"සර්, මගේ මිත්‍රයෙක් වචනයක තේරුම ඇහැව්වා. මං දන්න තේරුම කියලා දුන්නා. ඒක හරිද කියලා සැක හැර දැනගන්නයි කතා කළේ."
ටෙලිෆෝනයෙන් මට ඇසුණේ මගේ ශිෂ්‍යයෙකුගේ කට හඬය.
"මොකක්ද වචනය?"
"දඟ යුග."
"මොකක්ද දුන්න තේරුම?"
"කකුලේ කෙණ්ඩ දෙක."
"ඒක හරි. ඉතින් මොකක්ද
ගැටලුව?
"ගැටලුව මේකයි සර්.මගේ මිත්‍රයා
මගෙන් අහන්න ඉස්සෙල්ලා
වචනේ තේරුම එක්තරා
ගුරුවරයෙකුගෙන් අහලා
තියෙනවා. එයා දීලා තියෙන්නෙ
දඟලනවා කියන තේරුමයි."
"දඟ කියන වචනේ තියෙනව
දඟලනවා කියන තේරුම. ඒත් දඟ
යුග කියන්නේ නෑනෙ දඟලනවට."
මේ දුරකතන සංවාදයෙන් පැහැදිලි වන්නේ කුමක්ද? වර්තමාන පරම්පරාවට අයත් ඇතැම් ශිෂ්‍යයන් මෙන්ම ගුරුවරුන් තුළද විද්‍යමාන භාෂා මන්දපෝෂණයයි. එනම් පර්යාය පද හෙවත් සමානාර්ථ පද , විවිධාර්ථ පද , සමරූප පද ආදි පද භේද හා ඒවායෙහි අර්ථ භේද පිළිබඳ අනවබෝධයයි. මෙහිදී ශිෂ්‍යයෝ සමාව ලැබිය යුත්තෝය. එහෙත් ගුරුවරු අවඥාවට ලක් විය යුත්තෝය.
මෙය කවර රෝග නිදානයක දුර්විපාකයක්ද? නිවහල් බහුශ්‍රැත රසික ගුරු පරපුරක් පාසල් පද්ධතියෙන් අතුරුදහන්ව යෑම අනිවාර්ය ජාතික දුර්දශාවකි.වත්මන් ශිෂ්‍ය පරපුර හා අපගේ පාරම්පරික සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍ය උරුමය එකට බද්ධ කරන සංස්කෘතික පෙකණිවැල සිඳී යාම එහි නියත ඛේදාන්තය වන. හෙයිනි. තම සාහිත්‍ය භාෂාවට අයත් වචන කෝෂය දිළිඳු වීමත් එහි අර්ථාන්ධයන් බවට පත්වීමත්
එම ඛේදාන්තයේ ඒකාන්ත අතුරු පලයකි.
අප සතු පැරණි පද්‍ය කාව්‍යවලින් උපුටා ගත් නිදසුන් කිහිපයක් විභාග කොට දැක්වීමෙන් මේ කරුණ සසාධකව සකාරණව සනාථ කළ හැකිය. මෙහිදී සමානාර්ථ , විවිධාර්ථ පද සහිත කෝෂග්‍රන්ථ පිළිබඳ යමක් පැවසීම මැනවැයි හඟිමි. පර්යාය ශබ්දකෝෂ නමින් හඳුන්වනු ලබන්නේ සමානාර්ථ පද එනම් එකම තේරුම ඇති වචන රැස්කිරීමෙන් සම්පාදිත පොත්ය. යම්කිසි වචනයකින් විවිධාර්ථ ප්‍රකාශ වන්නේ නම් එකී ගණයට අයත් වන වචන එක්රැස්කර සැකසූ පොත් වර්ගය විවිධාර්ථ ශබ්දකෝෂ නම් වෙයි. මේ දෙවර්ගයේම කෝෂග්‍රන්ථ සම්පාදනය කරනුයේ අමුතුවෙන් වචන නිපදවීමෙන් නොවෙයි. දූරාතීතයේ සිට ස්වකීය ලේඛන ව්‍යවහාරයේදී ඒ ඒ ග්‍රන්ථ කාරයන් විසින් භාවිතයට ගන්නා ලද විවිධ විචිත්‍ර වචන කෝෂයම ඊට පාදක වෙයි.
අපගේ පැරණි සම්භාව්‍ය සාහිත්‍ය කෘතීන් පරිශීලනයේදී අර්ථාවබෝධය සඳහා ඉහත සඳහන් පර්යාය හා විවිධාර්ථ ශබ්දකෝෂවලින් ලැබෙන පිටිවහල ඉමහත්ය. පුරාණයේ සිටම සිංහල පඬි පරපුර තම ලේඛන කාර්යයේදී නිරන්තරයෙන්ම භාවිතයට ගත් යට කී ගණයේ ප්‍රමුඛ සංස්කෘත , පාලි සහ සිංහල කෝෂග්‍රන්ථ කිහිපයක්ම වෙයි. ඒවා කවරේදැයි දැනගැනීම වටී. ශාස්ත්‍රීය ව්‍යවහාරයේදී තද් ග්‍රන්ථ හැඳින්වීම සඳහා 'නිඝණ්ඩු' නාමය යෙදේ 'නිඝණ්ඩු' යනු පාලි වචනයයි. සංස්කෘතයෙන් එය 'නිඝණ්ටු' නම් වෙයි.
'අමරකෝෂය' නමින් ප්‍රකටව ඇත්තේ මේ ගණයේ පැරණිම සංස්කෘත කෝෂග්‍රන්ථයයි. දැනට අප සතු තත් ස්වරූපයේ පැරණිම පාලි කෝෂපුස්තකය 'අභිධානප්පදීපිකාව' නමි. 'පියුම් මල' යනු සිංහල භාෂා සාහිත්‍යයට අයත් පුරාණතම නිඝණ්ඩුව ලෙස සැලකේ. කර්තෘ අඥාත එය ගද්‍යයෙන් ලියැවුණු කෝෂග්‍රන්ථයකි. ජයවර්ධනපුර කෝට්ටේ රජකම් කළ 06 වන පැරකුම්බා නරනාථයන් විසින් රචිත 'නම් රුවන් මල' හෙවත් 'රුවන්මල්' සිංහල නිඝණ්ඩුව වනාහි ගද්‍යයෙන් රචිත 'පියුම් මල' ගී විරිතට නගමින් වඩාත් පරිපූර්ණ කොට නිපැයුණකි. අනෙක් ප්‍රකට පැරණි සිංහල නිඝණ්ඩුව 'පුරාණ නාමාවලිය' නමි. එය වූකලී 06 වන පැරකුම්බා රජුගේම බෑනණනුවන් වන නන්නූරුතුනයාර් ඇමතිඳු විසින් සම්පාදිත කෘතියකි.
සංස්කෘත 'අමරකෝෂ' නිඝණ්ටුවේ ස්ත්‍රී පර්යාය (සමාන) පද දක්වා ඇත්තේ මෙසේය.
යෝෂිතා, අබලා,නාරී, සීමන්තිනී, වධූ, ප්‍ර්‍රතීපදර්ශනී, වාමා, වනිතා, මහිලා.
මේ සියලු පර්යාය පදවලට වෙන වෙනම නිරුක්ත්‍යර්ථද ඇත.
'අමරකෝෂ' නිඝණ්ටුවෙහිම 'පයෝධර' යන්නට දී ඇති පර්යාය පද මෙසේය.
පියොයුරු සහ වලාකුළු ('පයස්' යන සංස්කෘත වචනයෙහි 'ජලය' හා 'කිරි' යන තේරුම් දෙකම ඇත. කිරි දරන නිසා 'පියයුර' 'පයෝධර' නම් වෙයි. ජලය' දරනුයෙන් 'වලාකුළ' 'පයෝධර' නමින් හැඳින්වෙයි.
පාලි 'අභිධානප්පදීපිකා' නිඝණ්ඩුවෙහි 'ස්ත්‍රී' ශබ්දය සඳහා දෙන ලද සමාන පද මෙසේය.
.9
ඉත්ථි, නාරී, සීමන්තිනී, වධූ, වනිතා, අංගනා, පමදා , සුන්දරී, කාන්තා, රමණී. (මේවා සංස්කෘතයේ එන 'ස්ත්‍රී' පර්යාය ශබ්දයන්ට බොහෝ සෙයින් සමාන වෙයි.)
පාලි නිඝණ්ඩුවෙහි 'ආලය' යන්නට දී ඇති විවිධාර්ථ පද මේ අයුරු වෙයි.
ගෘහය, ඇල්ම, අපේක්ෂාව.
සිංහල 'රුවන්මල්' නිඝණ්ඩුවේ 'ස්ත්‍රී' යන්නට සමාන පද දක්වා ඇත්තේ මේ අන්දමිනි.
සොඳුරු , ඉතිරි , ලිය , සඳ , කත්, මෙහෙලි, කල් , ගැහැනි
'කල්' යන ශබ්දය සඳහා රුවන්මලෙහි දී ඇති විවිධාර්ථ පද මෙසේ වෙයි.
අඟන (ගැහැනි), කලණ (කල්‍යාණ), මනහර, සමය (කාලය).
'පුරාණ නාමාවලී' සිංහල නිඝණ්ඩුව 'ස්ත්‍රී' වාචී පද මෙසේ දක්වා ඇත.
වනිති, ඉතිරි , කත, ලිය, මෙහෙලි, සඳ , තුනුවග, විලසි, අඟන, දිගැසි, ලඳ , පියබඳ.
'විය' යන ශබ්දයට පුරාණ නාමාවලියෙහි පහත දැක්වෙන විවිධාර්ථ පද දී ඇත.
රෝග(ව්‍යාධි), අහස(ව්‍යෝම),
වයස.
අපේ දෙපාවල දණහිසෙන් පහළ ඇස්වටෙන් (බොලට, වළලුකර,ගොප් ඇටය, The Ankle) ඉහළ දෙකොටස හැඳින්වෙනුයේ 'කෙණ්ඩ' යන නමිනි. මෙය අපට හොඳට හුරුපුරුදු වචනයකි. 'බත් කෙණ්ඩ' , 'කෙණ්ඩ පෙරළෙනවා' යන යෙදුම්ද කිසිසේත් අමුතු නැත. අප කෙණ්ඩය නමින් හඳුන්වන මේ ශරීරාංගය ඉංග්‍රීසි කාරයාට Shank හෝ Calf වෙයි. 'කෙණ්ඩය' යන නාමය අපගේ බොහෝ පැරණි සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථවලදී නිතර ඇස ගැසෙන්නකි. මේ පාදාංගය සඳහා සංස්කෘත, පාලි යන උභය භාෂාවන්හිම භාවිත වන්නේ 'ජංඝා' යන පර්යාය ශබ්දයයි. ඒ බව පැරණිම සංස්කෘත නිඝණ්ටුව වන 'අමරකෝෂය' හා ප්‍රථම පාලි නිඝණ්ඩුව වන
'අභිධානප්පදීපිකාව' එකී පාදාංග නාමය දක්වන තැනින් තහවුරු වෙයි. අමරකෝෂයෙහි 'ප්‍රසෘතා' යන්නද 'ජංඝා' පර්යාය පදයක් ලෙස දක්වා ඇත.
'දඟ'යනුවෙන් සිංහලට තත්භව වන්නේ එනම් බිඳී එන්නේ මේ සංස්කෘත පාලි 'ජංඝා' යන්න බව දැනගත යුතුය. පැරණි සිංහල නිඝණ්ඩු වන 'රුවන්මල' හා 'පුරාණ නාමාවලිය' යන දෙකෙහිදීම 'දඟ' යන්න, 'කෙණ්ඩ' අරුත දෙන පර්යාය නාමයක් ලෙස හමුවෙයි.
'යුග' යනු දෙකය. පාලි 'යුගල' හා සංස්කෘත 'යුගල' 'යුග්ම' යන පද බිඳීමෙන් එන අරුතකි. ඒ අනුව
'දඟ යුග' යනු කෙණ්ඩා දෙකය.
ෂඩ් භාෂා පරමේශ්වර කවීන්ද්‍ර තොටගමුවේ ශ්‍රී රාහුල යතීන්ද්‍රියෝ තම 'කාව්‍යශේඛර' මහා කාව්‍යයේ 02 වන සර්ගයේදී බැමිණි අඟනගේ රුසිරු 'දඟ යුග' මෙසේ වර්ණනය කරති.
නුපුබුදු තැඹිලි මල්
ඇගෙ දඟ යුගට මනකල්
පැරද සැඟවුණු තුල්
කොළපු ඇතුළට පිවිසි ඇමකල්
තැඹිලි මලේ සිරිත මෝරා විත් පිපී විහිදීමය.එහෙත් මේ තැඹිලි මල එසේ නොපිපී කොළපුව ඇතුළේ සැඟවී සිටී. මන්ද ඒ? පරාජයක් අත් වන බැවිනි. කාගෙන් වන පරාජයක්ද? බැමිණි අඟනගේ දඟ යුගෙනි. ඇගේ දඟ යුග එතරම්ම සිනිඳුය. රන්වන්ය. හැඩය.
රුසිරු ලියන්ගේ මනහර දඟ යුග කාමී පුරුෂයන්ගේ නුරා හැඟුම්
පොබයන සුන්දර වස්තුවක් නිසා නොවේද 'කාව්‍යශේඛර' මහා කාව්‍යයේ 10 වන සර්ගයේදී හමුවන රුසිරු බර ළද බොළඳ බමුණු දුව බමුණු මාල්ලෙකුට දීග දෙද්දී ඇයට ඔවා දුන් පියා 'දඟ යුග' වසා ගත යුතු බවට වෙසෙසින් අවධාරණය කළේ?
පෙකණිය නොදක්වා
සළු ඇඳ බොලට දක්වා
නොපව තන සක්වා
සිනා නොමසෙන් දසන් දක්වා
බමුණු පියා නවයොවුන් කැලුම් විහිදෙන තම දුවට වසාගන්නා ලෙසට ඔවා දුන්නේ ලියක සතු සුන්දරතම වස්තු සතරකි.
යොවුන් ලියකට රුසිරු නැබක් (පෙකණිය) තිළින කර ඇත්තේ එය වසා ගනිමැයි වූ පිළිනයක් මතද? බොලට (ඇස්වටය) දක්වා සළු ඇඳි කල මනකල් 'දඟ යුග' සිරිසර වැසී යාමෙන් රස දතුවන් නෙතු ලැබූ පින් පල දිය හැකි වනුයේ කෙලෙසින්ද? සක්වා ළිහිණි යුවළක් වන් පුන් තන වසා ගැන්ම සීගිරි ලියන්ගේ තන හසුන් පෑ අසිරි සිරියට අවමනක් නොවේද? දසන් රැස් විහිදා මුව පුරා නගන සිනාවෙන් තොර කවර ලලනා ලාවණ්‍යයක්ද?
පබාවතියගේ රමණීය 'දඟ යුග' ගැනද 'කව්සිළුමිණි' මහා කාව්‍යය කළ 02 වන පැරකුම්බා කවීන්ද්‍ර රාජයා අපූරු කවි චින්තාවක් පහළ කරයි.
පියවුරු බරුසුලා නොසැහෙව් මෙවුල්නි දුවන්
ඒ දෙබරින් යුවල දඟ නුරු රැවුනි ගුගුරන වන්
අනේ මේ පබාවතිය ඇවිද යන විට ඇය සතු විසල් පුළුල් උකුළ ඇගේ මේ පුන් පියවුරු බර කෙසේ ඉවසන්නද! ඉවසා සිටින්නට බැරි බවට සැකයක් නැත. ඇගේ පුළුලුකුළෙන් නැගෙන මෙවුල්දම් නාදය කියා පාන්නේ ඒ අසහනය නොවේද? පබවතගේ පුන් පියවුරු බරත් විසල් පුළුල් උකුළු බරත් යන දෙබරම ඉවසා සිටින්නට ඇගේ 'දඟ යුග' සමත් වූ සැටි! නැත නැත එය මුළාවකි! ඒ දෙබර ඉවසනු බැරිව ඇගේ 'දඟ යුග'ද වේදනාවෙන් නාද නගයි. පබවත 'දඟ යුග' පැලඳි පා සළඹ හඬන හඬ එසේ ඉවසනු බැරිව නගන වේදනා නාදය නොවේද?
ලොව ජීවමානව සිටි ශ්‍රේෂ්ඨතම චින්තකයා මාර්තු 14වැනි දා පස්වරු තුනට කාලක් තිබියදී තම චින්තන ක්‍රියාවලිය නතර කළේය. ඔහුට තනිව සිටින්නට ඉඩ හැරියේ යන්තම් වි
ශ්රී ලංකා ගුවන්විදුලිය ආරම්භ කොට 2025 දෙසැම්බර් 16 වන දිනට ශත සංවත්සරයක් ආයුෂ සපිරෙයි. එහි පදවීතිහාරයේ හෙවත් ගමන් මගේ සුලමුල ආවර්ජනයට ගත් තැතකි මේ.
සුචරිත ගම්ලත් පණ්ඩිත ශිරෝමණීහු ස්වකීය මානව ජීවන සම්ප්‍රදානය අරභයා භුවංගත වූයේ ක්‍රෛස්තවාබ්‍ද 1934 මැදින් මාසයේ 10 වනදාය.
සිංහල භාෂාව හා ව්‍යාකරණය මෙන්ම පාලි හා සංස්කෘත මිශ්‍ර පැරණි ගද්‍ය පද්‍ය සිංහලයද එසේම ඉංග්‍රීසියද ව්‍යක්ත ලෙස හදාරා නොමැතිකම නිසා උපන් හීනමානය සඟවා ග
සක් දෙවිගේ ඇරියුමෙන් දෙව්ලොව ගිය ගුත්තිල ගඳඹ ඇදුරිඳු යළි මනුලොවට පැමිණි බව ඇසූ පුරවැසියෝ ඔහු කරා එළැඹ සුරපුර සිරිසර ගැන තොරතුරු හෙළි කරන ලෙස අයැද සිටි
දිගු කලක සිට විශ්වවිද්‍යාලවල ජන සන්නිවේදන අංශ අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් විය. එනම් තම විද්‍යස්ථානයන්හි ජන සන්නිවේදන පාඨමාලා හදාරන ශිෂ්‍ය ජනයාහට ප්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
භාෂා මන්දපෝෂණය