විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ
කොරෝනා වසංගතයේ වර්තමාන දුක්ඛප්‍රාප්තිය ගැන සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත්‍රවල ප්‍රාමාණිකයන් කල්තියාම අනතුරු ඇඟවූයේ නැතැයි කිව නොහැකිය. නිදසුනකට ඔක්සිජන් ප්‍රශ්නයක් ඇති විය හැකි බව මා කීවේ මාස ගණනකට පෙරය. එහෙත් ඒ අවස්ථාවේදී ආණ්ඩුවේ මතය වූයේ එවැනි තත්ත්වයක් ඇති විය නොහැකි බවය.
සැබැවින්ම මේවායේ ඇත්ත තත්ත්වය දන්නෝ රෝහල් බලධාරීහුය. ප්‍රාදේශීය බලධාරින් බලන්නේ සංඛ්‍යාලේඛනය. ඔක්සිජන් සිලින්ඩරයක් තිබුණත් රෝගියාගේ මුවට සවි කළ නොහැකිය. ඊට තවත් අංගෝපාංග අවශ්‍යය. අවශ්‍ය දැනුම්දීම් කළත් මේවා අවශ්‍ය තරමින් සැලකිල්ලට ගත්තේ නැත. මේ නිසා ඇතැම් රෝහලක ජ්‍යෙෂ්ඨ නිලධාරින් කර තිබුණේ සිය පෞද්ගලික හිතවත්කම් පාවිච්චි කර පරිත්‍යාගශීලීන්ගෙන් අවශ්‍යතා කළමනාකරණය කරගැනීමය. ඔක්සිජන් සපයන ආකාරය තීරණය වන්නේ රෝගියාගේ ඔක්සිජන් අවශ්‍යතාව අනුවය. සාමාන්‍යයෙන් රෝගියාගේ ඔක්සිජන් තත්ත්වය සියයට90ට වැඩි නම් මුව වැස්මක් දමා ඔක්සිජන් යන්ත්‍රයට සවි කළ හැකිය. එහෙත් එය ක්‍රමයෙන් පහළ බසිද්දී පීඩනයක් සමග ලබා දිය යුතුය. එය ශීඝ්‍රයෙන් පහළ බසිද්දී ක්‍රමය ඊටත් වෙනස්ය. එසේ ක්‍රමය වෙනස්කර ලබාදීමට අවශ්‍ය ඇතැම් උපකරණ ලංකාවේ ඇත්තේ ද නැත. බොහෝවිට සිදුවූයේ විදෙස්ගත පිරිස් පරිත්‍යාගශීලීන් එක්ව අවශ්‍යතා ඉටුකරදීමය.
කොරෝනා මර්දනයේදී දත්තවල වැදගත්කම ගැන ද වෛද්‍යවරුන් පැවසුවේ කල්තියාය. මාස කීපයකට පෙර මම ද මාධ්‍යට ලිපි සපයමින් මේ ගැන කීවෙමි. පටලවා නොගෙන දත්ත නිසියාකාරව සම්පාදනයට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලොකු දේවල් අවශ්‍ය නැත. එක මේසයක් හා ලිපිකරුවන් දෙදෙනකු සිටිය ද කළ හැකිය. කළයුත්තේ දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලින් එන දත්ත අදාළ ස්ථානය හා සම්බන්ධ කර පරිගණකගත කිරීමය. දත්ත පටලැවෙන්නේ ඇයිද යන්න නිදසුනක් ඇසුරෙන් පැහැදිලි කළ හැකිය.
ඇතැම් අවස්ථාවල ආසාදිත යැයි සැක පුද්ගලයන්ට රැපිඩ් ඇන්ටිජන් මෙන්ම පී.සී.ආර්. යන පරීක්ෂා දෙකම කෙරේ. ඇතැමුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් පමණක් නිගමනයට එන්නට අකැමැතිය. එවිට දිස්ත්‍රික්කයක ගණනය කිරීම්වලදී මේ දෙකම ගණනය කෙරෙන බැවින් සුළු පරස්පරයක් ආ හැකිය. එහෙත් එය ඉතා අල්පය. වසංගත රෝග විද්‍යා අංශයෙන් සන්නිවේදනය කරන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා තමන්ට ලැබුණු දත්තය. කෙසේ වෙතත් එසේ ප්‍රකාශ වූ දත්ත හා සැබෑ යථාර්ථය අතර විශාල පරස්පරයක් ඇති බව දැන් රටටම පෙනේ. එය පෙර මා කී ආකාරයේ රැපිඩ් පරීක්ෂණයකින් පසුව පී.සී.ආර්. පරීක්ෂණයක් ද කිරීමට සිදුවීමෙන් ඇති වන සුළු පරස්පරය ද නොවේ. කොහේ හෝ වරදක් වී ඇති බව පැහැදිලිය. ඒ ගැන කිවහැක්කේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණයෙන් පසුවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් පවසන්නේ දැඩි සංචරණ සීමාවලට නොගියොත් 2022 වසර ආරම්භ වනු ඇත්තේ ලංකාවේ පුරවැසියන් 30,000 කගේ පමණ මරණ සමග යැයි කියාය. මෙය බරපතළ තත්ත්වයකි. ඊට ප්‍රධාන හේතුව අපේ මරණ අනුපාතය විශාල ලෙස ඉහළ යෑමයි. ඊට බලපෑවේ අපේ කොරෝනා මර්දන ක්‍රමවේදයේ වැරැදිසහගත භාවයයි.
ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් පළමුව කළේ කොරෝනා පැතිර යෑම වැළැක්වීමය. එන්නත්කරණයට බර තැබුවේ ඉන්පසුවය. ඕස්ට්‍රේලියාව ගතහොත් දැනටත් විශාල පිරිසකට එන්නත් කර නැත. මේ අතර ඇතැම් රටවල් එන්නත්කරණයට බර තැබුවේ ව්‍යාප්තිය වැළැක්වීමට ඒ හා සමානව බරක් ද යොදන අතරේය. අවාසනාවට ලංකාවේදී සිදුවූයේ එන්නත්කරණයටම අවධානය යොමුකර ව්‍යාප්තිය වැළැක්වීම නොතකා හැරීමය.
මෙහි ඇති අවාසිය කුමක්ද? කොරෝනාහි නව අධිපති ප්‍රබේද දෙකක් වන ලැම්ඩා හා එප්සිලන් යනු එන්නත්වලට ප්‍රතිරෝධීය. විශාල ලෙස මිනිස් ශ්‍රමයක් යොදාගෙන සැලකිය යුතු පිරිසකට එන්නත් කර අවසන් වෙද්දී මේ නව ප්‍රබේද ලංකාවේ ව්‍යාප්ත වී තිබුණහොත් එන්නත්කරණයෙන් කිසිම වැඩක් නැත.
එහෙත් අවාසනාවට තවමත් කාගේවත් ඇස් ඇරී නැත. බලධාරින්ගේ එකම අරමුණ වී ඇත්තේ සියයට 70ක් ආදී වශයෙන් එන්නත් සංඛ්‍යාත්මකව ලබාදෙන පිරිස වැඩිකරන්නටය. පැරැණි ඇල්ෆා ප්‍රබේදය පමණක් තිබෙන අවස්ථාවේ නම් මේ ඉලක්ක හොඳය. එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. පාකිස්තානයෙන් වාර්තා වූ එප්සිලන් ප්‍රබේදය මේ වනවිට නවදිල්ලිය කරා ද පැමිණ තිබේ. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන්නන්ගේ නිසි නියාමනයක් නැති තත්ත්වයක් තුළත් සංචරණ සීමා විහිළුවක් වී ඇති පසුබිමකත් මෙම නව ප්‍රහාරකයාට ලංකාව පහසු ගොදුරුබිමක් නොවනු ඇතැයි සහතික විය හැකිද?
රථවාහන පනස්දහසක් ඉක්මවා කොළඹට පැමිණෙන්නේ නම් බෙන්තර පාලම අසළ වාහනය නතර කර පයින්ම බස්නාහිර පළාතට ඇතුළු විය හැකි නම් ඊට සංචරණ සීමා යැයි කීම විහිළුවකි. අනෙක් අතට පළාත් සංචරණ යනු තේරුමක් නැති වැඩකි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ වයිරසය පැතිරෙන ප්‍රදේශ පදනම් කරගත් සංචරණ සීමාය. ඒ අර්ථයෙන් ගත්කල අඩුම තරමින් දිස්ත්‍රික් මට්ටමින්වත් සීමා පැනවිය යුතුවේ.
පළමු වැනි වටයේදී මෙන් රටම ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවීම කළ යුතු යැයි මා පෞද්ගලිකව විශ්වාස කරන නමුත් වෛද්‍යවරුන් වන අප නොදන්නා හේතු ආණ්ඩුවට තිබිය හැකිය. එනිසා අඩුම තරමින් පනවන සංචරණ සීමාවක් දිස්ත්‍රික් මට්ටමින්වත් කරනවා නම් වටී. එවිට නව ප්‍රබේද රටට ඇතුළු වී තිබුණත් අඩුම තරමින් දිස්ත්‍රික්කයකටවත් සීමා වනු ඇත. නිදසුනකට මිනුවන්ගොඩ යැයි කියන පොකුර හටගත් අවස්ථාවේ එම ප්‍රදේශ ඉලක්ක කරගෙන දැඩි සංචරණ සීමා පනවා තිබුණේ නම් මාසයක් වැනි කාලයකදී ප්‍රශස්ත පාලනයකට එන්නට අපට හැකියාව තිබුණි. එහෙත් එවැනි පිළිවෙතක් එදා තිබුණේත් නැත. අනෙක් අතට මහජනයා ඉලක්ක කරගෙන කරන දෝෂාරෝපණ ගැන ද කිවයුත්තක් තිබේ.
මහජනයා විනයගරුක නැතැයි දියුණු රටවල් සමග කරන සැසඳීම් තාර්කික නැත. මුව වැසුම් නොපළඳින හෝ නිසියාකාරව නොපළඳින පිරිස් බොහොමයක් ගත්විට දරිද්‍රතාවෙන් පෙළෙන අවිධිමත් ආර්ථිකය නියෝජනය කරන වැඩි උගත්කමක් ඇති පිරිසක් නොවේ. එනිසා ප්‍රතිපත්ති සම්පාදකයන් තීරණ ගන්නා විට ඒවා සකස් කළයුත්තේ රටේ සමාජ දේශපාලන සන්දර්භය මත පිහිටාය. නොඑසේව එංගලන්තයේ මිනිසුන්ගේ අධ්‍යාපන මට්ටම් සමග සලකා අප තීරණ ගතහොත් ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ නැත. රටේ මිනිසුන්ගේ ආචාර ධර්ම හා හැදියාව ගැන දන්නේ ඒ රටේ ප්‍රතිපත්ති සම්පාදකයෝය. වැඩේ වැරදුණු පසු ජනතාවට ඇඟිල්ල දිගුකර වැඩක් නැත.
ලංකාවේ ආසාදිත පිරිසට සාපේක්ෂව මරණ අනුපාතිකය වේගයෙන් ඉහළ යමින් තිබේ. ගෝලීය වශයෙන්වත් මෙවැනි තත්ත්වයක් නැත. කොරෝනා මර්දනයෙහි ශ්‍රී ලාංකීය ක්‍රමය අසාර්ථක බවට ඒ තරම් නිදසුනක් තවත් නැත.
එය අද මුළු රටම පිළිගන්නා කරුණකි. ලක්ෂ දෙසීය ඉක්මවූ සමස්ත ජනගහනයෙන් දැනට පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බව කියන්නේ ලක්ෂ 40ක පමණ පිරිසකි. ජනගහනයෙන් සියයට 70කට පූර්ණ එන්නත්කරණයට තවත් මාස හතරක්වත් ගත වේ. අනෙක් අතට එසේ කළත් කළ විගසම එයින් ප්‍රතිශක්තිය ලැබෙන්නේ නැත. මේ කාලය ඇතුළත ඊට සාපේක්ෂව වයිරසය රට පුරා පැතිර ගියහොත් සිදුවන්නේ කුමක්ද? මීට කදිම නිදසුන අද ඉන්දුනීසියාව මුහුණ දෙන ඛේදජනක ඉරණමයි. මීට මාසයකට පමණ පෙර ඉන්දුනීසියාව සිටියේ ද අපේ තත්ත්වයේය.
ඉන්දුනීසියාවේ ද රෝහල් රෝගීන්ගෙන් පිරී ගිය අතර අතරමැදි මධ්‍යස්ථාන වෙත ඔවුහු යොමු වූහ. ඒවායේ ද ඉඩක් නැති වන තැන නිවෙස් නිරෝධායනයට යොමුවූහ. දැන් ලංකාව කරන්නට යන්නේ ඉන්දුනීසියාව කළ වැරැද්දයි. ඉඩ ප්‍රශ්නය ගැන සිතා නිවෙස් නිරෝධායනයට යොමුවුව ද ආසාදිතයා නිවෙස තුළ හැසිරිය යුතු ආකාරය අවධාරණය කිරීමට ඉන්දුනීසියානු බලධාරීහු ප්‍රඥගෝචර වූයේ නැත.
ආසාදිතයා එකලාව විසීම, මුව වැස්මක් පැළඳීම, නිවසේ ස්ථාන භෞතිකව ස්පර්ශ නොකිරීම, පාවහන් පැළඳීම, තනි වැසිකිළියක් භාවිත කරන අන්දම ආදිය ගැන උපදෙස් දීමක් සිදුවූයේ නැත. මේ දිනවල ලංකාවේ සිදුවන්නේ ද එයයි.
ආසාදිතයන් සංඛ්‍යාත්මකව ඉහළ යෑම සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැඩි සේ හෙම්බත්ව සිටින අතර ගෙයක් ගානේ ගොස් උපදෙස් දිය හැකි තත්ත්වයක් ද දැන් නැත. මේ නිසා නිවෙස් නිරෝධායන දැන්වීම ගේට්ටුවේ ඇලවෙන ස්ටිකරයට සීමා වන අතර ආසාදිතයාගෙන් පවුලේ සෙසු පිරිස ද ආසාදිතයන් බවට පත්වෙති. ඉන්දුනීසියාවේ සිදුවූයේ මේ ටිකමය. ඊළඟට සිදුවන්නේ නිවෙස්වල ආසාදිතයන්ගේ සංකූලතා වැඩි වනවිට ඔවුන් ප්‍රවාහනයට ක්‍රමයක් නැතිවීමය. ආසාදිතයන්ට හුස්ම ගැනීම අපහසු වනවිට 1990 ‘සුවසැරිය’ ගිලන් රථ සේවය යනු ලංකාවේ මෙතෙක් පැවැති විශිෂ්ටතම ප්‍රථමාධාර ක්‍රමය විය.
එහෙත් දැන් ඒ මිනිස් ශ්‍රමය ද සෑහෙන්නේ නැති තැනට වයිරසය ව්‍යාප්ත වෙලාය. රෝගියකු අසාධ්‍ය වූ බවට කරන දැනුම්දීමකදී ගිලන් රථ සේවය තිබෙන්නේ ද තවත් රෝගියකුට සේවය සපයමිනි. පැමිණීම පමා වන බැවින් ඒ අතරේ රෝහලකට ගෙනයාමට වෙනත් ආකාරයකින් ද උත්සාහ කරන්නැයි යන්න ඒ පැත්තෙන් ලැබෙන පිළිතුරයි. එහෙත් කොරෝනා ආසාදිතයකුට පෞද්ගලික වාහනයක් ලබාගැනීම කෙතරම් අපහසුද යන්න අප අමුතුවෙන් කිව යුතු නැත. රෝහල් පද්ධතියට මෙන්ම සුවසැරියට ද යා හැකි උපරිම සීමාවක් තිබේ. මෙතෙක් කල් ඔවුන් කළ සේවය කියා නිම කළ නොහැකි නමුත් එය ද අද තිබෙන්නේ කඩාවැටිය හැකි මට්ටමේය.
ප්‍රවාහනය පමා වේ යැයි කියා වයිරසය නිකම් සිටින්නේ නැත. ඔක්සිජන් සැපයුම අවශ්‍ය වන්නේ රෝගින්ගේ පෙණහලුවල ආසාදනය වේගවත් වන මේ අවස්ථාවේදීය. ඒ දිය යුතු අවස්ථාවේදීම ඔක්සිජන් සම්පාදනය කරගත නොහැකිවීම යනු රෝගියාගේ තත්ත්වය වේගයෙන් නරක අතට හැරීමය.
එසේ සෞඛ්‍ය තත්ත්වය වේගයෙන් පිරිහුණු රෝගියකු නැවත පෙර තත්ත්වයට ගැනීම පහසු නැත. එහි අනිටු ඵලය වන්නේ මිනිසුන් නිවෙස් තුළම මියයෑමය. අනෙක් අතට ප්‍රවාහන මාධ්‍යයක් සපයා ගත්තත් රෝගියා ගෙනියන්නේ කොහේටද යන්නත් දැන් ප්‍රශ්නයකි. පෞද්ගලික රෝහල් ද පිරිලාය. එසේ රෝහලක් සොයාගත නොහැකිව අසරණව සිටින පිරිස් මේ වනවිට ඕනෑ තරම් සිටිති.
විශේෂඥ වෛද්‍යවරයකු වුවත් මගේ ඉරණම ද මීට වෙනස් නැත. ආසාදිතව රෝගී තත්ත්වය උත්සන්න වුවත් අපට සිදුවන්නේ ද රෝහලක පොරොත්තුවේ සිට මියයන්නටය.
මෙහි ඊළඟ නරකම තත්ත්වය වන්නේ කොරෝනා ආසාදිත මරණ සම්බන්ධයෙන් වූ පියවරයි. මේ වනවිට විදෙස් ප්‍රවෘත්තිවල ඉන්දුනීසියාවේ ගිලන් රථ පෙරහර ප්‍රකට දසුනකි. ඒවායේ සිටින්නෝ රෝගීහු නොවෙති. කොරෝනාවෙන් මරණයට පත්වූවෝය. ඒවා කල් පනින විට කුණුවීම වළක්වාගත නොහැකිය. ඊළඟ විකල්පය වන්නේ සමූහ මිනීවළවල් කපා වැළලීමය. පසුගියදා මඩකලපුවේදී එසේ කොරෝනාවෙන් මිය ගිය මිනිසුන් විශාල සමූහයක් එකවර වළ දැම්මේ එහි ආරම්භයක් වශයෙනි. සැබැවින්ම අප දැන් යමින් සිටින්නේ ඉන්දුනීසියාව ගිය පාරේය. මේ ගමන ආපසු හැරවීම පවා බලධාරින්ට දැන් පහසු නොවේ. අඩුම තරමින් වයිරසය පැතිරීමේ වේගය අඩු කරගතහොත් එය සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පහසුවක් වනු ඇත. මේ වනවිට රෝහල්වල සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩල සිටින්නේ දැඩි ආතතිකාරී පරිසරයකය. සෞඛ්‍යාරක්ෂිත ඇඳුම සමග ඔවුන්ට ආහාර ගැනීමටවත් හැකියාවක් නැත. සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටුණු තැන්වල රාජකාරි කාල සීමා එක දිගට කරන්නට ඇතැමුන්ට සිදුව තිබේ.
ඇතැම් වෛද්‍යවරු, හෙද හෙදියෝ, සෞඛ්‍ය සේවකයෝ දින ගණනක් අඛණ්ඩ සේවයේය. මෙසේ හෙම්බත්වීමේ ඊළඟ ප්‍රතිඵලය වන්නේ මානසික ඒකාග්‍රතාව ගිලිහීයාම සමග ඒ මිනිසුන් ද වයිසරයේ ගොදුරු බවට පත්වීමය. එවිට සේවා සැපයුම නිතැතින්ම බිඳවැටේ. සංකූලතා වැඩි රෝගීන් වාර්තා වන පරිමාණයට සෞඛ්‍ය අංශයත් බිත්තියට හේත්තු කළ විට ඊළඟට සිදුවන්නේ කුමක්දැයි මොළය කළඳක් හෝ ඇති ඕනෑම මිනිසකුට වැටහේ. එනිසා බලධාරින් අඩුම තරමේ දැන් ගන්නා දැඩි පියවරකින් සෞඛ්‍ය සේවයටවත් හුස්මක් ගන්නට මග පෑදෙනු ඇත.
මෙම තත්ත්වය මත අවසාන විග්‍රහයේදී අවධාරණය කරන්නට තිබෙන්නේ පූර්ණ එන්නත්කරණයක් වන තුරු වසංගතය ව්‍යාප්තිය පාලනයට ඉක්මනින් තීන්දු ගත යුතු බවය. එන්නත්කරණයක වාසිය ලැබෙන්නේ පූර්ණ එන්නත්කරණයෙන් සති තුනකට පමණ පසුය. සරලව කිවහොත් පූර්ණ එන්නත්කරණය අවසන් වී මාසයක්වත් ගතවේ. දැනට වාර්තා වෙමින් එන එප්සිලන් වැනි ප්‍රතිරෝධක වයිරස ප්‍රබේද ඒ වනවිට රටේ ව්‍යාප්ත වුවහොත් සිදුවනු ඇත්තේ ඒ වාසියත් නැති වී අප ගමනේ මුලටම පැමිණීමය. ආර්ථික අයිතිවාසිකම් යනු වැදගත් අයිතිවාසිකම් ප්‍රවර්ගයකි.
එහෙත් ඒවා අවශ්‍ය වන්නේ ජීවත්ව සිටින මනුෂ්‍ය කොට්ඨාසයකටය. මිය ගිය මිනිසුන්ට වැටුප්, වැටුප් වැඩිවීම් හෝ අයිතිවාසිකම් කිසිවක් නැත. එනිසා සියල්ලට පෙර කළයුත්තේ පුරවැසියන් ජීවත් කරවීමය.
සැබැවින්ම දෛනිකව මිය යන පිරිස සංඛ්‍යාලේඛනවලින් කියැවෙනවාට වඩා වැඩිය. නිදසුනකට කොරෝනා ආරම්භක සමයේ වකුගඩු රෝගී මරණ පවා පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කළ අතර එය ආසාදිත දේහයක් නම් මාධ්‍ය වාර්තා කළේ කොරෝනා නිසා රෝගී තත්ත්වය උත්සන්නව සිදු වූ මරණයක් හැටියටය. එහෙත් දැන් ටික කාලයක සිට ස්වසනාබාධ, කැස්ස ආදී රෝග ලක්ෂණ නැතිව මිය යන පිරිස්වලට පී.සී.ආර්. පරීක්ෂාවක් සිදුවන්නේ නැත. එවිට අදාළ මරණය යම් හෙයකින් කොරෝනා ආසාදිත එකක් වුවහොත් ආකාර දෙකකින් බලපෑම් එල්ල වේ. එක අතකින් කොරෝනා ආසාදිත සැබෑ මරණ වාර්තා නොවන අතර අනෙක් අතට දේහයට සාමාන්‍ය අයුරින් අවසන් කටයුතු කිරීමට ඉඩ ලැබීමෙන් සෙසු ජනයා ද අවදානමකට පාත්‍රවේ.
සමස්ත චිත්‍රය මෙසේ වනවිට එහි ඇති භයංකාරත්වය ගැන තවත් කියන්නට දෙයක් නැත.
සාකච්ඡාව ආරම්භයේදීම ලංකාව යමින් සිටින්නේ තවත් ඉන්දුනීසියාවක් කරා යැයි මා කීවේ එහෙයිනි. බලධාරින් දැන්වත් ප්‍රඥාගෝචර විය යුතුය. නොඑසේව සියල්ලන්ට උරුම වනු ඇත්තේ ඛේදනීය පොදු ඉරණමකි.
(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
නීතිඥවරියක හෝ නීතිඥයකු තමන් කියන්නේ බොරුවක් යැයි දැනගෙනම ජන ජීවිතයට බලපෑ හැකි බොරුවක් ප්‍රසිද්ධියේ කීම, නීතිඥ වෘත්තියෙහි ආචාරධර්ම හා සදාචාරයට පටහැන
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම අවසන් වන විට, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ, නාමයෝජනා පත්‍ර 764 ක් බ
නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තක්සේරුව අවතක්සේරු කළ යුතුද?
පුතා විකුම්ආරචචි Monday, 16 August 2021 02:31 PM
දැනට රටේ පවතින තත්වය ගැන කිසිම ආකාරයකින් සෑහීමට පත් විය නොහැකියි.. සාවද්‍ය කතා එමටයි. අහිසක ජනතාව මංමුලාවීම වළක්වා ගත නොහැක. බොරුව වැඩියි. දැනට phi කෙනෙක්වත් මෙහෙ අහලකවත් බලන්නේ නෑ. අපි අසරණයි. රජයෙන් කියන කිසි දෙයක් වෙන්නේ නෑ. ඉන්දියාව, මැලේසියාව වගේ අපිට වුණොත් මුල සිටම කියූ දේ ඇත්ත හැමදෙයක්ම පැහැදිලි කිරීමක් කළා. උගත්, බුද්ධිමත් අය ඉදිරිය ගැන වැටහෙන නිසානේ කියන්නේ මට හිතෙන්නේ රජයක් විදිහට මීට වඩා ශක්තිමත් විය යුතුයි කියා...