පී. බී. අල්විස් පෙරේරා කිවිඳුන්ගේ
ජන්ම ශත සංවත්සර උළෙල ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට යොදා ගෙන තිබුණේ2017 මාර්තු මස 03 වැනි දිනටය.ඒ නිමිත්තෙන් සමස්ත ලංකා කවි සම්මේලනය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිත
'පී. බී. කිවියර- සියවස් හරසර' නමැති
සමරු කලාපයේ සංස්කරණය පැවරුණේ කෘතහස්ත මාධ්‍ය වේදියෙකු මෙන්ම ගත්කරුවෙක්ද වූ මා මිත්‍ර පී.ඇම්. සේනාරත්නයන් හටය.එම පොතට ඇතුළු කිරීම සඳහා කීර්තිමත් ලේඛක, කිවියර සිරිලාල් කොඩිකාරයන්ගෙන් පී.බී.කිවිඳුන් ගැන කාව්‍ය රචනයක් ලබාගැනීමට අවශ්‍ය වූයෙන් ඔහු
හමුවීමට යෑමට සේනාරත්නයෝ මට
වෙසෙස් ඇරියුමක් කළහ. සිරිලාල් කොඩිකාරයන් මගේ අතිශය හිතෛෂී මිත්‍රයෙකු බව සේනාරත්නයන් ඉතා හොඳින් දන්නා හෙයිනි. මගේ කුලුපග මිත්‍ර
සිරිලාලුන් කලකට පසු දැකීමේ
බලවත් ස්නේහ උපන් හෙයින් මම
ගමනට එකහෙළා එකඟ වීමි.
අප දෙදෙනා සිරීගේ නිවසට ගියේ 2017 පෙබරවාරි 16 වැනි බෘහස්පතින්දා දිවා කලය. ඒ වන විට
ඔහු 93 වියේ පසු විය. ඔහු 1924
අගෝස්තු 24 වැනිදා උපත ලද්දෙකි.
එදා අප දෙදෙනා සිරීගේ කාමරයට
ඇතුළු වන විට දුටු චිත්තාහ්ලාද ජනක දර්ශනය එක් වරම මගේ සිහියට නැංවූයේ ලෝකප්‍රකට ප්‍රංශ නවකතාකරුVictorHugo(1802-1885)ගේ විශිෂ්ට ආප්ත වාක්‍යයකි.Victor Hugo යනු අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල සූරීන්ගේ පරිවර්තනයක් වන 'මනුතාපය' කෘතියට පාදක වුණු
'Les Miserables'(1862) නමැති මුල් ප්‍රංශ නවකතාවේ කතුවරයාය. ඒ ආප්ත වාක්‍යය මෙසේය.
"Forty is the old age of youth.
Fifty is the youth of old age"
එභි අරුත මෙසේ සිංහල පැදි
දෙපෙළකට නඟා දක්වමි.
"හතළිහ මහලු කාලය වෙයි තරුණ
වියේ
පනහා තරුණ කාලය වෙයි මහලු
වියේ"
'මහලු වියේ තරුණ කාලය'යනු
පරිණත ඥාන තාරුණ්‍යය මිස අන් කවරක්ද?
මිනිසාගේ පරම ආයුෂ වසර 100
සේ ගෙන එය දශක දශකයකට බෙදා දක්වන විග්‍රහයක් බෞද්ධ සාහිත්‍යයෙහි එයි.
මන්දෝ ඛිඩ්ඩා ච වණ්ණා ච
බලා පඤ්ඤා ච හායනා
පබ්භාරා ච පවංකා ච
මෝමූහා සයනා දස
ඒ අනුව පිළිවෙළින් මන්ද (පළමු 10 විය); ඛිඩ්ඩා (ක්‍රීඩාවෙන් ගෙවෙන 20 විය); වණ්ණ (හැඩ රුවැති 30 විය); බල (සිරුරු බලැති 40 විය); පඤ්ඤා (නුවණ මේරූ 50 විය); හායන (පිරිහීම ඇරඹෙන 60 විය); පබ්භාර (කෙළින් ඉන්න බැරි 70 විය); පවංක (වක ගැහෙන 80 විය); මෝමූහ (සිහි මුළා 90 විය); සයන (ඇඳට වැටෙන 100 විය ) යනු එම දශක දශකය වෙයි.
බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන එම දශක දශකය පිළිබඳ විග්‍රහය අනුව පස් වන දශකය හෙවත් 50 වන විය හැඳින්වෙන්නේ 'ප්‍රඥා' දශකය නමිනි. එය වනාහි ඉහත දැක්වුණු Victor Hugo ගේ ආප්ත වාක්‍යයේ පූර්ව ප්‍රකාශයක් වැනිය. එහෙත් අපේ රටේ විශ්‍රාම ගැන්වීම සිදුවන්නේ මේ ප්‍රඥා දශකයේය.
දශක දශකයට අයත් එක් එක්
දශකය හැඳින්වෙන නාම ව්‍යවහාර
අනුව නම් එදා සිරිලාල්
කොඩිකාරයන් සිටිය යුත්තේ
'මෝමූහ' හෙවත් සිහි මුළා
දශකයේය. 90 වන විය 'මෝ මූහ'
නම් වන හෙයිනි.එහෙත් සිරිලාලුන්
තවමත් පසු වනුයේ ප්‍රඥා දශකයේ බව සනාථ කළේ අප දෙදෙනා දුටු පෙර සඳහන් කළ හද ඔද වඩවන චිත්තාහ්ලාද ජනක දර්ශනයමැයි.
සිරිලාල්හු හාන්සි පුටුවේ ඇලවී
කන්නාඩියකින්ද තොරව වාත්ස්‍යායනගේ 'කාම සූත්‍රය' කියවති.
කාමරයට පිවිසුණු දෙදෙනා ඔහුගේ
අවධානයට ලක් නොවෙති.
මෙහෙකාරිය අප පැමිණ සිටින බව
ඔහුට සැල කර සිටී. ඉන් පසු අප
දෙදෙන හැඳිනගත් ඔහු හඬ නඟා
සිනාසී හෙමින් නැඟී සිට අප බදා වැලඳ ගනියි.පසුව කාම සූත්‍රය පොත
අතට ගත් ඔහු එය රචනා කළ
වාත්ස්‍යායන ආචාර්යවරයා වෙත
නිර්දය ප්‍රහාරයක් එල්ල කළේ තමා
තවමත් ප්‍රඥා දශකය ඉක්මවා නොමැති බව නියත ලෙස සනාථ
කරමිනි.
"මේකට 'කාම සූත්‍රය' කියල කිව්වට මොකද මේකෙ කාමය
තියෙන්නෙ බොහොම ටිකයි.
වැඩියෙන් තියෙන්නෙ අර්ථ,ධර්ම,
මෝක්ෂ.ඒ වුණාට 'චතුර්විධ පුරුෂාර්ථ' අතරෙන් "කාමය' තමයි
සාහිත්‍යය,සංගීතය,නාට්‍යය ආදි
කලාවන්ගෙ පහළවීමට මුල් වුණේ."
කාම කලාව අරබයා සම්පාදිත පැරණි භාරතීය ග්‍රන්ථවල සාරය ගැබ් කොට විරචිත ග්‍රන්ථයකි 'කාම සූත්‍රය'. කාමාස්වාදය මුල් කරගත් විධි නියමයන් මෙහි ලා 'සූත්‍ර' නාමයෙන් හැඟැවුණු බැව් සිතිය හැකිය. මෙය වාත්ස්‍යායන නම් ආචාර්යවරයාගේ කෘතියකි. ඔහු විසූ කාලය අවිනිශ්චිතය. එහෙයින් 'කාම සූත්‍රය' බිහිවුණු කාලයද අඥාතය.
ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යනුවෙන් දැක්වෙන්නේ සතර පුරුෂාර්ථයෝය. මෝක්ෂාදි පුරුෂාර්ථයන්ට ශාස්ත්‍රයක් අවශ්‍ය වේ නම් කාම පුරුෂාර්ථයටද වෙසෙස් ශාස්ත්‍රයක් අවශ්‍ය බව භාරතීයෝ කල්පනා කළහ. ශෘංගාර රස ප්‍රධාන සාහිත්‍ය, සංගීත, චිත්‍ර, මූර්ති ආදි කලාවන් පවතින්නේ කාම ශාස්ත්‍රය පාදක කොට ගෙනය. රමණයෙහි යෙදෙන ස්ත්‍රී පුරුෂයන්ගේ විවිධ විචිත්‍ර රමණ විලාස විධිවලට (Erotic Postures)
'කාම සූත්‍රය' වෙසෙස් තැනක් දී ඇත. ඒවා එහි හැඳින්වෙන්නේ 'ආසන බන්ධ ක්‍රම' යන නමිනි. මධ්‍යම ඉන්දියාවේ පිහිටි කජුරාහෝ දේවාල සමූහයට අයත් ගොඩනැගිලි බිත්තිවල අඹන ලද එකී කාම සූත්‍ර ආසන බන්ධ විලාස පිළිබිඹු කරන මනමෝහන මූර්ති කැටයම් අදත් දැකිය හැකිය. ඒවා වූකලී ආදි භාරත මූර්ති කලාවේ පරම නිර්මාණ ප්‍රාතිහාර්යෝ වැනියහ.
'කාම සූත්‍රය' අරබයා සිරීගේ මුවින් පිටවුණු ඒ නිවහල් එඩිතර
ප්‍රකාශය වහා මගේ මතකය ගෙන ගියේ මගේ ගෙදර ලියන කාමරයේ ෆයිල් කුසක් තුළ කලක පටන් ප්‍රසූතිය පතමින් විලි වේදනා විඳින පරිවර්තිත ලිපි සමුච්චයකට අයත් එක්තරා එඩිතර ලිපියක් වෙතය. මවිසින් සිංහලට නගන ලද
එම සියලුම ලිපි කීර්තිමත් ඉන්දියානු
ලේඛක, අදීන මාධ්‍යවේදී කුෂ්වාන්ත්
සිං ගේ ප්‍රබල මිසයිල ප්‍රහාරයන්ය. කා විනාශ කර දමනු වෙනුවට ඒ ලිපි මෙතෙක් පණ මෙන් රැකි කාවෝ, වේයෝ, මීයෝ මගේ සංසාර නෑයෝ නොවන්නෝද?
කුෂ්වාන්ත් සිං යනු ඉන්දියාවේ කීර්තිමත් සන්නිවේදකයෙකි. ප්‍රශස්ත ලේඛකයෙකි. නිවහල් මනසකින් යුත් කුෂ්වාන්ත් සිං සන්නිවේදකයෙකු ලෙස අඛිල භාරතීය ආකාශ්වාණියට බැඳීමත් සමග විශිෂ්ට වෘත්තියක ආරම්භය සිදුවිය. එතැන් සිට ඔහු ඉන්දියාවේ කීර්තිමත් පුවත්පත් රාශියක කර්තෘත්වය හෙබවීය. එසේම ලේඛකයෙකු වශයෙන්ද ඔහු ඉන්දියානු සාහිත්‍යයට විශිෂ්ට සේවාවක් සිදු කර ඇත. Train to Pakistan, Company of Women යන සුප්‍රකට කෘති ඇතුළු නවකතා,
කෙටිකතා හා පරිවර්තන මෙන්ම ප්‍රබන්ධ ගණයට නොවැටෙන කෘතිද ඔහුගේ එකී සාහිත්‍යය සේවයෙහි විපුල ඵල වෙයි. විවිධ සම්මානයන්ගෙන් පුද ලද ඔහුට 1974 වසරේදී ඉන්දියානු ජනාධිපතිවරයා විසින් 'පද්මභූෂණ' සම්මානය පිරිනමන ලදී. එහෙත් ඒකාබද්ධ ආණ්ඩුව විසින් අම්රිත්සාරයේ රන්දෙවොල ආක්‍රමණය කරන ලද අවස්ථාවේ ඊට විරෝධය ප්‍රකාශ කිරීමක් වශයෙන් 1984 වසරේදී ඔහු එකී සම්මාන පදක්කම ආපසු ආණ්ඩුවට භාර දුන්නේය.
කුෂ්වාන්ත් සිං ගේ ඉහත මා සඳහන් කළ එම එඩිතර ලිපියෙන් ඔහු 'කාම සූත්‍ර' ග්‍රන්ථ කර්තෘ
වාත්ස්‍යායන ආචාර්යවරයා වෙත
එල්ල කළ මිසයිල ප්‍රහාරයයි මේ! එය කියවන කෙනෙකු තුළ අපේ සිරිලාලුන්ද කුෂ්වාන්ත් සිං ගේම
නැකතින් උපන්නෙක් නොවේදැයි යන හැඟීම හට ගතහොත් එය කවර අරුමයක්ද!
"මා මෙතෙක් කියවා ඇති අමනම,
අවිද්‍යාත්මකම කාම විද්‍යා ග්‍රන්ථය
වාත්ස්‍යායනගේ කාම සූත්‍රයයි.ඔහු
විසින් ගැහැනුන් හා පිරිමින්
වර්ගවලට බෙදා ඇත්තේ තම තමාගේ ජනනේන්ද්‍රියවල ප්‍රමාණය
අනුවය.මෙහි කිසිම පදනමක් නැත.
පිරිමින් සා, අශ්ව සහ ගව යෝනි
වශයෙනුත් ගැහැනුන් මුව, වෙළඹ සහ
ඇත් යෝනි වශයෙනුත් ඔහු වර්ග
කර ඇත්තේ ගැහැනු - පිරිමි කායික
සම්බන්ධය පිළිබඳව තමා කරන
විග්‍රහය පදනම් කර ගනිමිනි.මෙය
අත්‍යන්ත අත්තනෝමතික වර්ග
කිරීමකි.
"ගැහැනු - පිරිමි සමීප කරන සෑම
ක්‍රියාවක්ම පාහේ ගණනය කිරීමට
ඔහු දක්වන අභිරුචියද එසේමය.
64 සංඛ්‍යාවෙහි ඔහුට එක්තරා
ආකාරයක ගුප්ත වැදගත්කමක්
ඇත. චතුර්වර්ණයන් විසින් කඩ
නොකළ යුතු කුල චාරිත්‍ර 64ක් ඔහු
පෙළ ගසා ඇත්තේ මනු නීතිය අනුව
යමිනි. මේ ගණයේ නිබන්ධයක් අද
කා හට නම් බරපතළ කෘතියක් ලෙස
පිළිගත හැකිද?
'කාමසූත්‍රය'හොඳ කාමාස්වාද ජනක ග්‍රන්ථයක්ද නොවේ.එය මුළුමනින්ම අමන වූත් බොහෝ විට හාස්‍ය ජනක වූත් කෘතියකි. ඊට අනුග්‍රහ පිණිස පැවසිය හැකි එක් දෙයක් ඇත. එනම් එය ගුප්ත යුගයට අයත් ස්වර්ණ යුගය උදාව පැවති ක්‍රි:ව:04 වන සිය වසට සමීප කලක සම්පාදනය වූ බවය. එසේම එකල පැවති නිදහස් විවෘත සමාජය පිළිබඳ යම් කිසි අදහසක් එමගින් පාඨකයාට ලැබෙන බවය. රටේ නොයෙක් තැන්වල ශෘංගාරාත්මක ප්‍රතිමා කලා සහ චිත්‍ර කලා සශ්‍රීකව පැවතුණේද මේ කාලය තුළය."
සාහිත්‍යය හා දේශපාලනය විෂය කර ගනිමින් ලේඛන කාර්යෙහි නිරත වත්මන් බොහෝ සිංහල ලේඛකයෝ උග්‍ර රෝග දෙකකට ගොදුරුව සිටිති.
භද්‍ර යෞවන වියෙහි කල් ගෙවන සුකුමාරමතික ප්‍රේමවන්තයන්ගේ ප්‍රේම අල්ලාප සල්ලාප රසාලිප්ත කොට වර්ණනා කිරීම සාහිත්‍ය නිර්මාණකරුවෙකුට මිස හුදු වාර්තාකරු
අපගේ පුරාතන සිංහල සාහිත්‍යය යුග වශයෙන් බෙදන කල එහි ප්‍රාරම්භය වශයෙන් විද්වත් සම්මතය වී ඇත්තේ අනුබුද්ධ මහා මහින්ද යතිවරාගමනය සමග සිද්ධ වූ ත්‍රිපිටක ධ
ලක්දිව නූතන පිරිවෙන් අධ්‍යාපනය වූකලී 19 වන සියවසේ ඇරඹුණකි. ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසු සංස්කෘත භාෂා අධ්‍යයනයේ අභිනව ව්‍යාප්තිය සිදුවූයේ එහි ප්‍රති
කවර භාෂාවක් වුවද ප්‍රගුණ කිරීමේදී කුසලතා සතරක් වර්ධනය කර ගැනීම අනිවාර්ය බව භාෂාවිඥයන්ගේ මතයයි. භාෂාවේ චතුර්විධ කුසලතා වර්ධනය ලෙස එය හැඳින්වේ.
’’Language is the the greatest achievement of Culture; Poetry is the greatest achievement of Language.’’
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කාමය නැති ’’කාම සූත්‍රය’’