබෝධයෙන් තොරව අතිපණ්ඩිතමානයෙන් ගර්විතව හිතුමතේ වාත්තු කළ මේ අපභ්‍රංශ සංස්කෘත භාවිතය මගින් ඉඳුරා ප්‍ර්‍රකට වන්නේ තම භාෂා අඥත්වය මිස අනිකක් නොවේ. ඒ බැව් එම භාෂාන්ධයන්ට වටහා දීම ශාස්ත්‍රීය වගකීමක් හා යුතුකමක් නොවේද?
ඉන්දියාවේ අද පවා ඍෂිවරයන්, මුනිවරයන් ගණයෙහිලා සැලකෙන්නේ වේද වේදාංග අතැඹුල සේ දත් සංස්කෘත භාෂාවේ හසළ දැනුමක් ලත් බමුණු පඬිවරුන්ය. වේද වේදාංග යනු හින්දු සමය වාදීන්ගේ ආගමික සාහිත්‍යයයි. බමුුණු පඬිවරුන්ට පූජනීය තත්වයෙන් සැලකීමට ප්‍රධාන සාධකය වනුයේ මේ ආගමික සාහිත්‍යය විෂයෙහි ඔවුන් තුළ පවත්නා ගම්භිර ඥාන සම්භාරයයි. මුළු වේද සාහිත්‍යයම විරචිතව ඇත්තේ සංස්කෘත භාෂාවෙනි. එබැවින් ඉන්දියානුවන් තුළ සංස්කෘත භාෂාව කෙරෙහි පවත්නේද පරම පූජනීය මනෝ වෘත්තියකි. සංස්කෘත භාෂාව 'දෛවී භාෂා' නමින් හැඳින්වීමත් සංස්කෘත අක්ෂර 'දේවනාගරී' ලෙස නම් කිරීමත් මගින් ඒකාන්ත වශයෙන් ප්‍රකාශ වන්නේ ඉන්දියානු ජනයා තුළ සංස්කෘත භාෂාව හා අක්ෂර කෙරෙහි පවත්නා පාරම්පරික භක්ති චිත්තය නොවේද?
අනාදිමත් කාලයක සිට පැවති මූල ප්‍රාකෘත භාෂාවක් සංස්කරණය කිරීමෙන් නිපදවා ගත් අලුත් භාෂාවක් ලෙසය ඉන්දියාවේ පෞරාණික භාෂාඥයන් සහ වෛයාකරණයන් විසින් 'සංස්කෘත' භාෂාව හඳුන්වනු ලබනුයේ. 'සංස්කෘත' යන වචනයේ නිරුක්ත්‍යර්ථය වූකලී මනාව සකස් කරන ලද යනුයි. මූල ප්‍රාකෘතය මෙසේ සංස්කරණය කිරීමෙන් අභිනව සංස්කෘතය නිපදවන ලද්දේ කවුරුන් විසින්ද? ඒ ව්‍යාකරණ ශාස්ත්‍ර සාගර පාරප්‍රාප්ත ඉන්දියානු ධීමතා වනාහී 'පාණිනී' නාමධෙිය ආදි ආචාර්යවරයාණන්ය. ඉන්දියානු ජනයා ඔහු හඳුන්වන්නේද පාණිනී ඍෂි, පාණිනී මුනි යන ගෞරව සම්ප්‍රයුක්ත අභිධානයන්ගෙනි. මේ පෞරාණික වෛදික ඥාන ධාරාව පාදක කොටගත් ආචාර්ය පරම්පරා තවමත් ඉන්දියාව තුළ අඛණ්ඩව පවත්නා බැවින් එම ඥාන ධාරාවේ ප්‍රධාන ප්‍රකාශන යානය වන සංස්කෘත භාෂාවද පෙර සිට උරුමව පැවති දෛවී ගෞරවය නොඅඩුව ලබමින් අඛණ්ඩව එහි වැජඹෙනු අරුමයක් නොවේ. සංස්කෘත භාෂාව තම මව්බස සේ ව්‍යවහාර කරන ජනයා වෙසෙන ප්‍රදේශයන් අදද ඉන්දියාවේ විද්‍යමාන වීමෙන් එය මනාව සනාථ වෙයි.
පසු කලෙක ඉන්දියාවේ උත්කෘෂ්ට ලෞකික සාහිත්‍යයක් බිහිකිරීමටද සංස්කෘත භාෂාව ප්‍රබල ලෙස උපස්ථතම්භක විය. එහි සමෘද්ධිය හා ව්‍යාප්තිය කොතරම් ශීඝ්‍ර වීද යත් එහි බලපෑමෙන් මිදීමට තත් කාලීන ලාංකික සාහිත්‍යකරුවෝද අසමත් වූහ. මුලින් සිංහලයන්ගේ ප්‍රකාශන යානය වශයෙන් පැවති පාරම්පරික හුදු හෙළ බස ක්‍රි: පූ: 3 වන සියවසේදී සිදුවුණු මහින්දාගමනයත් සමග මාගධී ප්‍රාකෘත භාෂාව හා සම්මිශ්‍රණය විය.එය වූකලී එතෙක් මගධ භාෂාවෙන් පැවත ආ ත්‍රිපිටක ධර්මය ලංකාවේ විසූ හෙළ බස් ඇදුරන් හෙළ බසට පෙරැළීමේ ප්‍රතිඵලයකි. පසු කලෙක බුද්ධඝෝෂ ස්වාමිපාදයන් වහන්සේ විසින් එකී තෙවළා බුදු දහම ගැබ්වුණු හෙළටුවා සාහිත්‍යය යළි පාලි භාෂාවට පරිවර්තනය කරන ලදී. මේ පාලි භාෂාව දඹදිව පැවති මාගධී ප්‍රාකෘත භාෂාව නොව ලංකාවේ අනුරපුර සමයේ ප්‍රබල ථේරවාදී බෞද්ධ මූලස්ථානය වූ මහා විහාරයේ යතිවරයන් විසින් නිෂ්පාදිත බසක්ය යන්න අභිනව විද්වත් මතයයි.
කෙසේ වුවද කලකට පසු සිංහලයන්ගේ පාරම්පරික හෙළ බස පමණක් නොව මහා විහාර භික්‍ෂූන් විසින් නිර්මිත ආගමික භාෂාව වූ පාලියද යට කරමින් තත්කාලීන ඉන්දියාවේ ප්‍රබල ආගමික හා සාහිත්‍ය භාෂාව වූ සංස්කෘතය ලංකාවට පිවිසුණි. එය කෙසේ සිදුවූවක්ද? වළගම්බා රජු විසින් අභයගිරිය ගොඩනැගීමත් සමග එතෙක් නිරුපද්‍රිතව පැවති ථේරවාදී බුදුසමයට පළමු ආගමික අභියෝගය එල්ල විය. කුමක්ද ඒ? එනම් අභයගිරි විහාරය කේන්ද්‍ර කොට ගෙන බිහිවුණු බෞද්ධ මූලස්ථානය ථේරවාදයට ප්‍රතිවිරුද්ධ මහායානය වැලඳ ගැනීමයි. ථේරවාදී භික්ෂූන්ගේ ආගමික භාෂාව පාලිය වූ අතර අභයගිරි වාසී මහායානික භික්‍ෂූන්ගේ ආගමික භාෂාව සංස්කෘතය විය. මක්නිසාදයත් සියලුම මහායානික ග්‍රන්ථ විරචිත වූයේ දෛවී භාෂා නාමයෙන් ප්‍රචලිත සංස්කෘතයෙන් හෙයිනි.
මේ සංස්කෘත භාෂා ආක්‍රමණය සිදු වූයේ අනුරාධපුර යුගයේය. අද අප වෙසෙන්නේ 21 වන සිය වසේය.එදා අනුරාධපුර යුගයේදී සංස්කෘත භාෂාව සාමාන්‍ය සිංහල ජනතාවගේ කතාබහේදී මිශ්‍ර වශයෙන් වුව භාවිත විණැයි සසාධකව හෝ සකාරණව ඔප්පු කළ හැකි නොවේ. යතිවර ව්‍යවහාරයක් හැටියට වුව එය මහායානික භික්ෂු සංඝයා අතර මිස ථේරවාදී නිකායිකයන් අතර බහුලව ව්‍යවහාර වන්නට ඇතැයි සිතිය නොහැකිය. එදා එසේ වුවද අද තත්වය ඊට ඉඳුරාම වෙනස්ය. මෙකල සිංහලයා නිරන්තර කතා ව්‍යවහාරයේදී උපයෝගී කොට ගන්නා භාෂාව මුළුමනින්ම සංස්කෘත මිශ්‍ර භාෂාවක් බව ඔබ දන්නෙහිද? අප නමින් හෙළයන් වුවද මෙකල ගෙදර දොරේ පාසල් පද්ධතියේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍රීය පර්ෂදයේ ලේඛකයන් අතරේ මෙන්ම මාධ්‍යයන් අතරේද සතත ව්‍යවහාරයේ පවතින්නේ සංස්කෘත මිශ්‍ර සිංහල භාෂාව මිස හුදු හෙළු බස නම් නොවේමැයි. චතුර්වේද පාරප්‍රාප්ත සංස්කෘත භාෂා ඥාන සාගරායමාන ඉන්දියානු බ්‍රාහ්මණ පඬිවරුන්ද විස්මයෙන් පාෂාණීභූත කරන අපභ්‍රංශ සංස්කෘතයක් අභීතව හා අභිමානයෙන් භාවිත කරන සාහිත්‍ය සහ දේශපාලන ක්ෂේත්‍රයන්ට අයත් ලේඛක, පරිවර්තක, විචාරක චූ පරපුරක් මෙන්ම සන්නිවේදක පරපුරක්ද මෙකල මෙරට බිහි වී ඇත්තේ ඒ අතරය. ඔවුන්ගේ මේ අපභ්‍රංශ සංස්කෘතයේ හා එහි භාවිතයේ තතු ඉදිරි ලිපියකින් සසාධකව සකාරණව හෙළි කරම්හ.
ලොව ජීවමානව සිටි ශ්‍රේෂ්ඨතම චින්තකයා මාර්තු 14වැනි දා පස්වරු තුනට කාලක් තිබියදී තම චින්තන ක්‍රියාවලිය නතර කළේය. ඔහුට තනිව සිටින්නට ඉඩ හැරියේ යන්තම් වි
ශ්රී ලංකා ගුවන්විදුලිය ආරම්භ කොට 2025 දෙසැම්බර් 16 වන දිනට ශත සංවත්සරයක් ආයුෂ සපිරෙයි. එහි පදවීතිහාරයේ හෙවත් ගමන් මගේ සුලමුල ආවර්ජනයට ගත් තැතකි මේ.
සුචරිත ගම්ලත් පණ්ඩිත ශිරෝමණීහු ස්වකීය මානව ජීවන සම්ප්‍රදානය අරභයා භුවංගත වූයේ ක්‍රෛස්තවාබ්‍ද 1934 මැදින් මාසයේ 10 වනදාය.
සිංහල භාෂාව හා ව්‍යාකරණය මෙන්ම පාලි හා සංස්කෘත මිශ්‍ර පැරණි ගද්‍ය පද්‍ය සිංහලයද එසේම ඉංග්‍රීසියද ව්‍යක්ත ලෙස හදාරා නොමැතිකම නිසා උපන් හීනමානය සඟවා ග
සක් දෙවිගේ ඇරියුමෙන් දෙව්ලොව ගිය ගුත්තිල ගඳඹ ඇදුරිඳු යළි මනුලොවට පැමිණි බව ඇසූ පුරවැසියෝ ඔහු කරා එළැඹ සුරපුර සිරිසර ගැන තොරතුරු හෙළි කරන ලෙස අයැද සිටි
දිගු කලක සිට විශ්වවිද්‍යාලවල ජන සන්නිවේදන අංශ අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් විය. එනම් තම විද්‍යස්ථානයන්හි ජන සන්නිවේදන පාඨමාලා හදාරන ශිෂ්‍ය ජනයාහට ප්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අපභ්‍රංශ සංස්කෘතකාරයෝ