ජනාධිපති අනුර කුමාර දිසානායක සිය රජයේ වඩාත් වැදගත් ව්‍යාපෘතිය වූ “පිරිසුදු ශ්‍රී ලංකාවක්” වැඩසටහන 2025 වසර ආරම්භයේ දියත් කරනු ලැබුවේ, ජනාධිපති ලේකම් කර්යාලයේ නිල්වන් තණපිටිය ඉදිරියේ රතු පළස මත හිඳ ජාතිය ඇමතීමෙනි. සියලුම ශ්‍රී ලාංකිකයෝ පාහේ එම සිද්ධිය සජීවීව නැරඹූහ.
ඉන් අනතුරුව රට පුරා ඇමැතිවරු, දේශපාලනඥයෝ සහ සියලුම රාජ්‍ය සේවකයෝ කාරණා හයකින් සමන්විත දිවුරුම් ප්‍රකාශයක් දෙමින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දුන්හ. මෙම දිවුරුම රාජ්‍ය සේවකයන් විසින් වර්ෂ ආරම්භයේදී දෙනු ලබන සුපුරුදු දිවුරුම් සංශෝධනයකි.
මෙම වැඩසටහන සමගම පිරිසුදු ශ්‍රී ලංකාවක් වෙබ් අඩවිය (Clean Sri Lanka – කෙටි නාමය - CSL) දියත් කරනු ලැබීය. ඒ පිළිබඳ උනන්දුවක් දක්වන රටවැසියන්ට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් රජය ගන්නා වූ පියවර පිළිබඳව දැනුවත් විය හැකිය. එය (Beautiful Island - Smiling People) ලස්සන දිවයිනක් - සිනාසෙන ජනතාවක් යනුවෙන් නම් කර තිබෙන අතර, අනුර කුමාර දිසානායකගේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” නමින් යුතු මැතිවරණ ප්‍රකාශනයට තරමක් වෙනස්ය. එම මැතිවරණ ප්‍රකාශනයේ අනුර කුමාර දිසානායක “පිරිසුදු ශ්‍රී ලංකාවක්” ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විශේෂයෙන් යමක් නොකියන නමුත්, එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ඇතැම් ප්‍රකාශ ඔස්සේ ඔහු බලයට පැමිණි විට කුමක් කරන්නේ ද යන්න පිළිබඳ යම් යම් ඉඟි දැක්වේ.
එම නිසා පිරිසුදු ශ්‍රී ලංකාවක් ව්‍යාපෘතියේ ප්‍රායෝගික අරමුණ, අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැනනැගුණ නීරෝගී අංකුරයක් වෙයි. රටේ ජනාධිපතිවරයා පළමු මස දෙක තුළ ඔහු ලද රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් ඔස්සේ මෙම ව්‍යාපෘතිය ගොඩනැගී ඇති බව පෙනී යයි.
ජනතාවගේ අහිතකර ආකල්ප පිරිසුදු කර දැමීම
ශ්‍රී ලංකාව පිරිසුදු කිරීම යන්නේ වාච්‍යාර්ථය, භෞතික පරිසරය විනාශකාරි දූෂිත ද්‍රව්‍යයන්ගෙන් මුදා දැමීමට ගන්නා සවිඥානක උත්සාහයක්ය. එහෙත් අනුර කුමාර දිසානායක යෝජනා කර තිබෙන ව්‍යාපෘතිය එම වාච්‍යාර්ථයට එහා ගිය එකකි. ඔහු පවසන ආකාරයට, ඊට අමතරව පරිසරය පිරිසුදු කිරීම ඔස්සේ ශ්‍රී ලාංකිකයන් අතර අලුත් හර පද්ධතියක් ඇති කිරීම අපේක්ෂා කෙරේ. එහෙත්, එය කෙසේ කළ යුතු ද? අනුර කුමාර දිසානායක කියනුයේ, පළමු පියවර ලෙස ජනතාවට තමන්ගේම ජීවිතයේ අගය වටහා ගැනීමට උපකාර කිරීමෙන් ඔවුන් අන් අයගේ ජීවිතවල වටිනාකම අවබෝධ කරගැනීමට ද පෙළඹෙන බවයි. එවිට සමාජයේ ඉන්නා සෑම දෙනා තුළ සහානුකම්පාව හා එකිනෙකා කෙරේ සැලකිල්ල වර්ධනය වනු ඇත. මෙය සමස්ත ජාතියම, ඉහළ මට්ටමේ භාවමය බුද්ධිමත්භාවයකට රැගෙන යාම හා සමානය.
පරිසරය හා සංවර්ධනය සම්බන්ධයෙන් එ.ජා. ලෝක කොමිසම
1987 දී අපගේ පොදු අනාගතය යන හිසින් යුතුව නිකුත් කළ වාර්තාවේ එ.ජා. පරිසරය හා සංවර්ධනය පිළිබඳ ලෝක කොමිසමෙන් ඉදිරිපත් වූ තිරසර බව පිළිබඳ නිර්වචනය සමග මෙය සැසඳේ. එම වාර්තාවට අනුව තිරසර සංවර්ධනය යනු, “මානවයාගේ අද දවසේ අවශ්‍යතා, මතු පරම්පරාවට ඔවුන්ගේ අවශ්‍යතාව සපුරා ගන්නට ඉඩ සලසමින් ඊට බාධාවක් නොවන පරිදි සපුරා ගැනීමය.” එම නිසා ඔවුන්ගේ සමෘද්ධිමත්භාවයේ අවශතා සඳහා වූ හැකියාව අඩු නොකොට, අද දවසේ සම්පත් භාවිත කිරීමේ අවශ්‍යතාව අගය කරන පුරවැසිභාවයක් සංවර්ධනය කිරීමෙන් දැනට ගෝලීය වශයෙන් ඉදිරිපත් කර ඇති තිරසර සංවර්ධනය පිළිබඳ මතවාදය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සැලසුම් කරමින් සිටී.
තිරසර බවේ කුලුනු සතර
පිරිසුදු ශ්‍රී ලංකාවක් - Clean Sri Lanka වෙබ් අඩවියට අනුව, එම ව්‍යාපෘතිය පරිසරය හා මානව ආකල්ප පවිත්‍ර කිරීමේ සංයෝගයකි. එය පදනම්ව ඇත්තේ තිරසර බවේ කුලුනු සතරක් මතය. එනම්, පාරිසරික, ආර්ථික, සමාජයීය හා පාලන යන සතරයි. කෙටියෙන් එය EESG (Environmental, Economic, Social and Governance) වේ.
තිරසර යන්නේ අර්ථ දෙකක් ඇත. එකක් නම්, අද දවසේදී විචක්ෂණශීලි ලෙස සම්පත් භාවිත කිරීමයි. එවිට මතු පරම්පරාවලට තම අවශ්‍යතා සපුරා ගැනීමට කැප කිරීම් කළ යුතු නොවන්නේය. එය එක්සත් ජාතින්ගේ පාරිසරික හා සංවර්ධන කොමිසම විසින් පෝෂණය කරන ලද සංකල්පයකි. අනෙක, ආර්ථිකමය තිරසාරත්වයයි. එයින් අදහස් කෙරෙන්නේ, බාහිර පාර්ශ්වයන් විසින් යම් අයකු වෙත නැගී සිටින්නට සහයෝගය දුන් පසු, එම සහයෝගය ඉවත් කරගැනීමෙන් පසුව ද සහයෝගයක් නොමැතිව ඔහුට නැගී සිටීමට ඇති හැකියාවයි.
මගේ මතයේ හැටියට මෙම සංකල්ප දෙකම පිරිසුදු ශ්‍රී ලංකාවක් ව්‍යාපෘතියට අදාළ වේ. මෙම ව්‍යාපෘතියෙන් පරිසරය පිරිසුදු කළ විට, එයින් පළමු වර්ගයේ තිරසර බවට සහයෝගය ලැබේ. ව්‍යාපෘතියෙන් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කොට භේද රහිත, සුසංගත වර්ධනයකට යොමු කළ විට එයින් දෙවැනි වර්ගයේ තිරසර බවක පදනම ගොඩනැගේ. පළමු වැන්න එසැණින්ම දෘෂ්‍යමාන වේ. මන්දයත්, ජනතාවට පිරිසුදු පරිසරය පෙනී යන බැවිනි. එහෙත් දෙවැන්න නිරීක්ෂණය නොවන්නකි. මන්දයත්, ආකල්ප වෙනස් වූයේ ද, වඩා හොඳ වූයේ ද යන්න මැන බලන්නට මිම්මක් නොමැති බැවිනි. ඒ අර්ථයෙන් ගත් කල පිරිසුදු ශ්‍රී ලංකාවක් ව්‍යාපෘතියෙන් හඹා යන්නේ මායාමය අරමුණකි.
කසළ බැහැර කරන බිමක් ලෙස පරිසරය භාවිතය
පරිසර දූෂණය ඔස්සේ පරිසරය පිරිසුදු කිරීමේ සවිඥානක වෑයමක නිරත වීමේ අවශ්‍යතාව පැනනැගේ. ඒ, පරිසරය භාවිත කිරීමේ අවශ්‍යතාව මත නොව පරිසරය නරක අයුරින් කළමනාකරණය කිරීම නිසාය. එසේ සිදුවන්නේ, මනුෂ්‍ය වර්ගයාට බැහැර කරන කසළ අතහැර දැමීමේ තැනක් ලෙස පරිසරය භාවිත කිරීමට සිදුවන නිසාය. මිනිසුන් භාවිත කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේදී අනිවාර්යයෙන්ම අපද්‍රව්‍ය ද නිෂ්පාදනය වේ. නිෂ්පාදනයක් උදෙසා සම්පත් භාවිත කළ විට නිපදවෙන හිතකර ප්‍රතිපාදන භාණ්ඩ යනුවෙන් හැඳින්වේ. එහෙත්, එම ක්‍රියාදාමයේදී හිතකර නොවන ප්‍රතිදානයන් ද අනිවාර්යයෙන්ම නිපදවේ. ඒවා ඝන අපද්‍රව්‍ය, වායු, දියර, ශබ්ද, හෝ තාපය ලෙස මුක්ත වේ.
අවාසනාවකට මෙය හොඳ සහ නරක එක සේ එකටඑක්වූ පැකේජයකි. එම නිසා අයකුට නරක ප්‍රතික්ෂේප කොට හොඳ පමණක් ලබාගත නොහැකිය.
මානව ක්‍රියාවෙන් මතු වන දූෂණය
එහෙත්, නරක දෑ පරිසරයට මුදාහැරීමෙන් ඒ හේතුවෙන් හුදෙක් පරිසර දූෂණය වනවා පමණක් නොව, එය ජීවින්ට අහිතකර විනාශකාරි තත්වයට ද පත්වේ. එසේ වනුයේ, නරක දෑ නැවත පරිහරණය කළ හැකි භාණ්ඩ බවට ස්වභාවධර්මයේ විවිධ කාරක හරහා පත් කරන ඊටම ආවේණික යාන්ත්‍රණයක් පරිසරයේ පවතින නිසාය. මවිසින් කාබන් ඩයොක්සයිඩ් පරිසරයට මුදාහළ විට ස්වභාවධර්මයේ එක් ක්‍රියාකාරකයෙක් වන ශාකවලින් ඒවා උරා ගෙන ඒවා වෙතින් ආහාර නිෂ්පාදනය කරගෙන අපද්‍රව්‍යයක් ලෙස ඒවා තුළින් පරිසරයට ඔක්සිජන් මුදාහැරෙන්නේ මා හට ආශ්වාස කිරීම සඳහාය. ස්වභාවධර්මයේ කාරකයන් ක්‍රියාකාරීව පවතී නම්, එවිට දූෂණයක් ඇති වන්නේ නැත.
දූෂණය සිදුවන්නේ අපද්‍රව්‍ය මෙම කාරකයන්ගේ කාර්යය හොඳින් කිරීමට හැකි ඒවායෙන් හැකියාවන් ඔබ්බට යන පරිද්දෙන් පරිසරයට අපද්‍රව්‍ය මුදාහැරි විටය. එසේ සිදුවනුයේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම හේතු කොට ගෙන, සම්පත් වඩ වඩාත් පරිහරණය කරමින්, වැඩි වන ජනගහනයත් සමග සවිඥානක නොවන මානව ක්‍රියාකාරකම් හෝ දුර්වල අප්‍රව්‍ය කළමනාකරණය නිසා මිනිසුන් අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම නිසාය. ඊට අමතරව භූමිකම්පා, නායයෑම්, සුනාමි ආදිය ආකාරයෙන් සොබාදහම කෝප වූ විට පරිසරයට අපද්‍රව්‍ය මුදාහරිනු ලැබේ.
විනාශකාරි සංස්ථාපිත ප්‍රතික්ෂේප කිරීම
ජනතාවගේ ආකල්ප වෙනස් කිරීමට අවශ්‍යවන්නේ, තිරසර පාරිසරික පාරිශුද්ධභාවය ඇති කිරීමට පමණක් නොව, තිරසර ආර්ථික දියුණුවක් ද ඇති කිරීම සඳහාය. ජනතා ආකල්ප ආකල්ප ආර්ථික විද්‍යාවේදී හඳුන්වන්නේ, සංස්ථාපිතයන් නමිනි. මෙම සංස්ථාපිත ඍජුව සොරකම් කිරීමෙන්, අල්ලස් ගැනීමෙන්, දූෂණයෙන්, අනෙකාගෙන් කඩාවඩා ගැනීමෙන් දිරිමත් කෙරේ නම් හෝ රජයේ නීති ඔස්සේ අනියම්ව හෝ එක් කණ්ඩායමකට ආදායමෙන් වැඩි කොටසක් හිමි කරගැනීමට ඉඩ සලසා දේ නම්, ඒවා විනාශකාරි සංස්ථාපිත ලෙස හැඳින්වේ. ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියකු නිරීක්ෂණය කළ ආකාරයට එවැනි විනාශකාරි සංස්ථාපිත පැවැතීම ජාතියක අසමත්භාවයට ප්‍රධානතම හේතුව වෙයි.
එම නිසා සංස්ථාපිතයන් තුළ ජනතාවගේ නිසි යහපත් ආකල්ප අඩංගු කළ යුතු වන්නේය. ඒ අර්ථයෙන් ගත් කල, පිරිසුදු ශ්‍රී ලංකාවක් ව්‍යාපෘතියෙන් සැලසුම් කරනුයේ, රටවැසියන්ගේ සුභසාධනය නංවන්නා වූ ආර්ථික දියුණුවක් උදෙසා හිතකර සංස්ථාපිතයන් තහවුරු කරලීමටය. එම නිසා මගේ මතයේ හැටියට එය රටවැසියන්ගේ පූර්ණ සහාය හිමි විය යුත්තකි.
දිවුරුම තුළ තවදුරටත් පැහැදිලි කිරීම් තිබිය යුතුය
පිරිසුදු ශ්‍රී ලංකාවක් වැඩසටහන සාර්ථක කිරීමට සහයෝගය දෙන ඔබට රාජ්‍ය සේවකයන් විසින් දෙනලද දිවුරුමේ, තමන් ප්‍රතිඥා දුන්නේ කුමක් සඳහා දැයි මුළුමනින් වටහා ගැනීමේ හැකියාව තිබිය යුතු වේ. එහි භාවිත කර ඇති වචනවල විශේෂිත අර්ථ පවතින අතර, වඩාත් උගත් රජයේ සේවකයකුට පවා තමන් පෙනී සිටින්නේ කුමක් සඳහා දැයි වටහා ගැනීම අසීරුය. එම නිසා තමන් කළ යුත්තේ කුමක් ද යන්න ජනතාවගේ හදවතට නොදැනී එය නිකමට පුරුද්දට කරන මැතුරුමක් බවට පත් වන්නේය.
නොතේරුණු මහින්ද චින්තනය
රාජ්‍ය නිලධාරීන් තුළ අපට නිතරම දක්නට ලැබෙන නරක ලක්ෂණයක් ඇත. එනම්, අසීරු පාරිභාෂිත භාෂාවෙන් ලියා ඇති වාර්තා වටහා ගැනීමට ඔවුන් කාලයත්, ශ්‍රමයත් වැය නොකිරීමයි. 2009දී දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානයේ මා, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් අමතා ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දේශනයක් දුන් අවස්ථාවක් මගේ මතකයට නැගේ. ඔවුහු සියලු දෙනාම එවකට පැවැති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ ‘මහින්ද චින්තනය’ පිළිබඳව දැනුවත්ව සිටියහ. ඔවුන්ට එය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද ඒ අයගෙන් කිසිවකු එය අධ්‍යයනය කර නොතිබිණි. ඒ ඇයි දැයි මම ඔවුන්ගෙන් ඇසුවෙමි. එය බොහෝ තාක්ෂණික වදන් භාවිත කොට ලියැවී තිබුණ නිසා වටහා ගැනීමට අසීරුය යන්න මට ලැබුණු පිළිතුරයි. මෙම බොරු වළේ අනුර කුමාර දිසානායක වැටිය යුතු නැත. එම නිසා CSL වෙබ් අඩවිය සිංහල හා දමිළ බසින් හඳුන්වා දිය යුතු බව මම යෝජනා කරමි. එසේම, රජයේ සේවකයන් විසින් දෙන ලද දිවුරුමේ අරුත දැනුවත් කිරීමේ වැඩපිළිවෙළකින් ඔවුන් දැනගත යුතුය. මගේ මතය අනුව පිරිසුදු ශ්‍රී ලංකාවක් වැඩසටහන වඩාත් හොඳ ආරම්භයක් වන අතර, එය සාර්ථක කිරීම සඳහා බිම් මට්ටමේ බොහෝ දේ කළ යුතුව ඇත්තේය.
(***)
2025 ජනවාරි මස 06 වැනිදා
Daily FT හි පළවූ AKD and
Clean Sri Lanka Project: Good start but much more needed to done at ground level
ලිපියේ සිංහල පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය රජයේ වඩාත් වැදගත් ව්‍යාපෘතිය වූ “පිරිසුදු ශ්‍රී ලංකාවක්” වැඩසටහන 2025 වසර ආරම්භයේ දියත් කරනු ලැබුවේ, ජනාධිපති ලේකම් කර
2024 වර්ෂය ආර්ථික ජයග්‍රහණ ගණනාවක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකි වේ. ඒ මන්ද යත් ඊට වසර දෙකකට මත්තෙන් ලාංකික ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හ
ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා පළාත් මටට්මින් ලබා දෙන දායකත්වය අනුව බස්නාහිර පළාත ඉදිරියෙන් සිටී. පළාත් සංවර්ධනය තුළ විසමතා පවතී. අනෙක් පළාත් නිපදවන
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නවතම පැතිකඩකට යොමු කරන අවස්ථාවක් වනු ඇතැ
කොවිඩ් වසංගතයේ බලපෑම ලෝක ආර්ථිකයෙහි අර්බුද ඇති කළේය. භූ දේශපාලනය හා තාක්ෂණයේ දියුණුව බොහෝ රටවල තත්වය තවත් සංකීර්ණ කර ඇත. රටවල් ගණනාවක බරපතළ පෙරැළි සිද
ජ.වි.පෙ. පෙරමුණ ගත් “මාලිමා” මැතිවරණ ජයග්‍රහණ ගැන මේ වන විට බොහෝ දේ ලියැවුණි. කියැවුණි. 2024 සැප්තැම්බර-නොවැම්බර මැතිවරණ දෙකෙහි ඔවුන්ගේ ජයග්‍රහණ නිසැකවම ඓ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ශ්‍රී ලංකා සංකල්පය සපලවේද?