IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ආර්ථිකයේ අනාගතය අඳුරුද?

ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පළ කරනු දැකිය හැකිය. මැතිවරණයක් ආසන්නයට ගමන් කරමින් සිටීම එයට ප්‍රධාන හේතුවකි. අපායේ ඉන්ටර්වල් එකක් ගත කරමින් සිටින නිසා සතුටු විය හැකි තත්වයක් නොමැති බව කොටසකගේ අදහසය. විවිධාකාර සීමා කිරීම් හේතුවෙන් තාවකාලික සතුටක් ලබන බව ද ඔවුහු කියති. නන්දලාල් - වික්‍රමසිංහ එකතුවේ විශ්වකර්ම වැඩක් හැටියට වත්මන් ආර්ථික තත්වය ගෙනහැර පාන අය ද සිටිති.

දේශපාලනික දෘෂ්ටිකෝණයකින් තොරව බැලුවහොත්, මෙරට ආ්ථිකය පැවැතියේ අර්බුදකාරී තැනකය. ඩොලරයේ අගය ඉහළ ගියේය. අයවැය පරතරය පියවීමට දිගින් දිගටම ණය ගත්තේය. ඒ අනුව බලන විට, ආර්ථිකය අභ්‍යන්තරයේ හිර වූ අර්බුදයක් තිබුණි. ඒ අර්බුදය තීව්‍ර වූයේ කොයි කාලයේ දැයි කතා නොකළත්, 2019 වන විට බරපතළ ආර්ථික අර්බුදයකට අපි මුහුණ දුන්නෙමු. එහි ප්‍රතිඵලය වූයේ ආර්ථිකය කඩා වැටීමය. ලංකා ඉතිහාසයේ බරපතළම ආර්ථික කඩාවැටීම සිදු වූයේ 2022 දීය. එකී අගය ඍණ 7.3කි. ඊට පෙර ආර්ථිකය කඩා වැටී තිබුණේ චන්ද්‍රිකා පාලනය යටතේ ඍණ 1.5ක අගයක් ගනිමිනි. කෙසේ වෙතත්, කෙරුණු ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ පවා 2023 දී ඍණ 2.3කින් ආර්ථිකය පිරිහීමක් දැකගත හැකිය.

2023 අවසන් කාර්තුව වන විට යම් ආකාරයකට සංවර්ධන මාවතට පිවිසීමක් දැකගත හැකිය. එම කාර්තුවේ සියයට 4.5ක ආර්ථික වර්ධනයක් තිබුණි. එහෙත්, සමස්ත ආර්ථික වර්ධනය ඍණ 2.3ක් විය. 2024 ආර්ථික වර්ධනය සියයට 2.2ක් විය හැකි බවට ලෝක බැංකු පුරෝකථනයක් ද තිබේ. ජාතත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ එම අගය සියයට 1.9ත් සියයට 2.5ත් අතර විය හැකි බවය. මධ්‍යස්ථව බැලුවහොත්, ආර්ථිකය ඍණ වූ වසර දෙකකට පසුව මෙම වසරේදී ආර්ථිකය ධන අගයක් ගත හැකිය. 2024 ආර්ථික වර්ධනය සියයට 2.2ක් වන විට, 2025ට පුරෝකථනය කරන්නේ සියයට 2.5කි. 2026ට සියයට 3කි. විශාල ආර්ථික වර්ධනයක් ඒ අනුව එම කාලයේ නැත.

ලොව ශක්තිමත්ම මුදල් එ්කකවලින් එකක් හැටියට රුපියල හැඳින්විය හැකි බව ආණ්‍ඩුව කියන්නේ මෙවන් පසුබිමකය. ශීඝ්‍රයෙන් ඉහළ ගිය ඩොලරයේ අගය මේ වන විට යම් ප්‍රමාණයකට අඩු වී තිබේ. ගෙවුණු මාස හතරේදී ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 9.1කින් ශක්තිමත් වී ඇති බව කියන්නේ ඒ අනුවය. මේවා සතුටු විය හැකි ආර්ථික දර්ශක බව සැබෑය. මේවා සමග ඇති වන ආර්ථිකය අපට දිගු කාලීනව සතුටු විය හැකි ආර්ථිකයක් දැයි විමසීම ද වැදගත්ය.

ලංකාව සම්බන්ධයෙන් ලෝක බැංකුව පසුගියදා වාර්තාවක් නිකුත් කළේය. ලංකාවේ ආර්ථිකය යම් ආකාරයකට නිවැරැදි වුවත් 2023 වසරේදී මෙරට සමස්ත දිළිඳුකම සියයට 25.9ක් බව එම වාර්තාවේ සඳහන්ය. එනම්, ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් දුප්පත්ය. මේ දුප්පත්කම ගණනය කර ඇත්තේ දිනක ආදායම ඩොලර් 3.65ක් යන කොන්දේසිය යටතේය. පහළ මධ්‍ය ආදායම් රටවල දුප්පත්කම ගණනය කෙරෙන්නේ මෙකී කොන්දේසියට අනුවය. ඩොලරයේ මෙරට වත්මන් අගය අනුව ඉහත කී ගණනේ රුපියල් අගය රුපියල් 1,200ක් පමණය. සාමාන්‍ය පුද්ගලයකුට එවැනි මුදලකින් ජීවත්විය හැකි ද? පවතින භාණ්ඩ හා සේවා මිල අනුව දිනක වියදම රුපියල් 2,000ක් යැයි සිතුවහොත්, ලංකාවේ දුප්පත්කම සියයට 66.6කි. එකී ගණනය ඉහළ මධ්‍ය ආදායම් ලබන ආර්ථිකවල දුප්පත්කම ගණනය කරන ඩොලර් 6.85 කොන්දේසිය අනුවය. ලංකාවේ දුප්පත්කම හරියට ගණනය කළොත් මෙරට සමස්ත පවුල්වලින් තුනෙන් දෙකක් දුප්පත්ය. කෙසේ වෙතත්, ලෝක බැංකුව පෙන්වා දෙන පරිදි සියයට 25.9ක්ව ඇති දුප්පත්කම 2024 දී සියයට 24.8ක් දක්වා අඩු වන බව සඳහන්ය. ඒ වගේම 2026 වන විටත් මේ දුප්පත්කම සියයට 22.2ක් වනු ඇති බව ලෝක බැංකු පුරෝකථනය වී තිබේ.

ආර්ථිකයක් වර්ධනය වන්නේ නම්, එය සංවර්ධනයක් බවට පත්වී එහි ප්‍රතිලාභ සමස්තයට ලැබිය යුතුය. එහෙත්, ඉහත දත්තවලින් පෙනෙන්නේ තවමත් මෙරට ආර්ථිකය සීමිත පිරිසක් අතර රැඳී තිබෙන බවය. ආර්ථිකයේ යම් පිබිදීමක් තිබුණ ද සමස්ත ජනතාවට එමගින් සැලකිය යුතු සහනයක් ලැබී නැත. ඔවුන් තවදුරටත් පීඩාවට පත්වීම පමණක් සිදුව තිබේ. ඒ වගේම ශ්‍රම වෙළෙඳපොළේ දායකත්වයද ක්‍රමයෙන් අඩු වීමක් පෙන්නුම් කර තිබේ. ඒ බව පසුගියදා නිකුත් වූ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවෙන් ද තහවුරු වී තිබේ. මෙම අඩු වීමට ප්‍රධාන හේතු වී ඇත්තේ සුළු හා මධ්‍ය ව්‍යාපාර, ක්ෂුද්‍ර ව්‍යාපාර වැසී යාමය. මෙවන් ව්‍යාපාරවල වැඩි වශයෙන් නිරතවූවෝ කාන්තාවෝය. ආර්ථිකය පෙනුමෙන් ඉහළ ගිය ද එහි අභ්‍යන්තරයේ බරපතළ ගැටලු ගණනාවක් මතු වෙමින් තිබෙන බව මේ අනුව පැහැදිලි වන්නකි. එනිසා මතුපිටින් පෙනෙන දෙය දෙස බලා සතුටු වනවාට වඩා අභ්‍යන්තරයට අවධානය යොමු කළ යුතුය.

මතුපිටින් පෙනෙන දේ අනුව මෙරට ආර්බුද දෙකක් තිබුණි. රුපියල් අර්බුදය එකකි. නැති නම් ආදායම් සහ වියදම් අතර විෂමතාවක් තිබුණි. ඩොලර් අර්බුදය අනෙකය. පසුගිය කාලයේදී රුපියල් ආදායම වැඩි කරගෙන තිබේ. 2024 අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 4,000කි. මෙකී ආදායම ලබාගැනීම ජනතාවගේ සහ මහ බැංකු අධිපතිගේ විශ්වකර්ම වැඩක් ද? නැතිනම් මෙරට ජනතාව පීඩාවට පත්කර, ජනතාව මිරිකා ගත් බදු ද? ඇත්තටම මෙතැන ඇත්තේ බදු ආදායමය. ජනතාවගේ ආදායම් වර්ධනය කර වැඩි වන ආදායමෙන් බදු ගැනීම සාධාරණය. එහෙත්, ආණ්ඩුව කළේ පීඩිත ජනතාව තවත් පීඩාවට පත්කර ජනතාවගේ පොකැට්ටුව කොල්ලකෑමකි. දුප්පත්කම ඉහළ අගයක් ගෙන ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. රජයේ ආදායම් වැඩි කරගත්ත ද එසේ වැඩි කරගත් ආකාරය සම්බන්ධයෙන් සතුටු විය නොහැකිය. අතිරේක අර්බුද ගණනාවක් මේ නිසා මතු වන්නට පුළුවන.

ඩොලර් ආදායම සහ වියදම දෙස බලන විට ප්‍රාථමික ගිණුමේ ශේෂය අතිශය වැදගත්ය. පසුගිය කාලයේම එය ඍණ අගයකි. 2023, 2024 වසරවල මෙහි ධන අගයක් අපේක්ෂා කර තිබේ. 2022 දී ඍණ 2ක් වූ ප්‍රාථමික ගිණුමේ ශේෂය 2023 දී සියයට 1.6ක් වී තිබේ. 2024 දී දශම 7ක් අපේක්ෂා කර තිබේ. ප්‍රමාණවත්ව ඩොලර් තිබෙන බව මේ හරහා සිතිය හැකිය. සංචාරක කර්මාන්තයේ පිබිදීම මෙයට ප්‍රධාන හේතුවකි. ගෙවුණු මාස හතරේදී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියනයකට වැඩි ආදායමක් ලැබී තිබේ. සංචාරක කර්මාන්තය සියයට 103කින් වර්ධනය වී තිබුණි. විදේශගත ශ්‍රමිකයන් එක් මාසයකදී එවන ඩොලර් ගණන මිලියන 475ත් 485ත් අතර අගයක් ගෙන තිබේ. ආර්බුදයට පෙර 2020 දෙසැම්බරයේදී ලැබී ඇති විදේශ ප්‍රේෂණ වටිනාකම ඩොලර් මිලියන 812කි. මූල්‍ය අරමුදලට මෙතරම් බැගෑපත් වී මාස හයකට අපට ලැබෙන්නේ ඩොලර් මිලියන 330කි. එහෙත්, විදෙස්ගත ශ්‍රමිකයන් එක් මාසයකදී ඩො.මි. 812ක් එවා තිබුණි. කෙසේ වෙතත්, රටට ඩොලර් ලැබීම වර්ධනය වීම යහපත් ප්‍රවණතාවකි.

ඒ වගේම ආනයනය අපනයන පරතරය පුළුල් වීමට පටන්ගෙන තිබේ. අපනයන ආදායම් වර්ධනයක් පසුගිය මාසයේ පෙන්නුම් කළ ද, ඊට පෙර මාස කිහිපයේදී අපනයන ආදායම් දිගින් දිගටම අඩු වී තිබේ. කර්මාන්ත වැසී යාම සහ යුරෝපා වෙළෙඳපොළේ යම් යම් ගැටලු මෙයට හේතු වී තිබේ. ආනයන අපනයන පරතරය සම්බන්ධයෙන් අපට සතුටු විය නොහැක. රටේ ඩොලර් වැඩි වුණේ මහ බැංකු අධිපතිගේ සහ ජනපතිගේ වැඩපිළිවෙළක් නිසා ද නැති නම්, ස්වාභාවිකව එය වර්ධනය වූවා දැයි කෙනකු ප්‍රශ්න කළ හැකිය. සංචාරකයන් ගෙන්වා ගැනීමට ආණ්ඩුව කළේ කුමක් ද? රට සාමාන්‍යකරණය වීම නිසා මේ මුදල් ලැබුණා මිස ඇත්තට ආර්ථික ප්‍රතිපත්ති සකසා මේ මුදල් උපයා නැති බව ඇතැම් අයගේ අදහසය. එසේ ප්‍රතිපත්ති හැදුවා නම් අපනයන ආදායම් ඉහළ යා යුතුය. ඒවා ගැන කතාවක් නැත. නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා නැත. එනිසා තිබෙන දේ විකුණා ලැබෙන ඩොලර්වලින් රටේ ඩොලර් වැඩි වුණා යැයි කියා සතුටු විය හැකි ද? එය ප්‍රශ්නාර්ථයකි. මේවා තාවකාලික පැලැස්තර මිස දිගු කාලීන විසඳුම් හැටියට පිළිගත නොහැක. දැනට ණය ගෙවන්නේ නැත. වාහන ආනයනය කරන්නේ නැත. යම් ඩොලර් සංචිතයක් ඇත්තේ එවැනි පසුබිමකය. ආනයන අපනයන පරතරය පුළුල් වෙමින් ඇත්තේ ද මෙකී වාතාවරණයේය. වාහන ආනයනය ආරම්භ කළහොත් මේ පරතරය තවත් පුළුල් වී නරක තැනකට යාමට පුළුවන. ණය වාරික ගෙවා ගැනීමට රටේ සංචිත ප්‍රමාණවත් නොවිය හැකිය.

ආර්ථිකය ස්ථාවර වීමට නම්, ආණ්ඩුව මීට වඩා සංවේදීව පුළුල් විශ්ලේෂණයක් කළ යුතුය. තුවාලය උඩින් වියළී පැවැතියත් යටින් පැසවමින් තිබෙන බව අවබෝධ කරගත යුතුය. ආණ්ඩුව යමක් කළ බව සැබෑය. කතා කළේ තෙල් පෝලිම් ගැනය. අද තෙල් තිබේ. එහෙත්, අද රුපියල් 368ක් ගෙවන්නේ රුපියල් 114ට ගත් පෙට්‍රල් ලීටරයට බව ජනතාවට අමතකය. අද රුපියල් 4,000ක් ගෙවන්නේ එදා රුපියල් 1,500ට ගත් ගෑස් සිලින්ඩරයටය. මේවා ජනතාවට මතක නැත. මෙරට ජනතාවගේ දේශපාලනික සවිඥානයේ ස්වභාවය එයයි. ප්‍රශ්න මවා ප්‍රශ්න විසඳන තැනකට ආර්ථිකය තල්ලු වී තිබේ. ආර්ථිකය කළමනාකරණයේදී දිගින් දිගටම කරගෙන ඇති වැරැද්ද වන්නේ ආර්ථික ප්‍රතිපත්තිය සහ දේශපාලන ප්‍රතිපත්තිය පටලවා ගැනීමය. ආර්ථිකය හැදීමට මෙතෙක් ආණ්‍ඩුව ගත් උත්සාහය මැතිවරණ ඉලක්කත් සමග පසුපසට ගොස් තිබේ. ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ ආර්ථිකය හදනවාට වඩා තමන්ගේ දේශපාලන ස්ථාවරත්වය ගොඩනගා ගැනීම ද යන ප්‍රශ්නය මතුව තිබේ. ආණ්ඩුව කරමින් යන වැඩ දෙස බලන විට එවැනි ප්‍රශ්නයක් මතු වීම සාධාරණය. දේශපාලන අරමුණු ඇතිව කෙරෙන වැඩවලින් ඇති විය හැකි ප්‍රතිවිපාක ගැන තැකීමක් ද නැත. ආණ්ඩුව පමණක් නොව විපක්ෂයේ පක්ෂ ද ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්න තරම් ප්‍රමාණවත් කථිකාවතක සිටින බවක් පෙනෙන්නට නැත.

යම් ආකාරයක ස්ථාවර වූ ආර්ථිකය කුමන දිශාවකට ගමන් කරාවි දැයි අපැහැදිලිය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තවම හැකියාව නැත. මහ බැංකුවට ස්වාධීනකම දුන්නාට එය ද අවභාවිත කරමින් තිබේ. මේවායෙන් රටට වූ සෙත කුමක් ද? මූල්‍ය අරමුදල පැනවූ යහපත් කොන්දේසි පවා එක්කෝ අවභාවිත වෙලාය. නැති නම් ඒවා ක්‍රියාත්මක කිරීමේ නොහැකියාවක් තිබේ. විපක්ෂයේ පක්ෂවල මතය ද එතරම් සාධනීය නැත. ආර්ථිකයේ හෙට දවස අනවශ්‍ය ආකාරයට අර්බුදයට ලක්කර ඇති බව මේ අනුව පෙනී යන්නකි. එයට ප්‍රධාන හේතුව මැතිවරණ උණුසුමය. කවුරු බලයට පැමිණියත් නොවෙනස් ප්‍රතිපත්තියක කටයුතු කිරීමට සියලු පක්ෂ එකඟ නොවුණහොත් ආර්ථිකයේ අනාගතය සම්බන්ධයෙන් ඇති වන්නේ අවිනිශ්චිත තත්වයකි.

(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)



අදහස් (0)

ආර්ථිකයේ අනාගතය අඳුරුද?

ඔබේ අදහස් එවන්න

සඳුදා හමුව

සහල් මිල ප්‍රශ්නයට විසඳුමක්
2024 නොවැම්බර් මස 11 740 0

ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව


යුගයට ගැළපෙන දේශපාලනය
2024 නොවැම්බර් මස 04 415 0

තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද


දූෂණය විකුණා ගසාකෑම
2024 ඔක්තෝබර් මස 21 1313 2

නීතිඥවරියක හෝ නීතිඥයකු තමන් කියන්නේ බොරුවක් යැයි දැනගෙනම ජන ජීවිතයට බලපෑ හැකි බොරුවක් ප්‍රසිද්ධියේ කීම, නීතිඥ වෘත්තියෙහි ආචාරධර්ම හා සදාචාරයට පටහැන


ඡන්ද අරමුණ පුද්ගලයන් තේරීමද?
2024 ඔක්තෝබර් මස 14 233 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම අවසන් වන විට, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ, නාමයෝජනා පත්‍ර 764 ක් බ


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 390 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 629 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 481 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1980 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site