ශ්රී ලංකා ගුවන්විදුලිය ආරම්භ කොට 2025 දෙසැම්බර් 16 වන දිනට ශත සංවත්සරයක් ආයුෂ සපිරෙයි. එහි පදවීතිහාරයේ හෙවත් ගමන් මගේ සුලමුල ආවර්ජනයට ගත් තැතකි මේ. එහි මූලස්ථානය පිහිටා ඇත්තේ එදා ටොරින්ටන් චතුරස්‍ර නාමයෙන් හැඳින්වූ අද නිදහස් චතුරස්‍ර නාමයෙන් දන්නා භූමි භාගය ආසන්නයෙහිය. අද රූපවාහිනිය පිහිටා ඇත්තේද ඊට අභිමුඛවය. මෙකල පවා ලංකාවේ ප්‍රභූ පැලැන්තියේ ජනයා බහුල වශයෙන් වෙසෙන මෙම භූමි ප්‍රදේශය 'කුරුඳුවත්ත' යන අපර නාමයෙන්ද ප්‍රකටය. මේ ප්‍රභූ 'කුරුඳුවත්ත' පහළවීමට පෙර අතීතයේ එවැනි ප්‍රභූ පවුල්වලට අයත් වලව්කාරයන් විරාජමාන වුණු මේ හා සමාන කුරුඳුවත්තක් ලෙස වැජඹුණේ මෝදර අවට ප්‍රදේශය බව අද අප්‍රකටය. එකල මෝදර ප්‍රදේශයේ පිහිටි පැරණි සොලමන් ඩයස් බණ්ඩාරනායක වලව්ව ඇතුළු වෙනත් ප්‍රභූ වලව් මීට මනා සාධකයකි. මාර්ටින් වික්‍රමසිංහයන් , තම ගම්පෙරළිය නවකතාවේදී , අලුත් පොහොසතෙකු වන පියල් ලවා ඔහුගේ නව මන්දිරය මෝදර පෙදෙසෙහිම තනවන්නේ එකල එහි වූ ප්‍රභූ මහන්තත්ව පරිසරය සිහි කොට විය යුතුය. ලක් ජන සමාජය අද 'කුරුඳුවත්ත' සේම එදා ඒ පෙදෙසද මහේශාඛ්‍ය අඩවියක් ලෙස . සලකන්නට ඇතුවා නිසැකය.
වර්තමාන ගුවන්විදුලි හා රූපවාහිනී මධ්‍යස්ථාන , නිදහස් චතුරස්‍රය ආදිය පිහිටා ඇති 'කුරුඳුවත්ත' නමින් දන්නා භූමි ප්‍රදේශය ඈත අතීතයේ ප්‍රකටව ඇත්තේ 'කූඹි කැලේ' යන නමිනි. ඩබ්ලියු .ඒ. සිල්වා සූරීන්ගේ ඓතිහාසික නවකතාවෝ මීට සාක්ෂි සපයති. එය එකල වන සතුන්ට ගොදුරු පිණිස මළමිනි ගෙන ගොස් දමන අමුසොහොන් පෙදෙසක්ව පැවතුණක් බව කියැවේ.
ගුවන්විදුලි සංස්ථාවට නුදුරින් ලොංඩන් ප්ලේස් නමින් මාවතක් විය. එය එනමින් හැඳින්වුණේ ක්‍රි: ව: 1877 සහ 1883 අතර කාල පරිච්ඡේදයේ ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ සර් ජේම්ස් රොබට් ලොංඩන් සිහිවීම පිණිසය. අද එය ගුණපාල මලලසේකර මාවතය. ලොංඩන් ආණ්ඩුකාරයාගේ පාලන සමයේ ඔහු කළ වෙසෙස් වැඩක් ඇත. එනම් අද ගුවන්විදුලි සංස්ථාව පිහිටි භූමි භාගයේ රුපියල් 600000 වියදමින් විශාල උන්මත්තක ආරෝග්‍ය ශාලාවක් පිහිටුවීමය. රටට අත්‍යවශ්‍යම කර්මාන්ත රාශියක් තිබියදී එය නොසලකා උමතූ රෝහලක් සෑදවීම ගැන ඔහු එකල නිර්දය විවේචනයට ලක්ව ඇත. වර්තමාන ගුවන්විදුලි සංස්ථා ගොඩනැගිල්ලේ තැටිපටි ගබඩාව ඇත්තේ එම උමතු රෝහලේ මෘත ශරීරාගාරය පිහිටි තැන යැයි කියැවේ.
ලංකාවේ සිංහල ජනයා වෙනුවෙන් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රී ධුරයක් දැරූ , ප්‍රාචීන අර්වාචීන යන උභය භාෂා විෂයෙහි විශාරද පටුත්වයක් ඇති , කවීශ්වර , විචාරේශ්වර , ග්‍රන්ථකර්තෘවර ජේම්ස් ද අල්විස් පණ්ඩිත ශිරෝමණීහු වර්ෂ 1878 ජූලි මස 08 වන දින කීර්තිශේෂ භාවෝපගත වූයේද ලොංඩන් ආණ්ඩුකාර සමයෙහිය.
ජේම්ස් ද අල්විස් පඬිතුමාගේ සම්ප්‍රදානය ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් පාදක කොට සිද්ධ වූවක් ලෙස ඉතිහාසගතව ඇත. නීතිය , දේශපාලනය සහ භාෂා සාහිත්‍යය යනු ඒ ත්‍රිවිධ ක්ෂේත්‍රයයි.
තම 'සිදත්සඟරා' ඉංග්‍රීසි පරිවර්තනයට ඔහු ලියූ දීර්ඝ.. ඉංග්‍රීසි ප්‍රස්තාවනාව වූකලී සිංහල භාෂා සාහිත්‍යය මෙන්ම පොදු භාෂා සාහිත්‍යය විෂයද පාදක කොටගත් විචාර පූර්ණ ශාස්ත්‍රීය සමාලෝචනයකි. සිංහලයාගේ ජාතික උරුමයත් භාෂා සාහිත්‍ය ඉතිහාසයත් පිළිබඳව කල්පනාව පුබුදු කරන කරුණුවලින් සමන්විත මේ ප්‍රස්තාවනාව ඒ ක්ෂේත්‍රය අළලා ලියැවුණු පළමු පුළුල් පර්යේෂණාත්මක නිබන්ධය වශයෙන් පිළිගැනේ.
ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි ප්‍රචාරය නිල වශයෙන් ආරම්භ වූයේ 1925 දෙසැම්බර් 16 වනදාය යනු දැන් සම්මත මතයයි. බ්‍රිතාන්‍ය යටත් විජිත අතරින් ගුවන්විදුලි ප්‍රචාරය පටන් ගත් මුල්ම යටත් විජිතය ලංකාව වෙයි. එසේම රජයට අයත් පළමු ගුවන්විදුලි ආයතනය පිහිටැ වුණේද එහිය.
එවකට ලංකා තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයා වූ එඩ්වඩ් හාපර් මහතා ගුවන්විදුලි ට්‍රාන්ස්මීටර් යන්ත්‍රයක් නිපදවීමේ පළමු ප්‍රයත්නය දැරූ පුද්ගලයා විය.
ලංකාවේ ගුවන්විදුලි ප්‍රචාරයේ ආරම්භය සිදුවූයේ 1924 ජූනි 27 බවටද වාර්තා වෙයි. එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර පදවිය ඉසුලූ සර් විලියම් හෙන්රි මැනිං විසින් මධ්‍යම විදුලි සංදේශ කාර්යාලයේ පිහිටැවුණු ට්‍රාන්ස්මීටර් යන්ත්‍රයක් මගින් ලංකා ඉංජිනේරු සංගමයට පණිවිඩයක් නිකුත් කළ හෙයිනි. එහෙත් එය පරීක්ෂණ විකාශනයක් පමණි. කෙසේ වුවද එංගලන්තයෙන් ලබාගන්නා ලද උපකරණ උපයෝගී කරගනිමින් ප්‍රධාන ඉංජිනේරුවරයා විසින් නිපදවන ලද ගුවන්විදුලි විකාශන යන්ත්‍ර මගින් ආරම්භ කළ ගුවන්විදුලි ප්‍රචාරණ සේවාව එවක ලංකාණ්ඩුකාර ධුරය දැරූ සර් හියු ක්ලිෆර්ඩ් විසින් නිල වශයෙන් විවෘත කර ඇත්තේ 1925 දෙසැම්බර් 16 වනදාය.
ලංකාවේ ගුවන්විදුලි ප්‍රචාරය අරබයා වූ පරීක්ෂණ කාර්ය මුලින්ම පටන් ගැනුණේ 1923 දී පමණය. මුලින් ගුවන්විදුලි පාලක මැදිරිය මධ්‍යම විදුලි සංදේශ කාර්යාලයේ පිහිටි අතර 1926 කොළඹ යුනිවර්සිටි කොලීජියේ ප්‍රචාරක මැදිරියක් ආරම්භ කෙරුණි . 1927 ඒ දෙකම ටොරිංටන් පැරණි ගොඩනැගිල්ලකට ගෙන එන ලදී. 1939 දෙවන ලෝක මහා යුද්ධය ආරම්භවීමත් සමගම එම ගොඩනැගිල්ල යුද කටයුතු සඳහා අත්පත් කර ගැනුණෙන් එහි පැවති ප්‍රචාරක මැදිරිය සහ පාලක මැදිරිය තාවකාලිකව බොරැල්ලේ කොටා රෝඩ්හි පිහිටි 'බවර්' නමින් දන්නා මන්දිරය වෙත ගෙන ඒමට සිදුවිය.
1949 වන විට බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ලැම්ප්සන් මහතා පළමු වන ගුවන්විදුලි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වශයෙන් ටොරිංටන්හි වර්තමාන නව ගොඩනැගිල්ල සහිත ගුවන්විදුලි මධ්‍යස්ථානයේ කාර්යභාරයේ නිරතව සිටි අතර එතෙක් 'බවර්' මන්දිරයේ පිහිටි ගුවන්විදුලිය 1950 දී ටොරිංටන් නව ගොඩනැගිල්ලට ගෙන එන ලදී. 1956 පටන් වර්තමාන ගුවන්විදුලි මධ්‍යස්ථානය නව උපකරණවලින් සමන්විතව ක්‍රියාත්මක වීමට පටන් ගති.
'ගුවන්විදුලිය' යන වෙසෙස් සංඥා නාමය ගැන ඔබේ අවධානය යොමු කිරීම මැනවැයි යි හඟිමි. 'රේඩියෝ' යන ඉංග්‍රීසි නාමයට පර්යාය සිංහල නාමයක් වශයෙන් 'ගුවන්විදුලිය' යන්න කවර දා කවුරුන් විසින් යෝජනා ස්ථිරත්වයෙන් සම්මත කරන ලද්දේද යන්න අඥාතය. එහෙයින් 'ගුවන්විදුලි' යන සිංහල නාමෝත්පත්තියේ සුලමුල සොයා දැනගැන්ම සුකර කාර්යක් නොවනු නියතය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රේඩියෝ මාධ්‍ය ආයතනයක් පිහිටුවන ලද පළමු යටත් විජිතය වන ශ්‍රී ලංකාවේ එය හැඳින්වුණේ 'රේඩියෝසිලෝන්' යන නමිනි. 'ලංකා ගුවන් විදුලිය' යනු එහි සිංහල පර්යාය නාමයයි. මෙහිදී අවිනිශ්චිත කාරණයක්ව පවත්නේ මේ සිංහල නාමය කෙසේ කවුරුන් විසින් කවදා නිපදවන ලද්දක්ද යන්නය. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් එක් දෙයක් ඉඳුරා පැවසිය හැකිය. එනම් 'ගුවන්විදුලිය' යන සිංහල වචනය ඉංග්‍රීසි 'රේඩියෝ' යන්නට පදගතාර්ථ වශයෙන් සපුරා අනුචිත බවය.
භාෂාන්ධයන් විසින් යම්කිසි වචනයක් එහි ගැබ්ව පවත්නා නියම අර්ථය නොදැන ඊට ඉඳුරා පටහැනි අර්ථයක් දීම සඳහා නිතර නිතර භාවිතයට ගැනීම කරණකොටගෙන එය නිරවද්‍ය ව්‍යවහාරයක් හැටියට තහවුරුව යෑම ජීවභාෂාවේ නිතර සිදුවන්නකි. මෙය භාෂාන්ධයන්ගේ භාවිතයේ දෝෂයක් මිස භාෂාවේ දෝෂයක් නොවේ. මේ බව සනාථ කරන මනා නිදසුන් මෙරට බොහෝ ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවල සන්නිවේදන කාර්යේ යෙදෙන නිවේදක නිවේදිකාවන්ගේ කටවලින් දිනපතා සැපයෙයි. ඒ අතරින් නිතර පට්ට ගහන සුලබ දුෂ්ප්‍රයෝග දෙකක් නම් 'ආලින්දය' හා 'පුරාවට' යන වචන යුගලයයි. පැරණි කල සිට ගෙයක පිල හෝ ඉස්තෝප්පුව හැඳින්වීම සඳහා පොතපතේ භාවිතයට ගැනුණු 'ආලින්දය' යන්න කිසියම් භාෂාන්ධයෙකු විසින් එහි අර්ථය නොදැන ගෙයි 'සාලය' සඳහා ව්‍යවහාරයට ගැනීමේ අනිටු ප්‍රතිඵලයක් වශයෙන් එය දැන් 'සාලය' යන්නෙහි පර්යාය පදයක් ලෙස තහවුරුව ගොස් ඇත. 'පුරාවට' යන්නද එසේමය. 'ගස පුරාම මල්' , 'මිදුල පුරාම වැලි' , 'පුරා හඳ' , ' පුරා හෝරාවක්' යනුවෙන් පොතපතේ හා කතාබහේ බහුසම්මතව භාවිතයට ගැනුණු 'පුරා' ශබ්දය දැන් මාධ්‍ය භාෂාන්ධයන් විසින් 'පුරාවට' යන අපභ්‍රංශයට පෙරළා ඇත. 'පුරා' ශබ්දය සංස්කෘත භාෂාවේ එන 'පූර්ණ' යන වචනයෙහි අර්ථය හඟවන සිංහල තද්භව පදයයි. අර්ථ විපරීතය වූකලී භාෂාන්ධයන් නිසා බෝවන්නාවූ රෝගයක් බවට මෙය ප්‍රත්‍යක්ෂ සාක්ෂියකි.
'රේඩියෝ' යන්නෙහි නිශ්චිතාර්ථය නොදැන හෝ නොසලකා ඒ සඳහා 'ගුවන්විදුලි' යන්න භාවිතයට ගැනීමෙන් සිදුව ඇත්තේද එවැනි අර්ථ විපරීතයක්මය. 'ගුවන්විදුලිය' යන දෙපද වචනයේ අර්ථය වන්නේ 'අහස හා විදුලිය' යනුයි. 'රේඩියෝ' යන්නෙන් ගම්‍යමාන වන විද්‍යාත්මක ක්‍රියාර්ථය ඒ දෙපදය නගන වෙන් වෙන් අර්ථවලට සපුරා පටහැනි වේ. 'රේඩියෝ' යන වචනයෙන් ධ්වනිත වනුයේ ශබ්ද තරංග පිළිබඳ අර්ථයකි. 'රේඩියෝ' යන වචනය 'රේඩියස්' (Radius) යන වචනය ආශ්‍රයෙන් උපන්නකි. 'රේඩියස්' නමින් හැඳින්වෙනුවේ කේන්ද්‍රයක හෙවත් මධ්‍යයක සිට පිටතට විහිදෙන රේඛාවක් , තරංගයක් වැන්නකි.'රේඩියෝ' තාක්ෂණය මගින් සිද්ධ වනුයේ මධ්‍යස්ථානයක සිට දූරස්ථානයකට ශබ්ද තරංග ඔස්සේ සංදේශ සම්ප්‍රේෂණයයි. එයම එහි විද්‍යාත්මක ක්‍රියාවලියයි. 'ගුවන්විදුලිය' යන දෙපද නාමයෙන් එකී විද්‍යාත්මක අර්ථයේ ඡායා මාත්‍රයක්වත් ගම්‍යමාන නොවන බව ඉඳුරා ප්‍රකට වෙයි.
'ගුවන්විදුලිය' යන නම 'රේඩියෝ' යන්නට විද්‍යාත්මක වශයෙන් හෝ ප්‍රායෝගික වශයෙන් අර්ථවත් නොවන නිසාදෝ ඊට උචිත නමක් නිපදවීමේ එක්තරා ප්‍රයත්නයක්ද ඉතිහාසයෙන් හෙළි වෙයි. සිංහල පාරිභාෂික පද (Technical Terms) නිපදවීම කෙරෙහි වෙසෙස් උනන්දුවක් දැක්වූ පුරෝගාමියෙකි මහා පඬි මුනිදාස කුමාරතුංග වාගීශ්වරයාණෝ. සිංහල පාරිභාෂික පද නිපදවීමෙහිලා එතුමෝ තුන් මගක් ගත්හ.
රූප සාම්‍යය(රූපයෙන් සමානවීම)
උදා:
බයිසිකලය
මෙය මුල් ඉංග්‍රීසි වචනය වන Bicycle යන්නට රූපයෙන් සමාන වෙයි.
අර්ථසාම්‍යය.( තේරුමෙන් සමාන වීම)
උදා:
පා පැදිය
පයින් පදිනුයේ යමක්ද එය පාපැදියයි.
ශබ්දාර්ථ සාම්‍යය.( ශබ්දය හා අර්ථය යන දෙකෙන්ම සමාන වීම)
උදා :
මීයැසිය
'මීයැසිය' යනු සංගීතයයි. එය ඉංග්‍රීසි Music යන්නට ශබ්දයෙන් සමීප වෙයි. 'මී' සේ ( මධුර ලෙස) ඇසිය හැක්කේ යමක්ද එය මීයැසියයි.
'රේඩියෝ' ඉංග්‍රීසි නාමය සඳහා සිංහල පාරිභාෂික පදයක් නිපදවීමේදී මුනිදාස කුමාරතුංග ශාබ්දිකයාණන් අනුගමනය කර ඇත්තේ ශබ්දාර්ථ සාම්‍යය රීතියයි. ඒ සඳහා එතුමාණන් පාදක කරගෙන ඇත්තේ 'රේඩියෝ' යන්නෙහි විද්‍යාත්මක ක්‍රියාවලියයි. 'රේඩියෝ' යන්න උදෙසා එතුමා විසින් නිපදවන ලද අභිනව සිංහල පාරිභාෂික පදය 'රෙදෙව්ව' යනුයි. ශබ්දධ්වනිය හා 'රේඩියෝ' යන්නෙහි විද්‍යාත්මක ක්‍රියාවලිය අනුව යමින්ම නිපදවන ලද එම සිංහල වදනෙහි පදසිද්ධිය මෙසේයි.
රෝදයක ගරාදි හැඳින්වෙන්නේ 'අර' යන නමිනි. ඒ 'අර' විහිදෙන්නේ රෝදයේ මධ්‍යය වන බොස්ගෙඩියේ සිට එහි නිම්වළල්ල හෙවත් පිට පට්ටම වෙතය. ඉංග්‍රීසි බසින් 'රේඩියස්' නමින් හැඳින්වෙන්නේද මධ්‍යයේ සිට පිටට විහිදෙන මේ 'අර' හා සමාන රේඛා හා තරංග වැනි දේමය. ඒ අනුව ඉංග්‍රීසි 'රේඩියස්' යන්න හා සිංහල 'අර' යන්න අර්ථයෙන් සම තැන් ගනියි. මධ්‍යයේ සිට පිටට විහිදෙන දේ යන අරුත් හඟවන 'රේඩියස්' යන්නෙන් 'රේඩියෝ' යන්න උපන් අයුරින්ම එම අරුතම හඟවන 'අර' යන්නෙන් 'රෙදෙව්ව' යන නාමයද නිපන් බව සඳහන් වෙයි.
'රේඩියෝ' තරංග විහිදීම 'අර' විහිදීමක් වැනිය. ඒ අනුව 'අර' විහිදීම යන්න 'අර' දීම යනුවෙන් ගැනීමෙන් 'අර දෙවු' 'රෙදෙවු' වී 'රෙදෙව්ව' නම සැකසී ඇත. ඉංග්‍රීසි 'රේඩියෝ' යන්නෙහි ගැබ් වුණු විද්‍යාත්මක අර්ථයට නිරුක්ති අර්ථයෙන් සම වුවද 'රෙදෙව්ව' නාමය ව්‍යවහාර ගත නොවුණේ ඇයි? එය අසිංහල ස්වරූපයේ කෘත්‍රිම වචනයක වෙස් ගැනීමත් උච්චාරණයේදී ඉන් නගින හාස්‍යජනක ධ්වනියත් ඊට හේතු භූත වූවා නිසැකය.
ලොව ජීවමානව සිටි ශ්‍රේෂ්ඨතම චින්තකයා මාර්තු 14වැනි දා පස්වරු තුනට කාලක් තිබියදී තම චින්තන ක්‍රියාවලිය නතර කළේය. ඔහුට තනිව සිටින්නට ඉඩ හැරියේ යන්තම් වි
ශ්රී ලංකා ගුවන්විදුලිය ආරම්භ කොට 2025 දෙසැම්බර් 16 වන දිනට ශත සංවත්සරයක් ආයුෂ සපිරෙයි. එහි පදවීතිහාරයේ හෙවත් ගමන් මගේ සුලමුල ආවර්ජනයට ගත් තැතකි මේ.
සුචරිත ගම්ලත් පණ්ඩිත ශිරෝමණීහු ස්වකීය මානව ජීවන සම්ප්‍රදානය අරභයා භුවංගත වූයේ ක්‍රෛස්තවාබ්‍ද 1934 මැදින් මාසයේ 10 වනදාය.
සිංහල භාෂාව හා ව්‍යාකරණය මෙන්ම පාලි හා සංස්කෘත මිශ්‍ර පැරණි ගද්‍ය පද්‍ය සිංහලයද එසේම ඉංග්‍රීසියද ව්‍යක්ත ලෙස හදාරා නොමැතිකම නිසා උපන් හීනමානය සඟවා ග
සක් දෙවිගේ ඇරියුමෙන් දෙව්ලොව ගිය ගුත්තිල ගඳඹ ඇදුරිඳු යළි මනුලොවට පැමිණි බව ඇසූ පුරවැසියෝ ඔහු කරා එළැඹ සුරපුර සිරිසර ගැන තොරතුරු හෙළි කරන ලෙස අයැද සිටි
දිගු කලක සිට විශ්වවිද්‍යාලවල ජන සන්නිවේදන අංශ අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් විය. එනම් තම විද්‍යස්ථානයන්හි ජන සන්නිවේදන පාඨමාලා හදාරන ශිෂ්‍ය ජනයාහට ප්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
රේඩියෝව හා රෙදෙව්ව