IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ පක්ෂවල දිශානතිය

නිශ්චිත දේශපාලන සහ ආර්ථික මතවාදයක් මගින් ඕනෑම දේශපාලන පක්‍ෂයක ප්‍රතිපත්තිමය අනන්‍යතාව තීරණය වේ. එසේ ප්‍රතිපත්තිමය අනන්‍යතාවක් නොමැති දේශපාලන පක්‍ෂයක් ආණ්ඩු බලය අයත් කරගත්ත ද රාජ්‍ය ප්‍රතිපත්තිය සහ විදේශ ප්‍රතිපත්තිය තුළ පවතින්නේ අපැහැදිලි බවකි. පරස්පරතාවලින් සංකීර්ණ බවකි. එය ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද නොගැළපෙන්නකි.

ජර්මනියේ කොමියුනිෂ්ට් පක්‍ෂය ඊට පැහැදිලි සහ නිරවුල් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකසා දෙන ලෙස කාල්මාක්ස්ට සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස්ට ආරාධනා කළේ එම නිසා ය. ඔවුන් සකස් කළ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රකාශය ඔස්සේ ජර්මනියේ කොමියුනිෂ්ට් පක්‍ෂය මතවාදීමය වශයෙන් සන්නද්ධවීම එහි අවසාන ප්‍රතිඵලයයි.

මෑත කාලීන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී නිශ්චිත, පැහැදිලි සහ වලංගුතාවක් සහිත දේශපාලන සහ ආර්ථික මතවාද මත පදනම් වූ දේශපාලන පක්‍ෂ ඇත්තේ ඉතාම අතළොස්සකි.

බහුතරයකට නිශ්චිත, පැහැදිලි සහ වලංගුතාවක් සහිත දේශපාලන සහ ආර්ථික මතවාද නොමැත. ජනප්‍රියවාදය ඔස්සේ දේශපාලන බලය අයත් වුවත් ඉතා ඉක්මනින් දේශපාලන බලය අහිමි වීමට හෝ අසාර්ථක පාලනතන්ත්‍ර වීමට හෝ බලය ලබා ගැනීමට නොහැකි බවට එම දේශපාලන පක්‍ෂ පත් වන්නේ එමනිසා ය. එමනිසා ශ්‍රී ලංකාවේ අනාගතය විෂයෙහි මෙරට ප්‍රධාන දේශපාලන ධාරාවල මතවාදීමය වලංගුතාව අවධානයට යොමු කිරීම කාලාවෝචිත ය.

 

 එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකාවේ අනාගතය

එක්සත් ජාතික පක්‍ෂය ශ්‍රී ලංකාවේ පැරණි දේශපාලන පක්‍ෂ අතරින් කැපී පෙනෙන දේශපාලන පක්‍ෂයකි. මෙය කේන්‍ද්‍රීය වශයෙන් මධ්‍ය-දක්‍ෂිණාංශික දේශපාලන පක්‍ෂයක් ද වේ. මෙම පක්‍ෂයේ දේශපාලන සහ ආර්ථික මතවාදය පදනම වන්නේ ලිබරල්වාදය යි. ලිබරල්වාදය වූ කලි පුද්ගල නිදහස සහ පෞද්ගලික දේපළ ක්‍රමය විෂයෙහි මුලිකත්වය ලබා දෙන දේශපාලන සහ ආර්ථික මතවාදයයි. වර්ෂ 1989 දී සෝවියට් සමූහාණ්ඩුව සහ නැගෙනහිර යුරෝපා බලකඳවුර බිඳවැටීමත් සමග සමාජවාදී දේශපාලන සහ ආර්ථික මතවාදයේ ව්‍යාප්තිය දුර්වලත්වයට පත්වූයේය. එමපමණක් නොව නව සමාජ ක්‍රමයක් ගොඩනැගීමට සමාජවාදයට හැකියැයි යන මහජන විශ්වසනීයත්වය ද ක්‍රමයෙන් අවමවීම සිදු වූයේය. එහි ප්‍රතිඵල වශයෙන් වර්තමානයේදී නවලිබරල්වාදය වඩාත් ප්‍රබල දේශපාලන සහ ආර්ථික මතවාදය බවට පත් තිබේ.

ඉහතින් අවධානයට යොමු කරන ලද ගෝලීය දේශපාලන සහ ආර්ථික ප්‍රගමන තුළ එක්සත් ජාතික පක්‍ෂය මගින් නවලිබරල් වෙළඳ පොළ ආර්ථික ක්‍රමය (Neo-liberal market-oriented economy)  එහි දේශපාලන සහ ආර්ථික මතවාදය වශයෙන් පැහැදිලිව ප්‍රකාශයට පත්කර ඇත. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂයේ මූලික මූලධර්ම තවමත් ඒ ආකාරයෙන්ම පවතී. ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව සහ ජාතික ආරක්‍ෂාව ආරක්‍ෂා කිරීම, ජාතික සමගිය, නිදහස් ව්‍යවසාය ක්‍රමය, පුද්ගල අභිවෘද්ධිය සහ පුරවැසියන් සවිබල ගැන්වීම යනු එම මූලික මූලධර්ම වේ.

සමස්තයක් වශයෙන් සැලකීමේ දී එක්සත් ජාතික පක්‍ෂයේ නවලිබරල්වාදී දේශපාලන සහ ආර්ථික මතවාදයේ කේන්‍ද්‍රීය අරමුණු වන්නේ ආර්ථික ක්‍රියාවලියට සීමිත රාජ්‍ය මැදිහත්වීම, පුද්ගලයාගේ පෞරුෂ වර්ධනය ඔස්සේ ධෛර්යවත් කිරීම, පෞද්ගලික ව්‍යවසාය සහ තරගකාරීත්ව ප්‍රවර්ධනය කිරීම අවධාරණය කරමින් නිදහස් වෙළඳපොළ ක්‍රමය ස්ථාපිත කිරීම යි. එක්සත් ජාතික පක්‍ෂයේ මතවාදීමය සන්දර්භය මගින් අවධාරණය කරන ආකාරයට තරගකාරී වෙළඳපොළ පරිසරයක් නිර්මාණය කිරීම ඔස්සේ ආර්ථික වර්ධනය සහ නවෝත්පාදන ප්‍රවර්ධනය සිදුවන බව ය. එපමණක් නොව ආර්ථික ක්‍රියාවලිය විෂයෙහි රාජ්‍යයේ මැදිහත්වීම අවම කිරීම ආර්ථික වර්ධනයට, නව රැකියා අවස්ථා නිර්මාණය වීමට සහ පුද්ගලයාගේ ජීවන තත්වය ඉහළ නැංවීමට හේතු වන බව එක්සත් ජාතික පක්‍ෂයේ නිගමනය යි.

එක්සත් ජාතික පක්‍ෂය මගින් හඳුනාගෙන ඇති ආකාරයට නවලිබරල්වාදී ප්‍රතිපත්ති ව්‍යවසායකත්ව ආත්මය සහ නිර්මාණශිලීත්වය ප්‍රවර්ධනය කරන අතර අවසානයේ එමගින් සමාජය ප්‍රතිලාභ ලබාදෙන නව ව්‍යාපාර සහ තාක්‍ෂණික නවෝත්පාදන ඇති කරයි. පුද්ගල කේන්‍ද්‍රීයත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පුද්ගල වගකීම සහ වගවීම වර්ධනය කර රාජ්‍ය මත රඳා නොසිට තම ජීවිතය පාලනය කර ගැනීමට සහ අවශ්‍යතා ඉටුකර ගැනීමට පුද්ගලයන් දිරිමත් කිරීම එක්සත් ජාතික පක්‍ෂයේ මතවාදී රාමුව ඔස්සේ ගොඩනගා ඇති ප්‍රතිපත්තිය වේ.

එමෙන්ම නවලිබරල් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක කාර්යක්‍ෂමතාව ඉහළ අගයකින් යුක්ත වන්නාසේම අඩු පිරිවැයකින් මෙන්ම භාණ්ඩ සහ සේවාවල ගුණාත්මක තත්වය සහ දැරිය හැකි මිලක් නියමවීම ඔස්සේ පාරිභෝගිකයාට වඩාත් ඉහළ ප්‍රතිලාභ ලැබේය යන්න එක්සත් ජාතික පක්‍ෂයේ මතවාදීමය නිගමනයයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂයේ නවලිබරල් වෙළෙඳපොළ ආර්ථික දෘෂ්ටියේ පැහැදිලි බව, ශ්‍රී ලංකාවට එහි ඇති අදාළත්වය සහ බහුතරයට පිළිගත හැකි බව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් බලපවත්නා ආකාරය අවධානයට යොමු කළයුතු පැතිකඩකි.

 

සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකාවේ අනාගතය

සමගි ජනබලවේගය යනු මෑතකාලීනව ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලන පක්‍ෂ අතරින් එකකි. මෙම පක්‍ෂය හරිත දේශපාලන පක්‍ෂයක් වශයෙන් හඳුනාගෙන ඇත. එපමණක් නොව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පදනම් කරගත් සහ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් තුළ ප්‍රගතිශිලීත්වය, ජනතාවාදීත්වය, නූතනවාදීත්වය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ සද්ජාතිකත්වය යන පස්වැදෑරුම් මූලධර්ම මත ක්‍රියාකාරී වන දේශපාලන පක්‍ෂයකි. සමස්තයක් වශයෙන් සැලකීමේදී සමගි ජනබලවේගය වාමාංශික දේශපාලන කේන්‍ද්‍රයට සමීප වන මධ්‍ය-වාම දේශපාලන පක්‍ෂයකි. ප්‍රගතිශිලීත්වය මෙම පක්‍ෂයේ එක් මූලධර්මයක් වීම ඊට එක් හේතුවකි. ජනතාවදීත්වය යන මූලධර්මය ඔස්සේ මෙම පක්‍ෂය ප්‍රභූ කේන්‍ද්‍රීය පක්‍ෂයක් නොවන්නේයැයි ගම්‍ය කරයි. තවදුරටත් නූතනවාදීත්වය යන මූලධර්මය මගින් සමගි ජනබලවේගය කේඩර දේශපාලන පක්‍ෂයක් නොව බහුජන පදනමක් යටතේ ක්‍රියාත්මක වන්නක්යැයි ප්‍රකාශ කෙරේ. සිව්වැනි මූලධර්මය වශයෙන් හඳුනාගෙන ඇත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සමගි ජනබලවේගයේ මූලධර්මයක් වශයෙන් හඳුනාගැනීම මතබේදයට තුඩු දෙන්නක් සේම මතවාදීමය වශයෙන් විසංවාදයකට ලක් වන්නකි. අවසාන මූලධර්මයෙන් ප්‍රකාශ වන්නේ සමගි ජනබලවේගය ජාතිය ගොඩනැගීමට මූලිකත්වය ලබාදෙන වාර්ගිකත්වයට ඉඩ ලබා නොදෙන දේශපාලන පක්‍ෂයක් බවයි.

කෙසේ වුවත් සමගි ජනබලවේගය නවදේශපාලන පක්‍ෂයක් වශයෙන් නවලිබරල්වාදයට සහ සමාජවාදයට වෙනස් වූ දේශපාලන සහ ආර්ථික මතවාද හඳුනාගැනීමට අවධානය යොමු කර තිබේ.

සමස්තයක් වශයෙන් සැලකීමේදී සමගි ජනබලවේගය වූකලී දෙමුහුන් දේශපාලන මතවාදී රාමුවක් සහිත පක්‍ෂයකි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඕර්ඩොලිබරල්වාදය ඇසුරින් සමගි ජනබලවේගයේ මතවාදී පදනම නිර්මාණය වී තිබේ.

මෙම දෙමුහුන් බව නිසා සමගි ජනබලවේගයෙන් දේශපාලන සහ ආර්ථික මතවාදී විසංවාදයක් දැකිය හැකි ය. සිය ආර්ථික ප්‍රතිපත්තිය වශයෙන් සමගි ජනබලවේගය හඳුනාගෙන ඇත්තේ රයින් ධනවාදය, රයින්-ඇල්පයින් ධනවාදය සහ සමාජ ධනවාදය යනුවෙන්ද හදුන්වනු ලබන සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය යි (Social Market Economy)' සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය වූකලී 1930-1950 කාලපරිච්ඡේදවල ජර්මනියේ ඕර්ඩොලිබරල්වාදයේ ආර්ථික දර්ශනය යි. එහි නිර්මාතෘවරු වන්නෝ ෆ්‍රීබර්ග් ගුරුකුලය නියෝජනය කළ ආර්ථික විද්‍යාඥයන් සහ නීතිවේදීහුය. කෙසේ නමුත් 1960 දශකයේ සිට ජර්මනියේ ආර්ථික සහ නීති ක්‍ෂේත්‍රය විෂයෙහි ඕර්ඩොලිබරල්වාදයේ බලපෑම ක්‍රමයෙන් හීනවී ඇත.

මෙම සන්දර්භයේ සමගි ජනබලවේගයේ දේශපාලන සහ ආර්ථීක මතවාදය තුළ පවතින විසංවාදී තත්වය අවධානයට යොමු කළ යුත්තකි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයේ ගෝලීය අදාළත්වය ද එහි බලපෑම ද පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එපමණක් නොව මෙය ශ්‍රී ලංකාව සඳහා වන නව අත්හදා බැලීමේ දේශපාලන සහ ආර්ථික මතවාදයකි. එම නිසා සමගි ජනබලවේගයේ ඕර්ඩොලිබරල්වාදී දෘෂ්ටිය පුළුල් කතිකාවකට ලක් විය යුතුය.

 

ජාතික ජනබලවේගය සහ ශ්‍රී ලංකාවේ අනාගතය

ජාතික ජනබලවේගය ශ්‍රී ලංකාවේ දේශපාලනය ඇතුළත ක්‍රියාකාරී වන එක් දේශපාලන ව්‍යාපාරයකි. එය දේශපාලන පක්‍ෂ, තරුණ සංවිධාන, කාන්තා කණ්ඩායම්, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධාන ඇතුළු විවිධ දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් 21 කින් සමන්විත ගතික දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. එහි සාමුහික දැක්ම ඔස්සේ හඳුනාගෙන ඇති අරමුණු වන්නේ සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම, නිෂ්පාදන ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම, වගවීම, විනිවිදභාවය තහවුරු කිරීම, සාධාරණව සම්පත් බෙදී යෑමට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම, සමාජ ආරක්‍ෂණය ශක්තිමත් කිරීම යනාදිය ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ඇති කිරීමයි.

සාමාන්‍ය පිළිගැනීම වන්නේ දේශපාලන ව්‍යාපාර වූකලී දේශපාලන මතවාද මත පදනම් නොවූවක් බවයි. එහෙත් ඇතැම් දේශපාලන ව්‍යාපාර මතවාදී සන්දර්භ හඳුනාගෙන තිබේ. ඊට අමතරව කිසියම් දේශපාලන ව්‍යාපාරයක් යම් දේශපාලන පක්‍ෂයක් සමග සම්බන්ධව ක්‍රියා කරන්නේ නම් එය දේශපාලන මතවාදයකින් පෝෂණය වන්නට පිළිවන. ඒ අනුව ජාතික ජනබලවේගය දේශපාලන ව්‍යාපාරයක් වුවත් එය ජනතා විමුක්ති පෙරමුණ ඇසුරින් නිර්මාණය වූවකි. එය එසේ වුවත් ජාතික ජනබලවේගය කිනම් දේශපාලන සහ ආර්ථික මතවාදයක් තිබේ ද නැති ද යන්න පැහැදිලි නැත. එහෙත් ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලන සහ ආර්ථික මතවාදය මාක්ස්-ලෙනින්වාදය මත පදනම් වූවකි.

ජනතා විමුක්ති පෙරමුණෙහි “අපේ දැක්ම” නම් ප්‍රතිපත්ති මාලාව මගින් ප්‍රකාශ අවධාරණය කර ඇති ආකාරයට එහි අරමුණ වන්නේ නවීන සමාජවාදී ප්‍රතිපත්ති ඔස්සේ නවීන සමාජවාදී පාලනයක් ගොඩනැගීමයි. ඉංග්‍රීසි භාෂා පරිවර්තනයේ දී නවීන සමාජවාදී ප්‍රතිපත්ති යන්න socialist policies වශයෙන් පමණක් සඳහන් වේ. ඒ අනුව මතවාදීමය සන්දර්භය සහ එහි භාවිතාව සමග සැසඳීමේදී ජනතා විමුක්ති පෙරමුණ විප්ලවවාදී පක්‍ෂයක් ද එසේත් නැතිනම් සංශෝධනවාදී පක්‍ෂයක් ද හඳුනාගැනීම ද දුෂ්කර ය. එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණෙහි නායකත්වය යටතේ ද යම් යම් මතවාදී වෙනස්කම් හඳුනාගත හැකිය. එයින් අවබෝධ වන්නේ ශ්‍රී ලංකාවේ බලපවත්වන දේශපාලන, ආර්ථීක සහ සමාජ සන්දර්භයන්ට මාක්ස්-ලෙනින්වාදය ගැළපිය හැකි ද යන විශ්වසනීයත්වය ජනතා විමුක්ති පෙරමුණ සතුව නොමැති බවකි.

ජාතික ජනබලවේගය මතවාදීමය වශයෙන් පෝෂණය වූවා හෝ නොවූවා වුවත් එමගින් ක්‍රියාකාරී සැලසුම් නවයක් වර්ෂ 2019 දී ඉදිරිපත් කර තිබේ. එම කිසිදු ක්‍රියාකාරී සැලසුමක් මාක්ස්-ලෙනින්වාදය මත පදනම් වී නොමැත. එහි පදනම වශයෙන් හඳුනාගත හැකි වන්නේ ලිබරල් සමාජවාදය යි. එසේත් නැතිනම් ලිබරල් මූලධර්ම සමාජවාදයට අන්තර්ග්‍රහණය කරවීමේ උත්සාහයක් එමගින් හඳුනාගත හැකිය. මෙය ජාතික ජනබලවේගය ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ මගින් මතවාදීමය වශයෙන් කරනු ලබන මුළාවකි. එයින් අදහස් කෙරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන බලය ඉල්ලා සිටින්නේ එහි මුල් ස්ථාවරය හෙවත් මාක්ස්-ලෙනින්වාදය මත පදනම්ව නොව ලිබරල් සමාජවාදය මත පදනම්ව බවය.

 

අනාගතය තීරණය වීම හා මතවාදී සංවාදවල වැදගත්කම

මෙරට කිසිදු දේශපාලන පක්‍ෂයක් දේශීය දේශපාලන සහ ආර්ථීක මතවාදී මූලයන්ගෙන් යුක්ත නොවේ. සියල්ලෝම බටහිර මතවාදීන් මත යැපෙන්නාහ. ඒ අතරින් නිශ්චිත, පැහැදිලි සහ බහුතරයට පිළිගත හැකි මෙන්ම ජාත්‍යන්තර වශයෙන් බලපවත්නා දේශපාලන සහ ආර්ථික මතවාදයක් සහිත දේශපාලන පක්‍ෂයකට ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය ලබාදිය යුතුය. එය ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වයට බලපානු ලබන ප්‍රධානම සාධකය යි.

ප්‍රධාන දේශපාලන කණ්ඩායම්වල නායකයන් අතර මුහුණට මුහුණලා සංවාදයක් පවත්වන්නේ නම් එය කළ යුත්තේ ඒ ඒ පක්ෂ හෝ කණ්ඩායම්වල හෝ මතවාදීමය රාමුව මත පදනම්වය. එසේ නොමැතිව හුදෙක් ජනප්‍රිය තේමා මත පදනම්ව නොවේ. එම පක්ෂවල ප්‍රතිපත්ති හා මතවාදය පිළිබඳ ජනතාවට ගැඹුරු අවබෝධයක් ලැබෙන පරිදි එම සංවාද පැවැත්විය යුතුය.

(***)



අදහස් (2)

ශ්‍රී ලංකාවේ පක්ෂවල දිශානතිය

එරංග Tuesday, 04 June 2024 12:27 PM

ජනපතිවරණය ඉලක්ක කරගෙන කටයුතු කරන ප්‍රධාන දේශපාලන සන්ධාන තුන අනුගමනය කරන ආර්ථික සහ සමාජයයීය ප්‍රතිපත්ති පිළිබඳ ඉතා අනගි තුලනාත්මක විග්‍රහයකි. ඒ ඒ දේශපාලන පක්ෂවල සිටින අන්ධ භාක්තිකයනට කෙසේ වෙතත් මධ්‍යස්ත ඡන්දදායකයනට මෙම ලිපිය වැදගත්ය. එජාපය සමග එක් වී නියෝ ලිබරල් වාදය හරහා රට (හෝ තමා) ගොඩ නැගීමට / යාමට සිහින මවන අයටත්, සජබය සමග එක් වී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ ගමනක් යාමට සිටින අයත්, ජවිපෙය සමඟ සමාජවාදී රටක් නිර්මාණය කරන්නට යන අනුගාමිකයන්ටත් තම තමන්ගේ සිහිනවල දිග පළල තේරුම් ගැනීමට හැකි වන්නේත්, තමන් එළුවාගේ මොකක්දෝ එක වැටෙන තුරු උගේ පස්සෙන් ගියා නේද යන වගත් වැටහෙන්නේ ඉහත දේශපාලන ව්‍යාපාර තුනෙන් කවුරුන් හෝ බලයට පැමිණ එම සිහින කඩා ඉහිර වූ විටදීය.

:       2       6

Sena Saturday, 08 June 2024 07:23 PM

රටේ ඉන්න පොදු මිනිසුන්වන අපිට අවශ්‍ය රටේ තියෙන පොදු පුශ්න වලට විසදුම් මිසක් පොත් පත්වල තියෙන තියරි නෙවෙයි අපේ රටේ පැරනි දේසපලකයෝ කරගත්ත ලොකුම වැරැද්දා දැන් ඉන්න දේස පාලකයෝත් කල යුතුය කියන යෝජනව ලියුම් කරු කියනවා. මේ ඉපැරනි දෙසපාලන මතවාද දැනට ලෝකයේ භවිතයෙන් ඉවත්වෙලා ලොක්යේ දෙනට කිසිම කොමියුනිස්ට් වාදී රටවල් වගේම ලිබරල් වාදී රටවලුත් නැහැ. මොකද ලිබරල් වදයේදී සමාජ සාදාරනත්වය අමතක කරලා තරග කාරී වෙලදපොල මත පමනක් ආර්තිකය පවත්වාගෙන යනවා. කොමියුනිස්ට් වාදී ආකල්පයතුල කිසිදු වෙලදපොල ආර්තිකයක් නැහැ නිස්පාදන සහ සම්පත් සමානව බෙදී යනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

සඳුදා හමුව

විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 618 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 867 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 299 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


​ප්‍රශ්න විසඳන නායකත්වයක අවශ්‍යතාව
2024 අගෝස්තු මස 19 433 1

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් වෙන්නේ වසර 2022 දී උද්ගත වූ මහජන අරගලයෙන් එවකට බලයේ සිටි ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම


තෘප්තිමත් සමාජයකට ආර්ථිකයක්
2024 අගෝස්තු මස 12 317 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුබල තැනක සිට යථා තත්වයට පත්වෙමින් තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ බලපැවැත්වෙමින් තිබුණ සංකීර්ණ ගැටලු සහ කොවිඩ් වසංගතය සමග ඇති වූ අර්බ


ඡන්ද දායක ඡන්ද අපේක්ෂක යුතුකම
2024 අගෝස්තු මස 05 124 0

මේ වන විට මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර ගන්නා දිනය අගෝස්තු 15 වැනි දින ලෙසත් ඡන්ද දිනය සැප්තැම්බර 21 වැනි දින ලෙසත් ප්‍රකාශයට පත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site