IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


රට ඉල්ලන මැතිවරණය කුමක්ද?

“ආණ්ඩුව සම්බන්ධ විශ්වාසය ජනතාව අතර භංගවී ඇතැයි පක්ෂයේ හෙංචයියෙක් තීන්දු කරනවා. එය නැවත තහවුරු කර ගැනීමට දෙගුණයකටත් වඩා මහන්සි වෙන්න සිදුවේ යැයි කියනවා. එය එසේ නම්, වඩා පහසු වන්නේ ජනතාව විසුරුවා හැර ආණ්ඩුව අලුතෙන් ජනතාවක් පත්කර ගැනීම නෙවෙයිද?” (Brecht on Brecht: An Improvisation”, Book by George Tabori, 1967).

අද අප ඉන්නේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ඒ ප්‍රශ්න කිරීමත් විහිළුවක් නොවන, විකාර රූපි දේශපාලන සමාජයක ය. අවුරුදු 04 ට පෙර අගමැති වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව සමග විපක්ෂය හවුල්වී 2018-2019 සිට පළාත් සභා මැතිවරණ අත්හිටවූ රටේ, ජනතාවගේ ඒ ප්‍රජාතන්ත්‍රවා දී අයිතිය ගැන මේ නායකයන් තවමත් කිසිවක් නොකියන රටේ, පළාත් පාලන මැතිවරණය කල් යෑමට එරෙහිව කොළඹට මහා ගාලගෝට්ටි කැඳවනු ලැබේ. ඒවා ඡන්දදායකයන්ගේ ගාලගෝට්ටි නොවේ. මැතිවරණ කොමිසම පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මගින් නාම යෝජනා බාර දුන් අපේක්ෂකයන් 80,720 ක් ඇතත් මාර්තු 09 ට දින නියම කර දැන් කල් තබා ඇති පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටින ඒ අපේක්ෂකයන්ගේ හවුලක් කොතැනකවත් දකින්නට අසන්නට ද නැත.

ඡන්දදායකයන් වශයෙන්ද හවුල් නොවන, තීන්දු කෙරුණු පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන්ගේද නොවන මේ ගාලගෝට්ටි, විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙක තුනක නායකයන්ගේ න්‍යාය පත්‍රයට අනුව රාජපක්ෂ විරෝධය දඩමීමා කර ගනිමින් කොළඹට පාක්ෂික හිතවතුන් කැඳවා ගන්නා විරෝධතා පමණි. මේවා සමාජයේ වර්ධනය වන පොදු ආණ්ඩු විරෝධයේ ප්‍රකාශන ය. ඔවුන් ඒ ආණ්ඩු විරෝධය යොදා ගැනීමට උත්සාහ කරන්නේ මේ ආණ්ඩුවට ජනවරමක් නැතැයි පළාත් පාලන මැතිවරණයෙන් ඔප්පු කිරීමට ය.

මහ මැතිවරණයකින් පත් කෙරෙන පාර්ලිමේන්තුවක් සමග ආණ්ඩුවක් පිහිටු වන්නට ලබා දෙන ජනවරම, ආණ්ඩු මාරු සඳහා කිසිදු සම්බන්ධයක් නැති පළාත් පාලන මැතිවරණයකින් අහෝසි නොවන බව මේ දේශපාලන නායකයන් දැන සිටිය යුතුය. ඒ සරල කාරණාව හෝ නොදන්නා සේ පළාත් සභා මැතිවරණ අහෝසි කර, පළාත් සභා ඡන්දෙන් ආණ්ඩු පිහිටුවන ජන වරම් ගැන කතා කරන ඔවුන්ට ආණ්ඩු බාරදීම අතිශය භයානක යැයි මම කියමි.

පාර්ලිමේන්තු මැතිවරණයකින් ලබා දෙන ජන වරම එසේ තිබියදී ආණ්ඩු විරෝධයක් ගොනු වන්නේ දෛනික ජීවිතයේ බහුතර ජනතාවට බලපාන්නාවූ සාධාරණ හේතු ගණනාවක් සමග ය. එහෙත් ඒ කිසිවක් මැතිවරණයක් ඉල්ලා මොර දෙන ප්‍රජාතන්ත්‍රවාදය හා සෘජු සම්බන්ධයක් නැත. ඒ සියල්ල සෘජුව සම්බන්ධ වන්නේ ජීවත්වීමේ ආර්ථික අසීරුකම් සමග ය. සමහර දේශපාලනඥයන් “ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?” කියා අසන්නේ ඒ කාරණා අතර ඇති එක වර නොපෙනෙන සහ සම්බන්ධය තේරුම් ගැනීමට නොහැකි බැවින්ය.

ජීවත්වීමේ අසීරුව බරපතළ වූයේ දසක ගණනාවක් පුරා අති දූෂිත විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි ක්‍රමානුකූලව ගොඩ ගැසුණු විදේශ ණය කන්දරාව පසුගිය වසර ආරම්භ වන ආසන්නයේදී නාය යෑමට වූයෙනි. දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි තරමට භාණ්ඩ හිඟවීමත් භාණ්ඩ මිල ඉහළ යාමත් සමගය. විදේශ ණය සමග කඩා වැටුණු ආර්ථිකයෙහි ජනතාව ගිලෙන විටය. අවුරුදු 40 ක් පුරා රට දියුණු කළේ යැයි සිතා සිටි විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි කිලෝමීටර ගණන් දිග ගෑස්, පෙට්‍රල්, ඩීසල් පෝලීම්වල දින ගණන් හාමතේ ඉන්නට සිදුවූයෙන් කැකෑරුණු ආණ්ඩු විරෝධයෙහිය.

එවැනි ආණ්ඩු විරෝධයක් හමුවේ දේශපාලන පක්ෂවලට පමණක් නොව, ඕනෑම පුරවැසියකුට, පුරවැසි සංවිධානයකට හෝ හවුලකට වහා මහ මැතිවරණයක් ඉල්ලා සිටීමේ අයිතියක් ඇත. ඒ ඉල්ලීම කෙතරම් සමාජගත වන්නේ ද යන්න මත ආණ්ඩුවට මැතිවරණයක් ලබා දෙන්නේ ද නොදෙන්නේ ද යන්න තීන්දු කළ හැක. ඒ සඳහා 2001 දෙසැම්බරයේ පැවැත්වූ මහ මැතිවරණය ඉතාම නිරවුල් අත්දැකීම වන්නේය. ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් 2000 ඔක්තෝම්බරයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වූ පසු පෙරමුණක් ලෙස ඇයට ලැබුණු ආසන 107 න් ස්ථාවර ආණ්ඩුවක් හැදීමට නොහැකි වූයෙන් ඇය ජ.වි.පෙ සමග ඔවුන්ගේ මන්ත්‍රීවරුන් 10 දෙනා හවුල්කර ගැනීමට මංගල සමරවීර ඇමති හරහා සාකච්ඡා කළාය.

මේ අතර, උතුරු-නැගෙනහිර යුද්ධයෙන් ඒ-9 පාර මාන්කුලම් සිට අලිමංකඩ පසුකර මුහමලේ දක්වා රජයේ හමුදාවන්ට අහිමි විය. ඒ යුද අහිමිවීම් සමග දකුණේද ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි විය. ආර්ථික වශයෙන්ද දකුණේ ජනතාවට අසීරුකම් මෝදු වන්නට විය. ඒ පසුබිමෙහි ජීවන මිල පහත හෙළීමත් දෙමළ ජාතික ප්‍රශ්නය සාකච්ඡා මගින් විසඳා ගැනීමත් ඉදිරිපත් කරමින් මෙතෙක් ඉතිහාසයේ නොවූ එ.ජා.පය ප්‍රධාන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, වමේ එක්සත් පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය සහ සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයද හවුල් වූ ජාතික පෙරමුණකින් වහා මැතිවරණයක් ඉල්ලා 2001 සැප්තැම්බරයේදී “ජන බල මෙහෙයුම” යැයි කොළඹ නගරය සිව් දෙසින් වැටලූහ. කලින් දින කොළඹ නගරයට ඇතුළුවීම තහනම් කළ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විරෝධයේ ශක්තිය හමුවේ පසුබා පාර්ලිමේන්තුව විසුරු හැර මැතිවරණයක් පැවැත්වීමට එකඟ වූවාය. අවුරුද්දක් යත්ම 2001 දෙසැම්බර නැවත මැතිවරණයක් පැවැත්වූයේ ඒ හේතුවෙනි. ඒ මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස එ.ජා.ප ආණ්ඩුවක් පිහිටුවනු ලැබිණ.

එහෙත් අද ඉල්ලා සිටින්නේ ආණ්ඩු මාරුවක් සඳහා එවැනි මැතිවරණයක් නොවේ. ආර්ථික අර්බුදය සඳහා මේ ආණ්ඩුවට විසඳුම් නැතැයි හා මේ ආණ්ඩුව සුජාත ආණ්ඩුවක් නොවේ යැයි කියන්නේ නම්, ඉල්ලා සිටිය යුත්තේ පළාත් පාලන මැතිවරණය නොව, 2001 දී මෙන් මහ මැතිවරණයකි. එහෙත් ගාලුමුවදොර විරෝධතා විසින් වික්‍රමසිංහ ජනාධිපති කෙරුණු විට, කොළඹ මැදපංතිකයන්ගේ අවුල්වූ ජීවන රටා වැඩි මිලකට හෝ නැවත යථාවත් වෙමින් තිබීම නිසා ඔවුන්ට දැන් ආණ්ඩු වෙනසක අවශ්‍යතාවක් නැත. එනිසා ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ඉදිරිපත් කළ විට, සැවොම ඒ සමග ගොනු වූහ. එහෙත් ජනාධිපති වික්‍රමසිංහගේ දේශපාලන ගණන් හැදිල්ලේ ඇති රාජකීය අවුල සමග පළාත් පාලන මැතිවරණය ඈතට තල්ලු කිරීමෙන් ඔහු කොළඹ රාජපක්ෂ විරෝධී මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හා විපක්ෂයේ ප්‍රධාන පක්ෂවලට ඔවුන්ගේ ආණ්ඩු විරෝධය මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගොනු කරන්නට වේදිකාවක් ඇටවූයේය.

දැන් මේ විපක්ෂ කණ්ඩායම් සටන්පාඨය බවට පත්කර ගෙන ඇත්තේ මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි හඬ නැගීම නොව, මේ ආණ්ඩුවට ජන වරමක් නැතැයි ඔප්පු කිරීමට පළාත් පාලන මැතිවරණය යොදා ගැනීම සහ ඊළඟ ආණ්ඩුව වෙනුවෙන් තමන්ට ද අයිතියක් ඇතැයි පළාත් පාලන මැතිවරණයේ ඡන්ද බලයක් ගොනුකර පෙන්වීම ය. ඒ වෙනුවෙන් හෝ ඔවුන්ට වික්‍රමසිංහගේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික මූලෝපායෙන් වෙන්වන, වෙනස්වන ආර්ථික වැඩපිළිවෙළක් ගැන අදහසක් නැත. එනිසා වික්‍රමසිංහට විසඳුම් නොමැති කිසිවකට ඔවුන්ට ද පැහැදිලි විසඳුම් නැත.

සැවොම තමන්ගේ විසඳුම් ලෙස කතා කරන්නේ සියලු අපරාධ, සමාජ ව්‍යසන සමග වන මේ බංකොලොත් විවෘත වෙළඳපොළ ආර්ථිකය යළි පිළිසකර කිරීමක් ගැනය. ජාතික ජන බලවේගය ලෙස පෙනී සිටින ජ.වි.පෙ ඒ ගැන කතා කරන්නේ ඔවුන්ට සුපුරුදු තර්ක ක්‍රමයට “වඳුරො ගැන නෙවෙයි අපි කියන්නේ....අපි කියන්නෙ රිලව් ගැන” වැනි කතාවකි. ස.ජ.බ ආර්ථික විශේෂඥයන් ඊට වඩා තරමක් ශිෂ්ට ය. එනිසා ඔවුහු ඉතා පරෙස්සමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආධාර ගැනීම අනිවාර්ය යැයි කියන අතර, විවෘත වෙළඳපොළ ආර්ථිකය අර්ථ දැක්වීමට උත්සාහ කරන්නේ “සමාජ වෙළඳපොළ” ආර්ථිකයක් යැයි කියා ය. එහෙත් ඔවුන්ගේ යෝජනා අතර “සමාජ වෙළඳපොළ” ආර්ථිකයක් වෙනුවෙන් අත්‍යාවශ්‍ය වන “සමාජ සම්මුතිය” සඳහාවන යෝජනා නැත.

මේ රටේ ජනතාවට මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය අවශ්‍ය වන්නේ මේ ආණ්ඩුව අවජාතක යැයි කීමටවත් විපක්ෂයේ ඡන්ද බලය පෙන්වීමටවත් නොවේ. මේ රටේ ජනතාව පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටිය යුත්තේ නීතියට අනුව මැතිවරණ පැවැත් විය යුතු නිසා ද නොවේ. නීතියේ සඳහන්වන හෙයින් මැතිවරණ පැවැත්වීමෙන් තහවුරු වන ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. නීතියට අනුව මැතිවරණ පැවැත්වීම යනු “පටිපාටමය” ප්‍රජාතන්ත්‍රවාදයක් මිස ජනතාවගේ පාලන බලයක් තහවුරු කෙරෙන “සක්‍රීය” ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ. එනිසා ජනතාව පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටිය යුත්තේ තමන්ගේ ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සක්‍රීය ලෙස පත්කර ගැනීමටය. තමන් වරිපනම් බදු ගෙවන පළාත් පාලන ආයතනයෙන් නෛතිකව ඒ වෙත පවරා ඇති වගකීම් නොපරිහෙළා කාර්යක්ෂමව ඉටුකරවා ගැනීමේ තමන්ට ඇති අයිතිය වෙනුවෙන් තමන්ගේ නියෝජිතයන් තෝරා පත්කර ගැනීමටය.

එවැනි සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයක් බුක්ති විඳින්නට තරම් දැනුවත් දියුණු ඡන්දදායකයන් මේ රටේ සියවසකට ආසන්න කාලයක සිට බිහිව නැත. එවැනි දැනුවත් සංවාද කතිකා මේ රටේ පැවතියේ ද නැත. එබැවින් 1930 ඩොනොමොර් කොමිසම් වාර්තාවෙහි හඳුනාගෙන තිබූ කුලය, ජාතිය, ආගමට වගේම පසු කාලීනව විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි අති පෞද්ගලික වාසි වෙනුවෙන් ඡන්දය භාවිත කරන ආත්මාර්ථකාමී ඡන්දදායකයන් සමග මැතිවරණ සතු ප්‍රජාතන්ත්‍රවාදයක් තහවුරු වන්නේ නැත. පළාත් පාලන ආයතන ද දූෂිත, අකාර්යක්ෂම හා ප්‍රදේශයේ අවශ්‍යතා වෙනුවෙන් වැදගත් කිසිවක් නොකරන මහජන ආයතන බවට පත්ව ඇත්තේ එබැවින්ය.

අද මේ රටට අවශ්‍ය වන්නේ අලුත් ජනතාවකි. මා අලුත් යැයි කියන්නේ “තරුණ” යැයි කියන්නාවූ අර්ථයෙන් නොවේ. බර්ටොල් බ්‍රෙෂ්ට් කියූ ආණ්ඩුව විසින් ඔවුන් ගැන විශ්වාසයක් ඇති අලුත් ජනතාවක් හදා ගැනීම ද නොවේ. මා අලුත් ජනතාවක් හදා ගැනීමට අවශ්‍ය යැයි කියන්නේ අනාගතය සඳහා අලුත් වගකීම් බාර ගැනීමට සූදානම් හා ඊට සරිලන විනයක් ඇති ඡන්දදායකයකු අවශ්‍ය යැයි යන අර්ථයෙනි. තමන්ගේ සමාජ වගකීම් ගැන අවබෝධයක් ඇති, ඡන්දය භාවිත කිරීම සතු සමාජ වගකීම ගැන තේරුම් ඇති, තමන් ඡන්දය ලබා දී තෝරා පත් කරන මන්ත්‍රීවරයා, සභිකයා පළාත් පාලන ආයතනයෙහි වරිපනම් බදු ගෙවන්නන් වෙනුවෙන් ඉටු කරන්නාවූ සේවය කුමක්දැයි ප්‍රශ්න කිරීමට සූදානම් අලුත් ඡන්දදායකු අවශ්‍ය යැයි වන අර්ථයෙනි.

ඒ වෙනුවෙන් මේ මොහොතේ අත පෙවිය යුත්තේ කවර පක්ෂයක, කවර ස්වාධීන කණ්ඩායමක වූවත් තමන්ගේ ප්‍රදේශයේ අපේක්ෂක අපේක්ෂිකාවන් සමග විවෘත කර ගන්නා කතිකාවක, ඔවුන් තරග කරන්නේ කුමක් සඳහාදැයි වන ප්‍රශ්න කිරීම සමගින්ය. ප්‍රදේශයේ වරිපනම් බදු ගෙවන ඡන්දදායකයා සමග ආරම්භ කරන සමාජ සංවාදයක් තුළ පළාත් පාලන බල ප්‍රදේශය වෙනුවෙන් අවශ්‍ය සංවර්ධන සැලසුමක් සකසා ගැනීමට එකඟ කරවා ගැනීම සමගින්ය. අනතුරුව, ඒ වෙනුවෙන් අත්සන් තබන අපේක්ෂකයන්ගේ එකතුවක් ලෙස මැතිවරණය ඉල්ලා සිටින ජනතා ව්‍යාපාර දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කිරීමට ය.

අලුත් ඡන්දදායකයකු හැදෙන්නේ එවැනි සමාජ සංවාද සමග පමණි. එවැනි අලුත් ඡන්දදායකයකුගෙන් මිස ආණ්ඩු මාරු වන්නේ නැත. මේ ඉන්නා ඡන්දදායකයන්ගෙන් සිදුවන්නේ තිබෙන පාර්ලිමේන්තුව, තිබෙන ආණ්ඩු පාලනය තවත් පිරිසකට බාරදීම පමණි. මේ දේශපාලන පක්ෂ නායකයන් ඉල්ලන්නේ ද එවැන්නක් පමණි. ඔවුන්ට ද මා කියන ආකාරයේ අලුත් ඡන්දදායකයකු අවශ්‍ය නැත. එනිසා තීන්දුව ඇත්තේ ජනතාව අත මිස පක්ෂ නායකයන් සතුව නොවේ.

(*** කුසල් පෙරේරා)



අදහස් (3)

රට ඉල්ලන මැතිවරණය කුමක්ද?

Nimal Tuesday, 14 March 2023 07:02 AM

1977 මහා මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා දේශපාලනයේ සිදුවන සැබෑ දේශපාලන වෙනසක් කරනාවූ තීරණාත්මක මැතිවරණය ඉදිරිදී පවත්වන කුමන හෝ ජාතික මැතිවරණ වේ.

:       1       2

sam Tuesday, 14 March 2023 08:19 AM

දැන් මිනිස්සුන්ට තේරිලා. මිනිස්සුන්ටත් දැන් හොදටම දැනිල. රටට වෙනසක් කරන්න ඕනේ කියල ජනතාව ඉල්ලනේ ජාතික මැතිවරණයක්, එහෙම නැතිව වගකීම් ගන්න බැරි සජිත් සහ අනුරට රට බාරදෙන්න නොවෙයි. ඒ දෙන්නත් පාර්ලිමේන්තුවේ හිටියා හොදටම ඇති කියල ජනතව කියන්නේ. පුරවැසියෝ ආර්ථික ගැටළුවලට මුහුණ දෙද්දී, පෝලිම්වල ඉද්දි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා හරි IMF නය අරගෙන සහනයක් දෙන්න කියල චන්දදායකයෝ විපක්ෂයට කියද්දී මේ දෙන්නම මග ඇරිය. මේ දිනවල විපක්ෂය, වෘත්තීය සමිති එක්ක එකතුවෙලා ජනතව අපහසුතාවයට පත්කරලා බලය ගන්න හිතාගෙන සිතනවා නම් එක ලේසි පහසු වැඩක් නොවෙයි. වේදිකාවේ සද්දේ දැම්මට මාධ්‍ය සකජ්ජා පවත්වලා ජනතවගේ ගැටළු ජනතාවටම කිවා වගේ නොවෙයි චන්දය ඉල්ලගෙන ගම්වටලටත් යන්න වෙනවා.

:       3       2

AkilaWednesday, 15 March 2023 01:06 PM

රනිල්ගේ සර්වපාක්ෂික ආණ්ඩු බයිලාව නං කවුරුවත් විශ්වාස කළේ නැහැ... රටේ මිනිස්සු දන්නවා IMF ණය නොගෙන බැරි තැනට රට තල්ලු කළේ දැනුත් රටේ බලය බලෙන් අල්ලාගෙන ඉන්න පූට්ටු අලි හොරුටික කියලා.. ඒක නිසා මිනිස්සු ඉල්ලන්නේ කුමක් හෝ මැතිවරණයක් මේ දූෂිත ජන පීඩිත ආණ්ඩුවට රතු එළිය පෙන්වන්න...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳුදා හමුව

ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1563 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


ආර්ථ්ක නවෝදයකට යා යුතු මග
2025 මාර්තු මස 24 220 0

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.4කින් වර්ධනය වී තිබේ. එය සුවිශේෂ වන්නේ වසර කිහිපයක් තිස්සේ ආර්ථිකය සං


ආරක්ෂාව නිදහස විවරණයක්
2025 මාර්තු මස 17 153 1

ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා


රට යන ගමන නිවැරැදිද?
2025 මාර්තු මස 10 1282 4

වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්‍


ස්වාධීන අභිවෝදක මිථ්‍යාව යථාර්ථය
2025 මාර්තු මස 03 230 0

අපරාධ නඩුකටයුතු මහජනතාව දැඩි උනන්දුවක් දක්වන තීරණාත්මක කරුණකි. නඩුකටයුතුවල ප්‍රතිඵලය කුමක් වුවත්, පුරවැසියකු අපරාධ නඩුකීමට ලක් කිරීම, අපරාධ නඩුවක වි


අයවැයේ දිශානතිය කොයි අතටද?
2025 පෙබරවාරි මස 17 338 0

ශ්‍රී ලංකාව නැවුම් ආර්ථික හා දේශපාලන අත්දැකීමක් සඳහා සූදානම්ව සිටියි. එනම් සමාජවාදී නැඹුරුව සහිත දේශපාලන සන්දර්භයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ‍ලේඛ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 113 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 499 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 941 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site