වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව ජාතික ජන බලවේගය දිගටම කීවේය. අල්ලස දූෂණය පදනම් කරගත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට නම් රටේ මූලික නීතිය එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුය.
එහෙත් ආණ්ඩුවේ ඇතැම් ප්‍රකාශකයන් ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ අත්තනෝමතික බලයක් සහිත විධායක ජනාධිපති ධූරය පවත්වාගෙන යා යුතුය යන මතයේ ආණ්ඩුව සිටින බවය. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් මේ ආණ්ඩුවෙන් අපේක්ෂා නොකළ යුතු ය. වර්තමාන ආණ්ඩුව තරම් වේගයෙන් මහජන අප්‍රසාදයට ලක් වූ ආණ්ඩුවක් මා දැක නැත.
ආණ්ඩුව බලයට පත් වී මාස පහක පමණ කාලයක් ගෙවී ගොස් තිබේ. එය සැලකිය යුතු කාලයකි. 2015 දී බලයට පත් වූ යහපාලන ආණ්ඩුව බලයට පත් වී ඉතාමත් කෙටි කාලයකදී හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ තවමත් ජනතාවගේ සුබසිද්ධිය පිණිස ක්‍රියාත්මක වේ. තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික නීතියේ කොටසක් බවට පත් කිරීම, ජනාධිපතිවරයාගේ ධූර කාලය හා බලතල අඩු කිරීම එවැනි ප්‍රතිසංස්කරණ කිහිපයකි. එවක පැවති අඳුරු වලා අතර පෑයූ රිදී රේඛා හැටියට ඒවා හැඳින්විය හැකිය. යහපාලන ආණ්ඩුව දින සියයක් වැනි කාලයක් ඇතුළත එකී ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ කළේ නම් වත්මන් ආණ්ඩුවට අතිබහුතර බලයක් තිබියදීත් අතිමූලික ප්‍රතිසංස්කරණ කළ නොහැක්කේ ඇයි ද යන ප්‍රශ්නය මම නගමි.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලියට අදාළව නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජිකයන් හැටියට මමත් වත්මන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියත් කටයුතු කළෙමු. එහිදී ඇය සිතා ගත නොහැකි තරමේ ලිබරල් ප්‍රතිසංස්කරණ යෝජනා කළාය. දැන් ඇය අග්‍රාමාත්‍ය ධූරය හොබවන හෙයින් ඉතා පහසුවෙන් ඒ යෝජනා ඉදිරියට ගෙනා හැකිය. ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම අරබයා කළ යුත්තේ කුමක්දැයි මහ ජනතාව දනිති. මන්ද, ඊට අදාළ සාකච්ඡා කාලයක් තිස්සේ කෙරෙමින් තිබෙන නිසාය. අවැසි ව්‍යවස්ථානුකූල ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. බැරෑරුම්ව කල්පනා කර මේ ප්‍රතිසංස්කරණ කිරීමට ආණ්ඩුව සිතා සිටින්නේ නම් එය වැරැදි ආස්ථානයකි. මන්ද, එවිට ආණ්ඩුවේ ධුර කාලය අවසන් විය හැකි හෙයිනි.
මේ යුගයේ දේශපාලනය තීරණය කරනු ලබන්නේ විෂය මූලික කාරණා මත නොවේ. නිදසුනක් ලෙස කුමක් නිවැරැදි ද වෙනුවට කවුරුන් නිවැරැදි ද වැරැදි ද යන ඒවා මේ යුගයේ දේශපාලනය නිර්ණය කරන සාධක බවට පත්ව තිබේ. ඒවා දේශපාලනය නිර්ණය කරන සදාචාරාත්මක ප්‍රතිමාන ලෙස සැලකිය හැකිය. ජනතා විමුක්ති පෙරමුණට හිතවත් මධ්‍යම පාන්තිකයක් සමාජ මාධ්‍යවල පළ කරන අදහස්වල අන්තර්ගතය විමසීමේදී පෙනෙන්නේ බරපතළ සමාජ ප්‍රතිසංස්කරණ කළ නොහැකි බවත් ඔවුන් ඒවා වෙනුවෙන් පෙනී නොසිටින බවත්ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගෙන් විශාල සමාජ තීරුවක් යළි අපේක්ෂාභංගත්වයට පත් විය හැකි ය. ජනතාව දේශපාලනයේදී ඇදහිල්ලක් සොයති. ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධූරයට යළි පත්වීම තේරුම්ගත යුත්තේත් ඒ ආකාරයේ දේශපාලන ඇදහිල්ලක් සොයා යෑමක ඵලයක් හැටියටය. එහෙත් මේ දේශපාලන ඇදහිල්ල එපා වෙන මොහොතක් පැමිණේ. එය ඉතා භයානකය.
ගෝඨාභය රාජපක්ෂ සුදුස්සන්ට සුදුසු තැන දෙන බැව ඇඟවීම් සඳහා ඇස්බැන්දුමක් වශයෙන් කමිටුවක් හෝ පත් කළේ ය. එහෙත් වත්මන් ආණ්ඩුව එවැනි පියවරක්වත් ගෙන නොමැත. උගතුන් උපාධිධාරීන් විසින් ආණ්ඩුව මෙහෙයවනු ලබන බවට ආණ්ඩුව නිතර අවධාරණය කරයි. එය හරයක් ලෙස ගත්විට අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවිරෝධී ය. ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේ දී වියත්මග වැනි කණ්ඩායම්වල අසාර්ථකභාවය විසින් දෙනු ලබන පණිවුඩය තේරුම් ගැනීම ද වැදගත්ය. මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වශයෙන් කිව යුතු කාරණයක් තිබේ. එනම්, ලංකාවේ විශ්වවිද්‍යාලවලින් උසස් ප්‍රමිතියෙන් යුතු උපාධිධාරීන් බිහිවෙන්නේ ඉතාම කලාතුරකින් බවය. උගතාට හෝ උපාධිධාරියාට උගත්කම හෝ සමාජ මහන්තත්වය තබා ගත හැක්කේ ඔවුන් උගත් දේවල් සාමාන්‍ය ජනයාට නොතේරෙන භාෂාවෙන් කිව හැකි තාක් පමණි. භාෂාව පිළිබඳ විද්වතුන්ගේ මතය එයයි. මහජනතාව ඇන්දවීම දිගටම කළ හැකි දෙයක් නොවේ.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම යනු ව්‍යවස්ථාමය විප්ලවයකි. එය කළ යුත්තේත් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේය. ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රජාතන්ත්‍රවිරෝධී ප්‍රතිපාදන හඳුනාගෙන ඒවා ඉවත් කිරීම අරබයා ප්‍රතිසංස්කරණ ගෙනා හැකිය. ජනමත විචාරණයක් පැවැත්විය යුතුය යන මතය ඉදිරියට දමා බලයේ සිටි සෑම ආණ්ඩුවක්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම මගහැරියේය. වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් ඇති හෙයින් මෙම ධූරය අහෝසි කිරීම වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ජනතාව එය අනුමත කරනු ඇත. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුයි තව ස්වල්පයකුයි අවශ්‍යයි යන පිරුළ සිහිගන්වන දෙයක් බවට ලංකාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන සටන් පාඨය පත්ව තිබේ.
ආණ්ඩුවේ අසාර්ථකත්වය පෙන්වන දෙවැනි පැතිකඩ ආර්ථික සාධකයයි. 2025 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය අසාර්ථක එකක් බව මගේ අදහස යි. අයවැය හඳුන්වන්නේ වාර්ෂික විසර්ජන පනත ලෙසය. එහි වාර්ෂික යන්නෙන් අදාළ වසර යන ඇඟවුම තිබේ. ඒ අනුව අයවැයෙහි වැඩිවශයෙන් ඇතුළත් විය යුත්තේ 2025 වසර වෙනුවෙන් කරන අය කිරීම සහ වැය කිරීම් පිළිබඳ විස්තරත් පුරෝකථනත් ය. එහෙත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙහි වැඩිවශයෙන් දක්නට ලැබුණේ වසර තුන හතරකට අදාළ පුරෝකථනය. එවිට හැඟෙන්නේ එය වසර තුන හතරක කාලයකට අදාළ අයවැයක් ඉදිරිපත් කිරීමක් ලෙසය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිළියෙල කරනු ලැබූ අයවැයක් ද යන සැකය ද මතු වේ. වාම මූලයක් සහිත ආණ්ඩුවක් වුව ද මේ අයවැයෙහි සමාජවාදී ලක්ෂණ පෙනෙන්නට නැත.
ඇතෑම් විද්වතුන් වාමාංශික බලවේග හඳුන්වා ඇත්තේ රැඩිකල්භාවයෙන් ගිලිහුණු දේශපාලන වමක් හැටියටය. අන්ත දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිසංස්කරණකාරකයා බවට පත්වෙන්නේත් මේ වම බවට ඔවුන් අනතුරු අඟවා තිබේ. සදාතනික සත්‍යය මෙයයි. මෙම අයවැයෙහි වැඩිවශයෙන් තිබෙන්නේ නවලිබරල්වාදී ලක්ෂණයි. ආයෝජන වැඩි කිරීම, ව්‍යවසායයන් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් කිසිදු සැලසුම් ඇති බවක් ද නොපෙනේ. නිෂ්පාදන අංශය ශක්තිමත් නොකර සේවා අංශයෙන් පමණක් ඉහළ ආර්ථික වෘද්ධියක් අත්පත්කර ගත හැකිය යන මිථ්‍යා මතයේ ආණ්ඩුව සිටින බව පෙනේ. සංචාරක ආර්ථිකය මත වැඩි බරක් තබා තිබීමෙන් ම එය පැහැදිලි වේ. එහෙත් මෙහිදී අප තේරුම්ගත යුතු යථාර්ථයක් තිබේ. එනම්, මේ යුගයේ සංචාරක කර්මාන්තය යනු ඉතා ඉහළ අවදානමක් සහිත අස්ථීර ආදායම් මූලාශ්‍රයක් බවය. කොවිඩ් 19 වසංගතය කාලයේ සංචාරක කර්මාන්තය බිඳවැටුණු ස්වභාවයෙන්ම එය තේරුම්ගත හැකිය. අපට අවශ්‍ය වෙන්නේ දේශීය කර්මාන්ත නගාසිටුවිය හැකි තරගකාරී වෙළෙඳපොළ ජයගත හැකි ආර්ථික ප්‍රතිපත්තියකි.
වසර 2035 වෙනවිට ජනගහනයෙන් විශාල කොටසක් වැඩිහිටියන් බවට පත් වෙනු ඇත. දැනටමත් වැඩිහිටියෝ විශාල පිරිසක් සිටිති. ඔවුන්ගේ ඇතැම් අය සේවක අර්ථසාධක අරමුදලෙහි මුදල් තැන්පත් කර එයින් ලැබෙන මුදලින් ද තවත් අය ස්ථාවර තැන්පතු පවත්වා ගනිමින් එවායෙන් ලැබෙන පොලී මුදලෙන් ද ජීවත් වෙති. එහෙත් එම මුදල් මත සියයට 10 ක බද්දක් පනවා තිබීමෙන් ඔවුහු දුෂ්කරතාවට පත් ව සිටිති. එබැවින් එකී ප්‍රශ්නයට ආමන්ත්‍රණය කළ යුතුය. මෙරට ජනගහනයෙන් බහුතරයක් දෙනා අවිධිමත් අංශයේ රැකියාවල නිරත වෙති. මෙවර අයවැයෙන් ඔවුන්ට සහන සලසා නැත.
දැන් ලංකාවේ දක්ෂිණාංශික - වාමාංශික වශයෙන් දේශපාලනයෙහි පැහැදිලි බෙදීමක් දක්නට නොමැත. මගේ තක්සේරුව අනුව වර්තමානයේදී ලංකාවේ පිරිසුදු දක්ෂිණාංශිකය ජාතික ජන බලවේගයයි. දක්ෂිණාංශික යැයි සලකන දේශපාලන පාර්ශ්වය මීට වඩා ප්‍රගතිශීලිය. වංචා දූෂණ පිටුදකින බවට ආණ්ඩුව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී දැඩිව අවධාරණය කළේය. එහෙත් එය කල්පවතින සටන් පාඨයක් නොවේ. මහජන ආකර්ෂණය දිනා ගැනීම පිණිස තමන් වංචාවෙන් දූෂණයෙන් තොර කණ්ඩායමක් බව කීව ද එය වැඩිකල් පවතින දෙයක් නොවන බව මගේ වටහා ගැනීමයි.
බලයෙන් පහ කෙරුණු කණ්ඩායම්වලට නැවත ආණ්ඩු බලයට පැමිණිය හැකි දැයි නිවැරදිව පුරෝකථනය කළ නොහැකි වුව ද ලංකාව වැනි දේශපාලන සාක්ෂරතාවෙන් හීන රටවල බලයෙන් පහ කෙරුණු අන්ත දූෂිත කණ්ඩායම් යළි බලයට පැමිණීමට ඉඩ තිබෙන බව කිව යුතු ය. රාජපක්ෂ පවුල අන්ත දූෂිත බව මගේ විශ්වාසයයි.
ලංකාවේ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ එකම අවස්ථාවක එකට සිදුවිය යුතුය යන විශ්වාසය මම දරමි. ඒ දෙක වෙන් කර කතා කිරීමෙහි ඵලක් නැත. මේ දෙක එකට ගමන් කිරීමට නම් අනාගත දැක්මක් තිබිය යුතුය. එවැනි අනාගත දැක්මක් සතු දේශපාලනඥයන් සිටින බවක් නොපෙනේ. එබැවින් අප සිතිය යුත්තේ අනාගත දැක්මක් සකස් කර ගැනීම පිළිබඳවය. සදාතනික ප්‍රතිපත්ති තිබිය නොහැකිය. ඒවා කාලීන අවශ්‍යතා මත වෙනස් විය යුතුය. එසේවුවද ප්‍රතිපත්තිවල ස්ථාවරභාවයක් තිබීම වැදගත් වේ.
නිදසුනක් ලෙස මෙරට විදේශ ප්‍රතිපත්තිය ගත්විට එය වියවුල්කාරී එකක් බව පෙනේ. රට වටා ඇති මුහුදේ අපට හිමි වපසරිය අත්කර ගැනීමට යුහුසුලුව කටයුතු කරන බවක් දැකිය නොහැකි ය. එම සීමාවේ ඇති සම්පත් අත් කර ගැනීමට උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට ද නැත. ශ්‍රී ලංකාව කලාපීය බලතුලනය මනාව කළමනාකරණය කළ යුතු ය. එය නිසි අයුරින් සිදු වෙන බවක් ද නොපෙනේ. මේ කලාපයේ ඇති ප්‍රධාන විභවතා දෙක ඉන්දියාව සහ චීනයයි. චීනය සෘජුව දකුණු ආසියාවේ පිහිටි රටක් නොවුණ ද එරටට මේ කලාපයට විශාල බලපෑමක් කළ හැකි ය. ඉන්දියාවේ ආර්ථික වෘද්ධි වේගයත් සමග ඒ වටා දියුණු වීමට අපට වැඩපිළිවෙළක් තිබේද යන්න ප්‍රශ්නයකි. රටේ ස්වාධිපත්‍ය ආරක්ෂා කර ගන්නා අතරේ ඉන්දියාව සහ චීනය සමග තුලිත සමාජ ආර්ථික සහ දේශපාලන වැඩපිළිවෙළකින් ආර්ථිකය දියුණු කළ හැක්කේ කෙසේද යන්න ගැන අපි කල්පනා කළ යුතු වෙමු. පැහැදිලි දැක්මකින් කටයුතු නොකළහොත් රට අරාජකත්වයකට ගමන් ගැනීම නොවැළැක්විය හැකිය.
(***)
වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්
අපරාධ නඩුකටයුතු මහජනතාව දැඩි උනන්දුවක් දක්වන තීරණාත්මක කරුණකි. නඩුකටයුතුවල ප්‍රතිඵලය කුමක් වුවත්, පුරවැසියකු අපරාධ නඩුකීමට ලක් කිරීම, අපරාධ නඩුවක වි
ශ්රී ලංකාව නැවුම් ආර්ථික හා දේශපාලන අත්දැකීමක් සඳහා සූදානම්ව සිටියි. එනම් සමාජවාදී නැඹුරුව සහිත දේශපාලන සන්දර්භයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ලේඛ
2025 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අයවැය කරුණු කිහිපයක් හේතුවෙන් සුවිශේෂ වේ. ඉන් පළමුවැන්න න
භූගෝලීය වශයෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ද ඉතාමත්ම වටිනා ස්ථානයක පිහිටා ඇත. ආසියාවේ සිට ම
තීරණාත්මක ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයන තහනම හඳුන්වා දෙන ලදි. විදේශ මුදල් අර්බුදය සහ වර්ධනය වෙමින් පැවැති ණය ගැටලු මධ්‍යයේ ක්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රට යන ගමන නිවැරැදිද?