IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


​මැජික් බෑ සැලැස්මක් අවශ්‍යයි

 

ජනතාවට පැටවුණු බදු බර, ජනතාවට සහන නැතිද, ජනපතිවරණය, එජාපයේ අනාගතය යනා දී කරුණු පිළිබඳ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළි දක්වමු.

 

ප්‍රශ්නය:- හිටපු මුදල් ඇමැතිවරයකු හැටියට අද රටේ තිබෙන තත්වය සම්බන්ධයෙන් ඇති අදහස කුමක්ද?

පිළිතුර:- අලුතෙන් සිතා බලා නිර්මාණශීලිත්වයකින් රට ඉදිරියට ගෙන යා යුතු අවස්ථාවකට රට පත්ව තිබෙනවා. ඇත්ත ඇති සැටියෙන් කිව්වාම ඒක අමිහිරියි. හැබැයි කාලයක් ගියාම ඒ කියපුවා ඇත්ත බව ජනතාවට වැටහෙනවා. රට බංකොලොත් වෙලා. නිදහස ලැබීලා වසර 76ක්. සුද්දන්ගෙන් බලය ලබාගත්තට අපේ අනාගතය සුරක්ෂිත කරගන්න අපි වැඩ කරලා නැහැ. අද අපි සියලු දෙනාම භූක්ති විඳින්නේ එහි ප්‍රතිඵලයි. ළාබාල දේශපාලනයක් කරලා ආර්ථිකයත් සමග සෙල්ලම් කළා. ජනතාවට ජීවත් වීමට නොහැකි රටාවකට ඔවුන් හුරුකරලා. හැම දේම නිකං ගන්නා සමාජයක් බවට මේ රට පත්වෙලා. අසල්වැසි රටවල්, අපත් සමග නිදහස ලබාගත් රටවල් ශීඝ්‍රයෙන් ඉදිරියට යද්දී මේ රට එක තැනක සිරවී තිබෙන්නේ ඇයි ? අද ජනතාව ඉතාමත් අසීරු තත්වයකට ඇද වැටිලා. මේවා ගැන අපි එදා කිව්වා. ඒත් ජනතාව ඒක පිළිගත්තේ නැහැ. කොහොම වුවත් මහන්සියෙන් වැඩ කරන සමාජයක් බවට මේ සමාජය පරිවර්තනය කිරීම අවශ්‍යයි.

ප්‍රශ්නය:- රට බංකොලොත් වුණේ අසීමිත ණය කන්ද නිසා. වැඩියෙන්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගත්තේ 2015 සි 2019 දක්වා කාලයේ. එසේ නම් වගකීම ඇත්තේ කාටද කියා පැහැදිලි වෙනවා නේද?

පිළිතුර:- 1954දී මේ රට ණයක් නැති තත්වයක තිබුණා. 2009 සිට 2020 දක්වා මේ රටේ ආණ්ඩු තුනක් තිබුණා. මෙතැන තිබෙන ප්‍රශ්නය වැඩියෙන්ම ණය ගත්තේ කවුද කිය එක නෙමෙයි. ණය ගෙවීමේ හැකියාවක් නැතිව ණය ගත්තේ කවුද කියලයි. ආණ්ඩු බලයට එනවා. යම් යම් වැඩ කරනවා. රුපියල් දහයක ආදායමක් සොයන්න රුපියල් විස්සක් වියදම් කරනවා නම් එතැන ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි ගෙවිය යුතු ගණනට වඩා වැඩි ආදායමක් ණය යොදවා උපයනවා නම් ප්‍රශ්‍නයක් ඇති වෙන්නේ නැහැ. මෑතකදී ගෙන ඇති ණය ගෙවීමේ හැකියාවක් ඇතුව ගනිපුවා නෙමෙයි. ගන්නන් වාලේ ණය අරගෙන. ආදායම් ඉපයිය හැකි කටයුතුවල ණය යොදවා නැහැ.

තිබෙන ප්‍රශ්න හරියාකාරව විසඳා ගැනීමට නොහැකිව රට බංකොලොත් වුණා. එහෙම කළ පාලකයොත් බංකොළොත්. ණය ගෙවන්න බැරි බව මහ බැංකුව නින්දෙන් නැගිට්ටා වගේ කිව්වා. එදා සිටි මුදල් ඇමැතියි විපක්ෂයේ සිටින කෙනකුයි මහ බැංකුවේ ප්‍රධානියොයි කතා වෙලා රට බංකොලොත් කිව්වා. මේවාට ඇමැති මණ්ඩලයේත් පාර්ලිමේන්තුවේත් අනුමැතිය ගත්තේ නැහැ. අද වෙන කතා කියනවා. බංකොලොත් වුණාම එයින් මිදීම සම්පූර්ණයෙන් වෙනස් ක්‍රියාවලියක්. නිසි මූල්‍ය විනයක් ඇතිව කටයුතු නොකළොත් අපට නැගිටීමක් නැහැ.

ප්‍රශ්නය:- රට බංකොලොත් බවෙන් මුදාගන්නා අවසන් අදියරේ සිටින බව කියනවා. හැබැයි එන්න එන්නම ජනතාවට අසීරුයි. රට ​හොඳ වෙනව නම් ජනතාව අන්ත අසරණ වෙන්නේ ඇයි ?

පිළිතුර:- ඔව්, ජනතාව අන්ත අසරණ වෙලා. 2019 දී ජනතාවගේ ජීවන මට්ටම හොඳ තත්වයක තිබුණා. ජීවන වියදම පිළිබඳ ප්‍රශ්න තිබුණේ නැහැ. එහෙත් බඩට මොනව වුණත් කමක් නැහැ අපට රටක් ඕන කියා ජනතාව වෙනසක් ඇති කළා. මහා වෙනසක් අපේක්ෂාවෙන් ආණ්ඩුව වෙනස් කළා. හැබැයි ඒ ආණ්ඩුවට වසර දෙකක් යන්නත් කලින් රට බංකොලොත් වුණා. ජනතාව අපේක්ෂා කළ වෙනස බංකොලොත් රටක්ද කියා අපි දන්නේ නැහැ. ජනතාවට කන්න බොන්න නැති තැනට රට වැටුණා. අවසානයට ඉතිරි වුණේ අමිහිරි වුවත් ඇත්ත කියූ, ප්‍රතිපත්තියක් ඇතිව වැඩ කළ රනිල් වික්‍රමසිංහ විතරයි. නැතිව තිබූ තෙල්, විදුලිය, ගෑස්, ආහාර යනාදී සියල්ල මාස නවයක දී පමණ යළි හිඟයකින් තොරව ලබා දීමට එතුමා කටයුතු කළා. හැකි පමණ ජනතාවට සහන දුන්නා. අසීරු තීරණ ගත්තා.

අයි.එම්.එෆ්. එකත් ආවා. ඔවුන් විවිධ දේ කරන්න කිව්වා. ජනතාවට මොනව වුවත් ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ගේ වැඩපිළිවෙළ ඔවුන් ඉදිරිපත් කරනවා. රට බංකොලොත් කියා බෝඩ් එක අල්ලගෙන ඉන්නවද නැත්නම් එතැනින්ම පිම්මක් අරන් රට හදන්න වැඩ කරනවද? ඒ ගමන දැන් යමින් සිටිනවා. ඒක ඉතාම අමාරු, දුෂ්කර, අමිහිරි ගමනක්. මේ ගමන නොගියොත් මීටත් වඩා ප්‍රපාතයකට වැටෙනවා. එදා තිබූ හැටියට දැන් ජන ජීවිතය යන්තම් ඇදගෙන යා හැකි රටාවකට වැටී තිබෙනවා. අසරණ තත්වයෙන් මිදෙන්න තව ටික කාලයක් යාවි. මෙතැන දී කාටවත් මැජික් පෙන්නන්න බැහැ. දීර්ඝ සැලසුමක් සහ ප්‍රතිපත්ති සමග රටට ඔබින ගමනක් යා යුතුයි. සුද්දගෙන් ගත් රට පරිපාලනය කරගන්න අපට බැරි ඇයි? මේ රටේ කුහක පිරිසක් සිටිනවා. කරන්න පුළුවන් එකාට කරන්න දෙන්නේ නැහැ. කකුලෙන් අදිනවා. වැඩ කරන එකාට පහරදී කුඩුපට්ටම් කරන රටාව වෙනස් විය යුතුයි. මේවායෙන් වෙනස් නොවුණොත් රට අනාථයි. පොර ටෝක් දුන්නට රටවල් හදන්න බැහැ.

ප්‍රශ්‍නය:- ජනතාවට දරාගත නොහැකි බදු බරක් පටවා තිබෙනවා. බදු අය කරගත යුතු තැන් තිබිය දී ජනතාව පීඩාවට පත් කිරීම සාධාරණ ද?

පිළිතුර:- ඒ බදු බර බොහොම අසාධාරණයි. රුපියල් දහසක් උපයා රුපියල් දස දහසක් වියදම් කළ රටක් තමයි ලංකාව. 2015දී අපි රටේ ආදායම වැඩි කරන්න කටයුතු කළා. ඒ වෙලාවේ අපට දොස් කිව්වා. හැබැයි එයින් වසර දෙකක් ඉක්ම වූ විට ජීවන වියදම අඩුවීම ආදිය සිදු වුණා. ජීවන බර සැහැල්ලු වුණා. 2019දී බදු කපා හැර රුපියල් බිලියන 650ක් අහිමි කර ගත්තා. මේකෙන් ජනතාවට වාසියක් වුණාද? එහි ප්‍රතිඵලය වුණේ රට බංකොලොත් වීමයි. කඩා වැටුණු රට ගොඩනැගීමේ දී යම් යම් අසීරු තීරණ ගන්න වෙනවා. ගෙවන එකා ගෙවනවා. නොගෙවන එකා ගෙවන්නෙම නැහැ. බදු නොගෙවන අයගෙන් බදු අයකර ගැනීමේ විධිමත් ක්‍රමයක් අවශ්‍යයි. එසේ කළොත් සාමාන්‍ය ජනතාවගේ බදු බර සැහැල්ලු කරන්න පුළුවන්. ඒ වගේම අපනයන තව තවත් වැඩි කරගෙන ණය ගෙවීමේ හැකියාවත් වැඩි කරගත යුතුයි. අලුත් ආදායම් උත්පාදනය කරන්න අවශ්‍යයි. තිබෙන පීඩනය ලිහිල් කරන්න පුළුවන් එවැනි ක්‍රමවලින් පමණයි.

ප්‍රශ්නය:- සාමාන්‍ය ජනයාටම බදු බර පැටෙව්වත් බදු ගෙවිය යුතු ධනය ඇති එහෙත් බදු නොගෙවන ලක්ෂ 10ක් පමණ සිටින බව කියනවා. මේවා නිවැරැදි වෙන ක්‍රම නැද්ද?

පිළිතුර:- ප්‍රශ්නය තිබෙන්නේ ඔතැන තමයි. ජනතාව අතරත් ඔය සැකය තියෙනවා. සමාගම් 1,30,000කින් බදු ගෙවන්නේ දස දහසයි. ඉතිරි අය කරන්නේ මොනවද? මෙහෙම වෙලා තිබෙන්නේ කිසිදු සැලැස්මක් නැති නිසා. මම මුදල් ඇමැති හැටියට සිටි කාලයේ බදු ලිපිගොනු ලක්ෂ 18ක් තිබුණා. 2022 වන විට එම ගණන 2,35,000කට අඩු වෙලා. මේවා මෙහෙම වෙන්නේ කොහොමද? කිසිදු ඉදිරි දැක්මක් නැතිව කටයුතු කෙරී ඇති බව මෙයින්ම පැහැදිලි වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ජනතාව අන්ත අසරණ වුණා. ඍජු බදු සියයට හැටක් වෙන්න ඕන කියා අයි.එම්.එෆ්. කියනවා. රට පාලනය කරන හැටි සුද්දො අපට උගන්වන්න අවශ්‍ය නැහැ. රට පාලනය කළ යුත්තේ කොහොමද කියා අපි දැන ගන්න ඕන. පැනපන් කියා සුද්දො කියන විට කොච්චර උසකින් පනින්න ද කියා අපේ නිලධාරීන් අහනවා. මේවා වෙනස් වෙන්න අවශ්‍යයි. මහ බැංකුවේ පරිපාලනය මීට වඩා මානුෂිකව කටයුතු කිරීම අවශ්‍යයි. එදා මේව කිව්වම අපට ගැහුවා. අහසින් වැටුණු අය වගේ මහ බැංකුව කටයුතු කරලා හරියන්නේ නැහැ. මෙහෙම වැඩ කරලා රට හැදෙන්නේ නැහැ.

ප්‍රශ්‍නය:- ජනපතිවරණයට සෑම පක්ෂයක්ම කඳවුරු බඳිමින් සිටිනවා. එජාපයේ එවැනි සූදානමක් පේන්න නැත්තේ ඇයි ?

පිළිතුර:- එජාපය මේ දිනවල අපේ වැරැදි නිවැරැදි කර ගනිමින් සිටිනවා. එජාප පාක්ෂිකයන් අපට හොඳ පාඩමක් උගන්වා තිබෙනවා. ඒක අපි ඉගෙන ගන්න ඕන. සුළු පිරිසක් අපේ පක්ෂය වැරැදි මාර්ගයක ගෙන ගියා. අද අපි ඒවා නිවැරැදි කරගෙන අලුත් ප්‍රතිපත්ති සමගින් සියලු දෙනා එකතු කර ගනිමින් අලුත් ගමනක් ආරම්භ කර තිබෙනවා. අද අපේ නායකයා ජනාධිපති වශයෙන් කටයුතු කරනවා. එතුමා පත්වුණේ එජාප ඡන්දෙන් නෙමෙයි. ඒ නිසා ඒ සියලු දෙනා සමගම ප්‍රතිපත්ති මාලාවකින් ඉදිරියට යන්න කෙලෙහි ගුණයක් තියෙන්න ඕන. එජාපය සහ එකට හිතන්න පුළුවන් පක්ෂ එකතු කරගෙන ඉදිරියට යන ගමනක් තිබෙනවා. රටට නිදහස දිනා දුන්නේ ඩී.එස්. සේනානායක. ආර්ථිකය ලෝකයට එකතු කළේ ජේ.ආර්. ජයවර්ධන. රට බංකොලොත්භාවයෙන් මුදාගත්තේ රනිල් වික්‍රමසිංහ. මේ පරිණතභාවය රටට ජයග්‍රහණ ලබාදී තිබෙනවා. ඉදිරියටත් ඒ වුවමනාව රටට තිබෙනවා.

ප්‍රශ්නය:- බිංදුවට වැටුණු එජාපයට ජනපතිවරණයක් දිනන්න තරම් ශක්තියක් තිබෙනව ද?

පිළිතුර:- 2019 ජනපතිවරණයේදී ගෝඨාභය 69 ලක්ෂයක් ඡන්ද ගන්න විට අපේ කණ්ඩායමේ සිටි පිරිසත් ලක්ෂ 55ක් ගත්තා. මහ මැතිවරණයේදී පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 68ක් ලැබෙන විට ලක්ෂ 55ක් ගත් පිරිසේ ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 27කට අඩු වුණා. ඡන්ද ලක්ෂ 38ක පමණ වෙනසක් එතැන තිබෙනවා. මේ නිහඬ වුණේ එජාප පාක්ෂිකයන්. ඒ නිසා ඒ අයට අපි නැවත ආමන්ත්‍රණය කරනවා. එජාපය කළ වැරැදි කළ බවට සමාජ මතයක් ඇති වුණා. වැරැදි නොකළත් අපි ඒ අයගෙන් සමාව අයැදිනවා. එජාපය කරන්නේ පවුල් දේශපාලනයක් නෙමෙයි. අපේ මුළු පක්ෂයම එක පවුලක්. නිහඬ වූ පිරිස ඒකරාශි කරන වැඩපිළිවෙළක් කරගෙන යනවා. තවත් පිරිසක් පක්ෂය වටා එකතු වෙමින් සිටිනවා. රටේ ආර්ථිකය හදපු පක්ෂයක පරිණත බව රටට අවශ්‍ය බව පැහැදිලියි.

ප්‍රශ්නය:- ජා.ජ.බ මේ වන විට ජනපති සටනේ ඉදිරියෙන් සිටින බව ඇතැම් අය කියනවා. ආණ්ඩුව ගන්නා තීරණයත් එතරම් ජනප්‍රිය නොවන පසුබිමක ඔබ කියන කතාව කොතරම් ප්‍රායෝගික ද?

පිළිතුර:- මේක විහිළු සපයන යුගයක් නෙමෙයි. ඇත්ත ඇති සැටියෙන් කිව යුතුව තිබෙනවා. හැම එකක්ම නිකම් දී රට නැවත බංකොලොත් කරනවද නැති නම් පැරැණි පාඩම් උගෙන හරි ක්‍රමයට රට හදනවද කියා සිතිය යුතුයි. තවම ඡන්දයක් ප්‍රකාශ වී නැති තැනක පිරිසක් විවිධ කතා කියමින් යනවා. හැබැයි රටේ ප්‍රශ්න විසඳන වැඩපිළිවෙළක් මේ අය කියන්නේ නැහැ. රට අර්බුදයට ගිය වෙලාවේ මේ අය රට බාර නොගත්තේ ඇයි? කියන තරම් හැකියාවක් තිබුණ නම් ඒ වෙලාවේ රට බාරගන්න තිබුණා. අද රට ගොඩනැගෙනමින් තිබෙන පසුබිමක මේ අය විවිධ කතා කියමින් යනවා. මේවා විහිලු. ජනප්‍රිය නොවුණත් රටට අවශ්‍ය දේ දැන් කරමින් සිටිනවා. ඒවායේ ප්‍රතිඵල තව ටික කලකින් ලැබේවි. මේක කඩාකප්පල් කළොත් යළිත් භයානක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. විහිලු සපයන්නන්ට අවස්ථාව තිබුණට රෑ වැටුණු වළේ දවාලේත් වැටෙන්න ජනතාව සූදානම් නැහැ. අද අවශ්‍ය රට හරි මාර්ගයට යොමු කරන්න. තරුණ තරුණියන්ට රට ගැන විශ්වාසයක් ඇති කරන්නයි. කාන්තාවන්ගේ ගරුත්වය සුරකින සමස්ත ජනතාවට ජීවත් වීමට හැකි රටක් හදන්නයි. එජාපය හැමදාම රටට ​හොඳ දේ කළා.

ප්‍රශ්නය:- විවිධ සන්ධාන හැදෙනවා. ඒ එක තැනකවත් එජාපය නැහැ. ඇත්තටම වෙන්නේ මොකක්ද?

පිළිතුර:- බොහොම සියුම් මට්ටමකට අද දේශපාලනය පැමිණ තිබෙනවා. අභියෝගය බාරගත් රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව අද හැමෝම කියනවා. යම් අය අඬ බෙර ගැසුවට අභ්‍යන්තරව කළ යුතු දේවල් බොහොම හෙමින් සීරුවට කළ යුතු වෙනවා. යම් කොටස් ජනතාවට ප්‍රශ්නයක් වී තිබෙනවා. ප්‍රායෝගික නොවන අය තව පැත්තකින් සිටිනවා. ජනතාවට හොඳ උත්තරය දිය හැකි පිරිස එකතු කළ යුතුයි. එතැනදී අපට අවශ්‍ය ජනතාව ජයග්‍රහණය කරවීමටයි.

 

(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)



අදහස් (12)

​මැජික් බෑ සැලැස්මක් අවශ්‍යයි

Nimal Monday, 04 March 2024 11:37 AM

මේ බැංකු කොල්ලකරුවෙක් සමග සම්මුඛ සාකච්ඡා කුමටද?

:       5       53

වීර Monday, 04 March 2024 01:23 PM

මයික් අල්ලන අයට විකාර. ඔවුන්ව යවන්න ඕනෑ උසාවි.

:       5       42

saman Monday, 04 March 2024 03:47 PM

ඇයි අර පාර්ට්මන්ට් එක මැජික් වලින් හම්බ වුණු හැටිත් ඔය එක්කම කියමුකෝ...!

:       5       40

ravin Tuesday, 05 March 2024 11:04 AM

නැතිව නැතිව සැලසුම් කරලා හොරකම් කරපු හැටි වැඩි දෙනා දන්නවා.

:       0       2

KAHAWITA Wednesday, 06 March 2024 04:38 AM

මෙයා නේද අර වරායේ ගුදමක් ලියාගත්තේ. එතකොට ඒ කාලේ නේද යකඩ නැවක් ගෙනාවේ... බදුමුදල ශත විසිපහට අඩුකරලා... දැන්නම් ඇල්වතුරත් නිමලා බොන සයිස් එකෙන් කතාව... මෙයා දකින කොට මහබැංකුව අඬනවාලු...

:       3       20

Jagath Wednesday, 06 March 2024 10:19 AM

පල් හොරුන්ට නේද මයික් අල්ලන්නේ...!

:       3       26

කන්නා අලි Wednesday, 06 March 2024 01:51 PM

අනේ අම්මේ මෙන්න මෙයා රට හදන හැටි කියනවා. ලෝකේ මීට වඩා විහිළු තියෙනවාද? ලංකාවේ තවත් ඉන්නේ ගොන්නු කියලා හිතලාද ඔය කියවන්නේ...? පොඩ්ඩක් රට ඇතුලේ ඇවිදලා බලන්නකෝ ඔබතුමාලා පිළිගන්න මිනිස්සු ඉන්න හැටි බලන්න.

:       3       25

Nimal Thursday, 07 March 2024 10:24 AM

මහබැංකු හොරා දැන් බබා පාට් දානවා. ජනතාවට අමතක නැහැ.

:       0       12

Dasa P Thursday, 07 March 2024 06:19 PM

මහ බැංකුවට කළේ මැජික් වලින්ද? සැලැස්මකින්ද? මැජික් බලෙන් එපාර්ට්මන්ට් එකක් ලැබුණා නම් මතකයි.

:       1       10

R.M.Yashodi Rathnayaka Saturday, 09 March 2024 06:31 AM

සතොස ලොරි ටික විකුණලා ඒක බංකොළොත් කරලා දැන් එනවා රට හදන හැටි කියන්න. මෙයා නේද අර අපාර්ට්මන්ට් එකේ කේස් එකටත් හිටියේ...?

:       0       12

lakvidu Sunday, 10 March 2024 01:41 PM

මේ වගේ අය එක්ක සාකච්ඡා කරලා ලිපිත් දාන්න.

:       0       5

Perera Wednesday, 13 March 2024 10:01 AM

මාධ්‍යවල අයටත් මේ අයවනේ ඕනේ සම්මුඛ සාකච්ඡා තියන්න. මේ මොන හොරෙක්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳුදා හමුව

නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 75 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1973 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


ආර්ථ්ක නවෝදයකට යා යුතු මග
2025 මාර්තු මස 24 225 0

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.4කින් වර්ධනය වී තිබේ. එය සුවිශේෂ වන්නේ වසර කිහිපයක් තිස්සේ ආර්ථිකය සං


ආරක්ෂාව නිදහස විවරණයක්
2025 මාර්තු මස 17 157 1

ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා


රට යන ගමන නිවැරැදිද?
2025 මාර්තු මස 10 1288 4

වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්‍


ස්වාධීන අභිවෝදක මිථ්‍යාව යථාර්ථය
2025 මාර්තු මස 03 232 0

අපරාධ නඩුකටයුතු මහජනතාව දැඩි උනන්දුවක් දක්වන තීරණාත්මක කරුණකි. නඩුකටයුතුවල ප්‍රතිඵලය කුමක් වුවත්, පුරවැසියකු අපරාධ නඩුකීමට ලක් කිරීම, අපරාධ නඩුවක වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 495 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site