ලංකාදීප 'මතුමහල' සාහිත්‍ය අතිරේකයේ මා පළ කළ "රති සුඛ සාරේ ගතමභිසාරේ මදන මනෝහර වේශම්" නම් ගීත ගෝවින්ද අභිරමණ ගීතයේ මගේ සිංහල පරිවර්තනයෙන් රසාස්වාදය ලද රසිකයන් වෙනුවෙන් එම කාව්‍යයෙහිම එන "ලලිත ලවඞ්ග ලතා පරිශීලන කෝමල මලය සමීරේ" නම් වසන්ත වර්ණනා ගීතයේ මගේ පරිවර්තනයද මෙසේ මතුමහලෙහි පළ කරමි. 'රති සුඛ සාරේ....' ගීතයේ පරිවර්තනය පළ කළ වේලේ ඊට අදාළව හෙළි කළ යුතුව තිබුණු වැදගත් තොරතුරක් අමතක වීමෙන් හෙළි කරනු බැරි විය. එම තොරතුර සමගම දැන් ඉදිරිපත් කැරෙන මෙම 'ලලිත ලවඞ්ග...' ගීතයට අදාළ වැදගත් තොරතුරු කීපයක්ද මෙහි ලා පළමුව හෙළි කරනු කැමැත්තෙමි.
සංස්කෘත භාෂාවෙන් රචිත "රති සුඛ සාරේ...." නම් ගීත ගෝවින්ද ගීතය ස්වකීය තනුවක් අනුව පළමු වරට ගායනය කළ සිංහල ගායකයා සුසිල් ප්‍රේමරත්නයන්ය. ඔහු වෘත්තියෙන් අති ශූර චිත්‍ර ශිල්පියෙකි. නූතන බෞද්ධ චිත්‍ර කලා ඉතිහාසයේ පුරෝගාමී චිත්‍ර නිර්මාතෘවරයෙක් වූ එම්.සාර්ලිස් (මාලිගාවගේ සාර්ලිස්) මහාශයෝ සුසිල් ප්‍රේමරත්නයන්ට කීර්තිමත් පිතෘ වූහ. සුසිල් ප්‍රේමරත්නයෝ වනාහි චිත්‍ර චාතුර්යය සමගම ශ්‍රැති රම්‍ය ස්වර මාධූර්යකින් රමණීය තනු තැනීමේ කුසලතාවකින් හා මධුර ගායන කෝවිදත්වයකින් උපලක්ෂිත සංගීත උපනිශ්‍රයක්ද උරුම කොට ගත්තෙකි. නිත්‍ය චිත්‍ර කලා වෘත්තිය කරණ කොටගෙන ඔහුගේ සංගීත ගමන් මග අඛණ්ඩ ගමන් මගක් නොවිණැයි සිතමි. එහෙත් ඔහු ග්‍රැමෆෝන් තැටිවලට ගුවන්විදුලි තැටිවලට හා 'සැඟවුණු පිළිතුර' චිත්‍රපටියට ගැයූ ශ්‍රවණ රමණීය ගීත අතළොස්ස වුව අමරණීය ආස්වාද පද්ධතියක් වේමැයි.
සුසිල් ප්‍රේමරත්නයන්ගේ කලාත්මක අධ්‍යාත්මය සතු එක්තරා විශේෂ ගුණාංගයක් මම දකිමි. එනම් චිරන්තන සම්භාව්‍ය කාව්‍ය සාහිත්‍යයට අයත් ගීතාත්මක භාෂා මාධූර්යය කෙරෙහි ඔහු තුළ පැවති තීව්‍ර සංවේදිත්වයයි. වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයෙහි
"රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා' යනුවෙන් ඇරඹෙන සුරඟන රැඟුම් වැනුම සහ ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්ද කාව්‍යයෙහි "රති සුඛ සාරේ..."
ගීතය ඊට උචිත ලයාන්විත තනු තමාම තනා ගැයීමට තෝරා ගැනීමෙන්ම යට කී වෙසෙස් ගුණාංගය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙයි. රඟන සුරඟන රුවක් සිත්තමට නගමින්ම සුසිල් ප්‍රේමරත්නයන් "රූ රැසේ අඳිනා ලෙසේ" ගීතය ගයන ජවනිකාවක් වරක් රූපවාහිනියෙන් නරඹමින් මා ලැබුවේ අපමණ ආස්වාදයකි. එය යුග ගීයක් ලෙස සුසිල් ප්‍රේමරත්නයන් ගැයුවේ ශ්‍රැති රම්‍ය ස්වර උරුමයක් ඇති ලතා වල්පොල ගායිකා සමගය. ඇය එකල ලතා ජෙනිවිය. සමූහ ගීයක් වූ "රති සුඛ සාරේ..." ගායනයට ඔහුට සහාය වූයේ ගම්භිර ස්වර පෞරුෂ්‍යයකින් යුත් සුප්‍රකට ගායක බී.පී. වික්‍රමසිංහයන් සහ ශ්‍රවණ රමණී වෙසෙස් ස්වර විලාසයක් ජන්ම දායාද කොට ගත් ඉන්ද්‍රාණී විජේබණ්ඩාර (සේනාරත්න) ගායිකාය.
දැනුදු සුසිලුන්ගේ 'රති සුඛ සාරේ...' සහ සුනිලුන්ගේ 'ලලිත ලවඞ්ග...: යන ගී දෙකම ගුවන්විදුලි තැටි ගබඩාවේ ඇතද ඒවා වත්මන් රසික පරපුරට කණ කැස්බෑ න්‍යායෙන්වත් ඇසිය නොහැකිය.පැරැණි ගී ප්‍රචාරය කරන ඇතැම් වත්මන් යූටියුබ් නාලිකාවන්ගෙන් මේ ගී දෙක ඇසිය හැකිවීම වාසනාවකි.
මවිසින් සිංහලට නගා ඉදිරිපත් කැරෙන මෙම "ලලිත ලවඞ්ග ලතා පරිශීලන..." නම් 'ගීත ගෝවින්ද' වසන්ත වර්ණනා ගීතය පළමු වරට ගැයූ සිංහල ගායකයා අප්‍රතිම සංගීත නිර්මාතෘ සුනිල් සාන්තයන්ය. එම සංස්කෘත ගීතය ගයන විට ඔහු ප්‍රකට කරන සංස්කෘත ශබ්දෝච්චාරණ ශුද්ධිය පළිඟු මිණ මෙන් පරිශුද්ධය. එතරම් නිවැරදිව සංස්කෘත 'ගීත ගෝවින්ද' ගී පද උච්චාරණයෙහි ලා සුනිලුන් ප්‍රකට කරන චාතුර්යය කිසි සේත් ආශ්චර්යයක් නොවේමැයි.
මහාකවි රබීන්ද්‍රනාථ ඨකූරයන්ගේ ශාන්ති නිකේතනයේ සංගීතය හදාරන භාග්‍ය සම්පන්න සමයේ සුනිලුන් ලත් සංස්කෘත භාෂා අධ්‍යයනය එහි ලා ඔහුට මහත් සේ උපස්තම්භක වන්නට ඇතුවා නියතය. සුනිලුන් සතු රසික හද පොබයන මනනඳ දුලබ ස්වර මහිමයත් ඔහුගේ උච්චාරණ ශුද්ධියත් මහා සංගීතඥ අමරදේවයන් මා ඉදිරියේ මුව පුරා අගය කළ අවස්ථා දෙකක් මෙවේලේ මගේ සිහියට නැගෙයි.
"කරූ , මම සුනිල්ගෙන් තමයි ඉගෙන ගත්තෙ ගායනයෙදි නිවැරදිව වචන උච්චාරණය කිරීමේ තියෙන වැදගත්කම."
නොනගතයෙන් මිදී සුනිලුන් යළි ගුවන්විදුලියට පැමිණ තම නව ගැයුම් ඇරඹූ සමයේ දිනක් මා ඉදිරියේ අමරදේවයන්ගේ මුවින් මේ වදන් ගිලිහුණි.
"සුනිල් ආපහු ගුවන්විදුලියට ආ එක වටින්නෙ ඔහුගෙ කටහඬේ තියෙන වටිනාකම හින්දයි. සුනිල්ගෙ කටහඬ ඒ තරම්ම දුලබ අනන්‍ය සුමියුරු හඬක්!"
'ගීත ගෝවින්ද' කාව්‍යය වූකලී එහි ආත්මය වූ සංගීතාත්මක භාෂා මාධූර්යය අතුරුදහන් නොවන සේ කවර බසකට හෝ පෙරළීමට යෑම පරම නිෂ්ඵල තැතක් බවට මෙතෙක් ප්‍රකාශිත සකල ලෝක ගීත ගෝවින්ද පරිවර්තකයෝම සාක්ෂි දරති. ඇතැම් පරිවර්තකයෝ ලේශ මාත්‍ර වශයෙන් මුත් අර්ථ රස සහිතයෝ වුවද සාකල්‍යයෙන්ම ශබ්ද රස රහිතයෝමැයි. එය කවර අරුමයක්ද? ගීත ගෝවින්ද කාව්‍යයේ ආත්මය වන් වාග් මාධූර්ය ප්‍රාතිහාර්ය එලෙසින්ම පෑ හැකි පරිවර්තකයෙකු තබා එය කළ හැකි ආශ්චර්ය අද්භූත කවීන්ද්‍රයෙක් පවා මේ මිහි මත වෙසේ නම් ඒ ශ්‍රී ජයදේව කවිරාජයන්ම පමණක් වන නිසා මැයි!
සකු පඬිවරුන් තිදෙනෙකු විසින් සිංහල කවියට නැගූණු
'ගීත ගෝවින්ද' පරිවර්තන ග්‍රන්ථ තුනක් අප සතුව ඇත. ඉන් ග්‍රන්ථ දෙකකම පරිවර්තකයන් මුල් කෘතියට සාධාරණය ඉටු කිරීමට යත්ත දරා ඇත්තේ සංස්කෘත මූල ග්‍රන්ථයේ එන අනුප්‍රාස එළිසම සහිත පැදිවල යෙදී ඇති මධුර මනෝහර සකු පදාවලිය ඒ සැටියෙන්ම කොපි කිරීමෙනි. ඇතැම් පෙරැළියකදී මුල් අරුත නිවැරදිව හා නිරවුල්ව පළ නොවනුද දැකිය හැකිය. 'ගීත ගෝවින්ද' වසන්ත වර්ණනයෙහි එන පළමු සකු පැදිය නිදසුන් කොටගෙත එම සාධකය පහදා ලීම මැනවැයි හඟිමි.
ලලිත ලවඞ්ග ලතා පරිශීලන කෝමල මලය සමීරේ
මධුකර නිකර කරම්බිත කෝකිල කූජිත කුඤ්ජ කුටීරේ
විහරති හරිරිහ සරස වසන්තේ
නෘත්‍යති යුවති ජනේන සමං සඛි විරහි ජනස්‍ය දුරන්තේ
යථෝක්ත පඬිවරුන් තිදෙනා මා නිදසුන් කොට දැක්වූ එම සකු පැදිය සිංහල කවියට නගා ඇත්තේ මේ අයුරිනි.
ලලිත ලවංග ලතා පරිසේවන කෝමල මලය සමීරේ
කෝකිල කූජන බිඟු ගුමු ගායන රැව් දෙන ලිය මඩු මීරේ
වෙහෙසෙන විරහිනි සරස වසන්තේ
කොමළඟ ළඟ රඟ නිලඟ වෙසේ සකි
වියොගිනි වෙයි හදයන්තේ
(මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා)
ලලිත ලවංග ලතා පරිශීලන කෝමල මලය සමීරේ
මධුකර නිකර සුරංජිත කෝකිල කූජිත ගුල්ම කුටීරේ
රමනෙය හරි මෙහි සරස වසන්තේ නර්තන රැගෙන අනේක ළඳුන් හා විරහි විලාස අනන්තේ
(සුචරිත ගම්ලත්)
අනෙක් ගත හුදු හෙළ පැදියෙන් කළ පෙරැළුමකි. මුල් ගතෙහි වූ සකු වදන් මිහිර සපුරා අතුරුදහන්ව ගොස් ඇති එහිද වටහා ගැන්මට අමාරු හුදු හෙළ පදරුත් බහුල වෙයි.
සියුමැළි මල ගිරි සුළඟ හමන ලෙළ ලවඟ ලියන් පිරිසෙවුනා
ලිය වදුල මැ කිළියේ කොවුලන් කුල්නා මී මැසි රළ රවුනා
වෙසෙයි ගොවිඳු මෙහි රස මුසු වසතේ
නටයි නටයි යෙහෙළියේ යොනන් සහ වනනට ගිනි දෙන වසතේ
(අලවුඉසි සැබිහෙළ)
'ගීත ගෝවින්ද' ගී සිංහල කවියට නැගීමේදී මම සකු ගීවල අනුප්‍රාස හා එළිසම නගන ශබ්දධ්වනි ඒ අයුරින්ම නැංවීමේ නිෂ්ඵල තැතෙහි නොයෙදුණෙමි. එහෙත් මුල් පොතේ ගී පදාර්ථ නිවැරදිව හා නිරවුල්ව මෙන්ම හැකි තාක් සහෘදයන් තුළ හැඟීම් දැනැවෙන අයුරින්ද පැවසීමට වෑයම් කෙළෙමි. එහෙත් එම ප්‍රයත්නය කෙතරම් දුරට සාර්ථක වීද යන්න නොදනුම්හ. එය විනිසීමට සමත් වනුයේ අර්ථාන්විත වූද රසාත්මක වූද ගද්‍ය පද්‍ය සාහිත්‍යය විෂයෙහි පරිණත ආස්වාදන පරිචයක් ඇති සහෘද ඔබ පමණමැයි. මෙහි ලා මාද කර ඇත්තේ සුවාසූ දහසක් යොදුන් ගැඹුරැති මුහුදක් ගොඩ කරමැයි උදක් ලෙහෙනු කළ තැත වැනි තැතක් නොවිය හැකිද?
ශ්‍රී ජයදේව කවි කුරවීකයාණෙනි, මගේ මේ දිළිඳු තැතින් ඔබ සතු නිසර්ග සිද්ධ මාධූර්ය මහිමයට බින්දු මාත්‍රයක හෝ අවමනක් නිගරුවක් කැළලක් වී නම් උරණ නොවනු මැනවි! කමා කරනු මැනවි!
ගීත ගෝවින්ද වසන්ත ගීතය
යෞවනෝදයට එළඹ සිටින ප්‍රේමී ජනයාගේ සහ කාමී ජනයාගේ රස ලෝලී සිත් සතන් අප්‍රමාණ ප්‍රබෝධයට හා ප්‍රමෝදයට පත් කරන මනෝරම්‍ය වසන්තෝදයයි මේ. ළකල වූ සකල වසන්ත කලම සොබමන් කරමින් පිපී වැනෙන යොහොඹු මල් මොළොකින් සැදුණක් වැනි මුදු සිනිඳු අඟපසඟ ඇති රාධාවෝ නුරා ගිනි ඇවිළ ගත් හදින් තම හෘදයේශ්වර කෘෂ්ණයන් කොතැනක වේදැයි නොදැන අපමණ ළසොවින් පසු වෙති. ඕ හේ කොහිදැයි දැනැගන්නේ තම පණ වන් යෙහෙළිය උත්කර්ෂයෙන් ගයන මේ මනස්කාන්ත වසන්ත ගීතයෙනි.
ලලිත ලවඞග ලතා පරිශීලන කෝමල මලය සමීරේ
මධුකර නිකර කරම්බිත කෝකිල කූජිත කුඤ්ජ කුටීරේ
(ධ්‍රැවම්)
විහරති හරිරිහ සරස වසන්තේ නෘත්‍යති යුවති ජනේන සමං සඛි විරහි ජනස්‍ය දුරන්තේ
(රාගය - වසන්ත : තාලය - යති.)
ලෙළෙන ලවඟ වැල් සිපගෙන මුදු ලෙස මලය දෙසින් එන පවනේ
බඹරුන් ගුම් දෙන කොවුලන් රැවු දෙන ලිය ගොමු කුටියේ සෙවණේ
(පුන ගැයිය)
(පහත එන පැදි කඩ සෑම පැදියකින්ම පසු යළි යළි ගැයෙන්නකි. එබැවින් එය 'පුනගැයිය' නම් වෙයි. සංස්කෘතයේ එය හැඳින්වෙනුයේ 'ධ්‍රැවම්' යන නමිනි.)
වෙසෙයි කෘෂ්ණ මේ රසැති වසන්තේ නටයි යොවුන් ලිය සමග යෙහෙළියේ වියො දුක දැනෙන වසන්තේ
උන්මද මදන මනෝරථ පථික වධූ ජන ජනිත විලාපේ
අලි කුල සඞ්කුල කුසුම සමූහ නිරාකුල වකුල කලාපේ
(ධ්‍රැවම්)
විහරති...........
මඟ රැඳි හිමියන් සිහිකර බිරියන් වැලපෙන නිති රති මතිනා
බඹරුන් පිරි මල් පොකුරෙන් සැරසුණ මුහුළු වදුලු පෙළ රඳනා
(පුන ගැයිය)
වෙසෙයි කෘෂ්ණ.........
මෘග මද සෞරභ රභස වශංවද නව දල මාල තමාලේ
යුව ජන හෘදය විදාරණ මනසිජ
නඛ රුචි කිංශුක ජාලේ
(ධ්‍රැවම්)
විහරති.........
කස්තුරි සුවඳැති නව දලුවෙන් පිරි සොඳුරු තමලු වැල් ලෙළෙනා
යොවුනන්ගේ ළය ඉරන මලවි නිය පැහැ එරබදු මල් දිළෙනා
(පුන ගැයිය)
වෙසෙයි කෘෂ්ණ........
මදන මහීපති කනක දණ්ඩ රුචි කේශර කුසුම විකාසේ
මිලිත ශිලීමුඛ පාටලි පටල කෘත ස්මර තූණ විලාසේ
(ධ්‍රැවම්)
විහරති...........
අනඟ රජුගෙ රන් දඬුවේ පැහැයෙන් දිළෙනා නා මල් පිපෙනා
බිඟුන් වසා සිටි පළොල් කුසුම් දිසි මල්සර ඊ කොපු ලෙසිනා
(පුන ගැයිය)
වෙසෙයි කෘෂ්ණ..........
විගලිත ලජ්ජිත ජගදවලෝකන තරුණ කරුණ කෘත හාසේ
විරහිනි කෘන්තන කුන්ත මුඛාකෘති කේතක දන්තුරිතාශේ
(ධ්‍රැවම්)
විහරති...........
විළි ගිලිහී ගිය ලොව දැක හිනැහෙන ඉද්ද තුරු පෙළින් හොබනා
විරහිනියන් ළය ඉරන
යවුල් වැනි දුනුකේ කුසුමන් පිපෙනා
(පුන ගැයිය)
වෙසෙයි කෘෂ්ණ..........
මාධවිකා පරිමල ලලිතේ නව මාලති ජාති සුගන්ධෞ
මුනි මනසාමපි මෝහන කාරිණි තරුණාකාරණ බන්ධෞ
(ධ්‍රැවම්)
විහරති..........
යොහොඹු සමන් දෑසමන් කුසුම් කැන් එක්ව සුවඳ පිරිනමනා
නව යොවුනන් සිත් නිතැතින් බැඳෙනා මුනිවරයන් මත් කරනා
(පුන ගැයිය)
වෙසෙයි කෘෂ්ණ..........
ස්ඵුරදතිමුක්තලතා පරිරම්භණ මුකුලිත පුලකිත චූතේ
වෘන්දාවන විපිනේ පරිසර පරිගත යමුනා ජල කූලේ
(ධ්‍රැවම්)
විහරති..........
( මාලිනී වෘත්තයයි.)
යොහොඹු ලියන් වෙළි මී අඹ තුරුවල ලොමු දැහැගෙන මල් පිපෙනා
පිවිතුරු වෘන්දා වන පරිසරයේ
යමුනා ගං දිය දොවනා
(පුන ගැයිය)
වෙසෙයි කෘෂ්ණ මේ රසැති වසන්තේ නටයි යොවුන් ලිය සමග යෙහෙළියේ වියෝ දුක දැනෙන වසන්තේ
’ෆේස් බුක්’ මාධ්‍යයේ මගේ සහෘද, මාතෘ භාෂා මාමක ලේඛකයෙකු වන ජගත් ජේ එදිරිසිංහයන් වරක් එෆ්බීය මගින්ම මට පහත දැක්වෙන පණිවිඩය එවා තිබුණි.
සමකාලීන සෛංහලීය ලේඛක නිකර ශේඛරායමාන ගුණදාස අමරසේකර මහාශයන් සිය 96 වැනි වියට එළැඹෙණුයේ 2024 නොවැම්බර් 12 වැනි දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි!
මා මාර්ටින් වික්‍රමසිංහ මහාශයන්ගේ ආවේශාත්මක වූත් ආස්වාදාත්මක වූත් සමීප ආශ්‍රය ලබමින් විසූ භාග්‍ය සම්පන්න සමයේ එක්තරා අවස්ථාවක මම ඔහුගෙන් මේ පැනය වි
ඇස්. පියසේන (සේනාධීර පියසේන) නම් බහුශ්‍රැත හා පරිණත මාධ්‍ය විශාරදයාණන් සමග ඉතා ළංව ඇසුරු කිරීමට ලැබීම මගේ පරම භාග්‍යයකි. අනූ වියද ඉක්ම මියෙන තෙක්ම පැහැද
සංස්කෘත භාෂාවේ එන ’මන්’ ධාතුව හෙවත් ක්‍රියා මූලය කෙරෙන්, ’දැනගැනීම’, ’සිතීම’, ’මැනීම’, ’සලකා බැලීම’, ’ගරු කිරීම’, ’ආඩම්බර වීම’, යන අර්ථ සූචනය වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සකු ගීත ගැයූ හෙළ කොවුලෝ