IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මානවසිංහයන් සරස්වතී අභිනන්දන ගීතය ලියුවේ සිංහලෙන්ද ?

මතක සහ මතය - 5

 

 

 

මානවසිංහයන් දිවමන් කල මෙන්ම දිවංගත වීමෙන් පසුවද ඔහුගේ ලේඛන කෞශල්‍යය ,වාග් චාතූර්ය හා අපූර්ව උත්පාදක ශක්තිය යන ත්‍රිවිධ ගුණ විශේෂයන්,ප්‍රමාණවත් ‍ නොවන ලෙසින් වුවද විමර්ශනයට ලක් වී ඇතත් පාලි , සංස්කෘත උභය භාෂා විෂයෙහි ඔහු තුළ පැවති විශේෂ ප්‍රාගුණ්‍යය එපමණින් වත් විශ්ලේෂණාත්මකව සාකච්ඡාවට භාජනය වූ බවක් මගේ සිහියට නම් නොනැගේ.මේ ලිපිය වූකලී එවැන්නකට දැරූ බින්දු මාත්‍ර තැතකි. මෙය මානවසිංහයන් විසින් රචිත පාලි හා සංස්කෘත ගීත දෙකකට පමණක් සීමා වෙයි .

 

රති සුඛ සාරේ ගතමභිසාරේ මදන මනෝහර වේෂම්

න කුරු නිතම්බිනි ගමන විලම්බන මනුසර තං හෘදයේෂම්

ධීර සමීරේ යමුනා තීරේ වසති වනේ වනමාලී

ගෝපී පීන පයෝධර මර්දන චංචල කර යුග ශාලී

 

අනුප්‍රාසයෙන් අලංකෘත වූ, එනිසා ම, ශ්‍රවණ රමණීය වූ මේ ගීත ගෝවින්ද පද්‍යය ශ්‍රී ජයදේවයන්ගේ වාග් අමෘතයක් වැනිය. මේ පද්‍යය අසන සිංහල පමණක් දන්නා රසිකයෙකුට එය සංස්කෘත භාෂාවෙන්ම රචිත වූවක් ලෙසමැ හැඟෙනු නිසැකය.එහෙත් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත සරස්වතී අභිනන්දන ගීතය අසන විට සිංහල අපට හැඟෙන්නේ එය මිශ්‍ර සිංහලයේ භාවිත වන ප්‍රචලිත සංස්කෘත වචන සහිතව සිංහල භාෂාවෙන්ම රචිත වූවක් ලෙස නොවේද ?

 

ජගන්මෝහිනී- මධුර භාෂිණී

චාරු දේහිනී කමල වාසිනී

සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී

 

අමර භූෂිණී මන්ද හාසිනී

විජය රංජනී ශාස්ත්‍ර ධාරිණී

සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී

 

කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජාලා

පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා

 

මීන මකර පංකජ රූපාකුල අංකිත කුංකුම රේඛා

පූර්ණ කුම්භමිව පීන පයෝධර පූරිතාමෘත ධාරා

 

භාග්‍ය සාධන පුණ්‍ය මූර්තිධර

සුරකුල වර අභිරූපා

දේහි දේහි වර දායක හස්තේ ශුභ මංගල මුද්‍රා

 

මේ ගීතය හුදු සංස්කෘත වචන මිශ්‍ර ගීතයක් පමණක් නොව සංස්කෘත භාෂාවට අයත් ව්‍යාකරණ සිද්ධාන්ත අනුවම විරචිත වූවක් බව බොහෝ අය නොදන්නා කරුණක් යැයි සිතමි. මේ පිළිබඳව මෙතෙක් කිසිවෙකුගේ අවධානය යොමු නොවීමෙන් ඒ බව මනාව සනාථ වෙයි. හුදෙක්ම මෙමගින් ප්‍රකට වන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සතුව පැවති උභය ශූරත්වයකි. එකක් නම් ඔහු තුළ වූ සංස්කෘත භාෂා පරිචයයි. අනෙක වූකලී මිශ්‍ර සිංහලයේ නිතර ව්‍යවහාර වන සංස්කෘත වාංමාලාව සිංහල ස්වරූපයට ගැළපීමේ සාමර්ථ්‍යයයි. අපට මෙය හුදු සිංහල ගීතයක් ලෙස හැඟෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙහි ඇතුළුව ඇති සංස්කෘත ව්‍යාකරණ ප්‍රයෝග වටහා ගත හැක්කේ ඒ බස දත් අයට පමණි.ඒ ප්‍රයෝග කවරේදැයි දැන ගැනීම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සංස්කෘත භාෂා ඥානය අවබෝධ කර ගැන්මට රුකුලක් වෙතියි සිතමි.මේ ගීතයෙන් උපුටා පහත දැක්වෙන සියලු යෙදුම් සංස්කෘත ව්‍යාකරණානුකූලව ගළපා ඇති බව ඒවා පාදක කොට ගෙන මවිසින් ඉදිරිපත් කැරෙන නිරුක්ත්‍යාර්ථ මගින් ඔබට ඉඳුරා පසක් වනු ඇත.

 

ජගන්මෝහිනී

මෙය 'ජගත්' සහ 'මෝහිනී' යන වචන දෙක සන්ධි වී සෑදී ඇත. විසන්ධි වූ කල එය 'ජගත්'+'මෝහිනී' ලෙස සිටියි. මෙහි පළමු පදයේ අග ඇත්තේ 'ත්' ශබ්දයයි. දෙවෙනි වචනයේ මුල ඇත්තේ 'මෝ' ශබ්දයයි'.ම'නාසික්‍ය ශබ්දයකි. නාසික්‍ය ශබ්දයක් සන්ධි විය යුත්තේ තවත් නාසික්‍ය ශබ්දයක් සමගය. එය සංස්කෘත සන්ධි නීතියකි.පළමු පදයේ 'ත්' ශබ්දයට අයත් නාසික්‍ය ශබ්දය 'න' කාරයයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතින්'ජගත්'+'මෝහිනී' විසන්ධිය 'ජගන්මෝහිනී' ලෙස සන්ධි වූයේ එකී සන්ධි නීතිය අනුවය.

 

වන්දේ

මෙය සංස්කෘතයේ උත්තම පුරුෂ ඒකවචන, වර්තමාන කාල ආඛ්‍යාත පදයයි.'වඳිමි' යනු එහි අර්ථයයි.

පාද සරෝජේ -කටී තටාකේ- වර දායක හස්තේ

සංස්කෘතයේ සප්‍තමී විභක්තියෙහි (ආධාර විභක්තියෙහි ) වැටෙන යෙදුම් තුනකි මේ. පිළිවෙළින් ඒවායින් 'පා පියුමෙහි' -' උකුළු විලෙහි' -'වරම් ලබා දෙන අතෙහි' යන අර්ථ ප්‍රකාශ වෙයි.

 

කූජිත -කම්පිත-අංකිත

මේ සංස්කෘතයේ අතීත කෘදන්ත පද තුනකි. පිළිවෙළින් ඒවා 'හැඬැවුණු' 'සෙලවුණු' 'ලකුණු වුණු' යන අර්ථ ප්‍රකාශ කරයි .

 

පූර්ණකුම්භමිව

මෙය විසන්ධි වූ කල 'පූර්ණකුම්භං' +'ඉව' ලෙස සිටී. 'පූර්ණකුම්භං' යනු පුන්කලසයි. 'ඉව' යනු ' වැනි' යන අර්ථය දෙන නිපාත පදයකි.ඒ දෙපදය සන්ධි වූ කල 'පූර්ණකුම්භමිව' යන සංස්කෘත සන්ධි පදය සෑදේ. එහි අර්ථය 'පුන්කලස් වැනි' යන්නයි .ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් එය යොදා ඇත්තේ පීන පයෝධර (පුන් පියයුරු ) යන්නට උපමා වශයෙනි.

 

පූරිතාමෘත ධාරා

මෙය විසන්ධි වන්නේ 'පූරිත'+'අමෘත ධාරා' ලෙසය.'පූරිත' යනු 'පිරුණු' යන අර්ථය දෙන අතීත කෘදන්ත පදයකි. එය අන්ත වන්නේ 'අ' ස්වරයෙනි 'අමෘතධාරා' යන සමාස පදයේ මුල ඇත්තේද 'අ' යන ස්වරයයි. එසේ 'අ' ඇති දෙපදයක් සන්ධි වෙද්දී අග මුල 'අ' ස්වර දීර්ඝ වෙයි . සංස්කෘතයේ මේ සන්ධිය හැඳින්වෙන්නේ 'සවර්ණ්දීර්ඝ(සමාන ශබ්ද දික්වීම)යන නමිනි .

මානවසිංහයන් අතින් 'පූරිතාමෘතධාරා' (අමා දහර පිරුණු) යන අනුප්‍රාස සහිත සමාස පදය යෙදුණේ ඒ අනුවය.

 

දේහි දේහි

සංස්කෘතයේ 'දෙන්න' යන අර්ථය දෙන විධි ක්‍රියාව 'දේහි' යන්නය. මානවසිංහයන් මෙය දෙවරක් යොදා ඇත්තේද සංස්කෘත ආලංකාරිකයන්ගේ උපදේශයක් අනුවය."අධික වචනමධිකාර්ථං ගමයති" යනු ඒ උපදේශයයි "වැඩි වචන යෙදීමෙන් වැඩි අර්ථයක් හැඟවෙයි ." යනු එහි අර්ථයයි

. ශ්‍රි චන්ද්‍රරත්න මානවසිංහයන් සංස්කෘත භාෂාව විෂයෙහි පමණක් නොව පාලි භාෂාව විෂයෙහි ද විශාරදයෙක් වූ බවට ඔහු විසින් පාලියෙන් රචිත බුද්ධජයන්ති ගීතය ප්‍රත්‍යක්ෂ සාක්ෂ්‍යයක් වෙයි. එයද පාලි භාෂාවෙහි ව්‍යාකරණ සිද්ධාන්ත මත පිහිටා කළ රචනයකි.මානවසිංහයන් පාලි භාෂාවේ ව්‍යකරණානුකූලව රචනය කළ බුද්ධජයන්ති ගීතයයි මේ.

 

පාතුරහෝසී බුද්ධජයන්තී ධම්ම සමය උදපාදී

උට්ඨහථ නිසීදථ ධාරේථ ධම්මං

ආරභථ නික්ඛමථ චරථ චාරිකං

 

අරියං සච්චං ධම්මං ඤාණං ආලෝකෝ උදපාදී

පාතුරහෝසී බුද්ධජයන්තී ධම්ම සමය උදපාදී

 

සම්බෝධි පාරමී පූරේථ නිච්චං

රක්ඛේථ සාධුකං පටිපත්ති අග්ගං

 

සචකිත පවනේ තරු වන ගහනේ ලම්බිත ලීලා කේලී

පල්ලව කුසුමාවලි ගායන්තී බුද්ධ බුද්ධ අනු ගීතං

පාතුරහෝසී

බුද්ධජයන්තී ධම්ම සමය උදපාදී

 

මේ බුද්ධජයන්ති ගීතයේදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, වාක් ලාවණ්‍යයෙන් අනූන වන ආකාරයෙන් පාලි වදන් හා යෙදුම් භාවිතයට ගෙන ඇත.ඔහු සතුව පැවති පාලි භාෂා ඥානය විශද කොට දක්වන ආකර්ෂණීය නිදර්ශනයක් ලෙස එය හැඳින්විය හැකිය. ව්‍යාකරණානුකූල පාලි භාෂා භාවිතයෙහි ලා ඔහු තුළ වූ රචන පරිචයෙහි මහිමය , ඒ ගීතයෙන් උපුටා ගත් මේ වදන් හා යෙදුම් සඳහා කැරෙන මගේ ව්‍යාකරණාංග විවරණයෙන් මනාව සනාථ වෙනු ඇත.

 

පාතුරහෝසී

පාලියෙහිදී මෙය විසන්ධි වූ කල 'පාතු'+'අහෝසි' යනුවෙන් සිටී. .'අහෝසි' යන පදය මුල ඇත්තේ 'අ' ස්වරයයි. එසේ වූ කල 'පාතු' යන පළමු පදයත් 'අහෝසි' පදයත් අතරට 'ර්' ශබ්දය ආගම වීම(අතරට පැමිණීම )පාලි සන්ධි නීතියකි. ඒ අනුව 'පාතු'+ 'අහෝසි' යන විසන්ධිය 'පාතුරහෝසී' ලෙස සන්ධි වෙයි .'පහළ වීය' යනු එහි අර්ථයයි.

 

උදපාදි

'උදාවිය' යන අර්ථය දෙන අතීත ආඛ්‍යාත පදයකි.

උට්ඨහථ -නිසීදථ-ධාරේථ- ආරභථ -නික්ඛමථ- චරථ -පූරේථ- රක්ඛේථ .

මේ පාලි විධි ක්‍රියා පද අටකි. ඒවායේ අර්ථ පිළිවෙළින් මෙසේ වෙයි.

නැඟිටිනු,හිඳිනු,දරනු,අරඹනු, නික්මෙනු ,සරනු, සපුරනු, රකිනු.

පවනේ - තරුවනගහනේ

 

මේ යෙදුම් දෙක සප්තමී (ආධාර) විභක්තියෙන් යොදා ඇත.

'පවනේ' යන්නෙන් 'සුළඟෙහි' යන අර්ථයද'තරුවනගහනේ' යන්නෙන් 'ගස් සහිත වන සමූහයෙහි' යන අර්ථයද ප්‍රකාශ වෙයි .

 

ලම්බිත-සචකිත

'ලම්බිත' යනු 'එල්ලුණු' යන අර්ථයද, 'සචකිත' යනු 'සැලුණු' යන අර්ථයද ප්‍රකාශ කරන අතීත කෘදන්ත පද වෙයි.

 

ලීලා කේලී

'ලීලා' යනු 'අඟරදඟර'යි.'කේලී' යනු 'ක්‍රීඩා' හෙවත් 'සෙල්ලම්'ය.

පල්ලව -කුසුමාවලි

'පල්ලව' යනු දලුය.'කුසුමාවලි' යනු මල් වැල්ය. එය බහු වාචීව යෙදී ඇත.

 

ගායන්ති

ප්‍රථම පුරුෂ බහු වචන වර්තමාන කාල ආඛ්‍යාත පදයකි. 'ගයති' යන බහු අර්ථය දෙන රූපයයි. 'පල්ලව කුසුමාවලි' යන බහු වාචී උක්ත පදය හා ව්‍යාකරණානූකූලව ගැළපී සිටී.

 

බුද්ධ බුද්ධ අනුගීතං

'බුද්ධ' 'බුද්ධ' යන හඩ නංවමින් ගැයෙන ගීතය යන අර්ථය දීම සඳහා මානවසිංහයන් විසින් නිපදවන ලද රමණීය අලංකාරෝක්තියකි. මීට සමාන අලංකාරෝක්තියක් මානවසිංහයන් විසින්ම රචිත සිංහල ගීතයකද " 'මහ මුනි' 'මහ මුනි' කියලයි කොළ නැටවෙන්නේ" යනුවෙන් එයි.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් විරචිත බුද්ධජයන්ති ගීතයෙහි අවසාන දෙපාදයේ ගැබ් වුණු මනෝරම්‍ය රසාත්මක අර්ථය මෙසේය.

"වනයේ ගහ කොළවල අතුපතරේ එල්ලෙමින්,හමන පවනේ සැලි සැලී නටන දලු හා මල් වැල්හු 'බුද්ධ' ' බුද්ධ ' රැවු නඟන ගීය ගයති."

 



අදහස් (0)

මානවසිංහයන් සරස්වතී අභිනන්දන ගීතය ලියුවේ සිංහලෙන්ද ?

ඔබේ අදහස් එවන්න

මතක හා මතය

බෞද්ධ මාක්ස්වාදියා
2024 සැප්තැම්බර් මස 03 312 0

කලක පටන් දැන හැඳින සමීපව ඇසුරු කළ ගුණසේන විතානයන් සමග එකට වැඩ කිරීමේ අවස්ථාව පළමුවෙන්ම මට උදාවූයේ ඔහු ’ජනතා ලේඛක පෙරමුණ’ ආරම්භ කිරීමත් සමගය.


’යුග පුරුෂයා’ ගණිකාවක් ද?
2024 අගෝස්තු මස 27 682 0

’නිම් වළලු පළල් කරනවා’ යන සුලබ කියමන සේම නිතර නිතර අපගේ කනට ඇහෙන ඇසට පෙනෙන තවත් සුලබ වත්මන් වාග් ව්‍යවහාරයකි ’යුග පුරුෂයා’ යන්න.


මමත් කළුයි මාගේ කවිකමත් කලුයි!
2024 අගෝස්තු මස 20 474 0

(පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන් මිය ගොස් 2024 අගෝස්තු 21 වැනි දිනට පුරා වසර 58ක් සපිරෙයි. ඔහු පිළිබඳ මගේ මේ හෘදයංගම මතක වත සහෘද ඔබගේ පහන් සංවේගය උදෙසාය.)


අඹ බයන්න සහ අඹ යාළුවා
2024 අගෝස්තු මස 13 472 0

අප ’අඹ’ බයන්න යනුවෙන් හැඳින්වීමට පුරුදුව සිටින්නේ සඤ්ඤක ’ඹ’යන්නය. ඊට හේතුව, අඹ නමැති පලතුරට කියන නාමය ලිවීමේදී සඤ්ඤක ’ඹ’යන්න භාවිත වීම බවය බොහෝ දෙනාගේ


’’ෆ’’ අක්ෂරය සිංහල හෝඩියට ආ හැටි
2024 අගෝස්තු මස 06 833 2

ඉංග්‍රීසි හෝඩියේ F ශබ්දය වෙනුවට සිංහල හෝඩියට මෑතක පිවිස මේ වන විට බහු භාවිතයට පත්ව ජන සම්මතව ඇති ’ෆ’ අක්ෂර රූපය අලුත නිපදවා ගත්තක්ය යන දුර්මතය ඒ පිළිබඳ


මැතිවරණ කාලයේ ජ්‍යෝතිෂ උන්මාදය
2024 ජුලි මස 30 131 0

අභීත සන්නිවේදන මාධ්‍ය විශේෂඥයෙකු මෙන්ම අදීන ලේඛකයෙක්ද වූ කුෂ්වාන්ත් සිං නම් නිර්දය දේශපාලන විශ්ලේෂකයා වර්තමාන ඉන්දියානු දේශපාලකයන්ගේ ජ්‍යෝතිෂ උන්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site