IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අතීතයෙන් වර්තමානයට සිතට යමක්

1948 නිදහස, 1956 බණ්ඩාරනායක ආණ්ඩුව, 1977 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව හා 1994 චන්ද්‍රිකා කුමාරණතුංගගේ ආගමනය යනු පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ සුවිශේෂී දේශපාලනික සංධිස්ථානය. ඒ සෑම අවස්ථාවක්ම සැලකිය හැක්කේ ජනතාව සිය අනාගතය සම්බන්ධයෙන් ඉහළ බලාපොරොත්තු තබාගත් අවස්ථා හැටියටය. බණ්ඩාරනායක මහතා අවාසනාවන්ත ලෙස ඝාතනය කෙරුණේ ඔහුගේ පාලන කාලය ඉතාම කෙටි කාලයකට සීමා කරමිනි. යම් හෙයකින් එතුමාට අකල් මරණයක් අත් නොවී නම් ලංකාවේ දේශපාලනය මීට වඩා සැලකිය යුතු ලෙස වෙනස්වීමට ඉඩ තිබිණ.

1977 දී ජේ.ආර් ජයවර්ධන මහතාගේ ජය සමග සිදු වූ විවෘත ආර්ථික කැඳවීම තුළ මේ රට විශාල වෙනසකට ලක්විය. ඊට විවිධ අර්ථකතන තිබුණත් එ.ජා.ප පාලන සමය අවසන් වන විට මිනිසුන් එයට කියන්නට ගත්තේ දාහත් අවුරුදු සාපය කියාය. ජනාධිපතිවරයකුගේ පාලන කාලය ධුර කාල දෙකකට සීමා කර තිබුණත් ජයවර්ධන ජනාධිපතිවරයාට තෙවැනි වරටත් තරග කළ හැකිදැයි කියා එ.ජා.ප අභ්‍යන්තරයේම සාකච්ඡාවක් විය. කුලියාපිටියේ ලයනල් ජයතිලක මහතා යෝජනාව එදා එ.ජා.ප කෘත්‍යාධිකාරියේ ස්ථිර කරනු ලැබුවේ හබරාදූවේ ජී.වී.එස් සිල්වා මහතා විසිනි. කෙසේ වෙතත් මේ දෙදෙනාම කෙටි කලෙකින් අකාලයේ ජීවිතක්ෂයට පත් වූ අතර එසේ නොවන්නට ඇතැම්විට තෙවැනි වරටත් ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආගමනයක් සිදුවීමට ඉඩ තිබිණි.

ලලිත්, ගාමිණී, ප්‍රේමදාස වශයෙන් එ.ජා.පයෙහි උපනායකයන් තිදෙනකු බිහි වීම 1977 දී එ.ජා.පයට වාසිදායක වුවද කෙටි කලෙකින්ම එය අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවලට හේතු වූයේය. 1988 දී ජනාධිපති ධූරයට පත් රණසිංහ ප්‍රේමදාස මහතාටත් තම පළමු ධුර කාලයටත් පෙර දිවිසැරිය නිමාකිරීමට සිදුවූයේ මැයි 1 වැනිදාවක එල්.ටී.ටී.ඊ බෝම්බ ප්‍රහාරයකිනි. එතුමා ඝාතනය වනවිට පුෂ්පකුමාර යැයි ආරූඪ නාමයකින් හැඳින්වූයේ මල් වට්ටිය හා පන්සල සමග තිබූ අන්‍යොන්‍ය සම්බන්ධය නිසාය. එහෙත් සිය ජනාධිපතිවරයා ඝාතනය වූ කල ලංකාවේ ජන පිරිසක් රතිඤ්ඤා පත්තු කළ පුවතක් පළමු වරට වාර්තා වූයේද එදාය.

ඉන්පසුව ලංකාවේ දේශපාලනයේ නවමු පරිච්ඡේදයක් පෙරලෙන්නේ 1994 චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ජනාධිපතිවරණය ජයගැනීම සමගිනි. 1994 මාර්තු 24 දකුණු පළාත් සභාවෙන් ආරම්භ කළ විපක්ෂයේ නැගිටීමේ ඊළඟ ප්‍රතිඵලය වූයේ බස්නාහිර මහ ඇමැති පදවියට චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය පත්කිරීමය. එහි තීරණාත්මක අවසානය වූයේ මහමැතිවරණ ජය ද පොදුජන එක්සත් පෙරමුණට ලබාදෙමින් ආණ්ඩුවක් ද පිහිටුවා කුමාරණතුංග මහත්මිය ජනාධිපති පුටුවට ද එසැවීමෙනි. ඓතිහාසික එ.ජා.ප බලකොටුවක් වූ මැද කොළඹ ද එදා විපක්ෂය ජයගැනීමෙන් පොදුජන මනසේ පරිවර්තනය මැනගත හැකිය. එදා සුළු ජාතික ඡන්ද බැංකුව ද වාමාංශික කඳවුරේ පොදු පෙරමුණට එකතු වුවත් තම පළමු ධූර කාලය අවසන් වනවිට චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය සිටියේ ද ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් ඛාදනයට ලක්කරගත් තැනකය. 2000 මහමැතිවරණයෙන් පක්ෂයක් හැටියට ජයගෙන ආණ්ඩුවක් පිහිටුවූව ද ඊට තිබුණේ වසරක් වැනි කෙටි ආයුෂකි.

මාස කීපයක් ගත වන තැන ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද මෝරා ගියේ ඔක්තෝබර් 08 වනදා ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් පදවියෙන් එස්.බී.දිසානායක මහතා ඉවත් කර ඒ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරමිනි. ඉන්පසු දින දිනේෂ් ගුණවර්ධන මහතා විපක්‍ෂයට යද්දී එස්.බී. දිසානායක, මහාචාර්ය ජී.එල්.පීරිස්, මහින්ද විජේසේකර, විජේපාල මෙන්ඩිස්, බන්දුල ගුණවර්ධන, එදිරිවීර ප්‍රේරමරත්න, ජයසුන්දර විජේකෝන්, ආනන්ද මුණසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල යන පොදු පෙරමුණු මන්ත්‍රීවරු ද විපක්‍ෂයට එක් වූහ. කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරය හොබවමින් සිටි ජී.එල් පීරිස් මහාචාර්යවරයා තම තනතුර අතැර චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ දේශපාලන ජය වෙනුවෙන් කැපවීම එදා 1994 පොදුජන එක්සත් පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයෙහි තීරණාත්මක මංසන්ධියක් විය. එහෙත් ඒ ජී.එල් පීරිස් මහාචාර්යවරයා පවා මේ පෙරැලියේදී ජනාධිපතිනිය සමග සිටියේ නැත. සු`ඵතර ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකිවීමේ ඊළඟ ඵලය වූයේ මහමැතිවරණයක් කැඳවීමය.

2001 දෙසැම්බර් 05 වැනිදා පැවැති එම මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීය. මෙම මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ දිස්ත්‍රික්ක 17 කින් වැඩි ඡන්ද ලබා ගැනීමට සමත් වූ අතර පොදුජන එක්සත් පෙරමුණ ජයගනු ලැබුවේ මොණරාගල දිස්ත්‍රික්කය පමණි. කෙසේ වෙතත් ජනාධිපති ධුරය හා අගමැති ධුරය පක්ෂ දෙකකින් මෙහෙයවීමේ ව්‍යවස්ථානුකූල අර්බුදය මෝරා ගියේ එම ආණ්ඩුවේ පාලනය ද අවසන් කරමින් 2004 පෙබරවාරි 06 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිනිය තීරණය කිරීමෙනි. නව දේශපාලන පරිසරයෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහමැතිවරණයට පිවිසයේ ඉතිහාසයෙහි පළමු වරට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළත්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් සන්ධානයක් පිහිටුවාගෙනය. හම්බන්තොට හැර අන් සෑම තැනකදීම සන්ධාන මනාප ලැයිස්තුවේ අංක එකට ජවිපෙ අපේක්ෂකයකු පත්වූයේ පාර්ලිමේන්තු ආසන 41ක් ජ.වි.පෙට ලබාදෙමිනි.

හම්බන්තොටට මහින්ද රාජපක්ෂ මෙන්ම මහින්ද අමරවීර ද තරග කළ මේ මැතිවරණයේදී ජ.වි.පෙ බිම් මට්ටමින් ප්‍රචාරය කළේ මහින්දට ඡන්දය දෙන්නට එපා කියාය. එහෙත් එහිදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රචාරය කළේ මහින්ද අමරවීර මහතාට ඡන්දය දෙන්නට එපා යැයි ජවිපෙන් ප්‍රචාරයක් ගෙන යන බවටය. දේශපාලනයේ සූක්ෂ්මභාවය යනු එයයි. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්ව ඉන්පසු ජනාධිපති ධූරය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය බලවත් වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ හටගත්තේ අර්බුදයකි. ජ.වි.පෙ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පිරිසක් ජ.වි.පෙන් කඩාගෙන මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වූයේ එහිදීය.

කෙසේ වෙතත් මා දකින හැටියට ජ.වි.පෙ ලංකාවේ දේශපාලනයට තීරණාත්මක මැදිහත්වීමක් කළ අවස්ථාව හැටියට මා දකින්නේ 1988 ජනාධිපතිවරණයයි. ජ.වි.පෙ භීෂණාත්මක ලෙස ඡන්ද වර්ජනයක් දියත් කළ මේ අවස්ථාවේ ප්‍රකාශිත සමස්ත ඡන්ද සංඛ්‍යාව වූයේ 55%කි. ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයගත් එම ජනාධිපතිවරණයේදී ජ.වි.පෙ එසේ නොහැසිරුණේ නම් මේ රටේ දේශපාලන ඉතිහාසය ඇතැම්විට සැලකිය යුතු ලෙස වෙනස්වීමට ඉඩ තිබුණේය.

2005 දී මේ ඉතිහාසය නැවත ලියැවුණේ එල්.ටී.ටී.ඊ සංවිධානය අතිනි. එදා ජ.වි.පෙ මෙන් 2005 දී එල්.ටී.ටී.ඊය කළේ උතුරේ ඡන්ද වර්ජනයක් දියත් කිරීමය. ඡන්ද ලක්ෂ පහක් පමණ තිබූ උතුරේ දියත් වූ මේ වැඩපිළිවෙළ නිසා අවාසි වූයේ සුළු ජන ඡන්ද පදනම තිබූ එ.ජා.පයටය. එදා මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තේ ඡන්ද ලක්ෂයකට තරමක් වැඩි ළඟ තරගයකිනි.

යම් හෙයකින් එල්.ටී.ටී.ඊය ඊට වෙනස් ලෙස හැසිරුණේ නම් කෙදිනකවත් ජනාධිපති ධූරයට පත් වී නැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් එ.ජා.පයේත් දේශපාලනය මීට වෙනස්වීමට ඉඩ තිබිණි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තම පළමු ධූර කාලය අවසන් කරන්නේ යුද්ධය අවසන් කිරීමට දේශපාලන නායකත්වය දී ඊළඟ මහමැතිවරණවලින් විශාල බලයක් ද ලබාගනිමින් ශ්‍රී.ල.නි.පය අතිශය බලවත් තැනකට ගෙනඑමිනි.

යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි බරක් යොදමින් ‘‘උතුරු වසන්තය, නැගෙනහිර උදානය’’ වැනි ව්‍යාපෘති හරහා සුළු ජන මනස ද දිනාගැනීමට මේ කාලයේදී වැඩපිළිවෙළක් දියත් විය. රට පුරා අධිවේගී මාර්ග, වරාය සංවර්ධනය, ගුවන් තොටුපොළ ඉදිකිරීම් ඇතු`ඵ මේ ව්‍යාපෘතියම විරුද්ධවාදීන් සිය දේශපාලන ප්‍රහාරයට තේමා කරගත් ආකාරය කුප්‍රකටය.

භික්ෂූන් වහන්සේ නමක් හා ඇමැති පුතුන් දෙපළක මූලිකත්වයෙන් නිශ්චිත ලෙස ආරම්භ වූ මේ කුමන්ත්‍රණ කතිකාව ලැම්බෝගිනි, රත්තරන් අශ්වයන් ආදී අලංකාරෝක්තිවලින් හැඩවෙද්දී මහින්ද රාජපක්ෂ මහතා වටා සිටි සුළු ජාතික දේශපාලන කණ්ඩායම් ක්‍රමානුකූලව එතුමා හැරගියේය. දිගම්බරම්, හකීම් ලෙස ආරම්භ වූ ඒ ගමනේදී අවසාන වරට පිල මාරු කළේ බදියුදීන්ය. තමන්ගේම පක්ෂයේ සිටි ෆයිසර් මුස්තාෆාලා පවා ජනාධිපතිවරණ ව්‍යාපාරය ඉදිරියට යද්දී පැත්තකට වූයේ මහින්ද මහතා තනිකරමිනි.

අවසානයේදී පාර්ලිමේන්තුවට අමතරව සියලු පළාත් පාලන ආයතනවලත් පළාත් සභාවලත් බලය හිමිකරගෙන අතිශය බලවත්ව සිටි මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වූයේ තමන්ගේම පක්ෂයේ මහලේකම්වරයාටය.

2015 පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා කීවේ තමාට එරෙහිව දියත් වූයේ අන්තර්ජාතික කුමන්ත්‍රණයක් බවය. 2010 දී සරත් ෆොන්සේකා මහතා හිටි හැටියේ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූයේ ද මේ අයුරින්මය. මා කියන්නේ යුද්ධය ජයගැනීමට කරඋරදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අතිශය හිතෛශි මිතුරකුව සිටි සරත් ෆොන්සේකා මහතාට එවැනි රූපාන්තරණයක් අත්කරදුන්නේ කවුදැයි අප මීට වඩා සිතිය යුතු බවය.

මිතුරන් සතුරන් කිරීමේ දේශපාලනය මෙන්ම මෙම මැතිවරණවල තීරක ඡන්ද බලවේග ගැන ද මෙහිදී අපේ අවධානය යොමු කළ යුතුය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී මේ රටේ අලුත් මැද පංතියක් බිහි විය. අධිවේගී මගින් වැලිපැන්නට ගොස් ආහාර ගෙන හෝ ගාල්ලට ගොස් මුහුදේ බැස විනෝද වන මේ පංතිය තරමක් වෙනස්ය. කොට කලිසම් අඳින කාන්තාවන් මේ සමාජයේ බහුල නමුත් ඔවුහු අනෙක් අතට පන්සලට ද අතිශය භක්තිමත්ය. මේ මැද පංතිය බොහෝවිට ජාතික හෙළ උරුමයේ නැගීමට සමානය.

කෙසේ වෙතත් 2015 දී අතුරලියේ රතන හිමි හා පාඨලි චම්පික රණවක යන දේශපාලකයන් සමග මෙයින් පිරිසක් රාජපක්ෂ කඳවුරෙන් ගැලවෙද්දී උදය ගම්මන්පිල වැනි නායකයන් සමග ඉතුරු වූයේ ඉන් අතළොස්සකි. විමල් වීරවංශ යනු ද එවැනිම දේශපාලන විභවයක් සහිත චරිතයකි.

ජවිපෙන් ගැල වී පැමිණි විමල් යනු මහින්ද කඳවුර නව ජාතික මතවාදයකින් ශක්තිසම්පන්න කළ අපූරු මිනිසෙකි. අප පෙර කී මැද පංතියත් සිංහල බෞද්ධ ජන කොටසත් විශාල වශයෙන් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව මේ දෙපළටම තිබේ. දේශපාලනයේදී මේ මිතුරුභාවය තේරුම්ගැනීම අත්‍යවශ්‍යය. මහින්ද රාජපක්ෂ යනු ඕනෑම කෙනෙකු සමග මිත්‍රශීලීව ගනුදෙනු කළ හැකි දේශපාලන සුවිශේෂයකි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් භුක්ති විඳි ඒ නායකයා පවා 2015 දී පරාජයට පත්විය.

එනිසා පාලක කණ්ඩායමේ මන්ත්‍රී ධූරවල සංඛ්‍යාත්මක හයිය හෝ ජන මතය මැතිවරණවලදී ඒ අයුරින්ම නිරූපණය නොවන බව අප අමතක කළ යුතු නොවේ. මෙය තවත් සරල උදාහරණ දෙකකින් පැහැදිලි කළ හැකිය. 2001 මහමැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ සියලු දිස්ත්‍රික්ක පරාජය වෙද්දී ජයගත්තේ මොණරාගල පමණි.

අතිශය අසීරු අවස්ථාවේ පවා ගොවින්ගෙන් සමන්විත ඡන්ද පදනම ශ්‍රීලනිපය රැකගත්තේ එහෙමය. එහෙත් පාස්කු ප්‍රහාරයෙන් පසුව පැවැති ජනාධිපතිවරණයෙන් මීගමුව ජයගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවූයේ නැත. මීගමුවේ ජනයා එ.ජා.පයට ඡන්දය දුන්නේ කාදිනල්තුමා ප්‍රමුඛ ආගමික නායකයන්ගෙන් පැවැති යහපාලන ආණ්ඩුවට ප්‍රතිවිරෝධයක් තිබියදීය. එනිසා මිනිසුන්ගේ ඡන්ද භාවිතයේ චර්යා රටා සරල නැත. එක්සත් ජාතික පක්ෂය නැතහොත් සමගි ජනබලවේගයට තිබෙන්නේ ලක්ෂ 35ක පමණ ඡන්ද පදනමකි. උපරිම වුවහොත් එය ලක්ෂ 40කි.

පොදුජන පෙරමුණට නැත්නම් ශ්‍රීලනිපයට තිබෙන්නේත් එවැනිම ඡන්ද පදනමකි. ඡන්ද ලක්ෂ 30 ක් පමණ තිබෙන්නේ පාවෙමිනි. එක්සත් ජාතික පක්ෂයේ අඩුම ඡන්ද ප්‍රතිශතය  වූ 26% පවා මෙහිදී සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයකි. අලුතින් පක්ෂ හැදුණත් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් දේශපාලනයේ ක්‍රියාකාරීය.

මේ ආණ්ඩුව බලයට පත්වූයේ සිංහල බෞද්ධ ඡන්ද පදනමිනි. සිංහල බහුතර ජනයා ජීවත් වන රටක මතවාදීව එය වැරැදි නැත. එහෙත් බලය ලබාගත් පසු සුළු ජනයා ආන්තික කිරීමක් එයින් අදහස් නොවේ. ආණ්ඩුකරණයට ඔවුන් ද යම් ආකාරයකින් සම්බන්ධ කරගත යුතුය. විශේෂයෙන්ම නව දේශපාලන තත්ත්ව යටතේ බිහිවන සුළු ජාතික නායකයන් දිනාගැනීම එහිදී පාරම්පරික පක්ෂ පසුපස යනවාට වඩා වටී.

අද වනවිට මැද පාන්තික ජනයා විශාල වශයෙන් සමාජ මාධ්‍ය මත නිෂ්පාදනයට දායක වී සිටිති. මේ තත්ත්වය තුළ සයිබර් දේශපාලන හැසිරීම් තේරුම්ගැනීම ද ඉතා වැදගත්ය. ජාතික අධ්‍යාපනයේ විශ්ව විද්‍යාල තලයේ සිටින්නෝ මැද පංතියේ දරුවෝය. යටිතල පහසුකම් සංවර්ධනයට මේ ජනයා විශාල රුචිකත්වයක් දක්වති. එසේ වුවද පංතියක් වශයෙන් ගත්කළ අපේක්ෂා තෘප්තිමත් කිරීමට අපහසුම මේ පංතියේය. සමෘද්ධිය, ජන සවිය ආදිය වැදගත් වන්නේ ඒ අර්ථයෙනි. ගොවියා ද තවමත් සිටින්නේ මැද පංතියේ නොවේ. එහෙත් කෘෂිකර්මයට අවශ්‍ය සම්පත් දුන් විට අස්වැන්න සරු වනවිට හේ තෘප්තිමත්ය. එහෙත් මැද පංතියේ අතෘප්තිකරභාවයට සීමාවක් නැත. ජීවන තත්ත්වය යහපත් වුවත් කාර් පර්මිට් එකට තරග කරන්නේ ඒ නිසාය. ඉන්ධන මිල ඉහළ ගිය පසුබිමක පවා සංචරණ සීමා ලිහිල් කළ අවසරයෙන් මංමාවත් රථවාහනවලින් පිරී යන්නේ ද මේ මැද පංතිය නිසාය. තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක මේ තරම් රථ වාහන හිමිකරුවන් සිටින්නේම ඒ මැද පංතියේ ජීවන විලාසය නිසාය. ඊට හොඳම ආසන්න උදාහරණය නම් යහපාලන ආණ්ඩුවට මැතිවරණයේදී අත් වූ ඉරණමයි.

යහපාලන ආණ්ඩුව තරම් රාජ්‍ය සේවක වැටුප ඉහළම ප්‍රතිශතයකින් වැඩි කළ ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම නැත. මේ වැටුප් වැඩිකිරීමේ සූත්‍රය නිසා රජයේ ඇතැම් අංශවලට රුපියල් ලක්ෂ පහක් පමණ දක්වා වැටුප් ඉහළ ගියේය. එහෙත් මැතිවරණයේදී යහපාලනයට අඩුවෙන්ම ඡන්ද වැටුණේත් ඔවුන්ගෙනි. ඒ මැද පංතියේ හැටිය. මා අවධාරණය කරන්නේ ලංකාවේ දේශපාලනය මේ අතෘප්තිකර පංතියේ අභිලාශ හා සිතැඟිම ඉලක්ක කරගතහොත් එය ප්‍රශ්නයක් වන බවය.

එල්.කේ අද්වානි යනු භාරතීය ජනතා පක්ෂය වෙනුවෙන් ඉන්දියාවේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේ නියමුවාය. එහෙත් 2009 දී ආචාර්ය මන්මෝහන් සිං හමුවේ අද්වානිට සිදුවූයේ පරාජය වැළඳගැනීමටය. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ජනයා එයින් සංඥා කළේ හිතට මෙන්ම ගතට ද වෙනස දැනිය යුතු බවය. අනෙක් අතට ලෝක තලයේදී සුළු ජාතීන්ට සාධාරණය ඉටුවුණේ වාමාංශික සමානාත්මතාවාදයෙන් වුවද ලංකාවේදී සුළු ජාතින් බොහෝවිට සිටියේ ධනවාදී කඳවුරේය. බොහෝ දෙනා තේරුම් නොගන්නේ මේ යථාර්ථයයි. දිස්ත්‍රික්කයකදී සියයට පහකට වැඩි ඡන්ද ගැනීමේ හැකියාව මත ආසන ජයගැනීමේ ක්‍රමය අනුව මේ සෑම ඡන්දයකටම වටිනාකමක් ඇත. පෙර අප කී දේශපාලනයේ මිතුරන් තේරුම්ගැනීම පිළිබඳ ප්‍රශ්නය ද මේ සමග ගැටගැසී තිබේ. දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැතැයි කීවත් අප හැරදමා ගියේ කවුද කියා අපට අවබෝධයක් තිබිය යුතුය.

ඉතින් මේ සියලු සාධක කළමනාකරණයේදී ජනාධිපතිවරයාට දේශපාලනිකව විසල් සවියක් වීමෙන් බැසිල් රාජපක්ෂ මහතා මැති සබයට පැමිණෙන්නේ නම් ඊට කාලීනව විශාල වැදගත්කමක් තිබේ. කෙසේ වෙතත් දේශපාලන ආයෝජනයක් වශයෙන් ඊට වටිනාකමක් ලැබෙනු ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අත්නොහළ පැරැණි මිතුරන් ද රැකගෙන නව මිතුරන් හා සම්මුඛ වීමට බැසිල් රාජපක්ෂ මහතාට ඇති ශක්‍යතාව අනුවය.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (2)

අතීතයෙන් වර්තමානයට සිතට යමක්

ase Tuesday, 29 June 2021 08:08 AM

"ඉතින් මේ සියලු සාධක කළමනාකරණයේදී ජනාධිපතිවරයාට දේශපාලනිකව විසල් සවියක් වීමෙන් බැසිල් රාජපක්ෂ මහතා මැති සබයට පැමිණෙන්නේ නම් ඊට කාලීනව විශාල වැදගත්කමක් තිබේ." මෙයා මේක කියාගන්නද මේ තරම් ලියාගෙන තැටමුවේ? ඔබගේ දැනුමටත් නිගාවක් මේ අන්දමින් කඩේ යෑම...

:       0       6

නලින් Wednesday, 30 June 2021 05:36 PM

පුදුම කඩේයාමක් කරන්නේ මෙතුමා... තනතුරු බලාගෙන කඩේ යන මේ වගේ ප්‍රාමාණික උගතුන් නිසා වුණු විනාශය අපමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සඳුදා හමුව

සහල් මිල ප්‍රශ්නයට විසඳුමක්
2024 නොවැම්බර් මස 11 744 0

ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව


යුගයට ගැළපෙන දේශපාලනය
2024 නොවැම්බර් මස 04 415 0

තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද


දූෂණය විකුණා ගසාකෑම
2024 ඔක්තෝබර් මස 21 1315 2

නීතිඥවරියක හෝ නීතිඥයකු තමන් කියන්නේ බොරුවක් යැයි දැනගෙනම ජන ජීවිතයට බලපෑ හැකි බොරුවක් ප්‍රසිද්ධියේ කීම, නීතිඥ වෘත්තියෙහි ආචාරධර්ම හා සදාචාරයට පටහැන


ඡන්ද අරමුණ පුද්ගලයන් තේරීමද?
2024 ඔක්තෝබර් මස 14 233 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම අවසන් වන විට, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ, නාමයෝජනා පත්‍ර 764 ක් බ


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 390 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 629 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site