(පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන් මිය ගොස් 2024 අගෝස්තු 21 වැනි දිනට පුරා වසර 58ක් සපිරෙයි. ඔහු පිළිබඳ මගේ මේ හෘදයංගම මතක වත සහෘද ඔබගේ පහන් සංවේගය උදෙසාය.)
50 දශකයේ පමණ මා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ පෙර දෙටු පෙළ පන්තියේ ඉගෙන ගන්නා අවධියේ අපට සිංහල සාහිත්‍යය විෂය ඉගැන්වූයේ විශිෂ්ට ගණයේ ගුරු උතුමන් දෙදෙනෙකි.එක් අයෙක් සුප්‍රකට විශ්ව සාහිත්‍ය පරිවර්තක කේ.ජී.කරුණාතිලක සූරීහුය.අනෙක් ආචාර්ය තුමාණෝ කවියෙක් හා ලේඛකයෙක් වූ ගුණදාස පෙරේරා නම් ප්‍රවීණ ප්‍රාචීන භාෂා විශාරදයාණෝය. එකල කරුණාතිලක ගුරුතුමා පැරණි සිංහල සාහිත්‍යය ඉගැන්වූ අතර ගුණදාස පෙරේරා ගුරුතුමා ඉගැන්වූයේ නූතන සිංහල සාහිත්‍යයයි.
ශිෂ්‍ය අවධියේ හා හපුරා කියා මහදෙහි පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන්ගේ කවි රස ඉඳුල ගැන්වුණේ ගුණදාස පෙරේරා ගුරුතුමාගේ නූතන සිංහල කවි පාඩමකදීය. එදා රස විමැසුණේ අල්විස් පෙරේරා කිවිඳුන්ගේ 'රික්ෂෝකරුවා' නමැති කවි පෙළෙහිය. එම කව් පෙළ තවමත් මගේ මතකයේ රැව් දෙයි.
හැඳ සුදු ඇඳුම් සඳ රැස් වැනි පොහො දාක
කවුදෝ අත්රියේ වැඩ හිඳිනා සේක
දුප්පත් එකෙක් ඇදගෙන දුව යයි ඒක
දනපති වාදයේ පිළිබිඹුවකි මේක
අත මිට ඇති කෙනෙක් සතුටින් නැග ඉන්නේ
එය ඇද යන එකා ඩහදිය වගුරන්නේ
මෙතරම් සමාජය ඇයි බිහිසුණු වන්නේ
කොයි උගතාද මේකට පිළිතුරු දෙන්නේ
මිනිහා දියුණු යයි පවසන නවක ලොවේ
මිනිහා නැගි රියක් මිනිහෙක් රැගෙන දිවේ
යට ගිය වහල් සිරිතක අද තිබෙන හැවේ
කොපමණ නින්දිතද කීමට පහසු නොවේ
ඇදගෙන දුවන ඩහදිය බිඳ
රියෙහි බර
අසරණ තිරිසනා මිනිහා
මුහුණුවර
උසුලන දුක කිසිත් නොම දත්
අයුරු අර
වැජඹෙන හෙතෙම පින්වතෙකැයි කියති පෙර
උගුරට එන තෙක්ම මසවුළු අහර දැරූ
පින්වත් දනවතා නැගි අත් රතය ගරූ
ඇද මාවත දුවන මොහු කම් කටුලු පිරූ
යන්තම් පණ රකී රා ටික තිබෙන තුරූ
අයිතිය රැකෙන්නට නම් මිනිසෙකුට සතූ
නිදහස පිළිබඳව අදහස් කරමු නතූ
එඅනුව පළමුවෙන් කළ යුතු වැඩකි මතූ
රික්සෝ රතය පාරෙන් ඇද දැමිය යුතු
ධනපති විරෝධී උග්‍ර
සමාජවාදියෙක් වූ ගුණදාස පෙරේරා ගුරුතුමා, පීඩිත පන්තියට අයත් රික්ෂෝ රියැදුරුගේ ජීවිතයත් අල්විස් පෙරේරා කිවිඳුගේ මානව කරුණාවත් ඉතා හෘදයංගම ලෙස විවරණය කරද්දී තත් ක්ෂණයකින් මගේ සිතේ ඇඳී ගියේ එකල කළුබෝවිල අපේ ගමේ ලයිට් මෝල හන්දියේ විසූ දෙමළ ජාතික හීන්දෑරි රික්ෂෝ රියැදුරාගේ ඩහදියෙන් තෙමුණු ඇට ගැහුණු මුහුණය. කෙහෙතගේ අපලෙන් ඉපදී කුඩා කල නිතර ලෙඩ වුණු මා අම්මා සමග මේ රික්ෂෝකරුගේ රියේ නැගී වැල්ලවත්තේ ෆොන්සේකා දොස්තර මහතා ළඟට යද්දී ඔහු නිසා මගේ ළපටි සිත සසලව ගිය අයුරුද ඒ සමගම මට සිහිව ගියේ ඉබේය.
පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන් මිය යන තුරුම පාවා නුදුන් තම පීඩිත පන්ති දේශපාලන පිළිවෙත හඬ ගා කියන ඔහුගේ මුල් කාලීන පැදි පෙළකි මේ. අල්විස් පෙරේරා කිවිඳුන් මට පළමු වරට දැක හඳුනාගන්නට ලැබීම වනාහි පාසල් ශිෂ්‍ය වියේම මා ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙකු වීමේ ඉෂ්ට ඵලයකි. 60 දශකයේමුල් අවධියේ ගුවන් විදුලිය මගින් 'ඓතිහාසික ජවනිකා' නමින් නාට්‍ය මාලාවක් කොටස් වශයෙන් ප්‍රචාරය කරන ලදී. මහාවංශය ඇසුරින් සැකසුණු එම නාට්‍ය මාලාවේ රචකයා අල්විස් පෙරේරා කිවිඳුන්ය. එකල මම විවිධ චරිත නිරූපණයෙන් මේ නාට්‍ය මාලාවට නිරන්තරයෙන් සහභාගී වීමි. 'ඓතිහාසික ජවනිකා' නාට්‍යයේ එක් එක් කොටස් පටිගත කරන දින නොවරදවාම ගුවන්විදුලි කාර්යාලය වෙත පැමිණීම අල්විස් පෙරේරා කිවිඳුන්ගේ අනිවාර්ය චාරිත්‍රය විය. ආරෝහපරිණාහ දේහයකින් යුත් කාල ඡවි වර්ණ කිවිඳාණන් ශුභ්‍ර වර්ණ සිනා මුහුණින් සැදී එසේ පැමිණි අවස්ථාවලදී නාට්‍ය පුහුණුවට පෙරාතුව අති අනතිමානී ලෙස අප සමග සතුටු සාමීචියේ යෙදීමද නොවරදවාම සිදුවන්නකි.
මේ නාට්‍ය වැඩසටහනට සහභාගී වීම සඳහා මා ගුවන්විදුලියට ගිය දිනක සිදුවූ එක්තරා සිද්ධියක් මගේ මතකයට නැගේ. එදා කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා පිටිය වැඩසටහනට සහභාගී වීමට පැමිණ සිටි සුනන්ද මහේන්ද්‍රයන් අප 'ඓතිහාසික ජවනිකා' නාට්‍යය පුහුණු වෙමින් සිටි ගුවන්විදුලි සභාශාලාවට පැමිණියේ මා සහ අල්විස් පෙරේරා කිවිඳුන් එහි සිටිනු දුටු බැවිනි. එකල පාසල් ශිෂ්‍යයෙක් වූ සුනන්දයෝ අල්විස් පෙරේරා කිවිඳුන්ගේ සුහද මිතුරෙක් වූහ.
ඵකල කොළඹ ආනන්ද විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටි සුනන්දයෝ ඒ වනවිටත් ප්‍රකට අංකුර ශිෂ්‍ය පුවත්පත්, සඟරා ලේඛකයෙකි. ගුවන්විදුලි ළමා පිටියට නිතර පිටපත් ලියන කියන, එසේම එමගින් ඉදිරිපත් කරන නාට්‍ය හා විචිත්‍රාංග ආදියට නොවරදවා සහභාගී වන අංකුර ශිෂ්‍ය සන්නිවේදකයෙකි. අප නාට්‍යය පුහුණුවෙමින් සිටි සභා ශාලාව වෙත පැමිණි සුනන්දයන් මගේ ඉතා කුලුපග මිතුරෙකු බව දත් අල්විස් පෙරේරා කිවිඳුන් අනතුරුව සුනන්දයන් සහ මා කැටුව ගියේ ගුවන්විදුලි කැන්ටිම වෙතය. අප දෙදෙනා කැටුව ගුවන් විදුලි කොරිඩෝරයක් දිගේ කැන්ටිම දෙසට යන අල්විස් පෙරේරා කිවිඳුන් හා අප අතරට 'සිංහල නවකතාව' මාතෘකාවක් ලෙස පිවිසුණේ කෙසේදැයි දැන් මට සිහි කළ නොහැකිය. එහෙත් රසවත් නවකතාව අරබයා තමා පිළිගෙන සිටි මිනුම් දණ්ඩ ඔහු ඉඳුරා විශද කළ අයුරු මට අද මෙන් මතකය.
"රසවත් නවකතාවක් නම් ඒක
ආසාවෙන් කියවන්න පුළුවන් එකක්
වෙන්න ඕනැ. කියවන්න හිතෙන්නෙ
නැති එකක් කොහොමද රසවත් වෙන්නේ?"
තම මතය නොබියව නොපැකිළව කියා පෑම අද මෙන්ම එදා ශිෂ්‍ය වියේද සුනන්දයන්ගේ සිරිත විය. අල්විස් පෙරේරා කිවිඳුන් සිය මතය පළ කොට කට ගන්නට පෙරම
සුනන්දයන්ගේ මුවින් මේ වදන් ගිලිහුණි.
"අල්විස් පෙරේරා මහත්තය නවකතාව ගැන දරන්නෙ හරිම බොළඳ මතයක්නෙ!"
සුනන්දයන්ගේ නිර්දය ප්‍රකාශය අල්විස් පෙරේරා කිවිඳුන් සිනා මුසු මුහුණින් ඉවසූ අයුරු කෙසේ අමතක කළ හැකි වේද! වත්මන් ඇතැම් සම්මානිත නවකතා බස පවා කියවන කල අල්විස් පෙරේරා කිවිඳුන් එදා නවකතා පිළිබඳව දැරූ මතය බොළඳ සේ සලකා බැහැර ලිය හැකිදැයි යන්න අද සුනන්දයන්ට වුව ප්‍රශ්නයක් වනු නොඅනුමානය.
60 දශකයේ මතුවූ වාමාංශික හා
ප්‍රගතිශීලී නව දේශපාලන බලවේගයත් සමග බිහිවූ සටන් කාහලයකි 'ජනදින' පුවත්පත. පාසල් වියේ සිටම 'සමසමාජ' පක්ෂයේ සහෝදරයන් වූ මමත් මගේ සන්මිත්‍ර සුප්‍රකට නවකතාකරු පියදාස
වැලිකන්නගේත් මුල සිටම 'ජනදින'
කතුමඬුල්ලේ ඇවැස්ස නෑයෝ වීමු.(පසු කලෙක මම "ජනදින' කතු
මඬුල්ලෙහි බින්න බැස්සෙමි.) එකල
'ජනදින' ආයතනය ඇරඹූ 'ජනකවි'
පුවත්පතේ ප්‍රධාන සංස්කාරකයාණෝ
පී.බී.අල්විස් පෙරේරා කිවිඳාණෝය.
වරක් 'ජනදින' ආයතනයේ මුද්‍රණ අංශ සේවක සහෝදරයෙකුගේ මඟුල් ගෙදරදී ලද අත්දැකීමක්
කෙසේ අමතක කරම්ද? එදා මාත් මගේ කල්‍යාණ මිත්‍ර වැලීත් 'ජනදින'
සේවක කන්දයියා සහෝදරයාගේ මඟුල් ගෙදර ගියේ කතුමඬුල්ලේ මෙන්ම සෙසු අංශවලද සේවක සහෝදරයන් සමගය. අල්විස් පෙරේරා කිවිඳාණෝ එහි විශේෂ ආරාධිතයෙකි. එනිසාම එහිදී ඔහුට ලැබුණු විශේෂ ආරාධනාවකි. එය කන්දයියා සහෝදරයා ගෙනි. හිටිවන කවියටම පිහිටි අල්විස් පෙරේරා කිවිඳුන්ගේ වක්කඩ කැඩූ කටටය. එනම් තමා වෙනුවෙන් හිටිවන කවියක් කියන්නටය. එවේලේ අල්විස් පෙරේරා කිවිඳුන්ගේ කටින් පහළ වෙන හිටිවන කවියේ එක එක පදය මතක තබාගන්නට දයාරත්න රණේපුර, සිරී පලිහේන, වැලී සහ මම කතා කර ගතිමු. එදා අල්විස් පෙරේරා කිවිඳුන්ගේ කටින් තත් ක්ෂණයකින් පහළ වුණු ආකර්ෂණීය, අභිරමණීය, අමරණීය හිටි වන කවිය මේ වනතුරුම අල්විස් පෙරේරා කිවිඳුන්ගේම භාවග්‍රාහී, ගම්භිර, ලයාන්විත කටහඬින් මගේ මෙන්ම වැලිකන්නයන්ගේද මතකයේ නින්නාදවීම කවර අරුමයක්ද?
සරස්වතීගෙන් අරගෙන බොහෝ වරම්
ආවෙමි වනක්කම් එප්පුඩි සහෝදරම්
ආඬවනේ කන්දයියෝ මෙහේ තරම්
දෑ සමගියක් එංගේරිකි අගය කරම්
ඒ කාලයේ සිංහල දෙමළ ගැටුමක්,
භේදයක් නොවීය. වාමාංශික ව්‍යාපාරයේ සිංහල දෙමළ සහෝදරයෝ එකට බඩ බැඳගෙන එක පෙරමුණක හිඳ සටන් කළහ. දෙජාතියක් වුවද සමාජ පීඩනය අතින් සජාතිකය. අල්විස් පෙරේරා කිවිඳුන් තම හද උරුමය වූ පීඩිත පන්ති සහෝදරත්වය සහ මානව බන්ධුත්වය එසැණින් එසේ උදාර කවි උදානයකට නැඟුවේ සිංහල දෙමළ ජාතියේ දෙමව්බසේම වදන් චතුර ලෙස එකට ගොතමිනි. අල්විස් පෙරේරා කිවිඳුන්ගේ සහජ කවිකම මෙන්ම අව්‍යාජ මිනිස්කමද මේ එකම කවියෙන් වුවද මැනවින් පිළිබිඹු වෙයි.
ඔහු සිංහල කට වහරේ මෙන්ම දෙමළ කටවහරේද හසළයෙකි. ගෝල්ෆේස් හෝටලයේ රැකියාව කරන සමයේ සුද්දන්ගේ ඇසුර නිසා ඔහු ඉංග්‍රීසි කට වහරෙහිද ඉබේම හුරුකම් ලැබූවෙකි. විදුහලකට ඇතුළුව ක්‍රමානුකූල අධ්‍යාපනයක් නොලද පීඩිත පන්ති කවියෙක්වූ අල්විස් පෙරේරා සහෝදරයාට, අනාදිමත් කාලයක සිට අඛණ්ඩව පැවත එන තම කීර්තිමත් භාෂා සාහිත්‍යය සම්ප්‍රදායට අයත් පැරණි ගද්‍ය පද්‍ය ග්‍රන්ථාවලිය තම හද උරුමය කර ගැන්මට පිහිට වූ උභය තක්සලාවන් වූයේ බම්බලපිටියේ වජිරාරාම පුස්තකාලය හා කොල්ලුපිටියේ ධර්ම කීර්ත්‍යාරාම පුස්තකාලයයි.
වරක් අල්විස් පෙරේරා කිවිඳු තම සුහද සහෝදර කවියන් පිරිසක් පිරිවරාගෙන මිහින්තලා පියගැට පෙළ නගියි. පිරිවර ඇරයුමක් කරති.
මිහින්තලාවේ අසිරිය වනන හිටිවන කවියකටය. කවිය පහළ වනු මිස කියැවෙනු නොවේ.
නියරැස් දහර රුපු කිරුළග තෙක් විද්ද
නරවීරයන් ජය ගත් පිට රට යුද්ද
කැත් කුල කතුන් දී මිණි මෙවුලෙහි සද්ද
මේ පඩි පෙළෙන් කොපමණ යන්නට ඇද්ද ?
මාර්ටින් වික්‍රමසිංහ සූරීහු සිය
'නව පද්‍ය සිංහලය' කෘතියෙහි ලා
පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන් ගැන
මෙසේ පවසති.
"නොසිඳෙන දිය ඇල්ලක් වැනි කල්පනාව ඇත්තෙකි අල්විස් පෙරේරා."
කොපමණ ඇත්තක්ද!
එක්තරා හිටිවන කවි උලෙළකදී
කිසියම් කවියෙක් පී.බී. කිවිඳුන්ගෙන්
මේ කවි පැනය අසයි.
පැනයක් අසමි පිළිතුරු දෙනවද ඊට
තාරවලින් නාලද ඔබ කළු පාට
කාල ඡවි වර්ණ සම්පත්තියේ මහිමයත් කවිත්වයේ රම්‍යත්වයත් ධ්වනිත වන අයුරින් එවේලේ පී.බී.අල්විස් පෙරේරා කිවිඳුන්ගේ මුවින් වහා ගිලිහුණේ මේ රසාලිප්ත පිළිතුරු කවියයි.
වෙණුත් කළුයි වෙණුගේ කොතබුවත් කළුයි
රිදී ඉරක් බබළන වැහි කළුත් කළුයි
කළුවර ගහේ මැද ඇති අරටුවත් කළුයි
මමත් කළුයි මා ලත් කවිකමත් කලුයි
'කොතබුව' නම් 'කොතබු' මැණිකයි.
'කොතබු මැණික' යනු සංස්කෘත භාෂාවේ එන 'කෞස්තුභ මාණික්‍යය' යන නාමයේ සිංහල තත්භව රූපයයි. සුරයෙකු වන විෂ්ණු හෙවත් වෙණු දෙවි, අසුරයන් පරදනු සඳහා බලවත් වනු පිණිස, අමෘතය අත්පත් කර ගැනීමේ අටියෙන්, සුනෙර ගිර හෙවත් මහමේරු පවුව දණ්ඩ සේද අනන්ත නම් නාරජ රැහැන සේද ගෙන කිරි මූද කලඹන කල පහළ වුණු 'ශ්‍රිකාන්තාව' හෙවත් 'සිරිකත' වහා තම වල්ලභාව කරගත් අයුරින්ම, ඉන්ම මතු වුණු 'කොතබු' මිණද පැහැරගෙන තම කළු පැහැති ළයෙහි පැලඳ ගත් බැවින් එයද කළු පැහැයෙන් දිසේ. 'කළු' යනු කළු පාටයි. එහෙත් 'කලු' යනු සිත්කලුයි. 'ළ' 'ල' වෙනස එම අර්ථ භේදය අනුවය.
අල්විස් පෙරේරා කිවිඳුන් වනාහි තම පාරම්පරික මව්බසට ආවේණික කවිසමයේ ජාන උරුමය නිදන්ගතව පවත්නා පැරණි ගද්‍ය පද්‍ය සාහිත්‍යය ළැදි සිතින් තම හෘදය දායාද කොටගත් නූතන පරපුරේ කවියෙකි. එසේ නොවුණු කලෙක නව පරපුරක කවියන් ඕපපාතිකයන් රැළක් බවට පත්වීම කවර අරුමයක්ද? ඔවුන් තම මව්බසින්ම කාව්‍යකරණයෙහි යෙදෙන්නන් වන හෙයිනි. පෙර අවර දෙදිග කවර ජාතියකට වුව අයත් නූතන කවි පරපුරවල එවැනි මුල් සිඳුණු ඕපපාතිකයන් ඇත්නම් ඒ ඉතා විරල වශයෙන් බව ඔවුන්ගේ කවි රචනා අරබයා ලියැවුණු විවිධ විචාර ග්‍රන්ථ මගින් ඉඳුරා පසක් වෙයි. මෙම ඕපපාතික ලක්ෂණය සනාථ කරන කවි බසින් බැඳුණු නිසරු කවි රචනා මෙරට වත්මන් කවි පරපුර අතින් සුලබ ලෙස බිහි නොවෙතියි කා හට නම් කිය හැකිද? ස්වයංජාත උරුමයෙන් අඛණ්ඩව ගලා එන හෘද්ගත පොහොසත් කවි බස ළැදිව නොහදාරා තමා දන්නා දිළිඳු හිඟන බසකින් ලියැවෙන කවි රචනා අපූර්ව චමත්කාරයක් (විස්මය) දනවන දීර්ඝායුෂ්ක රචනා බවට පත් නොවීම කවර අරුමයක්ද? කුමන රීතියකින් කළ කවි රචනාවක් වුවද එහි ආත්මය වන කවිබස රසික ජන හද සසල නොකරන ආගන්තුක බසක් වේ නම් එම රචනය අල්පායුෂ්ක වීම නියත ඵලයකි. "Meanings are in people. Not in words. Words only stir meanings already present in people." (තේරුම් ඇත්තේ මිනිසුන් තුළ මිස වචන තුළ නොවේ. වචන වලින් කෙරෙන්නේ මිනිසුන් තුළ පවත්නා තේරුම් අවදි කිරීම පමණි.) යන ආංගල ආප්ත වාක්‍යය කෙතරම් නිවැරදිද? කවියක් එය ලියැවෙන මව්බසින් අන් බසකට පෙරළීමේදී අහෝසි වන්නේ කවිය යැයි කීම කවර අරුමයක්ද?
රික්ෂෝ රථය ගැන රචිත කවි පෙළෙන් අල්විස් පෙරේරා කිවිඳුන් නිර්දය ලෙස විවේචනයට ලක් කළේ ධනවාදයේ නර රකුස් බවයි. ඇතැම් තැනකදී සමාජවාදයේ අනුසස්ද අවධාරණය කරමින් ඔහු කවියෙන්ම කළ පුරෝගාමී නූතන නවකතා විවේචනයකින් මගේ මේ හෘදයංගම මතක වත හමාර කිරීම මැනවැයි හඟිමි. මින් පෙර හෙළ වහරේ භාවිත නොවූ අලුත් වදන් නිපදවීමෙහිලා අල්විස් පෙරේරා කිවිඳුන් සතුව පැවැති දුලබ කුසලතාවටද මෙම ඓතිහාසික කවි විවේචනය සාක්ෂාත් සාක්ෂි දරයි.
තමාට හුරු පුරුදු කවිය මාධ්‍යය කොටගෙන අල්විස් පෙරේරා කිවිඳුන් විසින් මෙම අභීත අදීන විචාරය ලියන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'යුගාන්තය' නවකතාව පාදක කොට ගෙනය. 'යුගාන්තය' ප්‍රථම වරට මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්ව ඇත්තේ 1949 වසරෙහිය. ඒ අරබයා ලියැවුණු අල්විස් පෙරේරා කිවිඳුන්ගේ කවි විවේචනය වූකලී එකල ඔහුවිසින්ම සංස්කරණය කරන ලද සුප්‍රකට 'දේදුන්න' කවි සඟරාවේ 1949 පෙබරවාරි කලාපයෙහි 'මේඝ බන්ධු' යන ආරූඪ නාමයෙන් උණු උණුවේ පළ කරන ලද්දකි. නූතන යථාර්ථවාදී නවකතා විචාරය ළදරු වියේ පැවති එවැනි අවධියක අල්විස් පෙරේරා කිවිඳුන් විසින් අභීතව අදීනව කෙරුණු මෙම 'යුගාන්තය' කවි නවකතා විචාරය, අදටත් වලංගු, අති පරිණත, අති නූතන, යථාර්ථවාදී නවකතා විචාරයක් ලෙස හැඳින්වීම කවර වරදද?
'යුගාන්තය'
කර්තෘ: මාර්ටින් වික්‍රමසිංහ
ප්‍රකාශක: ඇම්.ඩී. ගුණසේන සහ සමාගම
පිළිබිඹු කොට පෙන්වා දී එක් යුගයක පරිහානය
ඒ සමගම නැගෙන අලුත් යුගයක් පිළිබඳ සීනය
තතු පළ වෙන යුගන්තයෙන් සමාජයක අවදානය
ලියවී ඇත නව මඟකින් ලෙස හුදි ජන බහු මානය
එංගලන්තයේ ඉගෙණුම් නිම කොට ලක්දිවට ගේන
මාලින් කබලාන ඔහුගෙ මිතු අරවිඳු වෙහෙරහේන
අත්සතරැදුරෙක්ද උසස් දොස්තරයෙකු පරිදි පේන
මේ දෙදෙනාගෙන් මතු වෙයි නව අදහස් නොමැති දීන
කැලඹිලි වාදය අදහයි මාලින්
සොහොයුරිය චමරි
ඇයගේ නෑනන්ඩියෙකැයි යෙති
නීලා නමැති කුමරි
වජිරින්ගේ කරේ වැටෙයි මංගලිකා තරුණ බැමරි
රස උතුරයි හැම තැනකම මදිරාවගෙ රිදෙන ඔමරි
සවිමන් කබලාන තෙතක් නැති දනපතියකු වුණේය
සිය පුතු හා තරඟෙට ඔහු රවිසෙන් පෙරමුණ ගෙණේය
වත්තුහාමි මුදලාලිත් නම්බුව ලෙව කනු පෙණේය
සමහර සිරිතක සබඳක් අඩු
වී යන බව දැණේය
වික්රමසිහ මහතාහට සමාජයේ ඉහළ පැත්තෙ
ගති පැවතුම් ගැන හොඳ හොඳ පොහොසත් වූ දැනුම් ඇත්තෙ
එනමුදු මේ නවකතාවෙ එහි විවරණ කිසිදු නැත්තෙ
ලොකු පුදුමෙකි මොන මොහොතෙද හෙතෙම පෑන අතට ගත්තෙ
වැලිගම හාමිනේ නමැති කුළඟනකගෙ සිරිත හොඳය
යුගන්තයේදී මැයහට ඉඩ
දුන් තැන් සුළුය මඳය
වික්රමනායකගේ කෙරුවාවල්
හැම තැනම ගඳය
තිස්සගෙ දස්සන වාදය උපමාවට ගැඹුරු ළිඳය
ගැහැනුන් ගැන වැණුම්වලදි
කතුරිඳුගේ පැසුණු ගතිය
නැතිවී ගොස් නව කොළුකම් මතු වූ තැන් එමට ඇතිය
කාමසුතුර කියවන්නට නීලාවට කවන කිතිය
අරවින්දගෙ රිසිය වුවත් කතාව හා සබඳ නැතිය
සමාජවාදියා නියම රිස්සෝ රතයක නොයාවි
මාලින් ඉන් ගිය බව එකසිය තුන් වැනි පිට කියාවි
හොඳ දොස්තර ගැහැනු ඇඹලයකු බව නොලියා ලියාවි
"ඔහු ගම්බද තරුණියකගෙ පියයුරු මත ලෙඩ සොයාවි"
පුතු තරඟෙන් ජය ගත් පසු මැඩ ගනිමින් සියලු හදිය
ඇස කඳුළැලි නගන සුළුයි මව දක්වන සෙනෙහෙ පොදිය
නව උපමා කියන්ට ගොස් අපට පෙනෙයි එරුණු විදිය
උසස් කතුගෙ උසස් නමට මේ පොත නම් බොහොම මදිය
- මේඝ බන්ධු
1949 පෙබරවාරි 'දේදුන්න' කව්සඟරාව - 12 පිටුව
’ෆේස් බුක්’ මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි.
සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 96 වැනි වියට එළැඹෙණුයේ 2024 නොවැම්බර් 12 වැනි දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!
මා මාර්ටින් වික්‍රමසිංහ මහාශයන්ගේ ආවේශාත්මක වූත් ආස්වාදාත්මක වූත් සමීප ආශ්‍රය ලබමින් විසූ භාග්‍ය සම්පන්න සමයේ එක්තරා අවස්ථාවක මම ඔහුගෙන් මේ පැනය වි
ඇස්. පියසේන (සේනාධීර පියසේන) නම් බහුශ්‍රැත හා පරිණත මාධ්‍ය විශාරදයාණන් සමග ඉතා ළංව ඇසුරු කිරීමට ලැබීම මගේ පරම භාග්‍යයකි. අනූ වියද ඉක්ම මියෙන තෙක්ම පැහැද
සංස්කෘත භාෂාවේ එන ’මන්’ ධාතුව හෙවත් ක්‍රියා මූලය කෙරෙන්, ’දැනගැනීම’, ’සිතීම’, ’මැනීම’, ’සලකා බැලීම’, ’ගරු කිරීම’, ’ආඩම්බර වීම’, යන අර්ථ සූචනය වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මමත් කළුයි මාගේ කවිකමත් කලුයි!