IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා බලතල බෙදීමේ න්‍යාය අනුව බලතලවල සීමා රටේ මුඛ්‍ය නීතිය මගින් සැලැස්විය යුතුය. එහෙත් ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ ස්වාධීනතාව මුළුමනින්ම ආරක්ෂා කළ නොහැකි වන අතර අධිකරණයේ බලය ස්වාධීනව ක්‍රියාත්මක කළ යුතුවේ.

ඒ සඳහා අවශ්‍ය අංගයක් ලෙස අධිකරණයට අපහාස කිරීම වළක්වා ගැනීම සඳහා අධිකරණයට අපහාස කිරීම සාපරාධී වරදක් ලෙස පිළිගනු ලබයි. 1890 අගෝස්තු 2වැනි දින සිට මෙරට ක්‍රියාත්මක වූ 1889 අංක 1 දරන අධිකරණ සහ ඒවායේ බලතල පිළිබඳ පනතේ 47 වැනි වගන්තිය මගින් අධිකරණයට අපහාස කිරීම වරදක් බවත්, එවැනි වරදක් සිදුකළ අයකුට විරුද්ධව ලඝු ක්‍රියා කාර්ය පටිපාටිය යටතේ විභාගයක් පවත්වා සිරදඬුවමක් හෝ රුපියල් 5000 ක් නොඉක්මවන දඩයක් හෝ එම දෙකම පැනවිය හැකි බවට ප්‍රතිපාදන සලසා ඇත.

වර්තමානයේ ක්‍රියාත්මක වන 2024 අංක 8 දරණ අධිකරණයකට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට හෝ අපහාස කිරීම පිළිබඳ පනත මගින් අධිකරණයට අපහාස කිරීමේ නීතිය වඩාත් දැඩි ස්වරූපයකට පත් කර ඇති බවට සමාජය තුළ විශේෂයෙන් නීති වෘත්තිකයන් අතර කතාබහට ලක්වී ඇත. එය මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳ පවතින අනවබෝධය හේතුවෙන් සිදු වන්නකි.

අධිකරණයට අපහාස කිරීම සාපරාධී වරදක් බව සහ ඒ සඳහා දඬුවම් දීමේ අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු වෙනත් නීති මගින් හඳුන්වා දී ඇත. උදාහරණ ලෙස 1972 ජනරජ ආණ්ඩුව ව්‍යවස්ථාවේ 64 සහ 131 ව්‍යවස්ථාවන් සඳහන් කළ හැකිය.

අපරාධ නඩුවක් විභාග කිරීමේදී අධිකරණය ඊට අදාළ හරයාත්මක නීතිය සහ ක්‍රියා පටිපාටික නීතිය යන දෙකම අනුගමනය කිරීමට බැඳී සිටී. හරයාත්මක නීතිය සහ එම නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකරණ බලය වර්තමානයේ පහත සඳහන් ආකාරයට ලබා දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(3) ව්‍යවස්ථාව අනුව අධිකරණයේදී හෝ අන් ස්ථානයකදී අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධ චෝදනාවක් විභාග කර වරදකරු කළහොත් බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයක් නියම කිරීම මගින් දඬුවම් කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය වෙත පැවරී ඇත. සිරගත කිරීමේ කාලසීමාව හෝ දඩයේ ප්‍රමාණයන් එහි සඳහන් කර නොමැත.

මහාධිකරණය - අධිකරණ සංවිධාන පනතේ 18 වගන්තිය අනුව එවැනි වරදකට වරදකරු වූ අයකුට වසර පහකට නොවැඩි සිරදඬුවමක් හෝ රුපියල් 5000 ට නොවැඩි දඩයක් හෝ ඒ දෙකම මගින්ම දඬුවම් කළ හැකිවේ.

දිසා අධිකරණය - අධිකරණ සංවිධාන පනතේ 55 වගන්ති අනුව එවැනි වරදකට යමකු වරදකරු වුවහොත් වසර දෙකක් නොඉක්මවන සිරදඬුවමකට හෝ රුපියල් 2500 නොඉක්මවන දඩයකට හෝ එම දෙකින්ම දඬුවම් කළ හැකිවේ.

මහේස්ත්‍රාත් අධිකරණය සහ සුළු හිමිකම් අධිකරණය - අධිකරණ සංවිධාන පනතේ 55 වගන්තිය අනුව වරදකරුවකු වූ අයකුට මාස 18 ක් නොඉක්මවන සිරදඬුවමක් හෝ රුපියල් 1500 ක් නොඉක්මවන දඩයක්‌ නියම කිරීම හෝ ඒ දෙකින්ම මගින් දඩුවම් කිරීම කළ හැකිය.

අධිකරණයට අපහාස කිරීමේ වැරැදි කුමක්ද යන්න වෙනත් ව්‍යවස්ථාවන් මගින්ද හඳුන්වා දී ඇත. උදාහරණයක් ලෙස සිවිල් නඩුවිධාන සංග්‍රහයේ 663 වගන්තිය අනුව අධිකරණය නිකුත් කළ අතුරු ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් හෝ වාරණ නියෝගයක් උල්ලංඝනය කිරීමේ වරද, එමෙන්ම සිවිල් නඩුවිධාන සංග්‍රහයේ 183 (ආ) වගන්තිය යටතේ දිවුරුම් ප්‍රකාශයකට චේතාන්විතව අසත්‍ය කරුණු ඇතුළත් කිරීමේ වරද පෙන්වා දිය හැක.

ඉහත සඳහන් ආකාරයට ඒ ඒ අධිකරණවලට අධිකරණයට අපහාස කිරීමේ වරද පිළිබඳ දඬුවම් නියම කිරීම සඳහා අධිකරණ බලයක් ලබා දී තිබුණේ වූවද සමස්තයක් ලෙස එම නීති ක්‍රමවේදයේ බරපතළ දුර්වලතා පැවති බවත්, යුක්තිය ඉටුකිරීමේ කාර්යයේදී එමගින් පාර්ශවයනට අගතියක් සිදුවන බවත් දීර්ඝකාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වූ කරුණක් විය. එකී අඩු පාඩු හා ව්‍යාකූලතා අතර පහත සඳහන් කරුණු ද වේ.

නිශ්චිත ව්‍යස්ථාවකින් අර්ථ දක්වා ඇති අවස්ථාවලදී හැර අධිකරණයකට අපහාස කිරීමේ වරද සිදුකර ඇති බවට තීරණය කිරීම සඳහා එම වරද කුමක්ද යන්න අර්ථ නිරූපණය නොකිරීම. වරද කරන අවස්ථාවේදී එම වරදේ ස්වභාවය අර්ථ නිරූපණය කොට නොමැතිකම නිසා සමහර අවස්ථාවලදී එය වරදක් බව දැනගන්නේ චෝදනා එල්ලවීමෙන් පසුවය. මෙය නීති‍යේ මූලික සිද්ධාන්ත උල්ලංඝනය කිරීමකි.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට දඬුවම් නියම කිරීමේදී සීමාවක් නොමැති වීම නැතහොත් අසීමිත බලයක් පැවතීම.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු කිසිදු ව්‍යවස්ථාවක එම චෝදනා යටතේ නඩු විභාග කිරීම සඳහා ක්‍රියාපටිපාටියක් සම්පාදනය කර නොතිබීම.

එවැනි නඩුවලදී චූදිතයන්ට විත්තිවාචක ඉදිරිපත් කිරීම සඳහා නිශ්චිත ප්‍රතිපාදන නොමැති වීම.

මුල් අවස්ථා අධිකරණ සහ අභියාචනාධිකරණය විසින් නියම කරනු ලබන දඬුවම්වලට එරෙහිව අභියාචනා කිරීම සඳහා ප්‍රකාශිත ප්‍රතිපාදන නොමැති වීම.

එකී කරුණු සලකා බලා අධිකරණයට අපහාස කිරීමේ නඩුකර සම්බන්ධව නිශ්චිත ප්‍රතිපාදන සහිත ක්‍රමවේදයක අවශ්‍යතාවද දීර්ඝ කාලීනව සාකච්ඡාවට බඳුන් වී තිබූ කරුණුය. නව පත පනතක් සම්පාදනය කිරීමේදී පහත සඳහන් කරුණු සැලකිල්ලට භාජන කර කරන ලදී.

එනම්

අධිකරණයට හෝ විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම යනු කුමක්ද යන්න අර්ථ නිරූපණය කර දැක්වීම.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා විභාග කිරීම සඳහා නිසි ක්‍රියා පටිපාටියක් හඳුන්වාදීම.

එවැනි චෝදනා ලත් චූදිතයකුට ඉදිරිපත් කළ හැකි විත්තිවාචකයන් කුමක්ද යන්න හඳුන්වා දීම.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අනෙකුත් අධිකරණ මගින් එම චෝදනා නගන්නා වූ අවස්ථාවක චූදිතට නියම කළ හැකි සිර දඬුවම වසර එකක් නොඉක්මවන බවට විධිවිධාන සැලසීම.

අධිකරණයකදී අපහාසාත්මක ක්‍රියාවක් කළ බවට චෝදනා ලැබූවකුට එම අධිකරණයේ විනිසුරුවරයා විසින්ම දඬුවම් නියම කිරීම වළකා වෙනත් විනිසුරුවරයකු වෙත නඩුව යොමු කිරීම.

ඒ අනුව 2024 අංක 8 දරණ අධිකරණයකට, විනිශ්චාධිකරණයකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනතට අදාළ කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී පහත සඳහන් කරුණු ඊට ඇතුළත් කරන ලදී.

අධිකරණයට අපහාස කිරීමේ කාරණය වරදක් ලෙස පිළිගැනීමේ අරමුණු කුමක්ද යන්න සඳහන් කිරීම, අධිකරණ‍යේ ගෞරවය සහ අධිකාරී බලය ආරක්ෂා කිරීම, යුක්තිය පසිඳලීම ක්‍රමය ආරක්ෂා කිරීම, අධිකරණ තීන්දුවලට අනුකූලව ක්‍රියා කිරීම සහතික කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සාධාරණ විවේචනය සහ අධිකරණ විධාන සමග අනුකූලව ක්‍රියා කිරීම අතර තුලනයක් ඇති කිරීම, එම වරදේ විෂය පථය නිශ්චිත කිරීම සහ නිසි ක්‍රියා පටිපාටි අනුව නඩු විසඳීම ඒ අතරවේ.

අධිකරණයට අපහාස කිරීම යන වරදේ ස්වභාවය කුමක්දැයි අර්ථ නිරූපණය කිරීම, මූලික වශයෙන් අධිකරණයේ බලය සහ යුක්තිය පසිඳලීම අගෞරවයට හෝ අවතක්සේරුවට ලක් කිරීම, විභාගවෙමින් පවතින නඩුවකට මැදිහත්වීම හෝ ඊට තදබල අගතියක් සිදුකිරීම සනාථ වන විටකදී එය අධිකරණයට අපහාස කිරීමේ වරද සංස්ථාපනය කරනු ලබන බවට අර්ථ නිරූපණ ඇතුළත් කර ඇත. එමෙන්ම අධිකරණ නියෝගවලට අවනත නොවීම, ලබාදී ඇති ප්‍රතිෂ්ඨාවන් චේතනාත්මකව උල්ලංඝනය කිරීම යනාදිය ද අධිකරණයට අපහාස කිරීමක් ලෙස නිශ්චිත ලෙස පනතට ඇතුළත් කර ඇත.

චූදිතයන්ට විත්තිවාචක ඉදිරිපත් කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම. මහජන යහපතට අදාළ වන යම් කාරණයක් සම්බන්ධයෙන් විනිශ්චකාරවරයකු හෝ අධිකරණයක නඩු තීන්දුවක් හෝ ආඥාවක් පිළිබඳව සත්භාවයෙන් නිවැරැදි ලෙස කරුණු පළ කිරීම හෝ ප්‍රකාශ කිරීම අධිකරණයට අපහාස කිරීමක් සේ නොසැලකිය යුතුය. ද්වේෂ සහගත චේතනාවකින් තොරව හෝ යුක්තිය පසිඳලීම දුබල කිරීමේ අදහසකින් තොරව අධිකරණයේ ඇති නඩු කටයුත්තක් පිළිබඳ නිවැරැදි කරුණු පළ කිරීම හෝ ප්‍රකාශ කිරීම හෝ යම් නඩු තීන්දුවක් පිළිබඳ සාධාරණ විවේචනයක් කිරීම විත්තිවාචකයක් ලෙස පිළිගැනේ. එමෙන්ම ජාතික ආරක්ෂාව හෝ අපරාධ වැළැක්වීම පිණිස අවශ්‍ය යැයි සලකණු ලබන අවස්ථාවකදී තොරතුරුවල මූලාශ්‍ර අධිකරණයකට හෙළි නොකර සිටීමටද අයිතියක් ඇති බව පිළිගෙන ඇත.

අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය තුළදී සිදු කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වූ විට එම අධිකරණයේ එවකට සිටි විනිශ්චකාරවරයා නඩු විභාග නොකොට අවස්ථෝචිත පරිදි අග්‍ර විනිශ්චකාරවරයා හට හෝ අභියාචනාධිකරණයේ සභාපතිවරයා හට එම කරුණු යොමුකර වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවිභාග කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කොට ඇත.

මුල් අවස්ථා අධිකරණයකට අපහාසයක් කර ඇති බවට චෝදනා කර ඇති විට ඒ පිළිබඳ නඩු විභාගය පැවැත්වීමේ ක්‍රියාපටිපාටිය පනත මගින් හඳුන්වා දී ඇත.

මුල් අවස්ථා අධිකරණයකදී හෝ අභියාචනාධිකරණයේදී එවැනි වරදකට වරදකරු වූ චූදිතයකු හට ඉහළ අධිකරණයකට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමේ අයිතිය ව්‍යවස්ථාපිත අයිතියක් ලෙස ලබා දී ඇත.

අවුරුදු එකක කාලයක් ගතවීමකින් පසු එවැනි චෝදනාවක් ඉදිරිපත් කළ නොහැකි බවට ප්‍රතිපාදන සලසා ඇත.

8. පුද්ගල මණ්ඩලයක් අධිකරණයට අපහාසයක් කර ඇති විට ඒ සම්බන්ධව වගකිවයුතු තැනැත්තන් කවරේද යන්න අර්ථ නිරූපණයන ඇතුළත් කර ඇත.

ඊට අමතර ලෙස අභියාචනාධිකරණයේදී හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේදී එවැනි චෝදනාවකට වරදකරුවකු වූ තැනැත්තකුට පැනවිය යුතු සිරදඬුවම වසර එකකට නොවැඩි සිරදඬුවමක් බවට පත් කිරීමත්, පනවනු ලබන දඩය රුපියල් ලක්ෂ පහක් නොඉක්මවිය යුතු බවටත් ප්‍රතිපාදන පනත් කෙටුම්පතට ඇතුළත් කොට එය ඉදිරිපත් කරන ලදී. මෙම පනත විධිමත් කිරීමෙන් පසු ඊට අනුකූලව මහාධිකරණයේ, දිසා අධිකරණයේ, මහේස්ත්‍රාත් අධිකරණයේ දඬුවම් දීමට ඇති බලය අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන සංශෝධනය කිරීම මගින් සීමා කිරීමට සැලසුම් කර තිබුණි.

එහෙත් එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරමින් නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් කරුණු ඉදිරිපත් කරමින් දඬුවම් කාලසීමාව අඩුකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව සිදුකළ නොහැකි බවට තර්ක කරන ලදී. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය එම තර්කය පිළිගැනීම නිසා සිරදඬුවම් සීමා කිරීමට අදාළ වගන්තිය පනතින් ඉවත් කර සම්මත කර ගැනීමට සිදු විය.

එකී පනත් කෙටුම්පත ශ්‍රී ලංකා නීතිඥ සංගමයට යොමු කිරීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නීතිඥ මඩුල්ලක් එය අධ්‍යයනය කර එකඟතාව පළකිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන ලද්දකි. මෙම පනත මගින් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නව වැරදි හඳුන්වා දී නොමැති අතර දැනටමත් අධිකරණයට තිබෙන බලතල වඩාත් පාරදෘෂ්‍යභාවයකින් යුතුව නිශ්චිත ක්‍රියා පටිපාටියක් අනුගමනය කරමින් යුක්තිය පසිඳලීම සඳහා සම්මත කරන ලද්දකි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන්නේ ඉංග්‍රීසි නීතියයි. එම නීතියේ පැවති අඩුපාඩු මගහරවා ගැනීම සඳහා 1981 දී අධිකරණයට අපහාස කිරීමේ පනත එක්සත් රාජධානිය විසින් සම්මත කරගන්නා ලදී. එහෙත් එකී කාරණා ආමන්ත්‍රණය කරමින් නීතියක් සම්පාදනය කරගැනීම අප විසින් මුල් වරට කරනු ලැබුවේ 2023 දීය. එක්සත් රාජධානියේ පනතේ පස්වැනි වගන්තියේ සඳහන් වන්නේ පවතින නඩුවක යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාදාමයට බාධාවක් නොවන පරිද්දෙන් මහජනයාගේ සුබ සිද්ධිය උදෙසා සද්භාවයෙන් යම් ආයතනයක් හෝ නිලධාරියකු සම්බන්ධව සාකච්ඡා කිරීම අධිකරණයට අපහාසයක් ලෙස නොසැලකිය යුතු බවයි.

 ශ්‍රී ලංකාවේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීති තත්වය අධ්‍යයනය කළ “නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ ගෝලීය සංසදයේ - Article 19” 2003 වර්ෂයේදී නිකුත් කළ වාර්තාව සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව උපරිමාධිකරණවලට දඬුවම් දීමට පවතින බලය සීමා කිරීමත්, අධිකරණයට අපහාස කිරීම කුමක් ද යන්න ව්‍යවස්ථා මගින් අර්ථ නිරූපණ හඳුන්වා දිමත් සිදු කළ යුතු බවයි. එකී වරද අර්ථ නිරූපණය කිරීමේ දී නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සීමා ඇති නොවන ලෙස අර්ථ නිරූපණය කළ යුතු බවත්, අධිකරණයට යුක්තිය පසිඳලීමේ ක්‍රියාමාර්ග පවත්වාගෙන යාමට බාධාවක් ඇති කරන නිලධාරීන්, නීතිඥයන් සහ වෘත්තිකයන් ඇතුළු සෑම තැනැත්තකුට එරෙහි නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, අධිකරණයේ ගෞරවයට සෘජු ලෙස හෝ වක්‍ර ලෙස අභියෝග කිරීමට ඉඩකඩ නොතැබිය යුතු බවත් එහි සඳහන් කර ඇත.

අධිකරණයට අපහාස කිරීමේ නීතිය පිළිබඳ නීතිපති එදිරිව Times News Paper Limitedනඩුවේ Diplock සාමිවරයා පහත සඳහන් අර්ථ නිරූපණ ඉදිරිපත් කර ඇත.

ජනතාවට මුහුණ දීමට සිදුවන ගැටලු‍ විසඳා ගැනීම සඳහා සාධාරණ ලෙස යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක පැවැත්ම අත්‍යවශ්‍ය ය. එය නීතිය මගින් පිහිටවනු ලබන අපරාධ හා සිවිල් අධිකරණ මගින් ක්‍රියාත්මක කළ යුතුය.

එසේ යුක්තිය පසිඳලීමේදී ව්‍යවස්ථාදායකය ලබා දී ඇති අධිකරණ බලය නියම කර ඇති ක්‍රියා පටිපාටිය නිසි ලෙස අනුගමනය කරමින් ඉදිරිපත් කරනු ලබන සාක්ෂි මත පදනම්ව කිසිදු පක්ෂග්‍රාහීත්වයකින් තොරව අධිකරණය මගින් නිගමනය කළ යුතුය.

 

(***)



අදහස් (0)

අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳුදා හමුව

අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 43 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 232 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


ආර්ථ්ක නවෝදයකට යා යුතු මග
2025 මාර්තු මස 24 228 0

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.4කින් වර්ධනය වී තිබේ. එය සුවිශේෂ වන්නේ වසර කිහිපයක් තිස්සේ ආර්ථිකය සං


ආරක්ෂාව නිදහස විවරණයක්
2025 මාර්තු මස 17 158 1

ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා


රට යන ගමන නිවැරැදිද?
2025 මාර්තු මස 10 1290 4

වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්‍


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 86 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 25 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1059 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site