IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


යථාර්ථයේ ස්වභාවය නොතේරීම

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති - ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘සෞභාග්‍යයේ දැක්ම’ නමින් තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ ලංකාවේත් සමස්ත ලෝකයේත් තත්ත්වය සාමාන්‍ය යැයි යන උපකල්පනය මතය. ඒ වනවිටත් රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබූ නමුත් පැවැති සන්දර්භයට සාපේක්ෂව එකී යෝජනාවලිය ඊට ප්‍රමාණවත් එකක් විය. එහෙත් කොරෝනා වසංගතයේ ආගමනය සමග දේශීය පරිසරය මතු නොව ගෝලීය තත්ත්වය පවා සහමුලින්ම වෙනස් විය.

මෙම නව ලෝක තත්ත්වයෙහි පැරැණි ආණ්ඩුකරණ ප්‍රතිපත්ති මාලාව දියත් කිරීමට ගියහොත් සිදුවන්නේ විශාල හානියකි.නිදසුනක් හැටියට ජනාධිපතිවරයා බලයට පැමිණි විගස ආදායම් හා වැට් බදු ගෙවන්නන්ට ඉදිරිපත් කළ ආකර්ශනීය බදු මාලාව දැක්විය හැකිය.

සාමාන්‍ය තත්ත්වයක් යටතේ එය යහපත් එළඹුමකි.

මන්දයත් පුද්ගලයන් හා ව්‍යාපාරිකයන් අතට වැඩි ආදායමක් ලබා දී ඒවා නැවත වරක් ආයෝජනයට සැලැස්වීමෙන් සමස්ත ආර්ථික වර්ධනය වේගවත්ව තීව්‍ර කිරීම එහි අරමුණ වූයෙනි. එමෙන්ම ආදායම් බදු විෂය පැත්තෙන් ගතහොත් බදු දැල ශක්තිමත් කිරීම හරහා ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි බදු ආදායමක් ලබාගැනීම ද අපේක්ෂා කෙරිණි. එහෙත් වසංගතයේ ක්‍රියාකාරීත්වය විසින් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය අඩපණ කරනු ලැබිණි. එමෙන්ම පෙර කී ලෙස බදු අඩුවීමේ සහනයෙන් වැඩි ආදායමක් ලැබූවන්ට ඒ මුදල් නැවත ආයෝජනයට අවස්ථාවක් ලැබුණේ ද නැත. ඔවුන් කළේ ලද ආදායම පරිභෝජනය කිරීම පමණි. සාමාන්‍යයෙන් ලංකාවේ පරිභෝජනයේදී සිදුවන්නේ ඊට අවශ්‍ය බොහෝ දේ විදේශයන්ගෙන් ආනයනය කිරීමය. මේ නිසා සිදුවුණේ ගෙවුම් ශේෂයේ උග්‍ර අර්බුදයක් හටගැනීමය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ විදේශ සංචිත වේගයෙන් පිරිහී ගොස් රුපියල අවප්‍රමාණ වීමය. ඒ අනුව ආණ්ඩුවක් නොකළ යුතු පියවරක් ගැනීමට ආණ්ඩුවට සිදුවූයේය. ඒ, ආනයන හා විදේශ විනිමය සම්බන්ධයෙන් සීමා පැනවීමය.

 සාමාන්‍යයෙන් පුද්ගලයන්ට ආයෝජනයට පරිසරය සකසමින් දිරිදෙන්නට තීන්දු ගන්නා ප්‍රතිපත්ති අතරේ ආර්ථිකයට සීමා මායිම් දැමීම යනු පරස්පරයකි. මන්දයත් ආයෝජනයට දිරිදීමේදී රටක් විවෘත කිරීම මිස එහි දොරකවුළු වසාදැමීම යෝග්‍ය නොවන බැවිනි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ පරිපාලනයට තමන් ආරම්භයේදීම දියත් කළ දේශීය ආර්ථිකයත් මත පදනම් වූ පැරැණි ප්‍රතිපත්ති මාලාව නැවත ක්‍රියාවට නැගිය නොහැකිය. දැන් අවශ්‍ය වන්නේ ගෝලීය ආර්ථිකය සමග අත්වැල් බැඳගත් නව ප්‍රතිපත්ති මාලාවකි. එවැනි වෙනසකට මුලපුරන්නට නොහැකි වුවහොත් රටට විදේශ විනිමය උපයාගැනීමට හැකිවන්නේ නැත. ඉන්පසු රටේ විදේශ සංචිත හීන වීයාම නොවැළැක්විය හැකිය. රටේ විදේශ සංචිත ප්‍රමාණය 2021 ජූලි මාසය අග වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 2,800 ක් වැනි අගයකට පහළ වැටිණි. මේ අතර මහ බැංකුව දරන ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් වැනි අතිශය සුළු අගයකට පහළ වැටිණි. රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදයේ උග්‍රභාවය තේරුම්ගැනීමට මේ සංඛ්‍යා ලේඛන ප්‍රමාණවත්ය. ඒ අනුව ආණ්ඩුව ආරම්භයේ යෝජනා කළ දේශීය ආර්ථිකය මත පදනම් වූ ගමන දිගටම යා නොහැකි බව නිශ්චිතය. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් සහාය ලබාගෙන ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසයක් නිර්මාණය කෙරෙන නව ගමනක් යෑම ඉල්ලා සිටින බව ද නිශ්චිතය. දේශීය ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කරගත හැකි වනු ඇත්තේ ලෝක ආර්ථිකය හා මුසු වූ එවැනි ගමනකින් පමණි.

2019 ශ්‍රී ලංකාවේ බදු ආදායම සමග සසඳද්දී පසුගිය වසරේදී රජයට අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 516කි. මෙම තත්ත්වයට වෙනස්ව 2021 වසරේදී බදු ආදායම් දියුණු කිරීමට අපේක්ෂා කළත් තුන් වැනි සහ හතර වැනි කොරෝනා රැලිවල පැමිණීම නිසා ආදායම උපැයීම දැන් තිබෙන්නේ තවදුරටත් පහළ වැටුණු තත්ත්වයකය. මේ තත්ත්වය මත 2021 පමණක් නොව 2022 හා 2023 වසරවලදී පවා ආදායම් පහළ වැටීමක් වෙතැයි අපට පුරෝකථනය කළ හැකිය.

ආණ්ඩුව මේ අවස්ථාවේ කළේ තමන්ගේ වියදම් කපාහැරීම වෙනුවට බැංකු ක්‍රමය මගින් මහාපරිමාණයෙන් මුදල් ණයට ගැනීමය. සාමාන්‍ය මහජනයා සිතන්නේ මුදල් මුද්‍රණය කිරීම යනු මහබැංකුව කාසි හා නෝට්ටු මුද්‍රණය කිරීම යැයි කියාය. එහෙත් යථාර්ථයේදී මුදල් මුද්‍රණය යනු රටේ මුළු මුදල් තොගයේ වැඩිවීමයි.

මේ මුළු මුදල් තොගය 2019 දෙසැම්බර් සිට 2021 ජූලි මස අග දක්වා රුපියල් බිලියන 2,600 කින් ඉහළ ගොස් තිබේ. එනම් සියයට 35 කිනි. ආණ්ඩුව මහ බැංකුව සහ වාණිජ බැංකුවලින් ලබාගත් ණය ප්‍රමාණය මේ මාස 19 ක කාලයේදී රුපියල් බිලියන 3,200 කින් වැඩි වීමෙන් මේ ප්‍රතිඵලය ලැබී ඇත. රටක මුදල් තොගය සියයට 35 කින් පමණ මේ ආකාරයට වැඩි වූ විට උද්ධමන අනුපාතිකය අනිවාර්යයෙන්ම ඉහළ යා යුතුවේ.

ඒ පිළිබඳ ඉඟි දැනටමත් පළවෙමින් තිබේ. ජාතික මිල දර්ශකය 2021 ජූලි මස අග වනවිට සියයට 6.8 ක් දක්වා වැඩි වීම ඊට එක් නිදසුනකි. මෙය 2022 දී සියයට 10 ඉක්මවනු ඇත. මේ අධිඋද්ධමනය කියාසිටින්නේ බැංකු ක්‍රමයෙන් මුදල් ණයට ගැනීමෙන් ආණ්ඩුවට මේ ගමන යා නොහැකි බවය.

ඒ නිසා රජය සිය වියදම් පිළිබඳව අනිවාර්යයෙන්ම නැවත වරක් තක්සේරු කළ යුතුය. අනවශ්‍ය හා ප්‍රයෝජනවත් නොවන වියදම් වහාම කපා හැර රාජ්‍ය ආදායම අත්‍යවශ්‍යම වියදම්වලට පමණක් යොමු කළ යුතුය. රටේ සමස්ත ආර්ථික වර්ධනයට දායක වන ඵලදායිත්වය වර්ධනය වන දේට පමණක් මුදල් වැය කළ යුතුය.

මහ බැංකුව නමැති ආයතනය 1950 දී පිහිටුවනු ලැබුවේ ආණ්ඩුවලට සේවය කරන ආයතනයක් වශයෙන් නොවේ. රාජ්‍යට හෙවත් රටේ ජනතාවට සේවය කරන ආයතනයක් වශයෙනි. ඊට හේතුව කුමක්ද? මහ බැංකුවෙන් නිකුත් කරන කාසි හා නෝට්ටු සඳහා මිනිසුන් සිය ස්වාභාවික සම්පත් හා ශ්‍රමය කැපකරන්නේ ඒවායේ වටිනාකම ස්ථාවරව තිබේ යැයි සිතාය. එවිට මහ බැංකුවේ වගකීම වන්නේ එහි ස්ථාවර වටිනාකම රැකගැනීමය.

එහෙත් ආයතනයක් හැටියට මහ බැංකුව පිහිටු වූ දා සිටම වූයේ බලයට පැමිණි සියලුම ආණ්ඩු මහ බැංකුව අක්‍රමවත් පරිදි ප්‍රයෝජනයට ගැනීමය. කාසි හා නෝට්ටුවල අගය දේශීය වෙළෙඳපොළේත් විදේශීය වශයෙනුත් (විනිමය අනුපාතිකය වශයෙන්) විශාල වශයෙන් පහළ වැටීම වූයේ ඒ අනුවය.

නිදසුනකට 1952 දී රුපියල් 100 කින් ගතහැකි භාණ්ඩ තොගය ගැනීමට වර්තමානය වනවිට රුපියල් 12,000 කට වැඩි මුදලක් වියදම් කළ යුතුය. 1952 දී ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 4යි ශත 76කි. එහෙත් අද මහ බැංකුවේම වෙබ් අඩවියට අනුව රුපියල් 203.00කි. මහ බැංකුවට පිටස්තර වෙළෙඳපොළේ කළු කඩවලදී රුපියල් 240 - 250 ක් අතරය. මහ බැංකුව මේ විෂම චක්‍රයෙන් මිදීමට නම් අනිවාර්යයෙන්ම එහි ස්වාධීනත්වය ආරක්ෂා කරගත යුතුය.

එය පිහිටුවූයේ රටේ ජනතාවට සේවය කිරීමේ අරමුණෙන් යන පදනමෙහි පිහිටා කටයුතු කළ යුතුය. මේ වගකීම් විරහිතභාවය නිසා ඇත්තවශයෙන්ම දැනටමත් මහ බැංකුව නමැති ආයතනය තිබෙන්නේ බිත්තියට හේත්තු වීය. මහ බැංකුව අද කටයුතු කරන්නේ මුදල් අමාත්‍යාංශයේ ශාඛාවක් හැටියට මිස ස්වාධීන මහ බැංකුවක් හැටියට නොවේ.  

අද වනවිට ලංකා සමාජය ප්‍රධාන සතුරන් දෙදෙනකු සමග සටන් කරමින් සිටී. පළමු සතුරා වන්නේ කොරෝනා වයිරසයයි. ජන ජීවිතය අවුල් කරමින් ජන ජීවිත උදුරා ගනිමින් පොදු සමාජයෙහි මහත් භීතියක් වපුරන්නට මේ සතුරා කටයුතු කරගෙන යයි. දෙවැනි සතුරා වන්නේ මේ පළමු සතුරා නිසා රට වසාතැබීමකින් සිදුවන ආර්ථික බිඳවැටීමෙන් අසරණ වන ජනයාගේ කතාවය. මෙය උභතෝකෝටිකයක් හැටියට සලකා තීරණයක් නිශ්චිතව ගත නොහැකිවීමෙන් අපට කිසිදු ප්‍රයෝජනයක් නැත. මාගේ නිරීක්ෂණය අනුව නම් අපට මේ සතුරන් දෙදෙනා සමග එකවර සටන් කළ නොහැකිය.

එනිසා ක්‍රමවේදය විය යුත්තේ පළමුව එක සතුරකු තෝරාගෙන මර්දනය කර දෙවැනි සතුරාට එරෙහිව ඊළඟ සටන ආරම්භ කිරීමය. පළමු සතුරා මර්දනය යනුවෙන් මා අදහස් කරන්නේ ශ්‍රී ලාංකික මනුෂ්‍යයාට භීතියකින් තොරව සිය අසල්වැසියා සමග සුහදව ගනුදෙනු කළ හැකි පරිසරයක් නිර්මාණය කරගැනීමය. කොරෝනා 19 පස් වැනි රැල්ලක් ඇතිවීම වළක්වාගැනීමය.

ප්‍රාමාණිකයන් අවධාරණය කරන ප්‍රධානම කරුණ වන්නේ කොරෝනා වයිරසය සමාජයේ වේගයෙන් පැතිර යන තත්ත්වයක් තුළ ඉන් අලුත් ප්‍රබේද හටගෙන නැවත වටයකින් භයානක තත්ත්වයක් මතුවීමේ විභවතාවයයි.

බටහිර ඕස්ට්‍රේලියාවේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය මෙහිදී අපට ආදර්ශයකි. ඔවුන් පළමුව කළේ ප්‍රාන්තය මුළුමනින් වසාදැමීම මගින් කොරෝනා වර්ධක වයිරසය සම්පූර්ණයෙන් තුරන් කිරීමය. මේ නිසා ඩෙල්ටා ප්‍රබේදයට හිස ඔසවන්නට ඉඩක් ලැබුණේ නැත. එහි ප්‍රතිඵලය වූයේ මුළුමනින්ම ප්‍රාන්තය විවෘත කර නිදහසේ කටයුතු කරන්නට හැකි තත්ත්වයක් නිර්මාණය කරගැනීමය. එහෙත් වයිසරය මුළුමනින්ම තුරන් කිරීමට අසමත් වූ නිව් සවුත්වේල්ස්, වික්ටෝරියා ආදී ප්‍රාන්තවලදී සිදුවූයේ ඒනිසාම නව ප්‍රබේදවලට දොරටු විවර කරගැනීමය. අද වනවිට ඒ ප්‍රාන්තවැසි ජනයා එම භයානක තත්ත්වය සමග ජීවත්වීමේ කනගාටුදායක ඉරණමට මුහුණ දී සිටිති. මෙය අපට හොඳ පාඩමකි. අප දැන් පළමුව කළයුත්තේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්කරගත හැකි මට්ටමට නව ප්‍රබේද නිර්මාණය වන තත්ත්වය වළක්වාගැනීමය. දෙවැනි සතුරා මර්දනය සඳහා ආණ්ඩුවට වුව පිටිය සැකැසෙන්නේ ඉන්පසුවය.

අද වනවිට සාමාන්‍ය ජනයා සිය සිතැඟි හා හැඟීම් ඉදිරිපත් කිරීමට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය බොහෝමයක් වේදිකාවක් කරගෙන තිබේ. අත්‍යවශ්‍ය වියදම් සඳහාම රාජ්‍ය මුදල් යොදන්නැයි යන ආර්ථික විද්‍යාත්මක ඉල්ලීම් තමන්ට තේරෙන භාෂාවෙන් කියන්නට ඔවුන් ඒවා භාවිතා කරනු පෙනේ. පැහැදිලිවම රජය ඊට සවන් දිය යුතුය. 1945 දී ඇමෙරිකාව හිරෝෂිමා සහ නාගසාකි යන නගරවලට පරමාණු බෝම්බ හෙළීමෙන් පසුව ජපාන ආර්ථිකය ද අළු දූවිලි බවට පත්විය. වර්තමානය වනවිට ලංකාව සිටින්නේ ද එදා ජපානය සිටි තැනය. මෙවැනි අවස්ථාවක නගර නිර්මාණය, උද්‍යාන අලංකරණය වැනිදේට මුදල් වියදම් කරන්නට රටකට වත් පොහොසත්කමක් නැත. ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීම විය යුත්තේ කලක් තිස්සේ අනුගමනය කළ වැරැදි ප්‍රතිපත්ති නිසා බිඳවැටී, කොරෝනා වසංගතයෙන් වඩාත් නරක් වූ ආර්ථිකයක් ගොඩගැනීම සඳහා මූලික අඩිතාලම දමාගැනීමය. අමතර වැඩ ඉන්පසුව කරගත හැකිය. ආණ්ඩුව දැන් දුවන්නේ පෙරදී අප පැහැදිලි කළ ආකාරයට බැංකුවලින් ගත් රුපියල් බිලියන තුන්දහසක පමණ ණය මුදලකිනි. ඉතින් මෙවැනි ණය මුදලක් නාස්තිකාර වියදම් සඳහා යෙදූවිට එයින් රටට ලැබෙන යහපත අවප්‍රමාණය වන බව ඕනෑම අයකුට වැටහේ.

ප්‍රතිපත්ති සම්පාදකයන් දැන්වත් මේ තත්ත්වය අවබෝධ කරගත යුතුය. විශේෂයෙන්ම සමාජයේ පහළ තීරුව වෙනුවෙන් ආර්ථික ක්‍රියාවලිය දියත් කළ යුතු බවට වූ ආණ්ඩුවේම අදහසට ද මෙය ප්‍රතිවිරුද්ධය. ඒ අනුව ප්‍රමුඛතා වටහාගැනීම සමග රටට නව ආර්ථික වැඩපිළිවෙළක් අවශ්‍ය බව තේරුම්ගැනීමෙන් තොරව මේ අවුල ලිහාගත නොහැකිය. සාකච්ඡාව ආරම්භයේදීම අවධාරණය කළ පරිදි සරලවම කිවහොත් ආණ්ඩුවේ පැරැණි සෞභාග්‍යයේ දැක්ම යටතේ තවදුරටත් කටයුතු කළ නොහැකිය. ඒ වෙනුවට අලුත් ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුය.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ )



අදහස් (4)

යථාර්ථයේ ස්වභාවය නොතේරීම

nimal Wednesday, 01 September 2021 04:48 AM

රජයට නොහැකි බව යථාර්ථයේ සත්‍ය ස්වභාවය තේරුනත් කරන්න බැරිනම් මොකද කරන්නේ ?

:       1       1

Ravendra Thursday, 02 September 2021 10:13 AM

රට පවතින තත්වය පිළිබඳව ඉතාමත් හොඳ විග්‍රහයක්... ජපානය බිමටම සමතලා වී නැවතත් ඔවුන් ගොඩ ආවේ නිකම්ම නොවේ යන්න නොරහසකි. එහි පුරවැසියන් එකාමෙන් තම යුතුකම් කැපකිරීම් කර ලබාගත් ඒ ජයග්‍රණයෙන් මුළු ලෝකයම මවිත විය. අප රටටද එය කළ හැක. එහි කිසිඳු බැරිකමක් කිසිසේත්ම නොමැත. අවාසනාව නම් අප රටේ තිබෙන අසුචි දේශපාලනය මෙන්ම පුරවැසියන්ද එක එක දේශපාලුවන් වෙනුවෙන් පිල් බෙදී කාමරා ගැනීමය. බලයේ ඉන්න "එකා" කිනම් හෝ හොඳ දෙයක් කිරීමට උත්සහ කරන විට බලය නොමැති "හරකා" එයට එකහෙලා විරුද්ධව උද්ඝෝෂණ, වැඩ වර්ජන කිරීම අප රටේ සිරිතක් වීම මොනතරම් අවාසනාවක්ද..? එයටම හරියන ඒ ඒ දේශපාලුවන් කියන්නේ කුමක්ද? හරිද? වැරැදිද? කිසිවිට නොසොයා තමන්ගේ ගොන් තකතීරු දේශපාලුවාගේ අණට කීකරු වී "ඒකා" කියන ඕනෑම වැඩකට සහභාගී වීමය. අප රටේ පක්ෂ දේශපාලනය තිබෙන තුරා අපට ගොඩඒමක් නොමැත.

:       0       1

Sunil Friday, 03 September 2021 06:53 AM

විශිෂ්ඨ විග්‍රහයක්. කණගාටුවට කරුණ නම් මෙවැනි විශාරධයින්ගේ අදහස් මේ රජය නොසැලකීමයි.

:       0       2

Lal de Silva Friday, 03 September 2021 11:46 PM

නිදහස ලබා ගැනීමෙන් පසු රට මුහුණ පාන්නේ ඉතාමත් දුෂ්කර කාල පරිච්ඡේදයකට ය. අවසාන විසඳුමට (අයිඑම්එෆ්) ණය දෙන්නා වෙත ගොස් මෙම තත්වයෙන් මිදීමට සහය ලබා ගැනීමට මෙම ප්‍රමාද මොහොතේදී පවා බලධාරීන් අවබෝධ කර ගත යුතුය. රජය අයිඑම්එෆ් ශාපයක් ලෙස සලකන සමහර මෝඩ පණ්ඩිතයන්ට සවන් දෙනවාට වඩා වැරදි පිළිගෙන තත්වය තක්සේරු කර වහාම පියවර ගැනීම ගැන ලැජ්ජා නොවිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳුදා හමුව

ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1671 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


ආර්ථ්ක නවෝදයකට යා යුතු මග
2025 මාර්තු මස 24 221 0

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.4කින් වර්ධනය වී තිබේ. එය සුවිශේෂ වන්නේ වසර කිහිපයක් තිස්සේ ආර්ථිකය සං


ආරක්ෂාව නිදහස විවරණයක්
2025 මාර්තු මස 17 153 1

ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා


රට යන ගමන නිවැරැදිද?
2025 මාර්තු මස 10 1283 4

වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්‍


ස්වාධීන අභිවෝදක මිථ්‍යාව යථාර්ථය
2025 මාර්තු මස 03 230 0

අපරාධ නඩුකටයුතු මහජනතාව දැඩි උනන්දුවක් දක්වන තීරණාත්මක කරුණකි. නඩුකටයුතුවල ප්‍රතිඵලය කුමක් වුවත්, පුරවැසියකු අපරාධ නඩුකීමට ලක් කිරීම, අපරාධ නඩුවක වි


අයවැයේ දිශානතිය කොයි අතටද?
2025 පෙබරවාරි මස 17 338 0

ශ්‍රී ලංකාව නැවුම් ආර්ථික හා දේශපාලන අත්දැකීමක් සඳහා සූදානම්ව සිටියි. එනම් සමාජවාදී නැඹුරුව සහිත දේශපාලන සන්දර්භයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ‍ලේඛ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 200 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 729 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site