2024 වර්ෂය ආර්ථික ජයග්‍රහණ ගණනාවක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකි වේ. ඒ මන්ද යත් ඊට වසර දෙකකට මත්තෙන් ලාංකික ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ අස්ථාවර වූ ආර්ථිකයට යම් කෙටිකාලීන ස්ථාවරත්වයක් ගෙන ඒමට 2024 වර්ෂයේ දී හැකියාව ලැබිණ.
එසේ අත්කරගත් සාර්ථක ප්‍රතිඵල සැකෙවින් වුවත් නැවත මතක් කළ යුතුව ඇත. ආර්ථිකයේ සමස්ත කාර්යසාධනය මිණුම් කෙරෙන දළ දේශීය නිෂ්පාදනය ආර්ථික අර්බුදයත් සමග සෘණ වර්ධනයක් වාර්තා කළ අතර කාර්තු හයක් පුරා ආර්ථිකය හැකිළෙමින් පැවතිණි.
ආර්ථික හැකිළීම නැවතී යළි ආර්ථිකය ප්‍රකෘතිමත් වීම ආරම්භ වන්නේ 2023 තුන්වැනි කර්තුවේ සිටය. ඉන් පසු කාලයේ ක්‍රමිකව ආර්ථික වර්ධනය ඉහළ යමින් පවතී. උද්ධමනය හෙවත් සමස්ත මිල මට්ටමේ ඉහළ යාමේ වේගය සියයට 70ක් තරම් ඉහළ මට්ටමකට ළඟා විය. දශකයක පමණ කාලයක් තුළදී ඉහළ යාමට නියමිතව පැවති මිල ගණන් අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ ඉහළ ගියේය. මේ නිසාම සමාජයේ පහළ ආදායම් ස්ථරයේ සිටි බහුතරයක් දුප්පත්කමට ඇද වැටුණි. ලෝක බැංකු දත්තවලට අනුව මුළු ජනගහනයෙන් හතරෙන් එකක් දුප්පත්තු වෙති. එසේ වුවත් ආර්ථික අර්බුදය ජය ගැනීමට අදාළව මෙහෙයවන ලද මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මැදිහත්වීම් හමුවේ ඉහළ ගිය උද්ධමනය ක්‍රමයෙන් පහතට ගමන් කර අදවන විට සෘණ උද්ධමනයක් නැතහොත් සමස්ත මිල මට්ටම පහත වැටීමක් සිදුව ඇත.
එසේම, විනිමය අනුපාතය අධිප්‍රමාණය වෙමින් එහි දිගුකාලීන සමතුලිතයේ ස්ථායී වි ඇති අතර විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ඉක්මවා පැවතීම ද සුවිශේෂි වේ. 2022 අප්‍රියෙල් මස තාවකාලිකව නවතා දැමු ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන්ගේ ණය ආපසු ගෙවීමට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන්ව ඇත. මේ නිසාම ණය පැහැර හැරීම මත RD (Restricted Default) මට්ටමේ පැවති ස්වෛරි ණය ශ්‍රේණිගත කිරීම වර්තමානය වනවිට CCC+ දක්වා ඉහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන කටයුතු කර ඇත. අතිශය දුෂ්කර වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාපේක්ෂව කෙටි කාලයක් තුළ නිම කිරීමට හැකිවීම ලංකාව ලද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. එසේම 2022 දී දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 7.5 කට පමණ පහත වැටී පැවති රජයේ බදු ආදායම 2024 වන විට දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් ලෙස 12.5 ක පමණ මට්ටමක් දක්වා ඉහළ නැංවීමට හැකිවීම ද අගය කළ යුතුව ඇත. එමෙන්ම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන සමග එකඟ වූ ඉලක්ක සියල්ලම පාහේ ළඟාකර ගැනීම පිටුපස සැබවින්ම පැවතියේ ආර්ථික ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ, දේශපාලනික වශයෙන් කොතරම් පිරිවැය අධික වුවද, ගැනීමට පැවති නායකත්වය පසුබට නොවීම යන ගුණාංගයයි. අවසාන වශයෙන් ආර්ථිකයේ ඉදිරි ගමනට මහත් පිටුවහලක් වන පනත් කීපයක් පාර්ලිමේන්තුවේ සම්මත කරන ලදී. ඒ අතර මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත, වංචා සහ දූෂණ පිටුදැකීමේ පනත සහ ආර්ථික පරිවර්තන පනත විශේෂයෙන්ම සඳහන් කළ යුතුව ඇත.
2025 - තිරසර වර්ධනයකට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වසරයි.
ඉහත සඳහන් කළ පරිදි 2024 අවසානය වනවිට 2022 වසරේ රට මුහුණ දුන් ආර්ථික අභියෝගය විසඳීමේ ක්‍රියාවලියේ මූලික අදියර එනම් කෙටිකාලීන ආර්ථික ස්ථායිතාව ළඟාකර ගැනීමට හැකිව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති වැඩසටහනේ හරි අඩකට ආසන්න කාලයක් පසු කිරීම තවත් මාස කිපයක් තුළ සිදුවනු ඇත. එම වැඩසටහන තුළ ඇති ආදායම් ඉලක්ක ළඟාකර ගැනීම සඳහා තවදුරටත් බදු ආදායම වැඩිකිරීමේ අභියෝගය 2025 වසර තුළ පවතී. විශේෂයෙන්ම මෙම වසර තුළ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් ලෙස 1.5 කින් පමණ ඉහළ නංවා ගතයුතු තත්වයක් යටතේ රාජ්‍ය ආදායම්-වියදම් කළමනාකරණයට අදාළව පියවර ගණනාවක් ගත යුතුව ඇත. එසේම දැනට ළඟාකරගත් ස්ථායීතාව ආරක්ෂා කරගනිමින් තිරසාරව ඉහළ ආර්ථික වෘද්ධියක් අතපත් කර ගැනීම සඳහා ආර්ථිකය සූදානම් කිරීමේ අභියෝගය රට හමුවේ පවතී. එසේ ඉහළ ආර්ථික වර්ධනයක් අතපත් කරගැනීම එක් පැත්තකින් විදේශ ණය ආපසු ගෙවීම සඳහා ඇතිකරගත් එකඟතා සම්පූර්ණ කිරීමට අවස්ථාව ඇතිකර ගැනීම සඳහාත් අනෙක් පැත්තෙන් දුප්පත්කම සහ විරැකියාව පහතට ගෙන ඒම සඳහාත් අත්‍යවශ්‍යව පවතී.
මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා ආර්ථිකය සූදානම් කිරීම 2025 වර්ෂයේ ප්‍රමුඛතම අභියෝගය වේ. විශේෂයෙන්ම අපනයන කේන්ද්‍රීය තරගකාරි ආර්ථිකයක් ඇති කිරීමෙන් එක් පැත්තකින් විදේශ ණය ගෙවීමේ හැකියාව මෙන්ම ණයගැති බව ද පහත හෙළිය හැකිය. අනෙක් අතට ශ්‍රමබලකායේ වැටුප් සහ ආදායම් තත්වයන් ඉහළ දැමිය හැකිවේ. අපනයන කේන්ද්‍රීය ඉහළ ආර්ථික වෘද්ධියක් අත්පත් කරගැනීම සඳහා කුමන වෘද්ධී මූලාශ්‍ර පවත්නේ ද යන්න විමසා බැලීම වැදගත්ය.
ආර්ථික පරිවර්තන පනතේ ඇති වැදගත්කම
ආර්ථික පරිවර්තන පනත තුළ හඳුනාගෙන ඇති පරිදි ආර්ථිකයේ ආයෝජන වැඩිකිරීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම පෞද්ගලික ආයෝජන දිරිමත් කළ යුතුව පවතී. ඒ අතරිනුත් විදේශ ආයෝජන ඉහළ නැංවීම වැදගත් වන්නේ එවැනි ආයෝජන නිරන්තරයෙන්ම අපනයන ප්‍රවර්ධනය සමග එක්ව ගමන් කරන බැවිනි. විදේශ ආයෝජන මෙන්ම දේශීය ආයෝජන දිරිගැන්වීම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණයන් සිදුකිරීම ඉතාමත් අත්‍යවශ්‍යව පවතී. විශේෂයෙන්ම ව්‍යාපාරකරණය පහසු කිරීම, ආර්ථිකය තරගකාරී කිරීම ඉලක්ක කොට ක්ෂේත්‍ර ගණනාවක ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාව පවතින බව ආර්ථික පරිවර්තන පනත තුළ හඳුනාගෙන ඇත. විශේෂයෙන්ම ආර්ථික පරිවර්තන පනත මගින් විදේශ සහ දේශීය ආයෝජන ප්‍රවර්ධනය, සුළු සහ මධ්‍ය පරිමාණ ආයතන ද ඇතුළත්ව කර්මාන්ත ප්‍රවර්ධනය, අපනයන ප්‍රවර්ධනය සහ ආර්ථිකයේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා නව ආයතනික ව්‍යුහයන් යෝජනාව පැවතිණි. ඒ යටතේ Zone Sri Lanka invest Sri Lanka, වැනි ආයතන යෝජනාවල ඇත. වර්තමානයේ දී මෙම පනත ප්‍රකාරව එවැනි ආයතන පිහිටවන්නේ ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් නොමැත. විදේශ ආයෝජන රට තුළට ලබා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන වැඩසටහන කුමක් දැයි රජයේ ආර්ථික වැඩසටහන තුළ අනිවාර්ය අංගයක් විය යුතුව පවතී.
ඉහළ ආර්ථික වෘද්ධියක් ලබා ගැනීම සඳහා පවතින අනෙක් වෘද්ධි මූලාශ්‍රය වන්නේ ඵලදායීතාව ඉහළ නැංවීම වේ. එසේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ඵලදායීතා කාර්යාලයක් පිහිටුවීමට ආර්ථික පරිවර්තන පනත තුළ යෝජනාවේ අන්තර්ගතය. 2000 වර්ෂයෙන් පසුකාලය සලකා බලන විට පෙනියන මූලික කරුණක් වන්නේ මුළු ඵලදායීතාවයේ වාර්ෂික වර්ධන වේගය ඉතා පහළ අගයක් ගැනීමයි. එමෙන්ම මානව ප්‍රාග්ධනයට අදාළව ද එවන් තත්වයක් පවති. විශේෂයෙන්ම, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මැතිහත් වීම මත රටේ මානව ප්‍රග්ධන තොගය ඉහළ ගිය ද එසේ ඉහළ ගිය මානව ප්‍රග්ධනය ආර්ථික ක්‍රියාවලියට සහභාගිකර ගැනීමට අප අසමත්ව ඇත. එහි අවසාන ප්‍රතිඵලය ලෙස මානව ප්‍රාග්ධනය රට හැර යමින් පවති. විශේෂයෙන්ම වර්තමානයේ මෙම තත්වය තවදුරටත් තීවර වෙමින් පවති. මේ නිසා එක් පැත්තකින් රාජ්‍ය අයෝජන කාර්යක්ෂමතාව මෙන්ම මුළු පලදායීතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍යව පවති. මේ සඳහා ද අර්ථිකයේ පුළුල් පරාසයක් තුළ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම වැදගත් වේ.
අනෙක් ප්‍රධානතම වෘද්ධි මූලශ්‍රය වන්නේ, ආර්ථික පරිවර්තන පනත තුළ ද හඳුනාගෙන ඇති පරිදි, ශ්‍රම වෙළෙඳපොළ සභාගීත්වය ඉහළනැංවීම වේ. මේ අතරිනුත් කාන්තා ශ්‍රම වෙළෙඳපොළ සාභාගීත්වය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වන්නක් බවට පත්ව ඇත. සාම්ප්‍රදායිකව, ආර්ථිකව තුළ කාන්තා ශ්‍රම සහභාගීත්වය, වැඩකළ හැකි වයසේ පසුවන කාන්තාවන්ගේ ප්‍රතිශතයක් ලෙස, ඉතාමත් පහළ මට්ටමක පවති. උදාහරණයක් ලෙස වියට්නාමය සහ මැලේසියාව වැනි රටවල කාන්තා ශ්‍රම සාභාගීත්වය සියයට 60-68 පමණ පවත්නා විට ලාංකික ආර්ථිකය තුළ එම අගය සියයට 32 පමණ වු පහළ අගයක් ගෙන ඇත.
ආර්ථිකය මුහුණ දී ඇති අභියෝග ජයගැනීම සඳහා ජාතික සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක් සැකසිය යුතුව පවතී. එවැනි ජාතික සංවර්ධන සැලස්මක් සැකසීම පුළුල් ජනතා සාභාගීත්වකින් යුතුව සිදුකළ යුත්තක් වේ. මැතිවරණ ප්‍රකාශනයක් කිසිසේත්ම ජාතික සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක් නොවන බව දේශපාලකයන් තේරුම් ගතයුතුව ඇත. ලෝකයේ සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා බොහෝමයක් රටවල් අද වන විට වසර 10-20 දක්වා දිවෙන සංවර්ධන ප්‍රතිපත්ති රාමුන් තුළ කටයුතු කරමින් සිටී. අද පවත්නා බොහොමයක් අර්බුද මතුව ඇත්තේ ජාතික සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක් තුළ නොසිට කටයුතු කිරීම නිසා බව නොකියාම බැරිය. යම් හෙයකින් වත්මන් රජය ආර්ථික පරිවර්තන පනත යටතේ යෝජනා වී ඇති ආර්ථික ඉලක්ක සහ වැඩසටහන නොපිළිගන්නේ නම් රජයේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරි අයවැයත් සමග ඉදිරිපත් කළ යුතුව පවතී. එසේ සකස් කරනු ලබන වැඩසටහනක මූලිකව ඇතුළත් විය යුතු අංග කීපයක් ඇත. ඉන් පළමු වැන්න වන්නේ ලාංකික ආර්ථිකය බාහිර ලෝකය සමග සම්බන්ධ (integration) කිරීම වේ. එහිලා පවත්නා ආයෝජන සහ වෙළෙඳ ගිවිසුම්වල අරමුණු සහ අවකාශය තවදුරටත් පුළුල් කිරීමත් නව අයෝජන සහ වෙළෙද ගිවිසුම්වලට ඇතුළත් වීමත් ඉතා වැදගත් වේ. අද රට මුහුණ දී ඇති ගැටලු ජයගත හැක්කේ දැනට පවතින ආවෘත තරගකාරී නොවන ආර්ථිකය, අපනයන කේන්ද්‍රීය තරගකාරි ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමෙන් බව වටහා ගතයුතුව ඇත. දෙවනුව, දේශීය ආර්ථිකයේ තරගකාරීත්වය වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ ආර්ථික ප්‍රතිසංස්කරණ නොපමාව කළ යුතුය. එවැනි ප්‍රතිසංස්කරණ කෙටිකාලීනව යම් යම් පාර්ශ්වවලට අහිතකර වියහැකි වී නමුදු මැදිකාලීනව සහ දිගුකාලීනව ආර්ථිකයට යහපත් බව තේරුම්කර දීමෙන් ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය මහජන සහය ලබා ගැනීම කළ යුතුව ඇත. 2020 ට පෙර පැවති ආර්ථිකයට නැවත ගමන් කිරීමෙන් පලක් නොවන බව වටහා ගත යුතුව ඇත. අවසාන වශයෙන්, නව අණ පනත් මගින් හඳුන්වා දී ඇති නීතිමය රාමුව තුළ ආර්ථිකය මෙහෙයවීම සඳහා රජය කටයුතු කිරීම ආර්ථිකයේ නැවත අර්බුදයක් ඇති නොවීම සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වන්නක් බව තේරුම් ගත යුතුව ඇත.
(***)
2024 වර්ෂය ආර්ථික ජයග්‍රහණ ගණනාවක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකි වේ. ඒ මන්ද යත් ඊට වසර දෙකකට මත්තෙන් ලාංකික ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හ
ශ්රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා පළාත් මටට්මින් ලබා දෙන දායකත්වය අනුව බස්නාහිර පළාත ඉදිරියෙන් සිටී. පළාත් සංවර්ධනය තුළ විසමතා පවතී. අනෙක් පළාත් නිපදවන
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නවතම පැතිකඩකට යොමු කරන අවස්ථාවක් වනු ඇතැ
කොවිඩ් වසංගතයේ බලපෑම ලෝක ආර්ථිකයෙහි අර්බුද ඇති කළේය. භූ දේශපාලනය හා තාක්ෂණයේ දියුණුව බොහෝ රටවල තත්වය තවත් සංකීර්ණ කර ඇත. රටවල් ගණනාවක බරපතළ පෙරැළි සිද
ජ.වි.පෙ. පෙරමුණ ගත් “මාලිමා” මැතිවරණ ජයග්‍රහණ ගැන මේ වන විට බොහෝ දේ ලියැවුණි. කියැවුණි. 2024 සැප්තැම්බර-නොවැම්බර මැතිවරණ දෙකෙහි ඔවුන්ගේ ජයග්‍රහණ නිසැකවම ඓ
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ආර්ථික අභියෝග ජය මාර්ග